Saturday, December 10, 2016

දෝණි.....

දුරකථන රැහැන් ඔස්සේ ගලා ආ චන්දිමාගේ හඩ නැවත නැවත දෝංකාර දී අනූපාට ඇසෙන්නට විය..
"අනූපා, ඔයාට මම කියනවා විශ්වාස නැහැනෙ.. ඔන්න අසෙලියා රෙස්ටුරන්ට් එකට ඇවිත් අද ඇස් දෙකෙන්ම බලා ගන්න.. "
අනූපා වෙව්ලන ගතින් යුතුව අසෙලියා රෙස්ටුරන්ට් බලා පිටත් වූවාය. 
චන්දිමාගේ වදන් සත්‍ය බව තම දෑසින් දකිත්ම ඉහ වහා ගිය කෝපයකින් අනූපාගේ හදවත්  අභ්‍යන්තරය පිලිස්සෙන්නට විය..
රංග, ඔහු සමග සිටි යුවතියගේ උර වටා දෑත් දමාගෙන ප්‍රේමනීය කථා බහක හිද නැවත මෝටර් බයිසිකලය වෙත නැග දෙදෙනාම පිටත් විය. ඒ යනතුරුත් ඔවුන් කරා ළගා වීමට පය එසවීමට තරම්වත් අනූපාට ශක්තියක් නොතිබිනි. නොනවත්වා තම දෑසින් ගලන කදුලු වලට බාධා නොකරමින් ඇය ඔහේ ඇවිද ගියාය..
වසරකට පෙර ඇයට රංගව මුන ගැසුනු ආකරයත්, ඔවුන් මිතුරන් වූ ආකාරයත් ඉන්පසු ආදරවන්තයන් ලෙස ගත කල කාලයත්, කල් ගත වත්ම ඔහුගේ වෙනස් වීමත් සිනමා පටයක රූප රාමු මෙන් අනූපා ගේ මනසේ මැවෙන්නට විය..
'මොකද්ද මේ සිද්ධ වුනේ.. දෙවියනේ.. රංගට බෑ එහෙම කරන්න.. '
නමුත් ඇගේ හදවත නොපිලිගන්නා සත්‍ය ඇය සාක්ෂි සහිතව දෑසින්ම දැක ඇත..
රල ගහන සයුර මානයට ඇය අවසිහියෙන් මෙන් පැමින ඇත..
'මට රංග නැතුව ජීවත් වෙන්න බැහැ.. මට තව මොහොතක් වත් ජීවත් වෙන්න බෑ.. '
මුහුන මත කදුලු වැල් සටහන් සහිත මෙම  යුවතිය තවත් මොහොතකින් ගල් කුලෙන් පහතට පැන තම ජීවිතයට සමු දීමට තිර අදිටනක උන්නාය.. තව මොහොතකින් ඇගේ ප්‍රානය වාතලයටම මුසු වී හමා යනු ඇත. හදවතේ උපන් එකම තීරණයට ඉඩ දී ඇය බුද්ධියට මාංචු දමා තිබිනි..

"දුවේ.... "
පිටුපසින් නැගුනු කටහඩින් අනූපා තිගැස්සුනාය.. අප්පච්චි..
නැත. ඇයට අමතනු ඇසුනේ ඇගේ පියා නොවේ.. පියාගේ හඩට සමාන හඩක් ඇති මැදිවිය ඉක්ම වූ පුද්ගලයෙක් ඇය හිදි ගල මතට පැමිනෙමින් සිටී..
'මොකද්ද දරුවො මේ කරන්න යන අපරාදෙ.. '
අවසානයේදී ඇයව වෙරලට ඔබ්බෙන් වූ සිමෙන්ති බංකුව මතට කැදවාගෙන ඒමට ඔහු සමත් විය.. කදුලු වැල් වලට නැවත පන දෙමින්ම ඈ ඇගේ කථාව ඔහු හමුවේ කියා සිටියාය..
'පුතේ... ඔයා අද කරන්න හදපු දේ මීට  අවුරුදු දහයකට කලින් මගෙ දරුවා කලා.. ඒත්.. එත් මට එයාව බේර ගන්න බැරි වුනා.. '
ඔහුගේ දෑස් අගත් කදුලු පිරී තිබෙනු අනූපා දුටුවා ය..
'මම ප්‍රින්සිපල් කෙනෙක්.. අපිට දෝනිව හම්බ වෙද්දි මට  අම්පාරෙ ස්කෝලෙකට පත්වීම හම්බ වුනා විතරයි.. පහසුකම් හුඟක් අඩු වුනත් මගේ නෝනා වචනෙකින් වත් අකමැත්තක් පෙන්නුවෙ නෑ.. දෝනිව හම්බ වුනාට පස්සෙ එයා ජොබ් එකෙනුත් අයින් වුනා.. අපිට ගොඩක් දුක් විදින්න වුනා එහෙ ජීවත් වුන කාලෙ.. දෝනි අපට හිටිය එකම දරුවා..
මට නුවරට මාරුව හදා ගන්න පුලුවන් වුනා දෝනි මොන්ටිසෝරි යන කාලෙ. එයාව නුවර ගර්ල්ස් ස්කූල් එකකට දා ගන්න පුලුවන් උනා.. කිසිම අඩුවක් දැනෙන්න දුන්නෙ නැහැ එයාගෙ අම්මමයි මමයි...
මේ දේ සිද්ද වුනේ දෝනි ඒ ලෙවල් ක්ලාස් එකේ ඉන්න කාලෙ.. එයා පිරිමි ලමයෙක් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා අපි දැන ගත්තා. මම මට පුලුවන් හැම විදිහෙන්ම මම එයාට තේරුම් කරලා දෙන්න හැදුවා ඒක එයාට ගැලපෙන සම්බන්ධයක් නෙමේ කියලා.. අපි කවදාවත් දෝනිට පාරක් ගහලා නෑ.. ඒත් එදා මගෙ නෝනා හොදටම ගැහුවා දෝනිට.. පහු වෙනිදා උදේ වෙත්දි දෝනි ගෙදර හිටියෙ නෑ. එයා හිතුවක්කාරෙට ගිහිල්ල තිබුනා අර ලමයත් එක්ක..
ඊට මාස දෙකකට පස්සෙ දවසක මෙතැන.. මේ වෙරලෙන්ම මගෙ දෝනිගෙ මිනිය හම්බවුනා. අද දූ මූන දීපු සිදුවීමම එදා එයාටත් සිද්ද වෙලා තිබුනා.. දෝනි ලියලා තියපු ලියුමකින් අපි ඒ හැම දේම දැන ගත්තෙ.. එදා දෝනි ඒ මෝඩ තීරනේ ගන්නෙ නැතුව අපි ලගට ආවනං.... මට මගෙ දරුවා සදහටම නැති වුනා දුවේ... '
ඉකිබිදුමක් ඔහුගේ මුවින් නිකුත් විය..
අනූපා ඇගේ බුද්ධියට දමා තිබූ  මාංචු හැර දැම්මාය..
ඔව්.. රංග ඒ ගෑනු ලමයත් එක්ක..ඒ නැත්නම් තවත් කෙනෙක් එක්ක සතුටින් ඉදීවි මම නැති වුනත්.. ඒත් මගේ තාත්තා.. දවසක මේ අංකල් වගේම මේ මුදු වෙරලෙ අඩා වැටෙයි මම හින්දා...
නැහැ.. ඒකට ඉඩ තියන්නෙ නෑ මම...
අනූපා ඇගේ බුද්ධියෙන් නැගෙන හඩට සවන් දුන්නාය..
ඇය නිවසට පැමිනෙන විට අප්පච්චී ගේට්ටුව අසල බලා හිදිනු ඈතදීම දුටුවා ය..
'දූ අද පරක්කු නිසා මං මේ බලන් හිටියෙ..
මූන කට හෝදගෙන එන්නකො කෑම කන්න.. අම්මයි මමයි හිටියා දූ එනකංම කෑම කන්න.. '
අප්පච්චී කියුවේය..
තමා ක්‍රියාත්මක කිරීමට ගිය අනුවන තීරනය ගැන අනූපා දහස් වාරයක් තම සිතින් පසුතැවුනාය.. ඇයට ඒ මොහොතෙහි එම මිනිසා මුන ගැසුනේ නැත්නම්...මේ මොහොත වන විට ඇගේ අම්මාගේත් අප්පච්චීගෙත් හැඩුම් වැලපුම් මේ නිවස අරක්ගන්නට තිබිනි...
                     ***********
                      දෝනි,
ඔයා ආදරෙන් පැරදුනාම ජීවිතෙන්
                සමු දෙන්න එපා.
එයා වෙන කෙනෙක් සමග ඉදීවි..
               ඒත් ඔබේ පියාට
      ඔබ වැනි කුමරියක් නැවත
                 හමු නොවේවි..
                   ***************
අහම්බෙන් නෙත ගැටුනු ඡායාරූපයකට, කථාවක් නිර්මානය කලෙමි..
~මුදී~

2 comments: