Friday, January 20, 2017

පිටසක්වල තරුණිය "නීන්" 01 කොටස…

බැස යන හිරු ගිනි රත් පැහැයෙන් දිදුලමින් තිබෙනු, ජනෙල් කවුළුව තුලින් නීන් දැක්කා..

"සෙටෝ.. මේ සෙටෝද.. මේ තරම් ලොකුවට.. "

නීන් විශ්මය පිරුණු දෑසින් බලා සිටියා..

සෙටෝ.. ඇගේ භාෂාවෙන හිරු හැඳින් වූ නමයි. එහි තේරුම 'ගිනි පුලිඟුව' යන්නයි. හේතුව ඇගේ ලෝකයට හිරු පෙනුනේ ගිනි පුලිඟුවක් තරම් කුඩාවටයි.. මේ තරම් හිරු එළියක් ඇගේ දෑස් වලට නුපුරුදුයි. එය ඇයට දිගටම බලා සිටීමට ඉතා අසීරු දර්ෂණයක් වුනා.

මොහොතකට හිරු දෙසට අවධානය යොමුව තිබූ ඇගේ දෑස් නැවතත් තමා සිටි දැල් සහිත කූඩුවට එපිටින් වූ මිනිසුන් දෙදෙනා වෙතට යොමු වුනා. ඔවුන්ගේ විකාර රූපී ස්වාභාවය ඇයට විශ්මය ගෙන දුන්නා. ඔවුන්ගේ ශරීර වල උස... නීන්ගේ ලෝකයෙහි කිසිවෙක් ඒ තරම් උස ජීවීන් නොවෙයි. කෙටි කන, විශාල වූ නාසයක් ඔවුන්ට තිබුනා..

'මාව බේරා හරින්න' යැයි කෑ ගැසීමෙන් කෙටී වෙහෙසට පත්ව සිටියා. ඇත්තෙන්ම එය නිෂ්ඵල කාර්යක් වුනා.. ඔවුන් කෙටීගේ කෑ ගැසීමට අවධානයක් යොමු කලේ නැහැ.. ඇයට නොතේරුනු අමුතු බසකින් ඔවුන් දෙදෙනා වාදයක ස්වරූපය ගත් කථා බහක නිරතව සිටියා..

ප්‍රොෆෙසර් සමරජීව සහ ප්‍රොෆෙසර් රන්දෙණිය තමන්ට හමුවූ මේ අපූරු පිටසක්වල ජීවියාට මීලගට කල යුතු දේ සාකච්චා කරමින් සිටියා..

                           ***
2017 ජූනි මාසයේ පහලොස් වන දින සෝමාවතිය ප්‍රදේශයෙන් පිටසක්වල යානයක් පිළිබඳ වාර්තා වුනා. සවස හයත් හතත් අතර කාලයේදී හදුනා නොගත් යානයක් ප්‍රදේශය වෙතට පහත් වනු කිහිප දෙනෙකුගේම ඇස ගැටී තිබුනා.. මේ ආරංචියත් සමගම පිටසක්වල ජීවීන් පිළිබඳ පරීක්ෂණ වලට ඇල්මක් දක්වන මේ මහාචාර්යවරුන් දෙදෙනා වහාම සෝමාවතිය බලා පිටත් වුනා.

විවිධ පරීක්ෂණ කණ්ඩායම් විසින් මෙම පිටසක්වල යානය පිළිබඳ ආරංචිය ඔස්සේ එම ප්‍රදේශයේ කල පරීක්ෂණ වල සාර්ථකත්වයක් දකින්නට ලැබුනෙ නැහැ. යානයක් තබා යානයක් පැමිනි සලකුණක් හෝ ඔවුන්ට සොයා ගත නොහැකි වී තිබුනා.. අවසානයේ ඔවුන් එය අත් හැර දැමුවා..

අප මහාචාර්යවරුන් දෙදෙනා, වන අලියන් පවා ගැවසෙන වනාන්තරයේ රැදී සිටිමින්, නිඳිවරමින් තව දුරටත් මේ පිළිබඳ සොයා බැලීමේ කටයුතුවල නිරත වුනා..

"ෂැහ්. මේ මොනවද මේ ජරාව.."

රන්දෙණිය තම සපත්තුවට  පෑගී තිබූ දේ දෙස බලමින් පැවසුවේ මුහුන ඇඹුල් කරගෙනයි.. තද කොල පැහැති සෙවලමය ද්‍රව්‍යක් ඔහුගේ සපත්තුවෙන් බේරෙමින් තිබුනා. 

"සතෙකුගෙ ජරාවක් වෙන්නැති.." සමරජීව කිව්වා..

"නෑ.. මේ වගේ දෙයක් මම මීට කලින් දැකලා නෑ.. අනික බලන්න මේවයෙ දිලිසෙන ස්භාවය..
ප්‍රොෆෙසර් සමරජීව.. සමහර විට මේක අපිට හම්බ වුන වැදගත්ම හෝඩුවාවක් වෙන්න පුලුවන්.. "

"බලමු.. " රන්දෙණිය ඒ දිලිසෙන ද්‍රව්‍යයෙන් කොටසක් බෑගයේ වූ කුඩා කුප්පියකට පුරවා ගත්තා..

"අපි මේක ටෙස්ට් කරලා බලමු.. රෑ වෙලා නිසා දැන් අපි අපේ කූඩාරමට ගියොත් හොඳයි ප්‍රොෆෙසර්.. මතකනෙ අර මගදි හම්බ වුන මනුස්සයා කියපු කථාව.. තනි අලියා ගැන.. "

ඔවුන් ලබා ගත් සෙවලමය ද්‍රව්‍ය සාම්පලය පසු දින උදෑසන ප්‍රොෆෙසර් සමරජීව විසින් අන්වීක්ෂයෙන් පරීක්ෂා කලා..

"ප්‍රොෆෙසර් රන්දෙණිය.. මේක..  මේක ජීවීයකුගෙ පටකයක්.!! ඒ කියන්නෙ ජීවී ශරීරයකට අයත් ද්‍රව්‍යක්..!! මේ සෛල වල හැඩය බලන්න.. හරි අපූරු හැඩයක්.. "

රන්දෙණිය වහා පැමින එය පරීක්ෂා කලා..

"ඔව්.. ඒත් එක්කම දැක්කද මේ සෛලවල මන්ඩලාකාර ද්වි අවතල හැඩය.. අපේ රුධිර සෛල වල වගේ..
ඒ කියන්නෙ.. ඒ කියන්නෙ මේ රුධිර පටකය.. ඔබට හිතෙනවද මේක පිටසක්වල සිදුවීමට අදාලයි කියලා.. මේ වෙනත් ලෝකෙක ජීවියකුගෙ රුධිරය විය හැකියි කියලා?"

"ප්‍රොෆෙසර් සමරජීව.. ඒත් මෙතන  ගැටලුවක් තියෙනවා.. ඔබ දන්නවනෙ අපේ රුධිරය මේ වගේ වාතයට නිරාවරණය වුනහම මේ විදිහට සෛල අදුන ගන්න බැහැ.. ඒවා බිද වැටිලා තියෙන්න ඕනෙ මේ වෙනකොටත්.. එහෙනම් මේ රුධිර සෛල කියන නිගමනය අපට බැහැර කරන්න වෙනවා නේද.. එතකොට මේ මොනවද.. මට නම් මේක ප්‍රෙහේලිකාවක්.. "

"රන්දෙණිය, අපට මේක එහෙමම බැහැර කරන්න බැහැ.. අපේ රුධිර සෛල එහෙම බිද වැටෙන්නෙ සෛල තුල පොටෑසියම් සෝඩියම් වගේ ලවණ  සාන්ද්‍රනය වැඩි නිසා.. මේක අපි සැක කරන විදිහටම පිටසක්වල ජීවියකුගෙ රුධිර පටකයක් නම් අපිට නිගමනය කරන්න පුළුවන් ඔවුන්ගේ රුධිර සෛල වල ලවණ සාන්ද්‍රනය අඩු බව.. එනිසා මෙහෙම බිඳ නොවැටී තිබෙන බවත්.. "

"ඔව්. තාමත් අපිට තියෙන්නෙ සැකයක් විතරයි. සමහර විට මේක  පිටසක්වල යානයේ සිදුවීමට කොහෙත්ම අදාල වෙන්නෙ නැති වෙන්නත් පුළුවන්.. "

✴✴✴✴✴✴✴✴✴✴✴✴✴✴

මීලඟ කොටසින් හමුවෙමු..

2 comments: