Sunday, October 8, 2017

(5) සතුට...

සතුට..

එක රටක ගොවියෙක් හිටියා. මෙයා බොහොම සතුටින් ඉන්න කෙනෙක්. මුලු රාජධානියෙම ජනතාව අතර මේ සතුටින් ඉන්න ගොවියා ගැන ආරංචිය පැතිරුනා. අන්තිමේ රජතුමාටත් මොහු ගැන ආරංචි වුනා.

රජතුමා කුරිරු අයෙක් වෙන්න ඇති. ඒකයි මෙහෙම නියෝගයක් දුන්නෙ.. -->
රජතුමා අමාත්‍ය මණ්ඩලයට නියෝග කලා කොහොම හරි මේ ගොවියගෙ සතුට නැති කරන්න කියලා..

ඉතින් එක අමාත්‍ය කෙනෙක් මේ වැඩේ බාර ගත්තා. ඔහුට ඒ සදහා අවශ්‍ය වන්නෙ රන් කාසි 99 ක් පමනක් බව කියලා ඔහු ඒක ඉල්ල ගත්තා.. රාජ්‍ය භාණ්ඩාගාරයෙන් එය ලැබුනා. ඉතින් මේ අමාත්‍යතුමා සෙබලෙකු කැදවලා මේ රන් කාසි 99 මහ රෑ ගිහින් අර ගොවියගෙ ගේ ඉස්සරහ දාන්න කියලා අණ කලා..

ඔන්න පහු වෙනිදා උදේ ගොවියා දොර ඇරලා බලන කොට ගේ ඉස්සරහ රන් කාසි! ඔහුට දරා ගන්න බැරි තරම් සතුටක් ඇති වුනා.. අර කාසි ගනන් කරන්න පටන් ගත්තා. 99යි. නෑ..නෑ සීයක් තියෙන්න ඕනෙ.  ඔහු තමාටම කියා ගත්තා.. ආයෙම ගනන් කරන්න පටන් ගත්තා. ඒත් 99යි. හතර වටේම හෙව්වා.. ආයෙ ගණන් කලා..

මෙහෙම පිස්සුවෙන් වගේ ඉතිරි රන් කාසිය හොයලා ගණන් කරලම ඔහු පිස්සෙක් බවට පත් උනා..
                      ***

ඔබ මොකද්ද හිතන්නෙ.. ඔහු තණ්හාව නිසා තමන්ගෙ සතුට නැති කර ගත්තා.. තමන්ගෙ සතුට තීරණය කරන්න වෙන කෙනෙකුට හෝ වෙනත් දේකට ඉඩ ලැබුනා..

ඔබ මේ මොහොතෙ ඉන්නෙ සතුටින්ද..
සදුදා උදේ. මං දන්නවා සදුදා කියන්නෙ හැම කෙනෙක්ම පොඩ්ඩක් හරි අකමැති වෙලාවක්.

මට මතකයි පොලියානා කියනවා එයා සදුදට කැමතියි මොකද තව සදුදාවක් එන්නෙ තවත් සතියකට පස්සෙනෙ කියලා..

ඔබ ඒක හොද ආරම්භයකට ගන්න.. අලුත් සතියක්.. ඒක හරි අපූරුයි. ඔබ කරන පොඩි දෙයින් හරි ලැබෙන සතුට හදවතට දෙන්න. එකෙන් ඔබ රිෆ්‍රෙෂ් වෙනවා. ඔබ සතුටින් ඉන්නකොට ඔබට වෙහෙසක් දැනෙන්නෙ නැහැ.

මම කියන්නෙ ගියේ.. අර ගොවියගෙ රන් කාසිය වගේ සතුටු වෙන්න ඕනෙ තරම් හේතු  වටේ තියෙනකොට සමහරු දුක් වෙන්න තියෙන එක හේතුවක් අල්ලගෙන ඒකට දුක් වෙනවා.. ඒ හේතුවම ඔබගේ වටිනා දවසක හැම දෙයක්ම අඩාල කරාවි.. පොඩ්ඩක් හොයලා බලන්න. ඔබට සතුටු වෙන්න ඕන තරම් දේවල ඔබ වටේ තියෙනවා..

හැමෝටම සතුටින් පිරුණු දවසක්!

~මුදී~
2017/09/09

Thursday, September 28, 2017

(4) රෝස Vs දාස්

හිමිදිරියෙ පිනි හිරිකඩින් නැහැවුනු දාස්පෙති මල හා රෝස මල...
රෝස මල ආඩම්බරයෙන්!
ගෙදර හැම දෙනාම හිමිදිරියෙම ඉදන්ම වරින් වර පැමින් ඇය දෙස බලමින් සතුටු වුනා..
පැත්තක පිපී තිබුන දාස් මල උපේක්ෂාවෙන් ඒ දෙස බලා සිටියා..

දාස් මල,,,
රාගයක් නූපදවන නුඹේ රුව
ද්වේෂයක් නූපදින නුඹේ සිත..
බුදු පුදට සුදුසුමැයි

උඬගු සිතැත්ති ඇය
පිපුනු ලෙසටම පරවී යාවි..
ඔවුන් සිබ බැලූ ඇගේ පෙත්තක් පවා
ඈ පරවුනු විට පාගා යාවි..

ඔබව නෙලා බුදුනට පූජා කර
ඔබ දෙස භක්තියෙන් බලා හිදීවි..
කිසිවෙකුට නොපෑගෙන ලෙස
ඔබට අවසන් ගෞරව දක්වාවි..

~මුදී~


Monday, September 25, 2017

ලොකු අයියා..

කළු යැයි කිව හැකි එකදු කෙස් ගසක් වත් හිසෙහි ඉතිරි වී නැත..  පුළුන් ගුලි මෙන් මුහුන වසා ගත් ‍රැවුල් ගස් අතර මද සිනාවෙන් පිරුනු ඔහුගේ මුව දෙස මා බලා උන්නෙමි.. උකුලෙහි දඟ කරමින් හිදින කුඩා මුනුපුරාට ඔහු රසවත් කථාවක් කියමින් සිටී.. අවුරුදු ගනනකට පසුත් ඒ දෙනෙත් වල දීප්තිය මදකුදු අඩුවී නැත.. එක්වරම ඒ දීප්තිමත් දෙනෙත් මා දෙසට හැරවින..

"සුදු නෝනෙ තේ ඩිංගක් බොමුද..?"

මා වහා හුන් තැනින් නැගිට ගත්තෙමි..

"හා ලොකු අයියෙ..ඉන්ට.."

රෑ තිස්සේම රිදුම් දී උදෑසන විවේක ගෙන තිබූ මගේ පයේ වේදනාව නැවත ඇහැර ගත්තේය..

"සුදු නෝනෙ.."

"අයියෙ.."

"මොකෝ කකුල අද්දන්නෙ..?"

"නෑ අයියෙ..මේ දනිස රිදෙන්න ගත්තා.. ඊයෙ රෑ තිස්සෙ වේදනාව.. උදේ හොද වෙලත් තිඋනා.. මේ ආයෙ පටං අරං.."

"ඉතින් තෙල් මුකුත් ගාගත්තෙ නෑ..? ඉන්ට.. "

ලොකු අයියා කාමරයට ගොස් තෙල් බෝතලය රැගෙන ආවේය..
මා ඉදිරියේ දණ ගසාගත් ඔහු තෙල් බෝතලය විවර කලේය..

"දෙන්න අයියෙ මං ගාගන්නම්.."

"හිටින්ට මං ගාන්නම්.."

මොහොතකින් මට ඔහුව බොදවී පෙනුනේය..
තෙල් ගා අවසානයේ ලොකු අයියා මා වෙත දෙනෙත් යොමු කලේය..

"ඔන්න ඉතින්.. සුදු නෝනෙ උබගෙ ඔය ඇස් වල කඳුලු නං මට මේ කෙස් පැහිලත් තාම තේරුං ගන්න බැරි උනා.."

"ඉන්ට මං තේ ටිකක් වක් කර ගෙන එන්නං.. "

"පස්සෙ බොමු සුදු නෝනෙ දැං ඩිංගක් ඔහොම ඉදගෙන ඉන්ට.."

එය ගනනකට නොගත් මා දෑසට නැගී තිබූ කදුලු ගුලි දෙක තුන පිටි අල්ලේ පිසදා ගනිමින්  මුළුතැන්ගෙට වැදුනෙමි..

ලොකු අයියා.. මගේ තාත්තාගේ එකම නැගණිය, එනම් රතු නැන්දාගෙ ලොකු පුතාය.. පොඩි අයියාත් ලොකු අයියාත් හැරෙන්නට රතු නැන්දාට වෙනත් දරුවන් නොසිටියාය.. ලොකු අයියාට අවුරුදු පහළවේදී පමන මාමාත්, පොඩි අයියාත් දුම්රිය අනතුරකින් ජීවිත වලින් සමු ගත් පසු රතු නැන්දාත් ලොකු අයියාත් මේ නිවස තුළ තනි විය..

අප්පච්චී, නැන්දාත් ලොකු අයියාත් ගැන නිතර සොයා බැලුවේය.. මාමාගේ මරණයෙන් පසුව ඔවුන්ගේ කුඹුරු කරන්නට කිසිවෙකු නොවූයෙන් ඒවා පාලු වී ගියේය.. අප්පච්චී ඒවා කරන්නට පටන් ගත්තේ ඉන් පසුවයි.

රතු නැන්දා රෙදි වියන්නට ගොස් ලබා ගන්නා සොච්වම් මුදල ලොකු අයියා ට උගැන්වීමට කොහෙත්ම නොසෑහෙන බව කුඩා මට පවා එකල වැටහිනි.. වර්ෂයක් ගෙවී ඉහල පන්තියට යන හැම වරකම මම ලොකු අයියාගේත් පොත් ලැයිස්තුව ඉල්ලාගෙන විත් අප්පච්චීට දුන්නෙමි.. අයියාත් මමත් එකම පාසලේ ඉගෙනුම  ලැබුවෙමු. ඔහුත් මමත් අතර පාසලේ පන්ති පහක පරතරයක් තිබනි..

මා ප්‍රාථමික පන්ති වල සිටියදී මගේ කොන්ඩෙන් අදින, මකනය හෝ පොත් සොරා ගත් මිතුරියන්ට මා
'අපේ ලොකු අයියාට කියනවා' යැයි බය ගැන්වීමට පුරුදුව සිටියෙමි. පාසලේ ඉගෙනීමෙහි දක්ෂ මෙන්ම ප්‍රසිද්ධ චරිතයක් වූ ඔහු, අපේ ලොකු අයියා වීම තරම් ආඩම්බරයක් මට එකල නොවුනි..  ඔහු මගේ ආරක්ෂකයා මෙන්ම මගේ ලෝකයේ වීරයාද වී විය..

මා අට වන ශේණියේ ඉගෙනුම ලබමින් සිටින කාලයේ දිනක් නීතා මා වෙත ගෙන ආ ආරංචිය නිසා මා ක්‍රියා කල ඒ ආකාරය පිළිබඳ මතකය අදටත් මගේ මනසේ නොනැසී පවතී..

"හේයි නයනා දන්නවද වැඩක්??"

"දැන ගන්න කියන්නෙපැයි.."

"ඔයාලගෙ ලොකු අයියා යාලු වෙලා ඉන්නෙ අර සිරිදාස මුදලාලි මාමගෙ දුව එක්ක.. "

එක්වරම මගේ හදවත තුළ යකඩ ගුලියක් සිරවී ඇති ලෙසක් දැනුනි.. මුලු හිසම සීතල වී ගියේය..

"මොනවා... අර ගීතා එක්ක..? නෑ අපේ අයියා ඒ වගේ නැට්ටිච්චියන්ට අහු වෙන්නෙ නෑ.."

"නැත්තෙ මොකෝ.. මුළු ඉස්කෝලෙම දන්නවා.. සුනිල්ලා ඇස් දෙකෙන්ම දැකලා තියෙනවා පල්ලෙහා වැවේ කුඹුක් ගහ ලග දෙන්නගෙ මුකුළුව.. "

කෙසේ උවත් මගේ දෑසටම දකින තුරු මා නීතා කී දේ විශ්වාස නොකලෙමි.. එහෙත් ඔවුන් දෙදෙනා මගේ දෑසින්ම එසේ දුටුව දිනයේ මගේ හදවත තුල ඇතිවූ ගිනි පුලිගුව ගීතාව දවා විනාශ කල හැකි තරම් ගින්දරක් බවට මගේ හදවත තුළ පැතිර යාමට වැඩි කලක් ගත වූයේ නැත..

පාසල ඇරී නිවසට යාමට පෙර පාසල අසලට වී සිටින වෙරළු අච්චාරු වෙළෙන්දාගෙන් ලොකු අයියා මිළදී ගන්නා වෙරළුවල අයිතිකාරිය ගීතා වීමත්, රතු නැන්දා සාදා එවන හැළප වල මගේ පංගුව ලොකු අයියාගෙන් ගීතාට වෙන් වීමත් මට මැවි මැවී පෙනෙන්නට විය.. මා ප්‍රිය කරන ලොකු අයියාගේ මදහසින් පිරි මුවෙත්, දීප්තිමත් දෑස් වල සතුටටත් එකම හේතුව හා අයිතිකාරිය ගීතා වීම මට දරා ගත නොහැකි විය.. ඇයත් ලොකු අයියාත් එකම දර්ෂනයකින් දැකීම මගේ හදවත ප්‍රතික්ෂේප කලේය..

නෑකමින්ම මට උරුමව තිබූ ඔහුගේ අයිතිය වෙන එකියක උදුරාගෙන තිබීම එකළ මගේ සිතේ නිතර වධ දුන් කරුණක් විය.

ඉන්පසු ගෙවුනු කාලයේ මා තවදුරටත් තැන්පත් ගති පැවතුම් ඇති නයනා නොවීය.. ගීතාගෙන් ලොකු අයියා බේරා ගැනීමට මම මුලු සිතින්ම සටනකට සූදානම් උනෙමි. ගීතාට කල යුත්තේ කුමක් දැයි නිතර කල්පනා කලෙමි..

සෑම උදෑසනකම ලොකු අයියා සමග පාසල් යාම මා අත් හැර දැම්මෙමි.. ඒ සිරිදාස මාමාගේ කඩය  අසලින් ගීතා ද අප හා එක් වන නිසා ය.. ඔහුත් ඇයත්  එකට ගමන් කරන පාරකින් හෝ යාම මගේ සිතට ඉහිලුම් නොදෙන වේදනාවක් විය.. 

එක් වැසි උදයක මා පාසලට පැමිනියේ තෙමෙමිනි.. මුවා කර ගෙන ඒමට යමක් නොතිබූ බැවින් අම්මා මසා දී තිබූ රෙදි පොත් බෑගය මෙන්ම ගවුමද වැසි දියෙන් තෙමී තිබුනේය..

පළමු කාලච්ජේදය සදහා පොත ගැනීමට බෑගය විවර කරන මොහොතේ මගේ දෑස් උඩ ඉන්දවිනි.. එදින පාඩමක් සදහා ගෙන ඒමට කියා තිබූ කුකුල් සායම් පැකට්ටුවක් හැලී තිබිනි.. බෑගය තෙමී තිබූ බැවින් පොත් සියල්ලගේම නිල් පැහැති පැල්ලම් සෑදී තිබිනි..
'දෙවියනේ.. '
කදුලු පිරී බොදවී යන දෙනෙත් මා ඉවතට හරවා ගතිමි..

ඒ මොහොතෙහි පංති කාමරයට එපිටින් ඇවිද යන ලොකු අයියාගේත් ගීතාගෙත් රුව මගේ බොදවී යන දෑසට පෙනුනේ එවිටයි..
එක් වරම මගේ සිතට ආ අදහස නිසා සිත තුළ ප්‍රීතියක් පිනුම් ගසන්නාක් මෙන් විය.. ඒ සමගම සිත තුළ නැගී ආ අසාමාන්‍ය බියක් හදවත වෙලා ගත්තේය..
'අහු උනොත්..?'
'නෑ එහෙම වෙන්නෙ නෑ.. ඒකිට ඔයා පාඩමක් උගන්නන්න ඕනෙ නයනා.. '

බිය ගත් සිතුවිලි පරදා මගේ යටි සිත මට එය කිරීමට අනුබල දුන්නේය...
මා ලග තිබූ අනෙක් රතු සායම් කුඩු පැකට්ටුව සීරුවට විවර කොට ඉන් ස්වල්පයක් කඩදාසි කැබැල්ලක ඔතා ගත්තෙමි...

විවේක කාලයේ දී  ආහාර ගැනීමෙන් පසුව පාසලේ සියලුම සිසුන් තම පන්තියට අයත් එලවලු පාත්තියට සාත්තු කරන්නට යෑම ලොකු ඉස්කෝලෙ මහත්තයා විසින් අපට අනිවාර්ය කල කටයුත්තක් විය..
විවේකයේදී පාත්ති වලට සාත්තු කරන්නට යන අතරතුර ලොකු අයියාගේ පන්තිකාමරය ඉදිරිපිට මගේ කොන්ඩ පටිය හිමින් සීරුවේ වට්ටන්නටද මා අමතක නොකලෙමි.. 
සියලුම සිසුන්ට යන්නට හැර මා අසල සිටි නීතා දෙසට හැරුනි..

"අයියො මගෙ කොණ්ඩ පටිය වැටිලා. මම බලලා එන්නම්.. "

මා වේගයෙන් ලොකු අයියලාගේ පන්ති කාමරය දෙසට දුව ගියෙමි. කිසිවෙක් පෙනෙන්නට නැත.. එක් වරක් හෝ සිතන්නට නොවෙහෙසුනු මම ගවුම් කර තුල රුවා ගෙන තිබූ සායම් කුඩු කොලය ගෙන ගීතාගේ බංකුවේ ඈ හිදගෙන සිටින තැන ස්වල්පයක් සියුම් ලෙස ඉස දැම්මෙමි..

එදින පාසල ඇරී නිවසට යන මොහොතේ වැටුනු වැසි පොද , සායම් කුඩු රැදී තිබූ ගීතාගේ සුදු ගවුම මත වැටී රතු පැල්ලම් ඇති කලේය.. ඒ දැක බාලංශ පති වල හා ඉහල පතිංවල සිසුන් ඇයට ඔච්චම් කරන විට කදුලු පිරී රතු වී තිබූ ගීතාගේ දෑස් දෙස බලමින් මම කුරිරු සතුටක් අත් වින්දෙමි..

මා ගීතාට රිදවා සතුටක් අත් විදීම එතනින් නැවැත්වූයේ නැත..
ලොකු අයියාට උණ වැලදීමෙන් දින කිහිපයක් පාසල් ඒමට නොහැකි වූ කාලයක් විය.. එ අතර දිනයක මා පාසලේ සිටින මොහොතක ගීතා මා හමු වීමට ආවාය..

"නයනා නංගි.. පියල් අයියට කොහොමද දැන්..?"

"තවම හොද නැහැ.. තව ටික දවසක් ගෙදර ඉදී අයියා.."
මා කීවෙමි..

