Wednesday, October 26, 2016

සපත්තුව

නොසිතූ මොහොතකම මහ වැස්සක් කඩා වැටෙන්නට විය..

"ෂික්. මගෙ වෙලාව.. තව චුට්ටක් කලින් ඔෆිස් එකෙන් පැන ගන්න හම්බුනා නං මෙලහකට බස් එකේනෙ.."

මා මටම මුමුනා ගතිමි. මගේ මේ නොරිස්සුමට එකට එක කිරීමට මෙන් වැස්ස තව තවත් තම බල පරාක්‍රමය පෙන්වන්නට පටන් ගත්තේය.. මා සාරිපට බදවටා කරකවා අනෙක් කෙලවර ඉනට යට කොට ගත්තෙමි.. කුඩය ඉහලා ගත්තද එයටත් වැස්සේ තද බව දරා ගත නොහැක. 

"දැන් ඉතින් මොනවා කරන්නද.. හෝල්ට් එකට යන්න අමාරුයි මෙහෙම. අර කඩ කෑල්ල ඉස්සරහින් වත් ඉන්නවා වැස්ස අඩු කරනකන්." 

එසේ සිතමින්ම මා දුවගෙන විත් කඩයට ගොඩ වීමි.. කුඩයෙන් හිස ආවරණය වුවත් ගතම වැසි දියෙන් තෙමී ඇත. උරහිසට පිටුපසින් බලමින් සාරියෙහි වතුර ගසන්නට දැරූ උත්සහයේදී දුටු සාරියේ මඩ පැල්ලම් මගේ මතකයට ගීතයක පද එක් කලේය..

ඔබ තෙමෙයි කියා බයයි
වැසි වසී සුලං තදයි
කුඩයට ඔරොත්තු නොදෙයි
සාරිය පිට මඩ ඉහෙයි..

වැස්ස පිලිබඳ නොරිස්සුම් ගෙන තිබූ මගේ මුවෙහි ගීතය මතක් වීමෙන් සිනහවක් ඇදිනි.. 

"ම්ම්.. කවුරු මම ගැන එහෙම හිතන්නද.." 

මා මටම කියා ගතිමි.. 
වැස්සෙන් බේරීමට තම තමන්ට සෙවනක් සොයා දිව යන මිනිසුන් අතරේ එවැනි කෙනෙක් සිටින්නට  හැකිදැයි මා සිතුවෙමි.. 

"මුතුමි, ඇයි බං තාමත් උබට බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් නැත්තෙ?"

නෙරංජි දිනක්  මගෙන් ඇසුවාය..

"ම්ම්.. හිතට හරියන කෙනා තාම හම්බ වුනේ නැහැ අනේ.. ඉරණම්කාරයා හම්බවෙනකන් ඉතින් මම බලන් ඉන්නවා.."

"උබ නම් මොන ජාතියෙ කෙල්ලෙක්ද කියලා මට හිතාගන්න බෑ.. සුරංගනා කථා වල වගේ ඉරණම්කාර කුමාරයා මකරෙක් එක්ක ෆයිට් කරලා.. ටවර් එකක් නැගලා.. එහෙම නැත්නම් උබේ සපත්තුවත් උස්සගෙන ඉස්සරහට එයි කියල බලන් ඉන්නවද.. ඇයි බං මේ ඔෆිස් එකේම කී දෙනෙක් උබ ගැන ඉන්ටරෙස්ට්ද.. ඒ කවුරු හරි ගැන හිතපංකො. "

එවිට මා සිනා සී හෙමින් වෙනත් කථාවකට මාරු වන්නෙමි. 

නැහැපුඩු ඉවසුම් නොදෙමින් ගලා ආ පොල් රොටී සුවද මගේ සිතුවිලි වලට හරස් විය.. පොල් රොටී!! වහින වෙලාවට කන්න නියම කෑම. ලුනු මිරිස් සමග පොල් රොටි මතක් කල සිත නිසා මුවට කෙල ඉනුවේය.. 
වැස්ස ටිකක් තුරල් වී ඇත.. කුඩය ඉහල ගත් මා හෝල්ට් එක වෙත පියමං කලෙමි. 
එක් වරම මා දෙසට  කැපූ මෝටර් රථය නිසා මා පසෙකට විසි වීමි.. පය ලිස්සූ නිසා ගැලවුනු සපත්තුව අසල වේගයෙන් ජලය ගලා යමින් තිබූ කානුව තුලට විය.. මේ මහ පාර නොවේ නම් මා කෑ ගසා හඩමි.  වැස්සෙන් ලැබූ අඩම්තේට්ටම් මදිවට සපත්තුවත් අහිමි වී ඇත. කකුලෙහි මඩ තලියකි. මා බොහෝ ඇළුම් කල සපත්තු යුවල.. ඵලක් නුවූවත් තම සගයා අහිමි වූ අනෙක් සපත්තුව දමා යාමට මට සිත් දුන්නේ නැත. හැකි ඉක්මනින් හෝල්ට් එක වෙත යාම හැරෙන්නට අන් විකල්පයක් නැත. 

දෑස් කොනකට ගලා ආ කදුලු බිදු වැසි දියටම එක් වන්නට ඉඩ දී මා ගමන් ගතිමි. 
හෝල්ට් එකෙහි පියස්සෙන් වැටෙන ජල පහරට කකුල අල්ලා සෝදා ගතිමි. කුඩා කල නිවසේ දී අප්පච්චීට හොරෙන් මල්ලීත් මමත් වැහි පීල්ලට කකුල ඇල්ලූ සුන්දර අතීතය මගේ මතකයට නැගුනි.
තරුණ යුවලක් හැරෙන්නට කිසිවෙකුත් හෝල්ට් එකෙහි නොවීය.. මා පැමිනීමට මොහොතකට පෙර බස් රථය පිටවී ඇත. තව කොපමන වෙලා සිටින්නට සිදුවේද.. 
මා සාරිය පහතට අදිමින් නිරුවත් යටි පතුල් වසා ගන්නට උත්සහ කලෙමි. මේ වැස්සේම සපත්තු කඩ සොයා පාවහන් වලින් තොර දෙපා වලින් ඇවිද යන ලැජ්ජාවට වඩා මෙය හොදය. බසය පැමිනි පසු බෝඩිම ලගින් බැසීම පමනකි..
වැස්සට මෙසේ සෙල්ලම් කිරීමට මාවම අවශ්‍ය වූයේ ඇයි දැයි කෑ ගසා හැඩීමට මට සිතිනි. 

මොහොතකින් දීප්තිමත් නිල් පැහැති මෝටර් රථයක් හෝල්ට් එක ඉදිරියේ නැවැත්වීය.. මා සමග සිටි යුවල හදුනන අයෙකු විය යුතුයි. 
'ඔව්. මේ මහා වැස්සේ මගේ තනියට හෝ සිටි ඔවුන් දෙදෙනාත් පිටත් කර යවා මා තවත් තනි  කරන්න.' :'( 
මා වැසි සවස ගැන තවත් කලකිරුනෙමි.. 

'කුමක්ද.. ඔහු පැමිනෙන්නේ මා දෙසටය..'

 "මිස්ගෙ සපත්තුව නේද.. "

පුදුමයකි.. කානුවෙහි  ගසාගෙන ගිය මගේ අනෙක් සපත්තුව ඔහු අතේය.  මට එක්වරම කිසිවක් සිතාගත නොහැකි විය.. 
ඔහ්. හෝල්ට් එකට එමින් සිටියදී මා දෙසට කැපූ මෝටර් රිය මෙය බව මගේ මතකයට නැගුනි. 

"එක පාරටම පිටිපස්සෙන් ඉස්සර කරපු වාහනේ නිසා මට අයිනට කපන්න වුනේ.. මිස්ව ලිස්සලා සපත්තුව වැටෙනවා මම දැක්කා.. ඒත් මිස් එතැනින් යන්න ගියා මම එනකොටම.. කානුව පහල රැදිලා තිබුනා මේ සපත්තුව.. එක්ස්ට්‍රීම්ලි සොරි.."

මා අසා සිටියෙමි.. මා ඉදිරිපිට නොනවත්වා කථා කරන අපූරු තරුණයා දෙස බලා උන්නෙමි.. වැස්සේ මුරන්ඩුකම් වලින් ගල් වී තිබූ මගේ හදවත ඔහුගේ වචන වලින් උනුසුම් වන්නාක් මෙන් දැනුනි.. ඔහු තව තවත් කථා කරනවා නම් යැයි මගේ හදවත ඉල්ලා සිටියේය..

තවමත් සපත්තුව අතට නොගත් මා දෙස ඔහු විශ්මයෙන් බලා සිටී.. මා යලිත් පියවි සිහියට එලඹුනෙමි. 

"අහ් ඉට්ස් ඕකේ. තෑන්ක්‍ යූ." :)

මා එය අතට ගැනීමට උත්සහ කරන විටම..

"චුට්ටක් ඉන්න.. මිස් එරුනු වෙලාවෙ ගෑවුන මඩ ටිකක් තියෙනවා.. "

ඔහු එය වැහි පීල්ලට අල්ලා සිටියේය.. එහි ඇලී තිබුනු මඩ තට්ටු වැසි දිය වැටීමෙන් දියවී යනයුරු මා බලා සිටියෙමි... 

එක පිට එක වැස්ස කල අඩම්තේට්ටම් වලින් දොම්නස් ව තිබූ මගේ සිතත්, ඒ මොහොතෙහි වැසි දියෙන් මඩ ඉවත්ව බැබලෙමින් තිබූ සපත්තුව මෙන්  විය.. 

නිමි.

Monday, September 26, 2016

මවක් නොහඳුනන්නී.. 01 කොටස

මවක් නොහඳුනන්නී.. - 01 කොටස
හැදින්වීම :-
දරු සෙනෙහසක් පිළිබඳ කථා කිරීමක් මේ කථාංගය මගින් සිදු කරමි.. මවකගේ හැඟීම් ගැන කථා කිරීමට මා කුඩා වැඩියයි යමෙකුට සිතිය හැක.. නැත.. ඕනෑම කාන්තාවක් තුළ මවක් ජීවත් වේ.. ඇගේ ආත්මය පුරාම ඒ මව ජිවත් වේ.. ඇතැම් විට සොයුරියක්, යෙහෙලියක් බිරිදක් ලෙස සෙනෙහසින් ඔබව රැක ගන්නේ ඒ මව් ගුණයයි.. කාන්තාවක් ඈ සතු දස්කම් මතින් ඉදිරියටම යා යුතුය.. මා එය හදවතින්ම අනුමත කරමි. නමුත් විවාහ ජීවිතය මවක බිරිඳක ලෙස ඇය තමාගේ චරිතය මනා ලෙස තේරුම් ගත යුතුය.. ගයානිගේ සහ ශානිගේ ජීවිත තුලින් මා ඔබට කියාපාන්නට උත්සහ කරන්නේ එයයි...
*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*
"ගයානි මට අර KSO ගෲප් බිල්ඩින් එකේ නෙට්වර්ක් පොජෙක්ට් එකේ රිපෝර්ට් එක පුලුවන් ඉක්මනට හදලා ගෙනත් දෙන්න.. "
මා පුදුමයෙන් මිස්ට සුජීව දෙස බැලුවෙමි..
"සර් මම ඒක උදෙන්ම සර්ට ගෙනත් දුන්නනෙ... "
"ඔහ්. මේ දවස් වල මගෙ කල්පනාව නම්! ඕකේ. ගයානි යන්න."
මිස්ටර් සුජීව.. ගෙට්වේ ලංකා හි අධිපතිවරයායි.. ඔහු මෙලෙස සිහිමද අයෙකු සේ කටයුතු කරනු දැකීම දැන් දැන් නිතර සිදු වන්නකි..
දිනක් මා ප්‍රොජෙක්ට් ප්ලෑන් එකක් සාකච්චා කිරීමට ඔහු හමුවට එනවිට සුජීව මේසය මත හිස තබාගෙන සිටියේය..
"සර්... "
මා කටහඩ අවදි කලෙමි..
"අ.. ගයානි එන්න.. "
ඔහු හිස එසවූයේ රත් පැහැ දෙනෙත් පිසදා ගන්නා ගමන්ය..
"සර්...මොකක් හරි ප්‍රශ්නයක්ද? "
මා විමසුවේ ඔහුගේ එම පෙනුම දැක දැකත් නොඅසා සිටින්නට බැරි නිසාමය..
"නැහැ ගයානි.. මේ පොඩි හෙඩෙක් එකක්.."
එදින මා ඔහුගෙන් මදක් හෝ බල කර ඇසුවේ නම් ඔහුගේ ගැටළුව මට කියා පාන්නට තරම් ඔහු ඉදිරිපත් වන තරමට ඔහුගේ මනස ඒ මොහොතෙහි දුර්වල බව මට හොදින් වැටහිනි.. නමුත් මා ප්‍රතිපත්තියක් වශයෙන් මගේ සැමියාගේ හැර වෙනත් පිරිමින් ගේ ජීවිත වල දුක බෙදා ගන්නට නොයමි.. එදින මා එතනට පැමිනි රාජකාරිය නිමකරගෙන එතැනින් පිට වුනෙමි..
මිස්ට සුජීවගේ පෞද්ගලික ජීවිතය අප සැවොම ඉදිරියේ ගෙනහැර දක්වන්නේ නිලූ ය.. ඇය මිස්ට සුජීවගේ නිවසට නිවෙස් දෙකක් ආසන්නයේ ජීවත් වන්නියකි..
"ගයානි මැඩම් දන්නවද... අපේ සර්ට ඩිවෝස් එක හම්බ වෙලානෙ.. අම්මෝ අර යක්ශනීගෙන් දරු පැටියයි සර්රුයි බේරුනා.. දරුවගෙ අයිතිය උසාවියෙන් සර්ට හම්බ වෙලා තියෙන්නෙ.. ඒත් මේ ගෑණි එක කදුලක් එලියට දැම්මෙ නෑලුනෙ.. අනේ මෙහෙමත් අම්ම කෙනෙක්.. "
මා නිලූගේ කථා අසන්නට නොයමි.. එහෙත් ඇගේ මේ පුවත් අසා සිටින්නට ඕනෑ තරම් අය අප ආයතනයේ සිටී..
මා ප්‍රොජෙක්ට් මැනේජර්වරියක ලෙස ගෙට්වේ ලංකා වෙත පැමිනෙයේ මීට වසර දෙකකට පෙරයි.. ඒ කාලය මිස්ට සුජීව විවාහ දිවියට ඇතුලත් වූ අලුතයි.. එදා සිට අද වන තෙක් ඔහු ගේ ජීවිතයේ සිදුවූ වෙනස් වීම් සියල්ල මා දුටුවෙමි..  තම පරම්පරාවෙන් උරුම වූ ව්‍යාපාර වලට අත නොතබා ඔහු තමාගේම ව්‍යාපාරයක් කුඩාවට ආරම්භ කලේය.. අපගේ ගෙට්වේ ලංකා හි ඇරඹුම එලෙසයි..
එකල මෙහි සේවය කල ශානිකා නම් තරුණිය හා සුජීව සර් අතර ප්‍රේම සම්බන්ධයක් හට ගෙන ඇත.. ඔවුන් දෙදෙනාගේ මේ එකතුව ගෙට්වේ ලංකා ව්‍යාපාරය මෙසේ ඉහලට ගෙන ඒමට හේතු වී ඇත.. උපතින්ම ධනවතෙකු වූ පරම්පරාවෙන් ව්‍යාපාර ලද සුජීවට වඩා සාමාන්‍ය පවුලක ශානිකාට ව්‍යාපාර ඥානය හොදින් පිහිටා තිබුනේය.. ඇයගේ එකතු වීමත් සමඟ සුජීවගේ ව්‍යාපාරය ව්‍යාපාර ලොවේ ඉහලින්ම වැජඹිනි..  බම්බලපිටියෙහි තවත් ශාකාවක් ආරම්භ වී ඇත්තේ ඉන් පසුවයි..
කෙසේ වෙතත් ව්‍යාපාර සදහා ඔවුන්ගේ මෙම අනගි ගැලපීම විවාහ ජීවිතයක් සදහා නම් ගැලපීමක් වූයේ නැත.. ඔවුන් දෙදෙනාගේ ඇසුරට සුජීවගේ පාර්ශවයෙන් මව්පියන් බලවත් අකමැත්තක් දැක්වීය.. ඒ ශානිකා ඔවුන්ගේ පරම්පරාවට නොගැලපෙන බව කියමිනි..
නමුත් සුජීවගේ තනි කැමැත්තට ශානිකාගේත් ඔහුගේත් විවාහය සිදුවී ඇත.
ගත වූ කාලය තුළ මේ විවාහය දෙදරා යාමට හේතුව මම නොදනිමි.. නමුත් ව්‍යාපාරයේ ලද ආධිපත්‍ය ඇය නිවසේදී පවුල් ජීවිතය තුලත් තබා  ගන්නට උත්සහ කලා යැයි මා අනුමාන කරමි.. මා එසේ අනුමාන කිරීමට හේතුව  ඇගේ එම හැසිරීම් වරෙක මා දුටු බැවිනි..
ඔහුගේත් ඇයගේත් කුළුදුල් පුතු ඉපදුනු පසු අප ආයතනයේ කිහිප දෙනෙකුද සමග මා ද එහි ගියෙමි.. ශානිකා මැඩම් ගැන අසා තිබුනාට මා ඇයව ප්‍රථම වරට දුටුවේ එදිනයි.. එදින මා දුටු ඇගේ හැසිරීම සහ කථාබහ මට අද මේ නිගමනයට එලඹීමට හේතු විය..
අදටත් බම්බලපිටිය ශාකාව ඇගේ යටතේ පවතී.. මගේ සැමියා අනූපම සේවය කරන්නේ එහිය.. අප දෙදෙනාටම එකම ආයතනයක් තුල සේවය කරන්නට අවසර නැති බැවින් ඔහුත් මමත් එකම ව්‍යාපාරයක ආයතන දෙකට වීමු..
"ගයානි ඔන්න අපේ ශානි මැඩම් ගෙට්වේ ලංකා එකේ MD.. නෙක්ස්ට් මන්ත් ඉදන්.."
සවස නිවසේදී අනූපම මට කියුවේය..
"අහ්..එතකොට අපේ සුජීව සර්.. ? "
"ඒකනම් දන් නැහැ.. අපි ඉතින් හාර හාර අහන්න ගියෙ නෑ.. දන්නවනෙ එයාගෙ කට.. නෙක්ස්ට් මන්ත් ඉදන් ටෙම්ප්‍රරි  මෙහෙට කෙනෙක් දානවයි කිව්වෙ එයා හෙඩ් ඔෆිස්  එකට යනවා කියලා.."
"අපෙ සර් නම් එහෙම දෙයක් කිව්වෙ නෑ.. ශානි මැඩම් ට මුළු බිස්නස් එකම අයිති වෙලාද. ඒත් නෑ ටෙම්ප්‍රරි කෙනෙක්ව දානවා කියන්න ඇත්තෙ මැඩම් ආපහු එනවා ඇතිනෙ..."
"ඒ මොනවා උනත් ගයානි ඔයාට මැඩම් එක්ක වැඩ කිරීමේ දුර්ලභ අවස්තාවක් හම්බ වෙනවා.. "
"අනේ යන්න.. "
"හැමදාම මැඩම් එක්ක වැඩ කරන අමාරුව  මගෙන් අහලා විතරනෙ තිබුනෙ.. :D "
අනූපම කියුවේය..
"හා.. ඉතින් ඔයාට ඔය තරම් අමාරු නං මොකෝ ගෙට්වේ ලංකා එකේ තවත් හිටියෙ.. මේ රටේ වෙන කම්පැනීස් නෑ වගේ.. "
"ම්ම්.. අපේ එකේ මොනවා උනත් සැලරි හොදයිනෙ සුදෝ......... "
පසු දින උදෑසනම සුජීව සර්ගෙන් මට කැදවීමක් ලැබිනි.. 
"ගයානි, මම කැනඩා යනවා ටික කාලෙකට.. මාස කීයක් වගේද කියලා මට තාම කියන්න බැහැ..."
"සර් මේ හදිසියේම?? "
මා විමසුවෙමි...
"පර්සනල් ගමනක් ගයානි.... ශානි මේ කම්පැනි එකට ඒවි නෙක්ස්ට් මන්ත් ඉදලා..
මම...ගයානිට කථා කලේ.. ලොකු උදව්වක් ඕනෙ මට අනූපමගෙනුයි ගයානිගෙනුයි.."
"කියන්න සර්.. මොකද්ද.. "
ඔහු වෙනුවෙන් අපට කල හැක්කේ කුමක්දැයි මා විශ්මයට පත් වෙමින් ඔහුගෙන් ඇසුවෙමි..
"මම හවස එන්නම් ගයානිලගෙ ගෙවල් පැත්තෙ.. අනූපමට කියන්න... ආවම කථා කරමු.. මේ ගැන කථා කරන්න ඔය දෙන්නම ඕනේ.."
                       ============
"අනූ අද සුජීව සර් මෙහෙ එනවා කිව්වනෙ.."
මා මෙන්ම ඔහුද පුදුමයට පත් විය.. සර් කිසි දිනෙකත් මෙහි පැමින නැත..
"සර් ටික කාලෙකට කැනඩා යන කථාවක් කිවුවා.. අපි දෙන්නගෙන් ලොකු උදව්වක් ඕනෙලු.. මොකද්ද ඇහුවම කිව්වා කථා කරන්න අපි දෙන්නම ඕනේ ඒ නිසා හවසට මේ පැත්තෙ එනවා කියලා.."
"උදව්වක්?"
"ඒක තමයි මටත් පුදුමෙ.. බලමුකො.."
එදින සවස ඔහු අප නිවසට පැමිනියේය..
"මේ උදව්ව ඉල්ලන්න මට විශ්වාසවන්ත කෙනෙක් නැති නිසයි මම ඔය දෙන්න හොයාගෙන ආවෙ.. විශ්වාසවන්ත යාලුවෙක්වත් අඩුම තරමෙ මගෙ ගෙදර අයවත්... මේ දේ කරන්න නැහැ  අද මම ලඟ.. මට මගෙ ජීවිතේ ඔයාල ලඟ තියලා යන්න පුළුවන්ද.."
සුජීව සර්ගේ දෙනෙත් තෙත් වී ඇත.. අනූපමත් මමත් මුහුනට මුහුන බලා ගතිමු..
ජීවිතේ..?
ඔහු කියන්නේ කුමක්ද යන්න අප දෙදෙනාටම නොතේරේ..
අප දෙදෙනාගේම කුතුහලය පිරුණු දෑස් දුටු ඔහු මෙසේ පැවසීය..
"මගෙ දරු පැටියා.. මම ආපහු එනකන් මගේ දරු පැටියා බලා ගන්න ඔයාලට පුළුවන්ද... "
පීතෘ සෙනෙහසක් කැටි වුනු ආයාචනාත්මක ස්වරයකින් ඔහු අපගෙන් ඉල්ලා සිටියේය..
"මම කිසිම කෙනෙකුට නොකියපු කථාවක් තියෙනවා.. මට කැන්සර් එකක් තියෙනවා.. මම දැනගෙන දැනට මාස දෙකක් විතර.. මට මගේ පුතා වෙනුවෙන් ජීවත් වෙන්න ඕනේ අනූපම.. "
සර්ගේ මුවින් ඉකිබිදුමක් පිට විය... අනුපම ඔහු අසලට ගොස් දෑත් තදින් අල්ලා ගත්තේය.. මගේ දෑස් වලටද කදුළු නැගී තිබිනි..
"කැනඩා යන්නෙ ට්‍රීට්මන්ට් වලට... මගෙ යාලුවෙක් ඉන්නවා එහෙ.. මේ ගැන ශානි වත් දන්නෙ නැහැ.. එයා දැනගත්තයි කියලා වැඩක් වෙන්නැහැ කියලා මම දන්නවා.. තමන්ගෙම ලෙයින් හැදුන දරුවා ගැන හැගීමක් නැති එයාට.. මම ගැන අමුතුවෙන් ඇති වෙන හැගීමක් නෑ.
මගෙ මැරේජ් එකට ගෙදරින් කැමති වුනේ නැහැ.. ඒත් මම ශානිව මැරි කලා.. පොඩි පොඩි රණ්ඩු අපි අතර තිබුනා ඒ දවස් වල .. ඒත් අපි නොගැලපෙන බව තේරුනේ දරු පැටියා ලැබුනටත් පස්සෙ..
ගයානි ඔයා ඔයාලගෙ දරු පැටව් දෙන්නා ගැන තියෙන ගැගීම.. ඒ ආදරය මම දැකලා තියෙනවා.. ඒත් මම කවදාවත් ශානිගෙන් ඒ වගේ දෙයක් දැක්කෙ නෑ.. එයාට ඕනෙ වුනේ බිස්නස්.. හැමතිස්සෙම.. එයාට ෆැමිලි ලයිෆ් එක ඇතුලෙත් තිබුනෙ බිස්නස් එක ගැන කථාමයි.. තේරුම් කරලා දෙන්න යන හැම තිස්සෙම අපි අතර රණ්ඩු ඇති වුනා.. පුතාට අවුරුද්දයි අපි වෙන් වෙනකොට.. ඒත් එයාට දරුවා ගැන වත් කිසිම ගානක් තිබුනෙ නෑ.
මගෙ නංගි තමයි මෙච්චර කල් දරුවව බලා ගත්තෙ.. ජූලි වල එයා මැරි කරලා ඕස්ට්‍රේලියා ගියා.. අපෙ අම්මට ශානිව කොහෙත්ම පේන්න බැරුවයි හිටියෙ.. මම දරුවා ගෙනාව දවසෙ ඉදන් ඒ කිරිසප්පයගෙනුත් අම්ම දැක්කෙ ශානිව.. "
"සර් ගිහින් සනීප වෙලා එන්න.. මමයි ගයානියි දරුවව බලා ගන්නම්.. "
අනූපම කීවේය.. ඔව්. මගෙන් විමසීමට අවශ්‍ය නැත.අප දෙදෙනාගේම අදහස් වල වෙනසක් නැත...
සුජීව සර් පිටව ගියේ ලයේ තිබූ බරක් සැහැල්ලු කර ගත්තා යන හැඟීමෙන් බව අප දෙදෙනාටම වැටහිනි..
"සර් පව් අනූ.. මැඩම් ඔය වගේ කෙනෙක් උනේ ඇයිද මන්දා.."
"හ්ම්.. ඔයා දන්නෑ එයාගෙ හැටි.. මේ අපෙ සර් වුනත්... කවුරු උනත් මේ වගෙ අසරණ වෙලාවක උදව් නොකර බැහැනෙ.. ඔයාගෙ කැමැත්ත අහන්නෙත් නැතුව මම දරුවව භාර ගත්තට තරහක් නැහැනෙ.. "
"ඔන්න කිවුවා ඉතින් .. ඔයා ගත්තෙ හරිම තීරනේ අනූපම. ම්ම්ම්... අපේ දඟ මලු දෙකට තවත් එක්කෙනෙක් එකතු වෙන්නයි යන්නෙ එහෙනම් ඔන්න .. "
අප දෙදෙනාන එකවර සිනාසුනේ සිතේ මතුව ආ සෙනෙහසක්ද කැටිවයි...
අලුත් අමුත්තා සුජීව සර් සමග අප නිවසට පැමිනියේය...
"මොකද්ද පැටියගෙ නමම.... ම්ම්.... "
සියුමැලි සිනාවකින්ම දරුවා මගේ හදවතේ ලැගුම් ගත්තේය.. මෙවැනි කිරි දරුවකු ගැන තැකීමක් නොකරන දරුවාගේ මවත් සුජීවගේ මවත් පිළිබඳ මට පුදුම සිතිනි... මවකට එසේ විය හැකිද... මා ඔහුව වඩාගෙන තුරුලු කර ගත්තේ ඒ සිතිවිලි ඔස්සේ ඇති වූ හැඟීම මගේ හදවතට දරා ගත නොහැකි වූ නිසාය..
*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.
(මතු සම්බන්ධයි.)

මවක් නොහඳුනන්නී.. 02 කොටස.

මවක් නොහඳුනන්නී... - 02 කොටස.
"හෙට රෑ ටූ තර්ටි ෆ්ලයිට් එකේ මම පිටත් වෙනවා.. දරුවා ඔයාලගෙ ලඟ කියල  ශානිවත් කවුරුවත් දන්නෙ නැහැ.. මම යනවා කිවුවම වත් එයා දරුවා ගැන ඇහුවෙ නෑ. අවුරුද්දකින් වත් එයා දරුවව දැකලා නැහැ.. "
සර් එදා අපෙන් සමු ගෙන ගියේ  ඔහුගේ ජීවිතය අප දෙදෙනා ළග තබාය..
"අනූ, සර්ගෙ දරුවා අපි ළග කියලා නොකියා ඉමු හොදේ කාටවත්.. යාලුවෙක්ගෙ බබෙක් කියමු.. "
ඔහුත් එය අනුමත කලේය..
පසු දින උදෑසනම MD අසුන ශානිකා මැඩම් සතු විය.. ආයතනයේ සියලු දෙනාම කැදවා ඇය දේශනයක් දුන්නාය..
ඇගේ නීති සහ ක්‍රියාවන් දැඩි බව ඇගේ දේශනයෙන් අපට අවබෝධ විය...
ඇයට දෛනිකව ඉලක්ක තිබූ අතර ඒ ඔස්සේ අපව හැසිරවූයේය.. සුජීව සර් යටතේ වැඩ කිරීමට වඩා වැඩ අධික විය..
"ගයානි අද දවසෙ මේ ප්‍රොජෙක්ට් දෙකම රිපෝර්ට් ඕනේ.. "
දිනකට මට ප්‍රොජෙක්ට් දෙකක වැඩ කිරීම අපහසුය.. නමුත් මා කිසිවක් නොකියා එය සම්පූර්ණ කිරීමට උත්සහ ගත්තෙමි..
ඒවායේ අඩුපාඩු ඇය දොස් සමගම මා සමග සාකච්චා කරයි.. ඇයට මේ පිළිබඳ හොද අවබෝධයක් ඇති බව මට නොබෝ දිනකින්ම තේරුම් ගියේය.. සුජීව සර් කිසි දිනෙක ප්‍රොජෙක්ට් පිළිබඳ මේ තරම් ගැඹුරට මා සමග සාකච්චා කර නැත.. ශානි මැඩම් අඩු පාඩු පෙන්වා දීම මට ඇත්තෙන්ම පහසුවක් විය.. මා ඇගෙන් බොහෝ දේ ඉගෙන ගත්තෙමි. ඇත්තෙන්ම ඇය දක්ශය.
මටත් අනූටත් සිටියේ අවුරුදු දෙකහමාරක දුවක සහ පුතෙකුයි. සුජීව සර්ගේ පුත් මිතිලට වයස එකහමාරක් පමණ විය..  දිවා කාලයේ අපේ දරුවන් බලා ගන්නට විශාකා නම් කාන්තාවක් සිටී..
දිනක් දහවල විශාකාගෙන් මට ඇමතුමක් ලැබිනි..
"නෝනා මිතිල බබාගෙ ඇග හොදටම රස්නෙයි.. උන වගේ.."
"අනේ.. හරි විශාකා මම එන්නම්.. ඩොක්ට ලගට යන්න ලෑස්ති කරන්න පුතාව.."
මා ඉක්මනින් ශානිකා මැඩම් හමුවීමට ගියෙමි..
"මැඩම්, පුතාට හොදටම උනලු.. ඩොක්ට ගාවට ගෙනියන්න ඕන. මම ලීව් එකක් ගන්නද.. "
"ගයානි, පර්සනල් ලයිෆ් එක රාජකාරි වලට බාධාවක් කර ගන්න එපා.. දැන් ඔයා ගියාම මේ ප්‍රොජෙක්ට් එක කම්ප්ලීට් කරන්නෙ මමද.. අද ටාගට් එක මම කවර් කර ගන්නෙ කොහොමද ඔහොම.."
"මැඩම් මම පුතාට බෙහෙත් ගත්ත ගමන් ආයෙ එන්නම්.. ප්ලීස් මැඩම්.. "
"ලීව් දෙන්න විදිහක් නැහැ ගයානි. HS එකේ රිපෝර්ට් එක කම්ප්ලීට් කරලා ඕනනම් යන්න... "
එය කම්ප්ලීට් කිරීමට තව පැය හතරක් පමන ගත වනු ඇත.. මේ අසනීප වී ඇත්තේ ඇගේ කුසින් උපන් දරුවාට යැයි කෑ ගසා කියන්නට මට සිතිනි.. එය එසේ බව දැන ගත්තත් ඇයට දරුවාට වඩා කෙහෙම්මල් ප්‍රොජෙක්ට් එක ලොකු වනු ඇත.. මට හැඩෙන්නට ආසන්න වූ නිසා මා වොශ් රූම් වෙත ගියෙමි...
කුමක් කල යුතුදැයි සිතමින් හැඩෙද්දී මා අනුපමට ඇමතුමක් ගත්තෙමි..
"හෙලෝ.. අනූ.. විශාකා මට දැන් කෝල් කලා.. මිතිල පුතාට හොදටම උනලු.. මේ ප්‍රොජෙක්ට් එකක් නිසා මැඩම් ලීව් දෙන්න බැහැ කිව්වා.. "
"හේයි ගයානි ඔයා අඩනවා නේද.. මම කිව්වනෙ.... මැඩම්ගෙ හැටි ඔහොම තමයි.. ඉන්න මම ලීව් එකක් දාලා පුතාව ඩොක්ට ලගට ගෙනියන්නම්.. ඔයා අඩන්නැතුව ඒ වැඩේ ඉවර කරලා එන්න.. මම කෝල් එකක් දෙන්නම්කො ඇවිත්.."
මා පැය තුනකින් එය නිමා කර නිවසට පැමිනෙන විට පුතුට හොදටම නින්ද ගොස් තිබිනි... අනූපම බෙහෙත් ගෙනැවිත් තිබිනි..
                            ===
සති අන්තයේ අනූපමත් මමත් දරු තිදෙනාත් නිවසින් බැහැරට ගියෙමු.. එක් නිමේශයක අහම්බෙන්  ශානිකා මැඩම් අපට මුන ගැසිනි.. අපේ දූත් පුතුත් අනූපමගේ අත් දෙකෙහි එල්ලීගෙනය.. මිතිල මගේ අතෙහි වූයේය..
පසු අවස්ථාවක අනුපම මට පැවසූ පරිදි ශානිකා මැඩම් බොහෝ වේලාවක් අප දෙස බලා හිද ඇත.. ඈ අප හමුවට ආවාය..
"ගයානි, අනූපම .... මම දැනගෙන හිටියෙ නැහැනෙ ඔය දෙන්නා හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් කියලා.."
අප දෙදෙනාම එකිනෙකා දෙස බලා සිනාසුනෙමු..
"තුන් දෙනාම ඔයාලගෙද.. "
ඇය මිතිල දෙස බලා සිටිනු මා දුටිවෙමි.
"මෙයා නම් අපේ යාලුවකුගෙ.  මේ දෙන්නා ට්වින්ස්ලා...අපේ.. "
මා මද සිනාවක් සමගින් කීවෙමි.
මොහොතකින් මිතිල, ශානිකාගේ අතට යෑමට දෑත දිගු කලේය.. මා පුදුමයට පත් වීමි.
"සුදු පුතා.. මැඩම් මෙයා අනූගෙයි මගෙයි අතට ඇරෙන්න කවුරුත් ළඟට යන්නැහැ.. පුදුමයි.  "
දරුවා අතට ගැනීමට ඈ මදක් පසුබෑවාය.. නමුත් මිතිලගේ දැගලීම් නිසා ඇයට එය කරන්නට සිදුවිය.. පුතු ශානිකාට තුරුලු වන අයුරු මමත් අනූපමත් පුදුමයෙන් බලා සිටියෙමු..
ඒ මොහොතෙහි ඇගේ මුහුනේ තිබූ හැගීම් මට තේරුම් ගත නොහැක..
පුතුව නැවතත් ඇගේ අතින් ගැනීමට මට මදක් අපහසු වූයේය.. නැවත පැමිනෙන අතරතුර මගේ කථාව වූයේ එයමයි..
"මාස නමයක් කුසේ හිටියනෙ.. අම්මගෙ උනුසුම පුතා අදුනනවා.. මට හරිම පුදුම හිතුනා ඒත්.. දැක්කද මැඩම්ගෙ මූන එයාට මොනවා හිතුනද කියලා මට තේරුනේ නැහැ.."
දිනක් මා මැඩම් හමුවට යන විට ඇය ජනෙල් වීදුරුවෙන් පිටත බලා සිටිනු මා දුටුවෙමි.. ඇය එසේ සිටිනු මා කෙදිනකවත් දැක නැත.. මේ වෙනස එදා සිදුවීමද...
සුජීව සර් සතියකට දෙතුන් වරක් කථා කොට පුතාගේ සුවදුක් අසයි.  දිනක් ඔහු අනූපමට මෙසේ කියා තිබුනි..
"කවදාකවත් නැතුව ශානිකා මට කෝල් කරලා පුතා ගැන ඇහුවා.. ඒත් මම කිසිම විස්තරයක් කියන්න ගියෙ නෑ.."
එක් ඉරිදා දිනයක දූත් පුතුන් දෙදෙනාත් මිදුලේ සෙල්ලම් කරමින් සිටියහ.. එක්වර නැගුනු වාහන හෝන් ශබ්දයක් නිසා මා එදෙසට ගියෙමි..කව්ද මේ වෙලාවෙ.. පුදුමයකි.. ශානිකා මැඩම්..!!
"මැඩම් කොහොමද ගේ හොයා ගත්තෙ.."
ඇය පැමිණ ඇත්තේ දරුවා බැලීමට බව නොබෝ වේලාවකින්ම මට වැටහිනි.. ඇය මගෙන් දරුවා පිළිබඳව විමසුවාය..
"පුතාගෙ අම්ම නැහැ. තාත්තා ට පොඩි අසනීපෙකට ට්‍රීට්මන්ට් ගන්නවා මෙහෙ නැහැ.. එතකන් පුතා අපි ළඟ."
මා ඇයට වැඩි විස්තර පවසන්නට නොගියෙමි.. නමුත් මට කොයි මොහොතේ හෝ පිට කර ගත යුතුව තිබූ හිත් රිදීමක් විය..
"මෙයාට තමයි උන හැදිලා මම දවසක් මැඩම්ගෙන් ලීව් ඉල්ලුවෙ ඩොක්ට ගාවට යන්න.."
ශානිකා වරදකාරී හැඟීමකින් බිම බලා ගත්තාය.. පුදුමයකි.. ඇයට එවැනි හැගීම් ඇත.. මා තවත් කිසිවක් නොකියා මාව  පාලනය කර ගතිමි.
"මේ දරුවා දකිනකොට මට......."
ඈ කියන්න්ට ගිය දේ කියුවේ නැත.. ඇගේ දෑසෙහි කදුලු පිරී තිබිනි.. ඒ වන විටත් මිතිල ඇගේ උකුල මතය..
කියන්නට බොහෝ දේ මගේ මුවට ගලා ආවේය..මා ආයාසයෙන් නිහඩ වීමි. කල් ගතවී හෝ ඇයට දරු සෙනෙහසක් ඉපදී ඇත.
මෙසේ කිහිප වරක්ම ඇය අපේ නිවසට පැමිනියාය.  අවසානයේ ඈ අපේ පවුලේ මිතුරියක් වන තරමටම අපට ලං විය.  ඒ මිතිල පුතු නිසාය..
ඇගේ දරදඩු ගති පැවතුම් පුතු නිසා මොලොක් වූයේ යැයි සිතිය හැක.. ක්‍රමයෙන් මා ඇයට සමීප වී ඇගේ යහපත් ගතිගුණ ඇය තුලින් මතු කර ගැනීමට උත්සහ ගත්තෙමි.. මා අසාර්ථක වූයේ නැත..
මගෙත් අනුපමගේත් දරුවන්ගේත් ජීවිත දෙස ඈ බලා සිටියා ය.. ශානි ඇයට මඟ හැරුනු ඇගේ ජීවිතය පිළිබඳ පසුතැවෙන බව මට වැටහිනි..
දිනක් මා අනූගෙන් මෙසේ විමසුවෙමි..
"පේනවද අනූ අපේ මැඩම් දරුවට තියෙන ආදරේ.. මේ එයාගෙම දරුවා කියලා කිව්වොත් අපි.."
"නෑ.. එහෙම කියන්න ඕනේ නෑ.. මේ තියෙන තත්වෙ උඩ එහෙම දැන ගත්තොත් දරුවව ගෙනියන්න පුලුවන්. එතකොට අපි සර්ට මොනවද කියන්නෙ.."
"ඒත් මිතිල ඉන්නෙ එයාගෙ අම්ම ළගනෙ.. "
"සර් ආපහු ආවට පස්සෙ මැඩම් ඒ ගැන දැන ගත්තාවෙ.. එතකොට වෙන දේවල් එයාලා බලා ගනී.. අපි කියන්න යන්න ඕනෙ නැහැ දැන්.. "
"හ්ම්. හරි එහෙනම්.. සමහර විට දරුවා නිසා ඒ දෙන්න එකතු වෙන්නත් පුලුවන් එතකොට.. "
එක් රාත්‍රියක සුජීව සර්ගෙන් සතුටුදායක පුවතක් සමග ඇමතුමක් අපට ලැබිනි..
"ගයානි, සර් කථා කලේ. සර්ට ට්‍රීට්මන්ට් වලින් හොදයිලු දැන්. අනිද්දා ලංකාවට එනවා කියන්නෙ.. "
අනූපම කීවේය..
"අනේ කොච්චර දෙයක්ද.. අනූ මට ඒත් එක්කම අදහසක් ආවා.. "
මා ඔහුට එය පැවසුවෙමි.. ඒ ශානිකා සහ සර්ව අප නිවසේදී මුණ ගැස්වීමටයි..
අයිඩියා එක නම් හොදයි.. ඒත් මොනවා වෙයිද...
"මැඩම් උනත් වෙච්ච දේවල් ගැන දැන් පසු තැවෙනවා කියලා මට හිතෙනවා අනූපම. එයාටත් දැන් දරුවා නැතුව ඉන්න බැරි වෙලා.. එයා දැන ගත්තොත් මේ තරම් ආදරය වුනේ තමන්ගෙම දරුවට කියලා.. "
මිස්ට සුජීව මෙහි එන්නට නියමිත දිනම මා මැඩම්ට ඇමතුමක් දී මෙහි කැදවා ගතිමි..
සියල්ල යහපත්ව නිමවනවානම් යැයි මගේ හදවත අභ්‍යන්තරය මුමුනමින් තිබිනි...
සුජීව සර් අප නිවසට ගොඩ වනවාත් සමගම ශානි මැඩම් හා ඇගේ උකුල මත හිදින කුඩා පුතු දුටුවේය.. කිසිවක් සිතා ගත නොහැකි වූ ඔහු සිටගත්වනම බලා සිටියේය..
"සර් එන්න ඇතුළට..."
මා පැවසුවෙමි..
ශානි මැඩම් ඔහු දෙස බලා නැවතත් අප දෙස බැලුවාය..
ඔහු වහා පැමින කුඩා පුතු වඩා ගත්තේය.. ශානි දෙනෙත් විසල් කරමින් බලා සිටියා ය..
"සු..ජීව මේ... මේ... අපේ පුතාද..."
ඇගේ හඩ සැලෙමින් තිබිනි.. ශානිගේ දෑසින් වැටෙන කදුළු දෙස ඔහු බලා සිටියේ මින් පෙර කිසි දිනෙක ඇගේ කදුළු දැක නැත්තෙකු ලෙසයි..
මගේ හදවත ප්‍රාර්ථනා කළ පරිදිම සියල්ල යහපත්ව සිදුවෙමින් පැවතිනි.. ඔවුන් දෙදෙනාට කථා බහ කිරීමට ඉඩදී අප පසෙකට වුනෙමු..
අවසානයේ සුජීව සර් මෙසේ පැවසුවේය..
"ශානි අපි යමු අපේ ගෙදර.. ඔයාගෙයි මගෙයි පුතාගෙයි ගෙදර.. "
මා පුතූගේ සෙල්ලම්බඩු සහ ඇදුම් සූදානම් කර ශානි අතට දුන්නෙමි.. මිතිල ගෙන් සමු ගැනීම අප දෙදෙනාටම දරා ගැනීම වේදනාකාරි විය..
"පුතා යනවද මේ අම්මිව දාලා... ම්ම්... "
ඔහු කිරිදත් පෙන්වා සිනාසුනා පමනකි..
ශානි මා වැළඳගෙන හැඩුවා ය.. ඇය තුල මෙතරම් සංවේදී කාන්තාවක් සිටින බව මා දැන නොසිටියෙමි..
සංවේදී සමු ගැනීමෙන් පසු ඔවුන් පිටවී යන අයුරු අනූපමත් මමත් බලා සිටියේ විසිරුනු කූඩුවක් නැවත එක් කිරීමට ලැබීමේ සතුටත් සිත් දල්වාගෙනය..
*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*
(සමාප්තයි.)

Saturday, September 24, 2016

රංකුනී කැකුලි..

රංකුනී කැකුලි ~ (කෙටිකථාව)
හැදින්වීම ~ එකම අච්චුවේ කෙටිකතා වැලක් ගොතන්නට නොසිතමි.. ඒ නිසා එකින් එකට වෙනස් කථාංගයන් ඔබට ගෙනෙන්නට දැරූ උත්සහයක ප්‍රතිඵලයකි මේ..
වැදි භාෂාව පිළිබද අමුතුවෙන් ඉගෙන නොගත්තෙමි.. ඉද හිටක ටෙලි නාට්‍ය වලින් ඇසෙන මෙවැනි කථාවක බස් වහර මගේ මතකයට නැගුනි.. වැදි තරුණියකට ජීවිතය දැනෙන ආකාරය කෙසේවේදැයි මා සිතුවෙමි..මෙහි නම් ගම් සිදුවීම් සියල්ල මනඃකල්පිතය..
පැමිනෙන්න බිංතැන්නට...
රංකුනීගේ ජීවිතය දකින්නට... 
~මුදී~
*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*
රැලේ මහ හූරා මයෙ අප්පොච්චාගේ  වැඩිමල් සහෝදරයායි.. නෑකමින් මගේ මහප්පොච්චාය..
යසෝ වල්ලි මයෙ අම්මිලැත්තී බිංතැන්නේ වාසයට මංගච්චා ඇත්තේ අප්පොච්චා වූ විජය හුලවාලි සහේට කැටුං ආවාට පසුයි..
අද මයෙ අක්කණ්ඩිගේ සහේ තීන්දු කොරනා දොහෙයි. මහ හූරා එය තීන්දු කර ඇත්තේ මගල්ගඩ රැලේ සහියා වල්ලියටයි.. අක්කණ්ඩිගේ මනාපයක් මායිම් කරේ නැතුං.. තීන්දුව දී අහවරයි. රැල ජයටම නැටුං නටයි..
මයෙ මනාපයක් නැතුං මයෙ සහේ තීන්දු කරන්ට නං ආවාවෙකො.. රැලේ එකෙකුවත් කෙරේ මටනං මනාපයක් නැතුං.
අම්මිලැත්තී කැවුං තනනවා.. කදමලු එක්ක අක්කණ්ඩිව මගල්ගඩ රැලට පිටත් කරන්නෙ හෙට නොව...
අප්පොච්චා පැණි බාන්ට යන්ට තනනවා..
"අප්පොච්චාචාචා....... මාත් කැටුං යන්ටකෝ..."
"හා හා උබට පුලුවනෑ කැකුලෙක් වාගෙ ඕවයි ගාටන්ට.."
"අනේ අප්පොච්චාචාචා..."
වතාවක් දෙකක් කරච්චල් කොරනකොට අපුච්චාගෙ හිත වෙනස් කොර ගන්නට මට පුලුවනි..
අක්කණ්ඩිගෙ පිටගං කදට එක්කාසු  කොරන්ට පැණි බාන්ට අපි කැලේට ගෑටුවා.. හීං මලයත් එක්කුනා අපිට..
"රංකුනී උබයි ඊගාවට.."
අප්පොච්චා කීවා.
"අනේ අප්පොච්චා.. මොන වල්ලියෙක් කැටුං වත් සහේ යන්ට මං මනාප නැතුං. මං අම්මිලැත්තී , අප්පොච්චයි බලාන පැලට වෙන්නං..."
"එහෙම කියාලා හරියනවයැ. උබලත් අක්කණ්ඩි වාගේ සහේකට යන්ටෝනෙ.. "
පස්සෙන්දා මගල්ගඩ රැලෙන් අපේ රැලට මංගච්චෙව්වා අක්කණ්ඩිව කැන්දාගෙන යන්ට.  චාරිත්තර ඉවර වෙලා කදමලු අරන් අක්කණ්ඩි එක්ක ගෑටුවා ආපු රැල.. මගල්ගඩ රැලෙන් කැකුලො එකා දෙන්නා ඇස් කරකෝලා බැලුවා මා දිහා.. මං මායිං කොරේ නැතුං.
මහ හූරා කාලෙකට කලිං අපේ රැලෙන් එකෙක් පැන්නුවැයි  කියාලා මා අහල තියෙ. ඌ දැන් උස්ගල කන්දෙ පැලක් අටෝගෙන තනියෙං ඉන්නවයි දෙසන්නෙ.. උගෙත් එක්ක පයිරු පාසානං රැලේ එවුන්ට තහනං.. අප්පුච්චා ඉද හිටෙක දෙසනවා ඌ ගැන. අදුනා වල්ලියා.  අප්පේ... ඌට වල්ලියා කියනව ඇහුනොතින් අප්පොච්චි මට දෙවොල් තියාවි.. රැලෙන් පැන්නුවට පස්සෙ වල්ලිය කියන්න තහනං.
"ඇයි අප්පොච්චි... මහ හූරා, අදුනා කියන එකාව පැන්නුවෙ..?"
අප්පොච්චිගෙ මූණ යකා වාගේය..
"අදුනා!!  ඌව සිහි කොරන්ට කාරි නෑ බොල.. රැලේ චාරිත්තර වලට අවනත වෙන්න බැරි  කොයි එකාටත් ඔය සන්තෑසිය තමා.."
දොහ එකෙන් එක ගෙවිල ගියා.. දොහක් අප්පොච්චා මට කතා කොලා..
"රංකුනී වරෙන් මෙහෙට්ට.. මහ හූරා උබලටත් සහෙයක් තීන්දු කොරලා ඔන්ට.. "
"සහෙයක්..? මම සහේකට මනාප නැතුං අප්පොච්චා.. මහ හූරට කියන්ට.." :(
"රංකුනී උබට රැහේ චාරිත්තරේට හිටින්ට නොහැක නං තොටත් අදුනට සිද්ධ උන දේමයි.. තව දෙදොහකින් උබව තීන්දු කොරන්නයි මහ හූරා සූජානම.."
මයෙ නේත්තරා වලින් කදුලු කැට වැටෙන්ට ගත්තා.. ඒක දැකලා අප්පොච්ච්ගෙ හිත් පොජ්ජ උනු උනා මයෙ හිතේ..
"රංකුනී.  මේ අහපන්.. උබව වෙන රැහෙකට යවන්ට මයෙත් හිතක් නැතුං. උබව සහේට දෙන්ට තනන්නෙ අපේ රැහේ එකෙක්ට.."
"ඒ මොන වල්ලියද අප්පුච්චා.. "
මං කදුලු වැක්කිරිද්දිම ඇහුවා..
"බණ්ඩි හුලවාලියා.. ඌ හොද එකා.. "
මයෙ කදුලු කැට තවත් වැඩියෙන් වැක්කිරුනා.. අප්පොච්චගෙ නඟාගෙ පුතණ්ඩියා.. බණ්ඩි අයියන්ඩි.... දත් බොල්ලෑවා. ඌව මහ රාත්තිරියෙ එහෙම දැක්කොතිං සිහි මුර්ජා වෙනවා සත්තයි.. ගිය මාසෙ පෝ දොහේ මම දොලේ  නාන කොට ඕකා ගල් දෙබොක්කාවෙ නේත්තරා විහිදගෙන බලන් හිටිය.. මා දුටු ගමන් මංගච්චව්වා හයියෙන්.. හැබැට මට එදා ඕකා අහු උනා නම්!!
අප්පොච්චට කියලා කදුලු වක්කොරලා වෙනස් කොරන්ට බැරි දෙයක් කියලා තේරුං ගියා මට එදා නං.. මහ රාත්තිරියක් ගෙවෙනකංම කදුලු වක්කොර වක්කොර මම හිත් බරෙන් කල්පනා කොලා.. බණ්ඩියත් එක්ක සහේට යනවට වඩා පන නහ ගන්න එක හොදයි කියලා මයෙ හිත් පොජ්ජ කීවා..  හැම දෙයක්ම දාලා පන නහ ගන්ට යන්ට මම කල්පනා කොරව්වා..
"අම්මිලැත්තී... මා නාන්ට යනවා.. "
මං ගෑටුවා දොල පැත්තට.. එතනින් කැලේට.. මං හිතා හිටියෙ උස්ගල කන්දෙ ගලෙන් පහලට පැනලා පන නහ ගන්ට.. මං අමාරුවෙං ගල් මත්තටම නැංගා.. පය ලිස්සව්වා එක පාරටම.. කකුල් කෙටිය හිර වුනා ගල් අතරෙ..
"අම්මිලැත්තී.. "
නේත්තරා  වලින් කදුලු පැන්නා මයෙ.. ඇහෙන්ට කවුරුත් නැතුං... පන නහගන්ට ආපු මට මෙහෙම විදවන්ට වෙයි කියලා හිතුව නැතුං...
"අම්මිලැත්තී.. මා බේරා ගන්ට.. "
ඇහෙන්ට කිසි ඇත්තෙක් හිටියෙ නැතුං..
මා වරුවක්  හිටියා එහෙම..
ඇත්තෙක් මා ඉන්නා තැනට ආවා එකපාරට.. තරුණ ඇත්තෙක්.. අපේ රැලේ එකෙක් නොවෙයිනෙ.. මේ මොකාද.. අප්පේ.. මූනේ සැර පාට.. මට ඇවිද ගන්න නොහැක කියා ඌ දුටුවා.. මා එතැනින් උස්සාගෙන ගියා.. පැලක.. ඒක කන්දෙ බෑවුමේ තිබ්බෙ.. බෙහෙත් කොල වාගයක් තියලා වෙලව්වා මගෙ කකුල් කෙටිය..
"උබ උඩල රැලේ එකියක් නොවෙද.. මෙහෙ මොන කෙංගෙඩියක් කොරනවද.. වරෙල්ලා මා ඇරලවන්නං රැල ආසන්නෙට..  "
ආයෙත් රැලට යන්ට බෑ කියලා මං කදුලු වක්කොරා.. ඒ පාර ඌ ඇහැව්වා හේතුව.. මට කියන්ට වුනා ඉතිං.. මං උගෙ මූණ දිහා බලන් හිටියා.. නපුර වැඩි වුනා.. මෙහෙම දෙසුවා ඌ..
"චාරිත්තර.. එව්වට පිටින් යන්න බැහැ එකෙක්ටවත්.. හහ්. රැලේ චාරිත්තර.. ඒත් නඟා උබල පන නහ ගන්ට හිතපු එක නම් වැරදි.. "
මේ අදුනා වත් දෝ කියලා හිතුනා මයෙ හිතට..
"අයියණ්ඩි අදුන ද.. "
"හ්ම්.. මා ගැන දන්නවද එහෙනම් උබලා.. මා ගැන කතා රැලේ තාමත් තියෙනව එහැනම්.."
එදා රාත්තිරියෙ මට පැලේ ඇතුලෙ තිබුන පැදුරු කෙටියෙ ඇලවෙන්ට කියාලා අදුනා අයියණ්ඩි පැලෙන් එලියෙ රෑ ගත කොරා.. දොහ කීපයක් එහෙම ගෙවුනා..
දොහක් මුව පොව්වෙක් පැල ආසන්නෙටම ආවා.. කිසි බය හැකක් නැතුව..! මට පුදුම හිතුනා.. අපේ රැහේ එකෙක් දුටුවොතිං මූව මෙතැනම එලාවි.. මුව පොව්වා මා දැකලා ටිකක් කලබල වුනා මයෙ හිතේ..
අයියණ්ඩි එතකොටම එතැනට ගෑටුවා..
"නඟා මුව මසට මනාපද.. "
මගෙන් ඇහැව්ව..
"අපොයි! නැතුං අයියණ්ඩි.. අප්පොච්චා මුවෙක් ගෝනෙක් එලාන ආවාම රැහේ එවුන්ට රජ මගුල්.. ඒත් මා කටේ තියන් නැතුං.. අප්පොච්චා, අම්මිලැත්ති මට පොර කොරනව දෙසාබාන්ටෙයි කියලා.. මා රැහේ එකියක් නොවෙයිද කියල දොස් නගනවා.. ඒත් මං මනාප නැතුං.."
අයියන්ඩි මා දිහා නේත්තරා දල්වගෙන බලාන හිටියා..
"නඟා මා වාගෙමනෙ එහෙනං.. මයෙ අප්පොච්චා සත්තු දඩයං කොරන්ට මට උගන්නන්ට කොච්චරක් තැනුවද.. මයෙ මේ දෑත් දෙකෙන් එක සතෙක්ට හිංසා වෙලා නැතුං.. රැහේ චාරිත්තර ඉෂ්ඨ  කොරන්නැ කියලා උන් දොස් නැගුවා,  කිපුනා මා එක්ක."
අයියණ්ඩි එහෙම දෙසන ගමන් මුව පොව්වගෙ පිට පොජ්ජ අත ගෑවා.. අයියණ්ඩි මේ තරම් කරුණා හින්දා වෙන්ටෝනෙ මූ බයක් හැකක් නැතුව පැල අසලටම ගාටන්නෙ..
දොහ ගෙවීගෙන ගියා. අදුනා අයිණ්ඩි ගැන මයෙ හිත් පොජ්ජෙ මනාපයක් ඇතිවිගෙන ආවා.. අදුනා අයියණ්ඩිටත් එහෙමයි මයෙ හිතේ.. අයියණ්ඩි දොහක් මගෙ මනාපෙ ඇහැව්වා අයියණ්ඩිගෙ සහේට ගන්ට.. මං හිත් පොජ්ජ පතුලෙංම මනාප වුණා..
මා අදුනා අයියණ්ඩිත් එක්ක සංතෝසෙං ජීවත් උනා.. එ දොහේ පන නහ ගන්ට මෙහෙ ආව එකෙං මට පනක් හම්බුනා වගෙ වුනා..
දොහෙං දොහේ ගෙවීගෙන යද්දි මගෙ කුසේ දරු ගැබක් මෝරාන ආවා.. දොහක් අදුනා අයියණ්ඩි ගම්මානෙට යන්න සූජානම් වුනා.. මට එළකිර බොන්ට දොලක් ඇතිවුන නිසා කිර ගේන්ට..
එදා උදේම ඇත්තො වගයක් සද්ද නගාගෙන පැල දිහාට ගාටනවා ඇහුනා.. මා බය වුනා.. අදුනා අයියණ්ඩි පැලේ දොර ඇරගෙන බලව්වා.. අයියණ්ඩි මට එළියට එන්ට ඉඩ දුන්නෙ නැතුං.. ඒත් මාත් බලව්වා.. අපේ රැලේ මහ හූරා.., අප්පොච්චා.. තවත් ඇත්තො කෙටේරි කර තියාන පැල ලගට මංගච්චනවා.. මයෙ හිස ගිනි ගත්තා.. අයියණ්ඩිට කෙටේරියක් නැතුං. අයියණ්ඩි සත්තුංගෙ ජීවිත නහං නැති නිසා.
"අදුනා!! උබව අපි රැහෙං පිටමං කලා.. තොට අපේ රැහෙන් එකියක් සහේට ගන්ට කොහෙන් හයියකද.. "
මහ හූරා සද්දෙට දෙසුවා.. මා බය වුනා.. උන් අයියණ්ඩිට හිරිහැර කරන්ට තනනවා... අයියණ්ඩිත් එකට එක දෙසුවා.. උන් කෙටේරි උස්සාන එද්දි අයියණ්ඩි දෑතෙන් පයින් උන් එක්ක පොර බැදුවා.. මට අනතුරක් වෙයි කියලා අයියණ්ඩි බය වුනා.. මහ හූරා කෝප ගැන්නිලා හිටියෙ.. කෙටේරිය විසික් කොරා අයියණ්ඩි දිහාවට.. අයියණ්ඩි අනෙක් ඇත්තො එක්ක සටන් කොර කොර හිටි නිසා ඒක දුටුවෙ නැතුං.. මා පැන්නා අයියණ්ඩිව බේරා ගන්ට.. කෙටේරිය මගෙ පිට මැද්දට වැදුනා..
අයියණ්ඩි කෑ ගසාගෙන මා දිහාවට ආවා.. වටේ හිටි ඇත්තන්ගෙ සද්දෙ වහං උනා.. අප්පොච්චාත් ආවා කෑ ගසාගෙන..
"අප්පොච්චා..... "
මං වේදනාවත් කදුලුත් අතරින් කෙදිරි ගෑවා.. අදුනා අයියණ්ඩිගෙ කදුලුත් අප්පොච්චගෙ කදුලුත් මගේ මූන උඩට වැටුනා මගෙ නේත්තරා පියවිගෙන යනකොටම...
*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.
(සමාප්තයි.)

Wednesday, September 21, 2016

මියැදුනෙමි ඉන්පසු..

මියැදුනෙමි ඉන්පසු.... ~ කෙටිකථාව
හැදින්වීම :-  මොහොතකට මියැදුනෙමි.. ලියන විට කථාංගය මොහොතක් පාසා මට දැනුනු ඒ හැඟුම එලෙසින්ම දැනේ යැයි හැගෙමි ඔබටත්.. විදින්නට ඇරයුම් මගේ දෙවන කෙටිකතාවත් මෙලෙස....
*.*.*.*.*.*.*.*.*.**.*.*.*.*.*.*.*.*.*.*.*.*
මා සැහැල්ලුය.. මේ සැහැල්ලු බව මින් පෙර කිසි දිනෙක මා අත්විද නැත..  ඕනෑම තැනක සිතන වේගයෙන්ම දැන් මට යා හැකිය.. මට වයස දින දෙකකි.. නැහැ.. මා ශරීරයෙන් වෙන් වී දින දෙකකි..
පෙරේදා රාත්‍රියේ සිදු වූ දේ සිහිනයක් මෙන් විය..
'මම කැස්සා.. පපුව ගොඩක් රිදුනා.. අම්මා..අම්මා.. මම කෑ ගහන්න හැදුවා.. ඒත් මට කෑගහන්න බැරි වුනා.. ඔලුව හිරි වැටුන වගේ.. ඊට පස්සෙ මට ලොකු සැහැල්ලුවක් දැනුනා.. මම හිතුවෙ සනීපයි දැන් කියලා.. මට මාව  පෙනුනා.. මම නිදාගෙන හිටියා.. එක අතක් පපුව උඩ.. මේ හීනයක් බව මට හිතුනා..'
මා රැය පුරාවටම කාමරය තුල එහෙ මෙහෙ සැරිසැරුවෙමි..
'කන්නාඩිය!! මාව පේන්නෙ නෑ ඒකෙන්.. හරි මම උදේ නැගිට්ටම බලන්නම්කො.. අම්මා කෝ.. මා  අම්මාගේ කාමරයට ගියෙමි.. '
'අම්මෙ, මගෙ පපුව රිදෙන්න ගත්තා ආයෙමත්. දැන් සනීපයි.. අම්මා නැගිටින්න ඕනෙ නෑ.. '
අම්මා නිදා සිටින අයුරු මා දුටුවෙමි.. 
'ඉක්මන්ට එළි වෙනව නම්..! '
මා එළි වන තුරුම ඇද අසල බලා සිටියෙමි..
'ඉර එළිය වැටුනා.. ඒත් කවුරුත් සද්දයක් නෑ.. මම ඇයි තාමත් නිදි.. අම්මා ආවා එතකොටම තේකකුත් අරන්.. පුතේ.. පුතේ... '
'අම්මෙ මම මෙහෙ.. '
අම්මා හැරිලා බැලුවෙ නෑ.. ඇද උඩ හිටපු මාව අතින් ඇල්ලුවා.. ඒත් මම හිටියෙ අම්මගෙ පිටිපස්සෙ..
අම්මා හයියෙන් කෑ ගහලා ඇඩුවා. අයියලා දෙන්නයි තාත්තයි ආවා එතකොටම එතන්ට..
'මම මෙතන..'
'මම හයියෙන් කෑ ගහලා කිවුවා.. ඒත් ඒ කාටවත් ඇහුනෙ නෑ.. හැමෝම කලබල වෙලා ඇයි.. '
මට කිසිවක් සිතා ගත නොහැකි විය.. ඔවුන් මගේ ශරීරට වටා එකතු වී හඩති.. මා මිය ගොස්ද.. :'(
ඔව්.. මේ මගේ ඇග..
'අම්මෙ අඩන්න එපා..'
ඒත් අම්මට ඇහෙන්නෙ නෑ.. ලොකු අයියත් අඩනවා..
'අයියෙ මම මෙතන..'
අයියට ඇසෙන්නේත් නැත..
මොහොතකින් අපේ වත්ත පුරා මහා සෙනඟක් රැස් විය.. ඔවුන් මගේ ශරීරය නිවසින් එලියට ගෙන ගියේය..
"මොකක් වෙලා ද නැතිවෙලා තියෙන්නෙ.."
නිල්මිණි ඇන්ටි අසනු මට ඇසිනි..
"දන්නෙ නැහැ.. විශාකා අක්කා උදේ බලනකොට තමයි දැනගෙන තියෙන්නෙ.. කෙල්ලට පපුවෙ අමාරුවක් තිබුනයි කියන්නෙ.. "
ඒ සුවිමාලි අක්කාය..
ඔවුන් මා ගැන කම්පා වෙනු මා අසා සිටියෙමි.. අම්මාගේ හැඩීම දරා ගත නොහැක.. එය ගෙතුලින් ඇසේ..
'මගේ ඇග කොහෙටද අරන් ගියේ.. ඒත් ඒක හොයන්නවත් යන්න මට විදිහක් නෑ.. මෙහෙ හැමෝම අඩනවනෙ.. '
දවල් වන විට මගේ ශරීරය නිවසට ගෙනෙන ලදී.. පෙට්ටියක් මත මගේ ශරීරය තබා ඇත..
මල්, ලොකු පහනකුත් තියලා.. මා ඒ වටාම සැරිසරමින් බලා සිටියෙමි..
ලොකු අම්මා එනවා..
'ලොකු අම්මෙ අපෙ අම්මට අඩන්න එපා කියන්න..'
ඒත් මා කියන කිසිවක් ඇයට ඇසුනේ නැත.. ඇයත් හඩන්නට පටන් ගත්තාය..

"කොහොම හිටපු දරුවෙක්ද.. විසි තුනක්ලු වයස.. "
රාණි නැන්දා තවත් බිස්කට් එකක් අතට ගනිමින් කියුවාය..
"අපෙ අප්පෝ.. "
ඒ සෝමා අත්තම්මාය.. ඇගේ මුවේ සෑම විටම තිබෙන්නේ එම වචනයයි.. 
'සවස් වන විට චතුරි,මදූ, තිළිනි, නිමාලි ඒ සේරම ආවා.. ඒ මගේ යාලුවො.. එයාලා හැමෝම අඩනවා.. මදූ හයියෙන් කෑගහලා ඇඩුවා.. '
'මධූ අඩන්න එපා මම මේ ඉන්නෙ.. '
එයාට මම කියන දේ ඇහෙන්නෙ නෑ..
චූටි මල්ලියි එහා ගෙදර මල්ලි තරඟෙට බිස්කට් කනවා.. ඒක දැකලා මට හිනා ගියා.. පව්.
තාත්තා එකම තැන ඉඳගෙන ඉන්නවා.. 'අයියෙ කන්න යමු..' ලොකු තාත්තා කතා කරාට තාත්තා කන්න බෑ කිව්වා.. තාත්තගෙ ඇස් වල කදුළු! තාත්තටවත් මම කියන ඒවා ඇහෙනවද බලන්න මම කථා කරා.. ඒත් වැඩක් වුනේ නැහැ.. :'(
අයියලගෙ යාලුවො, ගමේ කට්ටිය.. හැමෝම ඇවිත් පෙට්ටිය උඩ තිබුන මට වැදලා ගියා..
පසු දින රංජිත් මාමාත් තවත් අයත් වලක් කැපීමට ගියෝය.. මාත් ඔවුන් පසුපසින් ගියෙමි..
'මම වගේ පාවෙන අය.. ගොඩක් එහෙ හිටිය.. මම ආපහු එනකොට ගොඩක් අය මාත් එක්ක ගෙදර ආවා..'
සදුනි නංගීත් මාධවීත් බීම සාදනු මා දුටුවෙමි.. එයත්  අඩනවා..
"පව් නිලූ අක්කා.. ඊයෙත් ක්ලාස් ඇරිලා ආවෙ මාත් එක්ක.. "
සදුනිට උදව් කරන්නට වුවමනාවක් මට තිබුනත් මට කිසිවක් ඇල්ලීමට නොහැක..
මා දින දෙකක් ගෙවා දැමුවේ මෙලෙසයි..
පසු දින මා වල වෙත රැගෙන යන විට අම්මාත් තාත්තාත් අයියලාත් ඇඩූ අයුරු මට දරා ගත නොහැක.. මගේ ශරීරය දමා තිබූ පෙට්ටිය අයියලා දෙන්නාත් කර තබා ගෙන එයි.. එය වලට දැමූ පසු සැමදෙනාම පස් දමනු දුටුවෙමි..
'මා වැනිම පාවෙන කෙනෙක් මට කථා කලා.. ඔලුව ගොඩක් ලොකුයි ඒ ගෑනු කෙනාගෙ..'
අපි බොහෝ දුර පාවුනෙමු.. කුඹුරු ගංගා උඩින්.. සිතන නිමේෂයෙන් මා පාවී ගියේය.. තවත් සතියකට පසු දිනෙක අමුතු බලයක් මට හඩ ගසනු දැනිනි..
'මොන කරදරයක්ද.. මට එන්න බෑ..'
ඒත් මා ඇදී ගියේය.. දුම පිරිච්ච කළු කුටියක්..
චූටි නැන්දා..?
නැන්දාත් තවත් කාන්තාවන් දෙදෙනෙකුත් එහි විය..
'මාව ඇදලා ශරීරයකට ගත්තා.. මාව හිර කරලා වගේ දැනුනෙ.. මම කථා කරන ඒවා නැන්දලට ඇහුනා.. එයාලා ඇස් ලොකු කරගෙන බලන් හිටියා.. නැන්දා බයවෙලා වගේ ඇඩුවා මම කථා කරනකොට..
"නිලූ, පුතේ මොකද්ද වුනේ.. ? "
"මගෙ පපුව රිදුනා නැන්දෙ.. ඊට පස්සෙ  මට දැනුනෙ නෑ.. අම්මට කියන්න අඩන්න එපා කියලා නැන්දෙ.. හැමෝම අඩනවා.."
නැන්දා කථා කර අවසන් වන විට මා එම බලයෙන් නිදහස් වුනෙමි.. නැවතත් සැහැල්ලු ජීවිතය මා සතු විය..
එදින මම ආපසු ගෙදර ආවෙමි..  තවමත් සෙනඟ පිරී  ඇත..
කෑම හදනවා.. එදා රෑ හාමුදුරුවරු ආවා.. මම කුරුමිනියෙක් හොයා ගත්තා.. උගෙ ඇග ඇතුලට ගිහිල්ලා මම පිරිත් අහගෙන හිටියා.. ඒවා ඇහෙද්දි සනීපයක් දැනුනා..
මගෙ ශරීරය තිබුන දවස තරම් කවුරුත් ඇඩුවෙ නෑ.. චූටි මල්ලිලා සෙල්ලම් කරා.. ඒත් මට සෙල්ලමට එන්න විදිහක් නෑනෙ..
රාණි නැන්දලා හයියෙන් හිනා වෙවී අපේ ගෙදර මොනවද කරන්නෙ බලන්න මම ගියා.. එයාලා උයනවා..
අම්මා තාමත් දුකෙන්.. හැම තිස්සෙම විහිලු කරන ලොකු අයියගෙ මූනෙ අද  හිනාවක් වත් තිබුනෙ නෑ.. මම අයියා ලගින්ම හිටියා.. මම කථා කලාට එයා බලන්නෙ වත් නෑ..
මාස තුනක්ම මම හිටියා.. අපේ ගෙදර වෙනදා වගේ නෙමෙයි.. කවුරුත් හිනා වුනේ නෑ.. කථා කරන්නෙත් නෑ වැඩිය..
ආයෙමත් දවසක අපේ ගෙදරට කට්ටිය පිරුණා.. ආයෙත් හාමුදුරුවරු ආවා.. මට යන්න වෙනවා කියලා මට දැනුනා..
ස්වාමීන් වහන්සේලා පිරිත් කියන ශබ්දය මට දිගින් දිගටම ඇසිනි.. සුදු එළියක් මා වටා පැතිර තිබිනි..
එම එලියෙහි කෙලවර තෙක් මා ඇදී යමි...
මා යලිත් ජීවිතයක් ලබන්නට යන බව මට හැඟිනි..
*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.
(සමාප්තයි.)

Tuesday, September 20, 2016

සුදු අයියා..

