Wednesday, September 14, 2016

කාලය හරහා සීගිරි අතීතයට... 04 කොටස

4 කොටස

අවට පරිසරයෙන් වශී වී සිටි මුතූට ඉදිරියට කුමකට මුහුන දීමට සිදුවේදැයි කල්පනා වූයේ නැත.. ඇය නොයිවසිලිමත්ව සිටියේ යන්ත්‍රය ගල මුදුනටම ළඟා වන තුරුය.. එය ක්‍රියාත්මක වන ආකාරය ඇයට ඉහලදී දැක ගත හැකි විය..
ශක්තිමත් මිනිසුන් කිහිප දෙනෙකු දබරයක් කරකවමින් සිටි.. එය කප්පි පද්ධතියකට සම්බන්ධ වී ඇත.. මිනිසුන් විසින් දබරය කරකවන විට කප්පි මතින් දම්වැල් එතෙමින් යන්ත්‍රය ඉහල යයි.. ගලෙහි කට්ට හා යන්ත්‍රයේ දැති රෝද මගින් එම ක්‍රියාව වඩාත් පහසු කර ඇත..
දෑත් බැදි අයුරින්ම සිටි මුතූත් ඇත් ගොව්වාත් එයින් ඉවතට ගන්නා ලදී.. චමත්කාරයෙන් එල්බ සිටි ඇගේ සිතට බිය ඇතුල් වූයේ එවිටයි.
මෙලෙස වරදකරුවන් ලෙස ගෙන යන්නේ සිර ගත කර දැමීමටද.. නැවත නිදහසක් නොලබන ලෙස අතීතයේ සිරකරුවන් ලෙස සිර ගත වීමට සිදු වුවහොත්..! මා ආපසු යන්නේ කෙසේද.. මුතූගේ සිත බියෙන් සැලෙන්නට විය.. මෙහිම මිය යාමට සිදු වූවොත්! :'(  නැහැ. ආපසු යාමට මාර්ගය කෙසේ හෝ සොයා ගත යුතුයි. ඇය සිතා ගත්තා ය.
පටු කොරිඩෝවක් දිගේ ඇයව රැගෙන යන ලදී..
ආභරණ වලින් හා අලංකාර සළුපිලි වලින් සැරසීගත් පිරිසක් ඔවුන් ඉදිරියේ විය.. ඒ මධ්‍යයේ දිලිසෙන ඔටුන්නක් වැන්නක් පැළඳගත් තේජාන්විතව කෙනෙකු  හිදගෙන සිටියේය..
" දෙවියනේ...මේ කාශ්‍යප රජතුමාද.. මා කාශ්‍යප රජු ඉදිරියේ!!!  එහෙත් නිසැකවම තීරණය කරන්නේ කෙසේද.."

"මැය කවුරුන්ද.."

රජු විශ්මයෙන් මුතූ දෙසට අත දිගු කරමින් විමසීය..

"කසුබ් මහ රජානෙනි, මැය බටහිට උද්‍යානයේ සිටියදි සෙබළුන් විසින් අල්ලා ගත්තා.. ඇතැම් විට ඔත්තුකාරියක් විය හැකියි.."

එය නම් මුතූට කට වසාගෙන සිටීමට නොහැකි චෝදනාවක් විය..

"නැහැ මා ඔත්තුකාරියක් නොවෙයි රජතුමනි.."

එකෙනෙහිම සෙබලෙකු උල් ආයුධය ඇය වෙතට එල්ල කලේ ඇගේ වදන් වල වූ කෝපවත් හා වේගවත් බව නිසා විය හැක.. රජු අතින් සංඥා කර එය වලක්වනු මුතූ දුටුවා ය..

"පවුරු තුනක රැකවල් තිබියදීත් කෙසේද මගේ උයනට ඇතුල් වූයේ.. පැමිනියෙ කොහේ සිටද ඔබ.. මොනවද ඔබ ඔය හැද සිටින්නෙ..? "

රජුගේ ස්වරය තරමක් දැඩි වුවද එහි අකාරුණික බවක් නොවීය..
චෝදනාවෙන් කෝපයට පත්ව සිටි මුතූ  ඉන් අනතුරුව සංසුන් ලෙස පිළිතුරු දුන්නාය..

"මා පැමිනියේ අනාගතයේ සිටයි.."

එය ඇසුනු මොහොතෙහිම රජු වටා සිටි පිරිස එකිනෙකාගේ මුහුනු බලමින් මුමුනන්නට විය..
රජු වික්ශිප්තව බලා හිද මෙසේ ඇසීය..

"මා ඔබට පැවසුවෙ සත්‍ය පවසන ලෙස.."

මුතූ පැවසුවේ අසත්‍යයක් යැයි සිතූ රජු එසේ විමසීය..

