Saturday, February 18, 2017

ආලෝකෝ උදපාදි..

කථාංගය පුරාවටම මගේ දෙනෙත් වලට තෙවරක්ම කදුළු එක් කිරීමට සමත් වූ චිත්‍රපටයක්. ඒ සංවේදීකම නිසාම ඒ ගැන යමක් අකුරු කරන්නට හිතුනා..

වළගම්බා කියලා කියන්නෙ දුටුගැමුණු රජතුමාගේ සහෝදරයා වුණු සද්ධාතිස්සගේ බාලම පුතා.
ෆිල්ම් එකදි එක් අවස්ථාවකදි කියවෙන්නෙ ගැමුනු මහප්පගෙන් ලැබුනු කඩුව කියලත්.

ලංකාව අල්ල ගන්නට පැමිනෙන ද්‍රවිඩ නායකයන් හත් දෙනෙක් ගැන ආරංචි වූ රජතුමා, ඒ අවස්ථාවේ කළ යුතු හොඳම දේ පළා යාම වුන නිසා බිසවුන් දෙන්නයි, පුතුන් දෙන්නයි එක්ක පළා යනවා.. මම  අතීත කථා වල බිසවුන් දෙන්නෙක් ගැන නම් අහලා තිබුනෙ නෑ. බිසවත් එක්ක පළා යනකොට කරත්තෙ වේගෙන් යන්න බෑලු බර වැඩි නිසා.. ඒ නිසා බිසව රථයෙන් පැනලා පස්සෙන් එළවගෙන ආපු ද්‍රවිඩ හමුදාවට අහු වුනා කියලයි අහලා තිබුනේ.

ඇය සෝමා දේවී. ෆිල්ම් එකේ එයාගෙ චරිතයට පන පොවන්නෙ නිරෝෂා තලගල. වීර කාන්තාවක් හැටියට සෝමා දේවියගෙ නම ඉතිහාසයේ ලියවෙලා තියෙනවා. ඇත්තටම එතුමිය එහෙම දෙයක් නොකලා නම් එදා ඔවුන්ව ද්‍රවිඩ හමුදාවට අහු වෙන්නත් තිබුනා..එයා ලොකු කැපවීමක් කලේ. 

ෆිල්ම් එක තුළ නම් පෙන්වන්නෙ රජතුමාට සටන ඉදිරියටම ගෙනිහිල්ලා ද්‍රවිඩයන් පරද්දන්න කියලා, තමන්ගෙ උකුලෙ හිටපු පුතාව අනිත් බිසවට භාර දීලා සෝමා බිසව කරත්තෙන් පනිනවා.. නමුත් ෆිල්ම් එකේ පෙන්නන්නෙ නැහැ ඇයට ඊට පස්සෙ මොකද වෙන්නෙ කියලා. ගොඩක් අයට හිතෙන්නෙ ඇය ද්‍රවිඩ හමුදාවට අහුවෙලා මැරෙන්න ඇති කියලනෙ. ඒත් අර ආපු ද්‍රවිඩ නායකයින්ගෙන් කෙනෙක් ඇයවත් අරන් ඉන්දියාවට යනවා.

රජු පළා ගිහිල්ලා සැඟවිලා ඉන්නවා.. ආ.. අනිත් බිසවට දරුවකුත් ලැබෙන්න ඉන්නෙ. එයත් ගොඩක් අපහසුවෙන් යන්නෙ පුංචි කුමාරවරුන් දෙන්නත් එක්ක. හරි හුරතල් දරුවො දෙන්නෙක් ඒ චරිත අපූරුවට කරනවා.. බිසවට ඉන්නෙ දිල්හානි අශෝකමාලා.

ම්ම්.. ඒ රජ පවුලට ආරක්ශාව දෙන්නෙ කුපික්කලතිස්ස" කියන හාමුදුරුවෝ. කොහොම හරි ද්‍රවිඩයො දැන ගන්නවා හාමුදුරුවරු රජුව ආරක්ෂා කරනවා කියලා.. ඔවුන්ව හොයාගෙන ද්‍රවිඩයො එද්දි පුංචි හාමුදුරුවරු දෙන්නෙක් රජුට එතනින් පළා යන්න සංඥා දෙනවා.. ඒ නිසා පුංචි හාමුදුරුවරු දෙන්න ද්‍රවිඩයන්ගෙන් මැරුම්කනවා..

ඒක බලන් හිටපු තවත් ස්වාමීන්වහන්සේ කෙනෙක් ලොකු හාමුදුරුවන්ගෙන් අවසර ඉල්ලනවා සිවුරු හැරලා ගිහින් සටනට එකතු වෙන්න. උන් වහන්සෙ රජුගෙ සේනාවට එකතු වෙලා සටන් කරනවා අන්තිමේදි.

