Tuesday, January 24, 2017

පිටසක්වල තරුණිය "නීන්" 10 කොටස…       

පසුගිය කොටසින්..
°°°°°°°°°°°°°°°°°°°°

'මොකද්ද මේ සිද්ධ වුනේ.. ඒ කියන්නෙ නීන් කරපු හැම දෙයක්ම එයාගෙ මායාවක්. මම රැවටුනා.. මගේ ලෝකෙ මනුෂයන්ගෙන් එයාට අනතුරක් වෙයි කියලා මම එයාගෙ ලෝකෙට යන්න නීන්ට උදව් කලා...  ඒත්.. ඒත් මාව උගුලක පටලලා එයාගෙ ලෝකෙ ජිවීන්ට මාව අහු කරා.. ඒක නීන්ගෙයි අර කේල් කියන එකාගෙයි ගනුදෙනුවක්! '

දිනුක බොහෝ වේදනාවෙන් සිතුවා..

'කොහොමද මම මෙතනින් පැන ගන්නෙ.. මොකටද මාව ගේන්න ඇත්තෙ..'

°°°°°°°°°°°°°°°°°°°°
එතැන් සිට...

මඳ වේලාවක් ගත වන විට එක් ජීවියෙකු පාෂාන වලින් සෑදූ බඳුනකට දමා, කොළ පැහැති දියරයක් දිනුක අසලින් තබා ගියා..

"මේ මොනවද මේ.. ආ... යුෂ වෙන්න ඇති.. නීන් කිව්වෙ එයාලා ආහාරයට ගන්නෙ යුෂ කියලා. "

තරමක කුස ගින්නක් තිබුන බැවින්,  දිනුක එයින් ස්වල්පයක් ගෙන මුවෙහි දමා ගත්තේ එහි රසය කෙබඳු දැයි ප්‍රථමයෙන් දැන ගැනීමටයි..
කටට ගත් විගසම එය කාරා කෙල ගැසූ දිනුක මුහුණ ඇඹුල් කර ගත්තා. 

"මේ මොන ජරාවක්ද.. "

එක්වරම යමෙකු පිටුපසින් පැමින දිනුකගේ මුව වැහුවා..

"ෂ්.. කැ ගහන්න එපා.. කේල් එයි. "

ඒ හඩ නීන්ගෙ. ඉන් පසු ඈ එම ග්‍රහනය බුරුල් කලා..

"නීන් මට කියන්න ඇයි මෙහෙම දෙයක් කලේ..?? උන් මට මොනවද කරන්න යන්නෙ..?  "

දිනුක කෝපය මුසු හඩින් නීන්ගෙන් ඇහුවා.

"මට සමාවෙන්න.. වෙන කරන්න දෙයක් තිබුනෙ නෑ..

මම ඔයාට කියපු දේවල් සම්පූර්ණයෙන් බොරු නෙමෙයි.. මගේ ලෝකෙට පිටසක්වලින් යානයක් වැටිලා තියෙනවා. ඒක පරීක්ෂා කරලා මගෙ තාත්තට අදහසක් ඇවිත් ඒ වගේ යානයක් හැදුවා. තාත්තා පෙම්ලෝ කුට්ටියට ගියා.. ඒ සේරම ඇත්ත..

මගේ සහෝදරයා ජොම්, තාත්තව හොයන්න යන්න යානයක් හැදුවා.. තැනිතලාව ළග ගබඩාවෙදි ඒක කේල්ට අහු වුනා..

කේල් තමයි අපේ ජනපදයෙ නායකයා. එයාට නොදන්වලා කිසිම දෙයක් කරන්න බැහැ..

ජොම් හදපු යානෙ කේල් දැක්කට පස්සෙ ජොම්ගෙ අත් දෙක කපන්න අණ කලා කේල්. :'( ඒවා හැදෙන්න තව ගොඩක් කල් යයි.. "

නීන් හඩමින් කිව්වා.

"ආයෙත් හැදෙන්න? "
දිනුක විෂ්මයෙන් ඇහුවා

"ඔව්. ඇයි මොකද්ද ඒකෙ පුදුම වෙන්න තියෙන දේ..?"

දිනුක කිසි දෙයක් කිව්වේ නැහැ.. නීන් කල දෙයින් පසු ඔහු තව දුරටත් ඇයව විශ්වාස කලේ නැහැ..

"තාත්තා යානය හදන කාලෙ අපේ නායකයා වෙලා ඉඳලා තියෙන්නෙ හල්ම් කියලා කෙනෙක්. එයා ගොඩක් හොඳ නායකයෙක්ලු..  තාත්තගෙ යානය ක්‍රියාත්මක කරවන්න හොඳම පාෂානය ලබා දීලත් තියෙන්නෙත් ඔහු.

ඊළඟට ජනපදයෙ නායකයා වෙන්න හල්ම් නම් කරලා තිබුනා දෙන්නෙක්. එක්කෙනෙක් තමයි මේ කේල්. අනිත් කෙනා මගෙ තාත්තා... වැඩියෙන් දක්ෂකම් දක්වන කෙනාට තමයි ඊළඟට නායකයා වෙන්න අවස්ථාව ලැබෙන්නෙ..
මගේ තාත්තා පෙම්ලො කුට්ටියට ගිහින්. ඒත් ආපහු ආවෙ නැහැ. :(

කේල් අපෙන් ප්‍රශ්න කලාම අපිට කියන්න වුනා ජොම් මේ යානය හැදුවෙ තාත්තව හොයා ගන්න යන්න කියලා.. කේල් අපේ යානය විනාශ කරන්නයි හැදුවෙ.. ඒත් කේල්ට මේ අදහස ආවා..

