Showing posts with label මගේ කෙටි කථා. Show all posts
Showing posts with label මගේ කෙටි කථා. Show all posts

Monday, September 25, 2017

ලොකු අයියා..

කළු යැයි කිව හැකි එකදු කෙස් ගසක් වත් හිසෙහි ඉතිරි වී නැත..  පුළුන් ගුලි මෙන් මුහුන වසා ගත් ‍රැවුල් ගස් අතර මද සිනාවෙන් පිරුනු ඔහුගේ මුව දෙස මා බලා උන්නෙමි.. උකුලෙහි දඟ කරමින් හිදින කුඩා මුනුපුරාට ඔහු රසවත් කථාවක් කියමින් සිටී.. අවුරුදු ගනනකට පසුත් ඒ දෙනෙත් වල දීප්තිය මදකුදු අඩුවී නැත.. එක්වරම ඒ දීප්තිමත් දෙනෙත් මා දෙසට හැරවින..

"සුදු නෝනෙ තේ ඩිංගක් බොමුද..?"

මා වහා හුන් තැනින් නැගිට ගත්තෙමි..

"හා ලොකු අයියෙ..ඉන්ට.."

රෑ තිස්සේම රිදුම් දී උදෑසන විවේක ගෙන තිබූ මගේ පයේ වේදනාව නැවත ඇහැර ගත්තේය..

"සුදු නෝනෙ.."

"අයියෙ.."

"මොකෝ කකුල අද්දන්නෙ..?"

"නෑ අයියෙ..මේ දනිස රිදෙන්න ගත්තා.. ඊයෙ රෑ තිස්සෙ වේදනාව.. උදේ හොද වෙලත් තිඋනා.. මේ ආයෙ පටං අරං.."

"ඉතින් තෙල් මුකුත් ගාගත්තෙ නෑ..? ඉන්ට.. "

ලොකු අයියා කාමරයට ගොස් තෙල් බෝතලය රැගෙන ආවේය..
මා ඉදිරියේ දණ ගසාගත් ඔහු තෙල් බෝතලය විවර කලේය..

"දෙන්න අයියෙ මං ගාගන්නම්.."

"හිටින්ට මං ගාන්නම්.."

මොහොතකින් මට ඔහුව බොදවී පෙනුනේය..
තෙල් ගා අවසානයේ ලොකු අයියා මා වෙත දෙනෙත් යොමු කලේය..

"ඔන්න ඉතින්.. සුදු නෝනෙ උබගෙ ඔය ඇස් වල කඳුලු නං මට මේ කෙස් පැහිලත් තාම තේරුං ගන්න බැරි උනා.."

"ඉන්ට මං තේ ටිකක් වක් කර ගෙන එන්නං.. "

"පස්සෙ බොමු සුදු නෝනෙ දැං ඩිංගක් ඔහොම ඉදගෙන ඉන්ට.."

එය ගනනකට නොගත් මා දෑසට නැගී තිබූ කදුලු ගුලි දෙක තුන පිටි අල්ලේ පිසදා ගනිමින්  මුළුතැන්ගෙට වැදුනෙමි..

ලොකු අයියා.. මගේ තාත්තාගේ එකම නැගණිය, එනම් රතු නැන්දාගෙ ලොකු පුතාය.. පොඩි අයියාත් ලොකු අයියාත් හැරෙන්නට රතු නැන්දාට වෙනත් දරුවන් නොසිටියාය.. ලොකු අයියාට අවුරුදු පහළවේදී පමන මාමාත්, පොඩි අයියාත් දුම්රිය අනතුරකින් ජීවිත වලින් සමු ගත් පසු රතු නැන්දාත් ලොකු අයියාත් මේ නිවස තුළ තනි විය..

අප්පච්චී, නැන්දාත් ලොකු අයියාත් ගැන නිතර සොයා බැලුවේය.. මාමාගේ මරණයෙන් පසුව ඔවුන්ගේ කුඹුරු කරන්නට කිසිවෙකු නොවූයෙන් ඒවා පාලු වී ගියේය.. අප්පච්චී ඒවා කරන්නට පටන් ගත්තේ ඉන් පසුවයි.

රතු නැන්දා රෙදි වියන්නට ගොස් ලබා ගන්නා සොච්වම් මුදල ලොකු අයියා ට උගැන්වීමට කොහෙත්ම නොසෑහෙන බව කුඩා මට පවා එකල වැටහිනි.. වර්ෂයක් ගෙවී ඉහල පන්තියට යන හැම වරකම මම ලොකු අයියාගේත් පොත් ලැයිස්තුව ඉල්ලාගෙන විත් අප්පච්චීට දුන්නෙමි.. අයියාත් මමත් එකම පාසලේ ඉගෙනුම  ලැබුවෙමු. ඔහුත් මමත් අතර පාසලේ පන්ති පහක පරතරයක් තිබනි..

මා ප්‍රාථමික පන්ති වල සිටියදී මගේ කොන්ඩෙන් අදින, මකනය හෝ පොත් සොරා ගත් මිතුරියන්ට මා
'අපේ ලොකු අයියාට කියනවා' යැයි බය ගැන්වීමට පුරුදුව සිටියෙමි. පාසලේ ඉගෙනීමෙහි දක්ෂ මෙන්ම ප්‍රසිද්ධ චරිතයක් වූ ඔහු, අපේ ලොකු අයියා වීම තරම් ආඩම්බරයක් මට එකල නොවුනි..  ඔහු මගේ ආරක්ෂකයා මෙන්ම මගේ ලෝකයේ වීරයාද වී විය..

මා අට වන ශේණියේ ඉගෙනුම ලබමින් සිටින කාලයේ දිනක් නීතා මා වෙත ගෙන ආ ආරංචිය නිසා මා ක්‍රියා කල ඒ ආකාරය පිළිබඳ මතකය අදටත් මගේ මනසේ නොනැසී පවතී..

"හේයි නයනා දන්නවද වැඩක්??"

"දැන ගන්න කියන්නෙපැයි.."

"ඔයාලගෙ ලොකු අයියා යාලු වෙලා ඉන්නෙ අර සිරිදාස මුදලාලි මාමගෙ දුව එක්ක.. "

එක්වරම මගේ හදවත තුළ යකඩ ගුලියක් සිරවී ඇති ලෙසක් දැනුනි.. මුලු හිසම සීතල වී ගියේය..

"මොනවා... අර ගීතා එක්ක..? නෑ අපේ අයියා ඒ වගේ නැට්ටිච්චියන්ට අහු වෙන්නෙ නෑ.."

"නැත්තෙ මොකෝ.. මුළු ඉස්කෝලෙම දන්නවා.. සුනිල්ලා ඇස් දෙකෙන්ම දැකලා තියෙනවා පල්ලෙහා වැවේ කුඹුක් ගහ ලග දෙන්නගෙ මුකුළුව.. "

කෙසේ උවත් මගේ දෑසටම දකින තුරු මා නීතා කී දේ විශ්වාස නොකලෙමි.. එහෙත් ඔවුන් දෙදෙනා මගේ දෑසින්ම එසේ දුටුව දිනයේ මගේ හදවත තුල ඇතිවූ ගිනි පුලිගුව ගීතාව දවා විනාශ කල හැකි තරම් ගින්දරක් බවට මගේ හදවත තුළ පැතිර යාමට වැඩි කලක් ගත වූයේ නැත..

පාසල ඇරී නිවසට යාමට පෙර පාසල අසලට වී සිටින වෙරළු අච්චාරු වෙළෙන්දාගෙන් ලොකු අයියා මිළදී ගන්නා වෙරළුවල අයිතිකාරිය ගීතා වීමත්, රතු නැන්දා සාදා එවන හැළප වල මගේ පංගුව ලොකු අයියාගෙන් ගීතාට වෙන් වීමත් මට මැවි මැවී පෙනෙන්නට විය.. මා ප්‍රිය කරන ලොකු අයියාගේ මදහසින් පිරි මුවෙත්, දීප්තිමත් දෑස් වල සතුටටත් එකම හේතුව හා අයිතිකාරිය ගීතා වීම මට දරා ගත නොහැකි විය.. ඇයත් ලොකු අයියාත් එකම දර්ෂනයකින් දැකීම මගේ හදවත ප්‍රතික්ෂේප කලේය..

නෑකමින්ම මට උරුමව තිබූ ඔහුගේ අයිතිය වෙන එකියක උදුරාගෙන තිබීම එකළ මගේ සිතේ නිතර වධ දුන් කරුණක් විය.

ඉන්පසු ගෙවුනු කාලයේ මා තවදුරටත් තැන්පත් ගති පැවතුම් ඇති නයනා නොවීය.. ගීතාගෙන් ලොකු අයියා බේරා ගැනීමට මම මුලු සිතින්ම සටනකට සූදානම් උනෙමි. ගීතාට කල යුත්තේ කුමක් දැයි නිතර කල්පනා කලෙමි..

සෑම උදෑසනකම ලොකු අයියා සමග පාසල් යාම මා අත් හැර දැම්මෙමි.. ඒ සිරිදාස මාමාගේ කඩය  අසලින් ගීතා ද අප හා එක් වන නිසා ය.. ඔහුත් ඇයත්  එකට ගමන් කරන පාරකින් හෝ යාම මගේ සිතට ඉහිලුම් නොදෙන වේදනාවක් විය.. 

එක් වැසි උදයක මා පාසලට පැමිනියේ තෙමෙමිනි.. මුවා කර ගෙන ඒමට යමක් නොතිබූ බැවින් අම්මා මසා දී තිබූ රෙදි පොත් බෑගය මෙන්ම ගවුමද වැසි දියෙන් තෙමී තිබුනේය..

පළමු කාලච්ජේදය සදහා පොත ගැනීමට බෑගය විවර කරන මොහොතේ මගේ දෑස් උඩ ඉන්දවිනි.. එදින පාඩමක් සදහා ගෙන ඒමට කියා තිබූ කුකුල් සායම් පැකට්ටුවක් හැලී තිබිනි.. බෑගය තෙමී තිබූ බැවින් පොත් සියල්ලගේම නිල් පැහැති පැල්ලම් සෑදී තිබිනි..
'දෙවියනේ.. '
කදුලු පිරී බොදවී යන දෙනෙත් මා ඉවතට හරවා ගතිමි..

ඒ මොහොතෙහි පංති කාමරයට එපිටින් ඇවිද යන ලොකු අයියාගේත් ගීතාගෙත් රුව මගේ බොදවී යන දෑසට පෙනුනේ එවිටයි..
එක් වරම මගේ සිතට ආ අදහස නිසා සිත තුළ ප්‍රීතියක් පිනුම් ගසන්නාක් මෙන් විය.. ඒ සමගම සිත තුළ නැගී ආ අසාමාන්‍ය බියක් හදවත වෙලා ගත්තේය..
'අහු උනොත්..?'
'නෑ එහෙම වෙන්නෙ නෑ.. ඒකිට ඔයා පාඩමක් උගන්නන්න ඕනෙ නයනා.. '

බිය ගත් සිතුවිලි පරදා මගේ යටි සිත මට එය කිරීමට අනුබල දුන්නේය...
මා ලග තිබූ අනෙක් රතු සායම් කුඩු පැකට්ටුව සීරුවට විවර කොට ඉන් ස්වල්පයක් කඩදාසි කැබැල්ලක ඔතා ගත්තෙමි...

විවේක කාලයේ දී  ආහාර ගැනීමෙන් පසුව පාසලේ සියලුම සිසුන් තම පන්තියට අයත් එලවලු පාත්තියට සාත්තු කරන්නට යෑම ලොකු ඉස්කෝලෙ මහත්තයා විසින් අපට අනිවාර්ය කල කටයුත්තක් විය..
විවේකයේදී පාත්ති වලට සාත්තු කරන්නට යන අතරතුර ලොකු අයියාගේ පන්තිකාමරය ඉදිරිපිට මගේ කොන්ඩ පටිය හිමින් සීරුවේ වට්ටන්නටද මා අමතක නොකලෙමි.. 
සියලුම සිසුන්ට යන්නට හැර මා අසල සිටි නීතා දෙසට හැරුනි..

"අයියො මගෙ කොණ්ඩ පටිය වැටිලා. මම බලලා එන්නම්.. "

මා වේගයෙන් ලොකු අයියලාගේ පන්ති කාමරය දෙසට දුව ගියෙමි. කිසිවෙක් පෙනෙන්නට නැත.. එක් වරක් හෝ සිතන්නට නොවෙහෙසුනු මම ගවුම් කර තුල රුවා ගෙන තිබූ සායම් කුඩු කොලය ගෙන ගීතාගේ බංකුවේ ඈ හිදගෙන සිටින තැන ස්වල්පයක් සියුම් ලෙස ඉස දැම්මෙමි..

එදින පාසල ඇරී නිවසට යන මොහොතේ වැටුනු වැසි පොද , සායම් කුඩු රැදී තිබූ ගීතාගේ සුදු ගවුම මත වැටී රතු පැල්ලම් ඇති කලේය.. ඒ දැක බාලංශ පති වල හා ඉහල පතිංවල සිසුන් ඇයට ඔච්චම් කරන විට කදුලු පිරී රතු වී තිබූ ගීතාගේ දෑස් දෙස බලමින් මම කුරිරු සතුටක් අත් වින්දෙමි..

මා ගීතාට රිදවා සතුටක් අත් විදීම එතනින් නැවැත්වූයේ නැත..
ලොකු අයියාට උණ වැලදීමෙන් දින කිහිපයක් පාසල් ඒමට නොහැකි වූ කාලයක් විය.. එ අතර දිනයක මා පාසලේ සිටින මොහොතක ගීතා මා හමු වීමට ආවාය..

"නයනා නංගි.. පියල් අයියට කොහොමද දැන්..?"

"තවම හොද නැහැ.. තව ටික දවසක් ගෙදර ඉදී අයියා.."
මා කීවෙමි..

දැන් සුවවී ඇති බැවින් පසු දින සිට පාසල් යාමට හැකි බව පෙර දින ලොකු අයියා රතු නැන්දා සමග කියනු මා අසා උන්නෙමි. නමුත් අයියා හෙට පැමිනෙන බව කියා ගීතාගේ සිතේ සතුටක් ඇති කිරීමට මට කිසිදු අවශ්‍යතාවක් නොවීය..

"නංගි පොඩි උදව්වක් කරනවද.. මේ ලියුම අයියට දෙනවද..?"

මගේ සිතෙහි පුපුරු ගැසෙමින් නැගුනු කෝපය ඇයට පෙනේවියැයි බියෙන් මා අනෙක් පසට හැරුනෙමි.. එය ඉල්ලා ඉරා දැමීමට තරම් කෝපයක් මගේ හිතේ ඇතිවී තිබිනි.. මල්කාන්ති ඉස්කෝලෙ හාමිනේ ඈතින් එනු පෙනෙත්දීම මගේ සිතෙහි ගීතාගෙන් පලි ගැනීමට එක් අදහසක් පහල විය..

"දෙන්න.. "

මා ඇගෙන් එය ඉල්ලා ගතිමි.. අප ආසන්නයටම පැමිනෙමින් සිටි ඉස්කෝලෙ හාමිනේට පෙනෙන්නටම මා එය පිටුපසට කර සගවා ගතිමි..

"නයනා මොකද්ද ඒ හංග ගත්තෙ මං එනවා දැකලා.."
ඉස්කෝලෙ හාමිනේ විමසුවාය..

මා ඇත්තෙන්ම බියවී සිටියෙමි. නමුත් මට කිරීමට අවශ්‍ය වූයේ මෙයයි.. ඉස්කෝලෙ හාමිනේ එම ලිපිය ඉල්ලා ගෙන කියවා බැලුවාය..

"ගීතා මෙහෙ එනවා..
ලොකු ඉස්කෝලෙ මහත්තයගෙ ඔපිස් එකට එනවා මේ දැන්ම.."

ඇය පිටත්ව ගිය පසු දෙවන වතාවටත් මා එම කුරිරු සතුට අත් වින්දෙමි.. පෙම් හසුනක් හුවමාරු කිරීමට පහල පන්තියක සිසුවියක් යොදා ගැනීම ගැනත් ඇයට දඩුවම් විදීමට සිදුවන්නට ඇත.

පසුදින සිට ලොකු අයියා පාසල් පැමිනියත් ගීතා සතියක් පමන පාසල් පැමිනියේ නැත. නමුත් ලොකු අයියාගේත් ඇගෙත් ප්‍රේමය නැවැත්වීමට මා ඒ කළ කිසිදු රිදවීමකට නොහැකි විය..

කාලය වේගයෙන් ගතවිය.. ලොකු අයියා අපේ පාසලෙන් විශ්වවිද්‍යාල  වරම් ලැබූ පළමු සිසුවා විය.. එය අපට මෙන්ම පාසලටම ආඩම්බරයක් විය..

ඔහු සරසවියට යාමට දෙමසකට පමන පෙර ගීතා අඹ ගහවත්තේ සරත් සමග පැනගොස් ඇති බව අපට ආරංචි විය.. එකල මට අසන්නට ලැබුනු සතුටුදායකම ආරංචිය එය බව සිතමින් මා  සතුටු වූ බව මට මතකය.. මා සිත තුල එකල පැවති ඒ සිතිවිලි ගැන මතක් වන විට අදටත් මගේ සිත තුල මා ගැනම උපන් අනුකම්පාවක් සහ ලැජ්ජාවක් ඇතිවේ..

මට එය සතුටුම ආරංචියක් උවත් ලොකු අයියා එය අසා හැසිරුනු ආකාරය මගේ සිත බෙහෙවින් කම්පනයට පත් කලේය.. පිස්සකු මෙන් කාමරය තුල ගෙවූ කාලය.. කිසිවෙකුට ඔහු හා කතා කල නොහැකි විය.. කිසි දිනෙක සැරෙන් මට කතා නොකල ඔහු ඒ කාලයේ ඔහු හමුවීමට යන සෑම අවස්ථාවකදීම මට සැර විය.. රතු නැන්දාට පවා ඔහු හා කථා කල නොහැකි විය..

මා ගීතාට කල නපුරුකම් සියල්ල මා වර්තමානයේ දී ලොකු අයියාට කිව හොත් ඔහු බඩ අල්ලාගෙන සිනා වනු නොඅනුමානය... එහෙත් මා එසේ කලේ ඇයි දැයි ඔහු සිතනු ඇත.. එහෙත් හේතුව පැවසීමට දැන් මා ප්‍රමාද වැඩිය.. එම නිසා ඒ සියල්ල අතීතයටම වැලලී යන්නට ඉඩදී හිදිමි..

ලොකු අයියා සරසවියට යන දිනයේ මා හැඩූ බව මට හොදින් මතකය..

"සුදු නෝනෙගෙ කදුලු මට තේරුං ගන්න බෑ.. මොකද මම මේ ආයෙ නොඑන්න යන ගමනක්‍ යැ.. "
ලොකු අයියා මගේ හිස පිරිමැද කීවේය..

කාලය ගතවිය.. ලොකු අයියා විශ්වවිද්‍යාලයෙන් පිටවී කොළඹම රැකියාව ලැබී ඇති බව ඔහු රතු නැන්දාට එවන ලිපි වලින් අප දැන ගත්තෙමු.. රැකියාව ලැබුනු පසු ඔහුගේ ගම ඒම පවා ටිකෙන් ටික අඩුවී ගියේය.. ලොකු අයියා කාර් එකක් ගත් බව අසා අප සතුටු උනෙමු.. ඔහුව දැකීමේ ආශාව ප්‍රබලව දැනෙන්නට වූ කාලයක් විය..

මා කුඩා කල පටන් අප්පච්චීගේ සිහිනය වී තිබුනේ මා පාසල් ගුරුවරියක් වනු දැකීමයි.. මා ඒ ඔස්සේ ගමන් ගතිමි.. මගේ ජීවිතය ගැන අප්පච්චී දුටු සිහින දෙකෙන් ඔහු මිය යන තෙක්ම හා ඉන් පසුවත් ඉටු කරන්නට හැකි වූ එකම සිහිනය එයම පමනක් විය.. අනෙක් සිහිනය මගේ විවාහයයි..

මා පාසල් ගුරුවරියක් ලෙස මා ඉගෙනගත් පාසලටම පත්වීම ලබා පැමිනියෙමි.

"ලොකු අයියා ගමේ එන්නෙ කවද්ද රතු නැන්දෙ..?"

සතියකට වතාවක් දෙවතාවක් නැන්දා බලන්නට ගොස් මා ඇගෙන් නිතරම විමසන්නේ එයයි..

"කවද්ද කියලා දැන ගන්නත් ලියුං කඩදහියක් එවන එකක්යැ දුවේ.."

මා යැවූ ලිපි වලටද ඔහුගෙන් පිලිතුරු ලැබී තිබුනේ නැත..
'ලොකු අයියට මක් වෙලාද..'
මා තනිවම සිතුවෙමි..

සිංහල අලුත් අවුරුදු දිනෙක අම්මාත් මමත් අප්පච්චීත් රතු නැන්දලාගේ නිවසට ගොස් සිටියෙමු..

මා හට විසිවන විය ආසන්න වී තිබිනි.. නෑකමින් උරුමව තිබූ අයියාගෙ අයිතිය නීතියෙන් අයිති කර ගන්නා දිනය ගැන මා සිහින දුටුවෙමි.. මා පවුලේ එකම දරුවා වූ බැවින් මා නිවසින් පිට කිරීමට අප්පච්චී නොසිතනු ඇතැයිද විටෙක සිතුවෙමි.. නමුත් විවාහයක් පිළිබද මව්පියන් සමග කතා කිරීම ලැජ්ජාවක් ලෙස සැලකුවෙමි.. නැන්දා ලොකු අයියාගේ විවාහ කර දීමක් පිළිබද කිසිම මොහොතක කියනු මා අසා නැත.. ඔවුන් ඒ ගැන සිතන දිනයක් වන තෙක් මා බලා උන්නෙමි..

එදින අප මැද සාලයේ කථා කර කර උන්නෙමු. එක්වරම ඇසුනු වාහන හඩ අප මවිතයට පත් කලේය.. කුඹුරුයාය මැදින් එන කාරය ලොකු අයියාගෙ බව හැදින ගැනීමට අපට වැඩිවෙලා නොගියේය...

"නැන්දෙ ලොකු අයියා එනවා..!"

දැනුනු සතුටට මට කියා ගත හැකිවූයේ එපමනය.. කාරය තව මදක් ඉදිරියට එන විට අයියාට එහා අසුනේ ඉදගෙන සිටින ගැහැනු රුව ගැන අප විමසිලිමත් වූයෙමූ..
'ඒ කවුද..?'

වාහනයෙන් බැස ආ ලොකු අයියාගෙ මුවෙහි පෙර වූ ලෙන්ගතු සිනාව වියැකී තිබුනේය.. නවීන පන්නයට ඇද සිටි කාන්තාව මට වඩා වසරක් හෝ දෙකක් වැඩිමල් විය හැකි බව මා සිතින් අනුමාන කලෙමි..

"අම්මේ...මේ... ඩල්සි. අපි මාස දෙකකට කලින් කසාද බැන්දා.."
ලොකු අයියා ඇසෙන නෑසෙන හඩින් කියුවේය..

රතු නැන්දා අසල තිබූ ආසනයේ ඉනදවුනේද මගේ හදවත දෙකට ඉරී ගියාක් බදු වේදනාවක් ඇති වූයේත් එක විටමය..
අම්මාත් අප්පච්චීත් මුහුනට මුහුන බලා ගත්තෝය.. මා දෑසින් එලියට පනින්නට පැමිනි කදුලු බිඳු වැටෙන්නට නොදී සිර කර ගතිමි.. මේ මොහොතේ සුදු නෝනාගේ දෑසින් කදුළු ගැලුවත් ලොකු අයියාට එය තේරෙන්නෙ නැත.. දැන් තේරුම් ගෙන ඵලක් ද නැත..
මා සිත දැඩි කර ගත්තෙමි.. ලොකු අයියා ඔහුගේ සහකාරිය තෝරාගෙන ඇත.. මා ඔහු ගැන සිතා සිටීමෙන් ඵලක් නැත.

"එන්න අයියෙ ඇතුළට.."

මා ගොස් ඩල්සිගේ අතින් අල්ලාගෙන  සාලයෙන් වාඩි කරවූයෙමි..

"ඉන්න මම තේ හදාගෙන එන්නම්.."

මුළුතැන්ගෙයින් පිලිකන්නට බැසගත්  මගේ කදුළු  පිළිකන්න පුරා සටහන් විය..

එදින රතු නැන්දා ඩල්සි අක්කා හා වචනයක් හෝ කථා කලේ නැත.. අයියා එවැනි තීරණයක් ගත්තේ ඇයි දයි මටද දැන ගැනීමට අවශ්‍ය විය..
පසුව මා ඇගෙන් දැන ගත් පරිදි ඩල්සි පොහොසත් පවුලක දියණියක් වූවාය.. ඇගේ දෙමව්පියන් ඇයව ලොකු අයියාගෙන් වෙන් කර වෙනත් තරුණයකුට විවාහ කර දීමට සූදානම්වී ඇත... ලොකු අයියාත් ඩල්සිත් ඊට පෙර ඉක්මන් වී ඇත..

"අක්කයි අයියයි ගමේ පදිංචි වෙන්නෙ කවද්ද..?"
මා ඩල්සිගෙන් විමසුවෙමි..

"ගමේ? අනේ මට මේ ගොඩේ පලාත් පුරුදු නැහැ නංගි.  අපි කොළඹම ඉන්නවා.."
ඇය ගනනකට නොගෙන කීවාය..

"එතකොට නැන්දා..?"
 මා විශ්මයෙන් විමසුවෙමි..

"පියල් අම්මව එහෙ එක්ක යනවා කිව්ව.. "
ඈ කීවාය..

ඊට මසකට පසු ලොකු අයියා පැමින රතු නැන්දා කොලඹ රැගෙන ගියේය...
වසරකට පසු ඩල්සිටත් ලොකු අයියාටත් නිවුන් දියනියන් ලැබුන බව අපට දන්වා එවා තිබිනි.. අප්පච්චීත් මමත් වතාවක් නැන්දා බලන්නට කොළඹ ගියෙමු.. ලොකු අයියා ගෙවන ප්‍රීතිමත් ජීවිතය දෙස බලා මා ඇත්තෙන්ම සතුටු වීමි..

පාසල් කාලයේ ඔහුගේ ආදරය ලැබූ ගීතා ගැන මගේ සිතේ එකල ඇතිවී තිබූ කෝපය ගැන මා ලැජ්ජා වුනෙමි.. මා ඔහුගේ නෑනා වුවත්, සහෝදරියකට එහා හැගීමක් මා ගැන ඇති කරගෙන නොතිබූ බව ඉන්පසු සෑම මොහොතකම මා සිතන්නට උත්සහ කලෙමි. එසේ සිතන ඔහු ගැන මා පෙර ලෙස සිටීම මට මා ගැනම විටෙක ලැජ්ජාවක් ඇති කලේය.

විසි තුන වන විය ආසන්න වන විට අප්පච්චී මට විවාහ යෝජනා ගෙනෙන්නට විය.. මා බලන්නට පැමිණි මනමාලයන්ගෙන් මම ලොකු අයියාව සොයන්නට උත්සහ කල බව මට දැන් වැටහේ.. ඔවුන් සියල්ලන්ගේම කුමක් හෝ අඩුපාඩුවක් මට එකල  පෙනිනි..

ලොකු අයියා මෙන් පෞර්ෂයක්.. ඔහුගේ මෙන් නිතර සිනාසෙන දීප්තිමත් ඇස්.. ඒ කිසිවක් ඔවුන් සතු නොවීය.. මගේ සිත තුළ ඇඳී ඉන්නේ ලොකු අයියාම පමණක් බවත් ඔහු හැරෙන්නට වෙන කිසිවෙකුට මගේ සිතෙහි ඉඩක් දිය නොහැකි බවත් නොබෝ කාලයක් යාමට පෙර මම තේරුම් ගතිමි. ඉන්පසු ගෙවුනු කාලයේ විවාහ යෝජනා පිළිබඳ කතා කෙරෙන විට මා එයට උදාසීනකමක් දැක්වුයෙමි.. මා පාසලට හා සිසුන්ට ඉගැන්වීමේ කටයුතුවලට ඕනෑවටත් වඩා වෙහෙසී අන් සියල්ල මගේ ජීවිතයෙන් අමතක කර, ඈත් කර තැබීමට වෙහෙසුනෙමි.

සියල්ලන්ටම වඩා මගේ විවාහය ගැන ලොකු අයියා මා සමඟ කතා කිරීම මට දරා ගත නොහැකි විය..
මගෙන් සතුටු ප්‍රතිචාරයක් නොලැබෙන විට අප්පච්චී ලොකු අයියාට කියා මගේ විවාහය ගැන ඔහු ලවා කථා කිරීමට පටන්ගෙන තිබිනි..

"සුදු නෝනෙ..වයසත් ගෙවෙනවනෙ.. හැමදාම ඔහොම ඉන්නද කල්පනාව.. මාමා දැන් කටයුතු කී‍යක් නං හෙව්වද.. අර ලොකු ඉස්කෝලෙ මහත්තයගෙ පුතත් මාමා එක්ක කථා කරලා තිබුනා නංගි ගැන.. එයත් ඉස්කෝලෙ මහත්තයෙක්නෙ දැන්.. නංගිට මතකනෙ කමල්.. "

ලොකු අයියා ගම ආ වෙලාවක මාත් සමග කථා කරන්නට පටන් ගත්තේය..

"නැත්නම් සුදු නෝනගෙ හිත ගිය කවූරු හරි ඉන්නවනම්......"

"අනේ ලොකු අයියෙ අපි වෙන මොනවා හරි කතා කරමුද..?"
මා ඔහුට මදක් සැර විය..

වසරින් වසර ගෙවී ගියේය.. ඒ අතරතුර අප නොසිතූ මොහොතක මගේ අප්පච්චීගේ මරණය සිදු විය.. ලොකු අයියාත්, නැන්දාත්, ඊළග දරුවා ලැබීමට ආසන්නව සිටි ඩල්සි අක්කාත් මළ ගෙදර පැමිනියෝය..

අප්පච්චීගේ තුන්මස දානයෙන් සතියකට පසු දිනෙක ලොකු අයියාගෙන් ටෙලිග්‍රෑම් පනිවිඩයක් අපට ලැබිනි.. ඒ දරුවා ලැබෙන්නට ගොස් දරුවාත් සමගම ඩල්සි මිය ගිය බවයි.. අපි බෙහෙවින් කම්පා වුනෙමු.. අම්මාත් මමත් එදිනම කොළඹ ගියෙමු.. එය අප සැමගේම ජීවිත වල දුක්මුසු කාලපරිච්ඡේදයක් විය.. ලොකු අයියා අවසිහියෙන් මෙන් හැසිරුනේය.. එවකට කිසිවක් තේරුම් ගත නොහැකි වූ පස් වයස් ආසන්න වී තිබූ දරු දෙදෙනා මා අසලින් ඈත් නොවී මා තුරුලේ සිටීම මගේ හදවත තවත් කම්පනයට පත් කලේය..

"මොනවා තේරෙන එකක්ද මේ කිරි සප්පයින්ට.."
අම්මා කම්මුලේ අතක් තබා කීවාය..

"අම්මෙ අපි දරුවො දෙන්නා අරගෙන යමු.. රතු නැන්දට පුලුවන් යැ තනියම මේ දරු දෙන්නා ගෙ වැඩ ටික තනියම කරන්න.."

දරුවන්ගේ කටයුතු තබා තමාගේ කටයුතු හෝ හරි ආකාරව කර ගත නොහැකි තරමට රතු නැන්දා බොහෝ දුබලව සිටියාය.. අයියා දමා ඒමට නොහැකි නිසා මිසක රතු නැන්දාටත් අප සමග ගම ඒමට දැඩි ලෙස සිත තිබුනේය..
ලොකු අයියා කිසිවක් සිතා ගත නොහැකි තරමටම ගතින් මෙන්ම සිතින් දුර්වල වී සිටියේය.. හැකි ලෙස ඔහුව අස්වසා මා දරුවන් දෙදෙනා ගමෙහි ගෙන යෑමට අවසර ලබා ගත්තෙමි..

ඉන් වසරක පසු ලොකු අයියා රතු නැන්දාව ගමට ගෙන ආවේය.. අයියා කොළඹ නැවතී රැකියාව කරන අතර සතියකට වරක් නැන්දාත් දරුවනුත් බැලීමය ගමට පැමිනියේය..

මහලු වියට ලං වෙමින් දුබල වන අම්මාගේත්, රතු නැන්දාගේත් වැඩ කටයුතුත්, දියණියන් දෙදෙනාගේ වැඩ කටයුතුත් සියල්ලම මා මත පැටවිනි.. මා ඒ සියල්ල බොහෝ ආදරෙන් හා ආශාවෙන් ඉටු කලෙමි.. ඔවුන්ගෙන් එපිට මට වෙනත් ලෝකයක් නොතිබුන තරම් විය..

කුඩා කාලයේ පටන් සුදු නෝනා යයි නම් ලත් මා දියණියන් බහ තෝරන  අවධියේ පටන් ඔවුන්ගේ සුදු නැන්දා විය.. පාසල් යන අවධියේ ඔවුන් මට සුදු අම්මා යැයි කියන්නට පටන් ගත්තෝය..

ඔවුන් දෙදෙනාම මා උගන්වන පාසලේම දක්ෂ ලෙස අධ්‍යාපනය කරගෙන ගියෝය.. ලොකු අයියාගෙ දක්ෂකම් ඔවුන්ට සහජයෙන්ම ලැබී තිබිනි.. සාමාන්‍ය පෙල සමත් වූ පසු දියණියන් කොළඹ පාසලකට ඇතුළත් කිරීමට ලොකු අයියාට දැඩි ලෙස උවමනා විය. නමුත් දියණියන් මා දමා යාමට කැමති වූයේ නැත..
එකල වන විට රතු නැන්දාගේත් අම්මාගේත් මරණයන් සිදුවී තිබූ නිසා ලොකු අයියලාගේ නිවසේ ජීවත් වූයේ මාත් දියණියනුත් පමණකි.. අවසානයේ අප සියලු දෙනාම ලොකු අයියලාගේ කොළඹ නිවසේ පදිංචියට යාමට තීරණය කලෙමු..

එහි සිට තීශා ආශා දියණියන් ඔවුන්ගේ අධ්‍යාපනය සිදු කල අතර ලොකු අයියාගේ ජීවිතයට මෙලෙස හෝ සතුටක් ලබා දීමට හැකි වීම ගැන මා හදවතින්ම සතුටු වූයෙමි..
තීශාගේත් ආශාගේත් විවාහයන් සිදු කර දීමෙන් පසු මා අම්මා කෙනෙකු තරමටම ඔවුන් ගැන සතුටු කදුළු හෙළුවෙමි..

"උඹ මගේ දරුවන්ට අම්ම කෙනෙක් වුනා සුදු නෝනෙ.. උප උපන් ජාතිත් මම උබට ණයයි නංගියෙ.. මුළු ජීවිතේම අපි වෙනුවෙන් කැප කරා.. "

ආශාගේ විවාහය සිදු වූ දිනයේ ලොකු අයියා මගේ දෑතින් අල්ලාගෙන කදුළු හෙළුවේය..

"අනේ අයියෙ එහෙම කියන්න එපා.. "
මගේ දෑසේද කදුළු බොදවී ගියේය..

දියනියන් විවාහ කර දීමෙන් වසර කිහිපයකට පසු ලොකු අයියා රැකියාවෙන් විශ්‍රාම ලබා ගත්තේය.. අයියාත් මමත් නැවත ගමෙහි පදිංචියට පැමිනියෙමු..

"තුදු අත්තම්මා... සීයා තලා වෙලා කතා කලන්නෙ නෑ.. "

ආශාගේ පුතු මුලුතැන්ගෙයට පැමිනෙන තෙක් මා දන්නේ නැත.. අතීතය පිළිබඳ මතක ගංගාවක ගිලී සිටි මගේ සිත, කුඩා පුතුගේ කටහඩින් පියවි ලොවට පැමිනියේය..

"ම්ම්ම්.. තලා වෙලාද.. අපි තේක අලන් යමුකො සීයව යාලු කල ගන්න.. "
මම කුඩා පුතු සනසා ලොකු අයියා සඳහා තේක පිළියෙළ කලෙමි..

අප සාලයට පැමිනෙන විට ලොකු අයියා පුටු ඇන්දට හේත්තු වී සිටියේය..

"ලොකු අයියෙ..?"

'ආයෙමත් පපුවෙ අමාරුව ඇවිත්ද.. දෙවියනෙ..'
මා මටම කියා ගතිමි..

"අයියෙ..?"
 මා තේක පසෙකින් තබා පැමින ලොකු අයියා අල්ලා ගතිමි.. අසාමාන්‍ය සීතලක් ඔහුගේ සිරුරෙහි විය..

'ලොකු අයියෙ.. ! '

මා කෑගැසුවෙමි.. නමුත් මගේ මුවින් කිසිදු හඩක් පිටවූයේ නැත..
මට සිහිය පැමිනෙන විට ගමේ කිහිප දෙනෙක්ම නිවසට රොක් වී තිබුනේ පුතුගේ හැඩීම නිසා විය යුතුය.. ලොකු අයියා අප අතහැර සඳහටම දෑස පියාගෙන තිබුනේය...

මගේ දෑසින් ගලන කඳුලු වැල් වලට ඔහේ ගලා යන්නට ඉඩ දී මා බලා සිටියෙමි..

"සුදු නෝනෙ.. ඇයි උබේ ඇස් වල කදුළු.. මට තේරෙන්නෙ නැහැ.."

සුපුරුදු හඩින් හඩින් ලොකු අයියා කියනු මගේ කන් අසලින් ඇසී නෑසී ගියේය..

-නිමි-

~මුදී~
2017/09/25

Saturday, December 24, 2016

සමාව

සලාාාං..
සෙල්ලම් කරමින් ගේ පුරා දුවමින් සිටි කුඩා දරුවාගේ වැදීමෙන් සත් හැවිරිදි දැරිය ඉමල්කා අතින් ඈ  මාමාට ගෙන යමින් සිටි තේ කෝප්පය බිම වැටිනි..
යක්ශාවේශයෙන් එතැනට පැමිනි ඇගේ නැන්දා කෙස් වැටියෙන් දැරිය අල්ලා ගත්තාය..
"අදත් එකක් බින්දා මේකි.. ගෙයි තියෙන ඒවා විනාස කරන්න ආපු හැතිරි හිටපං උබට අද මං.. "
"අනේ නැන්දෙ ගහන්න එපා.. "
එක පිට එක කමුලට වැදුනු පහරවල් අතරින් ඉමල්කා කෑගැසුවා ය..
යක්ශාවේශ වූ ගැහැනිය ඉමල්කාගේ කෙස් වැටිය තදින් අල්ලා හිස දැවමය පුටු ඇන්දේ අනින්නට විය..
"ආයෙ මේ ගෙදර බඩු මුට්ටු විනාස නොකරන්න හොද පාඩමක් උගන්නන්නං උබට මං.. "
කදුලු වලින් තෙමුන ඉමල්කාගේ ඇහි පිල්ලම මතට බේරී ආ රුධිරය,  පුටුවේ වැදීමෙන් තුවාල වූ ඇගේ හිසින් ගලන්නක් විය.. සියල්ල භ්‍රමනය වෙමින් පෙනෙද්දී ඉමල්කා සිහිසුන්ව බිම වැටිනි..
තවත් මොහොතකින් දෑස් විවර වී සිහිය විත් බලන විට කිසිවෙකුත් එතැන නොවීය..
"අත්තම්මෙ.. "
සිහින් කෙදිරියක් ඉමල්කාගේ මුවින් නිකුත් විය.. අපහසුවෙන් නැගිට කුස්සිය ආසන්නයේ වූ ගබඩා කාමරයට යා ගැනීමට ඈට හැකිවිය.. 
ඇදේ නිදා උන් අත්තම්මා, ඉමල්කා දැකීමෙන් අපහසුවෙන් නැගිටීමට උත්සහ ගත්තාය..
"සීවරං දෙයියනේ අදත් අර ගෑනි උබට ගැහැව්විවද.. "
අත්තම්මාගේ දෑසට කදුළු නැගී ඇත..
"උබගෙ අම්ම අප්පටවත් ඉන්න තැනක ඉදං පේන්නැද්ද මේව්වා.."
ඉමල්කා අත්තම්මාට තුරුලු වී හැඩුවාය.. පහර කෑමෙන් ලත් ගතේ තුවාලයට වඩා සිතේ තුවාල, මව පියා නැති කුඩා දැරියට රිදුම් දුන්නාය..
"ඇයි අත්තම්මෙ නැන්දා මට ගහන්නෙ.. "
"මට නිවි සැනහිල්ලෙ ඇස් දෙක පියා ගන්න බෑ මගෙ දුවේ.. මාත් නැති කාලෙක උබට යන කල ගැන හිතද්දි.."
                         ***
ඉමල්කා කුඩා ජනේලයෙන් පිටත බලා හිදින්නීය.. හඳ අලංකාර ලෙස පායා ඇත.. අවසානයට අත්තම්මාත් සමග මාස ගනනාවකට පෙර සිල් අරගෙන ආපසු එන ගමනේ දී ඈ බලා සිටි සදෙහි රුව අදත් එලෙසම විය.. ඇගේ ජීවිතයට මදක් හෝ ආලෝකයක් ගෙන ආ  අත්තම්මා, මෙලොවින් නික්මයාමෙන් පසු අදුරු වූ ඇගේ පුංච් සිතට ඉන් පසු බිඳක් හෝ එලියක් වැටුනේ නැත..
"ඉමල්කා.. ඔයා තරුවෙ ගාපු පාප්ප වේලෙනවා!! "
රුවිනිගේ කෑ ගැසීමෙන් ඉමල්කා පියවි ලොවට පැමිනුනාය.. චොක්ලට් දැමීම සඳහා රුවිනි කුඩා කවර අලවමින් සිටියාය..
"අහ්. ඔව්නෙ."
ඉමල්කා වහා මේසය වෙත ගොස් තරුව කාඩබෝඩ් එකෙහි ඇලවූවා ය.
"හරි. තරු ටික කපන්න විතරයි තියෙන්නෙ.. "
ඉමල්කා කියුවාය..
නත්තල් ගස ලමා නිවාසට ගෙන ආවේ එදින උදේ වරුවේයි.. නත්තල් ගස හැඩ කිරීම ඉමල්කාටත් මේ ලමා නිවාසයේ ඇගේ අලුත් මිතුර මිතුරියන්ටත් පැවරී තිබිනි..
නත්තල් ගසත් එය හැඩ කිරීමට ගෙන ආ සර සර හඩක් නැගෙන දිලිසෙන කොල, කාඩ්බෝඩ්, සීනු සියල්ල දෙස ඔවුන් ඉහලට ගත් හුස්ම පහලට හෙලීම අමතක කොට බලා සිටියෝය..
"ඔයාට නත්තල් සීයා මොන විදිහෙ තෑග්ගක් දෙයිද දන්නෙ නැහැ.. අපි ලියුම් යවන කාලෙ ඔයා හිටියෙ නෑනෙ.. අපි හැමෝම නත්තල් සීයට ලියුම් ලිව්වා අපිට ඕනෙ තෑගි ගැන කියලා.. සිස්ට මිෂෙල් ඒ ලියුං නත්තල් සීයට යවනවා..  "
රුවිනි කියුවාය..
ඉමල්කාට මේ සියල්ල විශ්මය දනවන දෑය.. නත්තල් ගසක්, නත්තල් සීයා..
නැන්දාත් මාමාත් ඉමල්කාව මේ පල්ලියේ ළමා නිවාසයට ගෙනැවිත් දමා සති දෙකක පමන කාලයක් ගත වී ඇත.. අත්තම්මා සමග සවස මල් පුදා බුදුන් වැද පුරුදු  ඇයට මෙහි පැමිනි මුල් දිනම නිදා ගැනීමට පෙර ඔවුන් කරන යාඥාව විශ්මයක් විය..
රුවනීත් අනෙක් මිතුරියනුත් පවසන පරිදි හෙට නත්තල් සීයා ගෙන් ඔවුන්ට තෑගි ලැබෙන දිනයයි..
                      ***
වසර පහලවකට පසු...
"ඉමල්කා.. දූ සෙල්ලම්බඩු පෙට්ටි ටික කොහෙද ....? "
"මම ඒ ටික යසෝමාට කියලා වාහනේට දැම්මෙව්වා.. ආ අම්මා සැන්ටගෙ ඇදුම් ටික පියදාසට දුන්නද..? "
"ඔව් දූ.. පියදාස ඔන්න හවස ඇදගෙන නැටුවෙ.. "
මානෙල් සිනාසෙමින් කිවාය.
විසි දෙහැවිරිදි ඉමල්කා හා ඇගේ මව්පියන් මේ සූදානම් වන්නේ පල්ලියේ ලමා නිවාසයට දෙන දානයටයි..
රවී ප්‍රනාන්දු, මානෙල් ප්‍රනාන්දු හා ඔවුන්ගේ දියණිය ඉමල්කා උදෑසනින්ම ලමා නිවාසය බලා පිටත් විය..
සැන්ටා ලෙස ඇද පැළද ගත් පියදාස  කුඩා දරුවන්ට තෑගි බෙදා දෙන්නට විය.. දරුවන්ගේ සතුට දැක  ඉමල්කාගේ දෙනත් වලට කදුළු නැගුනේ ඉබේටමය..
"ඉමල්කා..? "
පිටු පසින් ඇසුනු හඩ ඔස්සේ ඈ හැරී බැලුවාය..
"සිස්ට මිෂෙල්! "
"හ්ම්..අවුරුදු පහලවකට පස්සෙ... කෙල්ල දැන් ගොඩක් ලොකුයිනෙ.. "
ඉමල්කාගේත්, සිස්ට මිෂෙල්ගේත් මතකය අතීතයට ගියේ එකවිටමයි..
අවුරුදු පහලවකට පෙර ඒ සුන්දර නත්තල් දිනයේ රුවිනිත් අනෙක් මිතුරියනුත් ඔවුන්ට ලැබුනු තෑගි වලින් විනෝද වන මොහොතේ පුංචි ඉමල්කා ඇයට ලැබුනු බෝනික්කාත් තුරුළු කරගෙන කුඩා ජනේලයෙන් එපිට බලා සිටියාය.. 
"දූ.. ඇයි ඔයා මෙතන තනියම.. "
ඇයට පිටුපසින් ඇසුනු කාන්තාවගේ හඩ නිසා ඉමල්කා හැරී බැලුවාය..
හැරී බැලූ ඉමල්කාගේ මුහුන දෙස ඈ විශ්මයෙන් බලා සිටියාය..
"නතාෂා.. ? "
"මගේ නම ඉමල්කා.. "
දැරිය අහිංසක ලෙස පැවසුවේ තමා ඉදිරිපිට තමාට වෙනත් නමකින් ආමන්ත්‍රනය කරන කාන්තාවට ය..
ඇගේ දෙනෙත් වල කදුලු පිරී තිබුනේ ඇයි දැයි ඉමල්කාට වැටහුනේ නැත.. ඈ ඉමල්කාව වැළදගෙන සිප ගත්තාය..
ඉමල්කාට මේ කිසිවක් තේරුම් ගත නොහැකි විය.. අත්තම්මාත්, මෙහි පැමිනි පසු සිස්ට මිශෙලුත් හැරෙන්නට වැඩිහිටි කිසිවෙකුත් ඇයට මේ තරම් සෙනෙහසක් දක්වා නැත..
"රවී.. "
ඇය ඇගේ සැමියාට කථා කිරීමට ගියේත් දෑසට නැගුනු කදුළු එසේ තිබියදීමයි..
වසරකට පෙර ඔවුන්ගේ ජීවිත වලින් සඳහටම සමුගත් ඔවුන්ගේ නතාෂා දියනියගේ හැඩරුව ගත් ඉමල්කා දෙස  ඔවුන් බලා සිටියේ විශ්මයත් සෙනෙහසත් පිරුනු දෑස් වලිනි..
මොහොතකින් සිස්ට මිෂෙල්, ඉමල්කාව ඈ අසලට කැඳවා ගත්තාය.. පුංචි දියණියගේ අත මෘදුව අල්ලාගත් ඈ මෙසේ කියුවාය..
"දන්නවද ඉමල්කා.. හොඳම නත්තල් තෑග්ග හම්බවෙලා තියෙන්නෙ ඔයාට.. ඔයාට ගොඩක් ආදරේ අම්මෙකුයි තාත්තෙකුයි දෙවියන් වහන්සෙ අද ඔයාට මුන ගස්සලා තියෙනවා...  එයාලා කැමතියි ඔයාව එයාලගෙම දුවෙක්  විදිහට හදාගන්න.. "
රවී ප්‍රනාන්දු හා ඇගේ බිරිද මානෙල්, ඉමල්කා ගේ නීත්‍යානුකූල මව්පියන් බවට පත් වූයේ එලෙසයි..
අතීත මතක වල සැරිසැරූ සිත ඉන් මුදවා ගෙන ඉමල්කා  තම කටහඩ අවදි කලාය..
"සිස්ට මගේ නැන්දා ගැන.. මම සිස්ටට මෙහෙ හිටපු කාලෙ කියලා තියෙනවා නේද එයා ගැන..
අපි ලංකාවට ඇවිත් දවස් දෙක තුනකින් මම ගියා නැන්දව බලන්න.. නැන්දට අංශභාගෙ හැදිලා.. "
                       ***
"දැං අවුරුදු එකහමාරක් තිස්සෙ ඔහොමයි දුවේ..  "
මාමා ඉමල්කාට කියුවේය..
එක් පසකට කඩා හැලුනු මුව සහිතව නැන්දා ඈ දෙස බලා හිදී.. ඇත්තෙන්ම ඉමල්කාගේ නෙත් කදුළින් පිරී ගියේය..
"නැන්දෙ.. මම... ඉමල්කා.. නැන්දට අදුනන්න පුළුවන්ද..?"
ඉමල්කා සෙමින් විමසුවාය..
අතීත සිදුවීම් නිසා පසුතැවිලිමත් වන නැන්දාගේ දෑස් තේරුම් ගත් ඉමල්කා මෙසේ පැවසුවාය..
"නැන්දෙ ඒ කිසිම දේකට මම නැන්දත් එක්ක තරහා නෑ.. "
ඉමල්කා එම නිවසින් පිටව ආවේ යම් මුදලක් මාමාගේ අත තැබීමෙන් පසුවයි.. නැන්දාගේ රෝගී වීමෙන් පසු ඔවුන්ට මුදල් අතින්ද අඩුපාඩු ඇතිවී ඇති බව ඉමල්කාට දැනී තිබිනි..
ඉන් පසු ඇයට හැකි වේලාවන්වලදී ඉමල්කා කිහිප වරක්ම එහි ගියාය..
                       ***
"නැන්දා අත්තම්මට සැලකුවෙ නෑ.. මට නපුරුකම් කලා.. ඒත් නැන්දා ගැන මට වෛරයක් නැහැ සිස්ට.. ඉස්සර අත්තම්මත් එක්ක කරනවා වගේ මම පන්සල් ගිහින් බෝධි පූජා කලා.. මේ අම්මයි තාත්තයි එක්ක පල්ලියෙ යාඥා කලා නැන්දා වෙනුවෙන්.. නැන්දා එයා කරපු දේවල් ගැන පසුතැවෙනවා.. නැන්දට කථා කරගන්න බැරි උනාට මට ඒක දැනුනා.. සිස්ට.. මම නැන්දට සමාව දුන්නා ඒ හැමදේටම.. "
                     ***
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
"අපට විරුද්ධව පව් (ක්‍රියා) කරපු කෙනෙකුට, අප්‍රසන්න ක්‍රියා පටිපාටියක් ඇත්තෙකුට, සැබවින්ම සමාව දීමට අකමැත්ත, තිත්තකම, හා කෝපය අප තුල නොතිබිය යුතුය.. "
                  (ශුද්ධ වූ බයිබලය.)
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
                     ***
කිතුනු මිතුර මිතුරියන් සැමටම ලැබුවා වූ නත්තල සුභම සුභ නත්තලක් වේවා!!
~මුදී~

Saturday, December 10, 2016

දෝණි.....

දුරකථන රැහැන් ඔස්සේ ගලා ආ චන්දිමාගේ හඩ නැවත නැවත දෝංකාර දී අනූපාට ඇසෙන්නට විය..
"අනූපා, ඔයාට මම කියනවා විශ්වාස නැහැනෙ.. ඔන්න අසෙලියා රෙස්ටුරන්ට් එකට ඇවිත් අද ඇස් දෙකෙන්ම බලා ගන්න.. "
අනූපා වෙව්ලන ගතින් යුතුව අසෙලියා රෙස්ටුරන්ට් බලා පිටත් වූවාය. 
චන්දිමාගේ වදන් සත්‍ය බව තම දෑසින් දකිත්ම ඉහ වහා ගිය කෝපයකින් අනූපාගේ හදවත්  අභ්‍යන්තරය පිලිස්සෙන්නට විය..
රංග, ඔහු සමග සිටි යුවතියගේ උර වටා දෑත් දමාගෙන ප්‍රේමනීය කථා බහක හිද නැවත මෝටර් බයිසිකලය වෙත නැග දෙදෙනාම පිටත් විය. ඒ යනතුරුත් ඔවුන් කරා ළගා වීමට පය එසවීමට තරම්වත් අනූපාට ශක්තියක් නොතිබිනි. නොනවත්වා තම දෑසින් ගලන කදුලු වලට බාධා නොකරමින් ඇය ඔහේ ඇවිද ගියාය..
වසරකට පෙර ඇයට රංගව මුන ගැසුනු ආකරයත්, ඔවුන් මිතුරන් වූ ආකාරයත් ඉන්පසු ආදරවන්තයන් ලෙස ගත කල කාලයත්, කල් ගත වත්ම ඔහුගේ වෙනස් වීමත් සිනමා පටයක රූප රාමු මෙන් අනූපා ගේ මනසේ මැවෙන්නට විය..
'මොකද්ද මේ සිද්ධ වුනේ.. දෙවියනේ.. රංගට බෑ එහෙම කරන්න.. '
නමුත් ඇගේ හදවත නොපිලිගන්නා සත්‍ය ඇය සාක්ෂි සහිතව දෑසින්ම දැක ඇත..
රල ගහන සයුර මානයට ඇය අවසිහියෙන් මෙන් පැමින ඇත..
'මට රංග නැතුව ජීවත් වෙන්න බැහැ.. මට තව මොහොතක් වත් ජීවත් වෙන්න බෑ.. '
මුහුන මත කදුලු වැල් සටහන් සහිත මෙම  යුවතිය තවත් මොහොතකින් ගල් කුලෙන් පහතට පැන තම ජීවිතයට සමු දීමට තිර අදිටනක උන්නාය.. තව මොහොතකින් ඇගේ ප්‍රානය වාතලයටම මුසු වී හමා යනු ඇත. හදවතේ උපන් එකම තීරණයට ඉඩ දී ඇය බුද්ධියට මාංචු දමා තිබිනි..

"දුවේ.... "
පිටුපසින් නැගුනු කටහඩින් අනූපා තිගැස්සුනාය.. අප්පච්චි..
නැත. ඇයට අමතනු ඇසුනේ ඇගේ පියා නොවේ.. පියාගේ හඩට සමාන හඩක් ඇති මැදිවිය ඉක්ම වූ පුද්ගලයෙක් ඇය හිදි ගල මතට පැමිනෙමින් සිටී..
'මොකද්ද දරුවො මේ කරන්න යන අපරාදෙ.. '
අවසානයේදී ඇයව වෙරලට ඔබ්බෙන් වූ සිමෙන්ති බංකුව මතට කැදවාගෙන ඒමට ඔහු සමත් විය.. කදුලු වැල් වලට නැවත පන දෙමින්ම ඈ ඇගේ කථාව ඔහු හමුවේ කියා සිටියාය..
'පුතේ... ඔයා අද කරන්න හදපු දේ මීට  අවුරුදු දහයකට කලින් මගෙ දරුවා කලා.. ඒත්.. එත් මට එයාව බේර ගන්න බැරි වුනා.. '
ඔහුගේ දෑස් අගත් කදුලු පිරී තිබෙනු අනූපා දුටුවා ය..
'මම ප්‍රින්සිපල් කෙනෙක්.. අපිට දෝනිව හම්බ වෙද්දි මට  අම්පාරෙ ස්කෝලෙකට පත්වීම හම්බ වුනා විතරයි.. පහසුකම් හුඟක් අඩු වුනත් මගේ නෝනා වචනෙකින් වත් අකමැත්තක් පෙන්නුවෙ නෑ.. දෝනිව හම්බ වුනාට පස්සෙ එයා ජොබ් එකෙනුත් අයින් වුනා.. අපිට ගොඩක් දුක් විදින්න වුනා එහෙ ජීවත් වුන කාලෙ.. දෝනි අපට හිටිය එකම දරුවා..
මට නුවරට මාරුව හදා ගන්න පුලුවන් වුනා දෝනි මොන්ටිසෝරි යන කාලෙ. එයාව නුවර ගර්ල්ස් ස්කූල් එකකට දා ගන්න පුලුවන් උනා.. කිසිම අඩුවක් දැනෙන්න දුන්නෙ නැහැ එයාගෙ අම්මමයි මමයි...
මේ දේ සිද්ද වුනේ දෝනි ඒ ලෙවල් ක්ලාස් එකේ ඉන්න කාලෙ.. එයා පිරිමි ලමයෙක් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා අපි දැන ගත්තා. මම මට පුලුවන් හැම විදිහෙන්ම මම එයාට තේරුම් කරලා දෙන්න හැදුවා ඒක එයාට ගැලපෙන සම්බන්ධයක් නෙමේ කියලා.. අපි කවදාවත් දෝනිට පාරක් ගහලා නෑ.. ඒත් එදා මගෙ නෝනා හොදටම ගැහුවා දෝනිට.. පහු වෙනිදා උදේ වෙත්දි දෝනි ගෙදර හිටියෙ නෑ. එයා හිතුවක්කාරෙට ගිහිල්ල තිබුනා අර ලමයත් එක්ක..
ඊට මාස දෙකකට පස්සෙ දවසක මෙතැන.. මේ වෙරලෙන්ම මගෙ දෝනිගෙ මිනිය හම්බවුනා. අද දූ මූන දීපු සිදුවීමම එදා එයාටත් සිද්ද වෙලා තිබුනා.. දෝනි ලියලා තියපු ලියුමකින් අපි ඒ හැම දේම දැන ගත්තෙ.. එදා දෝනි ඒ මෝඩ තීරනේ ගන්නෙ නැතුව අපි ලගට ආවනං.... මට මගෙ දරුවා සදහටම නැති වුනා දුවේ... '
ඉකිබිදුමක් ඔහුගේ මුවින් නිකුත් විය..
අනූපා ඇගේ බුද්ධියට දමා තිබූ  මාංචු හැර දැම්මාය..
ඔව්.. රංග ඒ ගෑනු ලමයත් එක්ක..ඒ නැත්නම් තවත් කෙනෙක් එක්ක සතුටින් ඉදීවි මම නැති වුනත්.. ඒත් මගේ තාත්තා.. දවසක මේ අංකල් වගේම මේ මුදු වෙරලෙ අඩා වැටෙයි මම හින්දා...
නැහැ.. ඒකට ඉඩ තියන්නෙ නෑ මම...
අනූපා ඇගේ බුද්ධියෙන් නැගෙන හඩට සවන් දුන්නාය..
ඇය නිවසට පැමිනෙන විට අප්පච්චී ගේට්ටුව අසල බලා හිදිනු ඈතදීම දුටුවා ය..
'දූ අද පරක්කු නිසා මං මේ බලන් හිටියෙ..
මූන කට හෝදගෙන එන්නකො කෑම කන්න.. අම්මයි මමයි හිටියා දූ එනකංම කෑම කන්න.. '
අප්පච්චී කියුවේය..
තමා ක්‍රියාත්මක කිරීමට ගිය අනුවන තීරනය ගැන අනූපා දහස් වාරයක් තම සිතින් පසුතැවුනාය.. ඇයට ඒ මොහොතෙහි එම මිනිසා මුන ගැසුනේ නැත්නම්...මේ මොහොත වන විට ඇගේ අම්මාගේත් අප්පච්චීගෙත් හැඩුම් වැලපුම් මේ නිවස අරක්ගන්නට තිබිනි...
                     ***********
                      දෝනි,
ඔයා ආදරෙන් පැරදුනාම ජීවිතෙන්
                සමු දෙන්න එපා.
එයා වෙන කෙනෙක් සමග ඉදීවි..
               ඒත් ඔබේ පියාට
      ඔබ වැනි කුමරියක් නැවත
                 හමු නොවේවි..
                   ***************
අහම්බෙන් නෙත ගැටුනු ඡායාරූපයකට, කථාවක් නිර්මානය කලෙමි..
~මුදී~

Saturday, November 26, 2016

පුතුන් එන තුරු..

පුතුන් එන තුරු.
-----------------------------
"අත්තම්මෙ.. මේ...මං ඔයාව ඇන්දා.. "
චූටි පුතා මං ලගට ආවෙ එයාගෙ චිත්‍ර පොත මට පෙන්නන්න..
"හරි ලස්සනයි මයෙ පුතේ.. "
මං දරුවගෙ ඔලුව අතගාන ගමන් කිව්වා..
පොඩි එකා මාව ඇදලා තිබුනා හරි අපූරුවට.. තාත්තා වගේම චිත්‍ර කලාවට හපනෙක්.
මට මතක් වුනේ ඉෂංක ව.. මගෙ ලොකු පුතා.. මේ ලොකු පුතාගෙ පොඩි දරුවා.. තාම දෙකේ පන්තියෙ ඉන්නෙ..
පුතයි, පුතා බැදපු දුව නිමාලි යි ගෙදර එනකං මං තමයි දරුවො දෙන්නව බලා කියාගෙන ඉන්නෙ.. දවස ගෙවෙනවා තේරෙන්නෑ ඉතිං...
වෙලාව පහට කිට්ටුයි පුතාලා එන වෙලාව.. වතුර උණු කරන්න තියෙන නිසා මං කුස්සියට ආවා..
මේ දවස් ටිකේ හතිය වැඩී මට.. බේත් ගන්න පුතාට කියන්නයි හිටියෙ ඊයෙ.. ඒත් පුතා මහ රාත්තිරියෙ ගෙදර ආවෙ.. ඔපීසියෙ වැඩ වැඩි මේ දවස් ටිකේ කියලා නිමාලි දුවත් එක්ක කියනවා මං අහගෙන.. ආව ගමං කාමරේට ගියා.. මට ඉතිං කරදර කරන්න හැකියැ නැහිලා ආපු දරුවට..
මඩුවෙ දරයක්කත් නෑ.. පළන්නෙ කොහොමද දැං.. මට හති නෙ..
පොඩි දරුවො දෙන්නගෙ ඇග හෝදන්න උනු වතුර තියන්න ඕනෙනෙ.. ගෑස් ලිපේ තියන්නං...
මගෙ දරුවො තුං දෙනාම මේ දරුවොංගෙ වයසක් වෙද්දි හැංදෑ ජාමෙත් ඇලේ දොලේ නටලා නෑවෙ.. දෙයියංගෙ පිහිටෙන් ඉහෙං බහින රෝගයක් තිබුන්නෑනෙ..
වාහනේක සද්දයක් ඇහුනා පුතාලද කොහෙද.. දුව විතරයි.. පුතා අදත් රෑ වෙනවා මයෙ හිතේ..
"අම්මෙ!! මං කියලා තියෙනවනෙ මෙහෙම ගෑස් නාස්ති කරන්න එපා කියලා.. වතුර උනු කරන්න එලියෙ ලිප පත්තු කර ගන්න තිබුන්නැද්ද.."
නිමාලි ගෙදර ආපු ගමන් කෑ ගැහුවා..
"පුතේ දර පලන්න අමාරුයි අද.. මගේ හැති වැඩි වෙලා.. "
"ඉෂංක මොන කරුමයක් ද මන්දා මේ වහල අස්සෙ තියාගෙන... ගෙට ගොඩ වෙනකොටම මගෙ යකා අවුස්සනවා..."
නිමාලි දු මට බැන බැන ගේ ඇතුලට ගියා.. මං ඉක්මන්ට ලිප නිව්වා.. මගෙ වැරැද්ද තමා.. ගෑස් ගනං නිසා දූට කේන්ති යන එක සාධාරනයිනෙ.. අපරාදෙනෙ දර තියෙද්දි..
මං පොරව අරං ගිහිං පුලුවං විදිහට හිමිං දර ටිකක් පැලුවා.. ලිපට පිබිද්දි මගෙ පපුව හුගක් රිදෙනවා..
අදත් බේත් ගන්න යන්න පුතාට කියන්න විදියක් නෑ.. ඊයෙටත් වඩා රෑ වුනා එද්දි..
කෑම කාලා මං වළං ටිකත් හෝදලා දැම්මා හිමීට.. හයියෙං වැඩ කරන්න අමාරුයි අද.. මං උස්ම ගන්න සද්දෙ මටම ඇහෙනවා රාං රෑං ගාලා..
රෑ වෙලා පුතා මගෙ කාමරේට ආවා..
"අම්මෙ.. "
අනේ මයෙ පුතාට මං කිව්වෙ නැති වුනාට මට අමාරුයි කියලා දැකලා බේත් අරං දෙන්න යන්න කථා කරන්නවත් ද.. කියලා මට හිතුනා..
"අම්මෙ.. නිමාලි වැඩ ඇරිලා නැහිලා එන වෙලාවට එයාගෙ කේන්ති ඇවිස්සෙන වැඩ කරන්න එපා.. අම්මත් පොඩි එකෙක් වගේ වෙන්න හදන්න එපා. මං කැමති නෑ අම්මා හින්දා මගෙ පවුල් ජීවිතේට ප්‍රශ්න ඇති වෙනවට.. "
පුතා හිමීට කිව්වා... 
පුතා ඉස්සරහ මගෙ ඇස් වල කදුලු ගෙඩි එලියට පනින්න දෙන්නැතුව මං ඉවසගෙන හිටියා..
පුතා කාමරෙං ගියාට පස්සෙ ඒ කදුළු  ගෙඩි වලට වැටෙන්න මං ඉඩ දුන්නා.. මගෙ පපුව ඇතුලෙං වාවන්නැතුව ගියා.. ඒත් අඩන්න පුලුවංකමක් තිබුන්නෑ මම උස්ම ගන්න එකත් මේ වෙලාවෙ කරේ හරි අමාරුවෙං හිංදා..
පුතාගෙ ජීවිතේට යහපතක් වෙනවා මිසක් අයහපතක් වෙන්න තුං හිතකින් වත් හිතලා නෑ මං..
පුතාලගෙ තාත්තා නැති වෙනකොට පොඩි පුතාට අවුරුදු පහක් විතර ඇති මගෙ හිතේ..
අපේ ලොකු ම දරුවා දෝනි.. එයා බැන්දට පස්සෙ ඕස්ටේලියාවෙ ගියානෙ.. ගිහින් අවුරුදු පහලොවක් දැං.. මගෙ කෙල්ලව මට දකින්න ආසයි.. එයාටත් දරුවො දෙන්නෙක් ඉන්නවා.. මගෙ දෝනිට දරුවො හම්බ වෙනකොට ළගිං ඉන්න මට ඕනෙ උනා.. මං හීන  දැක්කා.. ඒත් දෝනි මගෙං ගව් ගානක් ඈත.. මං යන්නෙ කොහොමද..
ඒ කාලෙම මෙහෙ පුතාලා කොම්පියුටරෙං ඒ දරුවොංගෙ පොටෝ බලනවා මං අහම්බෙන් දවසක දැකලා බැලුවා.. මයෙ ඇස් වල කදුලු පිරුනා..
මේ මම ඉන්නෙ මගෙ දෙවනි දරුවගෙ ගෙදර.. මහ ගේ මං තනියෙං ඉන්න හැදුවම ඉන්න දුන්නෑනෙ..
පුතාලා වැඩට ගියාම මෙහෙ පොඩි දරුවො දෙන්නව බලා ගන්න වැඩට ගෑනු අය ගෙනාවා.. ඒත් දූට හරි ගිහිල්ලා නෑ ඒ කවුරුවත්. අන්තිමේ පුතා මාව මෙහෙ ගෙනාවා..
පොඩි පුතා ත් මට හරියට කරදරේ එහෙ එන්න කියලා..
කොට්ටෙට ඔලුව තියාගෙන ඇල වුනාම උස්ම ගන්න කොහොමත් අමාරුයි.. ඒ නිසා මම ඇද උඩ ඉඳ ගෙනම හිටියා...
පුතා දවසක් කේන්තියෙන් ගෙදර ආවා.. කෙලින්ම ආවෙ මගෙ කාමරේට..
"මේ අම්මා කරන වැඩ නිසා මල්ලිගෙ කථා අහන්න ඕනෙ මම..
පුතා සැරෙං කෑගැහුවා.."
"ඇයි පුතේ.. "
"ඇයි... හැයි තමයි. මල්ලි කියනවා මම අම්මව මෙහෙ තියං ඉන්නෙ මහ ගේ ලියා ගන්නලු.. ඒක විකුනලා සල්ලි හරියට බෙදලා දුන්නනං ප්‍රශ්න ඇති වෙන්නෑනෙ.. "
මොකක් කියන්නද කියලා හිතා ගන්න බැරුව මම බලාන ඉද්දි නිමාලි දූත් කාමරේට ඇවිත් කියපු දේ මට උහුල ගන්න බැරි වුනා..
"සහෝදරයො ගහ මරා ගන්නකන් බලන් ඉන්නවා කුනුකමට ගොඩ ගහගෙන. යනකොට අරන් යනවනෙ.. "

"පුතා ඒක විකුනන්න ලෑස්ති කරන්න.. "
මම අන්තිමේදි කිව්වා..
මගෙ දරුවොංගෙ සතුටයි සමගියයි තරං මට කිසි දෙයක් වටින්නෙ නෑ.. කවදා හරි දරුවොංට කරදරයක් නොවී වැටිලා ඉන්නයි මං ගේ තියං හිටියෙ.. මගෙං පස්සෙ  මගෙ දෝනිට ගේ ලියන්නයි හිතං හිටියෙ.. ඒ දරුවා ලංකාවට ආපු දවසක ඉන්න.. පුතාලටනං ගෙවල් තියෙනවනෙ..
එකපාරටම ලොකු පුතා කියපු කථාව නිසා මං හිතන් හිටපු විදිහට කරන්න වෙන්නෑ.. ලොකු පුතයි පොඩි පුතයි ගේ නිසා සන්ඩු වුනොත් දෙන්නම මට සාප කරයි. මගෙ දරුවො විරසක වෙන්න හේතුවක් වෙන්න ඕනෙ නෑ මට.. ගේ විකුනලා හම්බ උන සල්ලි තුනට බෙදන්න ලොකු පුතා ඉඩ දුන්නෙ නෑ.. 'අක්කා ආයෙත් ලංකාවට එන්නෙ නෑ.. මල්ලි මමයිනෙ අම්මා බලා ගන්නෙ ඒ නිසා අපි දෙන්න බෙදා ගන්නවා' කියලයි කිව්වෙ.. ඒත් මගෙ දෝනි කවදා හරි එයි කියලා මං බලාන ඉන්නවා..
ගේ විකුනලා මාසෙකිං විතර  ලොකු පුතා කිව්වා පොඩි පුතාලගෙ  ගෙදර ගිහිං මට ටික කාලයක් ඉන්නයි කියලා..
දවසක් පොඩි පුතා ආවා මාව එක්කං යන්න. පොඩි පුතා ලඟත් ඉන්න හම්බුන එක ගැන මං හරි සංතෝසෙං හිටියෙ.. මගේ බඩු ටිකත් පුතාම වාහනේට දාගත්තා.. නිමාලි දූ කෑම පාර්සලේකුත් මගෙ බෑග් එකට දැම්මා.. පව්!. ඉන්න කාලෙ මට දොස් කිව්වට මං යන එක ගැන දුක ඇති.. කෑමත් හදලා.. එහෙ දුවත් කෑම හදලා ඇති...
අපි ටික දුරයි ආවෙ.. පුතාගෙ වාහනේ මොකද්ද ලෙඩක් කිව්වා..  පුතා කිව්වා වාහනේ යාලුවෙක්ගෙ ගෙදර දාලා එහෙන් වාහනයක් අරන් එනකන් මට ඒ ලඟ හෝල්ට් එකට වෙලා ඉන්න කියලා... බෑග් එකත් දුන්නා..
පුතා එනකං මං බලං හිටියා හවස්  වෙනකංම.. මගෙ පපුව පත්තු වුනා.. දරුවට එන්න බැරිවුනේ මොකක් හරි කරදරයක්ද කියලා මං බය උනා.. ගොඩක් රෑ වුනා.. මං හෝල්ට් එක ඇතුලට ගියා.. දූ දීපු කෑම පාර්සලේ මතක් වෙලා මම බෑග් එක ඇරියා.. බෑග් එකේ උඩම රුපියල් දාහක් තිබුනා.. සල්ලි.. ඒ මොකටද..? දරුවා මාව දාලා ගියේ හිතා මතාමද කියලා මහෙ හිත ඇහුවා.. නෑ.. මගේ දරුවො එහෙම නෑ.. මට කෑම එක කන්න හිතේ කැමැත්තක් තිබුනෙ නෑ.. දරුවට මොකක් හරි කරදරයක් ද දන්නෑ..
මං දවස් හතරක් එතැන හිටියා.. මගෙ පුතා ආවෙ නෑ..
ඒත් එක දවසක් මම ඈතට දැක්කා පුතාගෙ කාර් එක එනවා.. මං හොදටම දැක්කා මගෙ පුතා ඉස්සරහ සීට් එකේ ඉන්නවා.. එකපාරටම මගෙ පැත්ත බලලා ඒ කලු වීදුරු වැහුනා..
අන්තිමේ දවසක් පොලීසියෙ මහත්තුරු දෙන්නෙක් ඇවිත් මගෙන් විස්තර ඇහුවා.. මට ඒ වෙනකොට තේරිලා තිබුනෙ පුතාලා මාව ඇත්තටම දාලා ගිහින් නේද කියලා.. ඒ මහත්තුරු විස්තර ඇහුවා මගෙන් දරුවො ගැන. මං කිව්වා මට මතකයක් නෑ කියලා.. මගෙ  දරුවොං ව පොලීසියට ගෙනැල්ලා බනීවිද කියලා මට හිතුනා. දරුවොංට ලැජ්ජ කරනවට මං කැමති වුනේ නෑ..
මට හොදටම අමාරු වෙලා තිබුනෙ.. මට  ඊට කලිං රෑ එක ඩිංගක් ඇහැ පියා ගන්න වුනේ නෑ උස්ම ගන්න අමාරු නිසා..
මහත්තුරු මාව ඉස්පිරිතාලෙට ගෙනිච්චා.. ඊට පස්සෙ කෙලිංම නිවාසෙකට.. ඒකෙ මං වගේ අම්මලා තාත්තලා ගොඩක් හිටියා..
අපි හැමෝටම තිබුනෙ එකම වගේ කථා..
දරුවො ගොඩක් පුංචි කාලෙ දරුවොංගෙ තාත්තා නැති වුන නිසා මගේ දෙමව්පියො හරියට බල කෙරුවා තවත් කසාදයක් කර ගන්ට.. එකේක මිනිස්සු කරකැවුනා එකේක යෝජනා අරගෙන.. මගෙං ඒ කිසි එකකට ඉඩක් ලැබුන්නෑ.. මං මගෙ දරුවො තුං දෙනා ලොකු කර ගෙන හොදට ඉගැන්නුවා කිසි කෙනෙක්ගෙං කථා අහන්නැතුව..
අපිට මෙහෙ දාන හම්බවෙනවා.. තරුන දරුවො ඇවිත් අපේ වැඩ කරලා කෑම දීලා අපිත් එක්ක සිංදු කියලත් යනවා.. අපි හැමෝටම අපේ දරුවො මතක් වෙලා ඇස් වලට කදුළු එනවා ඒ වෙලාවට..
එක දවසක් විස්ස විද්දියාලෙක දරුවො කාන්ඩයක් ආවා.. අනේ මගෙ ලොකු මුනුබුරත් එතන ඉන්නවද කියලා මං බැලුවා.. එයත් විස්ස විද්දියාලෙ ගියානෙ.. ඒත් ඒ දරුවා හිටියෙ නෑ.. විස්ස විද්දියාල මහ ගොඩක් තියෙනවනෙ ..
අක්කා කවදාවත් ලංකාවට එන්නෑ කිව්ව කියලා පුතා කිව්වට,
දෝනි කවදා හරි ආවොත් මාව අරං යයි කියලා මං බලාගෙන ඉන්නවා.. නිමාලි දූගෙ වුනත් තරහ නැති වුන දාක පුතාට කියාවි මාව ආපහු ගේන්න කියලා.. මං බලං ඉන්නවා පුතාලා එනකං..
(සමාප්තයි.)
********************************
මෙය මා සත්‍ය සිදුවීමක් ඇසුරින් ලියන ලද්දක් නොවේ..
නමුත් මෙවැනි සිදුවීම් අද සමාජයේ සිදු නොවනවා ද නොවේ..
                                    ~මුදී~
*********************************

Wednesday, November 23, 2016

සාත්තරය

""--සාත්තරය--""
මගේ ජීවිතයේ මා බොහෝ ප්‍රිය කරන ක්‍රියාවන් දෙකක් ඇත..
එකක්, උස ස්ථානයක සිට අවට බලා හිඳීමයි..
අනෙක සයුර දෙස බලා හිඳීමයි.
මේ ක්‍රියාවන් දෙක කොතෙක් කලත් මට ඇති වන්නේ නැත. මා ඒ  මොහොතෙහි කරමින් සිටියේ  ඉහතින් පැවසූ දෙවන ක්‍රියාවයි..
වෙලාව සවස පහ ට පමන විය. වේලාව ගත වූවා දැනූනේත් නැත. මා එහි ගොස් පැයකටත් ආසන්න කාලයක් ගත වී තිබින..
මා ඉඳගෙන සිටි සිමෙන්ති බංකුව මතින් නැගිට්ටේ බෝඩිමට යාමට තවත් සවස් නොවිය යුතු වූ බැවිනි..
"නෝනා සාත්තරයක් අහමුද..."
සාරියක් පටලවා ගත් සාත්තර කියන කාන්තාවක්, තම බුලත් කහට බැදි දත් දෙපල පෙන්නා සිනාසෙමින් මා ඉදිරිපිට මතු විය..
"නෑ එපා!!  "
මා මදක් දැඩිව පවසමින් එතැනින් යන්නට හැරුනෙමි..
"නෝනට නෝනගෙ ඉරනං කාරයව හම්බ වෙන්නෙ ඇක්සිඩන්ට් එකකින් තමා.. ළගදිම ඒ මාතියව හම්බවෙනවා... "
"මම ඔය සාත්තර විස්වාස කරන කෙනෙක් නෙමෙයි. "
මා නැවතත් දැඩි ස්වරයෙන් කියා එතැනින් පිටත් වීමි.
ඇය මොනවාදෝ මුමුනනු මට යාන්තමට ඇසිනි..
මා එදා බෝඩිමට ගියේ මගේ හිත සමග වාදයක යෙදිමිනි...
'ඇක්සිඩන්ට් එකකින්..? ඔහුව මට මුණ ගැසෙන්නට වෙන ක්‍රමයක් තිබුනේම නැත්ද.. ඒ කියන්නෙ මම ළඟදි ඇක්සිඩන්ට් වෙයිද.. '
'ඕවා බොරු. ඔයා කොහොමත් විස්වාස කරන්නැහැනෙ ඔය සාත්තර. '
'ඒත්.. ඒ මනුස්සයා කොහොමද දන්නෙ මට තාම ඉරණම්කාරයා හම්බවෙලා නෑ කියලා.. '
'හයියෝ...  ඔයා තනියම බීච් එනවා යනවා ඔය ගෑනි ගොඩක් දවස් බලන්න ඉන්න ඇති.. '
'ඔව් එහෙම වෙන්න ඇති. මම තවත් අහන්න නැවතුනෙ නෑනෙ කොහොමත්. '
එය සාත්තරයට මා අල්ලා ගැනීමට ඈ යෙදූ සූත්තරයක් විය හැකි බව මා මගේ සිතට පැවසුවෙමි.
'ඒ කොහොම උනත් මම පරිස්සම් වෙලා ඉන්න ඕනේ පාරෙ යද්දි එද්දි..' මගේ සිත කීවේය.
මා සාත්තර විශ්වාස නොකරන්නියක් වුව ද ඒ මොහොතෙහි ඈ කියූ අනාවැකිය ඉන්පසු මගේ මනසේ දෝංකාර දෙන්නට පටන් ගත්තේ ය..
ඇක්සිඩන්ට් එකක්..!
                           ***
"හිමාලි, ඉක්මන් කරන්න.. පරක්කු වෙනවෝ.. "
මා පසු දින උදෑසන වැඩට යාමට සූදානම් වන විට කෞෂල්‍යා කෑ ගැසුවා ය. ඈ මා සමග බෝඩිමේ නතර වී සිටිනා මිතුරිය යි..
"ඔයා යන්න කෞෂි.. මං එන්නම්.."
ඇය වැඩට යන්නේ ස්කූටියේ යි. මගේ සිත පෙර දින සිට වෙලා ගෙන තිබූ සියුම් බිය මුසු හැඟීම නිසා මගේ සිත ඇය සමග ස්කූටියේ ගමනට බියක් දැක්වී ය..
"මොකක්?? වෙනදා කොච්චර පරක්කු වුනත් ඉන්න කියලා කෑ ගහන කෙල්ල අද මට යන්නලු..
ආා... මොකද්ද හොරේ... "
"හොරයක් නැහැ අනේ.. මට තව පරක්කු වෙන නිසයි කිව්වෙ.. ඔයා යන්න.. "
ඇත්තෙන්ම ඒ වන විට මා සිතා මතා ප්‍රමාද වෙමින් සිටියෙමි.. මගේ සිත තුල පවතින බිය කෞෂි ට පැවසිය යුතු නැත. මිත්‍යා විශ්වාස, සාත්තර වැනි දෑ පිළිබඳ විශ්වාස නොකරමින් කථා කරන මා, කොහේවත් ගැහැණියක් පැවසූ සාත්තරයකට බියවී වාහන වල ගමන් නොකිරීමට සිතා සිටින බව ඇය දැන ගතහොත් මට සිනා වනු නොඅනුමානය. එම නිසා මා ප්‍රමාද වන බව කියා කෞෂිව පිටත් කලෙමි.
මා ඒ වන විටත් මගේ සිතට දොස් නගමින් සිටියෙමි..
'මහ ලොකුවට කියන්නෙ නම් සාත්තර විශ්වාස කරන්නෙ නෑ කියලා..ඒත් මේ ඒ ගෑනි හදලා කියපු බොරු කථාවට රැවටිලා දගලනවා. ලැජ්ජා නැද්ද හිමාලි.. ඉරනම්කාරයා හම්බවේවි.. ඒත් ඔය ඇක්සිඩ්න්ට් කථාව ඔය තරම් විශ්වාස කරන්න එපා.'
මගේ සිතට බනිමින්ම මා අතුරු පාර දිගේ මහ පාරට ඇවිද ගියෙමි.
මා බස් හෝල්ට් එකෙන් බසයකට ගොඩ වීමි.. මා කවදත් බසයේ ඉදිරිපසම ගමන් ගන්නේ බැසීමට පහසු නිසා සහ යාමට ඇත්තේ කෙටි දුරක් වූ නිසාය. නමුත් මෙදින සෙනඟ මද වශයෙන් සිටියත් මා කෙමෙන් කෙමෙන් බසයේ මැදට වන්නට ගොස් සිට ගත්තෙමි..
'ඔව්. ඇක්සිඩන්ට් එකක් වුනොත් වැඩි ඩැමේජ් එක ඉස්සරහට හරි පිටිපස්සට හරිනෙ.. '
මගේ සිත මට කියුවේ ය.
මගේ මෙම බියගුලු හැසිරීම මා විසින් ප්‍රතික්ශේප කරත්දීම මගේ සිත එය ගනනකට නොගත්තේ ය.
'ඇක්සිඩන්ට් කථාව ඇත්ත වුනත් නැති වුනත් පරිස්සම් වෙන එක හොදයිනෙ.'
මගේ සිත මා සමග එකට එක කීවේ ය.
අනතුරකින් තොරව මා ඔෆිස් එකට යන විට මගේ ගත දහඩියෙන් පෙගී තිබුනේ මේ අනවශ්‍ය බිය නිසා විය යුතුය..
ලන්ච් ටයිම් එකේ්දි සරෝජි හා නිලූ තොරතෝංචියක් නැතිව කථා කලේ හෙට කම්පැනි එකට පැමිනෙන MD, මිස්ට අබේවික්‍රමගේ ගේ පුතා පිළිබඳවයි..
 
"දන්නවද ඒ සර් රුසියා වල ඉගෙන ගත්ත කෙනෙක්ලු.. "
නිලූ කීවාය..
"හිමාලි මේ මොකද මේ අද සද්දයක් නැත්තෙ..? "
එසේ පවසමින් ඔවුන් දෙදෙනා මා දෙසට හැරුනි..
"ඔයාලා සාත්තර විශ්වාස කරනවද.."
මා සිතමින් සිටි සාත්තර සිදුවීම ඔවුන්ට නොකියා එසේ විමසුවෙමි.. ඇතැමුන් ඒවා පවසන්නේ බාහිර ස්වරූපයෙන් ලබා ගත් තොරතුරු අනුව බව නිලූගේ හා සරෝජි ගේ අදහස් විය. එසේ වූ සාත්තර සිදුවීම් ඊලගට ඔවුන්ගේ මාතෘකාව විය.. ඒවායින් බහුතරයක් සත්‍ය නොවූ සාත්තරයි..
මගේ සිතට ඇතිව තිබූ අනිසි බිය පහ කර ගැනීමට ඔවුන් පැවසූ කථා යොදා නොගැනීම ගැන මගේ සිතට මා නැවත වරක් දොස් නැගුවෙමි...
එදින ඔෆිස් ඇරී මා කහ ඉර මතින් පැමිනියේත් පාර මාරු වීමට ප්‍රමානවත් සෙනඟක් එහි එකතු වන තුරු සිටය..
පසු දින උදෑසන මට කිහිප වරක්ම වැසිකිලි යාමට සිදුවිය..
"හිමා.. ඔයා මොකක් හරි ප්‍රශ්නෙකද ඉන්නෙ කියන්න.. ඔයා දැන් කීප දවසක ඉදලා හරි අමුතුයි.. "
අවසානයේ කෞෂි විමසුවා ය..
"නැහෑ.. ඒ ඔයාට පේන හැටි.. කෞෂි, මට අද වැඩට යන්න බැහැ වගේ.. "
මා එදින නිවාඩුවක් ගෙන බෝඩිමට වී සිටියෙමි..
                         ***
පසු දිනත් මා කෞෂිව පිටත් කර යවා තනිවම වැඩට ගියෙමි..
පාරේ ගමන් ගන්නා අතර එක් වරම නිල් පැහැති කාරයක් මා අසල නැවැත්වීය...
"හිමාලි..? "
රථයේ අයිතිකරු වූ කඩවසම් තරුණයා මා දෙස සිනාසෙමින් බලා සිටියේය.
"වරුණ.. අනේ මට අදුන ගන්න බැරි වුනා.. අවුරුදු අටකට විතර පස්සෙ නේද.. ඔයා ඕලෙවල් වලින් අපේ ස්කූල් එකෙන් ගියානෙ.. "
මා කීවෙමි..
"කොහෙද වැඩ කරන්නෙ..? " ඔහු විමසුවේය..
"සිහමැක්ස් ලංකා කම්පැනි එකේ.. "
"ආ මේ පාරෙම නේද.. මමත් ඒ පැත්තට තමයි යන්නෙ.. නගින්න.. "
එක් වරම මගේ සිත විසින් මගේ කටට පිළිතුරක් සාදා එය මෙලෙස ඉදිරිපත් කලේය..
"මම මේ හෝල්ට් එකට ඇවිත් ආපහු බෝඩිමට යන ගමන් වරුණ.. පර්ස් එක අමතක වෙලානෙ.. බෝඩිම අතනින් හැරෙන පාරෙ.. "
මද වේලාවක් එතැන කථා කරමින් හිඳ ඔහු ගියේය..
අනවශ්‍ය බොරුවක් ඉදිරිපත් කිරීම ගැන මා නැවතත් මගේ සිතට දොස් කීවෙමි.
මා නැවතත් බස් හෝල්ට් එක වෙත ගොස් බසයෙන් පිටත් වුනෙමි.
පිරිසක් එකතු වන තුරු මා කහ ඉර අසලට වී බලා සිටියෙමි.. මද වේලාවක් ගතවන තුරුම කිසිවෙකුත් පැමිනියේ නැත.. අවසානයේ පාසල් සිසුවියක් එතනට පැමිනියේ ය.
'මේ මොන විකාරයක්ද.. පාර පනින්න මහ සෙනගක් ඕනෙද වෙනදත්! '
මා සිතට දොස් නගමින්ම තවත් එතන නොහිද එම සිසුවිය සමග පාර මාරු වීමට සිතා ගත්තෙමි..
මද වේලාවක් බලා හිඳ, අප දෙදෙනා කහ ඉර ඔස්සේ මෙහා පසට ගමන් ගනිමින් සිටියෙමු.. වෑන් රථයක් වේගයෙන් එනු මා දුටුවෙමි.. මා එක් අතක් ඔසවා එයට නවතින්නට සංඥා කරමින්ම ගමන් ගතිමි.. වෑන් රථය වේගය අඩු කරන බවක් පෙනෙන්නට නොවීය. වේගයෙන් ආ වාහනය හා අප අතර දුර මීටරයක් පමන විය.. මට කිසිවක් සිතා ගත නොහැකි විය.. මා කෑ ගසාගෙන අනෙක් පසට හැකි වේගයෙන් දිව ගියෙමි..
"ඩක්!!! "
කෑ ගැසීම්, වාහන හෝන් හඩ... මට ඇසෙත්දීම මා දෑස පියාගෙන බිමක ඉදගෙන සිටින බව මට දැනුනි.. මා සෙමින් දෑස් ඇරියෙමි.. නැත. මට අනතුරක් වී නැත. මා දුව ආ වේගයට හා ඇතිවූ බියට පාරෙන් අනෙක් පස එතැනම ඉදගෙන සිටී..
'එතකොට අර නංගි..? '
මිනිසුන් කෑගසමින් වටවී සිටින තැනට මා දිව ගියෙමි. 
'දෙවියනේ.. '
මා සමග සිටි සිසුවිය ලේ විලක් මැද වැටී සිටී..
"වෑන් කාරයා පැන ගන්නවා.. නම්බර් එක බලාගනිල්ලා.. "
යමෙකු කෑ ගසනු මට යාන්තමට ඇසිනි.. 'ඉස්පිරිතාලෙට ගෙනියමු..'  අයෙක් දැරිය ඔසවා ගත්තේය.. මාත් ඇය අසලින්ම සිටියෙමි.. ඒ මොහොතෙහි එතැන නැවත්වූ කාර් එකකට ඔවුන් දැරිය නැංවූවේය.. එයට ගොඩ වීමට කිසිවෙකුත් ඉදිරිපත් වන ආකාරයක් නැත. අසල කිසිදු කාන්තාවක් සිටියේත් නැත. මා දෙවරක් නොසිතා වාහනයට  ගොඩවීමි. දැරියගේ හිස මගේ උකුල මත තබා ගතිමි..
"මෙන්න මිස් වෑන් එකේ නම්බර් එක.. "
අයෙක් මට කොල කැබැල්ලක් දිගු කලේය. මා එය අතට ගත්තෙමි. මගේ ශරීරයේ වූ වෙව්ලීම මට පාලනය කර ගත නොහැකි විය.. මාද කම්පනයට පත් වී සිටියෙමි.
"අනේ අයියෙ ඉක්මනට යමු.. "
මා රථයේ අයිතිකරු වූ තරුණයාට කීවෙමි...
"හරි නංගි. දැක්කද වෑන් කාරයා මාරු වෙච්ච ලස්සන.. "
ඔහු වෑන් කරුට බනිමින් ගමන් කලේය..
මම මගේ සිතට බනිමින් ගමන් කලෙමි.. මා මෑතකදී කියවූ පොතක් පිළිබඳ එක් වරම මගේ මතකය අවදි විය.. 'සිතේ බලය..' පොතේ සදහන් වූයේ යටි සිතට පනිවිඩ දීම මගින් අපේ බලාපොරොත්තු ඉටු කරගෙන සාර්ථක වන අයුරුය.. අපේ සිත යමක් ගැන දැඩිව නිතර නිතර සිතන විට කොයි ආකාරයෙන් හෝ එය සිදු වන බව එහි සටහන්ව තිබිනි.. මගේ සිතෙන් සිදුව ඇත්තේත් එය නොවේද.. අවසානයේ ඇක්සිඩන්ට් එකක් මට දෑසින්ම දැක ගැනීමට සිදුවිය.
අප හොස්පිටල් එකට ඇයව ඇතුලු කලෙමු.. පොලීසියට කට උත්තර ලබා දීමටත් මට සිදුවිය.. මා වෑන් කරුගේ වාහන අංකයත් පොලීසියට ලබා දුන්නෙමි..
"මේ ඔයා අදුනන නංගි කෙනෙක්ද? "
අපව රැගෙන ආ තරුණයා මගෙන් විමසීය..
"නැහැ. "
මා කෙටිව පිළිතුරු දුන්නෙමි.. ඇත්තෙන්ම මගේ සිතේ වූ කම්පනය එලෙසම විය..
"ඔයාගෙ ඉන සයිස් කීයද.. "
ඔහු විමසීය..
ඒ පැනයෙන් මා තිගැස්සී ගියෙමි. මේ කුමක්ද.. මගේ ඉන සයිස් එකෙන් ඔහුට ඇති ඵලය කුමක් ද? මා රවා බැලූ අයුරු තේරුම් ගිය නිසාදෝ ඔහු වහා එය පැහැදිලි කලේය..
"නැහැ.. ඔයාට ඔහොම යන්න බැරි නිසා.. මම ස්කට් එකක් අරන් එන්නම්.. කියන්න.. "
ඔහු මගේ ස්කට් එක දක්වමින් එසේ කියන මොහොතේ මා එදෙස බැලුවෙමි. සිසුවියගේ හිසෙන් ගලා ගිය ලේ වලින් මගේ සුදු පැහැති ටයිඩ්ස්කටය තෙමී තිබුනේය. කල යුතු වෙනත් යමක් ගැන සිතා ගත නොහැකි විය..
"32.. " මා කියුවෙමි.
ඔහු එසැනකින් පිටත් විය..
මින් පෙර නොදුටු පිරිමියකුගෙන් ඇදුමක් ගෙන්වා ගැනීමට සිදුවීම තවත් මා අපහසුවට පත් කලේය..
'ගෙනාවට පස්සෙ සල්ලි දෙනවා.. '
මා සිතා ගත්තෙමි..
මා ඇද සිටි අකාරයේ ස්කට් එකක් ඔහු ගෙනැවිත් දුන්නේය.. ඔහු මුදල් එපා යැයි කීම මට මහත් අපහසුතාවයක් සිතට ඇති කලේය..  ඒ මොහොතේ ඇත්තෙන්ම මට ඇඩුනි..
"මේක.. ගන්න.. ප්..ලී..ස්.. "
මා හඩමින්ම කීවෙමි.
මාගේ දෙනෙත් වලින් කදුළු වැටෙනු දැක ඔහු එය අතට ගත්තේය.. මේ මොහොත වනතෙක් සිදුවූ සියලු සිදුවීම් වලින් මා දරා සිටි පීඩනය නැති වන තෙක්ම මා හැඩුවෙමි.. ඔහු මා අසලට වී සිටියේ ය..
අවසානයේ මා වොශ් රූම් වෙත ගොස් එය ඇදගෙන නැවත එන තෙක්ම ඔහු එහි විය..
මගෙන් විස්තර අසා දැනගත් ඔහු මා ඔෆිස් එකට ඇරලවන්නට ඉදිරිපත් විය..
ඔෆිස් එක ඉදිරිපිට මා බැස ඔහුට ස්තූති කරන්නට හැරෙන විටම ඔහුත් එයින් බැස ආවේ ය.. ඔහුත් මා සමගම ඇතුලට එන්නට සූදානම් වන විට මා ඔහු දෙස විශ්මයෙන් බැලුවෙමි..
"මම මිස්ට අබේවික්‍රම මීට් වෙන්න යන්නෙ.. "
එසේ කියමින් සිනා සී ඔහු මගේ ප්‍රශ්නාර්ථ බැල්මට පිලිතුරු දුන්නේ ය..
ඔහුත් මමත් ඔෆිස් එකට ඇතුල් වන විටම නිලූ විවර කර ගත් මුවින් අපදෙස බලා සිටියා ය..
මගේ වැලමිටෙන් අල්ලා ඈ මාව ඇය දෙසට ඇද ගත්තාය..
"ඔයා කොහොමද සංඛ සර් ව අදුනන්නෙ..? ඔයා ඊයෙ ඔෆිස් ආවෙත් නෑනෙ.. ? "
නිලූ විමසුවා ය..
"සංඛ සර්? "
මා විශ්මයෙන් ඇය දෙස බලා සිටියෙමි..
"ඔව්. මේ අපේ බොස්ගෙ පුතා.. ඊයෙ තමයි ඔෆිස් ආවෙ..
                     ***
කම්පැනි එක තුලදී, රාජකාරි කටයුතු වලදී ඔහු සමග සමීපව කටයුතු කිරීම ට මට අවස්ථාව ලැබුනේය..
මෙම සිදුවීමෙන් මාස පහකට පමන පසු සංඛ මට විවාහ යෝජනාවක් ගෙන ආවේය.. ඔහු පිළිබඳ මගේ සිතේ අකමැත්තක් නොවීය.. දෙපසෙහිම ආශිර්වාද මැද්දේ අප විවාහ වූයෙමු.
සාත්තරකාරියගේ සාත්තර කීමෙන් පසු මේ වන තෙක් ගෙවුනු කාලයේ බීච් යාමට මට අවස්ථාවක් නුවූයේ ය.. විවේක දිනක මා සංඛ සමග එහි ගියෙමි.. එදා මා තනිව ඉදගෙන සිටි සිමෙන්ති බංකුව මත අද අප දෙදෙනාම ඉදගෙන සිටිමු..
මා මේ වන තෙක් සාත්තරය පිළිබඳ සිදුවීම සංඛට කියා තිබුනේ නැත.. මා එම කථාව ඔහුට කීවෙමි. සංඛ සිනාසෙමින් එය අසා සිටියේය.. එය ඔහුට කියා අවසන් වනවාත් සමගම සාත්තරකාරිය අප ඉදිරියේ විය..
"මාතියා, සාත්තරයක් අහමු... "
සංඛ මට ඇසින් ඉඟි කර සාත්තරකාරියට මෙසේ පැවසුවේය..
"හා කියමු බලන්න.. "
"මාත්තියගෙයි නෝනෙගෙයි කෂාදෙ කරන්න වැඩිහියන්ගෙං අකමැත්තක් තියෙනවා නේද.. මාත්තේලට තනි කැමැත්තට තමා යන්න වෙනවා.. "
ඇගේ බොරු සාත්තරය ඇය අප ඉදිරියේ දිග හරිමින් සිටී.. අප විවාහ වී වසරක් ගතවී තිබිනි. ඉන් පෙර කාලයේ වුවත් වැඩිහිටියන්ගෙන් ද කිසිදු අකමැත්තක් අපට යොමු වී තිබුනේත් නැත..
සංඛ සිනාසෙමින් මා දෙස බැලුවේ ය..
ඇගේ වචන විශ්වාස කිරීමෙන් කාලයකට ඉහතදී මගේ ඒ හැසීරීම මතක් වීමෙන් මටම ලැජ්ජාවක් ඇතිවිය..
(සමාප්තයි.)
"""""""""""""""""""""""""""""""'''''''''"""""""""""
මගේ අනෙකුත් කථාංගයන් සදහා පිවිසෙන්න මගේ බ්ලොග් අඩවිය වෙතට.. --->
https://muthugepanhida.blogspot.com

Thursday, November 17, 2016

දෛවය

'''-දෛවය-'''
"සදනි.. කෝ මේකි.. ගිහිං අර වලං ටික හෝදලා දාපං.. හැමදාම හවස් වෙද්දි මං උබට ඇගිල්ලෙන් ඇනලා කියන්න ඕනෙද.."
මා ගමන් ගනිමින් සිටියේ නිශාන්ත මාමලාගේ නිවසටයි. තම කුඩම්මාගේ කෑ ගැසීමෙන් පසු දොලොස් හැවිරිදි සදනි වලං මැස්ස වෙත ගමන් ගත්තේත් මා කඩුල්ලෙන් එම නිවස වෙත පියමැන්නේත් එකවිටයි.
"අක්කෙ නිශාන්ත මාමා ඉන්නවද.."
මා විමසුවෙමි.
නෑකමින් නිශාන්ත මට මාමා වූවත් අප අතර පැවතුනේ අවුරුදු දහයක පමන පරතරයකි.. නෑකම නිසා මා ඔහුට මාමා කියූවත් ඔහුගේ බිරිදට අක්කා කියන්නට පුරුදුව සිටියෙමි..  
"දැනුයි හේනට ගියෙ නංගියෙ.. මොකක් හරි පනිවිඩයක්ද.. "
"ඔව් අක්කෙ.. අප්පච්චි කියන්නෙයි කිව්වා මාමට ඒ පැත්තෙ ඇවිත් යන්න කියන්න කියලා.. "
"සදනි , අක්කට තේකක් හදන්න දුවේ..
එන්න නංගියෙ ගෙට.."
මොහොතකට පෙර සදනිට වැරෙන් බනිමින් සිටි මල්කාන්ති අක්කා මා ඉදිරිපිට සදනිට කරුණාවන්ත වූ අයුරු මා විශ්මයෙන් බලා සිටියෙමි.
"නෑ අක්කෙ.. මම යන්නම්.. මේ කුරුණෑගල ගිහින් එන ගමන්. අද එක්සෑම් එකක් තිබුනා. හැන්දැවෙන්න කලින් නා ගන්න යන්න ඕනෙ. යන්නම් අක්කෙ.. සදනි මං යනවා හොදේ.. "
මා දෙවැටින් නිවස දෙසට ගමන් ගත්තෙමි..
මල්කාන්ති අක්කා නිශාන්ත මාමා  ගේ දෙවන බිරිදයි. පළමු විවාහයේ බිරිද කුසුම් ය. මා ඇයට මිතුරියක් සහෝදරියක් තරමට සමීප වූයේ ඇය අපට දහම් පාසලේ ඉගැන්වීම් කරන කාලයේ සිටයි..
කුසුම් අක්කා ට සදනිව ලැබෙන්නට  සිටින කාලයේ සිදුවීමක් මට සදනි දකින සෑම මොහොතකම සිහියට නැගේ..
දිනක් කුසුම් අක්කාත් මමත් ඔයේ නාගෙන පැමිනෙන විට තදින් වැසි වැටෙන්නට පටන් ගත්තේය.. අප නුග ගස සෙවනට වීමු.. කුසුම් අක්කා තුවාය තම බදවටා ඔතා ගත්තා ය..
"ඒ මොකෝ.."
මා විමසුවෙමි..
"පැටියට සීතල වෙන නිසා.."
මෙලොව එළිය නුදුටු බිළිඳිය ගැන සෙනෙහසකින් ඇය කියන්නීය..
ඒ උනුසුම... ඒ ආදරය... මෙලොව එලිය දුටු දිනයේ සිට මවගෙන් ලබන්නට තරම් සදනි වාසනාවන්ත නුවූයේ ය.. සදනිව ලෝකයට බිහි කර කුසුම් අක්කා සදහටම තම දෑස් පියාගෙන තිබුනේ ය..
ඒ සිදුවීමෙන් වසරක් ගෙවෙන්නටත් පෙර නිශාන්ත මාමා මල්කාන්ති අක්කා නිවසට කැන්දාගෙන ආවේ ය..
ඔහු එසේ ඉක්මන් වූයේ සදනි ට මවක් නොමැති අඩුව දැනුන නිසාද නැතහොත් ඔහුට බි‍රිදක් නොමැති අඩුව දැනුන නිසාද යන්න මා නොදනිමි..
කෙසේ නමුත් ඉන්පසු සදනි පුංචි සින්ඩරෙල්ලා කෙනෙකු තරමට අසරණ විය.. කුඩම්මාගේ මෙන්ම කුඩා සොයුරන් දෙදෙනාගේත් සොයුරියගේත් වැඩපල ඈ අද ඉටු කරයි..
එදා කුසුම් අක්කා දහම් පාසලේ මට ඉගැන්වූවා ය.. අද සදනිගේ  පන්තියට උගන්වන්නේ මා ය..
දිනක් සදනි මල්ලීත් නංගීත් දහම් පාසලට ඇරලවා ආපසු යන්නට හැරෙනු මා දුටුවෙමි..
"සදනි.. පුතේ මොකෝ අද දහම් පාසල් එන්නෙ නැත්ද.. "
මා ඇසුවෙමි.
"චූටි මල්ලිගෙ වැඩ තනියම කර ගන්න බෑනෙ අක්කි පුංචි අම්මට.. මට කිව්වා මල්ලිවයි නංගිවයි ඇරලවලා ඉක්මන්ට එන්න කියලා.."
පුංචි අම්මා කුමක් කියුවත් ඇය අහිතකින් තොරව සියල්ල ඉටු කරයි..
අම්මා හිටියනම්.. දෑස් කදුලෙන් පිරෙමින් එසේ සිතෙන්නේ ඇයට නොවේ ඇයව එසේ දකින මටයි..
මා නිවසට ගොඩ වූයේ සදනි පිළිබද අතීත මතක වල මගේ මතකය සැරිසරත්දීමයි..
"දෝණි මොකද ලොකු කල්පනාවක..  විභාගෙ අමාරු වුනාද.. ඔන්න ඔයාට ලියුමක් ආවා. මේසෙ උඩ තියා ඇති මං."
අම්මා කියුවා ය..
මා කාමරයට ගොස් ලියුම විවෘත කලෙමි..
"අම්මේ!!! මට පත්වීමක් හම්බවෙලා අනුරාධපුර සෙන්ට්‍රල් එකට. "
මා ප්‍රීතියෙන් කෑ ගැසුවෙමි.
නමුත් අම්මාගේ මුහුනෙහි එතරම් සතුටක් තිබුනේ නැත..
"අනුරාධපුර..  සුළුපටු දුරක්ද දෝණි. ඕක හදා ගන්න බැරිවෙයිද.. කුරුණෑගල ට වත් නං කමක් නෑ. "
"අනේ අම්මෙ.. අවුරුදු පහක් හයක්  විතරනෙ. ඊට පස්සෙ හදා ගන්න පුලුවනි.. මගේ නං අකමැත්තක් නෑ.."
අප්පච්චීත් අම්මා මෙන් මදක් අකමැත්තෙන් කථා කලේය.. පවුලේ එකම දරුවා වූ බැවින් මා ඈතකට යාම ඔවුන් දෙදෙනාටම දරා ගත නොහැක.
එදින රාත්‍රියේත් මගේ මනසේ පැවතුනේ සදනි පිළිබඳ සිතුවිලියි.. සදනි ඉගෙනීමට කුඩා කල පටන්ම දක්ශ ය. ශිෂ්‍යත්වය ඉහලින්ම සමත් වුවත් ඇයව කුරුණෑගල පාසලකට ඇතුලත් කිරීමට වත් ශාන්ත  මාමාට වුවමනාවක් නොවූයේ ය. ඔහු සෑම විටම මල්කාන්ති අක්කා විසින් හසුරවන රූකඩයක් ලෙස මා දුටුවෙමි.
නිශාන්ත.. කෙල්ල ඉහලින් විභාගෙ පාස් වෙලා තියෙන එකේ හොද ඉස්කෝලෙකට දාන්න ඕනෙ නේද.. අපේ දෝනි ගියපු ඉස්කෝලෙට දාගත්තැහැකිනෙ ඉහලම ලකුනු හින්දා.."
වරක් අප්පච්චි  නිශාන්ත  මාමාට කියනු මා අසා සිටියෙමි..
"කොයි ඉස්කෝලෙත් කරන්නෙ උගන්නන එකනෙ මාමෙ.. ඔන්න ඔහෙ ගමේ ඉස්කෝලෙටම ගියපුවාවෙ."
ඔහු එයින් මඟ හැරියේ එසේය..
මා අම්මා සමග මේ පිළිබඳ කථා කල මොහොතේ අම්මා මෙසේ කියුවා ය..
"කෙල්ලගෙ ඉගෙන ගන්න එක කඩාකප්පල් වෙනවා ඔය පුංචි අම්මට බැල මෙහෙවරකං කර කර ඉදලා. අරකිටත් මොකද වදනවා විතරයි ඒකිගෙ පොඩි එවුං ටික බලා කියා ගන්නෙ වැඩ කරවගන්නෙ මේ පොඩි කෙල්ලගෙන්.. "
"අම්මෙ.. මට මෙහෙම දෙයක් හිතුනා.. මම සදනිව එහෙ අරන් යන්නද.. හොඳට උගන්නන්න පුලුවං මම ළග තියාගෙන.. "
"දෝනිට පිස්සුද.. අම්මත් නැති දුක් විදින දරුවා තමයි.. එහෙමයි කියලා.. ගෑනු දරුවෙක්ගෙ වගකීමක් දරන්න පුලුවංද දෝණිට තනියම.. අනික ඒ මිනිස්සු එවාවිද ලමයව.. ඔන්න ඔය අදහස අත්තැරලා දාන්න.. "
"මං නිශාන්ත  මාමව කොහොම හරි කැමති කරව ගන්නම්කො.. කුසුම් අක්කා වෙනුවෙන් මට ඒක කරන්න ඕනෙ අම්මෙ.."
මා පැවසූ පමනින් නිශාන්ත මාමා එතරම්  කැමැත්ත දැක්වූයේ නැත.
"අනේ මන්දා අපෙ මල්කාන්ති කැමති වෙයිද කියලා.. එයාට කෙල්ලව නැතුව බෑනෙ."
අනේ එයාගෙ ආදරේ.. වැඩකරව ගන්න තමයි කෙල්ලව නැතුව බැරි ඇත්තෙ.
මා මුවට පැමිනි දේ නොකීවෙමි.
"සදනිගෙ වියදම් ඔක්කොමත් මම බලා ගන්නම් මාමෙ.. "
"අනේ මන්දා.. "
අවසානයේ දී මාමාගේ කැමැත්ත ලබා ගැනීමට මට හැකි විය..
සදනිගේ අනාගතය පිළිබඳ දහසකුත් සුබ සිහින මගේ සිතේ පිරෙන්නට පටන් ගත්තේය..
කෙල්ලට හොදට උගන්නනවා මම.. හොද තැනකට ගේනවා.. කුසුම් අක්කත් ඉන්න තැනක ඉදන් සතුටු වෙයි..
සදනිව කුරුණෑගල ගෙන ගොස් අලුත් පාසලට අවශ්‍ය පොත්, සපත්තු, බෑගය ඒ සියල්ල ගෙන දුන්නෙමි.. යුනිෆෝම් දෙකක්ද මසා දුන්නෙමි..
අනුරාධපුර යන දිනට පෙර දිනයේම සදනිව අපේ ගෙදරම නවත්වා ගත්තේ උදෑසනින්ම පිටත් විය යුතු නිසායි..
මගේ මෙන්ම සදනිගේ සිතත් අලුත් බලාපොරොත්තු වලින් පිරී ඇති බව මා දනිමි.
අප පාන්දර බසයෙන් කුරුණෑගල ට පිටත් වූයෙමු.. කුරුණෑගල බස්නැවතුමෙන් අනුරාධපුර බසයකට ගොඩ වී සිටියෙමු..
තව පැය බාගෙකින් පිටත් වෙනවා..
කන්ඩක්ටර් කියනු මට ඇසුනි..
මද වේලාවක් එසේ සිටින විට ඉදිරි දොරෙන් මතුවී අවට බලන මුහුනක් හදිසියේ මගේ නෙත ගැටුනි..
නිශාන්ත  මාමා!!
අපව පාන්දර බසයට ගොඩ කරන විට වත් නොපැමිනුන මිනිසා මෙතැන. ඔහු අපව දැක අප දෙසට ආවේය..
"මාමෙ.. මාමා මෙහෙ? "
මා විමතියෙන් ප්‍රශ්න කලෙමි..
"කෙල්ලව යවලා බැහැ දුවේ.. රට රාජ්ජ අල්ලන ඕන නෑ මේකි.  ඔන්න ඔහෙ එහෙ පුලුවං හැටියකට ඉගෙන ගත්තාවෙ.. "
අස්වීම් සහතිකයත් ගත් පසු.. සියල්ල සූදානම් වී තිබුන පසුත් නැවත සදනිව ගමට යැවීමට..?
"මාමෙ.. මේ හැම දේම ලෑස්ති කරාට පස්සෙත් සදනිව ආපහු ගමට ගෙනියන්න.. මාමෙ කුසුම් අක්ක හීන දැක්කෙත් දරුවව හොදට උගන්නන්න.. එදා ඉදන් අක්කා ළගම හිටපු මම ඒක හොදට දන්නවා.. සදනි ගොඩක් දක්ශ දරුවෙක්. මාමට තේරෙන්නැද්ද ඒ ගෙදර අර පොඩි දරුවො රංචුවකගෙ වැඩ කරන ගමන් සදනිට එයාගෙ ඉගෙන ගන්න වැඩ හරියට කර ගන්න බෑ කියලා.. "
හිතට ආ ආවේගයෙන්ම මම පැහැදිලි කලෙමි. බසයේ වූ කිහිප දෙනාත් අප දෙස හැරි හැරී බලනු මා දුටුවෙමි.
ඔහු කිසිවක් තේරුම් ගත්තේ නැත. සදනිව ආපසු ගෙන යාමට අවශ්‍ය බවම කියා සිටියේ ය.  මේ කථා කරන්නේ නිශාන්ත  මාමා නොව මල්කාන්‍ති බව මා දනිමි.
මටත් බල කල යුතු සීමාවක් ඇති බව මා තේරුම් ගතිමි.. දරුවා ඉල්ලන්නේ ඇගේ පියායි. මට බලෙන් සදනිව රැගෙන යා නොහැකිය.
සදනිගේ කුඩා දෑස් වල තිබුනු දීප්තිය නිවී කුඩා කදුලු බිදු සිරවී තිබෙනු මා හොදින් දුටුවෙමි. ඇගේ සිත තුල වූ අනාගත සිහින එලෙස බිදී ගියේය..
අවසානයේ මාමා සදනිවත් රැගෙන බසයෙන් බැස ගියේය.. එදෙස බලා සිටි මගේ දෙනෙත් වලින් කදුලු කැට කඩා වැටෙනු මට දැනිනි..
"දුක් වෙන්න එපා දුවේ.. ඒක ඒ ළමයගෙ දෛවය වෙන්න ඇති.. "
අප පිටිපස අසුනේ සිට සිදුවූ සියල්ල දෙස බලා සිටි මැදිවියේ මිනිසා කියනු මට ඇසිනි..
*****************************
(සමාප්තයි.)

Sunday, November 13, 2016

රංවලව්වේ දිනපොත.

දඩාං!!

ජනෙල් පියන් හඩ නඟමින් වැසෙන්නේ තද වර්ෂාව සමගින් ඇති වූ සුළං පහරවල් නිසා ය.. පැරණි තාලයේ විශාල නිවසක ඉදිරි දොරින් මා ඇතුල් වී සිටින්නෙමි. වැසිකඩ පිරි සීතල සුළඟ, ගතෙහි හිරිගඩු නැංවීමට සමත් ය. ඉදිරි දොරෙන් ඇතුල් වූ විටම පෙනෙන්නේ පිටුපස දොරයි. දොර ජනෙල් සියල්ල ඇර දමා තිබුනත් පෙනෙන්නට කිසිවෙකුත් නැත. 
මගේ දෙපා ඉබේටම ඇදී ගියේ පසෙක තිබූ දැවමය මේසය වෙතටයි. එහි වූ ලාච්චුව විවර කිරීමට මට අවශ්‍ය බව හැඟිනි. එහෙත් හේතුව මම නොදනිමි. මා එය ඇරීමට උත්සහ කරන විටම.. මහා බියකරු යමක් සිදුවන්නට යන බව මට දැනුනි.. ප්‍රපාතයක සිට පහතට ඇද වැටෙන්නාක් මෙන් හැඟීමක්! මා කෑ ගසමි. නමුත් කිසිදු හඩක් පිට නොවෙයි.. එවිටම මා ඒ සිහිනයෙන් අවදි වේ..

"අක්කී.., ආයෙමත් අර හීනෙම දැක්කද.. "

මා මෙසේ බිය වී අවදි වීම නංගී ට අරුමයක් නොවේ.. මේ හීනය මා දැක ඇති වාර ගනන කොපමන දැයි මට කිව හැකි නොවේ.. එහි ආරම්භය මට වයස දොලහේ සිට..නැහැ.. ඊටත් පෙර සිට විය යුතුයි.. 
පාඩම් කරමින් සිටි නංගී වතුර වීදුරුවක් මවෙතට ගෙන ආවා ය. මා එය එක හුස්මට බී අවසන් කලෙමි.

"අපේ සීඅයිඩී මස්සිනාව මැරි කරාට පස්සෙ වත් ඔය මනස්ගාත ඔයාගෙ හිතෙන් යාවි.."

ඇය සිනාසෙමින් කියන්නීය.
මෙය මනස්ගාතයක්ද.. නැත. ඇත්තටම එවැනි නිවසක් ඇත්ද.. සොයා යාමටවත් ඒ කොහේ දැයි මා දන්නේ නැත.. හැමදාමත් පෙනෙන එකම සිදුවීමෙහි තේරුම කුමක්ද..

සීඅයිඩී මස්සිනා.. මගේ මුවට තුනී සිනාවක් නැගේ. නංගී කියන්නේ දිනුක ගැනයි. අම්මාත් අප්පච්චීත් ගෙන ආ යෝජනා අතරින් මගේ සිත ගත්තේ ඔහුයි.. ඔහු වෘත්තියෙන් සීඅයිඩී නිලධාරියෙකි. අප ඇසුරු කල සුලු මොහොතට ඔහු මට අමතක කල නොහැකි චරිතයක් විය.. 

"දෝණි මොකෝ කියන්නෙ ඒ දරුවා ගැන.. "

දිනුක ඇතුලු ඔහුගේ නෑ පිරිස අප නිවසින් පිටව ගිය පසු අප්පච්චී මගෙන් විමසුවේ ය.

"මම අකමැති නෑ අප්පච්චි.."

මගේ කැමැත්ත මා එලෙස වචන කලෙමි.. 
ඊට දිනකට පසු දිනුක ඔහුගේ කැමැත්ත කියා එවා තිබුනේ ය. අපේ විවාහය ස්ථිර වූයෙ එසේය. 

තෙමසකට පසු අපේ විවාහය දෙපසෙහිම ආශිර්වාදය මැද සිදු කරන ලදී.. අප සතියක් පමණ දිනුකගේ මහ ගෙදර නැවතී සිටියේ අප පදිංචියට යාමට නියමිතව සිටි  මාදත්ත නිවසේ පිලිසකර කිරීම් කටයුතු නිසා යි. මාදත්ත නිවස මා අසා තිබුනා මිස දැක තිබුනේ නැත. එය දිනුකට ඔහුගේ නැන්දාගෙන් හිමි වූවකි. 

දිනුක කුඩා කල පටන් ඔවුන්ගේ නිවසේ සේවය කල යසෝමා, අප එහි යාමට දින තුනකට පෙර මාදත්ත නිවසට ගියාය. මෙතෙක් කලක් මාදත්ත නිවස බලාකියා ගත්තේ යසෝමා ගේ සැමියා නන්දන ය. 
ඇත්තෙන්ම මට මෙහෙකරුවන්ගේ අවශ්‍යතාවක් තිබුනේ නැත. නමුත් යසෝමාගේ දැඩි ඕනෑකම නිසා දිනුකගේ මව ඇයව අප සමග යැවීමට එකඟ වූවාය.. 

"පුංචි නෝනෙට පුලුවනෑ ඒ සා ගේක තනියෙං ඉන්ට. මං යන්නං ලොකු නෝනෙ පුංචි මහත්තෙයලත් එක්ක.. මහ දුරක්‍ යැ මෙහ ඉදං මාදත්තට. "

බඩු පැටවූ ලොරිය උදෑසනින්ම පිටත් කර දිනුකත් මම ත් සවස පිටත් වීමු. 

"පුතා රජකාරිවලට දවස් දෙක තුන පිට ගියාම දූ තනියෙං එහෙ ඉන්ට ඕනෙ නෑ..යසෝමා එක්ක මෙහෙ එන්ට. "

දිනුකගේ අම්මා අප පිටත් වන විට කියුවා ය.
සිහින් පොද වැස්සක් කඩා හැලෙත්දී ම අප මාදත්තට පිටත් වුනෙමු. කිලෝමීටර හතරක් පමන දුරක් ගෙවා දැමූ පසු අප එහි ලගා වුනෙමු. ක්ෂණයකින්ම සිහින් හිරි පොදය මහ වැස්සක් බවට පරිවර්ථනය විය. පොල් වත්තක් කෙලවර වූ තැන අපගේ නව නිවස පිහිටා තිබිනි.. 

අප බැසීමට සූදානම් වන විටම කුඩය ඉසලාගෙන නන්දන අප දෙසට ආවේය. 

"නිලූ ඔයා ගෙට යන්න. මම කා(ර්) එක ගැරෙජ් එකට දාලා එන්නම්. "
දිනුක කියුවේ ය.

"එන්ට පුංචි නෝනෙ.. "
නන්දන ඔහු අතවූ විශාල කුඩයෙන් මා නිවසට රැගෙන ගියේ ය.

"රංවලව්ව" 

නන්දන සමග නිවස වෙත යන විට මා එය කියුවා නොව කියවුනාය..

"හහ්හා.. පුංචි මහත්තෙයා මේ ගේ අතීතෙ ගැන නෝනෙට කියලා මයෙ හිතේ.. ඉස්සර මේක රංවලව්ව තමා අපි දැං මාදත්ත ගෙදර කියලා  කිව්වට.. "

නිවස දකින ඇසිල්ලකින්ම මට එසේ කියවීම ගැන මා පුදුමයට පත් වීමි. මා දන්නා රංවලව්වක් නැත. දිනුක මට මේ නිවස පිළිබද වැඩිදුර විස්තරයක් කියා නැත. 

"නෝනෙ ගෙට යන්ට. අපේ යසෝ ඇති කුස්සියේ.. "

ඔහු එසේ කියා දිනුකව රැගෙන ඒම සදහා කුඩය රැගෙන පිටව ගියේය..

මා ඉදිරි දොරින් ඇතුල් වූයෙමි.. දෙවියනේ! මා නිතර සිහිනෙන් දකින ඒ සිදුවීමම සත්‍ය ලෙස මගේ දෑස් ඉදිරියේ එලෙසින්ම.. ඒ මේසය.. සිහිනෙන් මා විවර කිරීමට උත්සහ කරන ලාච්චුවම.. 
මා ලාච්චුව දෙසට පියවර තැබුවෙමි.. සිහිනෙන් මා මෙය විවර කරන්නට උත්සහ කරන සෑම මොහොතකම බියකරු ලෙස මා ප්‍රපාතයකට වැටේ. කුමක් සිදු වූවත් කමක් නැත. 
එසේ සිතමින් මා ලාච්චුව ඇරීමට උත්සහ කලෙමි. එය මේසයටම තදවී ඇත.

"මොකෝ ආපු ගමන් මේස ලාච්චු ඇරලා බලන්න හිතුනෙ.."

පිටුපසින් ඇසුනු දිනුකගේ හඩින් මා තිගැස්සුනෙමි.. 

මා කිසිවක් නොකීවෙමි.

"චුට්ටක් ඉන්නකො.. ඔයාට මේක අරින්න ඔච්චරම වුවමනා නම්.."

දිනුක සිනාසෙමින් පැමින ලාච්චුව ඇරීමට උත්සහ කලේය.. වෙර යොදා උත්සහ කලේය. පලක් වූයේ නැත.

"ම්ම්..ලොක් කරලත් නෑඈ.. මං හිතන්නෙ මේක අවුරුදු විසි පහකින් විතර ඇරලා නැති නිසා.."

"අවුරුදු විසි පහක්! "

මා විශ්මයෙන් එය ප්‍රතිරාවය කලෙමි. 

"ඔව්. ප්‍රියන්ති නැන්දා මැරි කරලා ඕස්ට්‍රේලියා ගියා ට පස්සෙ කවුරුත් මෙහෙ හිටියෙ නැහැනෙ. අවුරුදු විසි පහක් විතර වෙනවා දැන්. 

මහන්සියි බබා. හෙට වැඩට යන්නත් තියෙනවනෙ.. මම වොශ් එකක් අරන් එන්නම්. "

දිනුක කීවේ ය. ඉන්පසු ඔහු මා දෙස අමුතු අයුරකින් බලා සිටිනු දුටුවෙමි. 
මා සිටියේ කිසිවක් සිතා ගත නොහැකිවයි. නිවසට ඇතුලු වූ මොහොතේ සිට මගේ වෙනස දිනුකට දැනෙන්නට ඇත..

"නිලූ, ඔයාට මොකක් හරි අසනීපයක්ද.. නැත්නම්..ඔයා මේ මාදත්ත ගෙදරට කැමති නැත්ද.."

"නැහැ දිනූක.. එහෙම දෙයක් නෙවෙයි.. ඔයා වොශ් දාලා එන්නකො මට ටිකක් කථා කරන්න ඕනෙ.. දෙයක් කියන්න තියෙනවා ඔයාට.. "

සිහිනය පිළිබඳ ඔහු කුමන මතයක් දරාවිදැයි මට සිතා ගත නොහැක. නමුත් ඒ පිළිබඳව ඔහුට පැවසීමට මා සිතා ගත්තෙමි.
දිනුක මා පැවසූ සියල්ල සාවදානව අසා සිටියේ ය. 

"අනේ මන්දා නිලූ.. බැලූ බැල්මට මේක පුනුරුප්පත්ති කථාවක් කියලා හිතුනට එහෙම හිතන්න බැරි කාරණාවකුත් තියෙනවා.. 
මොකද මම අහලා තියෙන අතීතෙ ඉදලා මේ ගෙදර ඉදලා තියෙන්නෙ ආච්චියි ප්‍රියන්ති නැන්දයි විතරයි. ආච්චි නැති වුනේ අවුරුදු පහකට විතර කලින්. නැන්දා ඕස්ට්‍රේලියා ගියදා ඉදලා ආච්චි හිටියෙ අපේ ගෙදර. තාත්තයි නැන්දයි ආච්චියි විතරයි ඊට කලිනුත් මෙහෙ පදිංචි වෙලා හිටියෙ. 
සීයා නැතිවුනාට පස්සෙ තමයි ආච්චි, තාත්තයි නැන්දයි එක්ක මෙහෙට ඇවිත් තියෙන්නෙත්. මං දන්න තරමින් මෙහෙ වෙන කවුරුත් ඉදලත් නෑ..

හරි අපි බලමු කොහොම හරි අර ලාච්චුව ඇර ගන්න. මෙච්චර අවුරුදු ගානක් ඔයාගෙ හිතේ සැකේ වෙලා තිබුන දේ බලමු. "

කොපමන කුතුහලයක් තිබුනද ඇත්තෙන්ම මේ රාත්‍රියේ මට එය බැලීමට අවශ්‍ය නොවේ.. සිහිනයේ දී මා එය විවෘත කරන්නට උත්සහ කරන සෑම මොහොතකම එහි  බියකරු යමක් සිදු වේ..

"දිනුක.. අපි හෙට උදේට ඒක බලමුද. "

මා බියවී සිටින බව ඔහු තේරුම් ගෙන තිබුනේ ය..

"ම්ම්.. හරි. අපි හෙට බලමු එහෙනම්. දැන් නිදා ගන්නකො ඕවා හිතන්නැතුව."

නමුත් මැදියම් රැය පසු වන තුරුත් නින්ද මා අසලට නොපැමිනියේ ය. නිවසට ගොඩ වැදුනු මොහොතේ සිට මගේ සිත වෙලා ගෙන තිබුනු ආගන්තුක බිය එසේම විය.

පාන්දරින්ම සාලය දෙසින් ඇසුන 'ටක ටකස්' හඩ මා අවදි කලේ ය. මා එදෙසට යනවිට දිනුක, මේස ලාච්චුව ගැලවීමට උත්සහ කරමින් සිටී.. නන්දන අතේ ආයුධ කීපයක් ඇත.

"නන්දන, මේ පරණ මේසෙ කුස්සියට දාන්න. අපි ගෙනාපු මේසෙ මෙතනට  ගන්න. "

ඒ අතරතුර දිනුක කීවේ ය.
දිනුකගේ උත්සහයෙන් පසු ඔහුට  ලාච්චුව විවර කර ගැනීමට හැකි විය. 
පුස් ගඳ හමන ලාච්චුවෙහි පරණ  සගරා කිහිපයක් සහ ඩයරියක්  තිබිනි.. දිනුක ඩයරිය අතට ගෙන පෙරලා බැලුවේ ය.. මාත් එයට එබී සිටියෙමි.. 

ආශා ජයවර්ධන.

එහි මුල් පිටෙහි අයිතිකරුගේ නම එසේ සටහන්ව තිබිනි..

"ආශා..? 

නන්දන දන්නවද ආශා කියලා කෙනෙක්ව..මෙහෙ හිටපු කෙනෙක්ද.. "

මා පසෙක සිටි නන්දනගෙන් විමසුවෙමි..
නන්දන නැහැයි කියනවාත් සමගම දිනුක මෙසේ කීවේය.

"ප්‍රියන්ති නැන්දා  රට ගියාට පස්සෙයි නන්දන මෙහෙට ආවෙ. නන්දන හිටපු කාලෙ ඇතුලත කවුරුත් මෙහෙ හිටියෙ නැහැ නිලූ..

හ්ම්.හරිනෙ. ඔන්න දැන් ඔයාට  බයවෙන්න දෙයක් නැහැ.. "

දිනුක පිටත් වූ පසු මා එම දිනපොත  කියවීම සදහා අතට ගත්තෙමි.. 
තෙත මිශ්‍ර පුස් ගද ඒ තුලින් මගේ නැහැ පුඩු කරා ඇදිනි.. 
මා එහි පිටු පුරා නෙත් යැවීමි. එහි දිනපතා සටහන් දමා තිබුනේ නැත. අතරින් පතර වූ එම සටහන් මා කියවීමට පටන් ගත්තෙමි.

*********************************

1989 January 03 

මම අද මාමට කෝල් එකක් දීලා ඇහුවා මල්ලිව නතර කරපු ළමා නිවාසෙ ගැන. නිවුඩුව පන්සල පාරෙ.. හරියට ඇඩ්‍රස් එකක් එයාටත් මතක නෑ.. හෙට අනිද්දම ගිහින් හොයලා බලන්න ඕනෙ.

1989 February 05

නිවුඩුව ලමා නිවාසෙ හොයාගෙන ගියා මම. ඒත් මගදිම මට ආරංචි වුනා දැන් ඒ ලමා නිවාසෙ නෑ කියලා.. එතකොට මගෙ මල්ලි!! මම එයාව අන්තිමට දකිනකොට  යන්තම් වයස අටයි මල්ලිට.
මම ලමා නිවාසෙ තිබුන තැනටම ගියා. ගරා වැටිලා.. මේක වහලා ගොඩක් කල් කියලා හිතුනා දැක්ක හැටියෙම.. විස්තරයක් දැන ගන්න කවුරුත් හිටියෙත් නෑ. 
ඊට එහා පැත්තෙ තිබුන ගෙදරට මම  ගියෙ මොකක් හරි විස්තරයක් හොයා ගන්න. සීයා කෙනෙක් හිටියා.. දිගට හරහට මම ගැන ප්‍රශ්න ඇහුවට පස්සෙ තමයි ඒ මනුස්සයා මට ලමා නිවාසෙ ගැන විස්තර කිව්වෙ. 
ඒ මැඩම් ලමයි මරා ගත්තා කියලා තමයි ඒ පැත්තෙ මිනිස්සු කියනවා කියන්නෙ.. ඒ අපභ්‍රංශෙ මට තේරුනේ නෑ.. ඒ මනුස්සයා හරියට තේරුං කරන්න තරම් විස්තරයකුත් දන්නෙ නැහැ කියලා මට කථාවෙන් තේරුනෙ. 
අල්විස් මැඩම් කියලයි කිව්වෙ. වැඩිපුරම මේකෙ ඉදලා තියෙන්නෙ මල්ලි වගේ ආබාධිත ලමයි තමයි. සීයගෙ වචන වලින් කිව්වොත් දවසක් මැඩම් ලමයි ටිකත් අරන් අන්තරස්දාන වෙලා.. 
දෙවියනේ මට මගේ මල්ලිව හොයා ගන්න බැරි වෙයිද..

1989 February 06 

"ආබාධිත ලමයි ඉන්න අල්විස් මැඩම්ගෙ ලමා නිවාසය .." 

මේ පොඩි විස්තරෙන් මම කොහොමද ඒක හොයා ගන්නෙ. අනික ඒ අල්විස් මැඩම් ලමයින්ව කොහෙටද අරන් යන්න ඇත්තෙ.  

1989 February  06 

මට පුලුවන් විදිහට හොයන්න පටන් ගන්න ඕනෙ. හවස මට අයිඩියා එක ආවෙ. අපේ බැජ් එකේ හිටපු යාලුවන්ගෙන් උදව්වක් ගන්න පුලුවන්. දිස්ත්‍රික්ක විසි පහේම නැතත් ලංකාවෙ එහෙ මෙහෙ විසිරිලානෙ උන්. සමහරු මැරි කරලා.. සමහරු ජොබ් කරනවා.. මම දැන්ම පටන් ගන්නවා ලියුම් ලියන්න.. 

1989 February  09

මම දන්න විස්තරේ කියලා එහෙම ලමා නිවාසයක් ඒ පැති වල තියේද හොයලා බලන්න කියලා ලියුම් දැම්මා. උන් උදව් නොකර ඉන්නෑ. මම මගේ මල්ලිව කොහොම හරි හොයා ගන්න ඕනෙ..

1989 February  20 

එකක් දෙකක් ඇර, දාපු ලියුම් ඔක්කොටම රිප්ලයි ආවා. වැඩක් නැහැ.. කිසිම තොරතුරක් නෑ.. හැමෝම අහලා තිබුනෙ මොකද මම ලමා නිවාසයක් ගැන හොයන්නෙ කියලා..

1989 February  23

ආවා! සම්පත් ගෙන් ලියුමක් ආවා අද.. උඩවල පැත්තෙ ලමා නිවාසයක් තියෙනවලු.. ඒකෙ පාලිකාව අල්විස් කියලා කෙනෙක්.. ඒත් මේ මම හොයන අල්විස්මද කියලා දන්නෙ නැහැ.. මම හෙටම එහෙ යනවා..

1989 February  24

මම ඉස්සෙල්ලම ගියෙ සම්පත්ව හම්බවෙන්න. මම එයාට මගේ කථාව කිව්වා.. මට අර සීයා කියපු කථාත් එක්ක නිවාසෙ ලමයි ටිකත් අරන් මැඩම් ආපු සිද්ධිත් එක්ක සැකයක් හිතෙනව කියලයි එයා කිව්වෙ.. සම්පත් කිව්වා මේ ගැන එයාගෙ අයියගෙන් තොරතුරු අහමු කියලා.
සම්පත්ගෙ අයියා උපුල්. උඩවල  පොලීසියෙ ඕඅයිසී. අනික මේ මගේ මල්ලි හිටපු ලමා නිවාසෙද කියලත් හරියටම දන්නෙ නැහැනෙ. 
අපි උපුල් අයියට විස්තරේ කිව්වා.. මම හීනෙකින් වත් නොහිතපු කථාවක් අයියා කිව්වෙ. 

නිර්නාමිකව ඔත්තු ආවලු මේ ආබාධිත දරුවො වයසින් වැඩුනාම ඒ අයගෙ වකුගඩු වගේ අවයව විකුනන දේවල් මේකෙ වෙනවා කියලා. ඒත් ඔප්පු කරන්න ශාක්ෂි මුකුත් නැති නිසා අයියලට ඒ ගැන පියවරක් ගන්න බැරි වෙලා තාම. ඒ ලමා නිවාසෙ ඇමති කෙනෙක්ගෙ කියලත් කිව්වා. ඒක ඇහුවහම මම එතනම ඉන්ද වුනා.. දෙවියනේ මගේ මල්ලි! 
මම අද ඉන්නෙ මෙහෙ. සම්පත්ලගෙ මහ ගෙදර. නවතින්න හිතාගෙන නෙමේ මම ආවෙ. ඒත් මල්ලි ගැන මුකුත්ම නොදැන යන්න හිත දෙන්නෑ මට. සම්පත්ලමයි ඉන්න කියලා බල කලේ මට.. මේ අම්මා තාත්තා හරි හොදයි. 
සම්පත් කිව්වා හෙට මට නිවාසෙට යන්න එපා කියලා. එයා ගිහින් මගේ මල්ලි එයාගෙ නෑ කෙනෙක් විදිහට කියලා හොයලා බලන්නම් කියලා..

1989 February  25

මම උන්ගෙන් මේකට පලිය ගන්නවා මගෙ මල්ලිට කරපු අපරාදෙට.. ඇයි දෙවියනේ මම මගෙ මල්ලි ගැන හොයන්න මේ තරම් පරක්කු වුනේ.. නැතිවෙන්න තරම් මල්ලිට තිබුන අසනීපෙ මොකද්ද.. 

ඉන්පසු දිනපොතෙහි තිබූ සටහන්, දින පිලිබදව නොසලකා එක දිගට ලියා තිබිනි.

මම එදා ලමා නිවාසෙට ගියේ සම්පත්ලා එපා කියද්දිමයි. එතන වෙනදේ මට හොයා ගන්න ඕන වුනා.. මගේ මල්ලිට මොකද වුනේ කියලා මට හොයා ගන්න ඕන වුනා.. මම මැඩම් හම්බ වෙලා දහසක් බොරු කියලා එතන රස්සාව ගත්තා. මල්ලි ගැන මුකුත්ම කිව්වෙ නැහැ. ඩයරිය සම්පත් ලග තියලයි ගියේ. ඒ මිනිස්සුන්ට කිසිම සැකයක් නොහිතෙන්න මම පරිස්සම් වුනා..

මල්ලි වගේ ආබාධිත ලමයි දකිනකොට මට මල්ලිව මතක් වෙලා කදුලු ආවා.. 

වයසක ගෑනු කෙනෙක් හිටියා ලීලා කියලා. තට්ටයෙක් හිටියා කපිල කියලා.. ඒ ඇරුනම මැඩමුයි මමයි. ඒ ලමයින්ව බලා කියා ගන්න එක තමයි මට භාර වෙලා තිබුනෙ.. 
මේ ළමා නිවාසෙ පාලනය වුනේ නිශ්ශංක රත්නවීර ඇමතිතුමා යටතෙ කියලා මට දැන ගන්න පුලුවන් වුනා. දරුවන්ට හරියට කෑමක් ලැබුනෙ නැහැ.. ඉද හිටක දාන වගේ දේවල් හම්බ වුනා. එදාට තමයි දරුවන්ට හොදට කෑම වේලක් කන්න හම්බ උනෙත්. සමහරු මුදල් ආධාර දුන්නත් ඒවයින් දරුවන්ට නම් මුකුත් හම්බ උනේ නෑ.. මැඩම්ගෙ එකවුන්ට් එකට යන්න ඇති. 
මැඩම් පිටට පෙන්නුවෙ එක විදිහක් ඒත් අපිටත් දරුවන්ටත් තවත් විදිහක්. මම දරුවන්ව හරි ආදරෙන් බලා ගත්තා.. ඔක්කොම වැඩ කලා එයාලගෙ.. 
දරුවො විසි පහක් විතර හිටියෙ. එයාලට නිතර නිතර අසනීප වුනා. ඒත් එයාලා බෙහෙත් ගන්න යන්න එන්න  මට අවස්ථාවක් දුන්නෙම නෑ.. මැඩම් කපිල එක්ක අසනීප වුන දරුවව විතරක් අරන් ගියා. ස්පෙෂල් ඩොක්ට කෙනෙකුට පෙන්නනවා කියලයි කපිල කිව්වෙ.. 
  
නලින්ද කියලා අවුරුදු දහ නමයක දරුවෙක් හිටියා. මන්ද මානසික දරුවෙක්. මගේ මල්ලි හිටියනම් මීට වඩා අවුරුදු කීපයයි වැඩිමල්. මේ දරුවට බෙහෙත් දුන්නා නිතරම. බෙහෙත් දෙන්න භාර වෙලා තිබුනෙ මට.. මන්ද මානසික දරුවකුට මේ තරම් බෙහෙත් මොකටද කියලා මට සැක හිතුනා.. ඒත් කවදාකවත් මම එයාලගෙන් ප්‍රශ්න අහන්න ගියෙ නෑ. ඒත් සැකේටම මම ඒ බෙහෙත් වලින් පෙති පන්නලා සම්පත් ට ගෙනත් දුන්නා ඒවා ගැන හොයලා බලන්න කියලා.. 

මම මෙහෙ ආපු මුල් කාලෙ නම් මම යන එන තැන් ගැන පවා එයාලා හොද කල්පනාවෙන් ඉන්නවා කියලා මට තේරුනා.. ඒත් මම ටිකින් ටික මැඩම්ගෙ විශ්වාසෙ ගොඩ නගා ගත්තා. ප්‍රශ්න අහන්නැතුව වැඩ ටික හරියට කරන නිසා මාව හිතට ඇල්ලුවා එයාට.. 
මට බය වෙන්න එක දෙයයි තිබුනෙ. නිවාසෙට දානෙ ගේන අය අතරෙ මම අදුරන කවුරු හරි ඉදීද කියන එකයි.

මම සම්පත්ට හොයන්න දීපු පෙති වලින් අපිට හෝඩුවාවක් හම්බ වුනා.. වකුගඩුවක් දීපු කෙනෙක් බොන්න ඕන බෙහෙත් ඒවා.. ඒක අහපු ගමන් මාව වෙව්ලුවා.. එතකොට අර දරුවට මොන අපරාධයක් ද ඒ මිනිස්සු කරලා තියෙන්නෙ... 

මේ වෙනකොට සම්පත්, උපුල් අයියට මේ විස්තර හැම එකක්ම කියලා තිබුනෙ. 

ඔය අතරෙ නලින්දට ඔපරේෂන් එකක් කරන්න තියෙනවා කියල මැඩම්ලා ලෑස්ති වුනා. මට කිව්වෙ නලින්දගෙ හාට් ප්‍රොබ්ලම් එකක් තියෙනවා කියලා.. ඉතින් දවසක් එයාලා දරුවව අරගෙන ගියා..

ඔපරේෂන් එක අසාර්ථකයි නලින්ද නැතිවුනා කියලා තමයි කිව්වෙ.. මට හිතා ගන්න බැරි වුනා.. මේ හැමදේම පිටි පස්සෙ නිශ්ශංක ඇමතිතුමා ගෙ හයියක් ඇති කියලා අපිට සැක හිතිලා තිබුනෙ. 
කාලයක් ගෙවුනා.. දවසක් මැඩම් උමේශි ව කොහෙද අරගෙන ගියා.. ඒ දරුවත් මන්ද මානසික දරුවෙක්. මට කට වහගෙන ඉන්න බැරි වුනා. නලින්දට කරලා තියෙන දේ හිතා ගන්න පුලුවන් වුන මට ඒ උන දේ මතක් වෙත්දි තවත් බලන්න ඉන්න බැරි වුනා.. 
මම එදා මැඩම්ගෙන් ඇහුවා උමේශිව ගෙනියන්නෙ කොහෙද කියලා.. මමත් යන්න හැදුවා.. 
ඒ වහල යට වෙන දේවල් නොතේරි ඉන්න මමත් අඳ ගොලු දරුවෙක් නෙමේ කියලා මැඩම්ට තේරෙන්න ඇති. 
එදා හවස මැඩම් මාව එයාගෙ රූම් එකට අඩගහලා මට ලක්ෂෙක චෙක් එකක් දුන්නා. අපි සැක කරපු දැකපු හැමදේම ඇත්ත කියලා මැඩම්ගෙ කථාවෙන් මම දැන ගත්තා.. 
ඒ චෙක් එක ඒ ගෑනිගෙ මූනට විසි කරලා ඇවිත් පොලීසියට මේ හැමදේම කියලා කම්ප්ලේන් කරන්න තරම් මට තරහක් ආවා.. ඒත් සාක්ෂි එක්ක මුන්ව අල්ල ගන්න  මම ඉවසීමෙන් වැඩ කරන්න ඕනෙ කියන දේ නිසා මම බොරු පෙරේතකමක් පෙන්නලා චෙක් එක ගත්තා.. 
ඊට පස්සෙ මට හැම දේම දැන ගන්න පුළුවන් වුනා.. මේවට සම්බන්ධ ඩොක්ට ඩී ආර් අල්මේදා කියලා කෙනෙක්. 
දවසක් හවසක නිශ්ශංක ඇමතිතුමා ආවා නිවාසෙට. පැය ගානක් මැඩම් එක්ක කථා කර කර හිටියා.. මම ඒ මනුස්සයව දැක්කෙ එදාමයි. මහ වනචර මනුස්සයක්. මාව දැකලා එකේක ඒවා කිව්වා.
මැඩම්ට කිව්වා මම මෙහෙ ඉන්න ඕනෙ කෙනෙක් නෙමේ එයා ලග වැඩට එවන්න කියලා.. 

හෙට උදේ එයාගෙ වාහනයක් එවන්නම් කියලා කිව්වා මට එන්න... ඒ කියන දවසෙ තමයි උමේශිව ගෙනියන්නත් මැඩම්ලා ලෑස්ති වෙලා හිටියෙ. ඒත් ගෙනියන තැන මට දැන ගන්න බැරි වුනා... මොකද ඒ දවසෙ මම ඇමති ලඟ වැඩට යන්න ඉන්න නිසා එයාලගෙ ගමන ගැන මට කිව්වෙ නෑ.. 
මැඩම් නම් කැමති වුනේ නෑ මාව යවන්න. ඒත් ඇමතිගෙ ඉල්ලීම එයාට අහක දාන්න බැරි නිසා මාව යවන්න එකඟ වුනා..
එදා හවස මම ටවුන් ගියා එලවලු  ගේන්න කියලා.. මට ඕන වුනේ උපුල් අයියට ඔත්තුව දෙන්න. සම්පත් හම්බවෙලා හැම දේම කිව්වා.. හෙට ගමනෙදි උපුල් අයියලා මැඩම්ලව ෆලෝ කරයි.

1989 May 26

උදේ මැඩම් ගියා කපිලත් එක්ක උමේශිව අරගෙන. මට අද මෙහෙන් පැන ගන්න ඕන වුනා ඇමතියගෙ වාහනේ මාව ගෙනියන්න එන්න කලින්. 
මම ඒ දරුවො දාලා යනවා කියලා හිතෙනකොට මගෙ පපුව පිච්චුනා වගේ වුනා.. ඒත් එයාලව බේර ගන්න මම දැනටමත් ඔත්තුව දීලා තිබුනෙ. උපුල් අයියලා උන්ව කොටු කර ගනී සාක්ෂි එක්කම. 
ලීලා එහෙ මෙහෙ වෙනකන් ඉදලා මම එතනින් පැන ගත්තා. මම සම්පත්ව හම්බවෙන්න ගියා.. සම්පත් කිව්වෙ මම මේ වෙලාවෙ උඩවලින් ඈත ක ඉන්න එක හොදයි කියලා.. 

මම දහ අතේ කල්පනා කලා කොහෙද යන්නෙ කියලා.. මට ප්‍රියන්තිව මතක් උනා.. ස්කූල් කාලෙ මගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ්. මම එහෙ ගිහින් තිබුනා ඒ කාලෙ. මාදත්තෙ. මම උඩවල ස්ටේෂන් එකෙන් ට්‍රේන් එකේ මෙහෙ ආවා.. ප්‍රියන්තිලගෙ ගෙදර මම දැන් ඉන්නෙ.. රංවලව්වෙ.  ප්‍රියන්තිට වත් මම තාම විස්තරේ කිව්වෙ නෑ.. මට දැන් ඕනෙ අර මිනිස්සු පොලීසියට කොටු වුනාද.. මොකද වුනේ කියලා දැන ගන්න.. 

****************************

මට සුසුමක් හෙලුනේ ඉබේටමයි. එතැනින් පසු ආශාගේ දින පොතෙහි කිසිදු සටහනක් නොවූයේ ය. ඉන් පසු කුමක් සිදු වන්නට ඇත්ද.. ඇය දිනපොත ලිවීම නතර කලේ කුමක් නිසාද.. ඒ මිනිසුන්ගෙන් ආශාට අනතුරක් සිදුවූයේ ද.. එසේත් නැතිනම් දැන් ඈ සිටින්නේ කොහේද.. 

එසේ දහසකුත් ප්‍රශ්න මගේ සිතිවිලි මත සැරි සැරුවේ ය.
සවස දිනුක පැමිනි පසු මා එය ඔහුටත් පෙන්විමි. 

"කොහොම උනත් මටත් මේකෙ අවසානෙ දැන ගන්න ඕනෙ.. මම නැන්දට කෝල් එකක් දීලා අහන්නම් ආශා ට මොකද වුනේ කියලා.."

ආශාගේ නම සහිත ඩයරියක් නිවසින් හමු වූ බව පමනක්ම දිනුක නැන්දාට කියා ඇය ගැන විස්තර ඇසුවේ ය.. 

නැන්දා ආශා ගැන කියනු මා ද අසා සිටියෙමි.

"ආශාගෙ අම්මයි තාත්තයි දෙන්නම ඇක්සිඩන්ට් එකකින් නැති වෙලා තියෙන්නෙ එයා පුංචි කාලෙම. ආශාට මල්ලි කෙනෙක් ඉදලා තියෙනවා. එයා මන්ද මානසික දරුවෙක්. අම්මලා නැති වුනාට පස්සෙ දරුවො දෙන්නා ඉදලා තියෙන්නෙ එයාලගෙ මාමා ලඟ.. ඒත් මේ මාමට පවුලත් එක්කම රට යන්න හම්බවෙලා.. ඒ නිසා ආශාගෙ මල්ලිව ලමා නිවාසෙකට බාර දීලා ආශාව අපේ ස්කූල් එකේ හොස්ටල් එකේ නැවැත්තුවා. 

ආශාට වියදම් එව්වා ඒ මාමා. හොදට ඉගෙනගෙන ආශා කැම්පස් එහෙමත් ගියා. අවුරුදු ගානකට පස්සෙ දවසක අපේ ගෙදර ආවා. ටික කාලෙකට නවතින්න පුලුවන්ද ඇහුවා. එයාගෙ ලොකු වෙනසක් මම දැක්කා. ඒත් ඇහුවට මුකුත්ම කිව්වෙ නෑ.. නිතරම කල්පනා කර කර හිටියෙ. මොකක් හරි ප්‍රශ්නෙක එයා හිටියෙ කියලා මට තේරුනා..

ඊට දවස් තුනකට පස්සෙ උඩවල ගිහින් එන්නම් කිව්වා.. 
ඒ ගිය ගමන... එයා අපහු ආවෙ නෑ.. ආශාත් අම්මයි තාත්තයි වගේම ඇක්සිඩන්ට් එකකින් නැතිවෙලා තිබුනා එදා... "

ප්‍රියන්ති නැන්දා දිනපොතක් ගැන දැන සිට නැත.. ඇතැම් විට ආශා විසින් මෙය ලාච්චුවට දැමූ දිනයෙන් පසු කිසිවෙකුත් නැවත එය ගෙන නැතුවා විය හැක.

"දිනුක, මට නම් හොදටම ෂුවර් ආශාගෙ ජීවිතේ නැති කරපු එක අර ඇමතිගෙ වැඩක්. නැත්නම් මැඩම් කියන කෙනා කියලා කරවපු එකක්.."

"නිලූ, අපි මේ වීකෙන්ඩ් එකේ උඩවල යමු. අර ඕඅයිසී සර් ගෙන් විස්තර දැන ගන්න පුළුවන් වෙයි. "

සෙනසුරාදා උදෑසනම දිනුකත් මමත්  උඩවල බලා පිටත් වීමු. අප පලමුවෙන්ම ගියේ උඩවල පොලිස් ස්ථානයටයි.. 

"මීට අවුරුදු විසි හතකට විතර කලින් මෙහෙ උපුල් කියලා ඕඅයිසී මහත්තයෙක් හිටියා.. එයා ගැන විස්තරයක් දැන ගන්න පුලුවන්ද.."

දිනුක විමසුවේ ය.. 

"උපුල්.. "
පොලිස් නිලධාරියා මදක් කල්පනා කර එවැනි කෙනෙකු නොදන්නා බව පැවසුවේය.. ඔහු තවත් නිලධාරීන් දෙදෙනෙකුගෙන් ද විමසුවේය..

"ඒ සර්ගෙ මහ ගෙවල් මෙහෙ තමයි.. "

මා ඔවුන්ට පැවසූයෙමි.

"ආ ඔය කියන්නෙ ඕඅයිසී තිලකරත්න ගැන වෙන්න ඕනෙ. සර් නම් දැන් රිටය(ර්) වෙලා.. "

එතැන සිටි තවත් නිලධාරියෙකු පැවසුවේ ය.. 
අප ඔහුගේ ලිපිනය ඉල්ලා ගතිමු.. මීලගට අප ගියේ ඔහුගේ මහ ගෙදරටයි..

"මිස්ට උපුල්.."

"ඔව්.. ඒත් මම මේ කල්පනා කලේ...  මට ඔය ලමයින්ව දැකලා නම් නෑ.. එන්නකො ඇතුලට.. "

ඔහු විමසිලිමත්ව අප දෙස බලමින් පැවසුවේ ය..
ආශාගේ දිනපොත අප කියවූ තැන සිට අප ආශාගේ විස්තරය ඔහු හමුවේ පැවසුවෙමු. 

ම්ම්.. මගේ රස්සාවටත්  බලපාපු ප්‍රශ්නයක් ඕක.. ට්‍රින්කො වලට මාරුවක් හම්බ උනා ඒ කාලෙම. ඇමතිගෙ නියෝග වලට වුන දෙයක්.. "

"සර්, ආශාගෙ මරණෙ සිද්ද කරලා තියෙන්නෙත් මේ ඇමතිතුමා ද.."

මගේ සිතේ නැගී තිබූ ප්‍රශ්නය මා ඔහුගෙන් කෙලින්ම ඇසුවෙමි.

"ම්හ්.. නැහැ.. ආශාගෙ මරනෙ සිද්ධ වෙනකොටත් මම මෙහෙ.. එදා මගෙ හිතටත් ඔහොම සැකයක් ආවා තමයි.. ඒත් ඒක නිකන් ඇක්සිඩන්ට් එකක් විතරයි. ඒක මට ස්ථීරව කියන්න පුලුවන්. "

"එදා අපි ඔය කියන මැඩම්වයි ඩොක්ට අල්මේදා යි, කපිල ද කොහෙද කියලා මනුස්සයෙක්වයි ඇරෙස්ට් කලා.. ඒත් නිශ්ශංක ඇමතිතුමා ඇප දීලා උන්ව  බේර ගත්තා... මගේ මාරුව ආවෙ ඊට දවස් පහකට පස්සෙ.. "

"එතකොට සර් ඒ ලමා නිවාසෙ තාමත් තියෙනවද..."
දිනුක විමසුවේ ය..

"ඔය සිද්ධියෙන් අවුරුද්දකට පස්සෙ..  මගෙ මතකෙ විදිහට අනූ එකේ.. බෝම්බ සිද්දියක් වෙලා නිශ්ශංක ඇමතිතුමා මැරුනා.. ඔය ලමයි ගොඩක් පොඩි ඇති ඒ කාලෙ. ඒ නිසා මතකයක් නැතුව ඇති. නැත්තං ඒ කාලෙ පත්තරවල නිව්ස් වල හරි හරියට ගියා ඒ සිද්දියත්.

ඇමති මැරුනට පස්සෙ ලමා නිවාසෙ කර ගෙන යන්න විදිහක් නැතුව වහන්න වෙලා.. ලමයි ටික රජයෙ ආබාධිත පාසලකට දැම්මලු.. කොහොම හරි මම මාරුව හදාගෙන ආයෙත් මෙහෙ එද්දි ලමා නිවාසෙ වැහිලා.."

"එතකොට අල්විස් මැඩම්..? "
මා විශ්මයෙන් විමසුවෙමි.. 

"ඒ මනුස්සයා කොහෙ ගියාද කියන්න කවුරුවත් දැනගෙන හිටියෙ නෑ අවුරුදු ගානක් යනකන්.. අපේ මල්ලි සම්පත් මැරි කරේ ඩොක්ට කෙනෙක්ව.. 
ඒ නංගි කාලයක් වැඩ කලේ මහරගම හොස්පිට්ල් එකේ.. දවසක් එහෙ ගිය වෙලාවක මල්ලි දැකලා තියෙනවා ඔය කියන අල්විස් මැඩම්ව.. 
මල්ලිට හැඩරුව මතක තිබුනත් ස්ථීරයක් තිබිලා නෑ ඒ මනුස්සයමයි කියලා.. ඒත් නම හොයලා බැලුවම එයා තමයිලු.. පිලිකා රෝහලේ අවුරුදු කීපයක් විදව විදව ඉදලා මැරිලා ගිහින් කියලා තමයි පස්සෙ ආරංචි වුනේ." 

නීතියේ දඩුවම් වලින් බේරි බේරි හිටියට ස්වභාව ධර්මයේ දඩුවම් වලින් එයාලට බේරෙන්න බැරි වුනා දරුවො.. "

අප ඔහුගෙන් සමුගෙන මාදත්ත බලා පිටත් වීමු.. අපට මතුව තිබූ සියලු ප්‍රශ්න වලට පිළිතුරු ලැබූ බව පෙනෙන්නට තිබුනත්, තවත් එකම එක ප්‍රශ්නයක් මගේ සිතෙහි ඉතිරිව තිබිනි.. යන අතරමගදී මා එය දිනුකට ඉදිරිපත් කලෙමි..

"දිනුක..
ඔයාට හිතෙනවද ආශා ජයවර්ධන මේ ආත්මෙදි  මම වෙන්නැති කියලා.. "

"ම්ම්.. ඒක මට හරියටම කියන්න බැහැ නිලූ.. ඔයා එයාගෙ මේ ආත්මය  කියලා ඔයාට හිතෙනවද.. මම අහන්නෙ මේ සිදුවීම් ඔයාට සමීපයි කියලා හිතෙනවද.. " 
ඔහු මගෙන් විමසුවේ ය..

"නෑ. මට එහෙම හිතෙන්න බලපාපු එකම කාරණය අර හීනෙයි, මම වලව්වෙ නම කිව්ව එකයි විතරයි. ඔයා ඇහුවා වගේ ඒ සිදුවීම් වල හුරු ගතියක් මොනවත් දැනුනෙ නැහැ මට.. "

මට ආශා වෙනුවෙන් යමක් කිරීමට අවශ්‍ය විය.. මා එය දිනුකට පැවසුවෙමි..

"දිනුක.. අපි මාදත්තෙ ගෙදර දානයක් දෙමු.. ආශාගෙ මල්ලි, ආශා .. එයාලා වෙනුවෙන් එහෙම දෙයක් කරන්න කවුරුවත් හිටියෙ නැහැනෙ.. "

අවුරුද්ද අවසානයේ ප්‍රියන්ති නැන්දා නිවාඩුවට ලංකාවට ආ පසුවම උපුල් අංකල් , සම්පත් අංකල් ටත් ආරාධනා කර මාදත්තෙ ගෙදර එසේත් නැතිනම් රංවලව්වේ ආශාත් ඇගේ මල්ලීත් වෙනුවෙන් අපි දානමය පිංකමක් සිදු කලෙමු.. 

--------------------------------------------
(සමාප්තයි.)