දැන් සුවවී ඇති බැවින් පසු දින සිට පාසල් යාමට හැකි බව පෙර දින ලොකු අයියා රතු නැන්දා සමග කියනු මා අසා උන්නෙමි. නමුත් අයියා හෙට පැමිනෙන බව කියා ගීතාගේ සිතේ සතුටක් ඇති කිරීමට මට කිසිදු අවශ්‍යතාවක් නොවීය..

"නංගි පොඩි උදව්වක් කරනවද.. මේ ලියුම අයියට දෙනවද..?"

මගේ සිතෙහි පුපුරු ගැසෙමින් නැගුනු කෝපය ඇයට පෙනේවියැයි බියෙන් මා අනෙක් පසට හැරුනෙමි.. එය ඉල්ලා ඉරා දැමීමට තරම් කෝපයක් මගේ හිතේ ඇතිවී තිබිනි.. මල්කාන්ති ඉස්කෝලෙ හාමිනේ ඈතින් එනු පෙනෙත්දීම මගේ සිතෙහි ගීතාගෙන් පලි ගැනීමට එක් අදහසක් පහල විය..

"දෙන්න.. "

මා ඇගෙන් එය ඉල්ලා ගතිමි.. අප ආසන්නයටම පැමිනෙමින් සිටි ඉස්කෝලෙ හාමිනේට පෙනෙන්නටම මා එය පිටුපසට කර සගවා ගතිමි..

"නයනා මොකද්ද ඒ හංග ගත්තෙ මං එනවා දැකලා.."
ඉස්කෝලෙ හාමිනේ විමසුවාය..

මා ඇත්තෙන්ම බියවී සිටියෙමි. නමුත් මට කිරීමට අවශ්‍ය වූයේ මෙයයි.. ඉස්කෝලෙ හාමිනේ එම ලිපිය ඉල්ලා ගෙන කියවා බැලුවාය..

"ගීතා මෙහෙ එනවා..
ලොකු ඉස්කෝලෙ මහත්තයගෙ ඔපිස් එකට එනවා මේ දැන්ම.."

ඇය පිටත්ව ගිය පසු දෙවන වතාවටත් මා එම කුරිරු සතුට අත් වින්දෙමි.. පෙම් හසුනක් හුවමාරු කිරීමට පහල පන්තියක සිසුවියක් යොදා ගැනීම ගැනත් ඇයට දඩුවම් විදීමට සිදුවන්නට ඇත.

පසුදින සිට ලොකු අයියා පාසල් පැමිනියත් ගීතා සතියක් පමන පාසල් පැමිනියේ නැත. නමුත් ලොකු අයියාගේත් ඇගෙත් ප්‍රේමය නැවැත්වීමට මා ඒ කළ කිසිදු රිදවීමකට නොහැකි විය..

කාලය වේගයෙන් ගතවිය.. ලොකු අයියා අපේ පාසලෙන් විශ්වවිද්‍යාල  වරම් ලැබූ පළමු සිසුවා විය.. එය අපට මෙන්ම පාසලටම ආඩම්බරයක් විය..

ඔහු සරසවියට යාමට දෙමසකට පමන පෙර ගීතා අඹ ගහවත්තේ සරත් සමග පැනගොස් ඇති බව අපට ආරංචි විය.. එකල මට අසන්නට ලැබුනු සතුටුදායකම ආරංචිය එය බව සිතමින් මා  සතුටු වූ බව මට මතකය.. මා සිත තුල එකල පැවති ඒ සිතිවිලි ගැන මතක් වන විට අදටත් මගේ සිත තුල මා ගැනම උපන් අනුකම්පාවක් සහ ලැජ්ජාවක් ඇතිවේ..

මට එය සතුටුම ආරංචියක් උවත් ලොකු අයියා එය අසා හැසිරුනු ආකාරය මගේ සිත බෙහෙවින් කම්පනයට පත් කලේය.. පිස්සකු මෙන් කාමරය තුල ගෙවූ කාලය.. කිසිවෙකුට ඔහු හා කතා කල නොහැකි විය.. කිසි දිනෙක සැරෙන් මට කතා නොකල ඔහු ඒ කාලයේ ඔහු හමුවීමට යන සෑම අවස්ථාවකදීම මට සැර විය.. රතු නැන්දාට පවා ඔහු හා කථා කල නොහැකි විය..

මා ගීතාට කල නපුරුකම් සියල්ල මා වර්තමානයේ දී ලොකු අයියාට කිව හොත් ඔහු බඩ අල්ලාගෙන සිනා වනු නොඅනුමානය... එහෙත් මා එසේ කලේ ඇයි දැයි ඔහු සිතනු ඇත.. එහෙත් හේතුව පැවසීමට දැන් මා ප්‍රමාද වැඩිය.. එම නිසා ඒ සියල්ල අතීතයටම වැලලී යන්නට ඉඩදී හිදිමි..

ලොකු අයියා සරසවියට යන දිනයේ මා හැඩූ බව මට හොදින් මතකය..

"සුදු නෝනෙගෙ කදුලු මට තේරුං ගන්න බෑ.. මොකද මම මේ ආයෙ නොඑන්න යන ගමනක්‍ යැ.. "
ලොකු අයියා මගේ හිස පිරිමැද කීවේය..

කාලය ගතවිය.. ලොකු අයියා විශ්වවිද්‍යාලයෙන් පිටවී කොළඹම රැකියාව ලැබී ඇති බව ඔහු රතු නැන්දාට එවන ලිපි වලින් අප දැන ගත්තෙමු.. රැකියාව ලැබුනු පසු ඔහුගේ ගම ඒම පවා ටිකෙන් ටික අඩුවී ගියේය.. ලොකු අයියා කාර් එකක් ගත් බව අසා අප සතුටු උනෙමු.. ඔහුව දැකීමේ ආශාව ප්‍රබලව දැනෙන්නට වූ කාලයක් විය..

මා කුඩා කල පටන් අප්පච්චීගේ සිහිනය වී තිබුනේ මා පාසල් ගුරුවරියක් වනු දැකීමයි.. මා ඒ ඔස්සේ ගමන් ගතිමි.. මගේ ජීවිතය ගැන අප්පච්චී දුටු සිහින දෙකෙන් ඔහු මිය යන තෙක්ම හා ඉන් පසුවත් ඉටු කරන්නට හැකි වූ එකම සිහිනය එයම පමනක් විය.. අනෙක් සිහිනය මගේ විවාහයයි..

මා පාසල් ගුරුවරියක් ලෙස මා ඉගෙනගත් පාසලටම පත්වීම ලබා පැමිනියෙමි.

"ලොකු අයියා ගමේ එන්නෙ කවද්ද රතු නැන්දෙ..?"

සතියකට වතාවක් දෙවතාවක් නැන්දා බලන්නට ගොස් මා ඇගෙන් නිතරම විමසන්නේ එයයි..

"කවද්ද කියලා දැන ගන්නත් ලියුං කඩදහියක් එවන එකක්යැ දුවේ.."

මා යැවූ ලිපි වලටද ඔහුගෙන් පිලිතුරු ලැබී තිබුනේ නැත..
'ලොකු අයියට මක් වෙලාද..'
මා තනිවම සිතුවෙමි..

සිංහල අලුත් අවුරුදු දිනෙක අම්මාත් මමත් අප්පච්චීත් රතු නැන්දලාගේ නිවසට ගොස් සිටියෙමු..

මා හට විසිවන විය ආසන්න වී තිබිනි.. නෑකමින් උරුමව තිබූ අයියාගෙ අයිතිය නීතියෙන් අයිති කර ගන්නා දිනය ගැන මා සිහින දුටුවෙමි.. මා පවුලේ එකම දරුවා වූ බැවින් මා නිවසින් පිට කිරීමට අප්පච්චී නොසිතනු ඇතැයිද විටෙක සිතුවෙමි.. නමුත් විවාහයක් පිළිබද මව්පියන් සමග කතා කිරීම ලැජ්ජාවක් ලෙස සැලකුවෙමි.. නැන්දා ලොකු අයියාගේ විවාහ කර දීමක් පිළිබද කිසිම මොහොතක කියනු මා අසා නැත.. ඔවුන් ඒ ගැන සිතන දිනයක් වන තෙක් මා බලා උන්නෙමි..

එදින අප මැද සාලයේ කථා කර කර උන්නෙමු. එක්වරම ඇසුනු වාහන හඩ අප මවිතයට පත් කලේය.. කුඹුරුයාය මැදින් එන කාරය ලොකු අයියාගෙ බව හැදින ගැනීමට අපට වැඩිවෙලා නොගියේය...

"නැන්දෙ ලොකු අයියා එනවා..!"

දැනුනු සතුටට මට කියා ගත හැකිවූයේ එපමනය.. කාරය තව මදක් ඉදිරියට එන විට අයියාට එහා අසුනේ ඉදගෙන සිටින ගැහැනු රුව ගැන අප විමසිලිමත් වූයෙමූ..
'ඒ කවුද..?'

වාහනයෙන් බැස ආ ලොකු අයියාගෙ මුවෙහි පෙර වූ ලෙන්ගතු සිනාව වියැකී තිබුනේය.. නවීන පන්නයට ඇද සිටි කාන්තාව මට වඩා වසරක් හෝ දෙකක් වැඩිමල් විය හැකි බව මා සිතින් අනුමාන කලෙමි..

"අම්මේ...මේ... ඩල්සි. අපි මාස දෙකකට කලින් කසාද බැන්දා.."
ලොකු අයියා ඇසෙන නෑසෙන හඩින් කියුවේය..

