Wednesday, October 26, 2016

සපත්තුව

නොසිතූ මොහොතකම මහ වැස්සක් කඩා වැටෙන්නට විය..

"ෂික්. මගෙ වෙලාව.. තව චුට්ටක් කලින් ඔෆිස් එකෙන් පැන ගන්න හම්බුනා නං මෙලහකට බස් එකේනෙ.."

මා මටම මුමුනා ගතිමි. මගේ මේ නොරිස්සුමට එකට එක කිරීමට මෙන් වැස්ස තව තවත් තම බල පරාක්‍රමය පෙන්වන්නට පටන් ගත්තේය.. මා සාරිපට බදවටා කරකවා අනෙක් කෙලවර ඉනට යට කොට ගත්තෙමි.. කුඩය ඉහලා ගත්තද එයටත් වැස්සේ තද බව දරා ගත නොහැක. 

"දැන් ඉතින් මොනවා කරන්නද.. හෝල්ට් එකට යන්න අමාරුයි මෙහෙම. අර කඩ කෑල්ල ඉස්සරහින් වත් ඉන්නවා වැස්ස අඩු කරනකන්." 

එසේ සිතමින්ම මා දුවගෙන විත් කඩයට ගොඩ වීමි.. කුඩයෙන් හිස ආවරණය වුවත් ගතම වැසි දියෙන් තෙමී ඇත. උරහිසට පිටුපසින් බලමින් සාරියෙහි වතුර ගසන්නට දැරූ උත්සහයේදී දුටු සාරියේ මඩ පැල්ලම් මගේ මතකයට ගීතයක පද එක් කලේය..

ඔබ තෙමෙයි කියා බයයි
වැසි වසී සුලං තදයි
කුඩයට ඔරොත්තු නොදෙයි
සාරිය පිට මඩ ඉහෙයි..

වැස්ස පිලිබඳ නොරිස්සුම් ගෙන තිබූ මගේ මුවෙහි ගීතය මතක් වීමෙන් සිනහවක් ඇදිනි.. 

"ම්ම්.. කවුරු මම ගැන එහෙම හිතන්නද.." 

මා මටම කියා ගතිමි.. 
වැස්සෙන් බේරීමට තම තමන්ට සෙවනක් සොයා දිව යන මිනිසුන් අතරේ එවැනි කෙනෙක් සිටින්නට  හැකිදැයි මා සිතුවෙමි.. 

"මුතුමි, ඇයි බං තාමත් උබට බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් නැත්තෙ?"

නෙරංජි දිනක්  මගෙන් ඇසුවාය..

"ම්ම්.. හිතට හරියන කෙනා තාම හම්බ වුනේ නැහැ අනේ.. ඉරණම්කාරයා හම්බවෙනකන් ඉතින් මම බලන් ඉන්නවා.."

"උබ නම් මොන ජාතියෙ කෙල්ලෙක්ද කියලා මට හිතාගන්න බෑ.. සුරංගනා කථා වල වගේ ඉරණම්කාර කුමාරයා මකරෙක් එක්ක ෆයිට් කරලා.. ටවර් එකක් නැගලා.. එහෙම නැත්නම් උබේ සපත්තුවත් උස්සගෙන ඉස්සරහට එයි කියල බලන් ඉන්නවද.. ඇයි බං මේ ඔෆිස් එකේම කී දෙනෙක් උබ ගැන ඉන්ටරෙස්ට්ද.. ඒ කවුරු හරි ගැන හිතපංකො. "

එවිට මා සිනා සී හෙමින් වෙනත් කථාවකට මාරු වන්නෙමි. 

නැහැපුඩු ඉවසුම් නොදෙමින් ගලා ආ පොල් රොටී සුවද මගේ සිතුවිලි වලට හරස් විය.. පොල් රොටී!! වහින වෙලාවට කන්න නියම කෑම. ලුනු මිරිස් සමග පොල් රොටි මතක් කල සිත නිසා මුවට කෙල ඉනුවේය.. 
වැස්ස ටිකක් තුරල් වී ඇත.. කුඩය ඉහල ගත් මා හෝල්ට් එක වෙත පියමං කලෙමි. 
එක් වරම මා දෙසට  කැපූ මෝටර් රථය නිසා මා පසෙකට විසි වීමි.. පය ලිස්සූ නිසා ගැලවුනු සපත්තුව අසල වේගයෙන් ජලය ගලා යමින් තිබූ කානුව තුලට විය.. මේ මහ පාර නොවේ නම් මා කෑ ගසා හඩමි.  වැස්සෙන් ලැබූ අඩම්තේට්ටම් මදිවට සපත්තුවත් අහිමි වී ඇත. කකුලෙහි මඩ තලියකි. මා බොහෝ ඇළුම් කල සපත්තු යුවල.. ඵලක් නුවූවත් තම සගයා අහිමි වූ අනෙක් සපත්තුව දමා යාමට මට සිත් දුන්නේ නැත. හැකි ඉක්මනින් හෝල්ට් එක වෙත යාම හැරෙන්නට අන් විකල්පයක් නැත. 

දෑස් කොනකට ගලා ආ කදුලු බිදු වැසි දියටම එක් වන්නට ඉඩ දී මා ගමන් ගතිමි. 
හෝල්ට් එකෙහි පියස්සෙන් වැටෙන ජල පහරට කකුල අල්ලා සෝදා ගතිමි. කුඩා කල නිවසේ දී අප්පච්චීට හොරෙන් මල්ලීත් මමත් වැහි පීල්ලට කකුල ඇල්ලූ සුන්දර අතීතය මගේ මතකයට නැගුනි.
තරුණ යුවලක් හැරෙන්නට කිසිවෙකුත් හෝල්ට් එකෙහි නොවීය.. මා පැමිනීමට මොහොතකට පෙර බස් රථය පිටවී ඇත. තව කොපමන වෙලා සිටින්නට සිදුවේද.. 
මා සාරිය පහතට අදිමින් නිරුවත් යටි පතුල් වසා ගන්නට උත්සහ කලෙමි. මේ වැස්සේම සපත්තු කඩ සොයා පාවහන් වලින් තොර දෙපා වලින් ඇවිද යන ලැජ්ජාවට වඩා මෙය හොදය. බසය පැමිනි පසු බෝඩිම ලගින් බැසීම පමනකි..
වැස්සට මෙසේ සෙල්ලම් කිරීමට මාවම අවශ්‍ය වූයේ ඇයි දැයි කෑ ගසා හැඩීමට මට සිතිනි. 

මොහොතකින් දීප්තිමත් නිල් පැහැති මෝටර් රථයක් හෝල්ට් එක ඉදිරියේ නැවැත්වීය.. මා සමග සිටි යුවල හදුනන අයෙකු විය යුතුයි. 
'ඔව්. මේ මහා වැස්සේ මගේ තනියට හෝ සිටි ඔවුන් දෙදෙනාත් පිටත් කර යවා මා තවත් තනි  කරන්න.' :'( 
මා වැසි සවස ගැන තවත් කලකිරුනෙමි.. 

'කුමක්ද.. ඔහු පැමිනෙන්නේ මා දෙසටය..'

 "මිස්ගෙ සපත්තුව නේද.. "

පුදුමයකි.. කානුවෙහි  ගසාගෙන ගිය මගේ අනෙක් සපත්තුව ඔහු අතේය.  මට එක්වරම කිසිවක් සිතාගත නොහැකි විය.. 
ඔහ්. හෝල්ට් එකට එමින් සිටියදී මා දෙසට කැපූ මෝටර් රිය මෙය බව මගේ මතකයට නැගුනි. 

"එක පාරටම පිටිපස්සෙන් ඉස්සර කරපු වාහනේ නිසා මට අයිනට කපන්න වුනේ.. මිස්ව ලිස්සලා සපත්තුව වැටෙනවා මම දැක්කා.. ඒත් මිස් එතැනින් යන්න ගියා මම එනකොටම.. කානුව පහල රැදිලා තිබුනා මේ සපත්තුව.. එක්ස්ට්‍රීම්ලි සොරි.."

මා අසා සිටියෙමි.. මා ඉදිරිපිට නොනවත්වා කථා කරන අපූරු තරුණයා දෙස බලා උන්නෙමි.. වැස්සේ මුරන්ඩුකම් වලින් ගල් වී තිබූ මගේ හදවත ඔහුගේ වචන වලින් උනුසුම් වන්නාක් මෙන් දැනුනි.. ඔහු තව තවත් කථා කරනවා නම් යැයි මගේ හදවත ඉල්ලා සිටියේය..

තවමත් සපත්තුව අතට නොගත් මා දෙස ඔහු විශ්මයෙන් බලා සිටී.. මා යලිත් පියවි සිහියට එලඹුනෙමි. 

"අහ් ඉට්ස් ඕකේ. තෑන්ක්‍ යූ." :)

මා එය අතට ගැනීමට උත්සහ කරන විටම..

"චුට්ටක් ඉන්න.. මිස් එරුනු වෙලාවෙ ගෑවුන මඩ ටිකක් තියෙනවා.. "

ඔහු එය වැහි පීල්ලට අල්ලා සිටියේය.. එහි ඇලී තිබුනු මඩ තට්ටු වැසි දිය වැටීමෙන් දියවී යනයුරු මා බලා සිටියෙමි... 

එක පිට එක වැස්ස කල අඩම්තේට්ටම් වලින් දොම්නස් ව තිබූ මගේ සිතත්, ඒ මොහොතෙහි වැසි දියෙන් මඩ ඉවත්ව බැබලෙමින් තිබූ සපත්තුව මෙන්  විය.. 

නිමි.

No comments:

Post a Comment