වළගම්බා රජ්ජුරුවෝ අවුරුදු 14කුත්, මාස 7ක් මලය දේශයේ ඉදන් හමුදාව සංවිධානය කරනවා.
ඒ අතර අපේ රට අල්ල ගන්න මෙහාට ආපු හමුදාවට නායකත්වය දීපු ද්‍රවිඩ කුමාරවරුන්ගෙන් එක්කෙනෙක් සෝමා දේවියවත් අරන් ඉන්දියාවට යනවා. තවත් එක්කෙනෙක් බුදු හාමුදුරුවන්ගේ පාත්‍ර ධාතුව අරන් ඉන්දියාවට යනවා. පුලහත්ථ, බාහිය, පණයමාර, පිළයමාර, දාඨික කියන ඉතිරි නායකයන් පස් දෙනා පිළිවෙලින් අපේ රටේ රජකම් කරනවා. ඒත් ෆිල්ම් එක තුළ ඒවා පැහැදිලිව විස්තර දීලා කියන්නෙ නැහැ.

ස්වාමීන් වහන්සේලාව ද්‍රවිඩයො මරලා දාලා තියෙන අවස්ථාව මට දරා ගන්න බැරි වුනා. ඒ වගේම ගම් බිම් ගිනි තිය තිය උන් රජුව හොයනවා.. මිනිස්සු විලාප නඟද්දි කඩු වලින් ඇනලා මරනවා.
බත බුලත් වලින් සරුසාර වෙලා ඉන්නකං සිංහලයන්ව වට්ටන්න බෑ කියලා දැන ගත්ත ද්‍රවිඩයො අපේ වැව් අමුනු විනාශ කරනවා. ඒ නිසා දුර්භික්ශයක් එනවා.. ඒකෙන් අපේ මිනිස්සු වගේම උනුත් හෙම්බත් වෙනවා. උන් උන් අතරෙම ප්‍රෂ්න ඇති වෙනවා.. අන්තිමේ ඇගේ හිරිගඩු පිපෙන තරම් සටනක් ලොකුවටම පෙන්නනවා.. රජතුමා දිනනවා.

ශ්‍රී සද්ධර්මය රැක ගන්න අපේ ස්වාමීන්වහන්සේලා කොච්චර කැපවීම් කරලා තියෙනවද කියලා පෙන්වනවා.. අපවත් වෙන්න සූදානමෙන් ඉන්න හාමුදුරුවරු තව හාමුදුරුවරයෙකුගෙ කනට කොදුරනවා ධර්මය.. ඒක තමන් වහන්සෙ එක්කම වැළලිලා යයි කියන බයට.. සමහර හිමිවරු වැල්ලෙ ධර්මය ලිව්වා කියලත් මම අහලා තියෙනවා.

ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ කරනවා හරි අපූරුවට පෙන්වනවා. පුස් කොල මදින හැටි පටන් හැමදේම.. එතනින් අවසානයි.

ඒත් මට හිතෙනවා සිදුවීම් මදි කියලා. වළගම්බා රජු පොඩි කාලෙදි අම්මත් එක්ක හැංගිලා ඉන්න සිද්ධ වෙනවා..  ඒ සිදුවීම්... අනික ගිරි නිගන්ටයා කෑ ගහපු තැන අභය ගිරිය හදලා තමන් පළා ගිහිල්ලා ඉන්න කාලෙ උදව් කරපු කුප්පිකල තිස්ස හාමුදුරුවන්ට පූජා කරලා තියෙනව. නිකාය බෙදුනෙ ඒකෙන් කියලා තමයි කියන්නෙ. මහාවිහාරික භික්ෂූන්, අභයගිරි භික්ෂූන්.
ආ.. සෝමා දේවිය කරත්තෙන් පැනපු තැන තමයි ලංකාරාමෙ හැදුවා කියන්නෙ. ලංකාරාමෙ කියන්නෙ අනුරාධපුරේ අටමස්ථාන වලින් එකක්නෙ.

හැබැයි ෆිල්ම් එකේ සුළු අඩුපාඩුකමකට තියෙන්නෙ, ඒ අතීතය දැනගෙන බලන කෙනෙකුට ඇරෙන්න නොදන්න කෙනෙකුට පැහැඳිලි කිරීම් මඳි කියලා.. ෆිල්ම් හෝල් එකේදිත් වටේ හිටපු අය ළඟ හිටපු කෙනාගෙන් ඇයි මේ කොටසෙදි එහෙම වුනේ.. මේක මෙහෙමද කියලා ෆිල්ම් එකේ යම් කොටස් වලදි අහන ඒවා මට ඇහුනා.. ඉතින් තවත් පැහැදිලි කිරීම් තිබුනා නම් හොඳයි කියලා හිතුනා.

ම්ම්.. කොහොම උනත් හරිම ලස්සන ෆිල්ම් එකක්. ස්වාමීන් වහන්සේලා තැන තැන වැඩ හිදලා හරිම මිහිරිව ගාථා කියනකොට පුදුම ශාන්ත බවක් දැනුනා. සමස්ථ චිත්‍රපටය තුලින් මොහොතකට මම අතීතයට ගියා.

3 comments:

  1. http://sarpayasdaughter.blogspot.com/2017/01/blog-post_57.html

    FYI

    ReplyDelete
  2. අතීත කතාව නොදන්නා කෙනෙකුට කෙරෙන පැහැදිලි කිරීම් මදිකම පත්තිනි චිත්‍රපටයෙත් මම දැක්කා.

    ReplyDelete
    Replies
    1. ම්ම්.. පත්තිනි නම් මට බලන්න බැරි වුනා..

      Delete