Saturday, November 26, 2016

පුතුන් එන තුරු..

පුතුන් එන තුරු.
-----------------------------
"අත්තම්මෙ.. මේ...මං ඔයාව ඇන්දා.. "
චූටි පුතා මං ලගට ආවෙ එයාගෙ චිත්‍ර පොත මට පෙන්නන්න..
"හරි ලස්සනයි මයෙ පුතේ.. "
මං දරුවගෙ ඔලුව අතගාන ගමන් කිව්වා..
පොඩි එකා මාව ඇදලා තිබුනා හරි අපූරුවට.. තාත්තා වගේම චිත්‍ර කලාවට හපනෙක්.
මට මතක් වුනේ ඉෂංක ව.. මගෙ ලොකු පුතා.. මේ ලොකු පුතාගෙ පොඩි දරුවා.. තාම දෙකේ පන්තියෙ ඉන්නෙ..
පුතයි, පුතා බැදපු දුව නිමාලි යි ගෙදර එනකං මං තමයි දරුවො දෙන්නව බලා කියාගෙන ඉන්නෙ.. දවස ගෙවෙනවා තේරෙන්නෑ ඉතිං...
වෙලාව පහට කිට්ටුයි පුතාලා එන වෙලාව.. වතුර උණු කරන්න තියෙන නිසා මං කුස්සියට ආවා..
මේ දවස් ටිකේ හතිය වැඩී මට.. බේත් ගන්න පුතාට කියන්නයි හිටියෙ ඊයෙ.. ඒත් පුතා මහ රාත්තිරියෙ ගෙදර ආවෙ.. ඔපීසියෙ වැඩ වැඩි මේ දවස් ටිකේ කියලා නිමාලි දුවත් එක්ක කියනවා මං අහගෙන.. ආව ගමං කාමරේට ගියා.. මට ඉතිං කරදර කරන්න හැකියැ නැහිලා ආපු දරුවට..
මඩුවෙ දරයක්කත් නෑ.. පළන්නෙ කොහොමද දැං.. මට හති නෙ..
පොඩි දරුවො දෙන්නගෙ ඇග හෝදන්න උනු වතුර තියන්න ඕනෙනෙ.. ගෑස් ලිපේ තියන්නං...
මගෙ දරුවො තුං දෙනාම මේ දරුවොංගෙ වයසක් වෙද්දි හැංදෑ ජාමෙත් ඇලේ දොලේ නටලා නෑවෙ.. දෙයියංගෙ පිහිටෙන් ඉහෙං බහින රෝගයක් තිබුන්නෑනෙ..
වාහනේක සද්දයක් ඇහුනා පුතාලද කොහෙද.. දුව විතරයි.. පුතා අදත් රෑ වෙනවා මයෙ හිතේ..
"අම්මෙ!! මං කියලා තියෙනවනෙ මෙහෙම ගෑස් නාස්ති කරන්න එපා කියලා.. වතුර උනු කරන්න එලියෙ ලිප පත්තු කර ගන්න තිබුන්නැද්ද.."
නිමාලි ගෙදර ආපු ගමන් කෑ ගැහුවා..
"පුතේ දර පලන්න අමාරුයි අද.. මගේ හැති වැඩි වෙලා.. "
"ඉෂංක මොන කරුමයක් ද මන්දා මේ වහල අස්සෙ තියාගෙන... ගෙට ගොඩ වෙනකොටම මගෙ යකා අවුස්සනවා..."
නිමාලි දු මට බැන බැන ගේ ඇතුලට ගියා.. මං ඉක්මන්ට ලිප නිව්වා.. මගෙ වැරැද්ද තමා.. ගෑස් ගනං නිසා දූට කේන්ති යන එක සාධාරනයිනෙ.. අපරාදෙනෙ දර තියෙද්දි..
මං පොරව අරං ගිහිං පුලුවං විදිහට හිමිං දර ටිකක් පැලුවා.. ලිපට පිබිද්දි මගෙ පපුව හුගක් රිදෙනවා..
අදත් බේත් ගන්න යන්න පුතාට කියන්න විදියක් නෑ.. ඊයෙටත් වඩා රෑ වුනා එද්දි..
කෑම කාලා මං වළං ටිකත් හෝදලා දැම්මා හිමීට.. හයියෙං වැඩ කරන්න අමාරුයි අද.. මං උස්ම ගන්න සද්දෙ මටම ඇහෙනවා රාං රෑං ගාලා..
රෑ වෙලා පුතා මගෙ කාමරේට ආවා..
"අම්මෙ.. "
අනේ මයෙ පුතාට මං කිව්වෙ නැති වුනාට මට අමාරුයි කියලා දැකලා බේත් අරං දෙන්න යන්න කථා කරන්නවත් ද.. කියලා මට හිතුනා..
"අම්මෙ.. නිමාලි වැඩ ඇරිලා නැහිලා එන වෙලාවට එයාගෙ කේන්ති ඇවිස්සෙන වැඩ කරන්න එපා.. අම්මත් පොඩි එකෙක් වගේ වෙන්න හදන්න එපා. මං කැමති නෑ අම්මා හින්දා මගෙ පවුල් ජීවිතේට ප්‍රශ්න ඇති වෙනවට.. "
පුතා හිමීට කිව්වා... 
පුතා ඉස්සරහ මගෙ ඇස් වල කදුලු ගෙඩි එලියට පනින්න දෙන්නැතුව මං ඉවසගෙන හිටියා..
පුතා කාමරෙං ගියාට පස්සෙ ඒ කදුළු  ගෙඩි වලට වැටෙන්න මං ඉඩ දුන්නා.. මගෙ පපුව ඇතුලෙං වාවන්නැතුව ගියා.. ඒත් අඩන්න පුලුවංකමක් තිබුන්නෑ මම උස්ම ගන්න එකත් මේ වෙලාවෙ කරේ හරි අමාරුවෙං හිංදා..
පුතාගෙ ජීවිතේට යහපතක් වෙනවා මිසක් අයහපතක් වෙන්න තුං හිතකින් වත් හිතලා නෑ මං..
පුතාලගෙ තාත්තා නැති වෙනකොට පොඩි පුතාට අවුරුදු පහක් විතර ඇති මගෙ හිතේ..
අපේ ලොකු ම දරුවා දෝනි.. එයා බැන්දට පස්සෙ ඕස්ටේලියාවෙ ගියානෙ.. ගිහින් අවුරුදු පහලොවක් දැං.. මගෙ කෙල්ලව මට දකින්න ආසයි.. එයාටත් දරුවො දෙන්නෙක් ඉන්නවා.. මගෙ දෝනිට දරුවො හම්බ වෙනකොට ළගිං ඉන්න මට ඕනෙ උනා.. මං හීන  දැක්කා.. ඒත් දෝනි මගෙං ගව් ගානක් ඈත.. මං යන්නෙ කොහොමද..
ඒ කාලෙම මෙහෙ පුතාලා කොම්පියුටරෙං ඒ දරුවොංගෙ පොටෝ බලනවා මං අහම්බෙන් දවසක දැකලා බැලුවා.. මයෙ ඇස් වල කදුලු පිරුනා..
මේ මම ඉන්නෙ මගෙ දෙවනි දරුවගෙ ගෙදර.. මහ ගේ මං තනියෙං ඉන්න හැදුවම ඉන්න දුන්නෑනෙ..
පුතාලා වැඩට ගියාම මෙහෙ පොඩි දරුවො දෙන්නව බලා ගන්න වැඩට ගෑනු අය ගෙනාවා.. ඒත් දූට හරි ගිහිල්ලා නෑ ඒ කවුරුවත්. අන්තිමේ පුතා මාව මෙහෙ ගෙනාවා..
පොඩි පුතා ත් මට හරියට කරදරේ එහෙ එන්න කියලා..
කොට්ටෙට ඔලුව තියාගෙන ඇල වුනාම උස්ම ගන්න කොහොමත් අමාරුයි.. ඒ නිසා මම ඇද උඩ ඉඳ ගෙනම හිටියා...
පුතා දවසක් කේන්තියෙන් ගෙදර ආවා.. කෙලින්ම ආවෙ මගෙ කාමරේට..
"මේ අම්මා කරන වැඩ නිසා මල්ලිගෙ කථා අහන්න ඕනෙ මම..
පුතා සැරෙං කෑගැහුවා.."
"ඇයි පුතේ.. "
"ඇයි... හැයි තමයි. මල්ලි කියනවා මම අම්මව මෙහෙ තියං ඉන්නෙ මහ ගේ ලියා ගන්නලු.. ඒක විකුනලා සල්ලි හරියට බෙදලා දුන්නනං ප්‍රශ්න ඇති වෙන්නෑනෙ.. "
මොකක් කියන්නද කියලා හිතා ගන්න බැරුව මම බලාන ඉද්දි නිමාලි දූත් කාමරේට ඇවිත් කියපු දේ මට උහුල ගන්න බැරි වුනා..
"සහෝදරයො ගහ මරා ගන්නකන් බලන් ඉන්නවා කුනුකමට ගොඩ ගහගෙන. යනකොට අරන් යනවනෙ.. "

"පුතා ඒක විකුනන්න ලෑස්ති කරන්න.. "
මම අන්තිමේදි කිව්වා..
මගෙ දරුවොංගෙ සතුටයි සමගියයි තරං මට කිසි දෙයක් වටින්නෙ නෑ.. කවදා හරි දරුවොංට කරදරයක් නොවී වැටිලා ඉන්නයි මං ගේ තියං හිටියෙ.. මගෙං පස්සෙ  මගෙ දෝනිට ගේ ලියන්නයි හිතං හිටියෙ.. ඒ දරුවා ලංකාවට ආපු දවසක ඉන්න.. පුතාලටනං ගෙවල් තියෙනවනෙ..
එකපාරටම ලොකු පුතා කියපු කථාව නිසා මං හිතන් හිටපු විදිහට කරන්න වෙන්නෑ.. ලොකු පුතයි පොඩි පුතයි ගේ නිසා සන්ඩු වුනොත් දෙන්නම මට සාප කරයි. මගෙ දරුවො විරසක වෙන්න හේතුවක් වෙන්න ඕනෙ නෑ මට.. ගේ විකුනලා හම්බ උන සල්ලි තුනට බෙදන්න ලොකු පුතා ඉඩ දුන්නෙ නෑ.. 'අක්කා ආයෙත් ලංකාවට එන්නෙ නෑ.. මල්ලි මමයිනෙ අම්මා බලා ගන්නෙ ඒ නිසා අපි දෙන්න බෙදා ගන්නවා' කියලයි කිව්වෙ.. ඒත් මගෙ දෝනි කවදා හරි එයි කියලා මං බලාන ඉන්නවා..
ගේ විකුනලා මාසෙකිං විතර  ලොකු පුතා කිව්වා පොඩි පුතාලගෙ  ගෙදර ගිහිං මට ටික කාලයක් ඉන්නයි කියලා..
දවසක් පොඩි පුතා ආවා මාව එක්කං යන්න. පොඩි පුතා ලඟත් ඉන්න හම්බුන එක ගැන මං හරි සංතෝසෙං හිටියෙ.. මගේ බඩු ටිකත් පුතාම වාහනේට දාගත්තා.. නිමාලි දූ කෑම පාර්සලේකුත් මගෙ බෑග් එකට දැම්මා.. පව්!. ඉන්න කාලෙ මට දොස් කිව්වට මං යන එක ගැන දුක ඇති.. කෑමත් හදලා.. එහෙ දුවත් කෑම හදලා ඇති...
අපි ටික දුරයි ආවෙ.. පුතාගෙ වාහනේ මොකද්ද ලෙඩක් කිව්වා..  පුතා කිව්වා වාහනේ යාලුවෙක්ගෙ ගෙදර දාලා එහෙන් වාහනයක් අරන් එනකන් මට ඒ ලඟ හෝල්ට් එකට වෙලා ඉන්න කියලා... බෑග් එකත් දුන්නා..
පුතා එනකං මං බලං හිටියා හවස්  වෙනකංම.. මගෙ පපුව පත්තු වුනා.. දරුවට එන්න බැරිවුනේ මොකක් හරි කරදරයක්ද කියලා මං බය උනා.. ගොඩක් රෑ වුනා.. මං හෝල්ට් එක ඇතුලට ගියා.. දූ දීපු කෑම පාර්සලේ මතක් වෙලා මම බෑග් එක ඇරියා.. බෑග් එකේ උඩම රුපියල් දාහක් තිබුනා.. සල්ලි.. ඒ මොකටද..? දරුවා මාව දාලා ගියේ හිතා මතාමද කියලා මහෙ හිත ඇහුවා.. නෑ.. මගේ දරුවො එහෙම නෑ.. මට කෑම එක කන්න හිතේ කැමැත්තක් තිබුනෙ නෑ.. දරුවට මොකක් හරි කරදරයක් ද දන්නෑ..
මං දවස් හතරක් එතැන හිටියා.. මගෙ පුතා ආවෙ නෑ..
ඒත් එක දවසක් මම ඈතට දැක්කා පුතාගෙ කාර් එක එනවා.. මං හොදටම දැක්කා මගෙ පුතා ඉස්සරහ සීට් එකේ ඉන්නවා.. එකපාරටම මගෙ පැත්ත බලලා ඒ කලු වීදුරු වැහුනා..
අන්තිමේ දවසක් පොලීසියෙ මහත්තුරු දෙන්නෙක් ඇවිත් මගෙන් විස්තර ඇහුවා.. මට ඒ වෙනකොට තේරිලා තිබුනෙ පුතාලා මාව ඇත්තටම දාලා ගිහින් නේද කියලා.. ඒ මහත්තුරු විස්තර ඇහුවා මගෙන් දරුවො ගැන. මං කිව්වා මට මතකයක් නෑ කියලා.. මගෙ  දරුවොං ව පොලීසියට ගෙනැල්ලා බනීවිද කියලා මට හිතුනා. දරුවොංට ලැජ්ජ කරනවට මං කැමති වුනේ නෑ..
මට හොදටම අමාරු වෙලා තිබුනෙ.. මට  ඊට කලිං රෑ එක ඩිංගක් ඇහැ පියා ගන්න වුනේ නෑ උස්ම ගන්න අමාරු නිසා..
මහත්තුරු මාව ඉස්පිරිතාලෙට ගෙනිච්චා.. ඊට පස්සෙ කෙලිංම නිවාසෙකට.. ඒකෙ මං වගේ අම්මලා තාත්තලා ගොඩක් හිටියා..
අපි හැමෝටම තිබුනෙ එකම වගේ කථා..
දරුවො ගොඩක් පුංචි කාලෙ දරුවොංගෙ තාත්තා නැති වුන නිසා මගේ දෙමව්පියො හරියට බල කෙරුවා තවත් කසාදයක් කර ගන්ට.. එකේක මිනිස්සු කරකැවුනා එකේක යෝජනා අරගෙන.. මගෙං ඒ කිසි එකකට ඉඩක් ලැබුන්නෑ.. මං මගෙ දරුවො තුං දෙනා ලොකු කර ගෙන හොදට ඉගැන්නුවා කිසි කෙනෙක්ගෙං කථා අහන්නැතුව..
අපිට මෙහෙ දාන හම්බවෙනවා.. තරුන දරුවො ඇවිත් අපේ වැඩ කරලා කෑම දීලා අපිත් එක්ක සිංදු කියලත් යනවා.. අපි හැමෝටම අපේ දරුවො මතක් වෙලා ඇස් වලට කදුළු එනවා ඒ වෙලාවට..
එක දවසක් විස්ස විද්දියාලෙක දරුවො කාන්ඩයක් ආවා.. අනේ මගෙ ලොකු මුනුබුරත් එතන ඉන්නවද කියලා මං බැලුවා.. එයත් විස්ස විද්දියාලෙ ගියානෙ.. ඒත් ඒ දරුවා හිටියෙ නෑ.. විස්ස විද්දියාල මහ ගොඩක් තියෙනවනෙ ..
අක්කා කවදාවත් ලංකාවට එන්නෑ කිව්ව කියලා පුතා කිව්වට,
දෝනි කවදා හරි ආවොත් මාව අරං යයි කියලා මං බලාගෙන ඉන්නවා.. නිමාලි දූගෙ වුනත් තරහ නැති වුන දාක පුතාට කියාවි මාව ආපහු ගේන්න කියලා.. මං බලං ඉන්නවා පුතාලා එනකං..
(සමාප්තයි.)
********************************
මෙය මා සත්‍ය සිදුවීමක් ඇසුරින් ලියන ලද්දක් නොවේ..
නමුත් මෙවැනි සිදුවීම් අද සමාජයේ සිදු නොවනවා ද නොවේ..
                                    ~මුදී~
*********************************

