Wednesday, January 25, 2017

පිටසක්වල තරුණිය "නීන්" 12 කොටස… 

පසුගිය කොටසින්..
°°°°°°°°°°°°°°°°°°°°

නීන් තවත් මඳ වේලාවක් බලා සිටියා..

තාත්තාගේ උණ්ඩ විදිනයට ඈ පාෂාන පතුරු ඇතුල් කලා.. මොහොතකින් උමං දොරටුවේ සිටි දෙදෙනා නීන් එල්ල කල පාෂාන පතුරු වැදී ඒවාට ශරීරය කැපී බිම වැටුනා..

හරි..

නීන් දෙවරක් නොසිතා උමඟට ගොස් යානයට ඇතුල් වුනා..

°°°°°°°°°°°°°°°°°°°°
එතැන් සිට...

'මේ තියෙන්නෙ පාෂානය.. ඒකට මුකුත් කරලා නෑ.. දිනුකගෙ ලෝකෙදි සේටොගෙ එලියෙන් මේක ආරෝපණය කර ගන්නයි තිබුනේ.. මේකේ ආරෝපණය මදි වුනොත් යානය ක්‍රියාත්මක නොවී තියේවිද.. '
නීන් කල්පනා කලා..

තවත් ප්‍රමාද වීමෙන් කේල් ට හසු විය හැකි නිසා නීන් හැකි ඉක්මනින්   දිනුක සිටි උමඟට ඇතුල් වුනා..

"දිනුක ඉක්මන් කරන්න.. ඒන්න මේ පැත්තෙන්.. "

"නීන් මේ ඇයි..? ඒ පාර මට මොකද්ද කරන්න යන්නෙ.. "

"උත්තර දෙන්න වෙලාවක් නැහැ.. අපි ඉක්මන්ට යානයට යමු.. "

උමඟේ වෙනත් දොරටුවක් සොයා ගිය නීන්, දිනුක සමඟ ඉන් පිටතට පැමිනියා..

"ඔවුන් පැන ගන්නවා!! "

කේල්ගේ සේනාවේ අයෙක් කෑ ගැසුවා.. නීන් මොහොතකුත් පමා නොවී ඔහුගේ පපුව ඉලක්ක කර උන්ඩ විදිනය ක්‍රියාත්මක කලා..

තවත් කෑ ගැසීමට ඉඩක් නොලැබී ඔහු එතැනම ඇද වැටුනා.. දිනුක භීතියෙන් එදෙස බලා සිටියා..

"නීන් ඔයා එයාව මැරුවද...?? "

" නැහැ.  ඔයා ඒ ගැන කණගාටු වෙන්න එපා.. සිදුරු උන තැන් වැඩුනාම එයාට සනීප වෙයි. හැබැයි ඒකට කාලයක් ගතවෙයි.

සෝබ් කෑ ගහනවා කාට හරි ඇහුනද දන්නෙ නෑ.. ඉක්මන් කරන්න.. "

ඔවුන් යානය ඇති උමගට ඇතුල් වුනා..

"නීන්? "

දිනුක විශ්මයෙන් ඈ දෙස බලලා සිටියා..

"මම ඔයාව ආපහු ඔයාගෙ ලෝකයට ගෙනියනවා දිනුක.. කේල් මගේ පොරොන්දුව ඉෂ්ඨ කරන්නෙ නැහැ.. එයා මාව රැවැට්ටුවා.. මේ යානෙ උමඟෙන් එලියට ගන්න උදව් කරන්න දිනුක.. කේල්ට අහු වුනොත් ගැලවීමක් ලැබෙන එකක් නෑ අපිට.."

යානය තල්ලු කිරීමට නීන්ගේ ලෝකයෙහි ජීවීන් කිහිප දෙනෙකුම අවශ්‍ය වුවද දිනුක සිටි නිසා යානය පිටතට ගැනීමට නීන්ට අපහ්සුවක් වුනේ නැහැ..

ඔවුන් යානය තුලට ඇතුල් වුනා.. දිශාව පිළිබඳ කිසිවක් සිතමින් සිටීමට වැය කිරීමට කාලයක් තිබුනේ නැහැ.. නීන් යානය ක්‍රියාත්මක කලා..

                    ***
යානයේ සෙළවීම නතර වීමෙන් පසු දිනුක ප්‍රථමයෙන් එයින් බැස ගත්තා.. මහත් කළුවරක් අවට වසාගෙන තිබුනා.. ඔවුන් සිටින්නේ මහා වනයක් මැද බව නොබෝ වේලාවකින්ම දිනුක තේරුම් ගත්තා..

ඒත් මේ ගස් වල වෙනසක් ඔහුට දැනුනා..

"නීන් මේ අපේ ලෝකෙ නෙමෙයි කියලා මට හිතෙනවා.. මේ ගස් වල දිලිසෙන ස්වභාවය... කොලවල ඝනකම.. මේ හැම ගහක්ම එහෙමයි..  "

දිනුක අසල වූ ගසක් අල්ලා බලමින් කිව්වා..

දිශාව වෙනස් වී ඇතැයි නීන්ට සිතුනේ ඒ මොහොතෙයි..
එක් වරම කුඩා ජීවීන් දහස් ගනනක් ඔවුන්ව වටකර ගත්තා.. ඔවුන්ගේ කෑ ගැසීම් කන් බිහිරි කරවන තරම් වුනා.. දිනුකටත් වඩා තියුනු කන් පිහිටි නීන්ට එය කෙසේ වත් දරා ගත නොහැකි වුනා..

"සද්දෙ නවත්තනවා!! "

නීන් මහ හඩින් කෑ ගසා කිව්වා..

කියූ දේ නොතේරුනු නමුත්, ඇගේ හඩින් බියට පත් වී ඔවුන්ගේ හඩ නැවතුනා.. සියලු දෙනා බියකින් මෙන් නීන් හා දිනුක දෙස බලා සිටියා..

නීන් ගේ ලෝකයෙහි ජීවීන් අඩි තුනක් පමන උස ජීවීන් වුනා.. නමුත් මේ අලුත් ග්‍රහලොවෙහි වූ ජීවීන් ඊටත් වඩා මිටි වූවන්.

අටපට්ටමක හැඩගත් යානයක් වැනි යමක් ඒ මොහොතේ ඔවුන් සිටි දෙසට පැමිනෙමින් තිබුනා..

"නීන්, මොකක් හරි අනතුරක් අපි ළඟ.. මට ඒක දැනෙනවා.. අපි ඉක්මන්ට යානයට යමු.. "

නීන් ඔහු සමඟ ඉක්මනින් යානයට ඇතුල් වුනා.. වතාවක් දෙවතාවක් එය ක්‍රියාත්මක කිරීමට උත්සහ කලා.. නමුත් එය ක්‍රියාත්මක් වුනේ නැහැ..

"දැන් මොකද කරන්නෙ.. පාෂානයේ ආරෝපනය ඉවර වෙලා... අපිට සේටොගෙන් ඒක ආරෝපණය කර ගන්න බැරි වුනානෙ.. "
නීන් කිව්වා.

දිනුක සහ නීන් දෙදෙනාම බියවී සිටියා.. යානයේ දොර කඩන්නට මෙන් අරින්නට කුරුමිට්ටන් උත්සහ කරන බව දෙදෙනාටම ඇසුනා..

"අපි ඉවරයි. උන් යානය විනාශ කරයි. "

එක්වරම නීන් සහ දිනුක සිටි යානයේ දොර, කුරුමිට්ටන්ගේ  පහරදීම් නිසා විවර වුනා.. ඔවුන් දෙදෙනාට සිතා ගැනීමට වත් නොහැකි වන තරම් ඉක්මනින් ඔවුන්ගේ දෑත් මෙන්ම පාද ද ගැට ගසා අටපට්ටම් හැඩති වාහනය වෙත ගෙන ගියා..

එකිනෙකාට වෙනස් වූ මේ ජීවීන් දෙදෙනා දෙස රැස්ව සිටි කුරුමිට්ටන් විමතියෙන් බලා සිටියා..

ඔවුන් දෙදෙනා මෙහි ළංගා වන විට පැවති ඝන අදුර පහව යමින්, සියුම් ආලෝකයක් අවට පැතිර යමින් තිබෙනු දකින්නට ලැබුනා..

"සේටෝ.."

දිනුක, නීන්ගේ භාෂාවෙන්, හිරු පායන බව ඇයට කිව්වා.. එය ඇසුනු අසල සිටි කුරුමිට්ටන් දෙදෙනා දිනුක කී දේ ගැන යමක් කථා වුනා..
✴✴✴✴✴✴✴✴✴✴✴✴✴✴

මීලඟ කොටසින් හමුවෙමු..

පිටසක්වල තරුණිය "නීන්" 11 කොටස…                 

පසුගිය කොටසින්..
°°°°°°°°°°°°°°°°°°°°

"හහ්.. ඇයි ඔයා මාව මෙහෙට ගේන්න ඒ වගේ රැවටීමක් නොකර, බලයක් පාවිච්චි නොකලෙ නීන්..? "
දිනුක ඇහුවා..

"ගැහැණු ජීවීන්ට එහෙම බලයක් නැහැ. අපේ ලෝකෙ ඒ බලය තියෙන්නෙ පිරිමි ජීවීන්ට විතරයි..

එහෙම බලයක් තිබුනත් මට බෑ ඔයාට අනතුරක් කරන්න.. :( ඔයා හොද කෙනෙක්.. ඒත් තාත්තව හොයා ගන්න යන්න ඕනෙ නිසා, මට වෙන කරන්න දෙයක් තිබුනෙ නෑ.. " :(

°°°°°°°°°°°°°°°°°°°°
එතැන් සිට...

"අපේ යානය කේල්ට අහු වෙනකොට  ජොම් දිශාව හදන එකේ වැඩ ඉවර කරලා තිබුනෙ නෑ. කේල්ට ඒ ගැන කිව්වට යානය ගැන තේරුම් ගන්න තරම් ශක්තියක් එයාට නෑ..

මම ඔයාගෙ ලෝකෙට ආවෙ එහෙම අහම්බෙන් කැරකුනු දිශාවකට යානය ගිය නිසා.. ඔයාගෙ ලෝකෙ ඉඳිද්දි මම දැක්කා ඒකෙ ඉඳලා පේන අනිත් ලෝකෙ.. ඒ නිසා මම හිතුවෙ ඒ මගේ ලෝකෙ කියලා.. මම ඇවිත් තියෙන්නෙ මගෙ තාත්තා ගියපු පෙම්ලො කුට්ටියට කියලා.. ඒත් ඒක එහෙම නෙමෙයි කියලා ඔයා කිව්වනෙ.. "

"නීන් ඇති!  දැන් ඔය කිසිම දේකින් වැඩක් නෑ.. ඔයා පාපොච්චාරණය කලා කියලා සිද්ධ වෙච්ච කිසිදෙයක් වෙනස් වෙන්නෙ නෑ..

මට කියනවා උන් මට කරන්න යන්නෙ මොනවද කියලා!! "

දිනුක කෝපයෙන් කිව්වා..

"කේල් ඔයාගෙ දැනුම උරා ගනී. ඊට පස්සෙ.. ඊට පස්සෙ ග්ලැගෝලට ඔයාගෙ ඇඟ ඇතුලෙ තියෙන දියරය බොන්න දෙයි.. :( "

"ග්ලැගෝලා?? ඒ කව්ද? "

"කේල් ලා උඩින් යන්නෙ ග්ලැගෝලගෙ පිටේ නැගලා.. අතීත කථා වල තියෙන විදිහට පිටසක්වල ජීවීන්ගෙ ඇග ඇතුලෙ තියන දියරය බොන්න දුන්නම උන් ශක්තිමත් වෙනවලු. "

දිනුකගේ මුව වියළී ගියා..
"ඒ කියන්නෙ උන් මාව මරණවා... "

"මට සමාවෙන්න දිනුක.. "
නීන් බොහෝ කණගාටුවෙන් එතනින් ඉවත්ව ගියා..

"මම මැරෙන්න.. මේ වගේ නොදන්න ලෝකෙක මැරෙන එකද මගේ අවසානය.. මම මෝඩයෙක්!  එදා පිටසක්වල යානෙ ගැන හොයන්න මම නැවතුනෙ නැත්නම්.. අද මේ විදිහට මැරෙන්න වෙන්නෙ නෑ..

                        ***
නීන් කෙලින්ම කේල් හමුවෙන්න ගියා..

"කේල් නායකතුමනි, ඔබේ  පොරොන්දුව මතකනෙ ඔබට.. මට තාත්තව හොයන්න යන්න ඕනෙ..  කරුණාකරලා ඒකට ඉඩ ලබා දෙන්න.."

කේල් මහ හඩින් හිනා වුනා..

"පොරොන්දුව.. මොන පොරොන්දුවද.. නීන් උබ හිතුවද මම උබේ තාත්තව මෙහෙට ගේන්න ඉඩ දෙයි කියලා..? මම එච්චර මෝඩයෙක් නෙමෙයි... මගේ නායකකම අහෝසි වෙයි ඌ ඒ වගේ දක්ෂකමක් කරලා  ආපහු මේ ලෝකෙට පය තිබ්බොත්..

පොරොන්දුව.. හහ් හහ් හා...
දැන් මම තවත් බලවත් වෙනවා!!! "

නීන් කෝපයට පත් වුනා..

"කේල් මාව රැවැට්ටුවා එහෙනම්.. >:(
නමුත් ඔහුට විරුද්ධව යමක් ඈ පැවසුවෙ නැහැ..

ජොම් ගේ මෙන් තමාගේත් අත් කපා දැමීමට කේල් නියෝග කලොත් පාඩුව සිදු වන්නේ තමාටම බැවින් නීන් නිහඩව එතනින් පිට වුනා.

නීන් ආපසු තමා ජීවත් වන පාෂාන කුට්ටිය තුළට ගොස් කල්පනා කලා.

"මම රැවටුනා.. අන්තිමේදි මට මගෙ තාත්තව ආපහු ගේන්න ලැබෙන්නෙත් නෑ..
ඒත් දිනුකව බේර ගන්න ඕනෙ.. ඔව්. කේල්ගෙන් දිනුකව බේර ගෙන එයාගෙ ලෝකෙට යන්න උදව් කරන්න ඕනෙ.
මුලින්ම බලන්න ඕනෙ යානය කොහෙද තියෙන්නෙ කියලා.."

නීන් කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීම කේල්ට පුදුමයක් වුනා. ඇය කුමක් හෝ තමාට විරුද්ධව යමක් පැවසුවේ නම් ඇයවත් සිර කර දැමීමට හෝ අත් කපා දැමීමට අණ කිරීමට කේල් සූදානමින් සිටියා..

නීන් ස්ටෙක් පාෂාන කන්ද සොයාගෙන ගියා.. එම පාෂාන පතුරු , ජීවීන්ගේ සිරුරු කපාගෙන යාමට තරම් තියුනු ඒවා වුනා... එම නිසා ඔවුන් ඒවා උන්ඩ ලෙස භාවිතා කලා..
නීන් බොහෝ ප්‍රවේසමෙන් පතුරු කීපයක් එකතු කර ගත්තා.. තාත්තගෙ උණ්ඩ විදිනයක් ජොම් ළඟ තිබූ බව නීන්ට මතක් වුනා.. ඇය එයත් රැගෙන කේල්ගේ උමඟ ආසන්නයේ රැඳී සිටියා..

කේල්ගේ පිරිස එන හඩ ඇසුනු නිසා නීන් සැඟවී බලා සිටියා...

"පිටිපස්සෙ උමඟට දානවා ඕක..."

යානය තල්ලු කරගෙන ආ පිරිසට කේල් අණ දෙනු නීන්ට ඇසුනා..

'එහෙනම් පිටිපස්සෙ උමඟෙයි යානෙ  තියෙන්නෙ..'

ඔවුන් උමඟට යානය ඇතුළ් කර එතනින් ඉවත් වෙනතුරු නීන් ඉවසා සිටියා..
නමුත් ඔවුන් එතනින් පිටව ගියේ යානයේ මුරට කේල්ගේ පිරිසෙන් දෙදෙනෙක් දොරටුව අසල නවත්වලයි..

'කේල්, යානය ක්‍රියාත්මක කරන පාෂානය අයින් කරලා තිබුනොත් මොකද වෙන්නෙ.. තවත් පාෂානයක් හොයා ගන්න තවත් කල් යයි.. අනික ඒක ආරෝපණය කර ගන්නත් ඕනෙ.. බලමු... ඒත් යානය ගැන දැනුමක් කේල්ට නැති නිසා පාෂානය ගැන වැඩිය හිතන එකක් නැහැ.'

නීන් තවත් මඳ වේලාවක් බලා සිටියා..

තාත්තාගේ උණ්ඩ විදිනයට ඈ පාෂාන පතුරු ඇතුල් කලා.. මොහොතකින් උමං දොරටුවේ සිටි දෙදෙනා නීන් එල්ල කල පාෂාන පතුරු වැදී ඒවාට ශරීරය කැපී බිම වැටුනා..

හරි..

නීන් දෙවරක් නොසිතා උමඟට ගොස් යානයට ඇතුල් වුනා..

✴✴✴✴✴✴✴✴✴✴✴✴✴✴

මීලඟ කොටසින් හමුවෙමු..

Tuesday, January 24, 2017

පිටසක්වල තරුණිය "නීන්" 10 කොටස…       

පසුගිය කොටසින්..
°°°°°°°°°°°°°°°°°°°°

'මොකද්ද මේ සිද්ධ වුනේ.. ඒ කියන්නෙ නීන් කරපු හැම දෙයක්ම එයාගෙ මායාවක්. මම රැවටුනා.. මගේ ලෝකෙ මනුෂයන්ගෙන් එයාට අනතුරක් වෙයි කියලා මම එයාගෙ ලෝකෙට යන්න නීන්ට උදව් කලා...  ඒත්.. ඒත් මාව උගුලක පටලලා එයාගෙ ලෝකෙ ජිවීන්ට මාව අහු කරා.. ඒක නීන්ගෙයි අර කේල් කියන එකාගෙයි ගනුදෙනුවක්! '

දිනුක බොහෝ වේදනාවෙන් සිතුවා..

'කොහොමද මම මෙතනින් පැන ගන්නෙ.. මොකටද මාව ගේන්න ඇත්තෙ..'

°°°°°°°°°°°°°°°°°°°°
එතැන් සිට...

මඳ වේලාවක් ගත වන විට එක් ජීවියෙකු පාෂාන වලින් සෑදූ බඳුනකට දමා, කොළ පැහැති දියරයක් දිනුක අසලින් තබා ගියා..

"මේ මොනවද මේ.. ආ... යුෂ වෙන්න ඇති.. නීන් කිව්වෙ එයාලා ආහාරයට ගන්නෙ යුෂ කියලා. "

තරමක කුස ගින්නක් තිබුන බැවින්,  දිනුක එයින් ස්වල්පයක් ගෙන මුවෙහි දමා ගත්තේ එහි රසය කෙබඳු දැයි ප්‍රථමයෙන් දැන ගැනීමටයි..
කටට ගත් විගසම එය කාරා කෙල ගැසූ දිනුක මුහුණ ඇඹුල් කර ගත්තා. 

"මේ මොන ජරාවක්ද.. "

එක්වරම යමෙකු පිටුපසින් පැමින දිනුකගේ මුව වැහුවා..

"ෂ්.. කැ ගහන්න එපා.. කේල් එයි. "

ඒ හඩ නීන්ගෙ. ඉන් පසු ඈ එම ග්‍රහනය බුරුල් කලා..

"නීන් මට කියන්න ඇයි මෙහෙම දෙයක් කලේ..?? උන් මට මොනවද කරන්න යන්නෙ..?  "

දිනුක කෝපය මුසු හඩින් නීන්ගෙන් ඇහුවා.

"මට සමාවෙන්න.. වෙන කරන්න දෙයක් තිබුනෙ නෑ..

මම ඔයාට කියපු දේවල් සම්පූර්ණයෙන් බොරු නෙමෙයි.. මගේ ලෝකෙට පිටසක්වලින් යානයක් වැටිලා තියෙනවා. ඒක පරීක්ෂා කරලා මගෙ තාත්තට අදහසක් ඇවිත් ඒ වගේ යානයක් හැදුවා. තාත්තා පෙම්ලෝ කුට්ටියට ගියා.. ඒ සේරම ඇත්ත..

මගේ සහෝදරයා ජොම්, තාත්තව හොයන්න යන්න යානයක් හැදුවා.. තැනිතලාව ළග ගබඩාවෙදි ඒක කේල්ට අහු වුනා..

කේල් තමයි අපේ ජනපදයෙ නායකයා. එයාට නොදන්වලා කිසිම දෙයක් කරන්න බැහැ..

ජොම් හදපු යානෙ කේල් දැක්කට පස්සෙ ජොම්ගෙ අත් දෙක කපන්න අණ කලා කේල්. :'( ඒවා හැදෙන්න තව ගොඩක් කල් යයි.. "

නීන් හඩමින් කිව්වා.

"ආයෙත් හැදෙන්න? "
දිනුක විෂ්මයෙන් ඇහුවා

"ඔව්. ඇයි මොකද්ද ඒකෙ පුදුම වෙන්න තියෙන දේ..?"

දිනුක කිසි දෙයක් කිව්වේ නැහැ.. නීන් කල දෙයින් පසු ඔහු තව දුරටත් ඇයව විශ්වාස කලේ නැහැ..

"තාත්තා යානය හදන කාලෙ අපේ නායකයා වෙලා ඉඳලා තියෙන්නෙ හල්ම් කියලා කෙනෙක්. එයා ගොඩක් හොඳ නායකයෙක්ලු..  තාත්තගෙ යානය ක්‍රියාත්මක කරවන්න හොඳම පාෂානය ලබා දීලත් තියෙන්නෙත් ඔහු.

ඊළඟට ජනපදයෙ නායකයා වෙන්න හල්ම් නම් කරලා තිබුනා දෙන්නෙක්. එක්කෙනෙක් තමයි මේ කේල්. අනිත් කෙනා මගෙ තාත්තා... වැඩියෙන් දක්ෂකම් දක්වන කෙනාට තමයි ඊළඟට නායකයා වෙන්න අවස්ථාව ලැබෙන්නෙ..
මගේ තාත්තා පෙම්ලො කුට්ටියට ගිහින්. ඒත් ආපහු ආවෙ නැහැ. :(

කේල් අපෙන් ප්‍රශ්න කලාම අපිට කියන්න වුනා ජොම් මේ යානය හැදුවෙ තාත්තව හොයා ගන්න යන්න කියලා.. කේල් අපේ යානය විනාශ කරන්නයි හැදුවෙ.. ඒත් කේල්ට මේ අදහස ආවා..

අපේ අතීත ජීවීන් පාෂාන වල ලියලා තියෙනවා ඒ කාලෙ වැදගත් සිදුවීම්... ඒ අතරෙ පිටසක්වල ජීවින් සතු දැනුම, ශක්තිය වගේ දේවල් ගැනත් ලියවෙලා තියෙනවා.. පිටසක්වල ජීවීන් සතු දැනුම, ශක්තිය උරා ගන්න අපේ ලෝකේ ඕනම ජීවියෙක්ට හැකියාව තියෙනවා. ඒක අපිට උපතින්ම ආපු දෙයක්.. ඉතින් කේල්ට ඕනෙ වුනා මේ ලෝකෙ විතරක් නෙමේ අනිත් ලෝකවලත් බලවත්ම කෙනා වෙන්න..

කේල් නියෝග කලා මේ යානෙන් ගිහිල්ලා  පිටසක්වල ජීවියෙක්ව මෙහෙට ගේන්න.. ඒක පැවරුවෙ මට.. නැත්නම් ජොම්ගෙ වගේ මගෙත් අත් කපා දානවා කිව්වා.. "

නීන් ඇගේ කථාව කියන අතරතුර කේල් හෝ වෙනත් කිසිවෙක් උමඟට ඒ දැයි ඇය සැලකිලිමත් වුනා..

"නීන් එතකොට මොකද්ද කේල් අර පොරොන්දුවක් ගැන කිව්වෙ. ?"

සියල්ල හොදින් අසා සිටි දිනුක ඇහුවා..

"මම කේල්ගෙන් පොරොන්දුවක් ගත්තා. මම එයාට පිටසක්වල ජීවියෙක්ව ගෙනත් දුන්නට පස්සෙ මගේ තාත්තව හොයා ගන්න පෙම්ලො වලට යන්න ඉඩ දෙන්න කියලා...

යානය ක්‍රියාත්මක කරන හැටි මට කියලා දෙන්න එයා ජොම්ට අණ කලා.. මම ඔයාගෙ ලෝකෙට එනකොට ඒක දැනෙගෙනයි හිටියේ..  ඔයාව යානය ඇතුළට ගන්න හිතාගෙනයි නොදන්න විදිහට එහෙම දෙයක් කලේ.. "

"හහ්.. ඇයි ඔයා මාව මෙහෙට ගේන්න ඒ වගේ රැවටීමක් නොකර, බලයක් පාවිච්චි නොකලෙ නීන්..? "
දිනුක ඇහුවා..

"ගැහැණු ජීවීන්ට එහෙම බලයක් නැහැ. අපේ ලෝකෙ ඒ බලය තියෙන්නෙ පිරිමි ජීවීන්ට විතරයි..

එහෙම බලයක් තිබුනත් මට බෑ ඔයාට අනතුරක් කරන්න.. :( ඔයා හොද කෙනෙක්.. ඒත් තාත්තව හොයා ගන්න යන්න ඕනෙ නිසා, මට වෙන කරන්න දෙයක් තිබුනෙ නෑ.. " :(

✴✴✴✴✴✴✴✴✴✴✴✴✴✴

මීලඟ කොටසින් හමුවෙමු..

පිටසක්වල තරුණිය "නීන්" 09 කොටස…            

පසුගිය කොටසින්..
°°°°°°°°°°°°°°°°°°°°
මහාචාර්යවරුන් දෙදෙනා හැකි ඉක්මනින් ගල් පරය ආසන්නයට දිව්වා.. නමුත් ඒ වන විටත් නීන් යානය පනගැන්වීමේ දණ්ඩ දිනුක ලවා ක්‍රියාත්මක කරවා තිබුනා.. එක්වරම අහසට නැගි යානය නොපෙනී යනු මහාචාර්යවරුන් දෙදෙනා දෑස් විසල් කරමින් බලා සිටියා..
°°°°°°°°°°°°°°°°°°°°
එතැන් සිට...

"ෂික්. අපි තව විනාඩි පහක් දහයක් කලින් ආවා නං.. "
ප්‍රොෆෙසර් රණ්දෙනියට කියවුනා..

"දිනුක.. ඒ ලමයත් ගියා නේද.. ඒත් අර ජීවියාගෙන් බලපෑමක්වත් තර්ජනයක්වත් තියෙන පාටක් පෙනුනෙ නැහැ.. එහෙනම් කැමැත්තෙන්මද ගියේ.. මොකද්ද ඒකෙ තේරුම.. "
මහාචාර්යවරුන් කිසිත් තේරුම් ගත නොහැකිව බලා සිටියා..

                        ***
යානය නීන්ගේ ග්‍රහලෝකය මත පතිත වුනා.. නීන් ඉක්මනින් එයින් බැස ගත්තා..

‍යානය පන ගැන්වුනු විටම යානයේ ඇති වන සෙලවීම හැර යානය ගමන් ගැනීමේදී වෙනත් කිසිම දැනීමක් ඇති වෙන්නේ නැහැ. යානය නීන්ගේ ග්‍රහලෝකය වෙත පැමින ඇතැයි දිනුක සිතුවෙත් නැහැ..

"නීන් ඉන්න.. "

දිනුකත් යානයෙන් බැස ගත්තා.. දිනුක, ඔහු එක්වරම දුටු දර්ශනයෙන් භීතියෙන් ඇලලී ගත්තා.. නීන්ගේ හැඩහුරුකම් ගත් ජීවීන් සියයකටත් අධික පිරිසක් යානය අසල සිටියා.. ඔහුන් විවර කර ගත් මුවවල් වසා ගත නොහැකිව දිනුක දෙස විශ්මයෙන් බලා සිටියා.. මදක් උස මහත ශරීරයක් හිමි අයෙක් පැමින නීන්ගේ උරහිස මත ඔහුගේ අත තැබුවා..

"නීන් උබ එහෙනම් අපි කිව්ව විදිහට වැඩේ කලා.. හහ් හා..

මේ ජීවීන්ට විෂ විදින්න පුළුවන්ද.. නැත්නම් වෙන බලයක් අපි දිහාවට එල්ල කරන්න පුළුවන්ද..?

ඔහු නීන්ගෙන් ඇසුවා..

"නෑ එහෙම බලයක් නෑ.. මම ඔහුගෙ හිසට අත තියලා ඒ ගැන බැලුවා.. ඒත් විශිෂ්ඨ සිතුවිලි, දැනුම වගේ දේවල් ගොඩක් තියෙනවා.. බලන්න..

දැන් මගේ පොරොන්දුව හරිනෙ කේල්.. දැන් ඔබේ පොරොන්දුව ඉෂ්ඨ කරන්න.. "
නීන් කිව්වා..

නීන්, කේල් යැයි පැවසූ පුද්ගලයා ඊට පිළිතුරක් ලබා නොදී හයියෙන් සිනාසුනා..

සිදුවන සියලු දේ දෙස දිනුක භීතියෙන් මුසපත්ව බලා සිටියා..

"නීන් මොකද්ද මේ වෙන්නෙ.. " දිනුක ඇගෙන් ඇහුවා.

නීන් ඔහු දෙස අනුකම්පා සහගතව මදක් බලා හිඳ එතැනින් යන්නට ගියා..

"මේ ජීවියව අල්ලා ගන්නවා.."

කේල් තම පිරිසට දිනුක පෙන්වා කෑ ගැසුවා.. ඔවුන් මදක් තැති ගැන්මට පත්ව සිටියා..

"ඔහු ළඟ බලයක් නෑ කියලා නීන් කිව්වා ඇහුනෙ නැත්ද.. බය වෙන්න දෙයක් නෑ. අල්ලා ගන්නවා.. "

සිදු වන්නට යන දෙය ඉවෙන් වටහා ගත් දිනුක නැවත යානය දෙසට දුවන්නට පටන් ගත්තා.. නමුත් කේල්ගේ පිරිස ඔහුට වඩා ඉක්මන් වුනා..

ඔවුන් දිනුක අල්ලා අත් ගැට ගැසූවා.. එයා ඉතා තියුනු පටියක් බව දිනුකට දැනුනා.. ඔහු තම අත ඉන් මුදවා ගන්ට දඟලා දරන සෑම උත්සහයකදීම අත් තවත් සිර වූවා පමණක් නොවෙයි එයට අත කැපී ලේ ගලා ගියා..

"කේල් මේ බලන්න.. ඒවයෙ පාට.. ඔහුගේ ඇග ඇතුලෙ තියෙන අමුතු  දියරය එලියට එනවා.. "

තවත් ජීවියෙකු දිනුකගේ ලේ දැක කෑ ගැසුවා..

"කොහෙටද මාව එක්කන් යන්නෙ.. මට යන්න දෙනව!! "

දිනුක වේදනාවෙන් කෑ ගැසුවා..
පෘතුවියේ දී දිනුකව මුන ගැසුනු මොහොතේ, නීන් ඇගේ අත දිනුකගේ හිසේ තැබීමෙන් පසු ඈ කියනා දේ තේරුම් ගැනීමේ හැකියාව ඔහු සතු වුනා.. එම නිසා මේ ලෝකයේ ජීවීන් පවසන දේ ඔහුටත් ඔහු පවසන දේ කේල් ඇතුලු ජීවීන්ටත් හොදින් වැටහුනා..

"කෑගහන්න ඳගලන්න එපා.. එහෙම උනොත් උබගෙ ඇගේ තියෙන දියර ඔක්කොම එලියට ඇවිත් මැරිලා යාවි.. "
කේල් දිනුකට තර්ජනය කලා.. පසුව පොළව යට උමඟක් මෙන් වූ  ස්ථානයකට දිනුකව රැගෙන ගොස්  හිර කලා..

දිනුකව එසේ තබා ඊළඟට කළ යුතු දේ සාකච්චා කිරීමට කේල් සහ පිරිස පිටවී ගියා.

'මොකද්ද මේ සිද්ධ වුනේ.. ඒ කියන්නෙ නීන් කරපු හැම දෙයක්ම එයාගෙ මායාවක්. මම රැවටුනා.. මගේ ලෝකෙ මනුෂයන්ගෙන් එයාට අනතුරක් වෙයි කියලා මම එයාගෙ ලෝකෙට යන්න නීන්ට උදව් කලා...  ඒත්.. ඒත් මාව උගුලක පටලලා එයාගෙ ලෝකෙ ජිවීන්ට මාව අහු කරා.. ඒක නීන්ගෙයි අර කේල් කියන එකාගෙයි ගනුදෙනුවක්! '

දිනුක බොහෝ වේදනාවෙන් සිතුවා..

'කොහොමද මම මෙතනින් පැන ගන්නෙ.. මොකටද මාව ගේන්න ඇත්තෙ..'

✴✴✴✴✴✴✴✴✴✴✴✴✴✴

මීලඟ කොටසින් හමුවෙමු..

පිටසක්වල තරුණිය "නීන්" 08 කොටස…            

පසුගිය කොටසින්..
°°°°°°°°°°°°°°°°°°°°
මුදුවේ ශබ්දයේ සිහියෙන් ඉවුර දිගේ ඉදිරියට යමින් සිටි දිනුක ආපසු හැරී ගුහාව තිබූ දෙසට ගමන් කරන්නට පටන් ගත්තා.. ඒ සමගම මුදුවේ හඩ ටිකින් ටික වියැකී අවසානයේදී නෑසී ගියා..

                           ***
"නීන් නැගිටින්න.."

දිනුක ආපසු පැමිනෙන විට ඇය ගුහාව තුල බිම සිහිසුන්ව වැටී සිටියා.. දිනුකගේ කෑ ගැසීමෙන් ඇය සෙමින් ඇස් ඇර බැලුවා.. පෘතුවියට පැමිනි දිනයේ සිට ආහාරයක් ලෙස යමක් නොලැබුනු නිසා නීන් ගේ ශරීරය තුළ ශක්තිය හීන වී තිබුනා..

°°°°°°°°°°°°°°°°°°°°
එතැන් සිට...

"නීන් බලන්න.. මම ඒක හොයා ගත්තා.. "

නීන් ඒ දෙස බලා සිටියා. නමුත් කිසිවක් කියා ගත නොහැකි වුනා.. නීන් මෙතැනම මිය යාවි දැයි දිනුකට කනගාටුවක් ඇති වුනා..

'නැහැ.. කොහොම හරි මුද්ද වැඩ කරන හැටි හොයාගෙන, ඒකෙන් යානය හොයාගෙන නීන්ව පිටත් කරන්න ඕනෙ... '

"නීන් නැගිටින්න.. මේ බලන්න අපිට මේක වැඩ කරන විදිහ හොයා ගත්තොත්  යානය හොයා ගන්න පුලුවන්.  ඔයාට මොකක් හරි අදහසක් තියෙනවද මේක වැඩ කරන හැටි ගැන..?"

නමුත් පිළිතුරු දීමට තරම් වත් ශක්තියක් නීන් සතුව තිබුනේ නැහැ. ඇයට වතුර බීමට දෙන්න දිනුක කෑන් එක අතට ගත්තා.. ඒත් නීන් එය සම්පූර්නයෙන් හිස් කර තිබුනෙ..

"කමක් නෑ.. අපි ගඟ ළඟට යමු.."

ඇයට හැකි ඉක්මනින් වතුර හෝ ලබා දීමට දිනුකට අවශ්‍ය වුනා.. ඔහු නීන්ව අපහසුවෙන් වත්තම් කරගෙන ගඟ දෙසට ඒමට පිටත් වුනා.. ගඟ ආසන්නයට පැමිනෙත්ම දිනුක පැළඳ සිටි මුදුවෙන් නැවතත් පෙර ලෙසම ශබ්දය නැගෙන්නට වුනා..

ටීක් ටීක්..

ඒ ඇසෙත්ම දිනුකට යමක් කල්පනාවට ආවා.. ඔහුට ඇති වූ අදහස... එය නැවතත් පරීක්ෂා කිරීමට අවශ්‍ය වුනා..

"නීන් ඔයා මෙතන ටිකක් ඉන්න.."

ඔහු නීන්ව එතැනම බිම ඉන්දවා  ආපසු ඔහු පැමිනි දිශාවටම පියවර කිහිපයක් ගියා.. එවිට මුදුවේ ශබ්දය අඩු වුනා..

"නීන්.. අපි හොයා ගත්තා!! "

මුදුවේ ක්‍රියාව ඔහුට හොදින් තේරුනා.. යානය ගඟ අසලම ඇති යැයි ඔහු අනුමාන කලා.. තමා කලින් මොහොතේ ඉවුර දිගේ ඉදිරියට යන විට ඒ හඩ හොදින්ම වැඩි වූ බව ඔහුට මතක් වුනා..

