Thursday, September 3, 2026

බිත්ති හතරෙන් එළියට: එකවර භූමිකා රාශියක් රඟපාන ගැහැනියකගේ නොපෙනෙන සටන

උදෑසන හිරු එළියට පොළොව සිපගන්නටත් වඩා කලින්, ගෙදර දවස පටන් ගන්නේ පුදුමාකාර වේගයකින්. පුංචි දරුවන්ගේ පාසල් කටයුතු සූදානම් කරමින්, උදෑසන ආහාරය මේසයට නංවන ඇය, ඊටත් වඩා වේගයෙන් තමන්ගේ දවසේ වගකීම්වලට මුහුණ දෙන්න සූදානම් වෙනවා. හරියටම උදෑසන අට වෙද්දී කාර්යාලීය මේසය ඉදිරියට වී, සවස පහ වන තුරු වගකීම් සහගතව රැකියාවේ නිරත වන ඇය, ඒ අතරතුර තමන්ගේ වෘත්තීය ජීවිතයේ තවත් පියවරක් ඉදිරියට තබන්නට දරන්නේ පුදුම උත්සාහයක්.

මේක එක දවසක කතාවක් නෙමෙයි. දිනපතාම පුනරාවර්තනය වන පුදුම තරම් බැරෑරුම් චක්‍රයක්.

කාලය නම් වූ නොපෙනෙන වැලි අරටුව:

දවසක පැය විසිහතරක් කියන්නේ ඇයට කොහොමවත් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. උදේ ඉඳන් හවස වෙනකන් ඔෆීස් එකේ වැඩ, ගෙදරට ආවම බබාගේ වැඩ සහ ගෘහස්ථ වගකීම්. ඒ සියල්ලෙන් පස්සේ, රෑ නිදිකම පවා පසෙක තබා ඇය තම අධ්‍යාපන කටයුතු, අනාගතය වෙනුවෙන් අලුත් කුඩා පරිමාණ ව්‍යාපාරික උත්සාහයන් සඳහා කාලය වෙන් කරගන්නේ හිතේ ඇති දැඩි අදිටනින් පමණයි.
පිටට නොපෙනෙන මානසික බර:

සමහරු දකින්නේ ඇය දිනන තැන්, නැතහොත් ඇය රැකියාවක් කරනවා කියන කාරණාව පමණයි. නමුත් ඒ පිටුපස ඇති දැඩි ශාරීරික හා මානසික විඩාව කවුද දන්නේ? එකවර භූමිකා තුනක් - එනම් ගෘහණියකගේ, සේවිකාවකගේ බර කරපින්නාගෙන යද්දී, සමහර දවස්වල හුස්ම ගන්නවත් ඉඩක් නැති තරමට මනස බර වෙනවා. තමන් වෙනුවෙන්, තමන්ගේ සතුට වෙනුවෙන් ගත කරන්න ඉතිරි වෙන්නේ ඉතාම ස්වල්ප මොහොතක් පමණයි. සැබෑ ජයග්‍රහණය සහ අභිමානය:

මේ සියලු අභියෝග, බාධක සහ පීඩන මැද ඇය දිනෙන් දින ඉදිරියට යන්නේ පුදුමාකාර මානසික ශක්තියකින්. කිසිවකුගේ පිහිටක් බලාපොරොත්තු නොවී, තමන්ගේම කකුල් මත නැගී සිටිමින්, අනාගතයේ දිනක තමන් අරමුණු කළ උතුම් තැනට ළඟා වීමට ඇය තබන සෑම පියවරක්ම රන් අකුරින් ලියැවිය යුත්තක්.

ඇය සටන් කරන්නේ තව කෙනෙක්ව පරාජය කරන්න නෙමෙයි; තමන්ගේ අනාගතය අලංකාර කරගන්න, තම දරුවන්ට හොඳ හෙට දවසක් උදා කරලා දෙන්න. මේ වගේ ගැහැනුන්ගේ දහඩියෙන් සහ කඳුළෙන් හැදෙන ඒ ලෝකය කොතරම් නම් සුන්දරද!

Thursday, January 22, 2026

තමන්ටම විශ්වාස කරන්න ඉගෙන ගන්න | Sinhala Motivation

🔥 තමන්ටම විශ්වාස කරන්න ඉගෙන ගන්න – ජීවිතය වෙනස් කරන පළමු පියවර අපේ ජීවිතේ ලොකුම සටන බාහිර ලෝකයත් එක්ක නෙමෙයි. ඇත්තටම ලොකුම සටන තියෙන්නේ අපේම හිතත් එක්ක. “මට පුළුවන් ද?”, “මට බැරි වෙයිද?” කියන දේ, ඒක බොහෝ දෙනාගේ සිහින නවත්තන ප්‍රධාන හේතුවක්. අද අපි කතා කරන්නේ — තමන්ගැන විශ්වාසය (Self Confidence) ජීවිතය වෙනස් කරන අත්‍යවශ්‍ය ශක්තියක් ගැන. 🌱 විශ්වාසය නැත්තං සිහිනයක් නවතින්නේ මෙතනින් ඔයාට හොඳ අදහසක් තියෙන්න පුළුවන්. ලස්සන සිහිනයක් තියෙන්න පුළුවන්. හැබැයි, “මට ඒක කරන්න බෑ” කියලා හිතුවොත් සිහිනය පටන්ගන්න කලින්ම මැරෙනවා. බොහෝ දෙනා ජීවිතේ අවස්ථා අහිමි කරගන්නෙ හැකියාව නැති නිසා නෙමෙයි, විශ්වාසය නැති නිසා. 💭 අපේ හිත කියන කතාව ඔයා දිනපතාම තමන්ට කියන වචන ඔයාගේ ජීවිතය හැදෙන අතුරු වැඩසටහනක් වගේ. “මට පුළුවන්” → ඔබ ශක්තිමත් වෙයි “මට බෑ” → ඔබ අස්ථිර වෙයි එකම පුද්ගලයා, එකම හැකියාව, වෙනස තියෙන්නේ හිතේ විශ්වාසයේ. 🔑 විශ්වාසය හදාගන්න ක්‍රියාත්මක පියවර 5ක් 1️⃣ පොඩි ජයග්‍රහණ වලින් පටන්ගන්න ලොකු ඉලක්ක ගන්න හොඳයි. හැබැයි දවසකට එක පොඩි වැඩක් ජයගන්න. පොඩි ජයග්‍රහණ → විශ්වාසය වැඩි. 2️⃣ තමන්ව අනිත් අයත් එක්ක සසඳන්න එපා ඔයාගේ ගමන ඔයාගේ එක. අනිත් අයගේ පියවර ඔයාට ගැළපෙන්නෙ නෑ. 3️⃣ වැරදිවූණාට ලැජ්ජා වෙන්න එපා වැරදි = අසාර්ථකත්වය නෙමෙයි වැරදි = පාඩමක් 4️⃣ ඍණාත්මක මිනිස්සු ඈත් කරන්න ඔබව පහළට ඇද දමන අය ඔබේ විශ්වාසය සොරකම් කරන අය. 5️⃣ දිනපතා තමන්ටම හොඳ වචනයක් කියන්න "අද මම හොඳට කරනවා" මේක පොඩි දෙයක් වගේ පෙනුනත් ශක්තිමත් habit එකක්. 🌟 සැබෑ කතාවක් මම පටන්ගත්තෙ "සිංහලෙන් blog එකක් කරලා dollar හම්බ කරන්න පුළුවන්ද?" කියන ප්‍රශ්නයෙන්. මුලින් views 0. Income $0.00. හැබැයි මම නතර වුනේ නෑ. දවසගානෙ post එකක් දාමු. අද දැන් ad revenue පවා ආරම්භ වෙලා. වෙනස එකම දෙයයි — නතර නොවීම. 💪 ඔබට කියන්න ඕන එක දෙයක් ඔබට පුළුවන්. ඔබ තරම් ඔබටම විශ්වාස නැති වුනත් ඔබ තුළ හැකියාව තියෙනවා. අද එක පොඩි පියවරක් ගන්න. හෙට ඔබම ඔබට ස්තුති කරයි. 💬 අවසාන ප්‍රශ්නය ඔබ අදම ආරම්භ කරන්න පුළුවන් එක කුඩා වැඩක් මොකද්ද? Comment කරන්න.

ගුරු දිවියේ සොඳුරු මතක 02

මේ ලිපියෙන් මම ඔයාලා එක්ක බෙදා ගන්න හිතුවෙ දරුවො එක්ක මම ගිය ගමනක් ගැන. වීකෙන්ඩ් එකේ දවසක අපි කොහෙ හරි යමු මිස් කියලා යෝජනා කරෙත් ඒ ළමයිමයි. මේ ඔක්කොම සාකච්චා ඉන්ග්ලිශ් වලින්. ඒ කිසි ළමයෙක් සිංහලෙන් කතා කරන්න දන්නේ නෑ. කොහෙද කියලා ඇහුවම එයාලම හිතලා කල්වාරියට යමු මිස් කිව්වා. මම එහෙම නමක් ඇහුවෙ ෆස්ට් ටයිම්. කියපු ලොකේෂන් එක සර්ච් කරලා බලලා තමයි මාත් ඒකෙ අයිඩියා එක ගත්තෙ. ඒ ක්‍රිස්ත්‍රියානි අයගෙ පූජනීය ස්තානයක්.
 
එතන ක්‍රිස්තියානි හිටියෙ එක ළමයයි. අනිත් අය හින්දු. මම බෞද්ධ. 

ඉතින් අපි කතා කර ගත්ත දිනේට වෙලාවට එතන හන්දියට මම ගියා. මිස් කෑම ගේන්න එපා කියලා කලින්ම කිව්වට මට එයාලගෙ ප්ලෑන් එකක් කියලා තිබුනෙ නෑ. මමයි තව දරුවො දෙන්නෙකුයි එතනදි හම්බවුනා. අපිට ගෙනියන්න තව දුවලා දෙන්නෙක් ස්කුටි වලින් ආවා. තරමක් දුෂ්කර මාර්ගයක අපි කල්වාරියට ආවා. ඒ අතරමගදි එක දරුවකුගෙ ගෙදරින් අපිට තේ වලිනුත් සංග්‍රහ කරා. කල්වාරියේ පොඩි කැලයක් වගේ ඇතුලට යන්න යන්න මේ පිළිම දකින්න පුලුවන් උනා. ඒවා බලලා ආපහු ඇවිත් දරුවො ටික එලියෙ ලිපක උයන්න ගත්තා. උයන්න ඕන කරන දේවල් වතුර බෝතල් පවා ඒ ගොල්ලො උස්සන් ඇවිත් තිබුනා.
අපි නිවිහැනහිල්ලේ කතා කරන වෙලාවක එක දරුවෙක් ඇහුව මගෙන් මිස් බය හිතුනෙ නැද්ද අපි එක්ක එන්න. ඒ ප්‍රශ්නෙ මාව තිගැස්සුවා. ඒ වෙන මොනවත් නිසා නෙමෙයි. සිංහල මනුස්සයා දෙමළ මනුස්සයව විස්වාස කරන්නෑ වගේ දෙයක් ඒ ළමයින්ගෙ ඔලුවෙ තිබිලා තියෙනවද කියන එක. සහ එයාලා අපිව විස්වාස නොකරනවා කියන එක?  

අපි ඔක්කොම එකතු වෙලා ලොකු කෙසෙල් කොලේක බත් කෑවා..
පොඩ්ඩක් විවේක අරන් ආයෙ එන්න පිටත් උනා.
මාව බස් එකටත් ඇරලලා තමයි ඒ දරුවො ටික ගියේ. ඒක ඇත්තටම මට සුවිශේෂ ගමනක් උනා. 

Tuesday, January 9, 2024

ගුරු දිවියේ සොදුරු මතක.. 01

මාතොටින් එන උතුරු සුළඟේ..
ගිනි සිඹින මඩු පල්ලියේ..

මේ ගීතය මට ඇහෙනකොට මම හිටියෙ තුන වසරෙ හරි හතර වසරෙ හරි. පද වලින් කියවෙන අර්ථය 100%ක් නොතේරුණත් තේරුන ටිකෙන් මට ඒ ටීචව දැණුනා. පසුකාලීනව ගීතය ඇහෙනකොට මම මාවම උතුරු පළාතෙ උගන්වන ටීච කෙනෙක් විදිහට මවාගෙන බැලුවා. දෛවය කොයි තරම් පුදුමද. අද මම ඇත්තටම උතුරෙ ටීච කෙනෙක්. පාසල් නෙමේ. අර්ධ රාජ්‍ය අධ්‍යාපන ආයතනයක් කියලා විතරක් කියන්නම්කො. එක සිංහල වචනයක් වත් නොදන්න දමිළ ළමයින්ට අද මම උගන්වනවා.