Wednesday, November 23, 2016

සාත්තරය

""--සාත්තරය--""
මගේ ජීවිතයේ මා බොහෝ ප්‍රිය කරන ක්‍රියාවන් දෙකක් ඇත..
එකක්, උස ස්ථානයක සිට අවට බලා හිඳීමයි..
අනෙක සයුර දෙස බලා හිඳීමයි.
මේ ක්‍රියාවන් දෙක කොතෙක් කලත් මට ඇති වන්නේ නැත. මා ඒ  මොහොතෙහි කරමින් සිටියේ  ඉහතින් පැවසූ දෙවන ක්‍රියාවයි..
වෙලාව සවස පහ ට පමන විය. වේලාව ගත වූවා දැනූනේත් නැත. මා එහි ගොස් පැයකටත් ආසන්න කාලයක් ගත වී තිබින..
මා ඉඳගෙන සිටි සිමෙන්ති බංකුව මතින් නැගිට්ටේ බෝඩිමට යාමට තවත් සවස් නොවිය යුතු වූ බැවිනි..
"නෝනා සාත්තරයක් අහමුද..."
සාරියක් පටලවා ගත් සාත්තර කියන කාන්තාවක්, තම බුලත් කහට බැදි දත් දෙපල පෙන්නා සිනාසෙමින් මා ඉදිරිපිට මතු විය..
"නෑ එපා!!  "
මා මදක් දැඩිව පවසමින් එතැනින් යන්නට හැරුනෙමි..
"නෝනට නෝනගෙ ඉරනං කාරයව හම්බ වෙන්නෙ ඇක්සිඩන්ට් එකකින් තමා.. ළගදිම ඒ මාතියව හම්බවෙනවා... "
"මම ඔය සාත්තර විස්වාස කරන කෙනෙක් නෙමෙයි. "
මා නැවතත් දැඩි ස්වරයෙන් කියා එතැනින් පිටත් වීමි.
ඇය මොනවාදෝ මුමුනනු මට යාන්තමට ඇසිනි..
මා එදා බෝඩිමට ගියේ මගේ හිත සමග වාදයක යෙදිමිනි...
'ඇක්සිඩන්ට් එකකින්..? ඔහුව මට මුණ ගැසෙන්නට වෙන ක්‍රමයක් තිබුනේම නැත්ද.. ඒ කියන්නෙ මම ළඟදි ඇක්සිඩන්ට් වෙයිද.. '
'ඕවා බොරු. ඔයා කොහොමත් විස්වාස කරන්නැහැනෙ ඔය සාත්තර. '
'ඒත්.. ඒ මනුස්සයා කොහොමද දන්නෙ මට තාම ඉරණම්කාරයා හම්බවෙලා නෑ කියලා.. '
'හයියෝ...  ඔයා තනියම බීච් එනවා යනවා ඔය ගෑනි ගොඩක් දවස් බලන්න ඉන්න ඇති.. '
'ඔව් එහෙම වෙන්න ඇති. මම තවත් අහන්න නැවතුනෙ නෑනෙ කොහොමත්. '
එය සාත්තරයට මා අල්ලා ගැනීමට ඈ යෙදූ සූත්තරයක් විය හැකි බව මා මගේ සිතට පැවසුවෙමි.
'ඒ කොහොම උනත් මම පරිස්සම් වෙලා ඉන්න ඕනේ පාරෙ යද්දි එද්දි..' මගේ සිත කීවේය.
මා සාත්තර විශ්වාස නොකරන්නියක් වුව ද ඒ මොහොතෙහි ඈ කියූ අනාවැකිය ඉන්පසු මගේ මනසේ දෝංකාර දෙන්නට පටන් ගත්තේ ය..
ඇක්සිඩන්ට් එකක්..!
                           ***
"හිමාලි, ඉක්මන් කරන්න.. පරක්කු වෙනවෝ.. "
මා පසු දින උදෑසන වැඩට යාමට සූදානම් වන විට කෞෂල්‍යා කෑ ගැසුවා ය. ඈ මා සමග බෝඩිමේ නතර වී සිටිනා මිතුරිය යි..
"ඔයා යන්න කෞෂි.. මං එන්නම්.."
ඇය වැඩට යන්නේ ස්කූටියේ යි. මගේ සිත පෙර දින සිට වෙලා ගෙන තිබූ සියුම් බිය මුසු හැඟීම නිසා මගේ සිත ඇය සමග ස්කූටියේ ගමනට බියක් දැක්වී ය..
"මොකක්?? වෙනදා කොච්චර පරක්කු වුනත් ඉන්න කියලා කෑ ගහන කෙල්ල අද මට යන්නලු..
ආා... මොකද්ද හොරේ... "
"හොරයක් නැහැ අනේ.. මට තව පරක්කු වෙන නිසයි කිව්වෙ.. ඔයා යන්න.. "
ඇත්තෙන්ම ඒ වන විට මා සිතා මතා ප්‍රමාද වෙමින් සිටියෙමි.. මගේ සිත තුල පවතින බිය කෞෂි ට පැවසිය යුතු නැත. මිත්‍යා විශ්වාස, සාත්තර වැනි දෑ පිළිබඳ විශ්වාස නොකරමින් කථා කරන මා, කොහේවත් ගැහැණියක් පැවසූ සාත්තරයකට බියවී වාහන වල ගමන් නොකිරීමට සිතා සිටින බව ඇය දැන ගතහොත් මට සිනා වනු නොඅනුමානය. එම නිසා මා ප්‍රමාද වන බව කියා කෞෂිව පිටත් කලෙමි.
මා ඒ වන විටත් මගේ සිතට දොස් නගමින් සිටියෙමි..
'මහ ලොකුවට කියන්නෙ නම් සාත්තර විශ්වාස කරන්නෙ නෑ කියලා..ඒත් මේ ඒ ගෑනි හදලා කියපු බොරු කථාවට රැවටිලා දගලනවා. ලැජ්ජා නැද්ද හිමාලි.. ඉරනම්කාරයා හම්බවේවි.. ඒත් ඔය ඇක්සිඩ්න්ට් කථාව ඔය තරම් විශ්වාස කරන්න එපා.'
මගේ සිතට බනිමින්ම මා අතුරු පාර දිගේ මහ පාරට ඇවිද ගියෙමි.
මා බස් හෝල්ට් එකෙන් බසයකට ගොඩ වීමි.. මා කවදත් බසයේ ඉදිරිපසම ගමන් ගන්නේ බැසීමට පහසු නිසා සහ යාමට ඇත්තේ කෙටි දුරක් වූ නිසාය. නමුත් මෙදින සෙනඟ මද වශයෙන් සිටියත් මා කෙමෙන් කෙමෙන් බසයේ මැදට වන්නට ගොස් සිට ගත්තෙමි..
'ඔව්. ඇක්සිඩන්ට් එකක් වුනොත් වැඩි ඩැමේජ් එක ඉස්සරහට හරි පිටිපස්සට හරිනෙ.. '
මගේ සිත මට කියුවේ ය.
මගේ මෙම බියගුලු හැසිරීම මා විසින් ප්‍රතික්ශේප කරත්දීම මගේ සිත එය ගනනකට නොගත්තේ ය.
'ඇක්සිඩන්ට් කථාව ඇත්ත වුනත් නැති වුනත් පරිස්සම් වෙන එක හොදයිනෙ.'
මගේ සිත මා සමග එකට එක කීවේ ය.
අනතුරකින් තොරව මා ඔෆිස් එකට යන විට මගේ ගත දහඩියෙන් පෙගී තිබුනේ මේ අනවශ්‍ය බිය නිසා විය යුතුය..
ලන්ච් ටයිම් එකේ්දි සරෝජි හා නිලූ තොරතෝංචියක් නැතිව කථා කලේ හෙට කම්පැනි එකට පැමිනෙන MD, මිස්ට අබේවික්‍රමගේ ගේ පුතා පිළිබඳවයි..
 
"දන්නවද ඒ සර් රුසියා වල ඉගෙන ගත්ත කෙනෙක්ලු.. "
නිලූ කීවාය..
"හිමාලි මේ මොකද මේ අද සද්දයක් නැත්තෙ..? "
එසේ පවසමින් ඔවුන් දෙදෙනා මා දෙසට හැරුනි..
"ඔයාලා සාත්තර විශ්වාස කරනවද.."
මා සිතමින් සිටි සාත්තර සිදුවීම ඔවුන්ට නොකියා එසේ විමසුවෙමි.. ඇතැමුන් ඒවා පවසන්නේ බාහිර ස්වරූපයෙන් ලබා ගත් තොරතුරු අනුව බව නිලූගේ හා සරෝජි ගේ අදහස් විය. එසේ වූ සාත්තර සිදුවීම් ඊලගට ඔවුන්ගේ මාතෘකාව විය.. ඒවායින් බහුතරයක් සත්‍ය නොවූ සාත්තරයි..
මගේ සිතට ඇතිව තිබූ අනිසි බිය පහ කර ගැනීමට ඔවුන් පැවසූ කථා යොදා නොගැනීම ගැන මගේ සිතට මා නැවත වරක් දොස් නැගුවෙමි...
එදින ඔෆිස් ඇරී මා කහ ඉර මතින් පැමිනියේත් පාර මාරු වීමට ප්‍රමානවත් සෙනඟක් එහි එකතු වන තුරු සිටය..
පසු දින උදෑසන මට කිහිප වරක්ම වැසිකිලි යාමට සිදුවිය..
"හිමා.. ඔයා මොකක් හරි ප්‍රශ්නෙකද ඉන්නෙ කියන්න.. ඔයා දැන් කීප දවසක ඉදලා හරි අමුතුයි.. "
අවසානයේ කෞෂි විමසුවා ය..
"නැහෑ.. ඒ ඔයාට පේන හැටි.. කෞෂි, මට අද වැඩට යන්න බැහැ වගේ.. "
මා එදින නිවාඩුවක් ගෙන බෝඩිමට වී සිටියෙමි..
                         ***
පසු දිනත් මා කෞෂිව පිටත් කර යවා තනිවම වැඩට ගියෙමි..
පාරේ ගමන් ගන්නා අතර එක් වරම නිල් පැහැති කාරයක් මා අසල නැවැත්වීය...
"හිමාලි..? "
රථයේ අයිතිකරු වූ කඩවසම් තරුණයා මා දෙස සිනාසෙමින් බලා සිටියේය.
"වරුණ.. අනේ මට අදුන ගන්න බැරි වුනා.. අවුරුදු අටකට විතර පස්සෙ නේද.. ඔයා ඕලෙවල් වලින් අපේ ස්කූල් එකෙන් ගියානෙ.. "
මා කීවෙමි..
"කොහෙද වැඩ කරන්නෙ..? " ඔහු විමසුවේය..
"සිහමැක්ස් ලංකා කම්පැනි එකේ.. "
"ආ මේ පාරෙම නේද.. මමත් ඒ පැත්තට තමයි යන්නෙ.. නගින්න.. "
එක් වරම මගේ සිත විසින් මගේ කටට පිළිතුරක් සාදා එය මෙලෙස ඉදිරිපත් කලේය..
"මම මේ හෝල්ට් එකට ඇවිත් ආපහු බෝඩිමට යන ගමන් වරුණ.. පර්ස් එක අමතක වෙලානෙ.. බෝඩිම අතනින් හැරෙන පාරෙ.. "
මද වේලාවක් එතැන කථා කරමින් හිඳ ඔහු ගියේය..
අනවශ්‍ය බොරුවක් ඉදිරිපත් කිරීම ගැන මා නැවතත් මගේ සිතට දොස් කීවෙමි.
මා නැවතත් බස් හෝල්ට් එක වෙත ගොස් බසයෙන් පිටත් වුනෙමි.
පිරිසක් එකතු වන තුරු මා කහ ඉර අසලට වී බලා සිටියෙමි.. මද වේලාවක් ගතවන තුරුම කිසිවෙකුත් පැමිනියේ නැත.. අවසානයේ පාසල් සිසුවියක් එතනට පැමිනියේ ය.
'මේ මොන විකාරයක්ද.. පාර පනින්න මහ සෙනගක් ඕනෙද වෙනදත්! '
මා සිතට දොස් නගමින්ම තවත් එතන නොහිද එම සිසුවිය සමග පාර මාරු වීමට සිතා ගත්තෙමි..
මද වේලාවක් බලා හිඳ, අප දෙදෙනා කහ ඉර ඔස්සේ මෙහා පසට ගමන් ගනිමින් සිටියෙමු.. වෑන් රථයක් වේගයෙන් එනු මා දුටුවෙමි.. මා එක් අතක් ඔසවා එයට නවතින්නට සංඥා කරමින්ම ගමන් ගතිමි.. වෑන් රථය වේගය අඩු කරන බවක් පෙනෙන්නට නොවීය. වේගයෙන් ආ වාහනය හා අප අතර දුර මීටරයක් පමන විය.. මට කිසිවක් සිතා ගත නොහැකි විය.. මා කෑ ගසාගෙන අනෙක් පසට හැකි වේගයෙන් දිව ගියෙමි..
"ඩක්!!! "
කෑ ගැසීම්, වාහන හෝන් හඩ... මට ඇසෙත්දීම මා දෑස පියාගෙන බිමක ඉදගෙන සිටින බව මට දැනුනි.. මා සෙමින් දෑස් ඇරියෙමි.. නැත. මට අනතුරක් වී නැත. මා දුව ආ වේගයට හා ඇතිවූ බියට පාරෙන් අනෙක් පස එතැනම ඉදගෙන සිටී..
'එතකොට අර නංගි..? '
මිනිසුන් කෑගසමින් වටවී සිටින තැනට මා දිව ගියෙමි. 
'දෙවියනේ.. '
මා සමග සිටි සිසුවිය ලේ විලක් මැද වැටී සිටී..
"වෑන් කාරයා පැන ගන්නවා.. නම්බර් එක බලාගනිල්ලා.. "
යමෙකු කෑ ගසනු මට යාන්තමට ඇසිනි.. 'ඉස්පිරිතාලෙට ගෙනියමු..'  අයෙක් දැරිය ඔසවා ගත්තේය.. මාත් ඇය අසලින්ම සිටියෙමි.. ඒ මොහොතෙහි එතැන නැවත්වූ කාර් එකකට ඔවුන් දැරිය නැංවූවේය.. එයට ගොඩ වීමට කිසිවෙකුත් ඉදිරිපත් වන ආකාරයක් නැත. අසල කිසිදු කාන්තාවක් සිටියේත් නැත. මා දෙවරක් නොසිතා වාහනයට  ගොඩවීමි. දැරියගේ හිස මගේ උකුල මත තබා ගතිමි..
"මෙන්න මිස් වෑන් එකේ නම්බර් එක.. "
අයෙක් මට කොල කැබැල්ලක් දිගු කලේය. මා එය අතට ගත්තෙමි. මගේ ශරීරයේ වූ වෙව්ලීම මට පාලනය කර ගත නොහැකි විය.. මාද කම්පනයට පත් වී සිටියෙමි.
"අනේ අයියෙ ඉක්මනට යමු.. "
මා රථයේ අයිතිකරු වූ තරුණයාට කීවෙමි...
"හරි නංගි. දැක්කද වෑන් කාරයා මාරු වෙච්ච ලස්සන.. "
ඔහු වෑන් කරුට බනිමින් ගමන් කලේය..
මම මගේ සිතට බනිමින් ගමන් කලෙමි.. මා මෑතකදී කියවූ පොතක් පිළිබඳ එක් වරම මගේ මතකය අවදි විය.. 'සිතේ බලය..' පොතේ සදහන් වූයේ යටි සිතට පනිවිඩ දීම මගින් අපේ බලාපොරොත්තු ඉටු කරගෙන සාර්ථක වන අයුරුය.. අපේ සිත යමක් ගැන දැඩිව නිතර නිතර සිතන විට කොයි ආකාරයෙන් හෝ එය සිදු වන බව එහි සටහන්ව තිබිනි.. මගේ සිතෙන් සිදුව ඇත්තේත් එය නොවේද.. අවසානයේ ඇක්සිඩන්ට් එකක් මට දෑසින්ම දැක ගැනීමට සිදුවිය.
අප හොස්පිටල් එකට ඇයව ඇතුලු කලෙමු.. පොලීසියට කට උත්තර ලබා දීමටත් මට සිදුවිය.. මා වෑන් කරුගේ වාහන අංකයත් පොලීසියට ලබා දුන්නෙමි..
"මේ ඔයා අදුනන නංගි කෙනෙක්ද? "
අපව රැගෙන ආ තරුණයා මගෙන් විමසීය..
"නැහැ. "
මා කෙටිව පිළිතුරු දුන්නෙමි.. ඇත්තෙන්ම මගේ සිතේ වූ කම්පනය එලෙසම විය..
"ඔයාගෙ ඉන සයිස් කීයද.. "
ඔහු විමසීය..
ඒ පැනයෙන් මා තිගැස්සී ගියෙමි. මේ කුමක්ද.. මගේ ඉන සයිස් එකෙන් ඔහුට ඇති ඵලය කුමක් ද? මා රවා බැලූ අයුරු තේරුම් ගිය නිසාදෝ ඔහු වහා එය පැහැදිලි කලේය..
"නැහැ.. ඔයාට ඔහොම යන්න බැරි නිසා.. මම ස්කට් එකක් අරන් එන්නම්.. කියන්න.. "
ඔහු මගේ ස්කට් එක දක්වමින් එසේ කියන මොහොතේ මා එදෙස බැලුවෙමි. සිසුවියගේ හිසෙන් ගලා ගිය ලේ වලින් මගේ සුදු පැහැති ටයිඩ්ස්කටය තෙමී තිබුනේය. කල යුතු වෙනත් යමක් ගැන සිතා ගත නොහැකි විය..
"32.. " මා කියුවෙමි.
ඔහු එසැනකින් පිටත් විය..
මින් පෙර නොදුටු පිරිමියකුගෙන් ඇදුමක් ගෙන්වා ගැනීමට සිදුවීම තවත් මා අපහසුවට පත් කලේය..
'ගෙනාවට පස්සෙ සල්ලි දෙනවා.. '
මා සිතා ගත්තෙමි..
මා ඇද සිටි අකාරයේ ස්කට් එකක් ඔහු ගෙනැවිත් දුන්නේය.. ඔහු මුදල් එපා යැයි කීම මට මහත් අපහසුතාවයක් සිතට ඇති කලේය..  ඒ මොහොතේ ඇත්තෙන්ම මට ඇඩුනි..
"මේක.. ගන්න.. ප්..ලී..ස්.. "
මා හඩමින්ම කීවෙමි.
මාගේ දෙනෙත් වලින් කදුළු වැටෙනු දැක ඔහු එය අතට ගත්තේය.. මේ මොහොත වනතෙක් සිදුවූ සියලු සිදුවීම් වලින් මා දරා සිටි පීඩනය නැති වන තෙක්ම මා හැඩුවෙමි.. ඔහු මා අසලට වී සිටියේ ය..
අවසානයේ මා වොශ් රූම් වෙත ගොස් එය ඇදගෙන නැවත එන තෙක්ම ඔහු එහි විය..
මගෙන් විස්තර අසා දැනගත් ඔහු මා ඔෆිස් එකට ඇරලවන්නට ඉදිරිපත් විය..
ඔෆිස් එක ඉදිරිපිට මා බැස ඔහුට ස්තූති කරන්නට හැරෙන විටම ඔහුත් එයින් බැස ආවේ ය.. ඔහුත් මා සමගම ඇතුලට එන්නට සූදානම් වන විට මා ඔහු දෙස විශ්මයෙන් බැලුවෙමි..
"මම මිස්ට අබේවික්‍රම මීට් වෙන්න යන්නෙ.. "
එසේ කියමින් සිනා සී ඔහු මගේ ප්‍රශ්නාර්ථ බැල්මට පිලිතුරු දුන්නේ ය..
ඔහුත් මමත් ඔෆිස් එකට ඇතුල් වන විටම නිලූ විවර කර ගත් මුවින් අපදෙස බලා සිටියා ය..
මගේ වැලමිටෙන් අල්ලා ඈ මාව ඇය දෙසට ඇද ගත්තාය..
"ඔයා කොහොමද සංඛ සර් ව අදුනන්නෙ..? ඔයා ඊයෙ ඔෆිස් ආවෙත් නෑනෙ.. ? "
නිලූ විමසුවා ය..
"සංඛ සර්? "
මා විශ්මයෙන් ඇය දෙස බලා සිටියෙමි..
"ඔව්. මේ අපේ බොස්ගෙ පුතා.. ඊයෙ තමයි ඔෆිස් ආවෙ..
                     ***
කම්පැනි එක තුලදී, රාජකාරි කටයුතු වලදී ඔහු සමග සමීපව කටයුතු කිරීම ට මට අවස්ථාව ලැබුනේය..
මෙම සිදුවීමෙන් මාස පහකට පමන පසු සංඛ මට විවාහ යෝජනාවක් ගෙන ආවේය.. ඔහු පිළිබඳ මගේ සිතේ අකමැත්තක් නොවීය.. දෙපසෙහිම ආශිර්වාද මැද්දේ අප විවාහ වූයෙමු.
සාත්තරකාරියගේ සාත්තර කීමෙන් පසු මේ වන තෙක් ගෙවුනු කාලයේ බීච් යාමට මට අවස්ථාවක් නුවූයේ ය.. විවේක දිනක මා සංඛ සමග එහි ගියෙමි.. එදා මා තනිව ඉදගෙන සිටි සිමෙන්ති බංකුව මත අද අප දෙදෙනාම ඉදගෙන සිටිමු..
මා මේ වන තෙක් සාත්තරය පිළිබඳ සිදුවීම සංඛට කියා තිබුනේ නැත.. මා එම කථාව ඔහුට කීවෙමි. සංඛ සිනාසෙමින් එය අසා සිටියේය.. එය ඔහුට කියා අවසන් වනවාත් සමගම සාත්තරකාරිය අප ඉදිරියේ විය..
"මාතියා, සාත්තරයක් අහමු... "
සංඛ මට ඇසින් ඉඟි කර සාත්තරකාරියට මෙසේ පැවසුවේය..
"හා කියමු බලන්න.. "
"මාත්තියගෙයි නෝනෙගෙයි කෂාදෙ කරන්න වැඩිහියන්ගෙං අකමැත්තක් තියෙනවා නේද.. මාත්තේලට තනි කැමැත්තට තමා යන්න වෙනවා.. "
ඇගේ බොරු සාත්තරය ඇය අප ඉදිරියේ දිග හරිමින් සිටී.. අප විවාහ වී වසරක් ගතවී තිබිනි. ඉන් පෙර කාලයේ වුවත් වැඩිහිටියන්ගෙන් ද කිසිදු අකමැත්තක් අපට යොමු වී තිබුනේත් නැත..
සංඛ සිනාසෙමින් මා දෙස බැලුවේ ය..
ඇගේ වචන විශ්වාස කිරීමෙන් කාලයකට ඉහතදී මගේ ඒ හැසීරීම මතක් වීමෙන් මටම ලැජ්ජාවක් ඇතිවිය..
(සමාප්තයි.)
"""""""""""""""""""""""""""""""'''''''''"""""""""""
මගේ අනෙකුත් කථාංගයන් සදහා පිවිසෙන්න මගේ බ්ලොග් අඩවිය වෙතට.. --->
https://muthugepanhida.blogspot.com

Thursday, November 17, 2016

දෛවය

'''-දෛවය-'''
"සදනි.. කෝ මේකි.. ගිහිං අර වලං ටික හෝදලා දාපං.. හැමදාම හවස් වෙද්දි මං උබට ඇගිල්ලෙන් ඇනලා කියන්න ඕනෙද.."
මා ගමන් ගනිමින් සිටියේ නිශාන්ත මාමලාගේ නිවසටයි. තම කුඩම්මාගේ කෑ ගැසීමෙන් පසු දොලොස් හැවිරිදි සදනි වලං මැස්ස වෙත ගමන් ගත්තේත් මා කඩුල්ලෙන් එම නිවස වෙත පියමැන්නේත් එකවිටයි.
"අක්කෙ නිශාන්ත මාමා ඉන්නවද.."
මා විමසුවෙමි.
නෑකමින් නිශාන්ත මට මාමා වූවත් අප අතර පැවතුනේ අවුරුදු දහයක පමන පරතරයකි.. නෑකම නිසා මා ඔහුට මාමා කියූවත් ඔහුගේ බිරිදට අක්කා කියන්නට පුරුදුව සිටියෙමි..  
"දැනුයි හේනට ගියෙ නංගියෙ.. මොකක් හරි පනිවිඩයක්ද.. "
"ඔව් අක්කෙ.. අප්පච්චි කියන්නෙයි කිව්වා මාමට ඒ පැත්තෙ ඇවිත් යන්න කියන්න කියලා.. "
"සදනි , අක්කට තේකක් හදන්න දුවේ..
එන්න නංගියෙ ගෙට.."
මොහොතකට පෙර සදනිට වැරෙන් බනිමින් සිටි මල්කාන්ති අක්කා මා ඉදිරිපිට සදනිට කරුණාවන්ත වූ අයුරු මා විශ්මයෙන් බලා සිටියෙමි.
"නෑ අක්කෙ.. මම යන්නම්.. මේ කුරුණෑගල ගිහින් එන ගමන්. අද එක්සෑම් එකක් තිබුනා. හැන්දැවෙන්න කලින් නා ගන්න යන්න ඕනෙ. යන්නම් අක්කෙ.. සදනි මං යනවා හොදේ.. "
මා දෙවැටින් නිවස දෙසට ගමන් ගත්තෙමි..
මල්කාන්ති අක්කා නිශාන්ත මාමා  ගේ දෙවන බිරිදයි. පළමු විවාහයේ බිරිද කුසුම් ය. මා ඇයට මිතුරියක් සහෝදරියක් තරමට සමීප වූයේ ඇය අපට දහම් පාසලේ ඉගැන්වීම් කරන කාලයේ සිටයි..
කුසුම් අක්කා ට සදනිව ලැබෙන්නට  සිටින කාලයේ සිදුවීමක් මට සදනි දකින සෑම මොහොතකම සිහියට නැගේ..
දිනක් කුසුම් අක්කාත් මමත් ඔයේ නාගෙන පැමිනෙන විට තදින් වැසි වැටෙන්නට පටන් ගත්තේය.. අප නුග ගස සෙවනට වීමු.. කුසුම් අක්කා තුවාය තම බදවටා ඔතා ගත්තා ය..
"ඒ මොකෝ.."
මා විමසුවෙමි..
"පැටියට සීතල වෙන නිසා.."
මෙලොව එළිය නුදුටු බිළිඳිය ගැන සෙනෙහසකින් ඇය කියන්නීය..
ඒ උනුසුම... ඒ ආදරය... මෙලොව එලිය දුටු දිනයේ සිට මවගෙන් ලබන්නට තරම් සදනි වාසනාවන්ත නුවූයේ ය.. සදනිව ලෝකයට බිහි කර කුසුම් අක්කා සදහටම තම දෑස් පියාගෙන තිබුනේ ය..
ඒ සිදුවීමෙන් වසරක් ගෙවෙන්නටත් පෙර නිශාන්ත මාමා මල්කාන්ති අක්කා නිවසට කැන්දාගෙන ආවේ ය..
ඔහු එසේ ඉක්මන් වූයේ සදනි ට මවක් නොමැති අඩුව දැනුන නිසාද නැතහොත් ඔහුට බි‍රිදක් නොමැති අඩුව දැනුන නිසාද යන්න මා නොදනිමි..
කෙසේ නමුත් ඉන්පසු සදනි පුංචි සින්ඩරෙල්ලා කෙනෙකු තරමට අසරණ විය.. කුඩම්මාගේ මෙන්ම කුඩා සොයුරන් දෙදෙනාගේත් සොයුරියගේත් වැඩපල ඈ අද ඉටු කරයි..
එදා කුසුම් අක්කා දහම් පාසලේ මට ඉගැන්වූවා ය.. අද සදනිගේ  පන්තියට උගන්වන්නේ මා ය..
දිනක් සදනි මල්ලීත් නංගීත් දහම් පාසලට ඇරලවා ආපසු යන්නට හැරෙනු මා දුටුවෙමි..
"සදනි.. පුතේ මොකෝ අද දහම් පාසල් එන්නෙ නැත්ද.. "
මා ඇසුවෙමි.
"චූටි මල්ලිගෙ වැඩ තනියම කර ගන්න බෑනෙ අක්කි පුංචි අම්මට.. මට කිව්වා මල්ලිවයි නංගිවයි ඇරලවලා ඉක්මන්ට එන්න කියලා.."
පුංචි අම්මා කුමක් කියුවත් ඇය අහිතකින් තොරව සියල්ල ඉටු කරයි..
අම්මා හිටියනම්.. දෑස් කදුලෙන් පිරෙමින් එසේ සිතෙන්නේ ඇයට නොවේ ඇයව එසේ දකින මටයි..
මා නිවසට ගොඩ වූයේ සදනි පිළිබද අතීත මතක වල මගේ මතකය සැරිසරත්දීමයි..
"දෝණි මොකද ලොකු කල්පනාවක..  විභාගෙ අමාරු වුනාද.. ඔන්න ඔයාට ලියුමක් ආවා. මේසෙ උඩ තියා ඇති මං."
අම්මා කියුවා ය..
මා කාමරයට ගොස් ලියුම විවෘත කලෙමි..
"අම්මේ!!! මට පත්වීමක් හම්බවෙලා අනුරාධපුර සෙන්ට්‍රල් එකට. "
මා ප්‍රීතියෙන් කෑ ගැසුවෙමි.
නමුත් අම්මාගේ මුහුනෙහි එතරම් සතුටක් තිබුනේ නැත..
"අනුරාධපුර..  සුළුපටු දුරක්ද දෝණි. ඕක හදා ගන්න බැරිවෙයිද.. කුරුණෑගල ට වත් නං කමක් නෑ. "
"අනේ අම්මෙ.. අවුරුදු පහක් හයක්  විතරනෙ. ඊට පස්සෙ හදා ගන්න පුලුවනි.. මගේ නං අකමැත්තක් නෑ.."
අප්පච්චීත් අම්මා මෙන් මදක් අකමැත්තෙන් කථා කලේය.. පවුලේ එකම දරුවා වූ බැවින් මා ඈතකට යාම ඔවුන් දෙදෙනාටම දරා ගත නොහැක.
එදින රාත්‍රියේත් මගේ මනසේ පැවතුනේ සදනි පිළිබඳ සිතුවිලියි.. සදනි ඉගෙනීමට කුඩා කල පටන්ම දක්ශ ය. ශිෂ්‍යත්වය ඉහලින්ම සමත් වුවත් ඇයව කුරුණෑගල පාසලකට ඇතුලත් කිරීමට වත් ශාන්ත  මාමාට වුවමනාවක් නොවූයේ ය. ඔහු සෑම විටම මල්කාන්ති අක්කා විසින් හසුරවන රූකඩයක් ලෙස මා දුටුවෙමි.
නිශාන්ත.. කෙල්ල ඉහලින් විභාගෙ පාස් වෙලා තියෙන එකේ හොද ඉස්කෝලෙකට දාන්න ඕනෙ නේද.. අපේ දෝනි ගියපු ඉස්කෝලෙට දාගත්තැහැකිනෙ ඉහලම ලකුනු හින්දා.."
වරක් අප්පච්චි  නිශාන්ත  මාමාට කියනු මා අසා සිටියෙමි..
"කොයි ඉස්කෝලෙත් කරන්නෙ උගන්නන එකනෙ මාමෙ.. ඔන්න ඔහෙ ගමේ ඉස්කෝලෙටම ගියපුවාවෙ."
ඔහු එයින් මඟ හැරියේ එසේය..
මා අම්මා සමග මේ පිළිබඳ කථා කල මොහොතේ අම්මා මෙසේ කියුවා ය..
"කෙල්ලගෙ ඉගෙන ගන්න එක කඩාකප්පල් වෙනවා ඔය පුංචි අම්මට බැල මෙහෙවරකං කර කර ඉදලා. අරකිටත් මොකද වදනවා විතරයි ඒකිගෙ පොඩි එවුං ටික බලා කියා ගන්නෙ වැඩ කරවගන්නෙ මේ පොඩි කෙල්ලගෙන්.. "
"අම්මෙ.. මට මෙහෙම දෙයක් හිතුනා.. මම සදනිව එහෙ අරන් යන්නද.. හොඳට උගන්නන්න පුලුවං මම ළග තියාගෙන.. "
"දෝනිට පිස්සුද.. අම්මත් නැති දුක් විදින දරුවා තමයි.. එහෙමයි කියලා.. ගෑනු දරුවෙක්ගෙ වගකීමක් දරන්න පුලුවංද දෝණිට තනියම.. අනික ඒ මිනිස්සු එවාවිද ලමයව.. ඔන්න ඔය අදහස අත්තැරලා දාන්න.. "
"මං නිශාන්ත  මාමව කොහොම හරි කැමති කරව ගන්නම්කො.. කුසුම් අක්කා වෙනුවෙන් මට ඒක කරන්න ඕනෙ අම්මෙ.."
මා පැවසූ පමනින් නිශාන්ත මාමා එතරම්  කැමැත්ත දැක්වූයේ නැත.
"අනේ මන්දා අපෙ මල්කාන්ති කැමති වෙයිද කියලා.. එයාට කෙල්ලව නැතුව බෑනෙ."
අනේ එයාගෙ ආදරේ.. වැඩකරව ගන්න තමයි කෙල්ලව නැතුව බැරි ඇත්තෙ.
මා මුවට පැමිනි දේ නොකීවෙමි.
"සදනිගෙ වියදම් ඔක්කොමත් මම බලා ගන්නම් මාමෙ.. "
"අනේ මන්දා.. "
අවසානයේ දී මාමාගේ කැමැත්ත ලබා ගැනීමට මට හැකි විය..
සදනිගේ අනාගතය පිළිබඳ දහසකුත් සුබ සිහින මගේ සිතේ පිරෙන්නට පටන් ගත්තේය..
කෙල්ලට හොදට උගන්නනවා මම.. හොද තැනකට ගේනවා.. කුසුම් අක්කත් ඉන්න තැනක ඉදන් සතුටු වෙයි..
සදනිව කුරුණෑගල ගෙන ගොස් අලුත් පාසලට අවශ්‍ය පොත්, සපත්තු, බෑගය ඒ සියල්ල ගෙන දුන්නෙමි.. යුනිෆෝම් දෙකක්ද මසා දුන්නෙමි..
අනුරාධපුර යන දිනට පෙර දිනයේම සදනිව අපේ ගෙදරම නවත්වා ගත්තේ උදෑසනින්ම පිටත් විය යුතු නිසායි..
මගේ මෙන්ම සදනිගේ සිතත් අලුත් බලාපොරොත්තු වලින් පිරී ඇති බව මා දනිමි.
අප පාන්දර බසයෙන් කුරුණෑගල ට පිටත් වූයෙමු.. කුරුණෑගල බස්නැවතුමෙන් අනුරාධපුර බසයකට ගොඩ වී සිටියෙමු..
තව පැය බාගෙකින් පිටත් වෙනවා..
කන්ඩක්ටර් කියනු මට ඇසුනි..
මද වේලාවක් එසේ සිටින විට ඉදිරි දොරෙන් මතුවී අවට බලන මුහුනක් හදිසියේ මගේ නෙත ගැටුනි..
නිශාන්ත  මාමා!!
අපව පාන්දර බසයට ගොඩ කරන විට වත් නොපැමිනුන මිනිසා මෙතැන. ඔහු අපව දැක අප දෙසට ආවේය..
"මාමෙ.. මාමා මෙහෙ? "
මා විමතියෙන් ප්‍රශ්න කලෙමි..
"කෙල්ලව යවලා බැහැ දුවේ.. රට රාජ්ජ අල්ලන ඕන නෑ මේකි.  ඔන්න ඔහෙ එහෙ පුලුවං හැටියකට ඉගෙන ගත්තාවෙ.. "
අස්වීම් සහතිකයත් ගත් පසු.. සියල්ල සූදානම් වී තිබුන පසුත් නැවත සදනිව ගමට යැවීමට..?
"මාමෙ.. මේ හැම දේම ලෑස්ති කරාට පස්සෙත් සදනිව ආපහු ගමට ගෙනියන්න.. මාමෙ කුසුම් අක්ක හීන දැක්කෙත් දරුවව හොදට උගන්නන්න.. එදා ඉදන් අක්කා ළගම හිටපු මම ඒක හොදට දන්නවා.. සදනි ගොඩක් දක්ශ දරුවෙක්. මාමට තේරෙන්නැද්ද ඒ ගෙදර අර පොඩි දරුවො රංචුවකගෙ වැඩ කරන ගමන් සදනිට එයාගෙ ඉගෙන ගන්න වැඩ හරියට කර ගන්න බෑ කියලා.. "
හිතට ආ ආවේගයෙන්ම මම පැහැදිලි කලෙමි. බසයේ වූ කිහිප දෙනාත් අප දෙස හැරි හැරී බලනු මා දුටුවෙමි.
ඔහු කිසිවක් තේරුම් ගත්තේ නැත. සදනිව ආපසු ගෙන යාමට අවශ්‍ය බවම කියා සිටියේ ය.  මේ කථා කරන්නේ නිශාන්ත  මාමා නොව මල්කාන්‍ති බව මා දනිමි.
මටත් බල කල යුතු සීමාවක් ඇති බව මා තේරුම් ගතිමි.. දරුවා ඉල්ලන්නේ ඇගේ පියායි. මට බලෙන් සදනිව රැගෙන යා නොහැකිය.
සදනිගේ කුඩා දෑස් වල තිබුනු දීප්තිය නිවී කුඩා කදුලු බිදු සිරවී තිබෙනු මා හොදින් දුටුවෙමි. ඇගේ සිත තුල වූ අනාගත සිහින එලෙස බිදී ගියේය..
අවසානයේ මාමා සදනිවත් රැගෙන බසයෙන් බැස ගියේය.. එදෙස බලා සිටි මගේ දෙනෙත් වලින් කදුලු කැට කඩා වැටෙනු මට දැනිනි..
"දුක් වෙන්න එපා දුවේ.. ඒක ඒ ළමයගෙ දෛවය වෙන්න ඇති.. "
අප පිටිපස අසුනේ සිට සිදුවූ සියල්ල දෙස බලා සිටි මැදිවියේ මිනිසා කියනු මට ඇසිනි..
*****************************
(සමාප්තයි.)

Sunday, November 13, 2016

රංවලව්වේ දිනපොත.

දඩාං!!

ජනෙල් පියන් හඩ නඟමින් වැසෙන්නේ තද වර්ෂාව සමගින් ඇති වූ සුළං පහරවල් නිසා ය.. පැරණි තාලයේ විශාල නිවසක ඉදිරි දොරින් මා ඇතුල් වී සිටින්නෙමි. වැසිකඩ පිරි සීතල සුළඟ, ගතෙහි හිරිගඩු නැංවීමට සමත් ය. ඉදිරි දොරෙන් ඇතුල් වූ විටම පෙනෙන්නේ පිටුපස දොරයි. දොර ජනෙල් සියල්ල ඇර දමා තිබුනත් පෙනෙන්නට කිසිවෙකුත් නැත. 
මගේ දෙපා ඉබේටම ඇදී ගියේ පසෙක තිබූ දැවමය මේසය වෙතටයි. එහි වූ ලාච්චුව විවර කිරීමට මට අවශ්‍ය බව හැඟිනි. එහෙත් හේතුව මම නොදනිමි. මා එය ඇරීමට උත්සහ කරන විටම.. මහා බියකරු යමක් සිදුවන්නට යන බව මට දැනුනි.. ප්‍රපාතයක සිට පහතට ඇද වැටෙන්නාක් මෙන් හැඟීමක්! මා කෑ ගසමි. නමුත් කිසිදු හඩක් පිට නොවෙයි.. එවිටම මා ඒ සිහිනයෙන් අවදි වේ..

"අක්කී.., ආයෙමත් අර හීනෙම දැක්කද.. "

මා මෙසේ බිය වී අවදි වීම නංගී ට අරුමයක් නොවේ.. මේ හීනය මා දැක ඇති වාර ගනන කොපමන දැයි මට කිව හැකි නොවේ.. එහි ආරම්භය මට වයස දොලහේ සිට..නැහැ.. ඊටත් පෙර සිට විය යුතුයි.. 
පාඩම් කරමින් සිටි නංගී වතුර වීදුරුවක් මවෙතට ගෙන ආවා ය. මා එය එක හුස්මට බී අවසන් කලෙමි.

"අපේ සීඅයිඩී මස්සිනාව මැරි කරාට පස්සෙ වත් ඔය මනස්ගාත ඔයාගෙ හිතෙන් යාවි.."

ඇය සිනාසෙමින් කියන්නීය.
මෙය මනස්ගාතයක්ද.. නැත. ඇත්තටම එවැනි නිවසක් ඇත්ද.. සොයා යාමටවත් ඒ කොහේ දැයි මා දන්නේ නැත.. හැමදාමත් පෙනෙන එකම සිදුවීමෙහි තේරුම කුමක්ද..

සීඅයිඩී මස්සිනා.. මගේ මුවට තුනී සිනාවක් නැගේ. නංගී කියන්නේ දිනුක ගැනයි. අම්මාත් අප්පච්චීත් ගෙන ආ යෝජනා අතරින් මගේ සිත ගත්තේ ඔහුයි.. ඔහු වෘත්තියෙන් සීඅයිඩී නිලධාරියෙකි. අප ඇසුරු කල සුලු මොහොතට ඔහු මට අමතක කල නොහැකි චරිතයක් විය.. 

"දෝණි මොකෝ කියන්නෙ ඒ දරුවා ගැන.. "

දිනුක ඇතුලු ඔහුගේ නෑ පිරිස අප නිවසින් පිටව ගිය පසු අප්පච්චී මගෙන් විමසුවේ ය.

"මම අකමැති නෑ අප්පච්චි.."

මගේ කැමැත්ත මා එලෙස වචන කලෙමි.. 
ඊට දිනකට පසු දිනුක ඔහුගේ කැමැත්ත කියා එවා තිබුනේ ය. අපේ විවාහය ස්ථිර වූයෙ එසේය. 

තෙමසකට පසු අපේ විවාහය දෙපසෙහිම ආශිර්වාදය මැද සිදු කරන ලදී.. අප සතියක් පමණ දිනුකගේ මහ ගෙදර නැවතී සිටියේ අප පදිංචියට යාමට නියමිතව සිටි  මාදත්ත නිවසේ පිලිසකර කිරීම් කටයුතු නිසා යි. මාදත්ත නිවස මා අසා තිබුනා මිස දැක තිබුනේ නැත. එය දිනුකට ඔහුගේ නැන්දාගෙන් හිමි වූවකි. 

දිනුක කුඩා කල පටන් ඔවුන්ගේ නිවසේ සේවය කල යසෝමා, අප එහි යාමට දින තුනකට පෙර මාදත්ත නිවසට ගියාය. මෙතෙක් කලක් මාදත්ත නිවස බලාකියා ගත්තේ යසෝමා ගේ සැමියා නන්දන ය. 
ඇත්තෙන්ම මට මෙහෙකරුවන්ගේ අවශ්‍යතාවක් තිබුනේ නැත. නමුත් යසෝමාගේ දැඩි ඕනෑකම නිසා දිනුකගේ මව ඇයව අප සමග යැවීමට එකඟ වූවාය.. 

"පුංචි නෝනෙට පුලුවනෑ ඒ සා ගේක තනියෙං ඉන්ට. මං යන්නං ලොකු නෝනෙ පුංචි මහත්තෙයලත් එක්ක.. මහ දුරක්‍ යැ මෙහ ඉදං මාදත්තට. "

බඩු පැටවූ ලොරිය උදෑසනින්ම පිටත් කර දිනුකත් මම ත් සවස පිටත් වීමු. 

"පුතා රජකාරිවලට දවස් දෙක තුන පිට ගියාම දූ තනියෙං එහෙ ඉන්ට ඕනෙ නෑ..යසෝමා එක්ක මෙහෙ එන්ට. "

දිනුකගේ අම්මා අප පිටත් වන විට කියුවා ය.
සිහින් පොද වැස්සක් කඩා හැලෙත්දී ම අප මාදත්තට පිටත් වුනෙමු. කිලෝමීටර හතරක් පමන දුරක් ගෙවා දැමූ පසු අප එහි ලගා වුනෙමු. ක්ෂණයකින්ම සිහින් හිරි පොදය මහ වැස්සක් බවට පරිවර්ථනය විය. පොල් වත්තක් කෙලවර වූ තැන අපගේ නව නිවස පිහිටා තිබිනි.. 

අප බැසීමට සූදානම් වන විටම කුඩය ඉසලාගෙන නන්දන අප දෙසට ආවේය. 

"නිලූ ඔයා ගෙට යන්න. මම කා(ර්) එක ගැරෙජ් එකට දාලා එන්නම්. "
දිනුක කියුවේ ය.