අපේ අතීත ජීවීන් පාෂාන වල ලියලා තියෙනවා ඒ කාලෙ වැදගත් සිදුවීම්... ඒ අතරෙ පිටසක්වල ජීවින් සතු දැනුම, ශක්තිය වගේ දේවල් ගැනත් ලියවෙලා තියෙනවා.. පිටසක්වල ජීවීන් සතු දැනුම, ශක්තිය උරා ගන්න අපේ ලෝකේ ඕනම ජීවියෙක්ට හැකියාව තියෙනවා. ඒක අපිට උපතින්ම ආපු දෙයක්.. ඉතින් කේල්ට ඕනෙ වුනා මේ ලෝකෙ විතරක් නෙමේ අනිත් ලෝකවලත් බලවත්ම කෙනා වෙන්න..

කේල් නියෝග කලා මේ යානෙන් ගිහිල්ලා  පිටසක්වල ජීවියෙක්ව මෙහෙට ගේන්න.. ඒක පැවරුවෙ මට.. නැත්නම් ජොම්ගෙ වගේ මගෙත් අත් කපා දානවා කිව්වා.. "

නීන් ඇගේ කථාව කියන අතරතුර කේල් හෝ වෙනත් කිසිවෙක් උමඟට ඒ දැයි ඇය සැලකිලිමත් වුනා..

"නීන් එතකොට මොකද්ද කේල් අර පොරොන්දුවක් ගැන කිව්වෙ. ?"

සියල්ල හොදින් අසා සිටි දිනුක ඇහුවා..

"මම කේල්ගෙන් පොරොන්දුවක් ගත්තා. මම එයාට පිටසක්වල ජීවියෙක්ව ගෙනත් දුන්නට පස්සෙ මගේ තාත්තව හොයා ගන්න පෙම්ලො වලට යන්න ඉඩ දෙන්න කියලා...

යානය ක්‍රියාත්මක කරන හැටි මට කියලා දෙන්න එයා ජොම්ට අණ කලා.. මම ඔයාගෙ ලෝකෙට එනකොට ඒක දැනෙගෙනයි හිටියේ..  ඔයාව යානය ඇතුළට ගන්න හිතාගෙනයි නොදන්න විදිහට එහෙම දෙයක් කලේ.. "

"හහ්.. ඇයි ඔයා මාව මෙහෙට ගේන්න ඒ වගේ රැවටීමක් නොකර, බලයක් පාවිච්චි නොකලෙ නීන්..? "
දිනුක ඇහුවා..

"ගැහැණු ජීවීන්ට එහෙම බලයක් නැහැ. අපේ ලෝකෙ ඒ බලය තියෙන්නෙ පිරිමි ජීවීන්ට විතරයි..

එහෙම බලයක් තිබුනත් මට බෑ ඔයාට අනතුරක් කරන්න.. :( ඔයා හොද කෙනෙක්.. ඒත් තාත්තව හොයා ගන්න යන්න ඕනෙ නිසා, මට වෙන කරන්න දෙයක් තිබුනෙ නෑ.. " :(

✴✴✴✴✴✴✴✴✴✴✴✴✴✴

මීලඟ කොටසින් හමුවෙමු..

පිටසක්වල තරුණිය "නීන්" 09 කොටස…            

පසුගිය කොටසින්..
°°°°°°°°°°°°°°°°°°°°
මහාචාර්යවරුන් දෙදෙනා හැකි ඉක්මනින් ගල් පරය ආසන්නයට දිව්වා.. නමුත් ඒ වන විටත් නීන් යානය පනගැන්වීමේ දණ්ඩ දිනුක ලවා ක්‍රියාත්මක කරවා තිබුනා.. එක්වරම අහසට නැගි යානය නොපෙනී යනු මහාචාර්යවරුන් දෙදෙනා දෑස් විසල් කරමින් බලා සිටියා..
°°°°°°°°°°°°°°°°°°°°
එතැන් සිට...

"ෂික්. අපි තව විනාඩි පහක් දහයක් කලින් ආවා නං.. "
ප්‍රොෆෙසර් රණ්දෙනියට කියවුනා..

"දිනුක.. ඒ ලමයත් ගියා නේද.. ඒත් අර ජීවියාගෙන් බලපෑමක්වත් තර්ජනයක්වත් තියෙන පාටක් පෙනුනෙ නැහැ.. එහෙනම් කැමැත්තෙන්මද ගියේ.. මොකද්ද ඒකෙ තේරුම.. "
මහාචාර්යවරුන් කිසිත් තේරුම් ගත නොහැකිව බලා සිටියා..

                        ***
යානය නීන්ගේ ග්‍රහලෝකය මත පතිත වුනා.. නීන් ඉක්මනින් එයින් බැස ගත්තා..

‍යානය පන ගැන්වුනු විටම යානයේ ඇති වන සෙලවීම හැර යානය ගමන් ගැනීමේදී වෙනත් කිසිම දැනීමක් ඇති වෙන්නේ නැහැ. යානය නීන්ගේ ග්‍රහලෝකය වෙත පැමින ඇතැයි දිනුක සිතුවෙත් නැහැ..

"නීන් ඉන්න.. "

දිනුකත් යානයෙන් බැස ගත්තා.. දිනුක, ඔහු එක්වරම දුටු දර්ශනයෙන් භීතියෙන් ඇලලී ගත්තා.. නීන්ගේ හැඩහුරුකම් ගත් ජීවීන් සියයකටත් අධික පිරිසක් යානය අසල සිටියා.. ඔහුන් විවර කර ගත් මුවවල් වසා ගත නොහැකිව දිනුක දෙස විශ්මයෙන් බලා සිටියා.. මදක් උස මහත ශරීරයක් හිමි අයෙක් පැමින නීන්ගේ උරහිස මත ඔහුගේ අත තැබුවා..

"නීන් උබ එහෙනම් අපි කිව්ව විදිහට වැඩේ කලා.. හහ් හා..

මේ ජීවීන්ට විෂ විදින්න පුළුවන්ද.. නැත්නම් වෙන බලයක් අපි දිහාවට එල්ල කරන්න පුළුවන්ද..?

ඔහු නීන්ගෙන් ඇසුවා..

"නෑ එහෙම බලයක් නෑ.. මම ඔහුගෙ හිසට අත තියලා ඒ ගැන බැලුවා.. ඒත් විශිෂ්ඨ සිතුවිලි, දැනුම වගේ දේවල් ගොඩක් තියෙනවා.. බලන්න..

දැන් මගේ පොරොන්දුව හරිනෙ කේල්.. දැන් ඔබේ පොරොන්දුව ඉෂ්ඨ කරන්න.. "
නීන් කිව්වා..

නීන්, කේල් යැයි පැවසූ පුද්ගලයා ඊට පිළිතුරක් ලබා නොදී හයියෙන් සිනාසුනා..

සිදුවන සියලු දේ දෙස දිනුක භීතියෙන් මුසපත්ව බලා සිටියා..

"නීන් මොකද්ද මේ වෙන්නෙ.. " දිනුක ඇගෙන් ඇහුවා.

නීන් ඔහු දෙස අනුකම්පා සහගතව මදක් බලා හිඳ එතැනින් යන්නට ගියා..

"මේ ජීවියව අල්ලා ගන්නවා.."

කේල් තම පිරිසට දිනුක පෙන්වා කෑ ගැසුවා.. ඔවුන් මදක් තැති ගැන්මට පත්ව සිටියා..

"ඔහු ළඟ බලයක් නෑ කියලා නීන් කිව්වා ඇහුනෙ නැත්ද.. බය වෙන්න දෙයක් නෑ. අල්ලා ගන්නවා.. "

සිදු වන්නට යන දෙය ඉවෙන් වටහා ගත් දිනුක නැවත යානය දෙසට දුවන්නට පටන් ගත්තා.. නමුත් කේල්ගේ පිරිස ඔහුට වඩා ඉක්මන් වුනා..

ඔවුන් දිනුක අල්ලා අත් ගැට ගැසූවා.. එයා ඉතා තියුනු පටියක් බව දිනුකට දැනුනා.. ඔහු තම අත ඉන් මුදවා ගන්ට දඟලා දරන සෑම උත්සහයකදීම අත් තවත් සිර වූවා පමණක් නොවෙයි එයට අත කැපී ලේ ගලා ගියා..

"කේල් මේ බලන්න.. ඒවයෙ පාට.. ඔහුගේ ඇග ඇතුලෙ තියෙන අමුතු  දියරය එලියට එනවා.. "

තවත් ජීවියෙකු දිනුකගේ ලේ දැක කෑ ගැසුවා..

"කොහෙටද මාව එක්කන් යන්නෙ.. මට යන්න දෙනව!! "

දිනුක වේදනාවෙන් කෑ ගැසුවා..
පෘතුවියේ දී දිනුකව මුන ගැසුනු මොහොතේ, නීන් ඇගේ අත දිනුකගේ හිසේ තැබීමෙන් පසු ඈ කියනා දේ තේරුම් ගැනීමේ හැකියාව ඔහු සතු වුනා.. එම නිසා මේ ලෝකයේ ජීවීන් පවසන දේ ඔහුටත් ඔහු පවසන දේ කේල් ඇතුලු ජීවීන්ටත් හොදින් වැටහුනා..

"කෑගහන්න ඳගලන්න එපා.. එහෙම උනොත් උබගෙ ඇගේ තියෙන දියර ඔක්කොම එලියට ඇවිත් මැරිලා යාවි.. "
කේල් දිනුකට තර්ජනය කලා.. පසුව පොළව යට උමඟක් මෙන් වූ  ස්ථානයකට දිනුකව රැගෙන ගොස්  හිර කලා..

දිනුකව එසේ තබා ඊළඟට කළ යුතු දේ සාකච්චා කිරීමට කේල් සහ පිරිස පිටවී ගියා.

'මොකද්ද මේ සිද්ධ වුනේ.. ඒ කියන්නෙ නීන් කරපු හැම දෙයක්ම එයාගෙ මායාවක්. මම රැවටුනා.. මගේ ලෝකෙ මනුෂයන්ගෙන් එයාට අනතුරක් වෙයි කියලා මම එයාගෙ ලෝකෙට යන්න නීන්ට උදව් කලා...  ඒත්.. ඒත් මාව උගුලක පටලලා එයාගෙ ලෝකෙ ජිවීන්ට මාව අහු කරා.. ඒක නීන්ගෙයි අර කේල් කියන එකාගෙයි ගනුදෙනුවක්! '

දිනුක බොහෝ වේදනාවෙන් සිතුවා..

'කොහොමද මම මෙතනින් පැන ගන්නෙ.. මොකටද මාව ගේන්න ඇත්තෙ..'

✴✴✴✴✴✴✴✴✴✴✴✴✴✴

මීලඟ කොටසින් හමුවෙමු..

පිටසක්වල තරුණිය "නීන්" 08 කොටස…            

පසුගිය කොටසින්..
°°°°°°°°°°°°°°°°°°°°
මුදුවේ ශබ්දයේ සිහියෙන් ඉවුර දිගේ ඉදිරියට යමින් සිටි දිනුක ආපසු හැරී ගුහාව තිබූ දෙසට ගමන් කරන්නට පටන් ගත්තා.. ඒ සමගම මුදුවේ හඩ ටිකින් ටික වියැකී අවසානයේදී නෑසී ගියා..

                           ***
"නීන් නැගිටින්න.."

දිනුක ආපසු පැමිනෙන විට ඇය ගුහාව තුල බිම සිහිසුන්ව වැටී සිටියා.. දිනුකගේ කෑ ගැසීමෙන් ඇය සෙමින් ඇස් ඇර බැලුවා.. පෘතුවියට පැමිනි දිනයේ සිට ආහාරයක් ලෙස යමක් නොලැබුනු නිසා නීන් ගේ ශරීරය තුළ ශක්තිය හීන වී තිබුනා..

°°°°°°°°°°°°°°°°°°°°
එතැන් සිට...

"නීන් බලන්න.. මම ඒක හොයා ගත්තා.. "

නීන් ඒ දෙස බලා සිටියා. නමුත් කිසිවක් කියා ගත නොහැකි වුනා.. නීන් මෙතැනම මිය යාවි දැයි දිනුකට කනගාටුවක් ඇති වුනා..

'නැහැ.. කොහොම හරි මුද්ද වැඩ කරන හැටි හොයාගෙන, ඒකෙන් යානය හොයාගෙන නීන්ව පිටත් කරන්න ඕනෙ... '

"නීන් නැගිටින්න.. මේ බලන්න අපිට මේක වැඩ කරන විදිහ හොයා ගත්තොත්  යානය හොයා ගන්න පුලුවන්.  ඔයාට මොකක් හරි අදහසක් තියෙනවද මේක වැඩ කරන හැටි ගැන..?"

නමුත් පිළිතුරු දීමට තරම් වත් ශක්තියක් නීන් සතුව තිබුනේ නැහැ. ඇයට වතුර බීමට දෙන්න දිනුක කෑන් එක අතට ගත්තා.. ඒත් නීන් එය සම්පූර්නයෙන් හිස් කර තිබුනෙ..

"කමක් නෑ.. අපි ගඟ ළඟට යමු.."

ඇයට හැකි ඉක්මනින් වතුර හෝ ලබා දීමට දිනුකට අවශ්‍ය වුනා.. ඔහු නීන්ව අපහසුවෙන් වත්තම් කරගෙන ගඟ දෙසට ඒමට පිටත් වුනා.. ගඟ ආසන්නයට පැමිනෙත්ම දිනුක පැළඳ සිටි මුදුවෙන් නැවතත් පෙර ලෙසම ශබ්දය නැගෙන්නට වුනා..

ටීක් ටීක්..

ඒ ඇසෙත්ම දිනුකට යමක් කල්පනාවට ආවා.. ඔහුට ඇති වූ අදහස... එය නැවතත් පරීක්ෂා කිරීමට අවශ්‍ය වුනා..

"නීන් ඔයා මෙතන ටිකක් ඉන්න.."

ඔහු නීන්ව එතැනම බිම ඉන්දවා  ආපසු ඔහු පැමිනි දිශාවටම පියවර කිහිපයක් ගියා.. එවිට මුදුවේ ශබ්දය අඩු වුනා..

"නීන්.. අපි හොයා ගත්තා!! "

මුදුවේ ක්‍රියාව ඔහුට හොදින් තේරුනා.. යානය ගඟ අසලම ඇති යැයි ඔහු අනුමාන කලා.. තමා කලින් මොහොතේ ඉවුර දිගේ ඉදිරියට යන විට ඒ හඩ හොදින්ම වැඩි වූ බව ඔහුට මතක් වුනා..

"එහෙනම් යානය කිට්ටුවට ආවමයි මේක වැඩ කරන්නෙ..  ඒ කියන්නෙ ඉවුර දිගේ ඉස්සරහට ගියාම හොයා ගන්න පුළුවන් වෙයි යානය.."

ඔහු නීන්ව ගඟ අසලට ගෙනැවිත් ඇයට ඇති තරම් ජලය බීමට සැලැස්සුවා.. මොහොතකට පසුව දිනුක මෙසේ පැවසුවා..

"ධෛර්යය ගන්න නීන්. අපි ළගටම ඇවිත් තියෙන්නෙ.. යානය මේ ළඟමයි ඇත්තෙ.. "

"දිනුක.  මම යානය වැටුන වෙලාවෙ ඒකෙන් එලියට පැනලා දිව්වා.. මට මතකයි ලොකු පාෂාන තිබුනා එතන.. "

නීන් තමාට මතක් වූ දෙයක් කිව්වා..

මුදුවේ ශබ්දය වැඩි වෙමින් තිබුනා.. ඔවුන් ඉවුර දිගේ ඉදිරියටම ගියා.. ඒ අතරතුර කාගේ හෝ ඇසකට හසු වේවි දැයි දිනුක පරීක්ෂාවෙන් හිටියා..