"එහෙනම් යානය කිට්ටුවට ආවමයි මේක වැඩ කරන්නෙ..  ඒ කියන්නෙ ඉවුර දිගේ ඉස්සරහට ගියාම හොයා ගන්න පුළුවන් වෙයි යානය.."

ඔහු නීන්ව ගඟ අසලට ගෙනැවිත් ඇයට ඇති තරම් ජලය බීමට සැලැස්සුවා.. මොහොතකට පසුව දිනුක මෙසේ පැවසුවා..

"ධෛර්යය ගන්න නීන්. අපි ළගටම ඇවිත් තියෙන්නෙ.. යානය මේ ළඟමයි ඇත්තෙ.. "

"දිනුක.  මම යානය වැටුන වෙලාවෙ ඒකෙන් එලියට පැනලා දිව්වා.. මට මතකයි ලොකු පාෂාන තිබුනා එතන.. "

නීන් තමාට මතක් වූ දෙයක් කිව්වා..

මුදුවේ ශබ්දය වැඩි වෙමින් තිබුනා.. ඔවුන් ඉවුර දිගේ ඉදිරියටම ගියා.. ඒ අතරතුර කාගේ හෝ ඇසකට හසු වේවි දැයි දිනුක පරීක්ෂාවෙන් හිටියා..

ඔවුන් යානාවට ආසන්නයේම බව  හඟවම්න් මුදුවෙන් නැගුනු ශබ්දය වැඩි වුනා. 

"අර තියෙන්නෙ පාෂාන.. "
ඉවුරේ ඇති ගල්පරයක් පෙන්වමින් නීන් කෑ ගැසුවා...

ඔවුන් ඒ අසලට ළඟා වුනා..  අවසානයේ ගල්පරයට එපිටින් තිබූ නීන්ගේ යානය ඔවුන් සොයා ගත්තා!

"මේක කිසිකෙනෙකුට හොයා ගන්න බැරි වුනේ මේ ගල්පරයෙන් වැහිලා තිබුන නිසයි එහෙනම්..
ඔයාගෙ වාසනාවකටයි මේ වගේ තැනකට වැටිලා හැංගිලා තිබුනෙ නීන්.."
නීන් යානයට ඇතුල් වුනා..

දිනුක පිටත සිට බලා සිටියා.  ඔහු මුදුව ගලවා නීන්ට දුන්නා..

"දිනුක.. මේක ක්‍රියා කරන හැටි මට මතක නැහැ.. මම පිළිවෙලක් ඇතුව නෙමෙයි කලේ මේක.  ඒක අහම්බයක්.. කරුණාකරලා උදව් කරනවද මට... "

එය ප්‍රමානයෙන් කුඩා වුවත්  මිනිසෙකුට යන්තමින් ඇතුල් වීමට හැකි තරමේ ඉඩ ප්‍රමාණයක් විය..
දිනුක එය තුලට ඇතුල් වුනා..

"හොඳයි පොඩ්ඩක් ඉන්න.. මේ මොකද්ද... "

"ඒක දිශාව හරවන එකක් කියලයි ජොම් කියලා තියෙන්නෙ.. මම මෙහෙට ආවෙ ඔහොම දිශා දැක්වෙන විදිහට තියෙද්දි.. මගෙ ලෝකෙට යන්න නම් ඒක ඊට විරුද්ධ පැත්තට දිශා හරවන්න ඕනෙ.. ඊට පස්සෙ අර දණ්ඩ මේ පැත්තට.. "

නීන් කියාගෙන කියාගෙන ගිය විදිහටම කිසිත් නොසිතා දිනුක එය කලා..

"ඊළඟට මේක පාගන්න ඕනෙ.. "

ඇගේ කකුලේ අපහසුව නිසා එය නීන්ට කිරීමට අපහසු බව දැනී දිනුක එය කලා.. එවිටම යානය ගැස්සෙන්නට පටන් ගත්තා..

                      ***
පැනගිය පිටසක්වල ජීවියාව කෙසේ හෝ සොයා ගත යුතු යැයි අධිෂ්ඨානයක සිටි මහාචාර්යවරුන් දෙදෙනා මේ වන විටත් ගඟ ඉවුර දිගේ ඉදිරියට පමිනෙමින් සිටියා..

ගල් පරයෙන් එහා පසට යන, නීන් හා දිනුකව දකින්නට ඔවුන් ප්‍රමාද වී සිටියේ නෑ..

"රණ්දෙනිය.. අර බලන්න...
මේ කොල්ලා අපිට කොලේ වැහුවා.. දැක්කද.. අපේ පිටසක්වල ජීවියත් එක්ක ඉන්නෙ.. "

මහාචාර්යවරුන් දෙදෙනා හැකි ඉක්මනින් ගල් පරය ආසන්නයට දිව්වා.. නමුත් ඒ වන විටත් නීන් යානය පනගැන්වීමේ දණ්ඩ දිනුක ලවා ක්‍රියාත්මක කරවා තිබුනා.. එක්වරම අහසට නැගි යානය නොපෙනී යනු මහාචාර්යවරුන් දෙදෙනා දෑස් විසල් කරමින් බලා සිටියා..
✴✴✴✴✴✴✴✴✴✴✴✴✴✴

මීලඟ කොටසින් හමුවෙමු..