සුදු අයියා.. ~ (කෙටි කථාව.)
හැදින්වීම  ~ මෙය මගේ ප්‍රථම කෙටි කතාවයි.. කාලයක් තිස්සේම මගේ සිතෙහි නිර්මාණය වී තිබුනු අදහසක් මා අද කෙටිකථාවක් බවට පත් කර මෙසේ ඔබට තිලිණ කරමි. මෙහි එන නම් ගම් සහ සිදුවීම් මනඃකල්පිතය..
~මුදී~
*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.
සුදු අයියාත්, චතුරිත්, මමත් කුඩා කල සිට වැඩුනේ එකටයි.. චතු‍රි සුදු අයියාගේ නැගණිය වූවත් ඇයටත් වඩා සුදු අයියාට ආදරය කලේ මා බව ඔවුන් දෙදෙනාම දන්නා කරුණකි..
අපගේ නිවෙස් එකිනෙකට මදක් දුරින් වූවත් බැලූ සෑම මොහොතකම  මා ඔවුන්ගේ නිවසේය.. නැතහොත් ඔවුන් අප නිවසේ ය.. මා පවුලේ එකම දරුවා වූ නමුත් චතුරිත් සුදු අයියාත් නිසා තනිකමක් මගේ ජීවිතයේ ගෑවී වත් තිබුනේ නැත..
චතුරිත්, මමත් එකම වයසේ නිසා පාසල් මෙන්ම අප අතිරේක පන්ති වලට සහභාගි වූවේත් එකටයි.. සුදු අයියා අපට වඩා වසර දෙකක් වැඩිමල් විය.. අප දෙදෙනාගේ ආරක්ෂකයා වූයේ ඔහුයි.. අයියාට තරහ ගොස් ඇති අවස්ථාවක ඔහුට ලංවීමට වත් අප දෙදෙනා බිය වීමු. ඔහුට පහසුවෙන් තරහා යන්නේත් නැත. නමුත් තරහ ගිය විටක ලෙහෙසියෙන් එය නිවෙන්නේත් නැත. ඔහු පිළිබඳ මතකයන්ගෙන් මෙම සිදුවීම මා තුල නොනැසී පවතින්නක්ය..
එවකට චතුරිත් මමත් පාසලේ 8 වන ශ්‍රේණියේ ය.. දහම් පාසල් ඇරුනු පසු සුදු අයියා ඔහුගේ පන්තිය නිමවී පැමිනෙන තුරු අප සිටිය යුතුය.. පසුව අප තිදෙනා නිවසට පැමිනෙන්නේ එකටයි.. එදින සුදු අයියා පැමිනෙන තෙක් අපට බොහෝ වේලාවක් බලා හිදින්නට සිදු විය.. ඒ අතර තුර පන්සල් වත්තේ කෙලවරේ වූ අඹ ගසක වූ අඹ දැක චතුරිට එය ඉවසා ගත නොහැකි විය..
"ප්‍රභා, බලන්නකො අර ගහේ අඹ.. අපි ගිහින් එකක් කඩාගෙන එමු.. කවුරුත් පේන්න නැහැනෙ.. අයියා එනකොට තව වෙලා යාවි.."
චතූ මගෙන් විමසුවා ය..
චතුරිට යමක් සිතුනොත් එය කල යුතුමය.
"චතූ ඔයාට පිස්සුද.. මේක පන්සල් වත්ත.. අයියා දැන් ඒවි.. යන ගමන් ලොකු අම්මලගෙ ගෙදරින් මම ඔයාට ඇති තරම් අඹ ඉල්ලලා දෙන්නම්කො.."
නමුත් මගේ එම වචන චතුරිව නවත්වා ගැනීමට සමත් වූයේ නැත.. එම අඹ ගසෙන් අඹයක් කඩා ගන්නා තුරු ඇයට ඉවසිල්ලක් නැත.. ඇය මා තනිකර එදෙසට ගියා ය..
'මේ චතූගෙ වැඩ නිසා මටත් බැනුම් අහන්න සිද්ධ වෙනවා.  දැන් සුදු අයියා ආවොත් මම මොනවද කියන්නෙ.. චතුරිට බැනුම් අහන්න වේවි හොදටම.. '
මිතුරියව එසේ තනි කිරීමට නොහැකි නිසා මාද එදෙසට ගියෙමි... ඇය දුන් අඹ  කෑල්ල මා අතට ගත්තේ නැත..
"මට එපා. අපි මෙතනින් යමු චතූ.  අයියා හොයනවා ඇති අපිව.. "
ඇයට ඒ පිළිබඳව වගක් වත් නැත.. මොහොතකින් සුදු අයියා අප ඉදිරියේ විය.. ඔහුගේ මුහුන බැලීමට බය සිතෙන තරම් නපුරුය..
"දෙන්නටම ලැජ්ජාවක් නැද්ද.. මේ ඉන්නෙ කොහෙද කියලාවත් හිතුවද.. මම කොච්චර හෙව්වද.. කොච්චර බය වුනාද.. "
සුදු අයියාගේ කෝපාන්විත බැනුම් ඔහුගේ මුවින් නැගෙන්නටත් පෙරම මගේ දෑසට කදුළු නැගී අවසන්‍ ය.. චතුරි කිසිවක් නොවූවකු සේ අතට ගත් අඹ කෑල්ලක් සපමින් සිටී.. ඇය තම වරද පිළිගත්තෙත් නැත.. මා ඇයව පාවා දුන්නේත් නැත.. සුදු අයියා එතරම් කෝපයට පත්ව සිටිනු මා ඉන් පෙර දැක නොතිබුනෙමි.. කෝපවත් බැනීමෙන් පසු ඔහු අපව  තනිකර එතනින් ගියේය..
චතුරිටත් මටත් තනිවම ආපසු එන්නට සිදුවිය.. එන ගමනේදී නොනවත්වා මගේ දෑසින් ගලන කදුළු මටම නවත්වා ගත නොහැකි විය... සුදු අයියා මා ගැනත් එසේ සිතීම මට දරා ගත නොහැකි විය..
එදින මා හඩමින් නිවසට පැමිනෙනු දුටු අම්මාත් තාත්තාත් විශ්මයට පත් නොවීය..
"මොකෝ අදත් තුන් දෙනා තරහා වුනාද.. මම දැක්කා සුදු පුතා තනියම යනවා.."
අම්මා කියුවා ය..
මා කිසිවක් නොකීව්මි. එදින රාත්‍රියේ නින්ද මා අසලට නොපැමිනියේය..
"සුදු අයියලාගෙ ගෙදර යන්න ඕනෙ.."
මා හැඩුවෙමි.. මගෙ කරදරයෙන් බේරීමට බැරිම තැන එම රාත්‍රියේම තාත්තා මාව එහි රැගෙන ගියේය..
"තුන් දෙනාගෙ රන්ඩුවක් වගේ.. රෑ නිදා ගන්නෙ නෑ මෙහෙ එන්න ඕනෙ කියලා අඩනවා.. ඒ පාර මම එක්ක ආවා.. "
තාත්තා සුදු අයියලාගේ අප්පච්චිට කියුවේය.. සුදු අයියා දෑස් විසල් කරමින් මා දෙස බලා සිටියේය..
"අයියෙ...ආයෙත් එහෙම කරන්න් නැහැ.. තරහා වෙලා ඉන්න එපා.. "
මා එදින චතුරිලාගේ නිවසින් පිටවී ගියේ ඔහු මා සමග තරහා නැති බව සැක හැර දැනගත් පසුවයි.. මේ සිදුවීමම නැවත්තත් දිනෙක සිදුවී එයින්ම අපට වෙන් වීමට සිදුවෙතැයි එදින මම සිහිනෙන් වත් නොසිතුවෙමි..
වයසින් වැඩෙන විට මා තුල සුදු අයියා පිළිබදව ඇත්තෙ සහෝදර සෙනෙහසකට එහා ගිය දෙයක් යැයි මා තේරුම් ගතිමි.. නමුත් ඒ පිළිබඳව කිසිවක් ඔහුට නොහඟවා සිටීමට උත්සහ කලෙමි..
කාලය වේගයෙන් ගතවිය.. සුදු අයියා විශ්වවිද්‍යාලයට සමත් වීමත් අප සැමටම සතුටක් මෙන්ම ආඩම්බරයක් විය..
මොරටු විශ්වවිද්‍යාලයට නිවසේ සිට වැඩි දුරක් නොවූයෙන් ඔහුට නිවසේ සිටම එහි යාමට හැකි වීම පහසුවක් විය..
එතැන් පටන් චතුරිටත් මටත් තනිවම පන්ති යෑමට සිදුවිය.. අප උසස් පෙළ පන්තියෙහි ඉගෙනුම ලැබුවෙමි.. අපත් සමග යාමට ඒමට අයියා නැතිකම චතුරිටත් වඩා පාලු දැනුනේ මටයි..
දිනක් අප දෙදෙනා පන්ති අවසන් වී එමින් සිටියෙමි..
"චතූ බලන්නකො අර රස්තියාදුකාරයා අපි පිටිපස්සෙන් එනවා දැන් සෑහෙන්න වෙලාවක ඉදලා.."
චතූ ඔහු දෙස බලා නැවත මගෙන් මෙසේ විමසුවාය..
"මොන රස්තියාදුකාරයද..? "
"ඇයි අනේ ඔයාට පේන්නෙ නැත්ද.. මේ එන කොල්ලා..මූනෙ හැටි.. මට බයයි අපි ඉක්මනට යමු.."
ඔහු කිහිප දිනක්ම අප පසුපසින් ආවේ ය.. සුදු අයියා හිටියනම් යැයි මට සිතුනු වාර අනන්තය.. මට වඩාත් කෝප සිතීමට  හේතුව චතූ ට මේ කිසිවක් වගක් නැති වීමයි..
කිහිප දිනකින්ම චතූගේ හැසිරීමෙහි වෙනසක් මට දැනුනි..
"අද කෙමිස්ට්‍රි ක්ලාස් එක පැයක් වැඩිපුර තියනවා කියලා නිහාල් සර් කිව්වා.. ඔයාගෙ ක්ලාස් ඉවර වුන ගමන් ඔයා යන්න ප්‍රභා.. මම මධූලත් එක්ක එන්නම්.."
දවස් කිහිපයක් එසේ සිදු විය.. නමුත් දිනක් මධූ මුන ගැසුනු විට එසේ වැඩිපුර ක්ලාස් නොපැවැත්වෙන බව මා දැන ගත්තෙමි.. චතූගෙන් විමසා ඇත්ත දැන ගැනීමටත් පෙරම ඒ සියල්ල මගේ දෑස් වලින්ම මට දැක ගත හැකි විය..
චතූත්, මා රස්තියාදුකාරයා ලෙස හැදින්වූ ඔහුත් අත් අලාගෙන ගමන් කරනු මා දුටුවෙමි..
'දෙවියනෙ මේ කෙල්ල.. '
මට කිසිවක් සිතා ගත නොහැකි විය..' සුදු අයියාවත් අම්මා අප්පච්චි කිසිවෙකුත් මොහුට නම් කැමති නොවන බව මා හොදාකාරව දැන සිටියෙමි.. ඔහුගේ නම රංග බව මා පසුව දැන ගත්තෙමි.. ඔහු ටවුමෙහි රස්තියාදුකාරයින්ගෙන් එකෙක් විය.
ඉන් පසු එළඹුනු හැම අවස්ථාවකදීම එය නොගැලපෙන ඇසුරක් බව මා චතූට තේරුම් කර දීමට උත්සහ ගත්තෙමි.. නමුත් අවසානයේ සිදු වූයේ මා ඇයට ඊර්ෂ්‍යා කරන බවක් ඈ පැවසීම පමනකි..
කෙලෙසකවත් චතූට වටහා දිය නොහැකි බව තේරුම් ගත් මම කුමක් කරමි දැයි සිතුවෙමි.. චතූ කරදරයක වැටීමට පෙර ඇයව බේරා ගත යුතුය.. අනෙක විභාගයට ඇත්තේ තවත් මාසයක කාලයක් පමනකි.. මෙය සුදු අයියාට කිව යුතු දැයි මා සිතමින් සිටියෙමි...
එදිනම සවස සිදු වූ ඒ සිදුවීම මගේ ජීවිතය මෙලෙස වෙනස් කලේය....
මා පන්‍තිය ඇරී පිට වනවාත් සමගම සුදු අයියා පාරෙන් අනෙක් පස සිටිනු දුටුවෙමි.. ඔහු අසලම චතුරිත් රංගත් විය.. සුදු අයියාගේ මුහුණ හොදටම කෝප ගැන්වී තිබුනේය.. මා ඉක්මනින් එතැනට ගියෙමි..
චතුරිගේ අතෙහි රිබන් එතූ තෑග්ගක් මෙන් යමක් විය.. ඇය මා එනු දැක තිගැස්සුනාය.. ක්ෂනයකින් ඇය මෙසේ පැවසුවා ය..
"ප්‍රභා ට දෙන්න කියලා මට මේක දෙනකොටම තමයි අයියා ආවෙ.. "
මේ සිදු වන්නේ කුමකදැයි මට ඒ මොහොතෙහි තේරුම් ගත නොහැකි විය.. සුදු අයියාගේ කෝප ගැන්වුනු රත් පැහැ දෙනෙත් දෙස බලා සිටීමට අපහසුම තැන  මා බිම බලා ගත්තෙමි..
අයියා වෙව්ලන හඩින් වහා මගෙන් මෙසේ විමසුවේ ය..
"ප්‍රභා, නංගි කියන්නෙ ඇත්තක්ද.. මොකද්ද මේ සම්බන්දෙ? "
මා ඇත්ත පැවසුවේ නම් චතුරි සුදු අයියාගෙන් එවෙලෙහිම පහර කනු නොඅනුමානය.. ඒ තරමට අයියා කෝප ගැන්වී සිටියේය.. කුමක් කිවයුතු දැයි සිතා ගත නොහැකිව මා බලා සිටින විට රංග මා අසලට පැමිණ මෙසේ කීවේය..
"මම ඔයාගෙ බෝයිෆ්‍රෙන්ඩ් කියන්න බය වෙන්න එපා ප්‍රභා.. මූ කව්ද.."
එසේ පවසමින් මගේ අතින් අල්ලන්නට ඔහු දැරූ උත්සහය මා කෝපයෙන් වැලැක්වුවෙමි.. මේ මොහොතෙහි ඔහුටත් අවශ්‍ය චතුරිව බේරා ගැනීම බව මට අවබෝධ විය.. එබැවින් මා නිහඩ වීමි.
මොහොතක් මා දෙස බලා සිටි සුදු අයියා චතුරිත් සමග පිටව ගියේය..
මුළු ලෝකයම මා වටා කැරකෙන්නාක් මෙන් මට දැනුනි. චතූ සුදු අයියාට සත්‍ය නොකියන බව මා දනිමි.. ඔහු මා කෙරෙහි ඇති මෙම වැටහීම වැරදි යැයි කෑ ගසා කියන්නට මට සිතිනි.. එහෙත් එය විශ්වාස කරන්නට දැන් සියල්ල ප්‍රමාද ය..
  ඉන් පසු එලඹුනු විභාග මාසය තුල මා අතින් මගේ උපරිමය ඉටු නොවූ බව මා දනිමි.. මෙම සිදුවීම මා බෙහෙවින් කම්පනයට පත් කර තිබුනේ ය..  මෙය අම්මාගෙනුත් තාත්තාගෙනුත් සැඟවීමට මට හැකි වූයේ නැත.. සියල්ල පැවසීමෙන් පසුව මෙය චතූලාගේ නිවසට නොපැවසීමට ඔවුන්ව පොරොන්දු කර ගැනීමට මට හැකි විය..
ඉන් පසු ගෙවුනු කාලයේ තාත්තා බණ්ඩාරවෙලට සේවා මාරුවක් ලබා ගත්තේය.. අප එහි පදිංචියට ගියෙමු.. සිදු වූ දෙයින් පසු චතූට මගේ මුහුන බැලීමට නොහැකි වන්නට ඇත. ඉන් පසු මට ඔවුන් දෙදෙනා මුණ ගැසුනේ නැත.. එබැවින් මා යන බව චතුරිටවත් සුදු අයියාට වත් පැවසීමට නොහැකි විය.. නැවත එහි යාමට මට නිවසින්ද කිසිදු අවසරයක් නොලැබුනේය..
අවුරුදු හතරකට පසු දිනක..
"ප්‍රභා මිස් ට විසිටර් කෙනෙක්! "
"මට... ? ඒ කව්ද..?"
"කව්ද කියලා නම් දන්නෙ නැහැ.. ඒත් හැන්ඩ්සම් බෝයි කෙනෙක්.. "
රේණු සිනාසෙමින් එසේ කියා යන්නට ගියා ය..
'කව්ද.. සුපුන් වත්ද.. නැහැ.. දැන්නෙ එයා මට කෝල් කලේ..' මා විශ්මයෙන් එදෙසට  ගියෙමි..
"සුදු අයියා..!!! "
ඔහුගේ දසුන මා බලාපොරොත්තු නොවූවකි.. බොහෝ වේලාවක් යන තුරු අප දෙදෙනා අතර නිහඩතාවයක් පැවතුනි..
ගත වූ කාලයේ සිදු වූ සියලු දේ ඔහු මා සමගින් පැවසුවේය.. චතුරි, රංග සමග තනි කැමැත්තට විවාහ වී ඇත. නමුත් එය මාසයක් වත් සාර්ථකව තිබී නැත..
"නංගි කල දේට සමාවක් ලැබුනෙ නැහැ.. අප්පච්චි එයාට එන්න දුන්නෙ නැහැ ගෙදරට.. ඒත් එයා තවත් දුක් විදිනවා බලන්න බැරිම තැන මම ගිහින් එක්ක ආවා.. දැන් අපිත් එක්ක ඉන්නෙ..
ඔයා එදා මුකුත් නොකියා හිටියෙ ඇයි කියල මම දැන ගත්දි ගොඩක් පරක්කුයි ප්‍රභා.. මම එදා කලබල නොවී හොයල බලන්නයි තිබුනෙ ඇත්ත මොකද්ද කියලා.. ඇයි ඔයා නොකියම එහෙන් ආවෙ.. මම අමාරුවෙන් හොයා ගත්තෙ ඉන්නෙ මෙහෙ කියලා..."
සුදු අයියාගේ වචනයක් පාසා මගේ හදවත අභ්‍යන්තරය රිදුම් දෙන්නට විය.. මොහොතකින් ඔහු මගේ වමතේ වෙදැගිල්ලේ වූ මුදුව දෙස දෑස් යොමනු මා දුටුවෙමි.. "
"ප්‍රභා... "
ඔහු මගෙන් අසන්නට යන දෙය මා තේරුම් ගත්තෙමි..
"අයියෙ.. මම එන්ගේජ් වුනා.. එයා සුපුන්.. ප්‍රපෝසල් එකකින අපි හම්බ වුනේ.. මැයි වල අපේ වෙඩින් එක.. "
එය සුදු අයියා බලාපොරොත්තු නොවූ දෙයක් බව ඔහුගේ මුහුනෙන් පිළිබිඹු විය.. නමුත් ඔහු සිනාවක් මවාගෙන මෙසේ පැවසීය..
"මම විශ් කරනවා ප්‍රභා ඔයාගෙ අනාගතේට.."
සියලු කථා බහ අවසායේ සුදු අයියා සමු ගෙන පිටව ගියේ කියන්නට පැමිනි බොහෝ දේ තම සිතෙහි ගුලි කරගෙන බව මට වැටහිනි..
ඔහු යන අයුරු මට බොදවී පෙනුනේ මගේ දෑස් වලට ඒ වන විටත් කඳුළු පිරී තිබූ නිසා විය හැක.. :'(
*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.
(සමාප්තයි.)