ඔවුන් යානාවට ආසන්නයේම බව  හඟවම්න් මුදුවෙන් නැගුනු ශබ්දය වැඩි වුනා. 

"අර තියෙන්නෙ පාෂාන.. "
ඉවුරේ ඇති ගල්පරයක් පෙන්වමින් නීන් කෑ ගැසුවා...

ඔවුන් ඒ අසලට ළඟා වුනා..  අවසානයේ ගල්පරයට එපිටින් තිබූ නීන්ගේ යානය ඔවුන් සොයා ගත්තා!

"මේක කිසිකෙනෙකුට හොයා ගන්න බැරි වුනේ මේ ගල්පරයෙන් වැහිලා තිබුන නිසයි එහෙනම්..
ඔයාගෙ වාසනාවකටයි මේ වගේ තැනකට වැටිලා හැංගිලා තිබුනෙ නීන්.."
නීන් යානයට ඇතුල් වුනා..

දිනුක පිටත සිට බලා සිටියා.  ඔහු මුදුව ගලවා නීන්ට දුන්නා..

"දිනුක.. මේක ක්‍රියා කරන හැටි මට මතක නැහැ.. මම පිළිවෙලක් ඇතුව නෙමෙයි කලේ මේක.  ඒක අහම්බයක්.. කරුණාකරලා උදව් කරනවද මට... "

එය ප්‍රමානයෙන් කුඩා වුවත්  මිනිසෙකුට යන්තමින් ඇතුල් වීමට හැකි තරමේ ඉඩ ප්‍රමාණයක් විය..
දිනුක එය තුලට ඇතුල් වුනා..

"හොඳයි පොඩ්ඩක් ඉන්න.. මේ මොකද්ද... "

"ඒක දිශාව හරවන එකක් කියලයි ජොම් කියලා තියෙන්නෙ.. මම මෙහෙට ආවෙ ඔහොම දිශා දැක්වෙන විදිහට තියෙද්දි.. මගෙ ලෝකෙට යන්න නම් ඒක ඊට විරුද්ධ පැත්තට දිශා හරවන්න ඕනෙ.. ඊට පස්සෙ අර දණ්ඩ මේ පැත්තට.. "

නීන් කියාගෙන කියාගෙන ගිය විදිහටම කිසිත් නොසිතා දිනුක එය කලා..

"ඊළඟට මේක පාගන්න ඕනෙ.. "

ඇගේ කකුලේ අපහසුව නිසා එය නීන්ට කිරීමට අපහසු බව දැනී දිනුක එය කලා.. එවිටම යානය ගැස්සෙන්නට පටන් ගත්තා..

                      ***
පැනගිය පිටසක්වල ජීවියාව කෙසේ හෝ සොයා ගත යුතු යැයි අධිෂ්ඨානයක සිටි මහාචාර්යවරුන් දෙදෙනා මේ වන විටත් ගඟ ඉවුර දිගේ ඉදිරියට පමිනෙමින් සිටියා..

ගල් පරයෙන් එහා පසට යන, නීන් හා දිනුකව දකින්නට ඔවුන් ප්‍රමාද වී සිටියේ නෑ..

"රණ්දෙනිය.. අර බලන්න...
මේ කොල්ලා අපිට කොලේ වැහුවා.. දැක්කද.. අපේ පිටසක්වල ජීවියත් එක්ක ඉන්නෙ.. "

මහාචාර්යවරුන් දෙදෙනා හැකි ඉක්මනින් ගල් පරය ආසන්නයට දිව්වා.. නමුත් ඒ වන විටත් නීන් යානය පනගැන්වීමේ දණ්ඩ දිනුක ලවා ක්‍රියාත්මක කරවා තිබුනා.. එක්වරම අහසට නැගි යානය නොපෙනී යනු මහාචාර්යවරුන් දෙදෙනා දෑස් විසල් කරමින් බලා සිටියා..
✴✴✴✴✴✴✴✴✴✴✴✴✴✴

මීලඟ කොටසින් හමුවෙමු..

Monday, January 23, 2017

පිටසක්වල තරුණිය "නීන්" 07 කොටස…   

පසුගිය කොටසින්..
°°°°°°°°°°°°°°°°°°°°
නීන් බොහෝ දුකෙන් සිටිනු දිනුකට පෙනුනා.. ඇත්තෙන්ම ඇයට ආපසු ඇගේ ලෝකයට  ආපසු යෑමට හැකි වෙතැයි දිනුකටද දැඩි විස්වාශයක් තිබුනේ නැහැ..
නමුත් නීන් පෘතුවියේ සිටීම ඇයට නුදුරේම අනතුරක් විය හැකි බව දිනුකට හොදින්ම වැටහී තිබුනා..

°°°°°°°°°°°°°°°°°°°°
එතැන් සිට...

නමුත් ඇගේ යානය සොයා ගැනීමට උදව් කිරීමටත්, ඇයව හැකි ඉක්මනින් පෘතුවියෙන් පිටත් කිරීමටත් දිනුක අධිෂ්ඨාන කර ගත්තා.

"නීන් මේ අහන්න.. අපි කොහොම හරි ඔයාගෙ යානය හොයා ගනිමු. ඒකට අපිට ඒ වලල්ල හොයා ගන්නම වෙනවා.. ඔයා මෙතනම ඉන්න.. මේ කෑන් එකේ වතුර තියෙනවා ඕන වුනහම බොන්න..  ඔයා කියපු විදිහට ඒ ටෙන්ට් එක තියෙන්න ඕනෙ ගඟ ලග තැනක. මම ගිහිල්ලා වළල්ල හොයාගෙන එන්නම්.

