Saturday, September 24, 2016

රංකුනී කැකුලි..

රංකුනී කැකුලි ~ (කෙටිකථාව)
හැදින්වීම ~ එකම අච්චුවේ කෙටිකතා වැලක් ගොතන්නට නොසිතමි.. ඒ නිසා එකින් එකට වෙනස් කථාංගයන් ඔබට ගෙනෙන්නට දැරූ උත්සහයක ප්‍රතිඵලයකි මේ..
වැදි භාෂාව පිළිබද අමුතුවෙන් ඉගෙන නොගත්තෙමි.. ඉද හිටක ටෙලි නාට්‍ය වලින් ඇසෙන මෙවැනි කථාවක බස් වහර මගේ මතකයට නැගුනි.. වැදි තරුණියකට ජීවිතය දැනෙන ආකාරය කෙසේවේදැයි මා සිතුවෙමි..මෙහි නම් ගම් සිදුවීම් සියල්ල මනඃකල්පිතය..
පැමිනෙන්න බිංතැන්නට...
රංකුනීගේ ජීවිතය දකින්නට... 
~මුදී~
*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*
රැලේ මහ හූරා මයෙ අප්පොච්චාගේ  වැඩිමල් සහෝදරයායි.. නෑකමින් මගේ මහප්පොච්චාය..
යසෝ වල්ලි මයෙ අම්මිලැත්තී බිංතැන්නේ වාසයට මංගච්චා ඇත්තේ අප්පොච්චා වූ විජය හුලවාලි සහේට කැටුං ආවාට පසුයි..
අද මයෙ අක්කණ්ඩිගේ සහේ තීන්දු කොරනා දොහෙයි. මහ හූරා එය තීන්දු කර ඇත්තේ මගල්ගඩ රැලේ සහියා වල්ලියටයි.. අක්කණ්ඩිගේ මනාපයක් මායිම් කරේ නැතුං.. තීන්දුව දී අහවරයි. රැල ජයටම නැටුං නටයි..
මයෙ මනාපයක් නැතුං මයෙ සහේ තීන්දු කරන්ට නං ආවාවෙකො.. රැලේ එකෙකුවත් කෙරේ මටනං මනාපයක් නැතුං.
අම්මිලැත්තී කැවුං තනනවා.. කදමලු එක්ක අක්කණ්ඩිව මගල්ගඩ රැලට පිටත් කරන්නෙ හෙට නොව...
අප්පොච්චා පැණි බාන්ට යන්ට තනනවා..
"අප්පොච්චාචාචා....... මාත් කැටුං යන්ටකෝ..."
"හා හා උබට පුලුවනෑ කැකුලෙක් වාගෙ ඕවයි ගාටන්ට.."
"අනේ අප්පොච්චාචාචා..."
වතාවක් දෙකක් කරච්චල් කොරනකොට අපුච්චාගෙ හිත වෙනස් කොර ගන්නට මට පුලුවනි..
අක්කණ්ඩිගෙ පිටගං කදට එක්කාසු  කොරන්ට පැණි බාන්ට අපි කැලේට ගෑටුවා.. හීං මලයත් එක්කුනා අපිට..
"රංකුනී උබයි ඊගාවට.."
අප්පොච්චා කීවා.
"අනේ අප්පොච්චා.. මොන වල්ලියෙක් කැටුං වත් සහේ යන්ට මං මනාප නැතුං. මං අම්මිලැත්තී , අප්පොච්චයි බලාන පැලට වෙන්නං..."
"එහෙම කියාලා හරියනවයැ. උබලත් අක්කණ්ඩි වාගේ සහේකට යන්ටෝනෙ.. "
පස්සෙන්දා මගල්ගඩ රැලෙන් අපේ රැලට මංගච්චෙව්වා අක්කණ්ඩිව කැන්දාගෙන යන්ට.  චාරිත්තර ඉවර වෙලා කදමලු අරන් අක්කණ්ඩි එක්ක ගෑටුවා ආපු රැල.. මගල්ගඩ රැලෙන් කැකුලො එකා දෙන්නා ඇස් කරකෝලා බැලුවා මා දිහා.. මං මායිං කොරේ නැතුං.
මහ හූරා කාලෙකට කලිං අපේ රැලෙන් එකෙක් පැන්නුවැයි  කියාලා මා අහල තියෙ. ඌ දැන් උස්ගල කන්දෙ පැලක් අටෝගෙන තනියෙං ඉන්නවයි දෙසන්නෙ.. උගෙත් එක්ක පයිරු පාසානං රැලේ එවුන්ට තහනං.. අප්පුච්චා ඉද හිටෙක දෙසනවා ඌ ගැන. අදුනා වල්ලියා.  අප්පේ... ඌට වල්ලියා කියනව ඇහුනොතින් අප්පොච්චි මට දෙවොල් තියාවි.. රැලෙන් පැන්නුවට පස්සෙ වල්ලිය කියන්න තහනං.
"ඇයි අප්පොච්චි... මහ හූරා, අදුනා කියන එකාව පැන්නුවෙ..?"
අප්පොච්චිගෙ මූණ යකා වාගේය..
"අදුනා!!  ඌව සිහි කොරන්ට කාරි නෑ බොල.. රැලේ චාරිත්තර වලට අවනත වෙන්න බැරි  කොයි එකාටත් ඔය සන්තෑසිය තමා.."
දොහ එකෙන් එක ගෙවිල ගියා.. දොහක් අප්පොච්චා මට කතා කොලා..
"රංකුනී වරෙන් මෙහෙට්ට.. මහ හූරා උබලටත් සහෙයක් තීන්දු කොරලා ඔන්ට.. "
"සහෙයක්..? මම සහේකට මනාප නැතුං අප්පොච්චා.. මහ හූරට කියන්ට.." :(
"රංකුනී උබට රැහේ චාරිත්තරේට හිටින්ට නොහැක නං තොටත් අදුනට සිද්ධ උන දේමයි.. තව දෙදොහකින් උබව තීන්දු කොරන්නයි මහ හූරා සූජානම.."
මයෙ නේත්තරා වලින් කදුලු කැට වැටෙන්ට ගත්තා.. ඒක දැකලා අප්පොච්ච්ගෙ හිත් පොජ්ජ උනු උනා මයෙ හිතේ..
"රංකුනී.  මේ අහපන්.. උබව වෙන රැහෙකට යවන්ට මයෙත් හිතක් නැතුං. උබව සහේට දෙන්ට තනන්නෙ අපේ රැහේ එකෙක්ට.."
"ඒ මොන වල්ලියද අප්පුච්චා.. "
මං කදුලු වැක්කිරිද්දිම ඇහුවා..
"බණ්ඩි හුලවාලියා.. ඌ හොද එකා.. "
මයෙ කදුලු කැට තවත් වැඩියෙන් වැක්කිරුනා.. අප්පොච්චගෙ නඟාගෙ පුතණ්ඩියා.. බණ්ඩි අයියන්ඩි.... දත් බොල්ලෑවා. ඌව මහ රාත්තිරියෙ එහෙම දැක්කොතිං සිහි මුර්ජා වෙනවා සත්තයි.. ගිය මාසෙ පෝ දොහේ මම දොලේ  නාන කොට ඕකා ගල් දෙබොක්කාවෙ නේත්තරා විහිදගෙන බලන් හිටිය.. මා දුටු ගමන් මංගච්චව්වා හයියෙන්.. හැබැට මට එදා ඕකා අහු උනා නම්!!
අප්පොච්චට කියලා කදුලු වක්කොරලා වෙනස් කොරන්ට බැරි දෙයක් කියලා තේරුං ගියා මට එදා නං.. මහ රාත්තිරියක් ගෙවෙනකංම කදුලු වක්කොර වක්කොර මම හිත් බරෙන් කල්පනා කොලා.. බණ්ඩියත් එක්ක සහේට යනවට වඩා පන නහ ගන්න එක හොදයි කියලා මයෙ හිත් පොජ්ජ කීවා..  හැම දෙයක්ම දාලා පන නහ ගන්ට යන්ට මම කල්පනා කොරව්වා..
"අම්මිලැත්තී... මා නාන්ට යනවා.. "
මං ගෑටුවා දොල පැත්තට.. එතනින් කැලේට.. මං හිතා හිටියෙ උස්ගල කන්දෙ ගලෙන් පහලට පැනලා පන නහ ගන්ට.. මං අමාරුවෙං ගල් මත්තටම නැංගා.. පය ලිස්සව්වා එක පාරටම.. කකුල් කෙටිය හිර වුනා ගල් අතරෙ..
"අම්මිලැත්තී.. "
නේත්තරා  වලින් කදුලු පැන්නා මයෙ.. ඇහෙන්ට කවුරුත් නැතුං... පන නහගන්ට ආපු මට මෙහෙම විදවන්ට වෙයි කියලා හිතුව නැතුං...
"අම්මිලැත්තී.. මා බේරා ගන්ට.. "
ඇහෙන්ට කිසි ඇත්තෙක් හිටියෙ නැතුං..
මා වරුවක්  හිටියා එහෙම..
ඇත්තෙක් මා ඉන්නා තැනට ආවා එකපාරට.. තරුණ ඇත්තෙක්.. අපේ රැලේ එකෙක් නොවෙයිනෙ.. මේ මොකාද.. අප්පේ.. මූනේ සැර පාට.. මට ඇවිද ගන්න නොහැක කියා ඌ දුටුවා.. මා එතැනින් උස්සාගෙන ගියා.. පැලක.. ඒක කන්දෙ බෑවුමේ තිබ්බෙ.. බෙහෙත් කොල වාගයක් තියලා වෙලව්වා මගෙ කකුල් කෙටිය..
"උබ උඩල රැලේ එකියක් නොවෙද.. මෙහෙ මොන කෙංගෙඩියක් කොරනවද.. වරෙල්ලා මා ඇරලවන්නං රැල ආසන්නෙට..  "
ආයෙත් රැලට යන්ට බෑ කියලා මං කදුලු වක්කොරා.. ඒ පාර ඌ ඇහැව්වා හේතුව.. මට කියන්ට වුනා ඉතිං.. මං උගෙ මූණ දිහා බලන් හිටියා.. නපුර වැඩි වුනා.. මෙහෙම දෙසුවා ඌ..
"චාරිත්තර.. එව්වට පිටින් යන්න බැහැ එකෙක්ටවත්.. හහ්. රැලේ චාරිත්තර.. ඒත් නඟා උබල පන නහ ගන්ට හිතපු එක නම් වැරදි.. "
මේ අදුනා වත් දෝ කියලා හිතුනා මයෙ හිතට..
"අයියණ්ඩි අදුන ද.. "
"හ්ම්.. මා ගැන දන්නවද එහෙනම් උබලා.. මා ගැන කතා රැලේ තාමත් තියෙනව එහැනම්.."
එදා රාත්තිරියෙ මට පැලේ ඇතුලෙ තිබුන පැදුරු කෙටියෙ ඇලවෙන්ට කියාලා අදුනා අයියණ්ඩි පැලෙන් එලියෙ රෑ ගත කොරා.. දොහ කීපයක් එහෙම ගෙවුනා..
දොහක් මුව පොව්වෙක් පැල ආසන්නෙටම ආවා.. කිසි බය හැකක් නැතුව..! මට පුදුම හිතුනා.. අපේ රැහේ එකෙක් දුටුවොතිං මූව මෙතැනම එලාවි.. මුව පොව්වා මා දැකලා ටිකක් කලබල වුනා මයෙ හිතේ..
අයියණ්ඩි එතකොටම එතැනට ගෑටුවා..
"නඟා මුව මසට මනාපද.. "
මගෙන් ඇහැව්ව..
"අපොයි! නැතුං අයියණ්ඩි.. අප්පොච්චා මුවෙක් ගෝනෙක් එලාන ආවාම රැහේ එවුන්ට රජ මගුල්.. ඒත් මා කටේ තියන් නැතුං.. අප්පොච්චා, අම්මිලැත්ති මට පොර කොරනව දෙසාබාන්ටෙයි කියලා.. මා රැහේ එකියක් නොවෙයිද කියල දොස් නගනවා.. ඒත් මං මනාප නැතුං.."
අයියන්ඩි මා දිහා නේත්තරා දල්වගෙන බලාන හිටියා..
"නඟා මා වාගෙමනෙ එහෙනං.. මයෙ අප්පොච්චා සත්තු දඩයං කොරන්ට මට උගන්නන්ට කොච්චරක් තැනුවද.. මයෙ මේ දෑත් දෙකෙන් එක සතෙක්ට හිංසා වෙලා නැතුං.. රැහේ චාරිත්තර ඉෂ්ඨ  කොරන්නැ කියලා උන් දොස් නැගුවා,  කිපුනා මා එක්ක."
අයියණ්ඩි එහෙම දෙසන ගමන් මුව පොව්වගෙ පිට පොජ්ජ අත ගෑවා.. අයියණ්ඩි මේ තරම් කරුණා හින්දා වෙන්ටෝනෙ මූ බයක් හැකක් නැතුව පැල අසලටම ගාටන්නෙ..
දොහ ගෙවීගෙන ගියා. අදුනා අයිණ්ඩි ගැන මයෙ හිත් පොජ්ජෙ මනාපයක් ඇතිවිගෙන ආවා.. අදුනා අයියණ්ඩිටත් එහෙමයි මයෙ හිතේ.. අයියණ්ඩි දොහක් මගෙ මනාපෙ ඇහැව්වා අයියණ්ඩිගෙ සහේට ගන්ට.. මං හිත් පොජ්ජ පතුලෙංම මනාප වුණා..
මා අදුනා අයියණ්ඩිත් එක්ක සංතෝසෙං ජීවත් උනා.. එ දොහේ පන නහ ගන්ට මෙහෙ ආව එකෙං මට පනක් හම්බුනා වගෙ වුනා..
දොහෙං දොහේ ගෙවීගෙන යද්දි මගෙ කුසේ දරු ගැබක් මෝරාන ආවා.. දොහක් අදුනා අයියණ්ඩි ගම්මානෙට යන්න සූජානම් වුනා.. මට එළකිර බොන්ට දොලක් ඇතිවුන නිසා කිර ගේන්ට..
එදා උදේම ඇත්තො වගයක් සද්ද නගාගෙන පැල දිහාට ගාටනවා ඇහුනා.. මා බය වුනා.. අදුනා අයියණ්ඩි පැලේ දොර ඇරගෙන බලව්වා.. අයියණ්ඩි මට එළියට එන්ට ඉඩ දුන්නෙ නැතුං.. ඒත් මාත් බලව්වා.. අපේ රැලේ මහ හූරා.., අප්පොච්චා.. තවත් ඇත්තො කෙටේරි කර තියාන පැල ලගට මංගච්චනවා.. මයෙ හිස ගිනි ගත්තා.. අයියණ්ඩිට කෙටේරියක් නැතුං. අයියණ්ඩි සත්තුංගෙ ජීවිත නහං නැති නිසා.
"අදුනා!! උබව අපි රැහෙං පිටමං කලා.. තොට අපේ රැහෙන් එකියක් සහේට ගන්ට කොහෙන් හයියකද.. "
මහ හූරා සද්දෙට දෙසුවා.. මා බය වුනා.. උන් අයියණ්ඩිට හිරිහැර කරන්ට තනනවා... අයියණ්ඩිත් එකට එක දෙසුවා.. උන් කෙටේරි උස්සාන එද්දි අයියණ්ඩි දෑතෙන් පයින් උන් එක්ක පොර බැදුවා.. මට අනතුරක් වෙයි කියලා අයියණ්ඩි බය වුනා.. මහ හූරා කෝප ගැන්නිලා හිටියෙ.. කෙටේරිය විසික් කොරා අයියණ්ඩි දිහාවට.. අයියණ්ඩි අනෙක් ඇත්තො එක්ක සටන් කොර කොර හිටි නිසා ඒක දුටුවෙ නැතුං.. මා පැන්නා අයියණ්ඩිව බේරා ගන්ට.. කෙටේරිය මගෙ පිට මැද්දට වැදුනා..
අයියණ්ඩි කෑ ගසාගෙන මා දිහාවට ආවා.. වටේ හිටි ඇත්තන්ගෙ සද්දෙ වහං උනා.. අප්පොච්චාත් ආවා කෑ ගසාගෙන..
"අප්පොච්චා..... "
මං වේදනාවත් කදුලුත් අතරින් කෙදිරි ගෑවා.. අදුනා අයියණ්ඩිගෙ කදුලුත් අප්පොච්චගෙ කදුලුත් මගේ මූන උඩට වැටුනා මගෙ නේත්තරා පියවිගෙන යනකොටම...
*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.
(සමාප්තයි.)

2 comments:

  1. සුභ පැතුම්... අපි ලියමු... ජය

    ReplyDelete
  2. ස්තූතියි ඔබේ දිරි ගැන්වීමට..

    ReplyDelete