Wednesday, September 14, 2016

කාලය හරහා සීගිරි අතීතයට... හැඳින්වීම...

,,'''කාලය හරහා සීගිරි අතීතයට....''',,

සීගිරි අතීතය අදටද අභිරහසකි. පුරා විද්‍යා කැනීම් වලින් , මූලාශ්‍ර ග්‍රන්ථ සහ ජනප්‍රවාද වලින් සීගිරි අතීතය පිලිබදව හෙලි කරගෙන ඇත්තේ අතලොස්සක් බව කියැවේ.. ලෝකයේ අටවන පුදුමය ලෙස පැවසීමටත් මෙහි ඇති ගුප්ත බව හේතුවක් වූයේ යැයි හැගේ.. සීගිරි අතීතය ගැන මා තුල වූ කුතුහලය නිසාම ඒ පිලිබද තොරතුරු සොයන්නට මා පෙලඹුනෙමි..

වැඩිමනක් ඇත්තේ මතවාදයි. එකම දෙයකට පවා මතවාද කිහිපයක්ම පවතින බව දැක ගන්නට ලැබුනි. උදාහරණයක් ලෙස සීගිරි බිතුසිතුවම් පිලිබද ඇති මතවාද දැක්විය හැකියි..

සීගිරි අතීතයට කාශ්‍යප රජුගේ කාලයට එහා ගිය අතීතයක් තිබී ඇත.. කාශ්‍යප රජ සීගිරි පර්වතය මත තම මාලිගාව තනන විට මාලිගාවක නටඹුන් හමු වූ බව කියැවේ..  ඒ රාවනා රජුගේ වාසස්ථානය වී ඇත්තේ සීගිරියයි..

කාශ්‍යප රජු පීතෘ ඝාතකයෙක් වුවත් ඔහු මහ ජනතාවගේ සහ භික්ෂූන් වහන්සේලාට ප්‍රිය රජ කෙනෙකු වී ඇත. එබැවින් ඔහු එවැනි ඝාතනයක් කර නොමැති බවටද මත පවති..

මගේ කථාංගය පිලිබද පැවසීමට ප්‍රථම, කාශ්‍යප රජ මෙම සීගිරියට පැමිනීමට හේතු වන වට පිටාව පිලිබද ඔබට කෙටියෙන් මතක් කර සිටින්නම්..

අනුරාධපුරයේ රජකළ ධාතුසේන රජුට යකඩ දෝලියකගෙන් ලත් කාශ්‍යප නම් කුමරුවකු හා අභිෂේක බිසවගෙන් ලත් මුගලන් නම්වූ පුත්තු දෙදෙනෙක් ද දුවණියක ද වූහ.. රජු තම නැගණියගේ පුත් සෙන්පති මිගාරට ඇය විවාහ කර දුන්නාය. මිගාර දිනක් තම දියණියට අමානුෂික ලෙස පහරදුන්නේ යැයි කිපුණු රජු තම සොහොයුරිය වූ මිගාරගේ මව නිරුවත් කොට පුළුස්සා මරා දමන්නට නියෝග කළේය. රජුගෙන් පළිගන්නට සිතූ මිගාර කාශ්‍යප කුමරුන් රාජ්‍ය ගැනීමට පෙළඹවූවේය. මුගලන් සේනා සංවිධානය කොට රාජ්‍යය ගැනීමේ අපේක්ෂාවෙන් ඉන්දියාවට පලා ගියේය.
මුගලන් වෙනුවෙන් ධාතුසේන රජු ධනය තැන්පත් කර ඇතැයි කාශ්‍යපට කියමින් මිගාර ධාතුසේන රජු කෙරෙහි තවදුරටත් බිඳැවීය. තැන්පත් ධනය ගැන ප‍්‍රශ්න කළ විට ධාතුසේන රජු කාශ්‍යපට කියා සිටියේ ඒ ධනය කලා වැව බවයි. ඉන් කිපුණු කාශ්‍යප සිය පිය රජු නිරුවත් කොට කලා වැවේ බැම්මට තබා මැටිගස්සවා මරා දැමීමට නියෝග කළේය.
සිය පියා මැරූ පලිය ගැනීමට සහෝදරයා වූ මුගලන් කුමරු කෙදිනක හෝ යුද්ධයට එතියි බියෙන් කාශ්‍යප සීගිරිය බළකොටු රාජ්‍යය ගොඩනැගූ බව ඉතිහාසය සාක්කි දරයි...
"""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""
මෙහිදී ඔබට පුන පුනා පැවසිය යුතු යමක් ඇත.එනම් මා මෙසේ ගෙතූ කථාංගය ප්‍රබන්ධ කතාවක් මිස සැබෑ සත්‍ය සීගිරි අතීතය නොවන බවයි..

සැබෑ සීගිරි අතීතය වර්තමානටද විශ්මයක් ඉතිරි කරමින් සැඟව ගොසිනි...

කාලය හරහා සීගිරි අතීතයට... නම් මගේ ප්‍රබන්ධ කතාව කොටස් වශයෙන් මෙලෙස  ඔබ හමුවට ගෙනෙමි. :) :)

~මුදී~