Sunday, January 22, 2017

පිටසක්වල තරුණිය "නීන්" 05 කොටස…      

පසුගිය කොටසින්..
°°°°°°°°°°°°°°°°°°°°
නීන් ඈ පැවසූ ගසෙහි රූපයක් වැලි පොළව මත ඇන්දා.. එය තරමක් කෙසෙල් ගසට සමාන ගසක් බව ඔහුට තේරුනා.. එත් එම ගසෙහි ඇදි රවුම් ආකාර ගෙඩි නිසා එය කෙසෙල් නොවන බව ඔහු දැනගත්තා..

"නීන්. මේ වගේ ගහක් අපේ ලෝකෙ නැහැ.. ඒත් මගෙ බැග් එකේ බිස්කට් ඇති.. ඒවා කන්න පුළුවන්. යමු කූඩාරම තියෙන තැනට යන්න ඕනෙ... "

°°°°°°°°°°°°°°°°°°°°
එතැන් සිට...

ඔවුන් දෙදෙනා දිනුකගේ කූඩාරම දෙසට පිටත් වුනා.. නීන්ගේ කකුලෙහි වූ තුවාලය නිසා ඈ ගමන් කලේ තරමක් සෙමින්. ඔහු වැනි ජීවීන් දෙදෙනෙකු තමන්ව සිර කරගෙන සිටි ආකාරයත් අමුතු විෂාල ජීවියෙකු ඔවුන් පසුපස එලවූ ආකාරයක්  අතරතුරදී නීන් ඔහුට කිව්වා.

"ඔහ්. ඒ කියන්නෙ..  ඔයා ගැන දන්න තව දෙන්නෙක් ඉන්නවා!
අපි කෝකටත් පරිස්සම් වෙන එක හොඳයි.. "

"ඔබ මට උදව් කරන්න කරුණාකරලා.. මට ආපහු මගේ ලෝකෙට යන්න ඕනෙ.. "

"හොදයි.. පුලුවන් ඉක්මනින් ඔයාගෙ යානාව හොයා ගමු අපි.. මම දන්න තරමින් මේ ගැන පරීක්ෂණ කරන්න ආපු ගොඩක් අය දැනටමත් වැඩේ අතෑරලා දාලා.. ඔබ කියන විදිහට ඒ අලියෙක් වෙන්න ඕනෙ.. අලියගෙන් අනතුරක් වුනේ නැත්නම් එයාලා අනිවාර්යෙන් ආපහු ඔයාව හොයන්න පටන් ගනී.. "

ඔවුන් කූඩාරමට ඇතුල් වුනා.. දිනුක ඉතිරිව තිබූ බිස්කට් පැකට්ටුවක් ගෙන ඇයට දිගු කලා.. නීන් එය අතට ගෙන ඒ දෙස බලා සිටියා පමණයි.

"මේක කොහොමද කටට හලා ගන්නෙ.. "
නීන් සිතුවා..

දිනුක එක බිස්කටයක් ගෙන එය කන අයුරු ඇයට පෙන්වුවා. ඒත් එසේ හැපීමට ඇයට දත් පිහිටා තිබුනෙ නැහැ. එක්වරම මුවට දමා ගත් බිස්කට් අහුර නිසා නීන් හුස්ම ගැනීමට අපහසුව දැගලුවා.. ඒ සමගම ඒවායෙ රසය ඇයට අප්‍රසන්න බවකින් යුක්ත වුනා.. මුවහි වූ දේ පිටතට ඇද දැම්මා..

දිනුක බොහෝ කණගාටුවෙන් එදෙස බලා සිටියා.. එය ඇයට සුදුසු නොවන ආහාරයක් බව ඔවුන් දෙදෙනාම තේරුම් ගත්තා.

"වෙන කන්න දෙන්න දෙයක් මම ළඟ නැහැනෙ..
අපි මේ හරියෙ ඉන්න එක ඒතරම් හොද නැහැ.. නීන්, ඔයා කියපු විදිහට ඒ ගොල්ලො ඔයාව අල්ල ගත්තෙ ගඟ ලඟදි නම් ඒ ගොල්ලො ආයෙමත් එන්න පුලුවන් මේ පැත්තට..

දවස් දෙකකට කලින් අපිට නැගෙනහිර පැත්තට වෙන්න ගුහාවක් හම්බ උනා අපි ඒ පැත්ත පරීක්ෂා  කරනකොට. අමාරුවෙන් උනත් අපි ඒ පැත්තට යමු.. ඔයාගෙ යානය හොයා ගන්න උත්සහ කරන්න ඕනෙ ඊට පස්සෙ..
මේ ගැන ආරංචිය ගිහිල්ලා නම් තවත් අය කැලේ වට කරයි. ඊටකලින් අපිට මොනවා හරි දෙයක් කරන්න වෙනවා. "

පැය එකහමාරක් පමන ගමන් කිරීමෙන් පසු ඔවුන්ට දිනුක පැවසූ ගල් ගුහාව හමු වුනා.. එහි අනෙක් පස කැලයෙන් වැසී තිබුනා.. එම නිසා ඉදිරිපසින් ඇතුල් නොවී ඔවුන් අකුල් අතරින් රිංගා යමින් අනෙක් පස වූ ගුහා කොටසට ඇතුළු වුනා..

"නීන්, යානය හොයා ගන්න ඔයා ළඟ මොනවා හරි සංඥා ක්‍රමයක් තියෙනවද? "

"මම ළඟ වලල්ලක් තිබුනා. ඒක යානයත් එක්ක සම්බන්ධයි කියල ජොම් මට කිව්වා මතකයි. ඒක මාව හිර කරගෙන හිටපු තැන වැටෙන්න ඇති. ඒත් ඒක වැඩ කරන විදිහ මම දන්නෙ නැහැ.. " නීන් බොහෝ කණගාටුවෙන් කිව්වා..

"ඒ කියන්නෙ.. ඔයාලාව මෙහෙම එවන්න කලින් යානය ගැන දැනුමක් දෙන්නෙ නැද්ද නීන්..?
ඔයාලගෙ අය ඔයාව මෙහෙට එවපු හේතුව මොකද්ද..? "

"මම මෙහෙ එනවා කියලා කවුරුත් දන්නෙ නැහැ දිනුක. මගේ අම්මා.. අයියා මාව හොයනවා ඇති. යාන‍යත් එක්ක මම අතුරුදන් වෙලා කියලා ඒ ගොල්ලො දැන ගත්තම කොච්චර කලබල වෙන්න ඇත්ද.. "

"නීන් එතකොට ඔයා ආපු යානය හැදුවෙ කව්ද ? "

"මගේ අයියා ජොම් තමයි හැදුවෙ. මම ගොඩාක් පොඩි කාලෙ තාත්තා යානයක් හදලා තියෙනවා පෙම්ලො කුට්ටියට එන්න. තාත්තා ඒ යානය හදනකොට මගේ අයියා ළඟ ඉදලා තියෙනවා.. මට තාත්තව හොදටම මතක නැහැ. අයියත් ඒ කාලෙ පොඩි දරුවෙක්.

දවසක් තාත්තා ඒ යානෙ නැගලා පෙම්ලෝ කුට්ටියට ආවාලු.. තාත්තට ඕන වුනේ මේ  කුට්ටිය ගැන තොරතුරු හොයා ගන්න.. අපේ ලෝකෙ කිසිම කෙනෙක් ඒ වගේ දෙයක් කරලා තිබුනෙ නෑ ඒ වෙනකොට.. "

"එතකොට නීන් ඔයාගෙ තාත්තට එහෙම යානයක් හදන්න අදහසක් ආවෙ ඉබේමද.. ඇත්තටම එයා දක්ෂයි එහෙනම්... "

"නැහැ දිනුක. එකම පාරක් අපේ ලෝකෙට ඒ වගේ යානයක් ඇවිත් තියෙනවා.. ඒ යානෙ අපේ ලෝකෙට වැටිලා.. 

ඒ වෙනකොටත් ඒක ඇතුලෙ අමුතු ජීවින් දෙන්නෙක් මැරිලා ඉදලා තියෙනවා.. මුලදි අපේ ලෝකෙ කවුරුත් ඒක ළගටවත් යන්න බය වෙලා.. ඒත් තාත්තා ඒ හැමදේම පරීක්ෂා කරලා තිබුනා.. තාත්තට ඒ අදහස ඇවිත් තියෙන්නෙ ඊට පස්සෙයි.. "
✴✴✴✴✴✴✴✴✴✴✴✴✴✴

මීලඟ කොටසින් හමුවෙමු..