"එන්ට පුංචි නෝනෙ.. "
නන්දන ඔහු අතවූ විශාල කුඩයෙන් මා නිවසට රැගෙන ගියේ ය.

"රංවලව්ව" 

නන්දන සමග නිවස වෙත යන විට මා එය කියුවා නොව කියවුනාය..

"හහ්හා.. පුංචි මහත්තෙයා මේ ගේ අතීතෙ ගැන නෝනෙට කියලා මයෙ හිතේ.. ඉස්සර මේක රංවලව්ව තමා අපි දැං මාදත්ත ගෙදර කියලා  කිව්වට.. "

නිවස දකින ඇසිල්ලකින්ම මට එසේ කියවීම ගැන මා පුදුමයට පත් වීමි. මා දන්නා රංවලව්වක් නැත. දිනුක මට මේ නිවස පිළිබද වැඩිදුර විස්තරයක් කියා නැත. 

"නෝනෙ ගෙට යන්ට. අපේ යසෝ ඇති කුස්සියේ.. "

ඔහු එසේ කියා දිනුකව රැගෙන ඒම සදහා කුඩය රැගෙන පිටව ගියේය..

මා ඉදිරි දොරින් ඇතුල් වූයෙමි.. දෙවියනේ! මා නිතර සිහිනෙන් දකින ඒ සිදුවීමම සත්‍ය ලෙස මගේ දෑස් ඉදිරියේ එලෙසින්ම.. ඒ මේසය.. සිහිනෙන් මා විවර කිරීමට උත්සහ කරන ලාච්චුවම.. 
මා ලාච්චුව දෙසට පියවර තැබුවෙමි.. සිහිනෙන් මා මෙය විවර කරන්නට උත්සහ කරන සෑම මොහොතකම බියකරු ලෙස මා ප්‍රපාතයකට වැටේ. කුමක් සිදු වූවත් කමක් නැත. 
එසේ සිතමින් මා ලාච්චුව ඇරීමට උත්සහ කලෙමි. එය මේසයටම තදවී ඇත.

"මොකෝ ආපු ගමන් මේස ලාච්චු ඇරලා බලන්න හිතුනෙ.."

පිටුපසින් ඇසුනු දිනුකගේ හඩින් මා තිගැස්සුනෙමි.. 

මා කිසිවක් නොකීවෙමි.

"චුට්ටක් ඉන්නකො.. ඔයාට මේක අරින්න ඔච්චරම වුවමනා නම්.."

දිනුක සිනාසෙමින් පැමින ලාච්චුව ඇරීමට උත්සහ කලේය.. වෙර යොදා උත්සහ කලේය. පලක් වූයේ නැත.

"ම්ම්..ලොක් කරලත් නෑඈ.. මං හිතන්නෙ මේක අවුරුදු විසි පහකින් විතර ඇරලා නැති නිසා.."

"අවුරුදු විසි පහක්! "

මා විශ්මයෙන් එය ප්‍රතිරාවය කලෙමි. 

"ඔව්. ප්‍රියන්ති නැන්දා මැරි කරලා ඕස්ට්‍රේලියා ගියා ට පස්සෙ කවුරුත් මෙහෙ හිටියෙ නැහැනෙ. අවුරුදු විසි පහක් විතර වෙනවා දැන්. 

මහන්සියි බබා. හෙට වැඩට යන්නත් තියෙනවනෙ.. මම වොශ් එකක් අරන් එන්නම්. "

දිනුක කීවේ ය. ඉන්පසු ඔහු මා දෙස අමුතු අයුරකින් බලා සිටිනු දුටුවෙමි. 
මා සිටියේ කිසිවක් සිතා ගත නොහැකිවයි. නිවසට ඇතුලු වූ මොහොතේ සිට මගේ වෙනස දිනුකට දැනෙන්නට ඇත..

"නිලූ, ඔයාට මොකක් හරි අසනීපයක්ද.. නැත්නම්..ඔයා මේ මාදත්ත ගෙදරට කැමති නැත්ද.."

"නැහැ දිනූක.. එහෙම දෙයක් නෙවෙයි.. ඔයා වොශ් දාලා එන්නකො මට ටිකක් කථා කරන්න ඕනෙ.. දෙයක් කියන්න තියෙනවා ඔයාට.. "

සිහිනය පිළිබඳ ඔහු කුමන මතයක් දරාවිදැයි මට සිතා ගත නොහැක. නමුත් ඒ පිළිබඳව ඔහුට පැවසීමට මා සිතා ගත්තෙමි.
දිනුක මා පැවසූ සියල්ල සාවදානව අසා සිටියේ ය. 

"අනේ මන්දා නිලූ.. බැලූ බැල්මට මේක පුනුරුප්පත්ති කථාවක් කියලා හිතුනට එහෙම හිතන්න බැරි කාරණාවකුත් තියෙනවා.. 
මොකද මම අහලා තියෙන අතීතෙ ඉදලා මේ ගෙදර ඉදලා තියෙන්නෙ ආච්චියි ප්‍රියන්ති නැන්දයි විතරයි. ආච්චි නැති වුනේ අවුරුදු පහකට විතර කලින්. නැන්දා ඕස්ට්‍රේලියා ගියදා ඉදලා ආච්චි හිටියෙ අපේ ගෙදර. තාත්තයි නැන්දයි ආච්චියි විතරයි ඊට කලිනුත් මෙහෙ පදිංචි වෙලා හිටියෙ. 
සීයා නැතිවුනාට පස්සෙ තමයි ආච්චි, තාත්තයි නැන්දයි එක්ක මෙහෙට ඇවිත් තියෙන්නෙත්. මං දන්න තරමින් මෙහෙ වෙන කවුරුත් ඉදලත් නෑ..

හරි අපි බලමු කොහොම හරි අර ලාච්චුව ඇර ගන්න. මෙච්චර අවුරුදු ගානක් ඔයාගෙ හිතේ සැකේ වෙලා තිබුන දේ බලමු. "

කොපමන කුතුහලයක් තිබුනද ඇත්තෙන්ම මේ රාත්‍රියේ මට එය බැලීමට අවශ්‍ය නොවේ.. සිහිනයේ දී මා එය විවෘත කරන්නට උත්සහ කරන සෑම මොහොතකම එහි  බියකරු යමක් සිදු වේ..

"දිනුක.. අපි හෙට උදේට ඒක බලමුද. "

මා බියවී සිටින බව ඔහු තේරුම් ගෙන තිබුනේ ය..

"ම්ම්.. හරි. අපි හෙට බලමු එහෙනම්. දැන් නිදා ගන්නකො ඕවා හිතන්නැතුව."

නමුත් මැදියම් රැය පසු වන තුරුත් නින්ද මා අසලට නොපැමිනියේ ය. නිවසට ගොඩ වැදුනු මොහොතේ සිට මගේ සිත වෙලා ගෙන තිබුනු ආගන්තුක බිය එසේම විය.

පාන්දරින්ම සාලය දෙසින් ඇසුන 'ටක ටකස්' හඩ මා අවදි කලේ ය. මා එදෙසට යනවිට දිනුක, මේස ලාච්චුව ගැලවීමට උත්සහ කරමින් සිටී.. නන්දන අතේ ආයුධ කීපයක් ඇත.

"නන්දන, මේ පරණ මේසෙ කුස්සියට දාන්න. අපි ගෙනාපු මේසෙ මෙතනට  ගන්න. "

ඒ අතරතුර දිනුක කීවේ ය.
දිනුකගේ උත්සහයෙන් පසු ඔහුට  ලාච්චුව විවර කර ගැනීමට හැකි විය. 
පුස් ගඳ හමන ලාච්චුවෙහි පරණ  සගරා කිහිපයක් සහ ඩයරියක්  තිබිනි.. දිනුක ඩයරිය අතට ගෙන පෙරලා බැලුවේ ය.. මාත් එයට එබී සිටියෙමි.. 

ආශා ජයවර්ධන.

එහි මුල් පිටෙහි අයිතිකරුගේ නම එසේ සටහන්ව තිබිනි..

"ආශා..? 

නන්දන දන්නවද ආශා කියලා කෙනෙක්ව..මෙහෙ හිටපු කෙනෙක්ද.. "

මා පසෙක සිටි නන්දනගෙන් විමසුවෙමි..
නන්දන නැහැයි කියනවාත් සමගම දිනුක මෙසේ කීවේය.

"ප්‍රියන්ති නැන්දා  රට ගියාට පස්සෙයි නන්දන මෙහෙට ආවෙ. නන්දන හිටපු කාලෙ ඇතුලත කවුරුත් මෙහෙ හිටියෙ නැහැ නිලූ..

හ්ම්.හරිනෙ. ඔන්න දැන් ඔයාට  බයවෙන්න දෙයක් නැහැ.. "

දිනුක පිටත් වූ පසු මා එම දිනපොත  කියවීම සදහා අතට ගත්තෙමි.. 
තෙත මිශ්‍ර පුස් ගද ඒ තුලින් මගේ නැහැ පුඩු කරා ඇදිනි.. 
මා එහි පිටු පුරා නෙත් යැවීමි. එහි දිනපතා සටහන් දමා තිබුනේ නැත. අතරින් පතර වූ එම සටහන් මා කියවීමට පටන් ගත්තෙමි.

*********************************

1989 January 03 

මම අද මාමට කෝල් එකක් දීලා ඇහුවා මල්ලිව නතර කරපු ළමා නිවාසෙ ගැන. නිවුඩුව පන්සල පාරෙ.. හරියට ඇඩ්‍රස් එකක් එයාටත් මතක නෑ.. හෙට අනිද්දම ගිහින් හොයලා බලන්න ඕනෙ.

1989 February 05

නිවුඩුව ලමා නිවාසෙ හොයාගෙන ගියා මම. ඒත් මගදිම මට ආරංචි වුනා දැන් ඒ ලමා නිවාසෙ නෑ කියලා.. එතකොට මගෙ මල්ලි!! මම එයාව අන්තිමට දකිනකොට  යන්තම් වයස අටයි මල්ලිට.
මම ලමා නිවාසෙ තිබුන තැනටම ගියා. ගරා වැටිලා.. මේක වහලා ගොඩක් කල් කියලා හිතුනා දැක්ක හැටියෙම.. විස්තරයක් දැන ගන්න කවුරුත් හිටියෙත් නෑ. 
ඊට එහා පැත්තෙ තිබුන ගෙදරට මම  ගියෙ මොකක් හරි විස්තරයක් හොයා ගන්න. සීයා කෙනෙක් හිටියා.. දිගට හරහට මම ගැන ප්‍රශ්න ඇහුවට පස්සෙ තමයි ඒ මනුස්සයා මට ලමා නිවාසෙ ගැන විස්තර කිව්වෙ. 
ඒ මැඩම් ලමයි මරා ගත්තා කියලා තමයි ඒ පැත්තෙ මිනිස්සු කියනවා කියන්නෙ.. ඒ අපභ්‍රංශෙ මට තේරුනේ නෑ.. ඒ මනුස්සයා හරියට තේරුං කරන්න තරම් විස්තරයකුත් දන්නෙ නැහැ කියලා මට කථාවෙන් තේරුනෙ. 
අල්විස් මැඩම් කියලයි කිව්වෙ. වැඩිපුරම මේකෙ ඉදලා තියෙන්නෙ මල්ලි වගේ ආබාධිත ලමයි තමයි. සීයගෙ වචන වලින් කිව්වොත් දවසක් මැඩම් ලමයි ටිකත් අරන් අන්තරස්දාන වෙලා.. 
දෙවියනේ මට මගේ මල්ලිව හොයා ගන්න බැරි වෙයිද..

1989 February 06 

"ආබාධිත ලමයි ඉන්න අල්විස් මැඩම්ගෙ ලමා නිවාසය .." 

මේ පොඩි විස්තරෙන් මම කොහොමද ඒක හොයා ගන්නෙ. අනික ඒ අල්විස් මැඩම් ලමයින්ව කොහෙටද අරන් යන්න ඇත්තෙ.  

1989 February  06 

මට පුලුවන් විදිහට හොයන්න පටන් ගන්න ඕනෙ. හවස මට අයිඩියා එක ආවෙ. අපේ බැජ් එකේ හිටපු යාලුවන්ගෙන් උදව්වක් ගන්න පුලුවන්. දිස්ත්‍රික්ක විසි පහේම නැතත් ලංකාවෙ එහෙ මෙහෙ විසිරිලානෙ උන්. සමහරු මැරි කරලා.. සමහරු ජොබ් කරනවා.. මම දැන්ම පටන් ගන්නවා ලියුම් ලියන්න.. 

1989 February  09

මම දන්න විස්තරේ කියලා එහෙම ලමා නිවාසයක් ඒ පැති වල තියේද හොයලා බලන්න කියලා ලියුම් දැම්මා. උන් උදව් නොකර ඉන්නෑ. මම මගේ මල්ලිව කොහොම හරි හොයා ගන්න ඕනෙ..

1989 February  20 

එකක් දෙකක් ඇර, දාපු ලියුම් ඔක්කොටම රිප්ලයි ආවා. වැඩක් නැහැ.. කිසිම තොරතුරක් නෑ.. හැමෝම අහලා තිබුනෙ මොකද මම ලමා නිවාසයක් ගැන හොයන්නෙ කියලා..

1989 February  23

ආවා! සම්පත් ගෙන් ලියුමක් ආවා අද.. උඩවල පැත්තෙ ලමා නිවාසයක් තියෙනවලු.. ඒකෙ පාලිකාව අල්විස් කියලා කෙනෙක්.. ඒත් මේ මම හොයන අල්විස්මද කියලා දන්නෙ නැහැ.. මම හෙටම එහෙ යනවා..

1989 February  24

මම ඉස්සෙල්ලම ගියෙ සම්පත්ව හම්බවෙන්න. මම එයාට මගේ කථාව කිව්වා.. මට අර සීයා කියපු කථාත් එක්ක නිවාසෙ ලමයි ටිකත් අරන් මැඩම් ආපු සිද්ධිත් එක්ක සැකයක් හිතෙනව කියලයි එයා කිව්වෙ.. සම්පත් කිව්වා මේ ගැන එයාගෙ අයියගෙන් තොරතුරු අහමු කියලා.
සම්පත්ගෙ අයියා උපුල්. උඩවල  පොලීසියෙ ඕඅයිසී. අනික මේ මගේ මල්ලි හිටපු ලමා නිවාසෙද කියලත් හරියටම දන්නෙ නැහැනෙ. 
අපි උපුල් අයියට විස්තරේ කිව්වා.. මම හීනෙකින් වත් නොහිතපු කථාවක් අයියා කිව්වෙ. 

නිර්නාමිකව ඔත්තු ආවලු මේ ආබාධිත දරුවො වයසින් වැඩුනාම ඒ අයගෙ වකුගඩු වගේ අවයව විකුනන දේවල් මේකෙ වෙනවා කියලා. ඒත් ඔප්පු කරන්න ශාක්ෂි මුකුත් නැති නිසා අයියලට ඒ ගැන පියවරක් ගන්න බැරි වෙලා තාම. ඒ ලමා නිවාසෙ ඇමති කෙනෙක්ගෙ කියලත් කිව්වා. ඒක ඇහුවහම මම එතනම ඉන්ද වුනා.. දෙවියනේ මගේ මල්ලි! 
මම අද ඉන්නෙ මෙහෙ. සම්පත්ලගෙ මහ ගෙදර. නවතින්න හිතාගෙන නෙමේ මම ආවෙ. ඒත් මල්ලි ගැන මුකුත්ම නොදැන යන්න හිත දෙන්නෑ මට. සම්පත්ලමයි ඉන්න කියලා බල කලේ මට.. මේ අම්මා තාත්තා හරි හොදයි. 
සම්පත් කිව්වා හෙට මට නිවාසෙට යන්න එපා කියලා. එයා ගිහින් මගේ මල්ලි එයාගෙ නෑ කෙනෙක් විදිහට කියලා හොයලා බලන්නම් කියලා..

1989 February  25

මම උන්ගෙන් මේකට පලිය ගන්නවා මගෙ මල්ලිට කරපු අපරාදෙට.. ඇයි දෙවියනේ මම මගෙ මල්ලි ගැන හොයන්න මේ තරම් පරක්කු වුනේ.. නැතිවෙන්න තරම් මල්ලිට තිබුන අසනීපෙ මොකද්ද.. 

ඉන්පසු දිනපොතෙහි තිබූ සටහන්, දින පිලිබදව නොසලකා එක දිගට ලියා තිබිනි.

මම එදා ලමා නිවාසෙට ගියේ සම්පත්ලා එපා කියද්දිමයි. එතන වෙනදේ මට හොයා ගන්න ඕන වුනා.. මගේ මල්ලිට මොකද වුනේ කියලා මට හොයා ගන්න ඕන වුනා.. මම මැඩම් හම්බ වෙලා දහසක් බොරු කියලා එතන රස්සාව ගත්තා. මල්ලි ගැන මුකුත්ම කිව්වෙ නැහැ. ඩයරිය සම්පත් ලග තියලයි ගියේ. ඒ මිනිස්සුන්ට කිසිම සැකයක් නොහිතෙන්න මම පරිස්සම් වුනා..

මල්ලි වගේ ආබාධිත ලමයි දකිනකොට මට මල්ලිව මතක් වෙලා කදුලු ආවා.. 

වයසක ගෑනු කෙනෙක් හිටියා ලීලා කියලා. තට්ටයෙක් හිටියා කපිල කියලා.. ඒ ඇරුනම මැඩමුයි මමයි. ඒ ලමයින්ව බලා කියා ගන්න එක තමයි මට භාර වෙලා තිබුනෙ.. 
මේ ළමා නිවාසෙ පාලනය වුනේ නිශ්ශංක රත්නවීර ඇමතිතුමා යටතෙ කියලා මට දැන ගන්න පුලුවන් වුනා. දරුවන්ට හරියට කෑමක් ලැබුනෙ නැහැ.. ඉද හිටක දාන වගේ දේවල් හම්බ වුනා. එදාට තමයි දරුවන්ට හොදට කෑම වේලක් කන්න හම්බ උනෙත්. සමහරු මුදල් ආධාර දුන්නත් ඒවයින් දරුවන්ට නම් මුකුත් හම්බ උනේ නෑ.. මැඩම්ගෙ එකවුන්ට් එකට යන්න ඇති. 
මැඩම් පිටට පෙන්නුවෙ එක විදිහක් ඒත් අපිටත් දරුවන්ටත් තවත් විදිහක්. මම දරුවන්ව හරි ආදරෙන් බලා ගත්තා.. ඔක්කොම වැඩ කලා එයාලගෙ.. 
දරුවො විසි පහක් විතර හිටියෙ. එයාලට නිතර නිතර අසනීප වුනා. ඒත් එයාලා බෙහෙත් ගන්න යන්න එන්න  මට අවස්ථාවක් දුන්නෙම නෑ.. මැඩම් කපිල එක්ක අසනීප වුන දරුවව විතරක් අරන් ගියා. ස්පෙෂල් ඩොක්ට කෙනෙකුට පෙන්නනවා කියලයි කපිල කිව්වෙ.. 
  
නලින්ද කියලා අවුරුදු දහ නමයක දරුවෙක් හිටියා. මන්ද මානසික දරුවෙක්. මගේ මල්ලි හිටියනම් මීට වඩා අවුරුදු කීපයයි වැඩිමල්. මේ දරුවට බෙහෙත් දුන්නා නිතරම. බෙහෙත් දෙන්න භාර වෙලා තිබුනෙ මට.. මන්ද මානසික දරුවකුට මේ තරම් බෙහෙත් මොකටද කියලා මට සැක හිතුනා.. ඒත් කවදාකවත් මම එයාලගෙන් ප්‍රශ්න අහන්න ගියෙ නෑ. ඒත් සැකේටම මම ඒ බෙහෙත් වලින් පෙති පන්නලා සම්පත් ට ගෙනත් දුන්නා ඒවා ගැන හොයලා බලන්න කියලා.. 

මම මෙහෙ ආපු මුල් කාලෙ නම් මම යන එන තැන් ගැන පවා එයාලා හොද කල්පනාවෙන් ඉන්නවා කියලා මට තේරුනා.. ඒත් මම ටිකින් ටික මැඩම්ගෙ විශ්වාසෙ ගොඩ නගා ගත්තා. ප්‍රශ්න අහන්නැතුව වැඩ ටික හරියට කරන නිසා මාව හිතට ඇල්ලුවා එයාට.. 
මට බය වෙන්න එක දෙයයි තිබුනෙ. නිවාසෙට දානෙ ගේන අය අතරෙ මම අදුරන කවුරු හරි ඉදීද කියන එකයි.

මම සම්පත්ට හොයන්න දීපු පෙති වලින් අපිට හෝඩුවාවක් හම්බ වුනා.. වකුගඩුවක් දීපු කෙනෙක් බොන්න ඕන බෙහෙත් ඒවා.. ඒක අහපු ගමන් මාව වෙව්ලුවා.. එතකොට අර දරුවට මොන අපරාධයක් ද ඒ මිනිස්සු කරලා තියෙන්නෙ... 

මේ වෙනකොට සම්පත්, උපුල් අයියට මේ විස්තර හැම එකක්ම කියලා තිබුනෙ. 

ඔය අතරෙ නලින්දට ඔපරේෂන් එකක් කරන්න තියෙනවා කියල මැඩම්ලා ලෑස්ති වුනා. මට කිව්වෙ නලින්දගෙ හාට් ප්‍රොබ්ලම් එකක් තියෙනවා කියලා.. ඉතින් දවසක් එයාලා දරුවව අරගෙන ගියා..

ඔපරේෂන් එක අසාර්ථකයි නලින්ද නැතිවුනා කියලා තමයි කිව්වෙ.. මට හිතා ගන්න බැරි වුනා.. මේ හැමදේම පිටි පස්සෙ නිශ්ශංක ඇමතිතුමා ගෙ හයියක් ඇති කියලා අපිට සැක හිතිලා තිබුනෙ. 
කාලයක් ගෙවුනා.. දවසක් මැඩම් උමේශි ව කොහෙද අරගෙන ගියා.. ඒ දරුවත් මන්ද මානසික දරුවෙක්. මට කට වහගෙන ඉන්න බැරි වුනා. නලින්දට කරලා තියෙන දේ හිතා ගන්න පුලුවන් වුන මට ඒ උන දේ මතක් වෙත්දි තවත් බලන්න ඉන්න බැරි වුනා.. 
මම එදා මැඩම්ගෙන් ඇහුවා උමේශිව ගෙනියන්නෙ කොහෙද කියලා.. මමත් යන්න හැදුවා.. 
ඒ වහල යට වෙන දේවල් නොතේරි ඉන්න මමත් අඳ ගොලු දරුවෙක් නෙමේ කියලා මැඩම්ට තේරෙන්න ඇති. 
එදා හවස මැඩම් මාව එයාගෙ රූම් එකට අඩගහලා මට ලක්ෂෙක චෙක් එකක් දුන්නා. අපි සැක කරපු දැකපු හැමදේම ඇත්ත කියලා මැඩම්ගෙ කථාවෙන් මම දැන ගත්තා.. 
ඒ චෙක් එක ඒ ගෑනිගෙ මූනට විසි කරලා ඇවිත් පොලීසියට මේ හැමදේම කියලා කම්ප්ලේන් කරන්න තරම් මට තරහක් ආවා.. ඒත් සාක්ෂි එක්ක මුන්ව අල්ල ගන්න  මම ඉවසීමෙන් වැඩ කරන්න ඕනෙ කියන දේ නිසා මම බොරු පෙරේතකමක් පෙන්නලා චෙක් එක ගත්තා.. 
ඊට පස්සෙ මට හැම දේම දැන ගන්න පුළුවන් වුනා.. මේවට සම්බන්ධ ඩොක්ට ඩී ආර් අල්මේදා කියලා කෙනෙක්. 
දවසක් හවසක නිශ්ශංක ඇමතිතුමා ආවා නිවාසෙට. පැය ගානක් මැඩම් එක්ක කථා කර කර හිටියා.. මම ඒ මනුස්සයව දැක්කෙ එදාමයි. මහ වනචර මනුස්සයක්. මාව දැකලා එකේක ඒවා කිව්වා.
මැඩම්ට කිව්වා මම මෙහෙ ඉන්න ඕනෙ කෙනෙක් නෙමේ එයා ලග වැඩට එවන්න කියලා.. 

හෙට උදේ එයාගෙ වාහනයක් එවන්නම් කියලා කිව්වා මට එන්න... ඒ කියන දවසෙ තමයි උමේශිව ගෙනියන්නත් මැඩම්ලා ලෑස්ති වෙලා හිටියෙ. ඒත් ගෙනියන තැන මට දැන ගන්න බැරි වුනා... මොකද ඒ දවසෙ මම ඇමති ලඟ වැඩට යන්න ඉන්න නිසා එයාලගෙ ගමන ගැන මට කිව්වෙ නෑ.. 
මැඩම් නම් කැමති වුනේ නෑ මාව යවන්න. ඒත් ඇමතිගෙ ඉල්ලීම එයාට අහක දාන්න බැරි නිසා මාව යවන්න එකඟ වුනා..
එදා හවස මම ටවුන් ගියා එලවලු  ගේන්න කියලා.. මට ඕන වුනේ උපුල් අයියට ඔත්තුව දෙන්න. සම්පත් හම්බවෙලා හැම දේම කිව්වා.. හෙට ගමනෙදි උපුල් අයියලා මැඩම්ලව ෆලෝ කරයි.

1989 May 26

උදේ මැඩම් ගියා කපිලත් එක්ක උමේශිව අරගෙන. මට අද මෙහෙන් පැන ගන්න ඕන වුනා ඇමතියගෙ වාහනේ මාව ගෙනියන්න එන්න කලින්. 
මම ඒ දරුවො දාලා යනවා කියලා හිතෙනකොට මගෙ පපුව පිච්චුනා වගේ වුනා.. ඒත් එයාලව බේර ගන්න මම දැනටමත් ඔත්තුව දීලා තිබුනෙ. උපුල් අයියලා උන්ව කොටු කර ගනී සාක්ෂි එක්කම. 
ලීලා එහෙ මෙහෙ වෙනකන් ඉදලා මම එතනින් පැන ගත්තා. මම සම්පත්ව හම්බවෙන්න ගියා.. සම්පත් කිව්වෙ මම මේ වෙලාවෙ උඩවලින් ඈත ක ඉන්න එක හොදයි කියලා.. 

මම දහ අතේ කල්පනා කලා කොහෙද යන්නෙ කියලා.. මට ප්‍රියන්තිව මතක් උනා.. ස්කූල් කාලෙ මගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ්. මම එහෙ ගිහින් තිබුනා ඒ කාලෙ. මාදත්තෙ. මම උඩවල ස්ටේෂන් එකෙන් ට්‍රේන් එකේ මෙහෙ ආවා.. ප්‍රියන්තිලගෙ ගෙදර මම දැන් ඉන්නෙ.. රංවලව්වෙ.  ප්‍රියන්තිට වත් මම තාම විස්තරේ කිව්වෙ නෑ.. මට දැන් ඕනෙ අර මිනිස්සු පොලීසියට කොටු වුනාද.. මොකද වුනේ කියලා දැන ගන්න.. 

****************************

මට සුසුමක් හෙලුනේ ඉබේටමයි. එතැනින් පසු ආශාගේ දින පොතෙහි කිසිදු සටහනක් නොවූයේ ය. ඉන් පසු කුමක් සිදු වන්නට ඇත්ද.. ඇය දිනපොත ලිවීම නතර කලේ කුමක් නිසාද.. ඒ මිනිසුන්ගෙන් ආශාට අනතුරක් සිදුවූයේ ද.. එසේත් නැතිනම් දැන් ඈ සිටින්නේ කොහේද.. 

එසේ දහසකුත් ප්‍රශ්න මගේ සිතිවිලි මත සැරි සැරුවේ ය.
සවස දිනුක පැමිනි පසු මා එය ඔහුටත් පෙන්විමි. 

"කොහොම උනත් මටත් මේකෙ අවසානෙ දැන ගන්න ඕනෙ.. මම නැන්දට කෝල් එකක් දීලා අහන්නම් ආශා ට මොකද වුනේ කියලා.."

ආශාගේ නම සහිත ඩයරියක් නිවසින් හමු වූ බව පමනක්ම දිනුක නැන්දාට කියා ඇය ගැන විස්තර ඇසුවේ ය.. 

නැන්දා ආශා ගැන කියනු මා ද අසා සිටියෙමි.

"ආශාගෙ අම්මයි තාත්තයි දෙන්නම ඇක්සිඩන්ට් එකකින් නැති වෙලා තියෙන්නෙ එයා පුංචි කාලෙම. ආශාට මල්ලි කෙනෙක් ඉදලා තියෙනවා. එයා මන්ද මානසික දරුවෙක්. අම්මලා නැති වුනාට පස්සෙ දරුවො දෙන්නා ඉදලා තියෙන්නෙ එයාලගෙ මාමා ලඟ.. ඒත් මේ මාමට පවුලත් එක්කම රට යන්න හම්බවෙලා.. ඒ නිසා ආශාගෙ මල්ලිව ලමා නිවාසෙකට බාර දීලා ආශාව අපේ ස්කූල් එකේ හොස්ටල් එකේ නැවැත්තුවා. 

ආශාට වියදම් එව්වා ඒ මාමා. හොදට ඉගෙනගෙන ආශා කැම්පස් එහෙමත් ගියා. අවුරුදු ගානකට පස්සෙ දවසක අපේ ගෙදර ආවා. ටික කාලෙකට නවතින්න පුලුවන්ද ඇහුවා. එයාගෙ ලොකු වෙනසක් මම දැක්කා. ඒත් ඇහුවට මුකුත්ම කිව්වෙ නෑ.. නිතරම කල්පනා කර කර හිටියෙ. මොකක් හරි ප්‍රශ්නෙක එයා හිටියෙ කියලා මට තේරුනා..

ඊට දවස් තුනකට පස්සෙ උඩවල ගිහින් එන්නම් කිව්වා.. 
ඒ ගිය ගමන... එයා අපහු ආවෙ නෑ.. ආශාත් අම්මයි තාත්තයි වගේම ඇක්සිඩන්ට් එකකින් නැතිවෙලා තිබුනා එදා... "

ප්‍රියන්ති නැන්දා දිනපොතක් ගැන දැන සිට නැත.. ඇතැම් විට ආශා විසින් මෙය ලාච්චුවට දැමූ දිනයෙන් පසු කිසිවෙකුත් නැවත එය ගෙන නැතුවා විය හැක.

"දිනුක, මට නම් හොදටම ෂුවර් ආශාගෙ ජීවිතේ නැති කරපු එක අර ඇමතිගෙ වැඩක්. නැත්නම් මැඩම් කියන කෙනා කියලා කරවපු එකක්.."

"නිලූ, අපි මේ වීකෙන්ඩ් එකේ උඩවල යමු. අර ඕඅයිසී සර් ගෙන් විස්තර දැන ගන්න පුළුවන් වෙයි. "

සෙනසුරාදා උදෑසනම දිනුකත් මමත්  උඩවල බලා පිටත් වීමු. අප පලමුවෙන්ම ගියේ උඩවල පොලිස් ස්ථානයටයි.. 

"මීට අවුරුදු විසි හතකට විතර කලින් මෙහෙ උපුල් කියලා ඕඅයිසී මහත්තයෙක් හිටියා.. එයා ගැන විස්තරයක් දැන ගන්න පුලුවන්ද.."

දිනුක විමසුවේ ය.. 

"උපුල්.. "
පොලිස් නිලධාරියා මදක් කල්පනා කර එවැනි කෙනෙකු නොදන්නා බව පැවසුවේය.. ඔහු තවත් නිලධාරීන් දෙදෙනෙකුගෙන් ද විමසුවේය..

"ඒ සර්ගෙ මහ ගෙවල් මෙහෙ තමයි.. "

මා ඔවුන්ට පැවසූයෙමි.

"ආ ඔය කියන්නෙ ඕඅයිසී තිලකරත්න ගැන වෙන්න ඕනෙ. සර් නම් දැන් රිටය(ර්) වෙලා.. "

එතැන සිටි තවත් නිලධාරියෙකු පැවසුවේ ය.. 
අප ඔහුගේ ලිපිනය ඉල්ලා ගතිමු.. මීලගට අප ගියේ ඔහුගේ මහ ගෙදරටයි..

"මිස්ට උපුල්.."

"ඔව්.. ඒත් මම මේ කල්පනා කලේ...  මට ඔය ලමයින්ව දැකලා නම් නෑ.. එන්නකො ඇතුලට.. "

ඔහු විමසිලිමත්ව අප දෙස බලමින් පැවසුවේ ය..
ආශාගේ දිනපොත අප කියවූ තැන සිට අප ආශාගේ විස්තරය ඔහු හමුවේ පැවසුවෙමු. 

ම්ම්.. මගේ රස්සාවටත්  බලපාපු ප්‍රශ්නයක් ඕක.. ට්‍රින්කො වලට මාරුවක් හම්බ උනා ඒ කාලෙම. ඇමතිගෙ නියෝග වලට වුන දෙයක්.. "

"සර්, ආශාගෙ මරණෙ සිද්ද කරලා තියෙන්නෙත් මේ ඇමතිතුමා ද.."

මගේ සිතේ නැගී තිබූ ප්‍රශ්නය මා ඔහුගෙන් කෙලින්ම ඇසුවෙමි.

"ම්හ්.. නැහැ.. ආශාගෙ මරනෙ සිද්ධ වෙනකොටත් මම මෙහෙ.. එදා මගෙ හිතටත් ඔහොම සැකයක් ආවා තමයි.. ඒත් ඒක නිකන් ඇක්සිඩන්ට් එකක් විතරයි. ඒක මට ස්ථීරව කියන්න පුලුවන්. "

"එදා අපි ඔය කියන මැඩම්වයි ඩොක්ට අල්මේදා යි, කපිල ද කොහෙද කියලා මනුස්සයෙක්වයි ඇරෙස්ට් කලා.. ඒත් නිශ්ශංක ඇමතිතුමා ඇප දීලා උන්ව  බේර ගත්තා... මගේ මාරුව ආවෙ ඊට දවස් පහකට පස්සෙ.. "

"එතකොට සර් ඒ ලමා නිවාසෙ තාමත් තියෙනවද..."
දිනුක විමසුවේ ය..

"ඔය සිද්ධියෙන් අවුරුද්දකට පස්සෙ..  මගෙ මතකෙ විදිහට අනූ එකේ.. බෝම්බ සිද්දියක් වෙලා නිශ්ශංක ඇමතිතුමා මැරුනා.. ඔය ලමයි ගොඩක් පොඩි ඇති ඒ කාලෙ. ඒ නිසා මතකයක් නැතුව ඇති. නැත්තං ඒ කාලෙ පත්තරවල නිව්ස් වල හරි හරියට ගියා ඒ සිද්දියත්.

ඇමති මැරුනට පස්සෙ ලමා නිවාසෙ කර ගෙන යන්න විදිහක් නැතුව වහන්න වෙලා.. ලමයි ටික රජයෙ ආබාධිත පාසලකට දැම්මලු.. කොහොම හරි මම මාරුව හදාගෙන ආයෙත් මෙහෙ එද්දි ලමා නිවාසෙ වැහිලා.."

"එතකොට අල්විස් මැඩම්..? "
මා විශ්මයෙන් විමසුවෙමි.. 

"ඒ මනුස්සයා කොහෙ ගියාද කියන්න කවුරුවත් දැනගෙන හිටියෙ නෑ අවුරුදු ගානක් යනකන්.. අපේ මල්ලි සම්පත් මැරි කරේ ඩොක්ට කෙනෙක්ව.. 
ඒ නංගි කාලයක් වැඩ කලේ මහරගම හොස්පිට්ල් එකේ.. දවසක් එහෙ ගිය වෙලාවක මල්ලි දැකලා තියෙනවා ඔය කියන අල්විස් මැඩම්ව.. 
මල්ලිට හැඩරුව මතක තිබුනත් ස්ථීරයක් තිබිලා නෑ ඒ මනුස්සයමයි කියලා.. ඒත් නම හොයලා බැලුවම එයා තමයිලු.. පිලිකා රෝහලේ අවුරුදු කීපයක් විදව විදව ඉදලා මැරිලා ගිහින් කියලා තමයි පස්සෙ ආරංචි වුනේ." 

නීතියේ දඩුවම් වලින් බේරි බේරි හිටියට ස්වභාව ධර්මයේ දඩුවම් වලින් එයාලට බේරෙන්න බැරි වුනා දරුවො.. "

අප ඔහුගෙන් සමුගෙන මාදත්ත බලා පිටත් වීමු.. අපට මතුව තිබූ සියලු ප්‍රශ්න වලට පිළිතුරු ලැබූ බව පෙනෙන්නට තිබුනත්, තවත් එකම එක ප්‍රශ්නයක් මගේ සිතෙහි ඉතිරිව තිබිනි.. යන අතරමගදී මා එය දිනුකට ඉදිරිපත් කලෙමි..

"දිනුක..
ඔයාට හිතෙනවද ආශා ජයවර්ධන මේ ආත්මෙදි  මම වෙන්නැති කියලා.. "

"ම්ම්.. ඒක මට හරියටම කියන්න බැහැ නිලූ.. ඔයා එයාගෙ මේ ආත්මය  කියලා ඔයාට හිතෙනවද.. මම අහන්නෙ මේ සිදුවීම් ඔයාට සමීපයි කියලා හිතෙනවද.. " 
ඔහු මගෙන් විමසුවේ ය..

"නෑ. මට එහෙම හිතෙන්න බලපාපු එකම කාරණය අර හීනෙයි, මම වලව්වෙ නම කිව්ව එකයි විතරයි. ඔයා ඇහුවා වගේ ඒ සිදුවීම් වල හුරු ගතියක් මොනවත් දැනුනෙ නැහැ මට.. "

මට ආශා වෙනුවෙන් යමක් කිරීමට අවශ්‍ය විය.. මා එය දිනුකට පැවසුවෙමි..

"දිනුක.. අපි මාදත්තෙ ගෙදර දානයක් දෙමු.. ආශාගෙ මල්ලි, ආශා .. එයාලා වෙනුවෙන් එහෙම දෙයක් කරන්න කවුරුවත් හිටියෙ නැහැනෙ.. "

අවුරුද්ද අවසානයේ ප්‍රියන්ති නැන්දා නිවාඩුවට ලංකාවට ආ පසුවම උපුල් අංකල් , සම්පත් අංකල් ටත් ආරාධනා කර මාදත්තෙ ගෙදර එසේත් නැතිනම් රංවලව්වේ ආශාත් ඇගේ මල්ලීත් වෙනුවෙන් අපි දානමය පිංකමක් සිදු කලෙමු.. 

--------------------------------------------
(සමාප්තයි.)


