Thursday, September 14, 2017

මාර්කටිං


අම්මේ තාත්තේ නංගියේ මල්ලියේ මම ඇවිත් ඉන්නෙ ආධාරයක් එකතු කරන්න නෙමේ...

සෙනඟ මහ ගොඩක් නැති උනත් සීට් ගානට සෙනඟ හිටපු බස් එකට ගොඩ උන තරුනයා එහෙම කියද්දි මගේ ඇසුත් ඒ මොකද්ද බලන්න ඒ පැත්තට හැරවුනා.. පිළිවෙලකට ඇද පැළදලා හිනාවෙන් කටම පුරවගෙන ඉන්න විදිහට මම හිතුවෙ කැම්පස් එකක ලමයෙක්ද දන්නෙ නෑ මොකක් හරි දැනුවත් කිරීමක් වෙන්න ඇති කියලා.. මම ත් අහගෙන හිටියා මොකද්ද කියන්නෙ කියලා..
ඒ පාර ඔහු සමාජය ගැන කියන්න පටන් ගත්තා..

මේ ළඟදි පුතෙක් තාත්තා කෙනෙක්ව මරා දාපු පුවත්ක ඔබ අහන්නට ඇති..

ඇත්තටම මට එහෙම කතාවක් මතක නැහැ.. බස් එකේ කවුරුත් මම දැකපු විදිහට ඒකට ප්‍රතිචාරයක් දැක්වුවෙ නැහැ ඔව් කියලා.. ඉතින් ඔහු ආයෙම සුපුරුදු හිනාව දාගෙන.. (ඒක ඕනවටත් වඩා වැඩී කියලයි මට නම් හිතුනෙ.) ආයෙ කථා කරන්න පටන් ගත්තා..

දැන් විශ්‍රාම වැටුපක් තියෙන තාත්තා කෙනෙක් හිතන්න.. ඔහු ඉන්නෙ බාලම පුතා ළඟ නම් අනිත් දරුවො ඔහු එක්ක තරහයි.. කීයක් හරි ඔබ පොතක එකතු කරලා තියෙනවා නම් ඒක ගන්න හරි තමයි ළමයි ඔබට සලකන්නෙ බලන්නෙ..

බස් එකේ වැඩි ප්‍රමානයක් හිටියෙ ටිකක් වයස අය තමයි.. කීප දෙනෙක්ගෙම ඔලුව වැනෙනවා මම දැක්කා..
මට වඩා බාල ගෑනු ලමයෙක් එයාගෙ අම්මා ඔලුව වනනවා දැකලා අම්මා දිහා බලලා රැව්වා.. මම හොදටම දැක්කා..
බස් එක ස්ටාර්ට් කලා.. ඔහුට වෙලාව මදි උනා තව විස්තර දෙන්න..
ඔන්න ඒ පාර මේ තරුණයා එයාගෙ පොයින්ට් එකට ආවා..

මේ බලන්න මම ළග තියෙනවා බණ සීඩී එකක්..

ඔහු දාගෙන හිටපු ගමන් මල්ල ඇතුලෙන් සීඩී වගයක් එළියට ගත්තා..

ගෙදර ගිහින් ඔබේ දරුවට අහන්න දෙන්න.. බොහොම සංවේදී කථාවක් බලන්න බැරි තරම්.. අම්මා කෙනෙක් ඇසක් නැතුව ඉපදුනු තම දරුවට ඇහැක් දෙනවා.. ඒත් ඒ දරුවා ලොකු උනාම ඇහැ නැති අම්මව පිළිකුල් කරනවා..

ඔන්න ඔහොම කතාව ඔහු කෙටියෙන් කිව්වා.. මට ඉස්සරහ සීට් එකේ හිටපු අම්මා අත දික් කරලා සීඩී එකක් ඉල්ල ගත්තා.. අනිත් අය සීය ගානෙ දිදී දහයකටත් වැඩි පිරිසක් අර සීඩී එක ගත්තා.. ඒක කවි බනක්.. ඔහු ලග තිබුන පොඩි කැසට් උපකරණයකින් ඒක බස් එකටම අහන්නත් සැලසුවා.. ඔන්න බස් එක යන්න පටන් ගත්ත නිසා ඔහු පිටිපස්සෙන් බැහැලා යන්න ගියා..

මට ඉස්සරහ හිටපු අම්ම සීඩී එක ඉල්ල ගත්තට එයාගෙන් සල්ලි ඉල්ල ගන්න තරුණයට අමතක වෙලා තිබුනා.. ඒක දැක්කෙ මම විතරයි. අර අම්මා පිටිපස්ස බලලා බෑග් එකට ඒක ඔබා ගත්තා..
ආයෙමත් බස් එකේ වීදුරුවෙන් ඈතට නෙත් යොමු කරපු මට හිතෙන් ලොකු හිනාවක් ගියා.

මාර්කටිං..

ඔහු මාර්කට් කළා ඔහුගෙ සීඩී එක හිනාවයි කථාවයි දාලා.. කවි බන සීඩී එකකින් ඔහු කිව්ව විදිහට ළමයි හදන්න හිතපු වැඩිහිටියො ටික සීඩී පොර කකා ගත්තා.. මට ඇත්තටම හිනා ගියේ ඒකට..

දරුවන්ව ගුණ ධර්ම අතින් පෝෂනය කරන එකේ වගකීම තියෙන්නෙ දෙමව්පියන් අතේ.. ඒක හරි හැටි ඔවුන් තේරුම් ගත්තා නම් දරුවො එහෙම වෙන්නෙ නෑ... ඒක මතුපිටින් බලලා තර්ක කරන්න එපා.. ගැඹුරටම ගිහින් හිතලා බලන්න.. සමාජෙන් උදාහරණ අරගෙන බලන්න.. එහෙම වෙන දරුවො එහෙම වෙන්න කොතනද වැරදුනේ කියලා..
දරුවෙක්ට උගන්නන්න වියදම් කරනවා කියලා සමහරු හිතන්නෙ හොදම සපත්තු දෙකක්, බෑග් එකක්, පොත් පෑන් පැන්සල් , ටියුෂන් ක්ලාස් පීස්, තව ඕන නම් ස්කූල් වෑන් වලට දාලා.. ඔන්න දරුවන්ට උගන්නන්න වියදම් කරනවා.. කොච්චර වියදම් කලත් මුන් ඉගෙන ගන්නෙ නෑ.. අන්තිමේ දෙමව්පියන්ගෙ අවලාදෙ..
කොතනද හැදෙන්න ඕනෙ.. දරුවට පොඩි කාලෙදිම තෝස්තර කරන්න උගන්නනවා.. අපේ පුතා අරවා කන්නෙ නෑනෙ.. එයා වෙනුවෙන් මේවම හදන්න ඕනෙ.. ඒ ඇයි.. ඇයි ඒ දෙමව්පියන්ට බැරි ඒ දරුවා එපා කියන දේ වත් කන්න නැති තවත් දරුවො මේ ලෝකෙ ඉන්නවා කියලා අර දරුවට පෙන්නලා දෙන්න.. අපේ අම්මලා එහෙම කලේ නෑ.. කන්න බැරි නම් නිකන් ඉන්නවා. එහෙමයි. ඒක අනාදරය නේමේ.. අනාදරය කරන්නෙ අර දරුවගෙ තාලෙට නටන දෙමව්පියො.
දරුවො ඉස්සරහ නෑදෑයොන්ට බනිනවා.. තමන්ගෙ දෙමව්පියන්ට බනිනවා. එතකොට දරුවට අර ඥාති පරම්පරාව ගැනම තියෙන්නෙ තරහක්. දෙමව්පියො එකක් කියද්දි දරුවා දහයක් කිය කිය බනිනවා.. අන්තිමේ දෙමව්පියො ගැනත් තරහක්!
කව්ද වරද්දනෙ දරුවන්ට.. පුංචි කාලෙ ඉදන් කියලා දෙන්න.., පෙන්නන්න කොච්චර හොද දේවල් ලෝකෙ තියෙනවද.. දරුවො සංවේදි කරන්න පුංචි කාලෙ ඉදලම.. බනක් අහන්න.. දහම් පාසලකට එක්ක යන්න පුංචි කාලෙදිම.. ලොකු වෙනකොට ඒ ලමයා ඒවට හුරු කෙනෙක් වෙලාද නැද්ද.. එතකොට මේ වගේ සීඩී එකකින් දරුවො හදන්න හිතන්න ඕනෙ නෑ... උගත්කමින් පෝසත් කරන්න පුලුවන් අධ්‍යාපනය දීලා...ඒත් ආධ්‍යාත්මික පැත්තෙන් පෝෂණය කිරීමයි වඩාම වැදගත්.. ඒකට ලොකු වගකීමක් දෙමව්පියන්ගෙ පැත්තෙන් තියෙනවා..

5 comments:

  1. කොච්චර බණ ඇහැවත් සමාජය පිරිහිම නැවතිලා නෑනේද? මට පෙන්නේ අපේ අයට බණ දෙසනවා වැඩී. බණ අහන්නේ නැති බණ කියන්නේ නැති රටවල් අපේ රටට වඩා අධ්‍යාත්මික දියුණුවක් ලබලා තියේනවා නේද?

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. Replies
    1. සාදරයෙන් පිළිගන්නවා මුතූගේ පන්හිඳට.. :)

      Delete
  4. true

    මේ වගේම තමයි මට උහුලගන්න බැරි ඛේදවාචක ගැන සින්දු කියලා හම්බකරන එක. බස් එකේ යනකොට මට කිහිපපාරක් මුණගැහුනා 'ප්‍රේමවතී මනම්පේරි තරුණිය' කියන ඒ සින්දුව කියලා සල්ලි ඉල්ලන කෙනෙක්. මට ඒ සින්දුව අහගෙන ඉන්නම බැහැ. ඒ හින්දම සල්ලි දෙන්නෙත් නැහැ.

    ReplyDelete