රතු නැන්දා අසල තිබූ ආසනයේ ඉනදවුනේද මගේ හදවත දෙකට ඉරී ගියාක් බදු වේදනාවක් ඇති වූයේත් එක විටමය..
අම්මාත් අප්පච්චීත් මුහුනට මුහුන බලා ගත්තෝය.. මා දෑසින් එලියට පනින්නට පැමිනි කදුලු බිඳු වැටෙන්නට නොදී සිර කර ගතිමි.. මේ මොහොතේ සුදු නෝනාගේ දෑසින් කදුළු ගැලුවත් ලොකු අයියාට එය තේරෙන්නෙ නැත.. දැන් තේරුම් ගෙන ඵලක් ද නැත..
මා සිත දැඩි කර ගත්තෙමි.. ලොකු අයියා ඔහුගේ සහකාරිය තෝරාගෙන ඇත.. මා ඔහු ගැන සිතා සිටීමෙන් ඵලක් නැත.

"එන්න අයියෙ ඇතුළට.."

මා ගොස් ඩල්සිගේ අතින් අල්ලාගෙන  සාලයෙන් වාඩි කරවූයෙමි..

"ඉන්න මම තේ හදාගෙන එන්නම්.."

මුළුතැන්ගෙයින් පිලිකන්නට බැසගත්  මගේ කදුළු  පිළිකන්න පුරා සටහන් විය..

එදින රතු නැන්දා ඩල්සි අක්කා හා වචනයක් හෝ කථා කලේ නැත.. අයියා එවැනි තීරණයක් ගත්තේ ඇයි දයි මටද දැන ගැනීමට අවශ්‍ය විය..
පසුව මා ඇගෙන් දැන ගත් පරිදි ඩල්සි පොහොසත් පවුලක දියණියක් වූවාය.. ඇගේ දෙමව්පියන් ඇයව ලොකු අයියාගෙන් වෙන් කර වෙනත් තරුණයකුට විවාහ කර දීමට සූදානම්වී ඇත... ලොකු අයියාත් ඩල්සිත් ඊට පෙර ඉක්මන් වී ඇත..

"අක්කයි අයියයි ගමේ පදිංචි වෙන්නෙ කවද්ද..?"
මා ඩල්සිගෙන් විමසුවෙමි..

"ගමේ? අනේ මට මේ ගොඩේ පලාත් පුරුදු නැහැ නංගි.  අපි කොළඹම ඉන්නවා.."
ඇය ගනනකට නොගෙන කීවාය..

"එතකොට නැන්දා..?"
 මා විශ්මයෙන් විමසුවෙමි..

"පියල් අම්මව එහෙ එක්ක යනවා කිව්ව.. "
ඈ කීවාය..

ඊට මසකට පසු ලොකු අයියා පැමින රතු නැන්දා කොලඹ රැගෙන ගියේය...
වසරකට පසු ඩල්සිටත් ලොකු අයියාටත් නිවුන් දියනියන් ලැබුන බව අපට දන්වා එවා තිබිනි.. අප්පච්චීත් මමත් වතාවක් නැන්දා බලන්නට කොළඹ ගියෙමු.. ලොකු අයියා ගෙවන ප්‍රීතිමත් ජීවිතය දෙස බලා මා ඇත්තෙන්ම සතුටු වීමි..

පාසල් කාලයේ ඔහුගේ ආදරය ලැබූ ගීතා ගැන මගේ සිතේ එකල ඇතිවී තිබූ කෝපය ගැන මා ලැජ්ජා වුනෙමි.. මා ඔහුගේ නෑනා වුවත්, සහෝදරියකට එහා හැගීමක් මා ගැන ඇති කරගෙන නොතිබූ බව ඉන්පසු සෑම මොහොතකම මා සිතන්නට උත්සහ කලෙමි. එසේ සිතන ඔහු ගැන මා පෙර ලෙස සිටීම මට මා ගැනම විටෙක ලැජ්ජාවක් ඇති කලේය.

විසි තුන වන විය ආසන්න වන විට අප්පච්චී මට විවාහ යෝජනා ගෙනෙන්නට විය.. මා බලන්නට පැමිණි මනමාලයන්ගෙන් මම ලොකු අයියාව සොයන්නට උත්සහ කල බව මට දැන් වැටහේ.. ඔවුන් සියල්ලන්ගේම කුමක් හෝ අඩුපාඩුවක් මට එකල  පෙනිනි..

ලොකු අයියා මෙන් පෞර්ෂයක්.. ඔහුගේ මෙන් නිතර සිනාසෙන දීප්තිමත් ඇස්.. ඒ කිසිවක් ඔවුන් සතු නොවීය.. මගේ සිත තුළ ඇඳී ඉන්නේ ලොකු අයියාම පමණක් බවත් ඔහු හැරෙන්නට වෙන කිසිවෙකුට මගේ සිතෙහි ඉඩක් දිය නොහැකි බවත් නොබෝ කාලයක් යාමට පෙර මම තේරුම් ගතිමි. ඉන්පසු ගෙවුනු කාලයේ විවාහ යෝජනා පිළිබඳ කතා කෙරෙන විට මා එයට උදාසීනකමක් දැක්වුයෙමි.. මා පාසලට හා සිසුන්ට ඉගැන්වීමේ කටයුතුවලට ඕනෑවටත් වඩා වෙහෙසී අන් සියල්ල මගේ ජීවිතයෙන් අමතක කර, ඈත් කර තැබීමට වෙහෙසුනෙමි.

සියල්ලන්ටම වඩා මගේ විවාහය ගැන ලොකු අයියා මා සමඟ කතා කිරීම මට දරා ගත නොහැකි විය..
මගෙන් සතුටු ප්‍රතිචාරයක් නොලැබෙන විට අප්පච්චී ලොකු අයියාට කියා මගේ විවාහය ගැන ඔහු ලවා කථා කිරීමට පටන්ගෙන තිබිනි..

"සුදු නෝනෙ..වයසත් ගෙවෙනවනෙ.. හැමදාම ඔහොම ඉන්නද කල්පනාව.. මාමා දැන් කටයුතු කී‍යක් නං හෙව්වද.. අර ලොකු ඉස්කෝලෙ මහත්තයගෙ පුතත් මාමා එක්ක කථා කරලා තිබුනා නංගි ගැන.. එයත් ඉස්කෝලෙ මහත්තයෙක්නෙ දැන්.. නංගිට මතකනෙ කමල්.. "

ලොකු අයියා ගම ආ වෙලාවක මාත් සමග කථා කරන්නට පටන් ගත්තේය..

"නැත්නම් සුදු නෝනගෙ හිත ගිය කවූරු හරි ඉන්නවනම්......"

"අනේ ලොකු අයියෙ අපි වෙන මොනවා හරි කතා කරමුද..?"
මා ඔහුට මදක් සැර විය..

වසරින් වසර ගෙවී ගියේය.. ඒ අතරතුර අප නොසිතූ මොහොතක මගේ අප්පච්චීගේ මරණය සිදු විය.. ලොකු අයියාත්, නැන්දාත්, ඊළග දරුවා ලැබීමට ආසන්නව සිටි ඩල්සි අක්කාත් මළ ගෙදර පැමිනියෝය..

අප්පච්චීගේ තුන්මස දානයෙන් සතියකට පසු දිනෙක ලොකු අයියාගෙන් ටෙලිග්‍රෑම් පනිවිඩයක් අපට ලැබිනි.. ඒ දරුවා ලැබෙන්නට ගොස් දරුවාත් සමගම ඩල්සි මිය ගිය බවයි.. අපි බෙහෙවින් කම්පා වුනෙමු.. අම්මාත් මමත් එදිනම කොළඹ ගියෙමු.. එය අප සැමගේම ජීවිත වල දුක්මුසු කාලපරිච්ඡේදයක් විය.. ලොකු අයියා අවසිහියෙන් මෙන් හැසිරුනේය.. එවකට කිසිවක් තේරුම් ගත නොහැකි වූ පස් වයස් ආසන්න වී තිබූ දරු දෙදෙනා මා අසලින් ඈත් නොවී මා තුරුලේ සිටීම මගේ හදවත තවත් කම්පනයට පත් කලේය..

"මොනවා තේරෙන එකක්ද මේ කිරි සප්පයින්ට.."
අම්මා කම්මුලේ අතක් තබා කීවාය..

"අම්මෙ අපි දරුවො දෙන්නා අරගෙන යමු.. රතු නැන්දට පුලුවන් යැ තනියම මේ දරු දෙන්නා ගෙ වැඩ ටික තනියම කරන්න.."

දරුවන්ගේ කටයුතු තබා තමාගේ කටයුතු හෝ හරි ආකාරව කර ගත නොහැකි තරමට රතු නැන්දා බොහෝ දුබලව සිටියාය.. අයියා දමා ඒමට නොහැකි නිසා මිසක රතු නැන්දාටත් අප සමග ගම ඒමට දැඩි ලෙස සිත තිබුනේය..
ලොකු අයියා කිසිවක් සිතා ගත නොහැකි තරමටම ගතින් මෙන්ම සිතින් දුර්වල වී සිටියේය.. හැකි ලෙස ඔහුව අස්වසා මා දරුවන් දෙදෙනා ගමෙහි ගෙන යෑමට අවසර ලබා ගත්තෙමි..

ඉන් වසරක පසු ලොකු අයියා රතු නැන්දාව ගමට ගෙන ආවේය.. අයියා කොළඹ නැවතී රැකියාව කරන අතර සතියකට වරක් නැන්දාත් දරුවනුත් බැලීමය ගමට පැමිනියේය..

මහලු වියට ලං වෙමින් දුබල වන අම්මාගේත්, රතු නැන්දාගේත් වැඩ කටයුතුත්, දියණියන් දෙදෙනාගේ වැඩ කටයුතුත් සියල්ලම මා මත පැටවිනි.. මා ඒ සියල්ල බොහෝ ආදරෙන් හා ආශාවෙන් ඉටු කලෙමි.. ඔවුන්ගෙන් එපිට මට වෙනත් ලෝකයක් නොතිබුන තරම් විය..

කුඩා කාලයේ පටන් සුදු නෝනා යයි නම් ලත් මා දියණියන් බහ තෝරන  අවධියේ පටන් ඔවුන්ගේ සුදු නැන්දා විය.. පාසල් යන අවධියේ ඔවුන් මට සුදු අම්මා යැයි කියන්නට පටන් ගත්තෝය..

ඔවුන් දෙදෙනාම මා උගන්වන පාසලේම දක්ෂ ලෙස අධ්‍යාපනය කරගෙන ගියෝය.. ලොකු අයියාගෙ දක්ෂකම් ඔවුන්ට සහජයෙන්ම ලැබී තිබිනි.. සාමාන්‍ය පෙල සමත් වූ පසු දියණියන් කොළඹ පාසලකට ඇතුළත් කිරීමට ලොකු අයියාට දැඩි ලෙස උවමනා විය. නමුත් දියණියන් මා දමා යාමට කැමති වූයේ නැත..
එකල වන විට රතු නැන්දාගේත් අම්මාගේත් මරණයන් සිදුවී තිබූ නිසා ලොකු අයියලාගේ නිවසේ ජීවත් වූයේ මාත් දියණියනුත් පමණකි.. අවසානයේ අප සියලු දෙනාම ලොකු අයියලාගේ කොළඹ නිවසේ පදිංචියට යාමට තීරණය කලෙමු..

එහි සිට තීශා ආශා දියණියන් ඔවුන්ගේ අධ්‍යාපනය සිදු කල අතර ලොකු අයියාගේ ජීවිතයට මෙලෙස හෝ සතුටක් ලබා දීමට හැකි වීම ගැන මා හදවතින්ම සතුටු වූයෙමි..
තීශාගේත් ආශාගේත් විවාහයන් සිදු කර දීමෙන් පසු මා අම්මා කෙනෙකු තරමටම ඔවුන් ගැන සතුටු කදුළු හෙළුවෙමි..

"උඹ මගේ දරුවන්ට අම්ම කෙනෙක් වුනා සුදු නෝනෙ.. උප උපන් ජාතිත් මම උබට ණයයි නංගියෙ.. මුළු ජීවිතේම අපි වෙනුවෙන් කැප කරා.. "

ආශාගේ විවාහය සිදු වූ දිනයේ ලොකු අයියා මගේ දෑතින් අල්ලාගෙන කදුළු හෙළුවේය..

"අනේ අයියෙ එහෙම කියන්න එපා.. "
මගේ දෑසේද කදුළු බොදවී ගියේය..

දියනියන් විවාහ කර දීමෙන් වසර කිහිපයකට පසු ලොකු අයියා රැකියාවෙන් විශ්‍රාම ලබා ගත්තේය.. අයියාත් මමත් නැවත ගමෙහි පදිංචියට පැමිනියෙමු..

"තුදු අත්තම්මා... සීයා තලා වෙලා කතා කලන්නෙ නෑ.. "

ආශාගේ පුතු මුලුතැන්ගෙයට පැමිනෙන තෙක් මා දන්නේ නැත.. අතීතය පිළිබඳ මතක ගංගාවක ගිලී සිටි මගේ සිත, කුඩා පුතුගේ කටහඩින් පියවි ලොවට පැමිනියේය..

"ම්ම්ම්.. තලා වෙලාද.. අපි තේක අලන් යමුකො සීයව යාලු කල ගන්න.. "
මම කුඩා පුතු සනසා ලොකු අයියා සඳහා තේක පිළියෙළ කලෙමි..

අප සාලයට පැමිනෙන විට ලොකු අයියා පුටු ඇන්දට හේත්තු වී සිටියේය..

"ලොකු අයියෙ..?"

'ආයෙමත් පපුවෙ අමාරුව ඇවිත්ද.. දෙවියනෙ..'
මා මටම කියා ගතිමි..

"අයියෙ..?"
 මා තේක පසෙකින් තබා පැමින ලොකු අයියා අල්ලා ගතිමි.. අසාමාන්‍ය සීතලක් ඔහුගේ සිරුරෙහි විය..

'ලොකු අයියෙ.. ! '

මා කෑගැසුවෙමි.. නමුත් මගේ මුවින් කිසිදු හඩක් පිටවූයේ නැත..
මට සිහිය පැමිනෙන විට ගමේ කිහිප දෙනෙක්ම නිවසට රොක් වී තිබුනේ පුතුගේ හැඩීම නිසා විය යුතුය.. ලොකු අයියා අප අතහැර සඳහටම දෑස පියාගෙන තිබුනේය...

මගේ දෑසින් ගලන කඳුලු වැල් වලට ඔහේ ගලා යන්නට ඉඩ දී මා බලා සිටියෙමි..

"සුදු නෝනෙ.. ඇයි උබේ ඇස් වල කදුළු.. මට තේරෙන්නෙ නැහැ.."

සුපුරුදු හඩින් හඩින් ලොකු අයියා කියනු මගේ කන් අසලින් ඇසී නෑසී ගියේය..

-නිමි-

~මුදී~
2017/09/25

Thursday, September 7, 2017

(2) සොබාදහම...


ම්ම්.. ගස් වැල් මල් වලට ඔබ කථා කරලා තියෙනවද.. ඔබට ගස් වල ජීවය දැනිලා තියෙනවද..  අපි බයෝ වලදි සජීවී කියලා ඉගෙන ගත්තත්, කවි ලියද්දි ජීවයක් ආරෝපනය කරලා ලිව්වත් ඇත්තටම ගස් වැල් ගැන සජීවී හැගීමක් ඔබට ඇත්තටම දැනිලා තියෙනවද..
ඔබ මොහොතක් තනියම ගහක් යට හුදකලා වෙලා ගස් බදට අත තියලා බලන්න.. ඔබට දැනේවි.. 

ගස් වලින් ෆ්‍රී වයි ෆයි ලැබෙනවා කියලා ඔබට කවුරු හරි කිව්වොත්...? ඔබ අනිවාර්‍යෙන්ම ගේ වටේම ගස් හිටවයි.. ඒත් ඒකෙන් ලැබෙන්නෙ ඔබට හුස්ම ගන්න ඔක්සිජන් කියලා ඔබ දැන දැනත්.. ඒත් ඔබ එහෙම කරන්නෙ නැහැ.. ඇයි ඒ වෙනස..

මල් ගහකට ඔබ ආදරෙන් වතුර පොදක් දැම්මම කොල හෙලවන හැටි ඔබ හිමීට බලන් ඉදලා තියෙනවද.. මම නම් හිතනවා ඒක මට කරන ස්තූතියක් කියලා..

ඔබේ ජීවිතේ සතුට රැදිලා තියෙන්නෙ කොතනද කියලා මම ඇහුවොත්.. ඔබ කෙනෙක් ගැන කියාවි? මගේ සතුට නම් රැදිලා තියෙන්නෙ සොබාදහමෙ.. මේ ගස්  මල් එක්ක..

ඔබ දුකින් ඉන්න වෙලාවට  මේ සොබා දහම ඔබට හොදම මිතුරෙක් වෙයි.. ඉතින්.. මුලු හදවතම විවර කරලා එන්න ඔබ ඒ සොබා දහම විදින්න..

~මුදී~
2017/09/04

(1) ඔබ ඔබටම අභියෝගයක් වෙන්න..

ඔබ කාත් එක්ක හරි ඔබව සන්සන්දනය කර ගන්නවද.. තරඟ කරනවද.. එයින් ඔබට ලැබුනෙ මොනවද.. දුකක්.. ඔබ ගැනම කලකිරීමක්. සමහර විට ඊර්ෂ්‍යාවක්? ම්ම්.. ඔබ ඔබේ හතුරා වෙන්න එපා.. සන්සන්දනය කියන්නෙ ඔබ ඔබටම කර ගන්න මහ හතුරුකමක්!

ඔබ තරඟ කරන්න ඕනෙ.. අභියෝග කරන්න ඕනෙ.. කාටද? ඔබටමයි.
මට කාත් එක්කවත් තරඟයක් නැහැ.. මට තරගයක් තියෙන්නෙ මම එක්කමයි.. ඊයෙ දවසෙ හිටපු මට වඩා හොද කෙනෙක් වෙන්න..දක්ෂ කෙනෙක් වෙන්න.. මම මටම අභියෝග කරනවා.. එතකොට දවසින් දවස ඔබ ඉස්සරහට යනවා මිසක් කවමදාකවත් ආපස්සට යන්නෙ නැහැ..
ඔබ ඊයෙ හිටපු ඔබටත් වඩා දක්ෂ කෙනෙක් වෙන්න ට්‍රයි කරනවා.. ඊට වඩා හොදකෙනෙක් වෙන්න ට්‍රයි කරනවා..

ඔබ කරන දේවල් ගැන කිසිම කෙනෙක්ගෙන් අගය කිරීමක් බලාපොරොත්තු වෙන්න එපා.. මොකද එහෙම දෙයක් නොලැබුනොත් ඔබ අධෛර්ය වෙනවා.. ඔබව අගය කරන්න ඔබ තුල කෙනෙක් ඉන්නවා.. ඒ ඔබමයි. හැම විටම ඔබේ හොද දේවල් ගැන ඔබ අගය කිරීමක් කරන්න.. ඒක කිසිකෙනෙක් කරනවට වඩා ඔබට දැනේවි.. ඔබ තව තවත් ඒ වගේ හොද දේවල් කරන්න පෙලඹේවි..