පිටසක්වල තරුණිය "නීන්" 04 කොටස…

පසුගිය කොටසින්..
°°°°°°°°°°°°°°°°°°°°

ඒ මොහොතෙහි උදා හිරු නැගෙමින් තිබුනා.. දිනුක හිරු දෙසට ඇගිල්ල දිගු කර එය අදින බව හැඟෙව්වා.. ඉන්පසු ඒ වටා අනෙක් ග්‍රහලෝක අටම ඇන්දා.. ඉන් එකක් මත ඇගිල්ල තබා ඔහු එහි ඉන්න බව හැඟෙව්වා.. මීලගට ඔහු නීන්ගෙන් විමසුවේ ඇය කුමන ලෝකයකට අයත්ද යන්නයි.. ඔහු එය හස්ත මුද්‍රාවෙන් කිහිප විටක්ම ඇයට ඇඟෙව්වා..

°°°°°°°°°°°°°°°°°°°°
එතැන් සිට...

නීන් මඳ වේලාවක් ඒ දෙස බලා සිටියා.. ඇයට මතක් වුනා ඇගේ අයියා දවසක් මේ වගේ රවුම් තුනක් අඳිනවා.. ඒ ඔවුන්ගේ ග්‍රහලෝකයත්, පෙම්ලෝ යනුවෙන් ඔවුන් හැඳින්වූ ග්‍රහලෝකය සහ  හිරුයි. ඒ දවස්වල අයියා ගොඩක් ඒක දිහා බලාගෙන ඉන්නවා නීන් දැකලා තිබුනා.. ඒ ගැන කුතුහලය නිසා ඈ දවසක් ඒ ගැන ඇහුවා.. ඉතින් ඇගේ සහොදරයා ඒ ගැන ඇයට පැහැඳිලි කරලා දුන්නා..

"නීන් අපි ඉන්නෙ මෙන්න මේ කුට්ටියෙ තමයි.. "

"ජොම්, අපි කොහොමද ඔච්චර පුංචි කුට්ටියක ඉන්නෙ.. "
නීන් නොතේරුම්කට ඇහුවා..

"ඔයාට තේරෙන්නෙ නැද්ද නීන්.. මේක බොහොම පොඩිවට ඇඳපු එකක් විතරයි.. මෙහෙ එන්නකො.."

ජොම් ඇයව එලියට එක්කගෙන ගියා..

"අර පේන්නෙ සෙටෝ (හිරු.).. පුංචිවට පෙනුනට ඒක මේ අපි ඉන්න කුට්ටිය වගේ ලොකු එකක්. ඒත් ඒක ලගට යන්න බැහැ.. අපිව විනාශ වෙනවා.. අර පේන්නෙ පෙම්ලෝ කුට්ටිය.. "

අපට හද පෙනෙන තරම් ලොකුවටම ඔවුන්ගේ ග්‍රහලොවට පෙනෙන තවත් ග්‍රහලොවක් පෙන්වමින් ජොම් කිව්වා...

පෙම්ලෝ ගැන කියන්න හදනකොටම ජොම්ගේ මූන බොහොම වේදනාවකින් පිරෙනවා නීන් දැක්කා..

"ඔයා එතකොට ගොඩක් පුංචියි නීන්.. අපේ තාත්තා පෙම්ලෝ වලට යන්න යානයක් හැදුවා.. මේ ලෝකෙ කාටවත් තවම බැරි වුනා එහෙම දෙයක් කරන්න.. ඔයා අපේ තාත්තා ගැන ආඩම්බර වෙනවා නේද නීන්.. "

ජොම්ගේ ඇස් වලට කදුළු පිරිලා තිබුනා..

"තාත්තා පෙම්ලෝ වලට ගියා.. ඒත්.. ඒත් ආපහු ආවෙ නැ..
මම.. මමත් කවදා හරි තාත්තා වගේ යානයක් හදනවා.. මම දවසක තාත්තව හොයා ගන්න පෙම්ලො කුට්ටියට යනවා නීන්.. "

ජොම්ගේ වචන නීන්ට දෝංකාර දීලා ඇහුනා.. අතීත සිදුවීමක ගිලී තිබූ නීන් සිතිවිලි වලින් මිදී පියවි ලොවට ආවා..

ඇය ඉතාම කුඩා රවුමක් ඇන්දා.. ඇගේ අතෙහි ඇත්තේ ඇගිලි හතර බැගින් බව ඔහු දැක්කේ ඒ මොහොතේදී. ඒවා ඉතාම තියුනු ඇගිලි වුනා.. නමුත් නියපොතු වැනි දේ දකින්නට තිබුනේ නැහැ.

"සේටො.. "

නීන් හිරු දෙසට ඇගිල්ල දිගු කරමින් පැවසුවා..

දිනුක ඇඳ තිබූ ග්‍රහලෝක දෙස ඈ මඳක් බලා සිටියා..

ඈ ජොම් විසින් ඇද තිබූ ග්‍රහලෝක තුන මතක් කරමින් ඒවා ඇන්දා.. දිනුක විශ්මයෙන් යුතුව බලා සිටියා..

"එතකොට ඔයා ජීවත් වෙන්නෙ වෙන සෞග්‍රහමන්ඩලයක තියෙන ග්‍රහලෝකෙකද.. "
දිනුකට කියවුනා..

නීන් ඔහු දෙස බලා සිටියා..
ඔහු යමක් කියූ බව ඇසුනත් එය වැටහුනේ නැහැ ඇයට..

මේ වන විටත් දිනුක ඇයගේ විශ්වාසය දිනා සිටියා. තමන්ට ඔහුගෙන් අනතුරක් නොවන බව ඇය වටහා ගත්තා..

නීන් සෙමින් දිනුක අසලටම ගියා.. නීන්ට ඔහු ගැන තිබූ බිය මඟ හැරී තිබුනත් ඇය අසලට එන විට දිනුකට නම් බියක් ඇති වුනා..  දිනුකට තව එක මොහොතක්වත් සිතිවිලි වල සිටින්නට ඉඩ ලැබුනේ නැහැ.. නීන් එක්වරම ඔහුගේ හිස මත තම සුරත තැබුවා..

හිස තුල තද සීතලක් පැතිරෙනු දිනුකට දැනුනා.. නමුත් ඒ ග්‍රහනයෙන් ගැලවී පලා යාමය ඔහුට ඒ මොහොතෙහි ශක්තියක් තිබුනේ නැහැ.. පිටසක්වල ජීවීන් පෘතුවි වාසීන්ගේ දැනුම, ශක්තීන් උරා ගන්නා ප්‍රබන්ධ කථා ඔහුට මතක් වුනා..

"මාත් ඔවුන්ගේ ග්‍රහනයට ගන්නද මේ පිටසක්වලයා ලෑස්තිවෙන්නෙ.. මම  මෙතනින් බේරී යන්න ඕනෙ.. ඔබලාට බැහැ මාව අරන් යන්න.. "

දිනුකගේ මනස මෙවැනි සිතිවිලි වලින් පිරී ගියා..
එක්වරම හිසට දැනුනු සීතල ගතිය නැතිවී ගියා..

"ඔබට මම කියන දේ තේරෙනවද.."

නීන් ඔහුගෙන් ඇහුවා..

පුදුමයක්!! ඇය ඇසූදේ දිනුකට තේරුනා..

"ඔව්.  ඔයා.. ඔයා.. මොකද්ද කලේ.. "

දිනුක ප්‍රශ්න කලා..

"මම ඔයාගේ භාෂාව ලබා ගත්තා ඔයාගෙ හිසෙන්.. "

"ඔයා කව්ද.. "

දිනුක නැවතත් ඇයගෙන් ප්‍රශ්න කලා..

"මම නීන්. මට යුෂ ඕනේ.. ගොඩක් බඩගිනියි.. "

"යුෂ? "

"ඔව්. අපි ඒවා ආහාරයට ගන්නවා.. ඒත් ඒ ගස් වර්ග එකක්වත් මෙහෙ කොහෙවත් නෑ.. "
නීන් කිව්වා..

"මොනවද ඒවා..?"

"ඝූල් ගස්.. මැග්සා කපලා ඒකෙන් බේරෙන යුෂ තමයි ගන්නෙ."

දිනුකට ඒ නම් ඇසුනත් ඒවා කුමක්දැයි ඔහු දැන සිටියේ නැහැ..
එය තේරුම් ගත් නීන් ඈ පැවසූ ගසෙහි රූපයක් වැලි පොළව මත ඇන්දා.. එය තරමක් කෙසෙල් ගසට සමාන ගසක් බව ඔහුට තේරුනා.. එත් එම ගසෙහි ඇදි රවුම් ආකාර ගෙඩි නිසා එය කෙසෙල් නොවන බව ඔහු දැනගත්තා..

"නීන්. මේ වගේ ගහක් අපේ ලෝකෙ නැහැ.. ඒත් මගෙ බැග් එකේ බිස්කට් ඇති.. ඒවා කන්න පුළුවන්. යමු කූඩාරම තියෙන තැනට යන්න ඕනෙ... "

✴✴✴✴✴✴✴✴✴✴✴✴✴✴

මීලඟ කොටසින් හමුවෙමු..

