Monday, June 26, 2017

ඕල්ඩ් ඊස් ගෝල්ඩ් ~ අතීත මතක

හීන් හිරිකඩක් ජනේලෙන් ඇවිත් ඇගේ වදිද්දි දැනෙන හැගීම එහෙමම තියා ගන්න ඕනවට මම ජනේලෙ වැහුවෙ නෑ.. වැස්සක වගක්වත් නොපෙන්නා තිබුන අහස එක පාරටම ගොරව ගොරව අඩන්නෙ ඇයි කියලා බලන්න මම හිමින් ජනේලෙන් එබිල අහස දිහා බැලුවා..



ඔය සුදු පාටට බබල බබල තියෙන්නෙ.. අව් රැල්ලකුත් තියෙනවා වැස්සත් එක්කම..
අව්වයි වැස්සයි නරියගෙ මගුලයි..
මෙහෙම දැක්කම පොඩි කාලෙ අපේ කටට එන ඒ කතාව මතක් වුනා..
හවස බෝඩිමට යන්න තියෙනවා.. මිඩ් සෙමෙස්ටර් වැකේෂන් සතිය ඉවර වුනානෙ..

ම්ම්.. ආයෙමත් මම කියව කියව හිටපු පොතේ නවත්තපු තැන කොතනද කියලා මතක් කර කර හොයන්න ගත්තා.. ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර්ගෙ කථා මාලාවෙ එක කොටසක්. මිදි ඔය අසබඩ.



මේ කථා මාලාව කියවපු කෙනෙක්ට ඒකෙ රස ආයෙ අමුතුවෙන් කියන්න ඕනෙ නෑ.. මේකෙ පළවෙනි පොත කියවන්න හම්බ වෙද්දි මම හතර වසරෙ. ඒ අකුරක් අකුරක් ගානෙ මැවුන ඒ ලෝකය මම ඒ පුංචි හිතෙන් වින්දා.. නංගියි මමයි දෙන්නම..
ඒකෙ තවත් කොටස් තියෙනවා කියලා දැනගත්තම අපි දෙන්නටම ඕන වුනා ඒවත් කියවන්න.. ඒත් ගෙවල් ලග පුංචි ලයිබ්‍රරි එකේ තිබුනෙ ඒ පොත විතරමයි. වන අරණක කුඩා නිවස.
ඉතින් අවුරුද්දකට හතර පස් සැරයකට වඩා නංගි හරි මම හරි පොත ගෙදර ගේනවමයි. ආයෙ ආයෙ කියවලා අපි ඒක රස වින්දා.. ලෝරයි මේරියි වගේම අපි දෙන්නා අතරත් තිබුනෙ අවුරුද්දක පරතරය.. ඒ දෙන්නගෙ ඒ සිදුවීම් හැගීම් අපිට ඒ තරම්ම සමීප වුනේ ඒ නිසා වෙන්නැති.
අපිත් බෝනික්කන්ට ඇදුම් මැහුවා ඒ කාලෙ.. එයා මගෙ බෝනික්කන්ට ඇදුම් මහලා තෑගි කලා.. මාත් එහෙම කලා..
මේ ඉන්නෙ මගේ බෝනික්කා. එයාට ඔය ගවුම, කොන්ඩ පටිය පවා නංගි මහලා තෑගි කරපු ඒවා.



නංගිට බෝනික්කො පෙට්ටියක්ම තිබුනා ඒ කාලෙ.
ලෝරයි මේරියි මේපල් සීනි තියෙන සීයලගෙ ගෙදර නත්තල් සාදෙට ගියා වගේ අවුරුද්දට අපිත් ලස්සන ගවුම් ඇදලා ආච්චිලගෙ ගෙදර ගියා.. ලෝරලගෙ අප්පච්චිගෙ අස්ස කරත්තෙ වගේ අපිට තිබුනෙ තාත්තගෙ මෝටර් සයිකල් එක.. කන් ලගින් ගලාගෙන යන හෝහෝ ගාන හුලන් රැල් අස්සෙ කුබුක් ගස් අතරින් ඔය පහු කරගෙන ආච්චිලගෙ ගෙදර යද්දි අපේ හිත් වලත් අවුරුදු සතුට දෝරෙ ගලනවා අද වගේ මතක‍යි.. පාට විතරක් වෙනස් එකම වගේ රෙද්දෙ ගවුම් ඇන්දුවෙ අපේ අම්මා අපි දෙන්නටම. ගොඩක් වෙලාවට මට නිල් පාටමයි හම්බ වෙන්නෙ. නංගි රතු.
ඔය ඉන්නෙ අපි අවුරුදු තෑගිත් එක්ක ගත්තු ෆොටෝ එකක්. මම කිව්වෙ මට හම්බ වෙන්නෙම නිල් පාට.





අපි ටිකක් ලොකු වුනාම ස්කූල් එකේ ලයිබ්‍රරි එකෙන් පොත් ගන්න හම්බ වුනා.. එක දවසක නංගි මේ ලෝරගෙ කථා මාලාවෙ එක පොතක් ගෙනාවා.. අපිට ඉතින් මහා අනර්ඝ මැනිකක් හම්බුනා වගේ වුනා.. හිහී..
ඒ විදිහට කලාතුරකින් ලෝරගෙ පොතක් ඒ ලයිබ්‍රරි එකෙන් හම්බ වුනා.. ඒක ගෙදර ගෙනල්ලා අපි දෙන්නා කියෙව්වා... ඔය විදිහට කථා මාලාවෙ පිලිවෙලක් නැතිව අතරින් පතර පොත් අපිට හම්බ වුනා..
"කේරි දැන් ලොකුයි.. එයාලට තවත් නංගි කෙනෙක් ඉන්නවා දැන්.. "
අපේ නංගියි මමයි කථා වුනේ හරියට පුංචි කාලෙ ඉදන් අපිත් එක්ක එකට හිටපු යාලුවෙක් ගැන විස්තර කථා වෙනවා වගේ.. මේරිගෙ ඇස් අන්ධ වෙලා කියලා දැන ගත්තම අපි දෙන්නා ගොඩක් දුක් වුනා..
නවය වසරෙන් තමයි අන්තිමට ඒ පොතක් කියෙව්වා මතක. ඊට පස්සෙ මෑතක් වෙනකම්ම ලෝරගෙ කථා රසවිදින එක අතීතයටම වෙන් වෙච්ච දෙයක් වෙලා තිබුනා.. ඕ ලෙවල්, ඒ ලෙවල් පහු කරගෙන අපි කැම්පස් ආවා. නංගි මෙඩිකල් කොලේජ් ගියා. මම මෙහෙ කැම්පස්. කාලය වේගෙන් ගෙවුනා..



ඒ කාලෙ මම හිතාගෙන හිටියා ජොබ් එකක් කරද්දි මාසෙකට එක කොටස ගානෙ පොත් ගන්නවා කියලා.. තවමත් නොකියවපු පොත් දෙකක් විතර තියෙනවා..
මම මේ අවුරුද්දෙ කෙටි කථා තරගෙකින් දිනුවා. ඒ අය අපි කැමති පොතක් තමයි තෑග්ග විදිහට දෙන්නෙ.. ඔන්න ඔය විදිහට තමයි මිදි ඔය අසබඩ (තුන් වෙනි පොත) මම ඉල්ලුවෙ.
වැස්ස තුරල් වෙලා.. ම්ම්.. ලෝරගෙ අතීතයට ආයෙත් තුරුල් වෙන්න මම නවත්තපු තැන ඉදලා කියවන්න පටන් ගත්තා..
"අනේ චාර්ල්ස්, ඔයා බූට් සපත්තු දෙකක් ගන්නම ඕනෙ, අම්මා කීවාය.. මං ලබන සෙනසුරාදා නගරෙට ගියාම අලුත් බූට් දෙකක් ගන්නං.කුට්ටමක් ඩොලර් තුනක් විතර වේවි. ඒත් මං තිරිඟු අස්වැන්න ගන්නකං අපි කොහොම හරි පිරිමහ ගමු." ....

1 comment:

  1. ඒ පොත් සීරීස් එක හරිම ලස්සනයිනේද. මටත් ආයේ කියවන්න ආස හිතුනා.

    ReplyDelete