Tuesday, January 9, 2024

ගුරු දිවියේ සොදුරු මතක.. 01

මාතොටින් එන උතුරු සුළඟේ..
ගිනි සිඹින මඩු පල්ලියේ..

මේ ගීතය මට ඇහෙනකොට මම හිටියෙ තුන වසරෙ හරි හතර වසරෙ හරි. පද වලින් කියවෙන අර්ථය 100%ක් නොතේරුණත් තේරුන ටිකෙන් මට ඒ ටීචව දැණුනා. පසුකාලීනව ගීතය ඇහෙනකොට මම මාවම උතුරු පළාතෙ උගන්වන ටීච කෙනෙක් විදිහට මවාගෙන බැලුවා. දෛවය කොයි තරම් පුදුමද. අද මම ඇත්තටම උතුරෙ ටීච කෙනෙක්. පාසල් නෙමේ. අර්ධ රාජ්‍ය අධ්‍යාපන ආයතනයක් කියලා විතරක් කියන්නම්කො. එක සිංහල වචනයක් වත් නොදන්න දමිළ ළමයින්ට අද මම උගන්වනවා.

මෙහෙ ඇවිත් උගන්වන්න ගත්ත පළවෙනි දවසෙ මම ලැබුව අත්දැකීම් ඔයාලා එක්ක බෙදා ගන්න කැමතියි. 2022 සැප්තැම්බර් මාසෙ මගේ IT කාමරයට ළමයි ටික ආවා. ඒක මගේ ඉස් ඉස්සෙලම කරන ක්ලාස් එක. ළමයි කීප දෙනෙක් ක්ලාස් එක ඇතුළෙ එහෙ මෙහෙ දුවනවා. මම ඇහුවා මොකද ළමයි මේ කියලා. එක ගෑණු ළමයෙක් මට කිව්වා මිස් එයාලට සිංහල තේරෙන්නෙ නෑ කියලා. මම කලින් දැනගෙන හිටියා දෙමළ ළමයිනුත් ක්ලාස් එකේ ඉන්නවා කියන එක. ඒත් ඒක මට ඇත්තටම දැනුන වෙලාව මේක. ඉතින් මම සරලම ඉන්ග්ලිශ් පාවිච්චි කරා එයාලගෙන් විස්තර අහන්න. යාළුවො එක්ක එක ළග තැන් වල ඉද ගන්න තමයි එයාලා කැරකි කැරකි ඉදලා තියෙන්නෙ. ඒ මගේ ක්ලාස් එකෙන් බාගයක් සිංහල ළමයි බාගයක් ටැමිල් ළමයි. දෙන්නෙක් හිටියා මුස්ලිම් ළමයි. ජනවර්ග තුනක ළමයි එකම ක්ලාස් එකක. ඒක මට හරි සතුටු හිතෙන අත්දැකීමක් උනා. මම හරි සතුටෙන් එයාලට උගන්නන ගත්තා. සාමාන්‍ය පෙළ ඉවර කරපු ළමයි. සමහර ළමයින්ට ලොකු ඉංග්‍රීසි දැනුමක් තිබුණෙ නෑ. මගෙන් ප්‍රශ්නයක් අහන්න ඕන උනොත් එයාලා ටැමිල් වලින්ම ඇහුවෙ. ඒක මට තේරෙන්නෙ නැති උනාම භාෂා දෙකම දන්න ළමයෙක් මට කියලා දුන්නා. දවසක් දෙකක් ගතවෙද්දි එයාලට මාත් එක්ක කතා කරන්න නම් ඉංග්‍රීසි ඕනෙමයි කියලා තේරුණා. ඒ නිසා දන්න හැම වචනෙම පාවිච්චි කර කර එයාලා මාත් එක්ක කතා කරන්න ගත්තා.
මේක මට අමතක වෙන්නෙ නැති අත්දැකීමක්. සතියකට දෙකකට පස්සෙ එක දවසක් ගෑණු ළමයි තුන් දෙනෙක් ක්ලාස් එකට ආවා මම තනියෙන් ඉන්නකොට. ආදරණීය හිනාවක් එක්ක එයාලා මලක් ගෙනාවා මට. ඒ වෙනකොට මටත් දෙමළ වචන ටිකක් පුළුවන් වෙලා තිබුණෙ. එයාලා කිව්වෙ මගෙ කොන්ඩෙ ගහන්න කියලා ඒ මල. ඉතින් මමත් හිනාවෙලා එයාලගෙන් කෙනෙක්ටම ඒ මල ගහන්න කියලා එයාලටම කියලා ෆොටෝ එකකුත් ගන්නවා ගත්තා.




ටැමිල් ලේඩි කෙනෙක් වගේ දැන් මිස් කියලා එයාලා සතුටෙන් ගියා. ටැමිල් ලේඩීස්ලා ඔලුවෙ මලක් ගහනවා. අපේ ස්ටාෆ් එකේ ටැමිල් මිස්ලත් සමහර දවසට ගහනවා. ඉතින් ඒ දරුවන්ට මාව ඒ විදිහට දකින්න ඕන වෙන්න ඇති.
කාලයත් එක්ක දරුවො හැමෝම මාත් එක්ක ගොඩක් සමීප උනා. අපි දෙගොල්ලගෙ භාෂාව අපි දෙගොල්ලොම නොදැන ගත්තත් අපි අතර ලොකු බැදීමක් ඇති උනා.

මගේ විෂය IT. මම දීපු Activity එකක් ඉවර කරපු ළමයෙක් ටක් ගාලා පුටුවෙන් නැගිටලා ඉවර කර ගන්න බැරි ළමයෙක් ළගට ගිහින් කරන හැටි කියලා දෙනවා දැකපු දවසෙ මට හරි සතුටක් ඇති උනා. ඒ ළමයි දෙන්නටම අනිත් කෙනාගෙ භාෂාව බෑ. ක්ලික් දිස් ක්ලික් දිස් මට ඇහෙනවා. කොහොම හරි කරන හැටි අර ළමයට කියලා දුන්නා. මගේ රටේ දරුවො හැමෝම ඒ වගේ උනොත් අනාගතේ මේ රට කොච්චර ශක්තිමත් වේවිද කියලා මට හිතුනා. කාටවත් බෙදලා වෙන් කරන්න බැරි වෙයි අපේ රට.
එයාලත් එක්ක ගත කරපු සුන්දර කාලයේ මතක ගොඩක් තියෙනවා. තවත් දවසක ඔයාලා එක්ක බෙදා ගන්න එන්නම්.



Saturday, July 30, 2022

අසාර්ථකවීම්, වැරදීම්..

අසාර්ථක වීම්, වැරදීම්වලට ඔබ බයයිද? මම බොහොමත්ම බය වෙලා හිටපු කාලයක් තිබුණා. ඒ ඉගෙන ගන්න කාලෙ. පන්තියේ පාඩම් වලදි උත්තර දැනගෙන උත්තර නොදුන් අවස්ථා සෑහෙන්න තිබුණා. වැරදීම් වලට තියෙන බයට. ප්‍රශ්න ප්‍රත්‍රයකට උත්තර ලියලා වැරදෙන ප්‍රශ්න ගැන අනන්තවත් කනස්සල්ලෙන් හිටියා.

ජීවිතේ ප්‍රශ්නෙකදි උනත් හිත දෙපැත්තකට බෙදිලා තර්ක කරා. වරදින්න තියෙන චාන්ස් එක ගැන දිගින් දිගටම දිගින් දිගටම හිතුවා. ඒ වගේම වැරදුනාම අනිත් අයගෙ අවඥාවට ලක් වෙයි කියලා තැවුණා. 

ඔය අතරෙදි, ඒ ලෙවල් ක්ලාස් යන කාලෙ අපේ සර් කෙනෙක් කියපු කතාවක් මගේ හිතට බොහොම තදින් කාවැදුනා. ඒ ගැන මම දිගින් දිගටම දිගින් දිගටම හිතුවා. ඒක මගේ ටියුට් එකක පිටිපස්සෙ ලිව්වා. අද මට ඒක අහම්බෙන් මතක් වුණා.

තෝමස් අල්වා එඩිසන් මහත්මයා බල්බය සොයා ගත්තෙ 10 000 වතාවක් අසාර්ථක වෙලා. ඉතින් පසුකාලිනව කෙනෙක් ඔහුගෙන් අවඥාවට ඇහුවලු ඔබට 10 000 පාරක්ම වැරදුනා නේද කියලා. ඉතින් තෝමස් මහත්මයා ඔහුට අපූරු පිළිතුරක් දුන්නා. මම 10 000 වතාවක් අසාර්ථක වුණේ නෑ. බල්බය නොසෑදිය යුතු ක්‍රම 10 000 ක් මම ඉගෙන ගත්තා. 

ප්‍රශ්න පත්‍රයක වෙන වැරදීම් වලින් දුක් නොවීමෙන් මම පටන් ගත්තා. ඒ වැරදීම් මතක තියාගෙන ඊළග වතාවෙ ඒක නිවැරදිව කලා. ජිවිතේ පවා අසාර්ථක වීම් ඇතුලෙ ඉගෙන ගන්න දේවල් දැක්කා.
අපිට තියෙන කෙටි ජීවිත කාලෙ, හැම දෙයක්ම අත්දැකීමෙන්ම ඉගෙන ගන්න කාලය මදි වෙන අවස්ථාවන් තියෙනවා. එතකොට අපි යන මාර්ගයේ කලින් ගියපු අයගෙ අත්දැකීම් අපිට වැදගත්. ඒවා අපිට සාර්ථකත්වයට ලොකු රුකුලක් වෙනවා ගොඩක් වෙලාවට. ඉතින් වැරදීම් වලට බය වෙන්න එපා. ඒකෙන් දෙයක් ඉගෙන ගෙන අත් අරින්නෙ නැතුව ඉස්සරහටම යමු.

~මුදී~
2022.07.30

Friday, July 29, 2022

මගේ රට


ජීවිතයේ ඉතාම දුෂ්කර පරිච්ඡේදයක් පසු කරමින් සිටින කාලයක මා බ්ලොග් සටහනේ අකුරු අමුණන්නට ආයෙමත් ආවා. කිසිවක් නොතේරෙන කුඩා දරුවාගේ ඉඳලා වයස්ගත වැඩිහිටියා වෙනකන් අපි හැම දෙනාගේම ජීවිත මේ දුෂ්කර කාල පරිච්ඡේදය හමුවේ අසරණ වෙලා.

අනාගතය දුර තියා සැලසුම් කරගෙන ආපු බොහෝ දෙනා, ඒ සැලසුම් අමතක කරලා හෙට දවස හෝ අද දවසේ ජීවිතය ගැන පමණක් සිතන තැනටම පත් වෙමින් ඉන්නවා. නිශ්චිත උත්තර නැති ප්‍රශ්න අපි හැමෝගෙම ජීවිත වලට එකතු වෙලා.

ඒ හැමදේම එහෙම වෙද්දි, මේ ගෙවුන කාලෙ මට දකින්න හම්බවුණ හරි ලස්සනම දේවල් ටිකක් තිබුණා. කොයි තරම් අමාරුවෙන් හිටියත් මිනිස්සුන්ගෙ හිත් වල තියෙන ලස්සන මතු වුණ අවස්ථා. තමන් ගෙනාපු එක බත් එක පෝලිම් වල අනිත් අයත් එක්ක බෙදාගෙන කෑවා. විදේශිකයන්ගෙ ප්‍රවාහනයට තෙල් ලබාදෙන්න අවස්ථාව ලබා දීපු ජනතාව. එක චූටි දුවෙක් සංචාරකයන් හම්බවෙලා කත කරනවා, අපේ රටේ ලස්සන ගැන අනිත් විදේශිකයන්ට කියලා එයාලට මෙහෙ එන්න කියන්න කියලා ඉල්ලනවා.

අසල්වැසියන් එක්ක තමන්ට තියෙන ආහාර බෙදාගන්න මිනිස්සු ඉන්නවා. ලස්සන මනුස්සකම් පිරුණු හදවත් මගේ රටේ තියෙනවා. ඉතින් ඒ මිනිස්සුන්ට දවසක හරි යනවා. අඳුරු උමඟක් කෙලවර ආලෝකයක් තියෙනවා. ඉතින් මේ අමාරු කාලෙ ඉක්මනින් ගෙවිලා හොඳ කාලයක් මගේ රටට ඉක්මනින් උදා වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා! 🙏


~මුදී~
2022.07.30

Tuesday, January 23, 2018

(7) පොඩි දූ....,

දෝණියේ නුඹ දෙදෙන එකවර
මගේ කුස තුළ පැමිණ උන්නා
දකින්නට පෙර පැටව් දෑසින්
අප්පච්චි නුඹෙ නිවන් වැඩියා..

පෙර දිනෙක කෑ බත් පතක රස
මතක දින දින දුරස් වූවා
ටිකෙන් ටික සනුහරේ නෑයොත්
නොදැන ගානට අහක බැලුවා..

කුස ගින්න කෑ මොර නගද්දී
නැගුනු කිරි බිඳ නුඹට පෙව්වා
දෝණියේ නුඹ දෙදෙන තුරුළුව
රෑ ගණන් මම කඳුළු හැලුවා..

කිරිම කිරි සුදු පාට රථයක්
දෝණි ඉල්ලා දොරක් ඇරියා
හැලි වලං වල පිරුණ හිස්කම
නුඹව දෙන්නට කියා කිව්වා

ගෙවී දස වසරකට පසු දින
ඒ රථයෙ දොර නැවත ඇරුණා
පුංචි ලැවරිය කඩේ ලොකු දූ
කවුරු ආවද කියා බැලුවා..

සුරඟනාවිය ලෙසින් පොඩි දූ
ඇරුණු රථයෙන් බිමට බැස්සා
නෝට්ටුවකට කෑම පෙට්ටිය
මගේ ලැවරිය වලින් පිරුණා..

මුදි
2018-01-24

Sunday, October 8, 2017

(5) සතුට...

සතුට..

එක රටක ගොවියෙක් හිටියා. මෙයා බොහොම සතුටින් ඉන්න කෙනෙක්. මුලු රාජධානියෙම ජනතාව අතර මේ සතුටින් ඉන්න ගොවියා ගැන ආරංචිය පැතිරුනා. අන්තිමේ රජතුමාටත් මොහු ගැන ආරංචි වුනා.

රජතුමා කුරිරු අයෙක් වෙන්න ඇති. ඒකයි මෙහෙම නියෝගයක් දුන්නෙ.. -->
රජතුමා අමාත්‍ය මණ්ඩලයට නියෝග කලා කොහොම හරි මේ ගොවියගෙ සතුට නැති කරන්න කියලා..

ඉතින් එක අමාත්‍ය කෙනෙක් මේ වැඩේ බාර ගත්තා. ඔහුට ඒ සදහා අවශ්‍ය වන්නෙ රන් කාසි 99 ක් පමනක් බව කියලා ඔහු ඒක ඉල්ල ගත්තා.. රාජ්‍ය භාණ්ඩාගාරයෙන් එය ලැබුනා. ඉතින් මේ අමාත්‍යතුමා සෙබලෙකු කැදවලා මේ රන් කාසි 99 මහ රෑ ගිහින් අර ගොවියගෙ ගේ ඉස්සරහ දාන්න කියලා අණ කලා..

ඔන්න පහු වෙනිදා උදේ ගොවියා දොර ඇරලා බලන කොට ගේ ඉස්සරහ රන් කාසි! ඔහුට දරා ගන්න බැරි තරම් සතුටක් ඇති වුනා.. අර කාසි ගනන් කරන්න පටන් ගත්තා. 99යි. නෑ..නෑ සීයක් තියෙන්න ඕනෙ.  ඔහු තමාටම කියා ගත්තා.. ආයෙම ගනන් කරන්න පටන් ගත්තා. ඒත් 99යි. හතර වටේම හෙව්වා.. ආයෙ ගණන් කලා..

මෙහෙම පිස්සුවෙන් වගේ ඉතිරි රන් කාසිය හොයලා ගණන් කරලම ඔහු පිස්සෙක් බවට පත් උනා..
                      ***

ඔබ මොකද්ද හිතන්නෙ.. ඔහු තණ්හාව නිසා තමන්ගෙ සතුට නැති කර ගත්තා.. තමන්ගෙ සතුට තීරණය කරන්න වෙන කෙනෙකුට හෝ වෙනත් දේකට ඉඩ ලැබුනා..

ඔබ මේ මොහොතෙ ඉන්නෙ සතුටින්ද..
සදුදා උදේ. මං දන්නවා සදුදා කියන්නෙ හැම කෙනෙක්ම පොඩ්ඩක් හරි අකමැති වෙලාවක්.

මට මතකයි පොලියානා කියනවා එයා සදුදට කැමතියි මොකද තව සදුදාවක් එන්නෙ තවත් සතියකට පස්සෙනෙ කියලා..

ඔබ ඒක හොද ආරම්භයකට ගන්න.. අලුත් සතියක්.. ඒක හරි අපූරුයි. ඔබ කරන පොඩි දෙයින් හරි ලැබෙන සතුට හදවතට දෙන්න. එකෙන් ඔබ රිෆ්‍රෙෂ් වෙනවා. ඔබ සතුටින් ඉන්නකොට ඔබට වෙහෙසක් දැනෙන්නෙ නැහැ.

මම කියන්නෙ ගියේ.. අර ගොවියගෙ රන් කාසිය වගේ සතුටු වෙන්න ඕනෙ තරම් හේතු  වටේ තියෙනකොට සමහරු දුක් වෙන්න තියෙන එක හේතුවක් අල්ලගෙන ඒකට දුක් වෙනවා.. ඒ හේතුවම ඔබගේ වටිනා දවසක හැම දෙයක්ම අඩාල කරාවි.. පොඩ්ඩක් හොයලා බලන්න. ඔබට සතුටු වෙන්න ඕන තරම් දේවල ඔබ වටේ තියෙනවා..

හැමෝටම සතුටින් පිරුණු දවසක්!

~මුදී~
2017/09/09

Thursday, September 28, 2017

(4) රෝස Vs දාස්

හිමිදිරියෙ පිනි හිරිකඩින් නැහැවුනු දාස්පෙති මල හා රෝස මල...
රෝස මල ආඩම්බරයෙන්!
ගෙදර හැම දෙනාම හිමිදිරියෙම ඉදන්ම වරින් වර පැමින් ඇය දෙස බලමින් සතුටු වුනා..
පැත්තක පිපී තිබුන දාස් මල උපේක්ෂාවෙන් ඒ දෙස බලා සිටියා..

දාස් මල,,,
රාගයක් නූපදවන නුඹේ රුව
ද්වේෂයක් නූපදින නුඹේ සිත..
බුදු පුදට සුදුසුමැයි

උඬගු සිතැත්ති ඇය
පිපුනු ලෙසටම පරවී යාවි..
ඔවුන් සිබ බැලූ ඇගේ පෙත්තක් පවා
ඈ පරවුනු විට පාගා යාවි..

ඔබව නෙලා බුදුනට පූජා කර
ඔබ දෙස භක්තියෙන් බලා හිදීවි..
කිසිවෙකුට නොපෑගෙන ලෙස
ඔබට අවසන් ගෞරව දක්වාවි..

~මුදී~


Monday, September 25, 2017

ලොකු අයියා..

කළු යැයි කිව හැකි එකදු කෙස් ගසක් වත් හිසෙහි ඉතිරි වී නැත..  පුළුන් ගුලි මෙන් මුහුන වසා ගත් ‍රැවුල් ගස් අතර මද සිනාවෙන් පිරුනු ඔහුගේ මුව දෙස මා බලා උන්නෙමි.. උකුලෙහි දඟ කරමින් හිදින කුඩා මුනුපුරාට ඔහු රසවත් කථාවක් කියමින් සිටී.. අවුරුදු ගනනකට පසුත් ඒ දෙනෙත් වල දීප්තිය මදකුදු අඩුවී නැත.. එක්වරම ඒ දීප්තිමත් දෙනෙත් මා දෙසට හැරවින..

"සුදු නෝනෙ තේ ඩිංගක් බොමුද..?"

මා වහා හුන් තැනින් නැගිට ගත්තෙමි..

"හා ලොකු අයියෙ..ඉන්ට.."

රෑ තිස්සේම රිදුම් දී උදෑසන විවේක ගෙන තිබූ මගේ පයේ වේදනාව නැවත ඇහැර ගත්තේය..

"සුදු නෝනෙ.."

"අයියෙ.."

"මොකෝ කකුල අද්දන්නෙ..?"

"නෑ අයියෙ..මේ දනිස රිදෙන්න ගත්තා.. ඊයෙ රෑ තිස්සෙ වේදනාව.. උදේ හොද වෙලත් තිඋනා.. මේ ආයෙ පටං අරං.."

"ඉතින් තෙල් මුකුත් ගාගත්තෙ නෑ..? ඉන්ට.. "

ලොකු අයියා කාමරයට ගොස් තෙල් බෝතලය රැගෙන ආවේය..
මා ඉදිරියේ දණ ගසාගත් ඔහු තෙල් බෝතලය විවර කලේය..

"දෙන්න අයියෙ මං ගාගන්නම්.."

"හිටින්ට මං ගාන්නම්.."

මොහොතකින් මට ඔහුව බොදවී පෙනුනේය..
තෙල් ගා අවසානයේ ලොකු අයියා මා වෙත දෙනෙත් යොමු කලේය..

"ඔන්න ඉතින්.. සුදු නෝනෙ උබගෙ ඔය ඇස් වල කඳුලු නං මට මේ කෙස් පැහිලත් තාම තේරුං ගන්න බැරි උනා.."

"ඉන්ට මං තේ ටිකක් වක් කර ගෙන එන්නං.. "

"පස්සෙ බොමු සුදු නෝනෙ දැං ඩිංගක් ඔහොම ඉදගෙන ඉන්ට.."

එය ගනනකට නොගත් මා දෑසට නැගී තිබූ කදුලු ගුලි දෙක තුන පිටි අල්ලේ පිසදා ගනිමින්  මුළුතැන්ගෙට වැදුනෙමි..

ලොකු අයියා.. මගේ තාත්තාගේ එකම නැගණිය, එනම් රතු නැන්දාගෙ ලොකු පුතාය.. පොඩි අයියාත් ලොකු අයියාත් හැරෙන්නට රතු නැන්දාට වෙනත් දරුවන් නොසිටියාය.. ලොකු අයියාට අවුරුදු පහළවේදී පමන මාමාත්, පොඩි අයියාත් දුම්රිය අනතුරකින් ජීවිත වලින් සමු ගත් පසු රතු නැන්දාත් ලොකු අයියාත් මේ නිවස තුළ තනි විය..

අප්පච්චී, නැන්දාත් ලොකු අයියාත් ගැන නිතර සොයා බැලුවේය.. මාමාගේ මරණයෙන් පසුව ඔවුන්ගේ කුඹුරු කරන්නට කිසිවෙකු නොවූයෙන් ඒවා පාලු වී ගියේය.. අප්පච්චී ඒවා කරන්නට පටන් ගත්තේ ඉන් පසුවයි.

රතු නැන්දා රෙදි වියන්නට ගොස් ලබා ගන්නා සොච්වම් මුදල ලොකු අයියා ට උගැන්වීමට කොහෙත්ම නොසෑහෙන බව කුඩා මට පවා එකල වැටහිනි.. වර්ෂයක් ගෙවී ඉහල පන්තියට යන හැම වරකම මම ලොකු අයියාගේත් පොත් ලැයිස්තුව ඉල්ලාගෙන විත් අප්පච්චීට දුන්නෙමි.. අයියාත් මමත් එකම පාසලේ ඉගෙනුම  ලැබුවෙමු. ඔහුත් මමත් අතර පාසලේ පන්ති පහක පරතරයක් තිබනි..

මා ප්‍රාථමික පන්ති වල සිටියදී මගේ කොන්ඩෙන් අදින, මකනය හෝ පොත් සොරා ගත් මිතුරියන්ට මා
'අපේ ලොකු අයියාට කියනවා' යැයි බය ගැන්වීමට පුරුදුව සිටියෙමි. පාසලේ ඉගෙනීමෙහි දක්ෂ මෙන්ම ප්‍රසිද්ධ චරිතයක් වූ ඔහු, අපේ ලොකු අයියා වීම තරම් ආඩම්බරයක් මට එකල නොවුනි..  ඔහු මගේ ආරක්ෂකයා මෙන්ම මගේ ලෝකයේ වීරයාද වී විය..

මා අට වන ශේණියේ ඉගෙනුම ලබමින් සිටින කාලයේ දිනක් නීතා මා වෙත ගෙන ආ ආරංචිය නිසා මා ක්‍රියා කල ඒ ආකාරය පිළිබඳ මතකය අදටත් මගේ මනසේ නොනැසී පවතී..

"හේයි නයනා දන්නවද වැඩක්??"

"දැන ගන්න කියන්නෙපැයි.."

"ඔයාලගෙ ලොකු අයියා යාලු වෙලා ඉන්නෙ අර සිරිදාස මුදලාලි මාමගෙ දුව එක්ක.. "

එක්වරම මගේ හදවත තුළ යකඩ ගුලියක් සිරවී ඇති ලෙසක් දැනුනි.. මුලු හිසම සීතල වී ගියේය..

"මොනවා... අර ගීතා එක්ක..? නෑ අපේ අයියා ඒ වගේ නැට්ටිච්චියන්ට අහු වෙන්නෙ නෑ.."

"නැත්තෙ මොකෝ.. මුළු ඉස්කෝලෙම දන්නවා.. සුනිල්ලා ඇස් දෙකෙන්ම දැකලා තියෙනවා පල්ලෙහා වැවේ කුඹුක් ගහ ලග දෙන්නගෙ මුකුළුව.. "

කෙසේ උවත් මගේ දෑසටම දකින තුරු මා නීතා කී දේ විශ්වාස නොකලෙමි.. එහෙත් ඔවුන් දෙදෙනා මගේ දෑසින්ම එසේ දුටුව දිනයේ මගේ හදවත තුල ඇතිවූ ගිනි පුලිගුව ගීතාව දවා විනාශ කල හැකි තරම් ගින්දරක් බවට මගේ හදවත තුළ පැතිර යාමට වැඩි කලක් ගත වූයේ නැත..

පාසල ඇරී නිවසට යාමට පෙර පාසල අසලට වී සිටින වෙරළු අච්චාරු වෙළෙන්දාගෙන් ලොකු අයියා මිළදී ගන්නා වෙරළුවල අයිතිකාරිය ගීතා වීමත්, රතු නැන්දා සාදා එවන හැළප වල මගේ පංගුව ලොකු අයියාගෙන් ගීතාට වෙන් වීමත් මට මැවි මැවී පෙනෙන්නට විය.. මා ප්‍රිය කරන ලොකු අයියාගේ මදහසින් පිරි මුවෙත්, දීප්තිමත් දෑස් වල සතුටටත් එකම හේතුව හා අයිතිකාරිය ගීතා වීම මට දරා ගත නොහැකි විය.. ඇයත් ලොකු අයියාත් එකම දර්ෂනයකින් දැකීම මගේ හදවත ප්‍රතික්ෂේප කලේය..

නෑකමින්ම මට උරුමව තිබූ ඔහුගේ අයිතිය වෙන එකියක උදුරාගෙන තිබීම එකළ මගේ සිතේ නිතර වධ දුන් කරුණක් විය.

ඉන්පසු ගෙවුනු කාලයේ මා තවදුරටත් තැන්පත් ගති පැවතුම් ඇති නයනා නොවීය.. ගීතාගෙන් ලොකු අයියා බේරා ගැනීමට මම මුලු සිතින්ම සටනකට සූදානම් උනෙමි. ගීතාට කල යුත්තේ කුමක් දැයි නිතර කල්පනා කලෙමි..

සෑම උදෑසනකම ලොකු අයියා සමග පාසල් යාම මා අත් හැර දැම්මෙමි.. ඒ සිරිදාස මාමාගේ කඩය  අසලින් ගීතා ද අප හා එක් වන නිසා ය.. ඔහුත් ඇයත්  එකට ගමන් කරන පාරකින් හෝ යාම මගේ සිතට ඉහිලුම් නොදෙන වේදනාවක් විය.. 

එක් වැසි උදයක මා පාසලට පැමිනියේ තෙමෙමිනි.. මුවා කර ගෙන ඒමට යමක් නොතිබූ බැවින් අම්මා මසා දී තිබූ රෙදි පොත් බෑගය මෙන්ම ගවුමද වැසි දියෙන් තෙමී තිබුනේය..

පළමු කාලච්ජේදය සදහා පොත ගැනීමට බෑගය විවර කරන මොහොතේ මගේ දෑස් උඩ ඉන්දවිනි.. එදින පාඩමක් සදහා ගෙන ඒමට කියා තිබූ කුකුල් සායම් පැකට්ටුවක් හැලී තිබිනි.. බෑගය තෙමී තිබූ බැවින් පොත් සියල්ලගේම නිල් පැහැති පැල්ලම් සෑදී තිබිනි..
'දෙවියනේ.. '
කදුලු පිරී බොදවී යන දෙනෙත් මා ඉවතට හරවා ගතිමි..

ඒ මොහොතෙහි පංති කාමරයට එපිටින් ඇවිද යන ලොකු අයියාගේත් ගීතාගෙත් රුව මගේ බොදවී යන දෑසට පෙනුනේ එවිටයි..
එක් වරම මගේ සිතට ආ අදහස නිසා සිත තුළ ප්‍රීතියක් පිනුම් ගසන්නාක් මෙන් විය.. ඒ සමගම සිත තුළ නැගී ආ අසාමාන්‍ය බියක් හදවත වෙලා ගත්තේය..
'අහු උනොත්..?'
'නෑ එහෙම වෙන්නෙ නෑ.. ඒකිට ඔයා පාඩමක් උගන්නන්න ඕනෙ නයනා.. '

බිය ගත් සිතුවිලි පරදා මගේ යටි සිත මට එය කිරීමට අනුබල දුන්නේය...
මා ලග තිබූ අනෙක් රතු සායම් කුඩු පැකට්ටුව සීරුවට විවර කොට ඉන් ස්වල්පයක් කඩදාසි කැබැල්ලක ඔතා ගත්තෙමි...

විවේක කාලයේ දී  ආහාර ගැනීමෙන් පසුව පාසලේ සියලුම සිසුන් තම පන්තියට අයත් එලවලු පාත්තියට සාත්තු කරන්නට යෑම ලොකු ඉස්කෝලෙ මහත්තයා විසින් අපට අනිවාර්ය කල කටයුත්තක් විය..
විවේකයේදී පාත්ති වලට සාත්තු කරන්නට යන අතරතුර ලොකු අයියාගේ පන්තිකාමරය ඉදිරිපිට මගේ කොන්ඩ පටිය හිමින් සීරුවේ වට්ටන්නටද මා අමතක නොකලෙමි.. 
සියලුම සිසුන්ට යන්නට හැර මා අසල සිටි නීතා දෙසට හැරුනි..

"අයියො මගෙ කොණ්ඩ පටිය වැටිලා. මම බලලා එන්නම්.. "

මා වේගයෙන් ලොකු අයියලාගේ පන්ති කාමරය දෙසට දුව ගියෙමි. කිසිවෙක් පෙනෙන්නට නැත.. එක් වරක් හෝ සිතන්නට නොවෙහෙසුනු මම ගවුම් කර තුල රුවා ගෙන තිබූ සායම් කුඩු කොලය ගෙන ගීතාගේ බංකුවේ ඈ හිදගෙන සිටින තැන ස්වල්පයක් සියුම් ලෙස ඉස දැම්මෙමි..

එදින පාසල ඇරී නිවසට යන මොහොතේ වැටුනු වැසි පොද , සායම් කුඩු රැදී තිබූ ගීතාගේ සුදු ගවුම මත වැටී රතු පැල්ලම් ඇති කලේය.. ඒ දැක බාලංශ පති වල හා ඉහල පතිංවල සිසුන් ඇයට ඔච්චම් කරන විට කදුලු පිරී රතු වී තිබූ ගීතාගේ දෑස් දෙස බලමින් මම කුරිරු සතුටක් අත් වින්දෙමි..

මා ගීතාට රිදවා සතුටක් අත් විදීම එතනින් නැවැත්වූයේ නැත..
ලොකු අයියාට උණ වැලදීමෙන් දින කිහිපයක් පාසල් ඒමට නොහැකි වූ කාලයක් විය.. එ අතර දිනයක මා පාසලේ සිටින මොහොතක ගීතා මා හමු වීමට ආවාය..

"නයනා නංගි.. පියල් අයියට කොහොමද දැන්..?"

"තවම හොද නැහැ.. තව ටික දවසක් ගෙදර ඉදී අයියා.."
මා කීවෙමි..

දැන් සුවවී ඇති බැවින් පසු දින සිට පාසල් යාමට හැකි බව පෙර දින ලොකු අයියා රතු නැන්දා සමග කියනු මා අසා උන්නෙමි. නමුත් අයියා හෙට පැමිනෙන බව කියා ගීතාගේ සිතේ සතුටක් ඇති කිරීමට මට කිසිදු අවශ්‍යතාවක් නොවීය..

"නංගි පොඩි උදව්වක් කරනවද.. මේ ලියුම අයියට දෙනවද..?"

මගේ සිතෙහි පුපුරු ගැසෙමින් නැගුනු කෝපය ඇයට පෙනේවියැයි බියෙන් මා අනෙක් පසට හැරුනෙමි.. එය ඉල්ලා ඉරා දැමීමට තරම් කෝපයක් මගේ හිතේ ඇතිවී තිබිනි.. මල්කාන්ති ඉස්කෝලෙ හාමිනේ ඈතින් එනු පෙනෙත්දීම මගේ සිතෙහි ගීතාගෙන් පලි ගැනීමට එක් අදහසක් පහල විය..

"දෙන්න.. "

මා ඇගෙන් එය ඉල්ලා ගතිමි.. අප ආසන්නයටම පැමිනෙමින් සිටි ඉස්කෝලෙ හාමිනේට පෙනෙන්නටම මා එය පිටුපසට කර සගවා ගතිමි..

"නයනා මොකද්ද ඒ හංග ගත්තෙ මං එනවා දැකලා.."
ඉස්කෝලෙ හාමිනේ විමසුවාය..

මා ඇත්තෙන්ම බියවී සිටියෙමි. නමුත් මට කිරීමට අවශ්‍ය වූයේ මෙයයි.. ඉස්කෝලෙ හාමිනේ එම ලිපිය ඉල්ලා ගෙන කියවා බැලුවාය..

"ගීතා මෙහෙ එනවා..
ලොකු ඉස්කෝලෙ මහත්තයගෙ ඔපිස් එකට එනවා මේ දැන්ම.."

ඇය පිටත්ව ගිය පසු දෙවන වතාවටත් මා එම කුරිරු සතුට අත් වින්දෙමි.. පෙම් හසුනක් හුවමාරු කිරීමට පහල පන්තියක සිසුවියක් යොදා ගැනීම ගැනත් ඇයට දඩුවම් විදීමට සිදුවන්නට ඇත.

පසුදින සිට ලොකු අයියා පාසල් පැමිනියත් ගීතා සතියක් පමන පාසල් පැමිනියේ නැත. නමුත් ලොකු අයියාගේත් ඇගෙත් ප්‍රේමය නැවැත්වීමට මා ඒ කළ කිසිදු රිදවීමකට නොහැකි විය..

කාලය වේගයෙන් ගතවිය.. ලොකු අයියා අපේ පාසලෙන් විශ්වවිද්‍යාල  වරම් ලැබූ පළමු සිසුවා විය.. එය අපට මෙන්ම පාසලටම ආඩම්බරයක් විය..