Saturday, November 5, 2016

ගොක්කොල

සවස දේශනය අවසන් වී විශ්ව විද්‍යාලයේ සිට මා බෝඩිමට පැමිනෙමින් සිටියෙමි.. ඒ අතර තුර මගේ ජංගම දුරකථනය නාද වන්නට විය..
"හෙලෝ.. අම්මෙ..කියන්න.."
"මුතුමි, පුතේ මම දවල් ඉදලා ඔයාට ගන්න ට්‍රයි කරන්නෙ.."
"අම්මෙ මම ලෙක්චර් එකක හිටියෙ. මේ දැන් බෝඩිමට යන ගමන්.. අම්මේ.. ඇයි අම්මගෙ කටහඩ අමුතු වෙලා.. අම්මා අසනීපෙන්ද.."
"නැහැ පුතේ මේ.. තාත්තට ටිකක් අමාරු වුනා.. පුතාට පුලුවන් නම් ගෙදර ඇවිත් යන්න.. "
මා ඇත්තෙන්ම බියට පත් වුනෙමි. මාස දෙකකට පෙර තාත්තා රෝහල් ගත වී සිටිය ද අම්මා මට ඒ බව පැවසූයේවත් නැත. ඇය මට ඒ බව පැවසූයේ ඉන් සති දෙකකට පසු මා නිවසට ගිය අවස්ථාවේදීයි.. මට ඒ පිළිබඳ නොපැවසීම ගැන එදින මා ඇයට දොස් නැගුවෙමි..
"පුතාගෙ පාඩම් වැඩ ඔක්කොම නවත්තලා දුවගෙන එයි කියලයි නොකිව්වෙ.. අනික ඔයා පොඩි දේටත් මහ කලබලයක් වෙන දරුවනෙ.. "
මෙවර ඇය මට නිවසට එන්නට යැයි තකහනියක්ම පැවසීම මගේ සිතට බියක් ගෙන දුන්නේය..
"අනේ ඇයි අම්මෙ.. තාත්තට.. ගොඩක් අමාරුද.."
"ඔය ඉතින් ඔයා කලබල වෙලානෙ.. මම ලොකු මල්ලිව මඟට එවන්නං. පරිස්සමින් එන්නකො.."
මා කඩිමුඩියෙන් බෝඩිම වෙත දිව්වෙමි. අම්මා මට සඟවන යමක් ඇතැයි මට සිතේ.. මට අදම එන්න කිව්වෙ ඇයි. තාත්තට කරදරයක් වත්ද.. මගේ ගතම වෙව්ව්ලනු දැනේ.. වෙලාව සවස 3.30 පසු වූවා පමනි. හතරට පිටත් වන්නට හැකි වුවහොත් 6.30 පමණ වන විට නිවසට යා ගත හැක. මා අතට අසුවූ ඇදුම් කිහිපයකුත් බෑගයේ දමාගෙන් ඇද සිටි ඇදුමින්ම පිටත් වුනෙමි.
"අංජලී, අපේ තාත්තට සනීප නැහැලු.. මම ගෙදර යනවා හොදේ.. "
"මුතූ ඔයා ගොඩක් බයවෙලා වගේ.. තාත්තට ගොඩක් අමාරුලුද.."
"අම්මා වැඩි විස්තරයක් කිව්වෙ නැහැ අංජු.. මට එන්න කියලා කිව්වා.."
"ඔයා තනියම යන්න එපා.. මමත් එන්නම්.."
අංජලී කියුවා ය.
මගේ කටහඩෙහි තිබූ වෙව්ලීමත් ඇයට දැනුනු නිසාත්, යම් කිසිවක් සිදුවී ඇත්නම් කෙසේවත් එය දරා ගත නොහැකි වූ මා පිළිබඳව දන්නා නිසාත් අංජලී මා සමග පැමිනීමට සූදානම් විය.
ඇය එනතෙක් සිටියහොත් මට තවත් ප්‍රමාද වෙතැයි සිතුන නිසා මා ඇගෙන් සමුගෙන බස් නැවතුම වෙත පැමිණියෙමි.
"හොදයි. එහෙනම් ඔයා ගිහින් මට කෝල් එකක් දෙන්න හොදේ.."
අවසානයේ අංජලී මට තනිව යාමට අකමැත්තෙන් හෝ අවසර දුන්නාය.
බසයේ ගමන් ගත් පැය දෙකහමාර තුල මගේ ඔලුව විකාර සිතුවිලි වලින් පිරී යන්නට විය..  කුඩා සිදුවීමක් වුවද මට දරා ගත නොහැකි බව නිවසේ සැවොම දන්නා කරුනකි. ඔවුන් මේ මොහොතේ මට කුමක් හෝ සඟවන බව නම් පැහැදිලිය.. මා ලොකු මල්ලීට ඇමතුමක් ගන්නට සිතා නැවතත් එම අදහස අත් හැර ගත්තෙමි. නැත. ඔහුත් කිසිවක් කියන එකක් නැත.
මා ගමට පැමිනෙන විට මද අදුරක් පරිසරය වෙලා ගනිමින් පැවතින. හන්දියේ සිට නිවසට මීටර් දෙසීයක් පමන ඇත. වෙනදා ටවුමෙහි ඇති තීවීල් පොකුර අද දකින්නට නැත. ටවුම පාලුවට ගොස් ඇති සෙයකි. මා ලොකු මල්ලීට ඇමතුමක් ගන්නට සිතන විටම ඔහුගෙන් ඇමතුමක් මගේ දුරකථනයෙහි සටහන් විය..
"අක්කෙ ඔයා කොහෙද ඉන්නෙ.."
"මල්ලි,  මම ටවුන් එකේ. මේ බැස්සා විතරයි. තීවිලර් එකක් වත් නැහැනෙ අද.."
"අක්කෙ ඔයා ඔහොමම ඉන්න.  මම එන්නම්.."
තවත් යමක් කීමට ඉඩ නොතියා ඔහු ඇමතුම විසන්ධි කලේය..
මල්ලී එනතුරු සෙමින් ඉදිරියට යාමට මා සිතා ගත්තෙමි.
මොහොතකින් මට පිටුපසින් තීවිලරය හඩ ඇසුනි.. ගොක් අතු හරහට බැඳ ගත් ත්‍රීවිලරය මා පසුකර ගියේය.. ඒ පසුපසින් ගමන් ගත් මෝටර් බයිසිකලයේ වූ අයෙකු මත සුදු කොඩි මිටි විය..
මට තවත් අඩියකුත් ඉදිරියට යා ගත නොහැකි විය..
ගො..ක්..අ..තු..
ම..ළ..ගෙ..ද..ර..ක්.. ?
මගේ ශරීරයේ වෙව්ලුම මටම දරා ගත නොහැක.. මගේ දෑසින් කදුළු ගලත්දීම මට කෑ ගැසිනි..
ඒ මොහොතේම මට පිටුපසින් හඩක් ඇසුනි..
"මුතූ.."
මා පසුපස හැරී බැලුවෙමි..
"මධූ ඔයා.. ?"
මධුනි.. ඇයව දැකීම ඒ මොහොතේ මට වචනයෙන් කියා ගත නොහැකි අස්වැසිල්ලක් විය..
"අනේ.. මධූ කාගෙද මධූ මළගෙදර.."
"මළගෙදරක්? මම දන්නෙ නැහැනෙ.. "
ඇය විශ්මයෙන් විමසුවාය..
"දැන් ගොක් කොලයි සුදු කොඩි වගේකුයි අරන් වාහන දෙකක් ගියා.. "
"නැහැ මම දන්නැහැ මුතූ..
ඒක නෙමේ මොකෝ මේ ඇදිලා ගිහිල්ලා.. බෝඩිමේ කෑම හරි නැත්ද.. "
ඇය සැහැල්ලුවෙන් විමසන ප්‍රශ්න වලට පිළිතුරු දීමට මගේ සිත සැහැල්ලු නැත..
"මධූ, අපේ අම්මා කෝල් එකක් දුන්නා තාත්තට සනීප නැහැ කියලා.. අනේ තාත්තට ගොඩක් අමාරුද කියන්න.."
"ආ.. සරත් අංකල් ඔන්න අපේ දිහා ආවා හවස. අසනීපයක් නම් පේන්න තිබුනෙ නැහැ.. "
මගේ ඇගට ලේ පොදක් ඉනුවේ එවිටයි..
"ඒත් අම්මා කිව්වෙ අසනීපයි කියලා.."
මා තවත් ඒ පිළිබඳ සිතන්නට නොවෙහෙසුනෙමි. තාත්තාට කරදරයක් නැතිනම් එච්චරය. මා මෙතෙක් වෙලා බියගෙන දඟලා ඇත්තේ බොරුවටයි.. මා සැනසුම් සුසුමක් පිට කලෙමි.
"ම්ම්.. ඒක නෙමේ මොකෝ මේ සුදු සාරියක් ඇදලා.. පන්සල්වත් ගියාද.. ඒත් තනියම.."
මා විමසුවෙමි.
"ඔයා බයවුනා නේද.. හිහී..
මොකෝ මම එනකොට කෑ ගගහා හිටියෙ.. "
ඇය මගෙන් ප්‍රශ්න කලාය..
"නැහැ අනේ.. අම්මා කලබල වෙලා කෝල් එක දුන්නෙ තාත්තට සනීප නැහැ කියලා.. මම බයවෙලා මේ දුවගෙන ආවෙ.. ඒ අස්සෙ අර ගොක් කොල ගෙනියනවා දැක්කම මට තවත් බය හිතුනා.."
බොහෝ කලකින් මුන ගැසුනු නිසා මධූටත් මටත් කථා කිරීමට බොහෝ දේ තිබිනි. අප කථා කරමින්ම පැමිනියෙමු.. මධූ පෙර පාසල් අවධියේ සිට මගේ මිතුරියයි. ඒ මිතුදම අද වන තුරුත් දශමයක් හෝ අඩු නැත.
ලොකු මල්ලී ඈතින් එනු පෙනේ..
"මුතූ, මම සෝමෙ මාමලගෙ කඩේට යන්නත් ඕනෙ.. මල්ලි එනවනෙ ඔයා යන්න එහෙනම්.. "
"හරි එහෙනම්.  මම හෙට හවස ඒ පැත්තෙ එන්නම්කො හොදේ.."
මා ඇගෙන් සමු ගතිමි.
ඇය සෝමෙ මාමලාගේ කඩේ දෙසට ගියාය.  ලොකු මල්ලී හති දමමින් මා ඉදිරියට පැමිනියේය..
"බයික් එක ස්ටාර්ට් වෙන්නැතුව ගියා අක්කෙ. මෙච්චර වෙලා ඒක ට්‍රයි කරා.. ඒ පාර එහෙමම දාලා ආවේ.. මම අක්කට කිව්වනෙ එතන ඉන්න කියලා.. මේ කරුවලේ තනියම ආවෙ.. "
මල්ලී එක දිගට කියවගෙන ගියේය..
"තනියක් වුනේ නෑ ලොකු මල්ලි. මගදි මධූව හම්බ වුනා.. සෝමෙ මාමලාගෙ කඩේ ලඟට වෙනකන් එයත් ආවා.. "
"මධූ කියන්නෙ.. ?"
මල්ලී විශ්මයෙන් විමසුවේ ය.
"ඇයි අනේ අපි දන්න මධුලා ගොඩක් ඉන්නවද.. මගේ යාලුවා. මධුනි. "
මල්ලී විසල් කරගත් දෙනෙතින් මා දෙස බලා හිද සෝමෙ මාමලාගේ කඩේ දෙස බැලුවේය..
"අනේ මල්ලි තාත්තට දැන් කොහොමද.. මොකෝ අම්මා බයෙන් වගේ කථා කලේ.. "
ආ.. තාත්තා.. ඔව්.. දැන් අඩුයි අක්කෙ.. උදේ ටිකක් පපුවෙ අමාරුයි කිව්වා.." 
මල්ලි හැරි හැරී පිටුපස බලයි.
"හේයි. අම්මා හරි චන්ඩියෙක්නෙ මාව එක්කන් එන්න එවලා තියෙන්නෙ.. මොකෝ මේ බය වෙලා.. කරුවලට තාමත් බයද අපේ ලොකු මල්ලි.. "
ඔහුගේ හැසිරීම දුටු මා විහිලු කලෙමි. ලොකු මල්ලී කුඩා කල සිටම කරුවලට බය ය.
මා නිවසට ගොඩ වන තුරු අම්මා මග බලා සිටියා ය..
"මේකට මම කිව්වා ස්ටාර්ට් වෙන්නැත්තං පයින් හරි යන්න කියලා.. කොහෙද .. දූ තනියමම එනකන් මේකා මෙතන.."
අම්මා ලොකු මල්ලී ට දොස් කියුවා ය..
"කෝ අම්මෙ තාත්තා.."
තාත්තා පෙනෙන්නට නොවූ නිසා මා විමසුවෙමි..
"තාත්තා... මේ... තාත්තා මධූලගෙ ගෙදර ගියා පුතේ.. "
"ආ ඔව්නෙ. මධූ මට කිව්වා තාත්තා හවස එහෙ ආවා කියලා.. "
මා කීවෙමි.
"මධූ කිව්වා.. ?"
අම්මා විශ්මයෙන් විමසුවාය..
"ඔව්. මගින් හම්බුනා.. එයත් එක්ක ආවෙ මම.  සුදු සාරියක් එහෙම ඇඳලා.. කෙල්ල ඇදිලා ගිහිල්ලා අම්මෙ.. චූටි කාලෙ ජම්බු ගෙඩිය වගේනෙ.. මතකද අම්මට.."
මා අතීතය මතක් වීමෙන් නැගුනු සෙනෙහසින් කීවෙමි..
තාත්තා එනතුරු සිටින්නට මට  නොහැකි විය. ඇග සෝදා ආහාර ගත් පසු නින්ද මා වැලද ගත්තේය..
මා උදෑසන අම්මා අවදි කරන තෙක්ම නිදාගෙන තිබිනි..
"තාත්තෙ! "
තාත්තාත් මගේ කාමරයට පැමින සිටියේය.. ඔහුගේ  මුහුනෙහි බැරෑරුම් බවක් විය..
"පුතා ඊයෙ රෑ ආවෙ මධූ එක්කද.."
තාත්තා විමසුවේ ය..
"ඔව්. ඇයි තාත්තෙ.."
අම්මාත් තාත්තාත් මුහුනට මුහුන බලා ගත්තෝය.
"පුතේ.. මේක අහලා කලබල වෙන්න එපා.. ඔයාගෙ යාලුවා මධූ.. මධූ ඊයෙ උදේ ඇක්සිඩන්ට් එකකින් නැතිවෙලා. මට අසනීපයි කියලා පුතාව ගෙන්න ගත්තෙ පුතා කලබල වෙන නිසයි.. "
මට ඇසුනේ එපමනය.. මගේ ඔලුව කැරකෙන්නාක් මෙන් විය..
මධූගේ අවසන් කටයුතු කෙරුනු දිනයක් පවා මා දන්නේ නැත..
ගො..ක්..කො..ල..
මා  උන විකාරයෙන් කියවමින් ගෙවුනු දින කිහිපය ඇතුලත මගේ මිතුරියගේ..මගේ හොදම මිතුරියගේ අවසන් කටයුතු සිදුව තිබිනි.. ඇය සදහටම අපෙන් සමු ගෙන තිබිනි.
මා නැවත යථා තත්වයට පත් කර ගැනීමට අම්මාටත් තාත්තාටත් හැකිව ලැබුනේ කට්ටඩියකුගෙන්ද සහය පැතීමෙන් අනතුරුවයි.
-නිමි-
~මුදිතා ප්‍රභානි ගුණරත්න.~

Tuesday, November 1, 2016

අඟහරු බලා....

Date :- 2201.10.17
@ SpaceX Center ,kottez, srilanka.



මා මෙතෙක් ගත කල ජීවිතයේ සුවිශේෂම දිනය අද.. අපගේ SpaceX ආයතනය මගින් අඟහරු වෙත යැවීමට නියමිත ප්‍රථම යානය වන miss.col-4 යානයේ සාමාජිකයන් සිව් දෙනාගෙන් අයෙකු වීම මා ලද භාග්‍යක්!

මම
එරා.



මා කේව්ප් සමාජ ජාලා වෙබ් අඩවියට මගේ හඩ පනිවිඩය ඇතුල් කලෙමි. එය වොයිස් ආකාරයෙන් සටහන් විය. අකුරු ලෙස පරිවර්තනය වී සටහන් වන්නට ගත වූයේ මිනිත්තුවකි..
"වාව්! ටයිම් එක තවත් අඩුවෙලා.."

මීට අවුරුදු එකසිය පනහකට පෙර අතීතයේ ෆේස්බුක් නම් සමාජ ජාල අවවියක් තිබී ඇති බව මා අසා ඇත්තෙමි. එහි තිබී ඇත්තේ පනිවිඩ ටයිප් කිරීමක්ලු..
අපොයි. ඒ කාලෙ මිනිස්සුන්ට කොච්චර එපා වෙන්න ඇත්ද. ටයිප් කර කර ඉන්න.. නිකන් කාලෙ යනවා..
ම්.. යානය පිටත් වීමට තව මිනිත්තු එකසිය විස්සක පමන කාලයක් ඉතිරිව ඇත.
ඇත්තෙන්ම අඟහරු මත මුල්ම ජනාවාසය ආරම්භ වූයේ මීට අවුරුදු අසූවකට පමණ පෙරයි. ඒ වන විට ලංකාවේ මෙවැනි අභවකාශ මධ්‍යස්ථානයක් වත් තිබී නැහැ. මේ SpaceX අභ්‍යාවකාශ මධ්‍යස්ථානය ආරම්භ වී ඇත්තේ මීට වසර 30 කට පෙර. මා ඉපදී වත් නැහැ. සියලු අත් හදා බැලීම් වලින් පසුව අඟහරු මත ජීවත් වන්නට මුල්ම වරම් ලැබූ ජනතාව රුසියානුවන්‍ ය. ඉන් පසු විවිධ රට වලින් එහි පංදිචිය සදහා පිරිස් යැවූහ. මේ වන විට අඟහරු මත දස දහසකට ආසන්න පිරිසක් ජීවත් වේ. ඉදිරි මාසය ඇතුලත ලංකාවෙන් එහි යැවීමට නියමිත සිය දෙනා යැවීමට පෙර පරීක්ෂණ නිලධාරීන් ලෙස අප සිව් දෙනා අද එහි පිටත් වේ.. මෙම තිස් අවුරුද්ද පුරාවටම අප මධ්‍යස්ථානයෙන් චන්ද්‍රයා, සිකුරු ඇතුලු ග්‍රහලෝක වෙත පරීක්ෂන යානා යවා ඇත. නමුත් අඟහරු වෙත පුද්ගලයන් සහිතව යවන ප්‍රථම යානය වන miss.col-4 හි පරීක්ෂන සාමාජිකාවක් වීම ඇත්තෙන්ම මගේ භාග්‍යකි.
යානය පිටත් වීමට තව ඇත්තේ මිනිත්තු 60 ක් බවත්, නිෂ්,ශාරි,නිම් හා මට යානයට ගොඩ වන ලෙස මගේ අත පැලදි ග්‍රේස් වලලෙන් පණිවිඩයක් නිකුත් විය.. යානයේ පාලන කටයුතු අපට වසරකටත් අධික කාලයක් පුරා පුහුණු කරන ලදී.. නිෂ් විසින් පාලන මැදිරි සංඥා ක්‍රියාත්මක කරන ලදී..

යානයට පොළොවෙන් පිටත් වන්නට අවශ්‍ය වේගය ලබා දෙන්නේ බාහිරව සවි කරන රොකට් වලිනි. යානය පෘථිවිය වටා කක්ෂ ගත කර වාර කිහිපයකින් වෙනත් යානා වලින් ඉන්ධන සහ වෙනත් භාණ්ඩ සෑම දෙයක්ම යානාවට පිරවීම මෙහි ක්‍රමයයි.
අප සිව් දෙනාටම කාර්යන් බෙදා වෙන් කර දී ඇති අතර අනෙක් තිදෙනාගේ කාර්යන් පිළිබඳ මනා දැනුමත් අප සතු විය යුතුය.
ශාරි, නිම් සහ මම වයස 24,21,23 වූ ගැහැනු ලමුන් වූ අතර නිෂ් අප යානයේ ගමන් ගත් එකම පිරිමි ලමයායි. ඔහුට වයස 23 විය. අපේ සහයට වූ රොබෝ සේවක අඹා විය. රොබෝ ටෙක් කොලේජ් හි උපත ලැබුනු අඹා, වැඩි දියුනු කර අප miss.col-4 හි සේවය සඳහා එවන ලදී. අප සිව් දෙනා සතු කාර්ය වූයේ පෘතුවියේ සිට අඟහරු දක්වා ගමන් පථයේ සාර්ථක ගමනක් පිළිබඳ තහවුරු කර ගැනීමයි.
අප මෙලෙස ගමන තහවුරු කර නැවත පැමිනි පසු, නැවත අඟහරු වෙත ශ්‍රී ලාංකිකයින් සිය දෙනා රැගෙන එන ගමනට නිශ් සහ ශාරි තවත් නිලධාරීන් සමග නැවත සහභාගි වීමට නියමිතය... එම නිසා යානයේ පාලන කටයුතු වලින් වැඩි කොටසක් ඉටු කිරීම ඔවුන් දෙදෙනා සතුය..
අප අත් පැලඳි ග්‍රේස් වලින් පනිවිඩය නිකුත් විය.. අප සිව් දෙනා යානය තුල වූ කුඩා කුටිය වෙත ගමන් කර ඔක්සිජන් ආවරණ පැලඳ ගතිමු. යානය පෘතුවියෙන් ඉවතට යාමේ සිට කක්ෂ ගත වන තුරු අප සිටිය යුත්තේ එහිය.. ග්‍රේස් වලලෙන් හඩ නිකුත් විය..


9...8...7...6...5...4...3...2...1
අප පෘතුවියෙන් ඈතට යමින් පැවතුනි..
යානය කක්ෂ ගත වීමට තවත් මිනිත්තු පහලවක පමන කාලයක් ගතවේ.. එතෙක් අප එම කුටිය තුලම සිටිය යුතුය.
යානය කක්ෂ ගත වූ වහා අප ඉන් ඉවත්ව යානයේ පාලන මැදිරියට පැමිනියෙමු.. ඉන්ධන හා භාන්ඩ අනෙක් යානා වලින් අප යානාවට ලබා ගත්තේ එහිදීයි.
Miss.col-4 ඔබට අපව ඇසෙනවද..!!
පාලන මැදිරියෙන් නිකුත් වූ හඩට ප්‍රතිචාර දැක්වූයේ නිෂ් ය.

පෘතුවියේ සිට අගහරු බලාාා.....

මා කෑ ගසා කීවේ ඒ අත්දැකීමේ සතුටින් හදවත පුරවා ගෙනයි..

~මුදී~