Sunday, January 22, 2017

පිටසක්වල තරුණිය "නීන්" 04 කොටස…

පසුගිය කොටසින්..
°°°°°°°°°°°°°°°°°°°°

ඒ මොහොතෙහි උදා හිරු නැගෙමින් තිබුනා.. දිනුක හිරු දෙසට ඇගිල්ල දිගු කර එය අදින බව හැඟෙව්වා.. ඉන්පසු ඒ වටා අනෙක් ග්‍රහලෝක අටම ඇන්දා.. ඉන් එකක් මත ඇගිල්ල තබා ඔහු එහි ඉන්න බව හැඟෙව්වා.. මීලගට ඔහු නීන්ගෙන් විමසුවේ ඇය කුමන ලෝකයකට අයත්ද යන්නයි.. ඔහු එය හස්ත මුද්‍රාවෙන් කිහිප විටක්ම ඇයට ඇඟෙව්වා..

°°°°°°°°°°°°°°°°°°°°
එතැන් සිට...

නීන් මඳ වේලාවක් ඒ දෙස බලා සිටියා.. ඇයට මතක් වුනා ඇගේ අයියා දවසක් මේ වගේ රවුම් තුනක් අඳිනවා.. ඒ ඔවුන්ගේ ග්‍රහලෝකයත්, පෙම්ලෝ යනුවෙන් ඔවුන් හැඳින්වූ ග්‍රහලෝකය සහ  හිරුයි. ඒ දවස්වල අයියා ගොඩක් ඒක දිහා බලාගෙන ඉන්නවා නීන් දැකලා තිබුනා.. ඒ ගැන කුතුහලය නිසා ඈ දවසක් ඒ ගැන ඇහුවා.. ඉතින් ඇගේ සහොදරයා ඒ ගැන ඇයට පැහැඳිලි කරලා දුන්නා..

"නීන් අපි ඉන්නෙ මෙන්න මේ කුට්ටියෙ තමයි.. "

"ජොම්, අපි කොහොමද ඔච්චර පුංචි කුට්ටියක ඉන්නෙ.. "
නීන් නොතේරුම්කට ඇහුවා..

"ඔයාට තේරෙන්නෙ නැද්ද නීන්.. මේක බොහොම පොඩිවට ඇඳපු එකක් විතරයි.. මෙහෙ එන්නකො.."

ජොම් ඇයව එලියට එක්කගෙන ගියා..

"අර පේන්නෙ සෙටෝ (හිරු.).. පුංචිවට පෙනුනට ඒක මේ අපි ඉන්න කුට්ටිය වගේ ලොකු එකක්. ඒත් ඒක ලගට යන්න බැහැ.. අපිව විනාශ වෙනවා.. අර පේන්නෙ පෙම්ලෝ කුට්ටිය.. "

අපට හද පෙනෙන තරම් ලොකුවටම ඔවුන්ගේ ග්‍රහලොවට පෙනෙන තවත් ග්‍රහලොවක් පෙන්වමින් ජොම් කිව්වා...

පෙම්ලෝ ගැන කියන්න හදනකොටම ජොම්ගේ මූන බොහොම වේදනාවකින් පිරෙනවා නීන් දැක්කා..

"ඔයා එතකොට ගොඩක් පුංචියි නීන්.. අපේ තාත්තා පෙම්ලෝ වලට යන්න යානයක් හැදුවා.. මේ ලෝකෙ කාටවත් තවම බැරි වුනා එහෙම දෙයක් කරන්න.. ඔයා අපේ තාත්තා ගැන ආඩම්බර වෙනවා නේද නීන්.. "

ජොම්ගේ ඇස් වලට කදුළු පිරිලා තිබුනා..

"තාත්තා පෙම්ලෝ වලට ගියා.. ඒත්.. ඒත් ආපහු ආවෙ නැ..
මම.. මමත් කවදා හරි තාත්තා වගේ යානයක් හදනවා.. මම දවසක තාත්තව හොයා ගන්න පෙම්ලො කුට්ටියට යනවා නීන්.. "

ජොම්ගේ වචන නීන්ට දෝංකාර දීලා ඇහුනා.. අතීත සිදුවීමක ගිලී තිබූ නීන් සිතිවිලි වලින් මිදී පියවි ලොවට ආවා..

ඇය ඉතාම කුඩා රවුමක් ඇන්දා.. ඇගේ අතෙහි ඇත්තේ ඇගිලි හතර බැගින් බව ඔහු දැක්කේ ඒ මොහොතේදී. ඒවා ඉතාම තියුනු ඇගිලි වුනා.. නමුත් නියපොතු වැනි දේ දකින්නට තිබුනේ නැහැ.

"සේටො.. "

නීන් හිරු දෙසට ඇගිල්ල දිගු කරමින් පැවසුවා..

දිනුක ඇඳ තිබූ ග්‍රහලෝක දෙස ඈ මඳක් බලා සිටියා..

ඈ ජොම් විසින් ඇද තිබූ ග්‍රහලෝක තුන මතක් කරමින් ඒවා ඇන්දා.. දිනුක විශ්මයෙන් යුතුව බලා සිටියා..

"එතකොට ඔයා ජීවත් වෙන්නෙ වෙන සෞග්‍රහමන්ඩලයක තියෙන ග්‍රහලෝකෙකද.. "
දිනුකට කියවුනා..

නීන් ඔහු දෙස බලා සිටියා..
ඔහු යමක් කියූ බව ඇසුනත් එය වැටහුනේ නැහැ ඇයට..

මේ වන විටත් දිනුක ඇයගේ විශ්වාසය දිනා සිටියා. තමන්ට ඔහුගෙන් අනතුරක් නොවන බව ඇය වටහා ගත්තා..

නීන් සෙමින් දිනුක අසලටම ගියා.. නීන්ට ඔහු ගැන තිබූ බිය මඟ හැරී තිබුනත් ඇය අසලට එන විට දිනුකට නම් බියක් ඇති වුනා..  දිනුකට තව එක මොහොතක්වත් සිතිවිලි වල සිටින්නට ඉඩ ලැබුනේ නැහැ.. නීන් එක්වරම ඔහුගේ හිස මත තම සුරත තැබුවා..

හිස තුල තද සීතලක් පැතිරෙනු දිනුකට දැනුනා.. නමුත් ඒ ග්‍රහනයෙන් ගැලවී පලා යාමය ඔහුට ඒ මොහොතෙහි ශක්තියක් තිබුනේ නැහැ.. පිටසක්වල ජීවීන් පෘතුවි වාසීන්ගේ දැනුම, ශක්තීන් උරා ගන්නා ප්‍රබන්ධ කථා ඔහුට මතක් වුනා..

"මාත් ඔවුන්ගේ ග්‍රහනයට ගන්නද මේ පිටසක්වලයා ලෑස්තිවෙන්නෙ.. මම  මෙතනින් බේරී යන්න ඕනෙ.. ඔබලාට බැහැ මාව අරන් යන්න.. "

දිනුකගේ මනස මෙවැනි සිතිවිලි වලින් පිරී ගියා..
එක්වරම හිසට දැනුනු සීතල ගතිය නැතිවී ගියා..

"ඔබට මම කියන දේ තේරෙනවද.."

නීන් ඔහුගෙන් ඇහුවා..

පුදුමයක්!! ඇය ඇසූදේ දිනුකට තේරුනා..

"ඔව්.  ඔයා.. ඔයා.. මොකද්ද කලේ.. "

දිනුක ප්‍රශ්න කලා..

"මම ඔයාගේ භාෂාව ලබා ගත්තා ඔයාගෙ හිසෙන්.. "

"ඔයා කව්ද.. "

දිනුක නැවතත් ඇයගෙන් ප්‍රශ්න කලා..

"මම නීන්. මට යුෂ ඕනේ.. ගොඩක් බඩගිනියි.. "

"යුෂ? "

"ඔව්. අපි ඒවා ආහාරයට ගන්නවා.. ඒත් ඒ ගස් වර්ග එකක්වත් මෙහෙ කොහෙවත් නෑ.. "
නීන් කිව්වා..

"මොනවද ඒවා..?"

"ඝූල් ගස්.. මැග්සා කපලා ඒකෙන් බේරෙන යුෂ තමයි ගන්නෙ."

දිනුකට ඒ නම් ඇසුනත් ඒවා කුමක්දැයි ඔහු දැන සිටියේ නැහැ..
එය තේරුම් ගත් නීන් ඈ පැවසූ ගසෙහි රූපයක් වැලි පොළව මත ඇන්දා.. එය තරමක් කෙසෙල් ගසට සමාන ගසක් බව ඔහුට තේරුනා.. එත් එම ගසෙහි ඇදි රවුම් ආකාර ගෙඩි නිසා එය කෙසෙල් නොවන බව ඔහු දැනගත්තා..

"නීන්. මේ වගේ ගහක් අපේ ලෝකෙ නැහැ.. ඒත් මගෙ බැග් එකේ බිස්කට් ඇති.. ඒවා කන්න පුළුවන්. යමු කූඩාරම තියෙන තැනට යන්න ඕනෙ... "

✴✴✴✴✴✴✴✴✴✴✴✴✴✴

මීලඟ කොටසින් හමුවෙමු..

No comments:

Post a Comment