දිනුක ගඟ දෙසට ඇවිද ගියා.. ඒ අවට පරීක්ෂා කරමින් මද වෙලාවක් ගත වන විට නීන් පැවසූ කූඩාරම් දෙක ඔහුට හමු වුනා. එතැන මිනිසුන් දෙදෙනෙක් සිටියා..

'මේ දෙන්නා ගැන වෙන්න ඕනෙ නීන් කිව්වෙ.  එහෙනම් අලියගෙන් අනතුරක් නොවී බේරිලා.. '
දිනුක තනිවම සිතුවා.

ඔවුන් කූඩාරම් තුල වූ ඔවුන්ගේ බඩු එකතු කරමින් සිටියා.
මහාචාර්යවරුන් දෙදෙනා දිනුකව දැකීමෙන් එක්වරම තිගැස්සුනා..

"ඔයා කව්ද..? " ප්‍රොෆෙසර් රණ්දෙනිය ඇහුවා..

"මම දිනුක.. දිනුක පෙරේරා. රන්බිම පත්තරේ වැඩ කරන්නෙ.. "

ප්‍රොෆෙසර් සමරජීව ඔහු ගැන අසා තිබුනා..

"ආ.. මට මතකයි. දිනුක, සක්වල අතිරේකයේ ලියන ලිපි මම අනිවාර්යෙන් කියවනවා. බොහොම අපූරුයි. "
සමරජීව කිව්වා..

"ඔය දෙන්නා කව්ද.. " දිනුක ඔවුන්ගෙන් ප්‍රශ්න කලා..

"මේ ප්‍රොෆෙසර් රණ්දෙනිය.. මම ප්‍රොෆෙසර් සමරජීව.. "

"ආ.. පිටසක්වල යානය ගැන පරීක්ෂන වලට වෙන්න ඇති.. මොනවා හරි තොරතුරක් හම්බ උනාද ප්‍රොෆෙසර්..? "
දිනුක විමසුවා..

"න්..නැහැ.. "
සිතේ මතුව ආ චකිතය සඟවා ගනිමින් සමරජීව කිව්වා.

මහාචාර්යවරුන් දෙදෙනාගේ අරමුණ වුනේ කෙසේ හෝ පියසක්වල ජීවියාව නැවත අල්ලා ගැනීමටයි.. එතෙක් තමන් දෙදෙනා කුමක් පැවසුවත් කිසිවෙකුත් විශ්වාස නොකරන බව ඔවුන් කල්පනා කලා..

"ඒක නෙමේ.. දිනුක තනියම මෙහෙ..? "
ප්‍රොෆෙසර් රන්දෙණිය ඇහුවා..

"මම ආවෙ spaceX කණ්ඩායම එක්ක.. පිටසක්වල යානයක් ගැන කිසිම හෝඩුවාවක් නොලැබුන නිසා අපේ කණ්ඩායම ආපහු ගියා.. ඒත් මම ටිකක් නැවතුනා.. මම රක්ෂිතය ගැන ලිපියක් ලියන්න පටන් ගත්තා.. "
දිනුක ඔවුන්ට සැකයක් ඇති නොවන ලෙස පිළිතුරු දුන්නා..

"ඔහ් එහෙමද.. අපි මේ ආපහු යන්නයි හදන්නෙ.."
ප්‍රොෆෙසර් සමරජීවත් කිව්වා...

"මේ වළල්ල වැටෙන්න ඇත්තෙ කොහෙද.. ඒක කොහොම එකක්ද දන්නෙත් නැහැ..."
මහාචාර්යවරුන් සමග කථා කරමින්ම දිනුක හිතුවා..

මහාචාර්යවරුන් දිනුකගෙන් සමුගෙන එතනින් පිටත් වුනා.. ඉන්පසු ඔහු කූඩාරම් තිබූ තැන පිරික්සන්නට වුනා..
පොඩිවී ගිය බිස්කට් කිහිපයක් යට දිලිසෙන යමක් දිනුකගෙ නෙත ගැටුනා...

"ආ මේ තියෙන්නෙ.. වෙලාවට ප්‍රොෆෙසර්ලා දෙන්නට අහු නොවී තිබුනෙ.. වලලක් නෙමේ ඒක මුද්දක්!! "
දිලිසෙන රතු කැටයක් ඔබ්බවා තිබූ පරිපථය වැනි යමක් සහිත මුදුව අවසානයේදී දිනුක සොයා ගත්තා..

"මේක මැණිකක්ද.. ඔව් නීන් කිව්වෙ යානය කියාත්මක වෙන්නත් පාෂානයක් ඕනෙ කියලා.. එහෙනම් මේ වගේ වටින පාෂාන තියෙන ලෝකයක් වෙන්න ඇති ඒක.. මේ මුද්ද කොහොමද වැඩ කරන්නෙ.. නීන් දන්නෙත් නැහැ කිව්වානෙ. "

"කමක් නැහැ. නීන් ඉන්න තැනට ගිහිල්ලා බලමු.. එයාට මොකක්ම හරි අදහසක් ඇතිනෙ.. දිනුක එය තම ඇගිල්ලෙ දමා ගත්තා..  මද්දහන වූ නිසා සැර අව්වක් වැටී තිබුනා.. දිනුක නොදැනුවත්වම ඔහුගේ ඇගිල්ලෙහි වූ මුදුවේ  පාෂාණය හිරු එලිය වැටීමෙන් ආරෝපණය වෙමින් තිබුනා..

නීන් සිටි ගුහාවට යාමට පෙර දිනුක නැවතත් ගඟ ලගට ගියේ පිපාසය නිසයි..

ටීක්..ටීක්..

දිනුක විමතියට පත් කරමින් ඔහු පැළඳ සිටි මුදුවෙන් ශබ්දයක් නැගුනා.. ටයිම් බෝම්බයක මෙන් එහි නැගෙන ශබ්දයෙන් දිනුක මදක් තැති ගත්තා..
"මොකද්ද මේ සද්දෙ තේරුම.. "
ඔහුට කිසිවක් සිතා ගන්න නොහැකි වුනා..

දිනුක ඟග ඉවුර දිගේ ඉදිරියට ගියා.. මුදුවෙන් නැගෙන ශබ්දය වඩාත් තදින් ඇසෙන්නට වුනා..
"මම මේ කොහෙද යන්නෙ.."
මුදුවේ ශබ්දයේ සිහියෙන් ඉවුර දිගේ ඉදිරියට යමින් සිටි දිනුක ආපසු හැරී ගුහාව තිබූ දෙසට ගමන් කරන්නට පටන් ගත්තා.. ඒ සමගම මුදුවේ හඩ ටිකින් ටික වියැකී අවසානයේදී නෑසී ගියා..

                           ***
"නීන් නැගිටින්න.."

දිනුක ආපසු පැමිනෙන විට ඇය ගුහාව තුල බිම සිහිසුන්ව වැටී සිටියා.. දිනුකගේ කෑ ගැසීමෙන් ඇය සෙමින් ඇස් ඇර බැලුවා.. පෘතුවියට පැමිනි දිනයේ සිට ආහාරයක් ලෙස යමක් නොලැබුනු නිසා නීන් ගේ ශරීර ශක්තිය හීන වී තිබුනා..

✴✴✴✴✴✴✴✴✴✴✴✴✴✴

මීලඟ කොටසින් හමුවෙමු..

Sunday, January 22, 2017

පිටසක්වල තරුණිය "නීන්"  06 කොටස…      

පසුගිය කොටසින්..
°°°°°°°°°°°°°°°°°°°°
"නැහැ දිනුක. එකම පාරක් අපේ ලෝකෙට ඒ වගේ යානයක් ඇවිත් තියෙනවා.. ඒ යානෙ අපේ ලෝකෙට වැටිලා.. 

ඒ වෙනකොටත් ඒක ඇතුලෙ අමුතු ජීවින් දෙන්නෙක් මැරිලා ඉදලා තියෙනවා.. මුලදි අපේ ලෝකෙ කවුරුත් ඒක ළගටවත් යන්න බය වෙලා.. ඒත් තාත්තා ඒ හැමදේම පරීක්ෂා කරලා තිබුනා.. තාත්තට ඒ අදහස ඇවිත් තියෙන්නෙ ඊට පස්සෙයි.. "

°°°°°°°°°°°°°°°°°°°°
එතැන් සිට...

කොහොම හරි මගේ තාත්තත් ඒ වගේ යානයක් හැදුවා.. අන්තිමේ ඔහු පෙම්ලෝ කුට්ටියට ගියා.. ඒත් ආපහු ආවෙ නැහැ.. :'( "
නීන් බොහෝ දුකෙන් කිව්වා..

කල් ගත වෙද්දි මගේ අයියා ජොම්ගෙ හීනයක් වුනේ තාත්තා  වගේ යානයක් හදන්න.. එයාට ඕනෙ උනේ පෙම්ලො කුට්ටියට ගිහින් තාත්තව හොයා ගන්න...
ඒත් මේකට අම්මගෙන් කොහෙත්ම ඉඩක් ලැබුනෙ නෑ.. ජොම් ඒ ගැන කියනවට වත් අම්මා කැමති වුනේ නෑ..
ජොම් තාත්තගෙ යානය ගැන තිබුන සටහන් හොයාගෙන අම්මට හොරෙන් තැනිතලාව කිට්ටුව ගබඩාවක යානය හදන්න පටන් ගත්තා. මමයි අයියයි විතරයි මේ ගැන දැනගෙන හිටියෙ. ජොම් ට උදව් කරන්න මට ඕන වුනත් මට කිසිම දැනුමක් තිබුනෙ නෑ ඒ ගැන. ඒ නිසා මම ඒ ළඟට වෙලා බලන් හිටියා..

ජොම්ගෙ යානයේ වැදගත්ම කොටස පෂානයක්. ග්‍රොස් පෂානය. ඒකට සේටොගෙ එලිය වැටෙන්න තියලා ආරෝපණය කරන්න ඕනෙ. අපට ලැබුනු සේටොගෙ එලියෙන් අපි ඒක  ආරෝපණය කලා..
මේ ලෝකෙ තරම් ආලෝකයක් මම මීට කලින් දැකලා නෑ.. මෙහෙ ඇත්තෙන්ම බය හිතෙනවා.. මෙහෙ අදුරු වෙලාවට මම බය නැහැ.. "

දිනුක විශ්මයෙන් නීන් පැවසූ සියල්ල අසා සිටියා.. අප පෘතුවියේ සවස් කාලය මෙන් ආලෝකයක් ඇගේ ලෝකයේ දිවා කාලයේදී විය..  ඒ නිසා ඇය සෑම විටම ආලෝකය වැඩි තැනට බියක් දැක්වූ අතර අදුර තුලම ගැවසෙන්නට උත්සහ කලා.

"නීන්, ඔයා යානය ගැන දන්නෙත් නැත්නම් මෙහෙ ආවෙ කොහොමද.. ? "
දිනුක ඇගෙන් ප්‍රශ්න කලා..

දවසක් ජොම්ට හොදටම අසනීප වුනා.. එදා එයාට තැනිතලාව ළඟ ගබඩාවට යන්න විදිහක් තිබුනෙ නෑ ඒ නිසා. ඔහු මාව යැව්වා ඒකෙ තියෙන ග්‍රොස් පාෂානෙ ගෙදර ගේන්න කියලා.
ඒ වෙනකොට ජොම්, යානය හුගක් දුරට හදලා ඉවර වෙලයි තිබුනෙ. තව පොඩි දේවල් ටිකක් තියෙනවා කියලයි මට කිව්වෙ.

මම එදා ගබඩාවට ගිහින් ගොඩක් වෙලා යානය ඇතුලෙ හිටියා. ජොම් යානයට පාෂානය ඇතුල් කරන තැනත් මම බලන් ඉඳලා තියෙනවා. ඉතින් මමත් ඒක කරලා බැලුවා.. ඒක තියෙද්දිම මම එක එක ඒවා කලා.. මට පිළිවෙලක් මතක නැහැ.. යට තිබුන දන්ඩ පෑගුනා.. ඒක පහලට යනකොටම මට මතක යානය හෙලවෙනවා විතරයි..

හෙලවෙන එක නැවතුන ගමන් මම එලියට පැන ගත්තා.. මම මේ  ඉන්නෙ පෙම්ලො කුට්ටියෙද.. ?  අර පේන්නෙ මම ඉන්න කුට්ටිය නේද.. "

එදින හොඳින් සද පායා තිබූ දිනයක් වූ බැවින් නීන් සද පෙන්වා ඇහුවා..

"මෙහෙ ආපු මගෙ තාත්තව හොයා ගන්න මට ඕනෙ.. ඒත් මෙහෙ බොහොම අනතුරුදායකයි.. ජොම් නැතුව මට තනියම ඒ දේ කරන්න බැහැ.. මාව අල්ල ගත්තා වගේ තාත්තවත් අල්ලගන්න ඇති කියලා මට හිතෙනවා.. මට ආපහු යන්න ඕනෙ.. මට යානය හොයා ගන්න ඕනෙ දිනුක.. "

සියල්ල හොදින් අසා සිටි දිනුක මෙහෙම කිව්වා..

"නැහැ නීන්. ඔයා ඔය කියන පෙම්ලො කුට්ටිය මේ අපේ ලෝකෙ වෙන්න බෑ.. මම එහෙම කියන්න හේතු කීපයක් නිසයි. අර පේන්නෙ හද. අපේ ලෝකෙන් මිනිස්සු එහෙ ගිහින් තියෙනවා.. ඒත් ඒකෙ මේ තරම් දියුනු ජීවීන් ඉන්නවා කියලා සාධක නැහැ. අනික ඔබ ගස් ගැන කියනවා.. ඒ ලෝකෙ ගස් ගැන සාධකත් නැහැ.. අනෙක ඔයාට මෙහෙ හොදට හුස්ම ගන්නත් පුලුවන්. ඒ කියන්නෙ ඔයාගෙ ලෝකයේ වායුගෝලයත් මීට සමාන ඇති.. ඒත් අපේ චන්ද්‍රයගෙ එහෙම වායුගෝලයක් නැහැ..

ඔබ ඉන්නෙ වෙනම සෞරග්‍රහ මන්ඩලයක තියෙන ග්‍රහලෝකෙක කියලයි මගේ අදහස.. ඒත් ඒක කොයි තරම් දුරකද කියලා මට හිතා ගන්න බෑ.. ඔබේ ලෝකෙට මේ වගේ පෙනෙන්නෙ ඔබේ ලෝකෙට ආසන්නව ඇති චන්ද්‍රයා කියලයි මට හිතෙන්නෙ.

එතකොට ඔයාගෙ තාත්තා තමයි ඔයාගෙ ලෝකයෙන් සද මත පා තැබූ ප්‍රථම ජීවියා.. "
දිනුක ප්‍රීතිමත් ලෙස පැවසුවා..

එහෙත් නීන්ගේ සිත අසලකවත් ප්‍රීතියක් තිබුනේ නැහැ.. ඇය සිතා සිටියේ ඇයට පෙනෙන්නේ ඇගේ ලෝකය බව. එහෙත් එය නොවන බවට දිනුක හේතු දැක්වීමෙන් පසු නීන් බියට පත්ව සිටියා.. ඇයට ආපසු තම ලෝකයට යා ගත නොහැකි වේයැයි බියක් ඇගේ මුලු සිතම වසාගෙන පැවතුනා..

නීන් බොහෝ දුකෙන් සිටිනු දිනුකට පෙනුනා.. ඇත්තෙන්ම ඇයට ආපසු ඇගේ ලෝකයට  ආපසු යෑමට හැකි වෙතැයි දිනුකටද දැඩි විස්වාශයක් තිබුනේ නැහැ..
නමුත් නීන් පෘතුවියේ සිටීම ඇයට නුදුරේම අනතුරක් විය හැකි බව දිනුකට හොදින්ම වැටහී තිබුනා..

✴✴✴✴✴✴✴✴✴✴✴✴✴✴

මීලඟ කොටසින් හමුවෙමු..