ඔහු සරසවියට යාමට දෙමසකට පමන පෙර ගීතා අඹ ගහවත්තේ සරත් සමග පැනගොස් ඇති බව අපට ආරංචි විය.. එකල මට අසන්නට ලැබුනු සතුටුදායකම ආරංචිය එය බව සිතමින් මා  සතුටු වූ බව මට මතකය.. මා සිත තුල එකල පැවති ඒ සිතිවිලි ගැන මතක් වන විට අදටත් මගේ සිත තුල මා ගැනම උපන් අනුකම්පාවක් සහ ලැජ්ජාවක් ඇතිවේ..

මට එය සතුටුම ආරංචියක් උවත් ලොකු අයියා එය අසා හැසිරුනු ආකාරය මගේ සිත බෙහෙවින් කම්පනයට පත් කලේය.. පිස්සකු මෙන් කාමරය තුල ගෙවූ කාලය.. කිසිවෙකුට ඔහු හා කතා කල නොහැකි විය.. කිසි දිනෙක සැරෙන් මට කතා නොකල ඔහු ඒ කාලයේ ඔහු හමුවීමට යන සෑම අවස්ථාවකදීම මට සැර විය.. රතු නැන්දාට පවා ඔහු හා කථා කල නොහැකි විය..

මා ගීතාට කල නපුරුකම් සියල්ල මා වර්තමානයේ දී ලොකු අයියාට කිව හොත් ඔහු බඩ අල්ලාගෙන සිනා වනු නොඅනුමානය... එහෙත් මා එසේ කලේ ඇයි දැයි ඔහු සිතනු ඇත.. එහෙත් හේතුව පැවසීමට දැන් මා ප්‍රමාද වැඩිය.. එම නිසා ඒ සියල්ල අතීතයටම වැලලී යන්නට ඉඩදී හිදිමි..

ලොකු අයියා සරසවියට යන දිනයේ මා හැඩූ බව මට හොදින් මතකය..

"සුදු නෝනෙගෙ කදුලු මට තේරුං ගන්න බෑ.. මොකද මම මේ ආයෙ නොඑන්න යන ගමනක්‍ යැ.. "
ලොකු අයියා මගේ හිස පිරිමැද කීවේය..

කාලය ගතවිය.. ලොකු අයියා විශ්වවිද්‍යාලයෙන් පිටවී කොළඹම රැකියාව ලැබී ඇති බව ඔහු රතු නැන්දාට එවන ලිපි වලින් අප දැන ගත්තෙමු.. රැකියාව ලැබුනු පසු ඔහුගේ ගම ඒම පවා ටිකෙන් ටික අඩුවී ගියේය.. ලොකු අයියා කාර් එකක් ගත් බව අසා අප සතුටු උනෙමු.. ඔහුව දැකීමේ ආශාව ප්‍රබලව දැනෙන්නට වූ කාලයක් විය..

මා කුඩා කල පටන් අප්පච්චීගේ සිහිනය වී තිබුනේ මා පාසල් ගුරුවරියක් වනු දැකීමයි.. මා ඒ ඔස්සේ ගමන් ගතිමි.. මගේ ජීවිතය ගැන අප්පච්චී දුටු සිහින දෙකෙන් ඔහු මිය යන තෙක්ම හා ඉන් පසුවත් ඉටු කරන්නට හැකි වූ එකම සිහිනය එයම පමනක් විය.. අනෙක් සිහිනය මගේ විවාහයයි..

මා පාසල් ගුරුවරියක් ලෙස මා ඉගෙනගත් පාසලටම පත්වීම ලබා පැමිනියෙමි.

"ලොකු අයියා ගමේ එන්නෙ කවද්ද රතු නැන්දෙ..?"

සතියකට වතාවක් දෙවතාවක් නැන්දා බලන්නට ගොස් මා ඇගෙන් නිතරම විමසන්නේ එයයි..

"කවද්ද කියලා දැන ගන්නත් ලියුං කඩදහියක් එවන එකක්යැ දුවේ.."

මා යැවූ ලිපි වලටද ඔහුගෙන් පිලිතුරු ලැබී තිබුනේ නැත..
'ලොකු අයියට මක් වෙලාද..'
මා තනිවම සිතුවෙමි..

සිංහල අලුත් අවුරුදු දිනෙක අම්මාත් මමත් අප්පච්චීත් රතු නැන්දලාගේ නිවසට ගොස් සිටියෙමු..

මා හට විසිවන විය ආසන්න වී තිබිනි.. නෑකමින් උරුමව තිබූ අයියාගෙ අයිතිය නීතියෙන් අයිති කර ගන්නා දිනය ගැන මා සිහින දුටුවෙමි.. මා පවුලේ එකම දරුවා වූ බැවින් මා නිවසින් පිට කිරීමට අප්පච්චී නොසිතනු ඇතැයිද විටෙක සිතුවෙමි.. නමුත් විවාහයක් පිළිබද මව්පියන් සමග කතා කිරීම ලැජ්ජාවක් ලෙස සැලකුවෙමි.. නැන්දා ලොකු අයියාගේ විවාහ කර දීමක් පිළිබද කිසිම මොහොතක කියනු මා අසා නැත.. ඔවුන් ඒ ගැන සිතන දිනයක් වන තෙක් මා බලා උන්නෙමි..

එදින අප මැද සාලයේ කථා කර කර උන්නෙමු. එක්වරම ඇසුනු වාහන හඩ අප මවිතයට පත් කලේය.. කුඹුරුයාය මැදින් එන කාරය ලොකු අයියාගෙ බව හැදින ගැනීමට අපට වැඩිවෙලා නොගියේය...

"නැන්දෙ ලොකු අයියා එනවා..!"

දැනුනු සතුටට මට කියා ගත හැකිවූයේ එපමනය.. කාරය තව මදක් ඉදිරියට එන විට අයියාට එහා අසුනේ ඉදගෙන සිටින ගැහැනු රුව ගැන අප විමසිලිමත් වූයෙමූ..
'ඒ කවුද..?'

වාහනයෙන් බැස ආ ලොකු අයියාගෙ මුවෙහි පෙර වූ ලෙන්ගතු සිනාව වියැකී තිබුනේය.. නවීන පන්නයට ඇද සිටි කාන්තාව මට වඩා වසරක් හෝ දෙකක් වැඩිමල් විය හැකි බව මා සිතින් අනුමාන කලෙමි..

"අම්මේ...මේ... ඩල්සි. අපි මාස දෙකකට කලින් කසාද බැන්දා.."
ලොකු අයියා ඇසෙන නෑසෙන හඩින් කියුවේය..

රතු නැන්දා අසල තිබූ ආසනයේ ඉනදවුනේද මගේ හදවත දෙකට ඉරී ගියාක් බදු වේදනාවක් ඇති වූයේත් එක විටමය..
අම්මාත් අප්පච්චීත් මුහුනට මුහුන බලා ගත්තෝය.. මා දෑසින් එලියට පනින්නට පැමිනි කදුලු බිඳු වැටෙන්නට නොදී සිර කර ගතිමි.. මේ මොහොතේ සුදු නෝනාගේ දෑසින් කදුළු ගැලුවත් ලොකු අයියාට එය තේරෙන්නෙ නැත.. දැන් තේරුම් ගෙන ඵලක් ද නැත..
මා සිත දැඩි කර ගත්තෙමි.. ලොකු අයියා ඔහුගේ සහකාරිය තෝරාගෙන ඇත.. මා ඔහු ගැන සිතා සිටීමෙන් ඵලක් නැත.

"එන්න අයියෙ ඇතුළට.."

මා ගොස් ඩල්සිගේ අතින් අල්ලාගෙන  සාලයෙන් වාඩි කරවූයෙමි..

"ඉන්න මම තේ හදාගෙන එන්නම්.."

මුළුතැන්ගෙයින් පිලිකන්නට බැසගත්  මගේ කදුළු  පිළිකන්න පුරා සටහන් විය..

එදින රතු නැන්දා ඩල්සි අක්කා හා වචනයක් හෝ කථා කලේ නැත.. අයියා එවැනි තීරණයක් ගත්තේ ඇයි දයි මටද දැන ගැනීමට අවශ්‍ය විය..
පසුව මා ඇගෙන් දැන ගත් පරිදි ඩල්සි පොහොසත් පවුලක දියණියක් වූවාය.. ඇගේ දෙමව්පියන් ඇයව ලොකු අයියාගෙන් වෙන් කර වෙනත් තරුණයකුට විවාහ කර දීමට සූදානම්වී ඇත... ලොකු අයියාත් ඩල්සිත් ඊට පෙර ඉක්මන් වී ඇත..

"අක්කයි අයියයි ගමේ පදිංචි වෙන්නෙ කවද්ද..?"
මා ඩල්සිගෙන් විමසුවෙමි..

"ගමේ? අනේ මට මේ ගොඩේ පලාත් පුරුදු නැහැ නංගි.  අපි කොළඹම ඉන්නවා.."
ඇය ගනනකට නොගෙන කීවාය..

"එතකොට නැන්දා..?"
 මා විශ්මයෙන් විමසුවෙමි..

"පියල් අම්මව එහෙ එක්ක යනවා කිව්ව.. "
ඈ කීවාය..

ඊට මසකට පසු ලොකු අයියා පැමින රතු නැන්දා කොලඹ රැගෙන ගියේය...
වසරකට පසු ඩල්සිටත් ලොකු අයියාටත් නිවුන් දියනියන් ලැබුන බව අපට දන්වා එවා තිබිනි.. අප්පච්චීත් මමත් වතාවක් නැන්දා බලන්නට කොළඹ ගියෙමු.. ලොකු අයියා ගෙවන ප්‍රීතිමත් ජීවිතය දෙස බලා මා ඇත්තෙන්ම සතුටු වීමි..

පාසල් කාලයේ ඔහුගේ ආදරය ලැබූ ගීතා ගැන මගේ සිතේ එකල ඇතිවී තිබූ කෝපය ගැන මා ලැජ්ජා වුනෙමි.. මා ඔහුගේ නෑනා වුවත්, සහෝදරියකට එහා හැගීමක් මා ගැන ඇති කරගෙන නොතිබූ බව ඉන්පසු සෑම මොහොතකම මා සිතන්නට උත්සහ කලෙමි. එසේ සිතන ඔහු ගැන මා පෙර ලෙස සිටීම මට මා ගැනම විටෙක ලැජ්ජාවක් ඇති කලේය.

විසි තුන වන විය ආසන්න වන විට අප්පච්චී මට විවාහ යෝජනා ගෙනෙන්නට විය.. මා බලන්නට පැමිණි මනමාලයන්ගෙන් මම ලොකු අයියාව සොයන්නට උත්සහ කල බව මට දැන් වැටහේ.. ඔවුන් සියල්ලන්ගේම කුමක් හෝ අඩුපාඩුවක් මට එකල  පෙනිනි..

ලොකු අයියා මෙන් පෞර්ෂයක්.. ඔහුගේ මෙන් නිතර සිනාසෙන දීප්තිමත් ඇස්.. ඒ කිසිවක් ඔවුන් සතු නොවීය.. මගේ සිත තුළ ඇඳී ඉන්නේ ලොකු අයියාම පමණක් බවත් ඔහු හැරෙන්නට වෙන කිසිවෙකුට මගේ සිතෙහි ඉඩක් දිය නොහැකි බවත් නොබෝ කාලයක් යාමට පෙර මම තේරුම් ගතිමි. ඉන්පසු ගෙවුනු කාලයේ විවාහ යෝජනා පිළිබඳ කතා කෙරෙන විට මා එයට උදාසීනකමක් දැක්වුයෙමි.. මා පාසලට හා සිසුන්ට ඉගැන්වීමේ කටයුතුවලට ඕනෑවටත් වඩා වෙහෙසී අන් සියල්ල මගේ ජීවිතයෙන් අමතක කර, ඈත් කර තැබීමට වෙහෙසුනෙමි.

සියල්ලන්ටම වඩා මගේ විවාහය ගැන ලොකු අයියා මා සමඟ කතා කිරීම මට දරා ගත නොහැකි විය..
මගෙන් සතුටු ප්‍රතිචාරයක් නොලැබෙන විට අප්පච්චී ලොකු අයියාට කියා මගේ විවාහය ගැන ඔහු ලවා කථා කිරීමට පටන්ගෙන තිබිනි..

"සුදු නෝනෙ..වයසත් ගෙවෙනවනෙ.. හැමදාම ඔහොම ඉන්නද කල්පනාව.. මාමා දැන් කටයුතු කී‍යක් නං හෙව්වද.. අර ලොකු ඉස්කෝලෙ මහත්තයගෙ පුතත් මාමා එක්ක කථා කරලා තිබුනා නංගි ගැන.. එයත් ඉස්කෝලෙ මහත්තයෙක්නෙ දැන්.. නංගිට මතකනෙ කමල්.. "

ලොකු අයියා ගම ආ වෙලාවක මාත් සමග කථා කරන්නට පටන් ගත්තේය..

"නැත්නම් සුදු නෝනගෙ හිත ගිය කවූරු හරි ඉන්නවනම්......"

"අනේ ලොකු අයියෙ අපි වෙන මොනවා හරි කතා කරමුද..?"
මා ඔහුට මදක් සැර විය..

වසරින් වසර ගෙවී ගියේය.. ඒ අතරතුර අප නොසිතූ මොහොතක මගේ අප්පච්චීගේ මරණය සිදු විය.. ලොකු අයියාත්, නැන්දාත්, ඊළග දරුවා ලැබීමට ආසන්නව සිටි ඩල්සි අක්කාත් මළ ගෙදර පැමිනියෝය..

අප්පච්චීගේ තුන්මස දානයෙන් සතියකට පසු දිනෙක ලොකු අයියාගෙන් ටෙලිග්‍රෑම් පනිවිඩයක් අපට ලැබිනි.. ඒ දරුවා ලැබෙන්නට ගොස් දරුවාත් සමගම ඩල්සි මිය ගිය බවයි.. අපි බෙහෙවින් කම්පා වුනෙමු.. අම්මාත් මමත් එදිනම කොළඹ ගියෙමු.. එය අප සැමගේම ජීවිත වල දුක්මුසු කාලපරිච්ඡේදයක් විය.. ලොකු අයියා අවසිහියෙන් මෙන් හැසිරුනේය.. එවකට කිසිවක් තේරුම් ගත නොහැකි වූ පස් වයස් ආසන්න වී තිබූ දරු දෙදෙනා මා අසලින් ඈත් නොවී මා තුරුලේ සිටීම මගේ හදවත තවත් කම්පනයට පත් කලේය..

"මොනවා තේරෙන එකක්ද මේ කිරි සප්පයින්ට.."
අම්මා කම්මුලේ අතක් තබා කීවාය..

"අම්මෙ අපි දරුවො දෙන්නා අරගෙන යමු.. රතු නැන්දට පුලුවන් යැ තනියම මේ දරු දෙන්නා ගෙ වැඩ ටික තනියම කරන්න.."

දරුවන්ගේ කටයුතු තබා තමාගේ කටයුතු හෝ හරි ආකාරව කර ගත නොහැකි තරමට රතු නැන්දා බොහෝ දුබලව සිටියාය.. අයියා දමා ඒමට නොහැකි නිසා මිසක රතු නැන්දාටත් අප සමග ගම ඒමට දැඩි ලෙස සිත තිබුනේය..
ලොකු අයියා කිසිවක් සිතා ගත නොහැකි තරමටම ගතින් මෙන්ම සිතින් දුර්වල වී සිටියේය.. හැකි ලෙස ඔහුව අස්වසා මා දරුවන් දෙදෙනා ගමෙහි ගෙන යෑමට අවසර ලබා ගත්තෙමි..

ඉන් වසරක පසු ලොකු අයියා රතු නැන්දාව ගමට ගෙන ආවේය.. අයියා කොළඹ නැවතී රැකියාව කරන අතර සතියකට වරක් නැන්දාත් දරුවනුත් බැලීමය ගමට පැමිනියේය..

මහලු වියට ලං වෙමින් දුබල වන අම්මාගේත්, රතු නැන්දාගේත් වැඩ කටයුතුත්, දියණියන් දෙදෙනාගේ වැඩ කටයුතුත් සියල්ලම මා මත පැටවිනි.. මා ඒ සියල්ල බොහෝ ආදරෙන් හා ආශාවෙන් ඉටු කලෙමි.. ඔවුන්ගෙන් එපිට මට වෙනත් ලෝකයක් නොතිබුන තරම් විය..

කුඩා කාලයේ පටන් සුදු නෝනා යයි නම් ලත් මා දියණියන් බහ තෝරන  අවධියේ පටන් ඔවුන්ගේ සුදු නැන්දා විය.. පාසල් යන අවධියේ ඔවුන් මට සුදු අම්මා යැයි කියන්නට පටන් ගත්තෝය..

ඔවුන් දෙදෙනාම මා උගන්වන පාසලේම දක්ෂ ලෙස අධ්‍යාපනය කරගෙන ගියෝය.. ලොකු අයියාගෙ දක්ෂකම් ඔවුන්ට සහජයෙන්ම ලැබී තිබිනි.. සාමාන්‍ය පෙල සමත් වූ පසු දියණියන් කොළඹ පාසලකට ඇතුළත් කිරීමට ලොකු අයියාට දැඩි ලෙස උවමනා විය. නමුත් දියණියන් මා දමා යාමට කැමති වූයේ නැත..
එකල වන විට රතු නැන්දාගේත් අම්මාගේත් මරණයන් සිදුවී තිබූ නිසා ලොකු අයියලාගේ නිවසේ ජීවත් වූයේ මාත් දියණියනුත් පමණකි.. අවසානයේ අප සියලු දෙනාම ලොකු අයියලාගේ කොළඹ නිවසේ පදිංචියට යාමට තීරණය කලෙමු..

එහි සිට තීශා ආශා දියණියන් ඔවුන්ගේ අධ්‍යාපනය සිදු කල අතර ලොකු අයියාගේ ජීවිතයට මෙලෙස හෝ සතුටක් ලබා දීමට හැකි වීම ගැන මා හදවතින්ම සතුටු වූයෙමි..
තීශාගේත් ආශාගේත් විවාහයන් සිදු කර දීමෙන් පසු මා අම්මා කෙනෙකු තරමටම ඔවුන් ගැන සතුටු කදුළු හෙළුවෙමි..

"උඹ මගේ දරුවන්ට අම්ම කෙනෙක් වුනා සුදු නෝනෙ.. උප උපන් ජාතිත් මම උබට ණයයි නංගියෙ.. මුළු ජීවිතේම අපි වෙනුවෙන් කැප කරා.. "

ආශාගේ විවාහය සිදු වූ දිනයේ ලොකු අයියා මගේ දෑතින් අල්ලාගෙන කදුළු හෙළුවේය..

"අනේ අයියෙ එහෙම කියන්න එපා.. "
මගේ දෑසේද කදුළු බොදවී ගියේය..

දියනියන් විවාහ කර දීමෙන් වසර කිහිපයකට පසු ලොකු අයියා රැකියාවෙන් විශ්‍රාම ලබා ගත්තේය.. අයියාත් මමත් නැවත ගමෙහි පදිංචියට පැමිනියෙමු..

"තුදු අත්තම්මා... සීයා තලා වෙලා කතා කලන්නෙ නෑ.. "

ආශාගේ පුතු මුලුතැන්ගෙයට පැමිනෙන තෙක් මා දන්නේ නැත.. අතීතය පිළිබඳ මතක ගංගාවක ගිලී සිටි මගේ සිත, කුඩා පුතුගේ කටහඩින් පියවි ලොවට පැමිනියේය..

"ම්ම්ම්.. තලා වෙලාද.. අපි තේක අලන් යමුකො සීයව යාලු කල ගන්න.. "
මම කුඩා පුතු සනසා ලොකු අයියා සඳහා තේක පිළියෙළ කලෙමි..

අප සාලයට පැමිනෙන විට ලොකු අයියා පුටු ඇන්දට හේත්තු වී සිටියේය..

"ලොකු අයියෙ..?"

'ආයෙමත් පපුවෙ අමාරුව ඇවිත්ද.. දෙවියනෙ..'
මා මටම කියා ගතිමි..

"අයියෙ..?"
 මා තේක පසෙකින් තබා පැමින ලොකු අයියා අල්ලා ගතිමි.. අසාමාන්‍ය සීතලක් ඔහුගේ සිරුරෙහි විය..

'ලොකු අයියෙ.. ! '

මා කෑගැසුවෙමි.. නමුත් මගේ මුවින් කිසිදු හඩක් පිටවූයේ නැත..
මට සිහිය පැමිනෙන විට ගමේ කිහිප දෙනෙක්ම නිවසට රොක් වී තිබුනේ පුතුගේ හැඩීම නිසා විය යුතුය.. ලොකු අයියා අප අතහැර සඳහටම දෑස පියාගෙන තිබුනේය...

මගේ දෑසින් ගලන කඳුලු වැල් වලට ඔහේ ගලා යන්නට ඉඩ දී මා බලා සිටියෙමි..

"සුදු නෝනෙ.. ඇයි උබේ ඇස් වල කදුළු.. මට තේරෙන්නෙ නැහැ.."

සුපුරුදු හඩින් හඩින් ලොකු අයියා කියනු මගේ කන් අසලින් ඇසී නෑසී ගියේය..

-නිමි-

~මුදී~
2017/09/25