"අසත්‍යයක් නොවෙයි රජතුමනි.. ඔබම පැවසුවා පවුරු තුනක ආරක්ශාව තිබෙනවා යැයි කියලා.. මා කෙසේද පැමිනෙන්නෙ.. මා ඇද සිටින ඇදුම් ඔබ මීට පෙර දැක තිබෙනවාද.."

සෙබළුන් විසින් ගත් ඇගේ බෑගය ඒ වන විටත් සෙබලුන් විසින් රජුට ලබා දී තිබූ බැවින් රජු වටා සිටි පිරිස ඒවා නිරීක්ෂණය කරනු මුතූ දුටුවා ය.. ඇය එදෙසට ඇගිලි දිගු කරමින් මෙසේ පැවසුවා ය..

"ඔබ ඒවා දැක තිබෙනවාද.. මේවා අතීතයේ හෝ වර්තමානයේ ඒවා නොවෙයිනෙ.. අවුරුදු 1500 කටත් ඈත අනාගතයේ ඒවායි මේ. මා පැමිනෙන්නේ එහි සිටයි..
කාලය හරහා අතීතයට පැමිනීමේ මායාව..මා දන්නේ නැහැ.. එය කල පුද්ගලයාව මා දන්නේ නැහැ.. මෙය..මෙය ඔබට විශ්වාස කරවීමට ක්‍රමයක් මා දන්නෙ නැහැ රජතුමනි." :(

මද වේලාවක් කල්පනා කල රජු  මුතූව පරීක්ෂා කරන ලෙස සේවිකාවන්ට පැවසීය..
මුතූව කුටියක් වෙත රැගෙන ගිය ඔවුන්  තමාව පරීක්ෂා කලේ ආයුධ සඟවා සිටින ත්‍රස්තවාදියෙකු පරීක්ෂා කරන අයුරින් යැයි ඇයට හැගිනි.

************************************

(මතු සම්බන්ධයි.)

කාලය හරහා සීගිරි අතීතයට... 05 කොටස

5 කොටස

මුතූ ගේ කරාබු සහ කර පැළදි චේන් පට දෙස බැලූ එක් කාන්තාවක් මෙසේ විමසීය..

"ඔබ පැවසූ අනාගතයේ ඔබ සේවිකාවක් විය යුතුයි."

ඒ මොහොතේ ඔවුන් එසේ පැවසුවේ කුමක් නිසා දැයි අවබෝධ කර ගැනීමට නොහැකි වූ මුතූ එයට පිළිතුරක් දීමට උත්සහ නොකලාය..
එහෙත් ඔවුන් අදහස් කල දේ පසුව වටහා ගත් මුතූට තනිවම සිනහ නැගිනි... ඔවුන් සේවිකාවන් වුවත් ඔවුන් පළදා සිටි තරම් වත් ආභරණ මුතූට නොවූ නිසා එසේ සිතන්නට ඇතැයි ඇය අනුමාන කලාය..
බොහෝ ආභරන පළදින්නේ රජ පවුලේ කාන්තාවන් බවත් දෙවනුවට අන්තඃප්පුර ස්ත්‍රීන් බවත් මුතූ පසුව දැන ගත්තා ය. ඔවුන් මුතූව පරීක්ෂා කරන අතර ඇය නිරීක්ෂනය කලේ කුඩා කුටියයි. රාත්‍රියේ දල්වන පන්දමක් ද එහි විය..
පසෙක තිබූ සයනයන් මත වූ ඇතිරිලි වල අලංකාරයන් බැලීමට තව මොහොතක් හෝ ඇයට එතැන සිටීමට නොහැකි විය.. පරීක්ෂා කර අවසානයේ සේවිකාවන් ඇයව රජු වෙත ගෙන යන ලදී..
ඔවුන් රජුට යමක් පැවසීය..
තවත් මොහොතකින් රජු මෙසේ පැවසීය..

" මැය විජ්ජාකාරියක් විය යුතුයි.. අනාගතයේ සිට පැමිනි යන කීම මට කිසිසේත්ම විශ්වාස කල නොහැකියි.. මා හෙට දිනයේ භික්ෂූන් වහන්සේ හමු වූ පසු මට එය විසදා ගත හැකියි.. '

හ්ම්හ්. බිසවුන් හා කුමරියන් කැමති වේවි විජ්ජාකාරියක් දකින්නට.. මැයව රැගෙන එනු! "

රජු පසුපසින් එම කාන්තාවන් මුතූව රැගෙන ආවෝ ය. ඒ වන විට මුතූ ගේ දෑත් හිරි වැටී තිබිනි.. දෑත් ලිහීමට රජුගේ අණ නොලැබුනු බැවින් එය සිදු වූයේ නැත. බිසවුන් හා කුමරියන් දැක ගැනීමේ ආශාවක් ඇයට තිබූ නමුත් දෑත් බැද, දිය උගුරක් හෝ කුසට අහරක් නැතිව මෙසේ ප්‍රදර්ශනයට ලක් වීම ඇය තුල කලකිරීමක් ඇති කලේය..

මොහොතකින් අලංකාරවත් වූත් විචිත්‍ර වූත් සළු වලින් සැරසුනු, ආභරණ පැලඳ ගත් සුන්දර තරුණ කාන්තාවන් දෙදෙනෙකුත් මැදිවියේ කාන්තාවකුත්, මහළු කාන්තාවකුත් ඇය ඉදිරියේ විය..
ඔවුන්  පසු පසින් සිටි කාන්තාවන් සියල්ල මුතූ මෙතෙක් දුටු පඩුවන් පැහැ සළු ඇඳ ගත් කාන්තාවන් මෙන්ම විය.. ඔවුන් සේවිකාවන් විය යුතුය..
සීගිරි අතීතය පිලිබඳ මූලාශ්‍ර තොරතුරු සොයා ඒවායින් පෝෂනය වී සිටි මුතූට ඔවුන් සිව් දෙනා අනුමාන කිරීම අපහසු වූයේ නැත.
කළු පැහැ මහළු කාන්තාව රජුගේ මව විය යුතුය.. මැදි වියේ කාන්‍තාව රජුගේ බිසව විය යුතුය.. සුදු පැහැ තරුණිය බෝධි කුමරිත් කළු පැහැ ලාබාල තරුණිය උත්පලවන්නා කුමරිය බවත් ඇය අනුමාන කලා ය.
ඔවුන්ගේ විශ්මය පිරුනු දෑස් මුතූ වෙතට යොමුව තිබිනි.. නිහඩතාවය බිඳිමින් රජු මෙසේ පැවසීය..

"මැය විජ්ජාකාරියක්. අනාගතයේ සිට පැමිණ ඇතැයි පවසනවා මැය. බටහිර උයනෙ සිටියදියි සෙබළුන්ට හමුව තිබෙන්නෙ.."

කුමරියන් දෙදෙනාගෙන් ඇස් ඉවතට ගැනීමට අසීරු තරම් ඔවුන් සුන්දරය.. ඔවුන් වරලස පිටුපසට බැඳ මුහුන දක්වා  නැවත එක් කොට බැඳ ඇති මුත් හිස් මුදුනින් උස්ව නොපෙනේ.. මෙලෙස වරලස හිස මැදට යොදා සැකසීමේ දී හාවිතා කලේ යැයි සිතිය හැකි කැනීම් වලදී හමුව තිබූ කොණ්ඩා කටුවක් කෞතුකාගාරයේ තිබූ බව මුතූට සිහි විය.. කුමරියන් මෙන්ම බිසවුන් ද නලල් පටක් පැළඳ  සිටියා ය..
ඔවුන් ස්වාභාවික මල් වලින් සැකසූ හා ගල් ඇල්ලූ හිස් පළඳනා පැළඳ සිටී.. සිවු දෙනාම වලලු හා බාහු පළඳනා පැලද සිටියහ..
බිසවුන් මුතු වැල් පැළඳ සිටි අතර බාහු වලට ද මුතු වැල්ම පැළඳ සිටියා ය..
ඔවුන් අත් වල වළලු පහකට වැඩි සංඛ්‍යාවක් පැළඳ සිටි අතර එම වළලු පෙලෙහි මුල සහ අග වළලු මැණික් ගල් අල්ලා මෝස්තර සහිතව නිර්මාණය කල ඒවා ය.. අපූරු පාවහන්ද ඔවුන්ගේ පාදයන්හි විය..

"පියානෙනි, මා ඇයව ස්පර්ශ කර බලන්නද.."

රජු අවසර දීමටත් ප්‍රථම බෝධි කුමරිය මුතූ වෙතට පැමිණියා ය..

"එපා!! දියණිය, ඇයට ලං වෙන්න එපා.. ඇය විජ්ජාකාරියක් බව පැවසුවනෙ මා."

ඔත්තුකාරියක් යැයි පවසා නැගූ චෝදනාවෙන් පසු නැවතත් මෙලෙස විජ්ජාකාරියක් ලෙසත් පැවසීම මුතූට තවත් දරා ගත් නොහැකි විය..

"නැහැ බෝධි කුමරියනි, මා විජ්ජාකාරියක්  නොවෙයි.. මගෙන් අනතුරක් නැහැ කිසිවෙකුට.."

බිසවත්, රජුගේ මවත්, කුමරියනුත් නැවතත් විශ්මයට පත් විය.. රජු වහා මෙසේ පැවසුවේය..

"හහ්. පෙනෙනවද.. මැය ඔබේ නමත් පැවසුවෙ. කෙසේද ඇය විජ්ජාකාරියක් නොවන බව පවසන්නෙ..? "

මේ චෝදනා වලින් පීඩනයට පත්ව සිටි මුතූ, තමාව සිරකිරීමට හෝ මරණයට පත් කිරීමට  හෝ වෙනත් දඩුවමක් රජු නියෝග කරතැයි සිතුන බැවින්  ඇගේ දෑස් වල කඳුළු පිරෙන්නට විය..

"දෑත් රිදෙනවා.කුසගිනි කුමරියනි."

කදුළු වැල් අතරින් ඇය බෝධි කුමරියට පැවසුවා ය. මුතූ පිළිබඳ අනුකම්පාවක් කුමරියගේ දෑස් වල විය..

"පියාණනි, ඇයට ආහාර දිය යුතුයි අප.."

මොහොතක් කල්පනා කල රජු මුතූව කුටියකට දමන්නට අණ කල අතර එහිදී ඇගේ දෑත් ලිහා දමන ලදී... කුටියෙන් පිටත දැකීමට කුඩා කවුලුවක් විය.. කුටිය තුලටම ආහාර ලැබිනි. තැම්බූ අල කිහිපයකුත් පළතුරුත් එහි විය.. අධික කුසගින්න නිසා ඒ සියල්ල හිස් කිරීමට මුතූට වැඩි වේලා ගත වූයේ නැත.

********************************

(මතු සම්බන්ධයි.)

කාලය හරහා සීගිරි අතීතයට... 06 කොටස

6 කොටස

පෙර අවස්ථාවේ මුතූව පරීක්ෂාවට ලක් වුනු කුටියේ මෙන් මෙහිද පැන් කලයක් විය.. ජලය පානය කිරීමෙන් පසු ඇය අසල වූ ඇදෙහි හිඳ ගත්තාය..
සිදු වූ සිදුවීම් සියල්ල එකිනෙක ඇගේ මනස ඉදිරියේ මැවෙන්නට විය.. මෙසේ සිරවී තවත් කොපමන කාලයක් ඉන්නද.. අතීතයට ගොස් සීගිරිය බැලීමට සිතෙහි බලවත් ආශාවක් තිබූ බව ඇත්තකි.. නමුත් මෙසේ අතීතයේ සිර වීමට සිදුවීම කෙසේවත් බලාපොරොත්තු නොවුනකි..

ඉදගත් ඇදෙහි වූ සුවපහසු බව,  ඇතිරිල්ලේ වූ සිනිදු බව ඇගේ ගතෙහි විඩාව නිමවන සුව පහඩු නින්දකට මඟ පෑදුවේය.. දෑස් පිය වී ගෙන යන මොහොතේ මිහිරි සංගීත හඩක් නිසල පරිසරය තුලින් ඇයට ඇසිනි..

මුතූ අවදි වන විට  ඇය අසල තවත් කාන්තාවන් දෙදෙනෙකු නිදා සිටිනු ඇය දුටුවාය..
එය එම කුටියේ එක් පසක් පුරාම විහිදුනු තරමක් විශාල සයනයක් වූ  බැවින්  ප්‍රමානවත් ඉඩකඩක් එහි තිබිනි. ඔවුන් මුතූ සමග වැඩිමනක් කථා කිරීමට ඉදිරිපත් නොවූ අතර කතා කල වචන ස්වල්පයත් කතා කලේ තැතිගත් ස්වරූපයකිනි..
ඔවුන් මුතූ ව වැසිකිලියක් වෙත රැගෙන යන ලදී.. එහි ඇතුළත මැටි බඳුන් දෙකක් විය.. ඒවා ගඩොල් මතින් පොලවටම සවි කර ඇත.මුතූ විශ්මයෙන් එදෙස බලා හිදින විට එක් කාන්තාවක් ඇයට එය ක්‍රියා කරන අයුරු කියා දුන්නා ය..

ජල පද්ධතියකින් එහි ළඟා කර තිබූ ජල පිහිල්ලෙන් එම මැටි බදුන පිරී තිබිනි.පිහිල්ල ඉහලට කර ජල ගැලීම නවත්වා වැසිකිලි කෘත්‍ය නිමවූ පසු  නැවතත් පිහිල්ල පහතට කළ විට බදුන පිරිසිදු විය.. ඇත්තෙන්ම ඔවුන්ගේ තරමට එය අපූරු නිමැවුමකි..
ඉන් පසුව මුතූගේ අතට කෝටු කැබැල්ලක් ලැබිනි. එය දත් මැදීම සදහා ය. ඔවුන් කරන අයුරින් මුතූ ද එය සපන්නට විය.. පසුව නෑම සදහා පොකුනක් වෙත රැගෙන යන ලදී.. කාන්තාවන් කිහිප දෙනෙකුම එහි ස්නානය කරනු මුතූ දුටුවා ය.. සියලු දේ මොහොතකට අමතක කල ඇය එහි දිය නාමින් විනෝද විය.. එහි වූ සිසිල් ජලය ගතට සුවයක් විය..

නැවත කුටියට රැගෙන ඒමෙන් පසු ඇයට ආහාර ලැබිනි. ඉමිහිරි සුවදක් වහනය වූ බත් එහි විය.. එහි බදුනක සුදු පැහැයෙන් වූයේ මීකිරි බව දුටු මුතූ එයත් ආහාරයට ගත්තාය.. ඇත්තෙන්ම ප්‍රනීත රසක් එහි විය..
කෙතරම් රසවත් ආහාර තිබුනද ඇයව කුටියක මෙසේ සිර කර ඇති බව දැනුනු විට නම් බිය මුසු කලකිරීමක් ඇගේ සිත වෙලා ගත්තේය..
උදෑසන ආහාරයෙන් පසු රජුගෙ නියෝගය පරිදි මුතූව එහි කැඳවන ලදී..

"ඔබ පවසන්නෙ සත්‍යක්ද..අසත්‍යක්ද.. යන්නත්, ඔබට කල යුත්තේ කුමක්ද යන්නත් මා මෙම ගමනින් පසු තීරණය කරන්නම්."

එලෙස පවසා රජු පිටත් විය.. මුතූද එම ගමනට සහභාගි කර ගැනීමට රජු අදහස් කල බව මුතූට හැඟුනේ ඇයව රැගෙන ඒමට රජු විසින් සේවිකාවන්ට අණ කල නිසා ය. මුතූ බේරී යාමට හෝ දැගලීමකට උත්සහ නොකල බැවින් ඇගේ අත් තව දුරටත් බැද තැබීමක් සිදු නොවිනි..
නැවත වරක් කර්කටක යන්ත්‍රය මතින් යාමට මුතූට අවස්ථාව ලැබිනි. යන්ත්‍රය පොලවට ලගා වීමට ආසන්න වන විට ඇත් කරත්තයක් ගමන් කරනු දැක ගත හැකි විය..

" රජු පිටත් වනවා.ඉක්මන් කල යුතුයි අප."

අයෙක් එසේ පැවසුවේය. මුතූ සමග සිටි පිරිස යන්ත්‍රයෙන් බැස ගත් පසු ඔවුන් ගමන වේගවත් කලෝය..
"අපූරුයි! මටත් ඇත් රථයක ගමන් කල හැකියි.."
මුතූ සිතුවා ය.. අලංකාර ලෙස සැරසූ රථය ඔවුන්ට ඉදිරියෙන් ගමන් කලේය.. මුතූගේ බලාපොරොත්තුව කඩ විය.. රථයෙන් ගමන් කලේ රජු පමණකි. මුතූ ඇතුලු පිරිසට පයින්ම රථය පසුපසින් ගමන් ගැනීමට සිදු විය...

************************************

(මතු සම්බන්ධයි.)

*සැලකිය යුතු:  සීගිරි මාලිගා වල වැසිකිලි භාවිතය පිළිබඳ කිසිදු මූලාශ්‍රයක සඳහන් වන්නේ නැත. නමුත් අතීතයේ එම කෘත්‍ය සඳහා මැටි බදුන්   භාවිතය මා අසා ඇත්තෙමි. එබැවින් මෙහි සඳහන් කර ඇති එහි ක්‍රියාකාරිත්වය මා විසින් නිර්මාණය කරන ලද්දක් මිස සත්‍ය තොරතුරක් නොවේ..

කාලය හරහා සීගිරි අතීතයට... 07 කොටස

7 කොටස

මේ යන්නේ කොහාටදැයි තමා සමග ගමන් ගන්නා සේවිකාවන්ගෙන් විමසීම නිෂ්ඵල බව මුතූ දැන සිටියා ය.. මේ වන තුරු කිසිම සේවිකාවක් අවශ්‍යම වචනයක් දෙකක් හැරෙන්නට ඈ සමග කථාවට එළඹුනේ නැත. එය ඔවුන්ට තහනම් කර තිබුනා විය හැක. ඔවුන් ජල මාර්ගයක් ආසන්නයෙන් ගමන් කලෝය.. අනෙක් පසෙහි වනාන්තරය පමනක්ම විය..

ඇත් රියෙන් ගමන් කලේ රජු පමණකි. රියට පරිවාර ලෙස පිටුපසින් ගමන් කල සියයකට අධික සෙබලුන් හා සේවිකාවන් ගෙන් යුක්ත වූ පිරිසගේ පා හඩ හැරුනු විට වෙනත් කිසිදු හඩක් කිසිවෙකුගේ මුවින් නැගුනේ නැත..
මෙතරම් සංවර බවක්!!
අවසානයේ ඔවුන් විහාරස්ථානය වෙත ලඟා වූහ. මුතූ අනුමාන කල අයුරින්ම ඒ පිදුරංගල විහාරයයි.. මේ පිළිබද තොරතුරු දැන ගැනීමට මුතූට අවශ්‍යව තිබූ නමුත් කිසිවෙකු ඇය හා කතා නොකිරීම එයට බාධාවක් විය..
පෙනෙන තෙක් මානයේ කුඩා කුටි කිහිපයක් විය .
රජුත් තවත් සෙබළුන් කිහිප දෙනෙකුත් එහි යන ලදී...

"ස්වාමීන් වහන්සේ වනයේ භාවනා කරනවා විය යුතුයි.."

යැයි සෙබලෙකු පවසනවා මුතූට ඇසුනි. එම ස්වාමීන් වහන්සේ වඩින තෙක් බලා සිටීමට ඔවුන්ට සිදුවිය..
විශාල දුරක් පයින්ම ගමන් කර සිටි පිරිස, ස්වාමීන් වහන්සේ වඩින තෙක් අවට වූ ගල් තලාව මත වාඩි වී ගිමන් නොහරින්නේ ඇයි දැයි මුතූ සිතුවාය.. පිරිසේ කිසිවෙකුවත්, රජු වත් එසේ හිද ගත්තේ නැත..
මුතූ ට නම් තවත් සිට ගෙන සිටීම අසීරු විය.. එහෙත් අනෙක් කිසිවෙකු ඉද ගැනීම නොකරන බැවින් ඇය අපහසුවෙන් සිටගෙන සිටියාය.. මෙය ඔවුන්ගේ ශරීර ශක්තියද එසේත් නැති නම් බය පක්ශපාතිත්වයද යන්න මුතූ කල්පනා කලාය..

අඩ හෝරාවක් පමන ගත විය.. දුඹුරුවන් සිවුරක් හැදි ස්වාමීන් වහන්සේ නමක් අප සිටින දෙසට වැඩියහ. රජු ඇතුලුව පැමිනි පිරිස ස්වාමීන් වහන්සේට වඳින ලදී..
මුතූ වඳින මොහොතේ ස්වාමීන් වහන්සේ ඇය දෙස බලා මද සිනා පෑහ. මේ අතීතයට නුහුරු ඇදුම් තමා ඇද සිටිනවාට විය යුතු යැයි සිතා ඇයට ලැජ්ජාවක් ඇති විය.. එවිටම භික්ෂූන් වහන්සේ මෙසේ පැවසූහ.

"කාලය හරහා අතීතයට පැමින ඔබට වුනු විපතක්! එහෙම නේද.." :)

එය ඇසීමෙන් විශ්මයට පත් වූ මුතූට කිසිවක් කියා ගත නොහැකි විය..
ස්වාමීන් වහන්සේට කලින්ම ආරංචි වී ඇත්ද.. නැතිනම් කිසිවෙකුත් පිළිනොගන්නා මා  අනාගතයෙන් පැමිණි කථාව ස්වාමීන් අහන්සේ එලෙසම පැවසුවේ කෙසේද.. මුතූ ඒ පිළිබඳව සිත සිතා සිටින විට ස්වාමීන් වහන්සේ කුටියට වැඩියහ. රජුද එතුලට ගමන් කලේය.. රජු විසින් ස්වාමීන් වහන්සේගේ සුවදුක් විචාරනු පිටත සිටි ඔවුන්ට ඇසිනි.

"ඔබ වහන්සේලාගේ පැන් පහසුව සදහා තවත් පොකුණු කිහිපයක් තැනවීමටයි මගේ අදහස.."

රජු පැවසීය.. භික්ෂූන් වහන්සේ එය ප්‍රතික්ෂේප කලහ. පවතින පොකුනු ප්‍රමානවත් බව රජුට දැන්වීය..
රජු තමා ආ කාරණය පවසන්නට ආරම්භ කලේය..

"ස්වාමීන් වහන්සෙ, මට ගැටළුවක් තිබෙනවා.. එයට විසදුමක් ලබා ගැනීමටයි ඔබ වහන්සේ වෙත පැමිනියෙ."

එවිටම ස්වාමීන් වහන්සේ මෙසේ පැවසූහ..

"ඇය පවසන්නෙ සත්‍යක් රජතුමනි. ඇය අනාගතයේ සිට මෙහි පැමින ඇත්තේ මේ අතීතයේ තොරතුරු සෙවීමට.. "

ඉන් පසු පැවසූ කිසිවක් පිටත සිටි අපට පැහැදිලිව ඇසුනේ නැත.
මුතූට ඇගේ සවන් අදහා ගත නොහැකි විය.. රජු කිසි ම මොහොතක තමා ආ කාරණය ස්වාමීන් වහන්සේට නොපැවසූ බව ඇයට විශ්වාසය..
එසේ නම්..එසේ නම් මේ ධ්‍යාන ලාභී භික්ෂුවක් විය යුතුය.. ඇය තනිවම සිතුවා ය..
එය ආපසු යාමට කාලය වූ බැවින් නැවතත් සියලු දෙනාම ස්වාමීන් වහන්සේට වැඳ අවසර ගත්හ.
ඇත් රථයෙහි යාමට මුතූට තිබූ ආශාව ආපසු යන ගමනේදී ඉෂ්ඨ විය.. රජු අණ කල පරිදි සේවිකාවන් ඇයව එයට නැග්ගවීය.. කෙටි තරප්පුවක් ඔස්සේ ගොඩ විය යුතු වූ අතර රජුට ඉදිරියේ පසෙකින් වූ ආසනයක ඇයට ඉද ගැනීමට අවසර ලැබිනි.
ඇතෙකුගේ ගෙල දෙපස රැඳවුමක් රියට සම්බන්ධ කර ඇත. රෝද දෙකක් මතින් රථය ගමන් කරයි.දෙපස බැලීමට රථයෙහි කවුළු දෙකක් තිබිනි. එවර නම් රජු ඇයව පිළිගත්තේ සිනා මුසු මුහුනින්‍ ය..

"ඔබව අමුත්තකු ලෙස අප රාජ්‍යයට පිළිගන්නවා! "

*************************************

(මතු සම්බන්ධයි.)

කාලය හරහා සීගිරි අතීතයට... 08 කොටස

8 කොටස

යන ගමනේදී පිදුරංගල ගැන තොරතුරු රජුගෙන් ම අසා දැන ගැනීමට සිතා මුතූ  රජු සමග කථාව ආරම්භ කලාය.. ඇය  විමසූ පැනයට රජු කැමැත්තෙන්ම පිළිතුරු දුන්නේය..

" මා ගිරියට පැමිනෙන විට භික්ෂූන් වහන්සේලා පන්සියයක් පමන එහි වාසය කලා.. මගේ ආරක්ෂාවන් සදහා ගැලපෙනම වාසස්ථානය එතැනයි. මට එතැන මගේ රාජධානිය ගොඩ නගන්නට අවශ්‍යම වුනා.. එම නිසා එහි සිටි උන් වහන්සේලාට මෙහි ආරණ්‍යයක් සාදා පූජා කලා මා විසින්.
'පිදූ ආරණ්‍ය ගල' කියලයි මෙය දැන් හදුන්වන්නෙ.. භික්ෂූන් වහන්සේලා බොහෝ අය මා සමග අමනාපයි, ඔවුන් වැඩ සිටි ස්ථානය අහිමි කලාට.. නමුත්..නමුත් මට කල යුතු යමක් තිබුනේ නැහැ..
මා දැන් කතා කරමින් සිටි භික්ෂූන් වහන්සේ එසේ නැහැ.. මට ගැටළුවක් දැනුනු ඕනෑම අවස්ථාවක උන් වහන්සෙ හමුවටයි යන්නෙ මම."

මේ පිදුරංගල ට නුදුරින්ම දිනෙක රජුගේ නිසල දේහය තැන්පත් කර ආරාමයක් ඉදි වන ස්ථනය බව ඔහු දන්නේ නම් කුමක් සිතේදැයි මුතූ සිතුවා ය.. ඇය එය නොකීමට වග බලා ගත්තේ රජුගේ දුඃඛිත මරණය පිළිබදවත් පැවසීමට සිදුවෙතැයි සිතා ය..

"ඔබ මෙහි පැමිණියෙ අතීතය ගැන සෙවීමට බව ස්වාමීන් වහන්සේගෙන් මා දැන ගත්තා.. මා එය පිළිගන්නවා.. මාත් කැමතියි ඔබ ජීවත් වන අනාගතය පිළිබඳ දැන ගැනීමට.."

මුතූ වර්තමාන වාහන වලින් පටන් සියලු දේ රජු සමග පැවසුවා ය.. රජු විශ්මයෙන් අසා සිටියේ ය.. ඇතැම් දේ ඔහුට තේරුම් ගැනීමට නොහැකි වූ අතර, ඇතැම් දේ  විශ්වාස කිරීමටත් මැලි බවක් විය..
පසුව රජතුමා මෙසේ විමසීය..

"ඒක නොවෙයි. ඔබ කෙසේද මගේ වැඩිමල් දියණියගෙ නම දැන ගත්තෙ.. අපගේ රජ පවුල පිළිබඳ අනාගතයේත් ප්‍රසිද්ධද.."

මුතූ එයට පිළිතුරක් දීමට ප්‍රථම ඇය රජු වෙත ප්‍රශ්නයක් නැගුවා ය..

"රජතුමනි, එයට පෙර මට ඔබෙන් යමක් දැන ගත හැකිද.. මේ කාලය වන විට ඔබ බෝඋපුල්වන් කසුබ්ගිරි විහාරය (වර්ථමානයේ ඉසුරුමුණි විහාරය)  ප්‍රතිසංස්කරණය කරල ද තිබෙන්නෙ.. නැති නම් එසේ කිරීමට බලාපොරොත්තුවක් තිබෙනවද..."

"ඔව් වසර දෙකකටත් පෙරයි එය සිඳු කලේ මම.. ඔබ එයත් දන්නවද..
ඔහ්. මට සෑම විටම අමතක වෙනවනෙ ඔබ අනාගතයේ සිට පැමිනි බව.."

"රජතුමනි, එම විහාරයේ සෙල්ලිපි වලින් කියවෙනවා ඔබ එම විහාරය ප්‍රතිසංස්කරණය කර ඔබේ දියණියන් වෙනුවෙන් සංඝයාට පූජා කල බව.
'බෝ-උපුල්වන්'  ඔබේ දියණියන් දෙදෙනා බවත්, මුලින් යෙදූ නම වැඩිමල් කුමරියට අයත් විය හැකි බවත් වර්ථමානයේ අප අනුමාන කලා.."

වර්ථමානයේ එම විහාරය හඳුන්වන්නේ ඉසුරුමුණිය ලෙස බව නොකීමට මුතූ වග බලා ගත්තා ය. රජු මෙසේ නම් තැබූ විහාරය වෙනත් නමකින් හදුන්වන්නේ යැයි පැවසීම අවශ්‍ය නොවන බව ඇය සිතුවාය..
රජු එක්වරම මහත් උද්‍යෝගයෙන් මුතූගෙන් මෙසේ විමසී ය..

"එසේ නම්...එසේ නම්... ඔබට කිව හැකියිනෙ මගේ අනාගතය පිළිබදව.. පවසන්න..ඔබ දන්නා සියලු දේ පවසන්න..කුමක්ද සිදුවන්නෙ.."

මුගලන් සමග ඇති වන යුද්ධයේදී ඔහු සියදිවි නසාගෙන මිය යන බව කෙසේ නම් රජුගේ උද්‍යෝගිමත් මුහුණ දෙස බලා ගෙන කියන්නට දැයි මුතූ සිතුවා ය.. ඇතැම් විට ඔහු එය විශ්වාස නොකර කෝප වීමට ද හැකිය..
නැවත වරක්  සිර ගත වීමට ඇයට අවශ්‍ය නොවීය.. එබැවින් මුතූ අසත්‍ය නොවූ වෙනත් පිළිතුරක් ලබා දී එම ප්‍රශ්නයෙන් නිදහස් වූවාය..

" ඇත්තෙන්ම රජතුමනි, සීගිරි අතීතය ගැන අප නිශ්චිත තොරතුරු දන්නේ නැහැ. බොහෝමයක් මතවාද පමනයි තිබෙන්නෙ..
මා මෙහි පැමිනීමට ඇත්නම් යැයි සිත සිතා සිටියෙත් ඒ ඇතිව තිබූ කුතුහලය නිසාමයි.. අනෙක රජතුමනි ඉතිහාස ග්‍රන්ථයක් වන මහානාම හිමියන් ලියූ මහාවංශයේත් සීගිරි රාජධානිය පිළිබඳ ප්‍රමානවත් තොරතුරු නැහැ.."

ඔහ්.මුතූට අවසානයට කියූදේ කියුවා නොවේ කියවුනා ය..  රජුගේ පියාණන් වන ධාතුසේන රජු නෑකමින් මහාවංශය ලියූ මහානාම හිමියන්ගේ බෑනා කෙනෙකි.. ඇය දුර දිග නොසිතා පැවසූ දෙයින් රජු මහානාම හිමියන් සමග කෝප ගැන්වෙතැයි මුතූ බොහෝ කණගාටු විය..
නමුත් රජුගේ වතෙහි කිසිදු කෝපයක් නොවීය.. රජු මෙසේ පැවසුවේය..

"උන් වහන්සේගේ ගිහි කල බෑනනුවන් ගේ මරණයට වග කිව යුත්තා ගැනත්, ඉන් පසු එම ඝාතකයා ගොඩ නැගූ මේ රාජධානියේ වර්ණනාව ගැනත් ලිවීමට උන් වහන්සේට අවශ්‍ය නොවන්න ඇති.. " :( :(

*********************************

(මතු සම්බන්ධයි.)