කෙනෙකුගෙ හිතේ ඔබ ගැන ඇති වෙන ආශිර්වාදය.. ඒක අනිවාර්‍යෙන් ඔබ වටා ශක්තියක් ලෙස එකතුවන බව හිතන්න.. ඔබ ඇසුරු කරන අයගෙන් විතරක් නෙමේ ගහකොල සතුන්ගෙන් පවා ඒ ආශිර්වාදය ගන්න... ස්වභාව දහම දෙන ආශිර්වාදය හරි පුදුමාකාරයි.. ඔබට එය මොහොතක් හරි දැනිලා තියෙනවා නම් ඔබ ස්වභාව දහමට මොන තරම් ආදරය කරාවිද.. මට ඒක දැනෙනවා.. වේලිලා යන්න ගිය ගහකට වතුර පොදක් දාලා ඔබ ඒ ගසින් ලැබෙන ආශිර්වාදය හිතෙන් විදින්න.. වතුරෙ ගිලෙන්න යන පුංචි කූබියෙක් බේර ගෙන ඒ සතුට හිතට දෙන්න.. ඔබ ඔබව අගය කරන්න..
'ඔබ ඇත්තටම කරුනාවන්තයි.. ඔබට හොද හදවතක් තියෙනවා..'  ඔබම ඔබට කියාවි.. ඔබට ඔබව ගොඩක් වටීවි..

~මුදී~

Thursday, January 26, 2017

පිටසක්වල තරුණිය "නීන්" 15 කොටස.. <අවසන් කොටස.>

<අවසාන කොටස.>

පසුගිය කොටසින්..
°°°°°°°°°°°°°°°°°°°°
ඔහුව දුටු මොහොතේම ජනපදයේ වැසියන් ප්‍රීතියෙන් කෑගසන්නට වුනා..

"ක්ලී.. ඔබ ආපසු ඇවිත්..
ක්ලී ඔබ අපේ නායකයා. "

පිරිස කේල් අතහැර ක්ලී වටා එකතු වුනා.. කේල්ට කිසිවක් කර කියා ගත නොහැකි වුනා..

°°°°°°°°°°°°°°°°°°°°
එතැන් සිට...

නීන්ගේ තාත්තා ක්ලී, ප්‍රථමයෙන්ම ගියේ ඔහුගේ නිවසටයි...

"මගෙ පුතා... ජොම්, ඔයා එහෙනම් යානයක් හැදුවා මාව ආපහු ගේන්න.. "
ක්ලී සතුටින් කිව්වා.

ඒ වන විට කේල් විසින් කපා දැමූ ජොම්ගේ අත්,  යම්තමින් වැඩෙමින් තිබුනා.
කැපූ අත් පා නැවත වැඩෙන බව නීන් පවසා තිබුනත්, දිනුක එය විශ්වාස කලේ ජොම්ගේ අත් , දැකීමෙන් පසුවයි..!

නීන්ගේ පවුලේ සියලුදෙනා ආපසු එක් වුනේ බොහෝ කාලයකින් නිසා ඔවුන් සතුටු සාමිචියෙහි යෙදී සිටියා..

"ක්ලී.. ක්ලී නායකතුමනි.. "

අයෙකු කලබලයෙන් ඔවුන් සිටි තැනට ආවා. 

"ඇයි ග්ලේබෝ.. " ක්ලී ඇහුවා.

"කේල් ඔබගේ යානයේ නැගලා අතුරුදන් වුනා..!! "

එම පුවතින් වඩාත්ම කලබල වුනේ දිනුකයි.

'මම දැන් ආපහු යන්නෙ කොහොමද.. "
දිනුකට කියවුනා.

ක්ලී මද වේලාවක් කල්පනා කර දිනුකට මෙසේ පැවසුවා.

"ඔබ කලබලවෙන්න එපා. මම යානයක් හදන්නම්. මට ටික කාලයක් දෙන්න. ජොම්ගෙ අත් වැඩීගෙන එන නිසා එයාටත් පුළුවන් වේවි මට උදව් කරන්න. "

දින කිහිපයක් ගෙවී ගියා. නීන්ගේ තාත්තා දිවා රෑ නොබලා යානය සෑදීමේ කටයුතු කරගෙන ගියා..

එයට පාෂාණයක් සෙවීම නීන් භාර ගත්තා.  ඇය දිනුක සමග ඇගේ  ලෝකයේ බොහෝ දුර ඇවිද ගොස් සොයා ගැලපෙනම පාෂානය සොයා ගත්තා..

අවසානයේදී ක්ලී යානය සාදා නිම කලා. දිනුක ඔවුන්ගෙන් සමු ගත්තා. යානය සෑදීම පිළිබඳ දිනුක ක්ලීට බොහෝ ස්තූති කලා. දිනුකව පෘතුවියට ගෙන ඒමට නීන් ඉදිරිපත් වුනා. ඔවුන් යානයට නැග එය ක්‍රියාත්මක කලා.

දිනුකගේ ඉල්ලීම පරිදි පෙර අවස්ථාවේදී නීන් පෘතුවියට වැටුනු ස්ථානය ඉලක්ක කර ගමන් දිශාව සකස් කිරීමට නීන්ගේ තාත්තා කටයුතු කර තිබුනා. එසේ ඔවුන් සෝමාවතී රක්ෂිතට යානයෙන් ආවා. නීන් හා දිනුක එකෙනෙකාගෙන් සමු ගැනීමට වෙලාව එලඹී තිබුනා..

"නීන් දන්නවද.. මම ඔයාගෙ ලෝකෙදි.. කේල් මාව හිර කරලා ඉද්දි, මම කණගාටු වුනා එදා අපේ කණ්ඩායම ආපහු යද්දි මමත් ඔවුන් එක්ක නොගිය එක ගැන..
ඒත්.. ඒත් දැන් මම සතුටු වෙනවා ඒ ගැන..

ඔයාගෙ ලෝකෙ උනත්.. මගෙ ලෝකෙ උනත් හොඳ සහ නරක ජීවීන් දෙගොල්ලොම ඉන්නවා.

මම වෙනුවෙන් ඔයා එදා අවධානමක් අරගෙන මාව කේල්ගෙ උමඟෙන් බේර ගත්තා. අද මාව ආපහු මගේ ලෝකෙට ගෙනත් දැම්මා.
ඒ හැම දේකටම ස්තූතියි නීන්. :)

"දිනුක, මම මේ ලෝකෙට ඇවිත් අර විදිහට තුවාල වෙලා ඉඳිද්දි, ඔයයි මාව බේර ගත්තෙ.. ඒත් මම ඔයාව කරදරේක දැම්මා.. :( මට සමාවෙන්න ඒ හැමදේකටම. "

"නැහැ නීන්. ඒ ගැන හිතන්න එපා.. මේ වගේ අපූරු අත්දැකීමක් ලැබුනෙ මට.. ඒ දේවල් ඒ විදිහට උන නිසානෙ. අන්තිමේදි අපි ඔයාගෙ තාත්තාවත් හොයාගත්තා..

ආ.. නීන්, මට ඔයාගෙ තාත්තටයි ජොම්ටයි කියන්න අමතක වුනා.. මේ යානෙන් වෙනත් ග්‍රහලෝක වලට යද්දි පරිස්සම් වෙන්න.. කුරුමිට්ටන් හිටපු පෙම්ලො ග්‍රහලෝකය, මගේ ග්‍රහලෝකය පෘතුවිය, ඔයාගෙ ලෝකය.. ඔක්සිජන් සහිත මේවයෙ වායුගෝලය එක වගේ නිසයි අපිට හුස්ම ගන්න පුළුවන් වුනේ..

අවාසනාවකට මේ වගේ වායුගෝලයක් නැති ලෝකෙකට ඔයාල ගියොත් හුස්ම ගන්න බැරිව මැරෙන්න සිද්ද වෙනවා..

ඒ නිසා ජොම්ට කියන්න ඒකට ආරක්ෂිත උපක්‍රමයක් හදන්න කියලා.. "
නීන් ඒ සියල්ල අසා හිතට ගත්තා..

"එහෙනම් මම යන්නම්.. "

අපූරු පිටසක්වල තරුණිය නීන්,  දිනුකගෙන් සමුගෙන ඇගේ ග්‍රහලොව වෙත ගියා..

                       ***
"දිනුක.....,
අර පිටසක්වලයා ඔයාව පැහැරගත්තා කියලයි අපි හිතුවෙ.. අපි දැක්කා ඔයාව ඒ යානයෙන්  ගෙනියනවා.. මොකද්ද ඒ උනේ..??"

මහාචාර්යවරුන් දෙදෙනා දිනුක වෙත දිව එමින් ඇහුවා.

"ම්ම්.. පැහැර ගැනීමක්? එහෙම නෙමෙයි කියන්නත් බෑ ඉතින්.. "
දිනුක සිනාසෙමින් කිව්වා..

ප්‍රොෆෙසර්.. ඔය දෙන්නා මෙච්චර කල් මෙහෙ හිටියද? "
දිනුක විශ්මයෙන් ඔවුන්ගෙන් ඇහුවා.

"මෙච්චර කල්? ඔයා අද උදේ  පිටසක්වල ජීවියා එක්ක යානෙන් යනව දැක්ක නිසා අපි ආපහු යන්නෙ නැතුව නැවතිලා මෙතන ටෙන්ට් එක ගැහුවා.. "
ප්‍රොෆෙසර් රණ්දෙනිය කිව්වා.

"ප්‍රොෆෙසර් කිව්වා නේද මම සක්වල අතිරේකයේ ලියන ලිපි කියවනවා කියලා..
ඔන්න එහෙනම් ඔබට ඊළඟ සතියෙ ඉඳලම කියවන්න පුළුවන් ඔබ දැන් මගෙන් ඇහුව ප්‍රශ්නයට උත්තරේ. :)
දැන් අපි යමු.."

දිනුක මහාචාර්යවරුන්  දෙදෙනා සමඟ රක්ෂිතයෙන් ආපසු ඒමට පිටත් වුනා..

✴✴✴✴✴✴✴✴✴✴✴✴✴✴

                  ~සමාප්තයි.~

මෙතෙක් කොටස් -->

  01 කොටස.  
  02 කොටස.  
  03 කොටස.  
  04 කොටස.  
  05 කොටස.  
  06 කොටස.  
  07 කොටස.  
  08 කොටස.  
  09 කොටස.
  10 කොටස.  
  11 කොටස.  
  12 කොටස.  
  13 කොටස.  
  14 කොටස.  


පිටසක්වල තරුණිය "නීන්" 14 කොටස..

පසුගිය කොටසින්..
°°°°°°°°°°°°°°°°°°°°
"එදා මම ආවා. නීන්.., මේ අපේ ලෝකෙට  පේන පෙම්ලො කුට්ටිය..  අර තියෙන්නෙ අපේ ලෝකෙ.. "
අපට සද පෙනෙනවාක් මෙන් පෙනෙන ග්‍රහලෝකය පෙන්වමින් නීන්ගේ තාත්තා කිව්වා.. 

'එහෙනම් මේක නීන්ගෙ ලෝකයට පේන චන්ද්‍රයෙක් කියලා මම හිතපු දේ වැරදියි.. '
දිනුක තනිවම කල්පනා කලා.

නීන්ගේ ලෝකයට පෙම්ලෝ කුට්ටිය පෙනුනේ කොල පැහැතිවයි..
නමුත් මෙහි සිට නීන්ගේ ලෝකය සුදු පැහැයෙන් දිස් වුනා..

°°°°°°°°°°°°°°°°°°°°
එතැන් සිට...

"මම එදා වැටුනෙ මෙහෙ වගුරකට. ඔව්. එතනට මේ කුරුමිට්ටන් කියන්නෙ වගුර කියලා. ඔයාට ඒ වගේ එකක් හිතා ගන්න බෑ නීන්. අපේ ලෝකෙ එහෙම ඒවා නෑ.. "
නීන්ගේ තාත්තා කිව්වා.

"අපේ ලෝකෙ නම් තියෙනවා! ඉතින් ඔබ ඒකෙ එරුනද.. කොහොමද ඒකෙන් බේරුනේ? "
දිනුක ඇහුවා.

"මම ඒකෙ ගිලෙද්දි මේ කුරුමිට්ටන් වටවුනා එතනට.  ඒගොල්ලො මාව බේර ගත්තෙ නැත්නම් මමත් මගෙ යානෙත් එක්ක වගුර ඇතුලෙ මේ වෙනකොට..
මම මේ ගොල්ලො එක්ක කාලයක් ජීවත් වෙනකොට එයාලා මාව ඒගොල්ලන්ගෙ නායකයා කර ගත්තා. එදා ඉදන් මම මෙහෙම ඉන්නවා..
මට ආපහු එන්න ඕන වුනත් මෙහෙ යානයක් හදන්න ඕන කරන දේවල් නැහැ නීන්.. අඩුම තරමෙ අපේ වගේ පාෂානවත් මෙහෙ හොයා ගන්න නැහැ.. අම්මවයි ජොම්වයි ඔයාවයි හැමදාම මතක් වුනා මට.. මම හැම රෑකම අපේ ලෝකෙ දිහා බලන් ඉන්නවා. 

මම හීනෙකින්වත් හිතුවෙ නෑ මගේ පුතා මාව හොයාගන්න එන්න යානයක් හදයි කියලා.. ඒ වගේම මගේ නිර්භීත පුංචි කෙල්ල මාව හොයාගෙන මෙහෙට එයි කියලා.. "

"අනේ තාත්තා.. " නීන් ඔහුව වැළද ගත්තා.

"අපි යමු තාත්තා අපේ ලෝකෙට.. ඔයා ගියාට පස්සෙ ගොඩක් දේවල් සිද්ධ වුනා.. ඒ ඔක්කොම වගේ නපුරු දේවල්..කේල් කියන්නෙ නපුරු නායකයෙක්. " >:(

"ආ.. කේල්ද දැන් නායකයා..?  ඒ කියන්නෙ හල්ම් මැරුනද..? "

"ඔව් තාත්තා. එයා මැරිලා තියෙන්නෙත් තාත්තා එහෙන් ඇවිත්  ටික කාලෙකට පස්සෙ.
ඔයා දන්නවද තාත්තා නරකම දේ?  කේල්.. එයා.. එයා අපේ ජොම්ගෙ අත් දෙකම කපලා දැම්මා මේ යානය හැදුවා කියලා. "
නීන් බොහෝ දුකින් කිව්වා..

එය ඇසුන මොහොතේම නීන්ගේ  තාත්තාගේ මුහුන කෝපයකින් පිරුනා.

"මොනවා මගෙ පුතාගෙ අත් කපලා දැම්මා..
කේල් උබට මගෙන් ගැලවීමක් ලැබෙන්නෙ නෑ.. අපි පුලුවන් තරම් ඉක්මන්ට අපේ ලෝකෙට යමු.."

"තාත්තා.. ජොම් යානයේ දිශාව හදන එක ඉවර කරලා තිබුනෙ නෑ කේල්ට අහුවෙද්දි. ඒක හරියට වැඩ කරන්නෙ නෑ.. අනික අපේ යානයේ පාෂානය සේටෝගෙ එළියෙන් ආරෝපණය කරන්නත් ඕනෙ.."

අවශ්‍යය කෑම තිබූ නිසා දිනුකටත් නීන්ටත් එහි සිටීම අපහසු වුනේ නැහැ. නීන්ගේ තාත්තා යානය තුලට ගොස් එහි දිශා දැක්වීම නිවැරදි කිරීමේ කටයුතු සිදු කලා..
ඒ අතර  යානය ක්‍රියාත්මක කරන පාෂාණය ආරෝපණය වීම සඳහා සේටෝගේ එළිය වැටෙන්නට තබා තිබුනා.
නීන් මෙතෙක් සිදුවූ සිදුවීම් තාත්තාට කිව්වා..

                          ***
"දිනුක, තාත්තා යානය හදා ගත්තට අස්සෙ අපිට ඉස්සෙල්ලම යන්න වෙන්නෙ අපේ ලෝකෙට.. ඒකට කමක් නැහැ නේද..
තාත්තව අපේ ලෝකෙට ගෙනියන්න ඕනෙ ඉක්මනටම. මම මෙහෙම ආපු නිසා අම්මටයි ජොම්ටයි මොනවා කලාද දන්නෙ නැහැ කේල්..

තාත්තා එහෙට ගියාට පස්සෙ අපේ ජනපදයෙ නායකයා වෙන්නෙ තාත්තා.. මම ඔයාට කලින් කිව්වනෙ හල්ම් නම් කරපු දෙන්නගෙන් වැඩි දක්ෂකමක් පෙන්වන කෙනයි නායකයා වෙන්නෙ කියලා. හල්ම් කියලා තිබුනලු තාත්තා ආපහු ආවොත් මීළඟට ජනපදයෙ නායකයා වෙන්නෙ තාත්තා කියලා..
ඊට පස්සෙ මම ඔයාව ඔයාගෙ ලෝකෙට ගෙනියන්නම්. "

"අහ්. ඒකට කමක් නැහැ නීන්. "
දිනුක කිව්වා.

නීන්ගේ ලෝකයේ කොතරම් වෙලාවක් සිටීමට වේ දැයි නොදන්නා නිසා දිනුක, ගෙන යෑමට පළතුරු ගත්තා. නීන්ගේ තාත්තාගෙන් සමු ගැනීම කුරුමිට්ටන් ට දුක්බර අවස්ථාවක් වුනා.. ඔවුන්  දුක්බර ගීතයක් වැනි යමක් මුමුනමින් සිටියා.

නීන්ගේ තාත්තා, ඔවුන් සියලු දෙනා රැස් කරවා සමුගැනීම ප්‍රකාශ කලා. අවසානයේදී නීන්, ඇගේ තාත්තා සහ දිනුක යානයට නැගී නීන්ගේ ලෝකය බලා පිටත් වුනා.. එවර යානය ක්‍රියාත්මක කලේ නීන්ගේ තාත්තා විසින්.

නීන්ගේ ලෝකය වෙතට යානය පැමිනියා. දිනුක ප්‍රථම වරට මෙහි පැමිනි දින මෙන්, නීන්ගේ ලෝකයේ ජීවීන්  ඔවුන්ගේ යානයෙන් පිටත රැස්ව සිටියා.

ප්‍රථමයෙන් යානයෙන් පිටතට පැමිණියේ නීන්. කේල් කෝපාවිෂ්ඨ ව ඈ දෙස බලා සිටියා.. නීන්ව අල්ලා ගැනීමට තම පිරිසට අණ කරන්නට ඔහු සැරසෙනවාත් සමගම නීන්ගේ පියා යානයෙන් එළියට ආවා.

ඔහුව දුටු මොහොතේම ජනපදයේ වැසියන් ප්‍රීතියෙන් කෑගසන්නට වුනා..

"ක්ලී.. ඔබ ආපසු ඇවිත්..
ක්ලී ඔබ අපේ නායකයා. "

පිරිස කේල් අතහැර ක්ලී වටා එකතු වුනා.. කේල්ට කිසිවක් කර කියා ගත නොහැකි වුනා..

✴✴✴✴✴✴✴✴✴✴✴✴✴✴

මීලඟ කොටසින් හමුවෙමු..

මෙතෙක් කොටස් -->

  01 කොටස.  
  02 කොටස.  
  03 කොටස.  
  04 කොටස.  
  05 කොටස.   
06 කොටස.  
  07 කොටස.  
  08 කොටස.  
  09 කොටස.  
  10 කොටස.
  11 කොටස.
  12 කොටස.   
  13 කොටස.  


Wednesday, January 25, 2017

පිටසක්වල තරුණිය "නීන්" 13 කොටස..

පසුගිය කොටසින්..
°°°°°°°°°°°°°°°°°°°°
ඔවුන් දෙදෙනා මෙහි ළඟා වන විට පැවති ඝන අදුර පහව යමින්, සියුම් ආලෝකයක් අවට පැතිර යමින් තිබෙනු දකින්නට ලැබුනා..

"සේටෝ.."

දිනුක, නීන්ගේ භාෂාවෙන්, හිරු පායන බව ඇයට කිව්වා.. එය ඇසුනු අසල සිටි කුරුමිට්ටන් දෙදෙනා දිනුක කී දේ ගැන යමක් කථා වුනා..

°°°°°°°°°°°°°°°°°°°°
එතැන් සිට...

ඔවුන් රැගත් අටපට්ටම් හැඩති යානය වේගයෙන් ගමන් කලා..

"කොහෙටද මේ අපිව එක්කගෙන යන්නෙ.."
දිනුක කිව්වා..

"මට යානයේ දිශාව හදන්න අමතක වුනා.. කේල් එන්න කලින් පැන ගන්නයි ඕනෙ වුනේ.. මම මෙහෙ ඉඳලා ඔයාගෙ ලෝකෙට එනකොට තිබුන දිශාව විරුද්ධ පැත්තට හරවලයි ආපහු මගේ ලෝකෙට එන්න පුළුවන් වුනේ.. මම හිතන්නෙ කේල් හරි එයාගෙ කට්ටිය හරි අතින් මේක වෙනස් වෙලා තියෙන්න ඇති..".
නීන් පසුතැවුනා..

"දැන් අපි මෙතනින් බේරෙන්න විදිහක් බලමු නීන්.. තව දවසක්වත් ඉන්න බැරි වෙයි මට මේ තරම් බඩගින්නෙ."

"කේල්ගෙ අය ඔයාට යුෂ ගෙනත් තියෙනවා මම දැක්කා.. ඔයා ඒවා බිව්වෙ නැත්ද.. "

"නැහැ නීන්. මගේ ලෝකෙ දේවල් කාලා ඔයාට වුන දේම තමයි මටත් ඒවා බීලා වුනේ. ඇත්තටම අප්පිරියයි මට ඒවා. "

මොහොතකින් ඔවුන්ව ගෙන යමින් සිටි වාහනය නැවතුන බවක් දැනුනා.. අත් පා ගැට ගැසූ නීන් හා දිනුකව ඔවුන් විසින් ඔසවා ගත් අතර, ගස් වලින්ම වට වූ විශාල උද්‍යානයක් වෙතට ඔවුන්ව ගෙන යනු ලැබුවා.
එහි අසුනක් මත ඉඳගෙන සිටියේ කුරුමිට්ටන්ගේ නායකයා විය යුතුය..

"නීන්.."

ඔහුව දුටු විටම දිනුක විශ්මයෙන් නීන් දෙස බැලුවා.. නීන් ද විශ්මයෙන් කුරුමිට්ටන්ගේ නායකයා දෙස බලා සිටියා..

"බලන්න නීන්.. එයා ඔයා වගේමයි.. ඔයාලගෙ ලෝකෙ ජීවියෙක් වගේමයි එයා.. "

නීන් හා දිනුක සේම කුරුමිට්ටන්ගේ නායකයාද විශ්මයෙන් ඔවුන් දෙසට ඇවිද ආවා..

ඔහු කුරුමිට්ටන්ට යමක් අණ කලා.. ඇසිපිය ගසන ක්ෂණයෙන් කුරුමිට්ටන්, නීන් හා දිනුක ව ලිහා දැමුවා..

'මේ නීන්ගෙ තාත්තා වත්ද..'
දිනුකට සිතුනා..

'මේ මගේ තාත්තද.. '
නීන්ටත් සිතුනා.

"තාත්තා මේ ඔයාද..? "

"තාත්තා? නීන්... මේ මගේ පුංචි කෙල්ල නීන්ද..? ඔයා දැන් කොච්චර ලොකුද.. "

"තාත්තා ඔයා ඇයි ආපහු ආවෙ නැත්තෙ.. මේ අපි ඉන්නෙ පෙම්ලො කුට්ටියේද එතකොට.. අම්මා, මම ජොම් අපි හැමෝම බලාගෙන හිටියා ඔයා ආපහු එනකන් තාත්තා.. "

ඔවුන් වැළඳගෙන හඩන්නට වුනා..

"නීන් ඔයා ආවෙ කොහොමද..?" 

ඒ වන විටත් කුරුමිට්ටන් විසින් නීන් හා දිනුක පැමිනි යානය එතැනට ගෙනවිත් තිබුනා.

"අරක.. ඒක මගෙ යානය වගේමයි.. නීන් කොහෙන්ද ඒක ඔයාට.. "

"දන්නවද තාත්තා... ඒක හැදුවෙ අපේ ජොම්. "

"ජොම්.. මගෙ පුතා.. මගෙ පුතා මොනතරම් දක්ෂයෙක්ද.. ඇයි ජොම් ආවෙ නැත්තෙ.. කෝ එයා..? " 

දිනුකට තම කුස ගින්න ඉවසා ගත නොහැකි තත්වයකට පත්ව සිටියා.

"මට කන්න මොනවා හරි හොයා ගන්න පුළුවන් වෙයිද මේ ලෝකෙන් වත්.. "

නීන්ගේ තාත්තාට දිනුක පිළිබඳ අවධානය යොමු වුනේ එවිටයි..

"නීන්.. මේ කව්ද..? මෙයා අපෙ ලෝකෙ කෙනෙක් වෙන්න බෑ.."

"තාත්තා.. ඒක දිග කථාවක්! මේ දිනුක. එයා අපේ ලෝකෙ කෙනෙක් නෙමයි. එයාලා අපි වගේ යුෂ බොන්නෙ නෑ. එයාලා කරන්නෙ කනවා කියලා දෙයක්. "
නීන් තාත්තාට පැහැදිළි කලා..

"ආ.. මගේ ජනපදයෙ ජීවීනුත් ගස් වල හැදෙන ගෙඩි කනවා.. සමහර විට මෙයාටත් ඒවා ගැලපේවි.. "

ඉන්පසු නීන්ගේ තාත්තා කුරුමිට්ටන්  කිහිප දෙනෙකුට යමක් අණ කලා..

"තාත්තා එයාලා ඔයාට ගරු කරනවා? ? "

"හ්ම්. ඉස්සෙල්ලම අපි මොනවා හරි ආහාරයට අරගෙන ඉමු. මටත් තියෙනවා දිග කථාවක්.. "

නීන්ගේ තාත්තා කුරුමිට්ටන් ගෙන ආ ගෙඩි වර්ග කිහිපයක් දිනුකට දුන්නා. දිනුක ඉන් එක ගෙඩියක් ගෙන එහි කෑල්ලක් කා බැලුවේ පෙර අවස්ථාවේදී නීන්ගේ ලෝකයේ දී, යුෂ පානය කිරීමෙදී මෙන් කටට ගත් සැනින් එලියට දමන්නට සිදු වේදැයි සිතමින්.. එහෙත් එහි රසය ඉතා මිහිරි වුනා..
දිනුක ඒ සියල්ල ගිල දමනු නීන් සිනා සෙමින් බලා සිටියා.

"එතකොට තාත්තා අපිට යුෂ ගන්න ඝූල් ගස් මෙහෙ තියෙනවද..?"

"නැහැ නීන්. මෙහෙ ඒවා නැහැ.  ඒත් ඊට වඩා අපූරු රසක් තියෙන යුෂ ගන්න පුළුවන් ගස් මෙහෙ ඕන තරම් තියෙනවා.. "

නීන්ගේ තාත්තා ඉන්පසු ශාක යුෂ කුරුමිට්ටන් ලවා ගෙන්වාගෙන නීන්ට පානය කරන්නට දුන්නා.

"තාත්තා.. ඒවා ඝූල් ගස් වල යුෂ වලට වඩා ගොඩක් රසයි තමයි... "

ඉන්පසු නීන්ගේ තාත්තා මෙහෙම කිව්වා.. 

"එදා මම ආවා. නීන්.., මේ අපේ ලෝකෙට  පේන පෙම්ලො කුට්ටිය..  අර තියෙන්නෙ අපේ ලෝකෙ.. "

අපට සද පෙනෙනවාක් මෙන් පෙනෙන ග්‍රහලෝකය පෙන්වමින් නීන්ගේ තාත්තා කිව්වා.. 

'එහෙනම් මේක නීන්ගෙ ලෝකයට පේන චන්ද්‍රයෙක් කියලා මම හිතපු දේ වැරදියි.. '
දිනුක තනිවම කල්පනා කලා.

නීන්ගේ ලෝකයට පෙම්ලෝ කුට්ටිය පෙනුනේ කොල පැහැතිවයි..
නමුත් මෙහි සිට නීන්ගේ ලෝකය සුදු පැහැයෙන් දිස් වුනා..

✴✴✴✴✴✴✴✴✴✴✴✴✴✴

මීලඟ කොටසින් හමුවෙමු..

මෙතෙක් කොටස් -->

  01 කොටස  
  02 කොටස  
  03 කොටස  
  04 කොටස  
  05 කොටස  
  06 කොටස  
  07 කොටස  
  08 කොටස  
  09 කොටස  
  10 කොටස  
  11 කොටස  
  12 කොටස