මෙහෙ ඇවිත් උගන්වන්න ගත්ත පළවෙනි දවසෙ මම ලැබුව අත්දැකීම් ඔයාලා එක්ක බෙදා ගන්න කැමතියි. 2022 සැප්තැම්බර් මාසෙ මගේ IT කාමරයට ළමයි ටික ආවා. ඒක මගේ ඉස් ඉස්සෙලම කරන ක්ලාස් එක. ළමයි කීප දෙනෙක් ක්ලාස් එක ඇතුළෙ එහෙ මෙහෙ දුවනවා. මම ඇහුවා මොකද ළමයි මේ කියලා. එක ගෑණු ළමයෙක් මට කිව්වා මිස් එයාලට සිංහල තේරෙන්නෙ නෑ කියලා. මම කලින් දැනගෙන හිටියා දෙමළ ළමයිනුත් ක්ලාස් එකේ ඉන්නවා කියන එක. ඒත් ඒක මට ඇත්තටම දැනුන වෙලාව මේක. ඉතින් මම සරලම ඉන්ග්ලිශ් පාවිච්චි කරා එයාලගෙන් විස්තර අහන්න. යාළුවො එක්ක එක ළග තැන් වල ඉද ගන්න තමයි එයාලා කැරකි කැරකි ඉදලා තියෙන්නෙ. ඒ මගේ ක්ලාස් එකෙන් බාගයක් සිංහල ළමයි බාගයක් ටැමිල් ළමයි. දෙන්නෙක් හිටියා මුස්ලිම් ළමයි. ජනවර්ග තුනක ළමයි එකම ක්ලාස් එකක. ඒක මට හරි සතුටු හිතෙන අත්දැකීමක් උනා. මම හරි සතුටෙන් එයාලට උගන්නන ගත්තා. සාමාන්‍ය පෙළ ඉවර කරපු ළමයි. සමහර ළමයින්ට ලොකු ඉංග්‍රීසි දැනුමක් තිබුණෙ නෑ. මගෙන් ප්‍රශ්නයක් අහන්න ඕන උනොත් එයාලා ටැමිල් වලින්ම ඇහුවෙ. ඒක මට තේරෙන්නෙ නැති උනාම භාෂා දෙකම දන්න ළමයෙක් මට කියලා දුන්නා. දවසක් දෙකක් ගතවෙද්දි එයාලට මාත් එක්ක කතා කරන්න නම් ඉංග්‍රීසි ඕනෙමයි කියලා තේරුණා. ඒ නිසා දන්න හැම වචනෙම පාවිච්චි කර කර එයාලා මාත් එක්ක කතා කරන්න ගත්තා.
මේක මට අමතක වෙන්නෙ නැති අත්දැකීමක්. සතියකට දෙකකට පස්සෙ එක දවසක් ගෑණු ළමයි තුන් දෙනෙක් ක්ලාස් එකට ආවා මම තනියෙන් ඉන්නකොට. ආදරණීය හිනාවක් එක්ක එයාලා මලක් ගෙනාවා මට. ඒ වෙනකොට මටත් දෙමළ වචන ටිකක් පුළුවන් වෙලා තිබුණෙ. එයාලා කිව්වෙ මගෙ කොන්ඩෙ ගහන්න කියලා ඒ මල. ඉතින් මමත් හිනාවෙලා එයාලගෙන් කෙනෙක්ටම ඒ මල ගහන්න කියලා එයාලටම කියලා ෆොටෝ එකකුත් ගන්නවා ගත්තා.




ටැමිල් ලේඩි කෙනෙක් වගේ දැන් මිස් කියලා එයාලා සතුටෙන් ගියා. ටැමිල් ලේඩීස්ලා ඔලුවෙ මලක් ගහනවා. අපේ ස්ටාෆ් එකේ ටැමිල් මිස්ලත් සමහර දවසට ගහනවා. ඉතින් ඒ දරුවන්ට මාව ඒ විදිහට දකින්න ඕන වෙන්න ඇති.
කාලයත් එක්ක දරුවො හැමෝම මාත් එක්ක ගොඩක් සමීප උනා. අපි දෙගොල්ලගෙ භාෂාව අපි දෙගොල්ලොම නොදැන ගත්තත් අපි අතර ලොකු බැදීමක් ඇති උනා.

මගේ විෂය IT. මම දීපු Activity එකක් ඉවර කරපු ළමයෙක් ටක් ගාලා පුටුවෙන් නැගිටලා ඉවර කර ගන්න බැරි ළමයෙක් ළගට ගිහින් කරන හැටි කියලා දෙනවා දැකපු දවසෙ මට හරි සතුටක් ඇති උනා. ඒ ළමයි දෙන්නටම අනිත් කෙනාගෙ භාෂාව බෑ. ක්ලික් දිස් ක්ලික් දිස් මට ඇහෙනවා. කොහොම හරි කරන හැටි අර ළමයට කියලා දුන්නා. මගේ රටේ දරුවො හැමෝම ඒ වගේ උනොත් අනාගතේ මේ රට කොච්චර ශක්තිමත් වේවිද කියලා මට හිතුනා. කාටවත් බෙදලා වෙන් කරන්න බැරි වෙයි අපේ රට.
එයාලත් එක්ක ගත කරපු සුන්දර කාලයේ මතක ගොඩක් තියෙනවා. තවත් දවසක ඔයාලා එක්ක බෙදා ගන්න එන්නම්.


Saturday, July 30, 2022

අසාර්ථකවීම්, වැරදීම්..

අසාර්ථක වීම්, වැරදීම්වලට ඔබ බයයිද? මම බොහොමත්ම බය වෙලා හිටපු කාලයක් තිබුණා. ඒ ඉගෙන ගන්න කාලෙ. පන්තියේ පාඩම් වලදි උත්තර දැනගෙන උත්තර නොදුන් අවස්ථා සෑහෙන්න තිබුණා. වැරදීම් වලට තියෙන බයට. ප්‍රශ්න ප්‍රත්‍රයකට උත්තර ලියලා වැරදෙන ප්‍රශ්න ගැන අනන්තවත් කනස්සල්ලෙන් හිටියා.

ජීවිතේ ප්‍රශ්නෙකදි උනත් හිත දෙපැත්තකට බෙදිලා තර්ක කරා. වරදින්න තියෙන චාන්ස් එක ගැන දිගින් දිගටම දිගින් දිගටම හිතුවා. ඒ වගේම වැරදුනාම අනිත් අයගෙ අවඥාවට ලක් වෙයි කියලා තැවුණා. 

ඔය අතරෙදි, ඒ ලෙවල් ක්ලාස් යන කාලෙ අපේ සර් කෙනෙක් කියපු කතාවක් මගේ හිතට බොහොම තදින් කාවැදුනා. ඒ ගැන මම දිගින් දිගටම දිගින් දිගටම හිතුවා. ඒක මගේ ටියුට් එකක පිටිපස්සෙ ලිව්වා. අද මට ඒක අහම්බෙන් මතක් වුණා.

තෝමස් අල්වා එඩිසන් මහත්මයා බල්බය සොයා ගත්තෙ 10 000 වතාවක් අසාර්ථක වෙලා. ඉතින් පසුකාලිනව කෙනෙක් ඔහුගෙන් අවඥාවට ඇහුවලු ඔබට 10 000 පාරක්ම වැරදුනා නේද කියලා. ඉතින් තෝමස් මහත්මයා ඔහුට අපූරු පිළිතුරක් දුන්නා. මම 10 000 වතාවක් අසාර්ථක වුණේ නෑ. බල්බය නොසෑදිය යුතු ක්‍රම 10 000 ක් මම ඉගෙන ගත්තා. 

ප්‍රශ්න පත්‍රයක වෙන වැරදීම් වලින් දුක් නොවීමෙන් මම පටන් ගත්තා. ඒ වැරදීම් මතක තියාගෙන ඊළග වතාවෙ ඒක නිවැරදිව කලා. ජිවිතේ පවා අසාර්ථක වීම් ඇතුලෙ ඉගෙන ගන්න දේවල් දැක්කා.
අපිට තියෙන කෙටි ජීවිත කාලෙ, හැම දෙයක්ම අත්දැකීමෙන්ම ඉගෙන ගන්න කාලය මදි වෙන අවස්ථාවන් තියෙනවා. එතකොට අපි යන මාර්ගයේ කලින් ගියපු අයගෙ අත්දැකීම් අපිට වැදගත්. ඒවා අපිට සාර්ථකත්වයට ලොකු රුකුලක් වෙනවා ගොඩක් වෙලාවට. ඉතින් වැරදීම් වලට බය වෙන්න එපා. ඒකෙන් දෙයක් ඉගෙන ගෙන අත් අරින්නෙ නැතුව ඉස්සරහටම යමු.

~මුදී~
2022.07.30

Friday, July 29, 2022

මගේ රට


ජීවිතයේ ඉතාම දුෂ්කර පරිච්ඡේදයක් පසු කරමින් සිටින කාලයක මා බ්ලොග් සටහනේ අකුරු අමුණන්නට ආයෙමත් ආවා. කිසිවක් නොතේරෙන කුඩා දරුවාගේ ඉඳලා වයස්ගත වැඩිහිටියා වෙනකන් අපි හැම දෙනාගේම ජීවිත මේ දුෂ්කර කාල පරිච්ඡේදය හමුවේ අසරණ වෙලා.

අනාගතය දුර තියා සැලසුම් කරගෙන ආපු බොහෝ දෙනා, ඒ සැලසුම් අමතක කරලා හෙට දවස හෝ අද දවසේ ජීවිතය ගැන පමණක් සිතන තැනටම පත් වෙමින් ඉන්නවා. නිශ්චිත උත්තර නැති ප්‍රශ්න අපි හැමෝගෙම ජීවිත වලට එකතු වෙලා.

ඒ හැමදේම එහෙම වෙද්දි, මේ ගෙවුන කාලෙ මට දකින්න හම්බවුණ හරි ලස්සනම දේවල් ටිකක් තිබුණා. කොයි තරම් අමාරුවෙන් හිටියත් මිනිස්සුන්ගෙ හිත් වල තියෙන ලස්සන මතු වුණ අවස්ථා. තමන් ගෙනාපු එක බත් එක පෝලිම් වල අනිත් අයත් එක්ක බෙදාගෙන කෑවා. විදේශිකයන්ගෙ ප්‍රවාහනයට තෙල් ලබාදෙන්න අවස්ථාව ලබා දීපු ජනතාව. එක චූටි දුවෙක් සංචාරකයන් හම්බවෙලා කත කරනවා, අපේ රටේ ලස්සන ගැන අනිත් විදේශිකයන්ට කියලා එයාලට මෙහෙ එන්න කියන්න කියලා ඉල්ලනවා.

අසල්වැසියන් එක්ක තමන්ට තියෙන ආහාර බෙදාගන්න මිනිස්සු ඉන්නවා. ලස්සන මනුස්සකම් පිරුණු හදවත් මගේ රටේ තියෙනවා. ඉතින් ඒ මිනිස්සුන්ට දවසක හරි යනවා. අඳුරු උමඟක් කෙලවර ආලෝකයක් තියෙනවා. ඉතින් මේ අමාරු කාලෙ ඉක්මනින් ගෙවිලා හොඳ කාලයක් මගේ රටට ඉක්මනින් උදා වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා! 🙏

Tuesday, January 23, 2018

(7) පොඩි දූ....,

දෝණියේ නුඹ දෙදෙන එකවර
මගේ කුස තුළ පැමිණ උන්නා
දකින්නට පෙර පැටව් දෑසින්
අප්පච්චි නුඹෙ නිවන් වැඩියා..

පෙර දිනෙක කෑ බත් පතක රස
මතක දින දින දුරස් වූවා
ටිකෙන් ටික සනුහරේ නෑයොත්
නොදැන ගානට අහක බැලුවා..

කුස ගින්න කෑ මොර නගද්දී
නැගුනු කිරි බිඳ නුඹට පෙව්වා
දෝණියේ නුඹ දෙදෙන තුරුළුව
රෑ ගණන් මම කඳුළු හැලුවා..

කිරිම කිරි සුදු පාට රථයක්
දෝණි ඉල්ලා දොරක් ඇරියා
හැලි වලං වල පිරුණ හිස්කම
නුඹව දෙන්නට කියා කිව්වා

ගෙවී දස වසරකට පසු දින
ඒ රථයෙ දොර නැවත ඇරුණා
පුංචි ලැවරිය කඩේ ලොකු දූ
කවුරු ආවද කියා බැලුවා..

සුරඟනාවිය ලෙසින් පොඩි දූ
ඇරුණු රථයෙන් බිමට බැස්සා
නෝට්ටුවකට කෑම පෙට්ටිය
මගේ ලැවරිය වලින් පිරුණා..

මුදි
2018-01-24