Saturday, November 26, 2016

පුතුන් එන තුරු..

පුතුන් එන තුරු.
-----------------------------
"අත්තම්මෙ.. මේ...මං ඔයාව ඇන්දා.. "
චූටි පුතා මං ලගට ආවෙ එයාගෙ චිත්‍ර පොත මට පෙන්නන්න..
"හරි ලස්සනයි මයෙ පුතේ.. "
මං දරුවගෙ ඔලුව අතගාන ගමන් කිව්වා..
පොඩි එකා මාව ඇදලා තිබුනා හරි අපූරුවට.. තාත්තා වගේම චිත්‍ර කලාවට හපනෙක්.
මට මතක් වුනේ ඉෂංක ව.. මගෙ ලොකු පුතා.. මේ ලොකු පුතාගෙ පොඩි දරුවා.. තාම දෙකේ පන්තියෙ ඉන්නෙ..
පුතයි, පුතා බැදපු දුව නිමාලි යි ගෙදර එනකං මං තමයි දරුවො දෙන්නව බලා කියාගෙන ඉන්නෙ.. දවස ගෙවෙනවා තේරෙන්නෑ ඉතිං...
වෙලාව පහට කිට්ටුයි පුතාලා එන වෙලාව.. වතුර උණු කරන්න තියෙන නිසා මං කුස්සියට ආවා..
මේ දවස් ටිකේ හතිය වැඩී මට.. බේත් ගන්න පුතාට කියන්නයි හිටියෙ ඊයෙ.. ඒත් පුතා මහ රාත්තිරියෙ ගෙදර ආවෙ.. ඔපීසියෙ වැඩ වැඩි මේ දවස් ටිකේ කියලා නිමාලි දුවත් එක්ක කියනවා මං අහගෙන.. ආව ගමං කාමරේට ගියා.. මට ඉතිං කරදර කරන්න හැකියැ නැහිලා ආපු දරුවට..
මඩුවෙ දරයක්කත් නෑ.. පළන්නෙ කොහොමද දැං.. මට හති නෙ..
පොඩි දරුවො දෙන්නගෙ ඇග හෝදන්න උනු වතුර තියන්න ඕනෙනෙ.. ගෑස් ලිපේ තියන්නං...
මගෙ දරුවො තුං දෙනාම මේ දරුවොංගෙ වයසක් වෙද්දි හැංදෑ ජාමෙත් ඇලේ දොලේ නටලා නෑවෙ.. දෙයියංගෙ පිහිටෙන් ඉහෙං බහින රෝගයක් තිබුන්නෑනෙ..
වාහනේක සද්දයක් ඇහුනා පුතාලද කොහෙද.. දුව විතරයි.. පුතා අදත් රෑ වෙනවා මයෙ හිතේ..
"අම්මෙ!! මං කියලා තියෙනවනෙ මෙහෙම ගෑස් නාස්ති කරන්න එපා කියලා.. වතුර උනු කරන්න එලියෙ ලිප පත්තු කර ගන්න තිබුන්නැද්ද.."
නිමාලි ගෙදර ආපු ගමන් කෑ ගැහුවා..
"පුතේ දර පලන්න අමාරුයි අද.. මගේ හැති වැඩි වෙලා.. "
"ඉෂංක මොන කරුමයක් ද මන්දා මේ වහල අස්සෙ තියාගෙන... ගෙට ගොඩ වෙනකොටම මගෙ යකා අවුස්සනවා..."
නිමාලි දු මට බැන බැන ගේ ඇතුලට ගියා.. මං ඉක්මන්ට ලිප නිව්වා.. මගෙ වැරැද්ද තමා.. ගෑස් ගනං නිසා දූට කේන්ති යන එක සාධාරනයිනෙ.. අපරාදෙනෙ දර තියෙද්දි..
මං පොරව අරං ගිහිං පුලුවං විදිහට හිමිං දර ටිකක් පැලුවා.. ලිපට පිබිද්දි මගෙ පපුව හුගක් රිදෙනවා..
අදත් බේත් ගන්න යන්න පුතාට කියන්න විදියක් නෑ.. ඊයෙටත් වඩා රෑ වුනා එද්දි..
කෑම කාලා මං වළං ටිකත් හෝදලා දැම්මා හිමීට.. හයියෙං වැඩ කරන්න අමාරුයි අද.. මං උස්ම ගන්න සද්දෙ මටම ඇහෙනවා රාං රෑං ගාලා..
රෑ වෙලා පුතා මගෙ කාමරේට ආවා..
"අම්මෙ.. "
අනේ මයෙ පුතාට මං කිව්වෙ නැති වුනාට මට අමාරුයි කියලා දැකලා බේත් අරං දෙන්න යන්න කථා කරන්නවත් ද.. කියලා මට හිතුනා..
"අම්මෙ.. නිමාලි වැඩ ඇරිලා නැහිලා එන වෙලාවට එයාගෙ කේන්ති ඇවිස්සෙන වැඩ කරන්න එපා.. අම්මත් පොඩි එකෙක් වගේ වෙන්න හදන්න එපා. මං කැමති නෑ අම්මා හින්දා මගෙ පවුල් ජීවිතේට ප්‍රශ්න ඇති වෙනවට.. "
පුතා හිමීට කිව්වා... 
පුතා ඉස්සරහ මගෙ ඇස් වල කදුලු ගෙඩි එලියට පනින්න දෙන්නැතුව මං ඉවසගෙන හිටියා..
පුතා කාමරෙං ගියාට පස්සෙ ඒ කදුළු  ගෙඩි වලට වැටෙන්න මං ඉඩ දුන්නා.. මගෙ පපුව ඇතුලෙං වාවන්නැතුව ගියා.. ඒත් අඩන්න පුලුවංකමක් තිබුන්නෑ මම උස්ම ගන්න එකත් මේ වෙලාවෙ කරේ හරි අමාරුවෙං හිංදා..
පුතාගෙ ජීවිතේට යහපතක් වෙනවා මිසක් අයහපතක් වෙන්න තුං හිතකින් වත් හිතලා නෑ මං..
පුතාලගෙ තාත්තා නැති වෙනකොට පොඩි පුතාට අවුරුදු පහක් විතර ඇති මගෙ හිතේ..
අපේ ලොකු ම දරුවා දෝනි.. එයා බැන්දට පස්සෙ ඕස්ටේලියාවෙ ගියානෙ.. ගිහින් අවුරුදු පහලොවක් දැං.. මගෙ කෙල්ලව මට දකින්න ආසයි.. එයාටත් දරුවො දෙන්නෙක් ඉන්නවා.. මගෙ දෝනිට දරුවො හම්බ වෙනකොට ළගිං ඉන්න මට ඕනෙ උනා.. මං හීන  දැක්කා.. ඒත් දෝනි මගෙං ගව් ගානක් ඈත.. මං යන්නෙ කොහොමද..
ඒ කාලෙම මෙහෙ පුතාලා කොම්පියුටරෙං ඒ දරුවොංගෙ පොටෝ බලනවා මං අහම්බෙන් දවසක දැකලා බැලුවා.. මයෙ ඇස් වල කදුලු පිරුනා..
මේ මම ඉන්නෙ මගෙ දෙවනි දරුවගෙ ගෙදර.. මහ ගේ මං තනියෙං ඉන්න හැදුවම ඉන්න දුන්නෑනෙ..
පුතාලා වැඩට ගියාම මෙහෙ පොඩි දරුවො දෙන්නව බලා ගන්න වැඩට ගෑනු අය ගෙනාවා.. ඒත් දූට හරි ගිහිල්ලා නෑ ඒ කවුරුවත්. අන්තිමේ පුතා මාව මෙහෙ ගෙනාවා..
පොඩි පුතා ත් මට හරියට කරදරේ එහෙ එන්න කියලා..
කොට්ටෙට ඔලුව තියාගෙන ඇල වුනාම උස්ම ගන්න කොහොමත් අමාරුයි.. ඒ නිසා මම ඇද උඩ ඉඳ ගෙනම හිටියා...
පුතා දවසක් කේන්තියෙන් ගෙදර ආවා.. කෙලින්ම ආවෙ මගෙ කාමරේට..
"මේ අම්මා කරන වැඩ නිසා මල්ලිගෙ කථා අහන්න ඕනෙ මම..
පුතා සැරෙං කෑගැහුවා.."
"ඇයි පුතේ.. "
"ඇයි... හැයි තමයි. මල්ලි කියනවා මම අම්මව මෙහෙ තියං ඉන්නෙ මහ ගේ ලියා ගන්නලු.. ඒක විකුනලා සල්ලි හරියට බෙදලා දුන්නනං ප්‍රශ්න ඇති වෙන්නෑනෙ.. "
මොකක් කියන්නද කියලා හිතා ගන්න බැරුව මම බලාන ඉද්දි නිමාලි දූත් කාමරේට ඇවිත් කියපු දේ මට උහුල ගන්න බැරි වුනා..
"සහෝදරයො ගහ මරා ගන්නකන් බලන් ඉන්නවා කුනුකමට ගොඩ ගහගෙන. යනකොට අරන් යනවනෙ.. "

"පුතා ඒක විකුනන්න ලෑස්ති කරන්න.. "
මම අන්තිමේදි කිව්වා..
මගෙ දරුවොංගෙ සතුටයි සමගියයි තරං මට කිසි දෙයක් වටින්නෙ නෑ.. කවදා හරි දරුවොංට කරදරයක් නොවී වැටිලා ඉන්නයි මං ගේ තියං හිටියෙ.. මගෙං පස්සෙ  මගෙ දෝනිට ගේ ලියන්නයි හිතං හිටියෙ.. ඒ දරුවා ලංකාවට ආපු දවසක ඉන්න.. පුතාලටනං ගෙවල් තියෙනවනෙ..
එකපාරටම ලොකු පුතා කියපු කථාව නිසා මං හිතන් හිටපු විදිහට කරන්න වෙන්නෑ.. ලොකු පුතයි පොඩි පුතයි ගේ නිසා සන්ඩු වුනොත් දෙන්නම මට සාප කරයි. මගෙ දරුවො විරසක වෙන්න හේතුවක් වෙන්න ඕනෙ නෑ මට.. ගේ විකුනලා හම්බ උන සල්ලි තුනට බෙදන්න ලොකු පුතා ඉඩ දුන්නෙ නෑ.. 'අක්කා ආයෙත් ලංකාවට එන්නෙ නෑ.. මල්ලි මමයිනෙ අම්මා බලා ගන්නෙ ඒ නිසා අපි දෙන්න බෙදා ගන්නවා' කියලයි කිව්වෙ.. ඒත් මගෙ දෝනි කවදා හරි එයි කියලා මං බලාන ඉන්නවා..
ගේ විකුනලා මාසෙකිං විතර  ලොකු පුතා කිව්වා පොඩි පුතාලගෙ  ගෙදර ගිහිං මට ටික කාලයක් ඉන්නයි කියලා..
දවසක් පොඩි පුතා ආවා මාව එක්කං යන්න. පොඩි පුතා ලඟත් ඉන්න හම්බුන එක ගැන මං හරි සංතෝසෙං හිටියෙ.. මගේ බඩු ටිකත් පුතාම වාහනේට දාගත්තා.. නිමාලි දූ කෑම පාර්සලේකුත් මගෙ බෑග් එකට දැම්මා.. පව්!. ඉන්න කාලෙ මට දොස් කිව්වට මං යන එක ගැන දුක ඇති.. කෑමත් හදලා.. එහෙ දුවත් කෑම හදලා ඇති...
අපි ටික දුරයි ආවෙ.. පුතාගෙ වාහනේ මොකද්ද ලෙඩක් කිව්වා..  පුතා කිව්වා වාහනේ යාලුවෙක්ගෙ ගෙදර දාලා එහෙන් වාහනයක් අරන් එනකන් මට ඒ ලඟ හෝල්ට් එකට වෙලා ඉන්න කියලා... බෑග් එකත් දුන්නා..
පුතා එනකං මං බලං හිටියා හවස්  වෙනකංම.. මගෙ පපුව පත්තු වුනා.. දරුවට එන්න බැරිවුනේ මොකක් හරි කරදරයක්ද කියලා මං බය උනා.. ගොඩක් රෑ වුනා.. මං හෝල්ට් එක ඇතුලට ගියා.. දූ දීපු කෑම පාර්සලේ මතක් වෙලා මම බෑග් එක ඇරියා.. බෑග් එකේ උඩම රුපියල් දාහක් තිබුනා.. සල්ලි.. ඒ මොකටද..? දරුවා මාව දාලා ගියේ හිතා මතාමද කියලා මහෙ හිත ඇහුවා.. නෑ.. මගේ දරුවො එහෙම නෑ.. මට කෑම එක කන්න හිතේ කැමැත්තක් තිබුනෙ නෑ.. දරුවට මොකක් හරි කරදරයක් ද දන්නෑ..
මං දවස් හතරක් එතැන හිටියා.. මගෙ පුතා ආවෙ නෑ..
ඒත් එක දවසක් මම ඈතට දැක්කා පුතාගෙ කාර් එක එනවා.. මං හොදටම දැක්කා මගෙ පුතා ඉස්සරහ සීට් එකේ ඉන්නවා.. එකපාරටම මගෙ පැත්ත බලලා ඒ කලු වීදුරු වැහුනා..
අන්තිමේ දවසක් පොලීසියෙ මහත්තුරු දෙන්නෙක් ඇවිත් මගෙන් විස්තර ඇහුවා.. මට ඒ වෙනකොට තේරිලා තිබුනෙ පුතාලා මාව ඇත්තටම දාලා ගිහින් නේද කියලා.. ඒ මහත්තුරු විස්තර ඇහුවා මගෙන් දරුවො ගැන. මං කිව්වා මට මතකයක් නෑ කියලා.. මගෙ  දරුවොං ව පොලීසියට ගෙනැල්ලා බනීවිද කියලා මට හිතුනා. දරුවොංට ලැජ්ජ කරනවට මං කැමති වුනේ නෑ..
මට හොදටම අමාරු වෙලා තිබුනෙ.. මට  ඊට කලිං රෑ එක ඩිංගක් ඇහැ පියා ගන්න වුනේ නෑ උස්ම ගන්න අමාරු නිසා..
මහත්තුරු මාව ඉස්පිරිතාලෙට ගෙනිච්චා.. ඊට පස්සෙ කෙලිංම නිවාසෙකට.. ඒකෙ මං වගේ අම්මලා තාත්තලා ගොඩක් හිටියා..
අපි හැමෝටම තිබුනෙ එකම වගේ කථා..
දරුවො ගොඩක් පුංචි කාලෙ දරුවොංගෙ තාත්තා නැති වුන නිසා මගේ දෙමව්පියො හරියට බල කෙරුවා තවත් කසාදයක් කර ගන්ට.. එකේක මිනිස්සු කරකැවුනා එකේක යෝජනා අරගෙන.. මගෙං ඒ කිසි එකකට ඉඩක් ලැබුන්නෑ.. මං මගෙ දරුවො තුං දෙනා ලොකු කර ගෙන හොදට ඉගැන්නුවා කිසි කෙනෙක්ගෙං කථා අහන්නැතුව..
අපිට මෙහෙ දාන හම්බවෙනවා.. තරුන දරුවො ඇවිත් අපේ වැඩ කරලා කෑම දීලා අපිත් එක්ක සිංදු කියලත් යනවා.. අපි හැමෝටම අපේ දරුවො මතක් වෙලා ඇස් වලට කදුළු එනවා ඒ වෙලාවට..
එක දවසක් විස්ස විද්දියාලෙක දරුවො කාන්ඩයක් ආවා.. අනේ මගෙ ලොකු මුනුබුරත් එතන ඉන්නවද කියලා මං බැලුවා.. එයත් විස්ස විද්දියාලෙ ගියානෙ.. ඒත් ඒ දරුවා හිටියෙ නෑ.. විස්ස විද්දියාල මහ ගොඩක් තියෙනවනෙ ..
අක්කා කවදාවත් ලංකාවට එන්නෑ කිව්ව කියලා පුතා කිව්වට,
දෝනි කවදා හරි ආවොත් මාව අරං යයි කියලා මං බලාගෙන ඉන්නවා.. නිමාලි දූගෙ වුනත් තරහ නැති වුන දාක පුතාට කියාවි මාව ආපහු ගේන්න කියලා.. මං බලං ඉන්නවා පුතාලා එනකං..
(සමාප්තයි.)
********************************
මෙය මා සත්‍ය සිදුවීමක් ඇසුරින් ලියන ලද්දක් නොවේ..
නමුත් මෙවැනි සිදුවීම් අද සමාජයේ සිදු නොවනවා ද නොවේ..
                                    ~මුදී~
*********************************

5 comments:

  1. අදයි මේ පැත්තෙ ආවේ..
    හරිම සංවේදි කතවක්..හුගක් අම්මල තාත්තල අද මහලු නිවාස වල තනිවෙලා.දරුවො කාටවත් අම්මා තාත්තා ගැන හිතන්න වෙලා නැතිවෙලා.

    ReplyDelete
    Replies
    1. අනාගතයෙදි මේ ප්‍ර්‍රවනතාව තව වැඩි වේවි නේද... :(

      Delete
  2. සමහර දෙමාපියන්ගේ ජිවිත වල යථාර්තය ඔබ බොහොම අපුරුවට ලියල

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පොකුරු....

      Delete