Saturday, January 21, 2017

පිටසක්වල තරුණිය "නීන්" 03 කොටස…           

පසුගිය කොටසින්..
°°°°°°°°°°°°°°°°°°°°

මීලඟට අලියාගේ ඉලක්කය වූයේ නීන් හා මහාචාර්යවරුන් දෙදෙනා සිටි කූඩාරමයි.. කුමක් කලයුතු දැයි ඔවුන් දෙදනා මුමුනමින් සිටියා..
එම කෙදිරිලි හඩ අලියාව තවත් කුලප්පු කිරීමට සමත් වුනා.. ඌ වේගයෙන් ඔවුන් දෙසට හොඩ උස්සාගෙන දිව එන්නට වුනා..

°°°°°°°°°°°°°°°°°°°°
එතැන් සිට...

අසාධ්‍යව වැතිර සිටියද තමා සිර කර ඇති කූඩුව දැන් විවෘත බව නීන් දැන ගත්තා.. යම් කලබලයක් සිදුවන බවත් ඇයට වැටහී තිබුනා.. වහා කූඩුවෙන් පිටතට පැමින, කූඩාරම් විවරය තුලින් එලියට පැමිනීමට අපහසුවෙන් පය එසවූවා පමනයි. දුටු දෙයින් ඈ බොහෝ තැතිගැන්මට පත්වුනා.. කලු පැහැති විශාල ජීවියෙකු, තමාව සිර කරගෙන සිටි ජීවින් දෙදෙනා පසු පස හඹායන අයුරු ඈ දැක්කා..

"මම හිතන් හිටියෙ මේ ලෝකෙ බලවත්ම ජීවීන් වර්ගය මාව හිර කරගෙන හිටපු අය කියලා.. එහෙමනම් ඔවුන්ටත් වඩා බලවත් ජීවින් මෙහෙ ඉන්නවා.. "

නීන් තනිවම සිතුවා..
මේ තරම් දරුණු තවත් ජීවීන් කොටසකගේ සිර කරුවකු  වීමට ඇයට අවශ්‍ය වුනේ නැහැ.. නීන් සෙමින් සෙමින් කූඩාරම තුලින් පිටතට ආවා.. අදුරු  වනාන්තරය තුලට ඈ ගමන් ගත්තා.. ඇගේ දෑස් අදුරට හොඳින් අනුවර්තනය වූ ඒවා.. මක් නිසාද යත් ඈ ජීවත් වූ ග්‍රහලොව  මලානික එලියකින් පමණක් සමන්විත වූ එකක් බැවිනුයි.

කෙසේ හෝ මහාචාර්යවරුන් ට හමුවන විට ඇය සිටි ගං ඉවුර අසලටම නැවතත් ඇය පැමිණ සිටියා.. සිසිල් වූ දිය ඈ එක හුස්මට පානය කලා.. ගස් කොල පවා තමන්ගේ ලෝකයෙන් වෙනස් වූ මේ ලෝකයෙහි ඇයට සුපුරුදු එකම දෙය වූයේ මේ ජලයයි.. වෙහෙස හා වේදනාව නිසා ගං ඉවුරේම නීන්ට නින්ද ගොස් තිබුනා..

තම කණ්ඩායම පිටත්ව යෑමෙන් පසු දිනුක තවත් දිනක් පමන රැදී සිටිමින් තමන්ට හැකි පමන දුරක් නැවතත් පරීක්ෂා කර බැලුවා.. අවසානයේ ඔහුත් තම බලාපොරොත්තු කඩ කර ගත්තා..

"කිසි තේරුමක් නෑ මෙහෙම ඉඳලා.. හෙට උදේම ආපහු යන්න ඕනෙ.."

ඒත් ගත කල දින දෙක තුල ඔහුට සෝමාවතිය රක්ෂිතය ගැන ලිපියක් ලිවීමට තරම්  කරුණු රැස්ව තිබුනා..

පිටත් වීමට පෙර උදෑසනම දිනුක ගඟ සොයා ආවේ මූන කට සෝදා ගැනීමටයි.. ඒ වන විට තරමක අදුරක් පරිසරය වෙලාගෙන තිබුනා.. ඉවුර අසලටම ලං වූ දිනුකට එතැන නිදා සිටි නීන්ව දකින්නට ලැබුනා..

කාන්තාවකගේ ලක්ෂණ ඇති ශරීරයකින් යුත් මේ ජීවීයා ගේ  හිසෙහි කිසිදු ආකාරයක කෙස් ගසක් හෝ දකින්නට ලැබුනේ නැහැ.. පිළිකා රෝගය වැළදී සියලුම කෙස් ගැලවී ගිය හිසක් සහ කෘෂ ඇගක් සහිත මනුෂ්‍ය කාන්තාවක් ලෙස දර්ශනය වූ ඇගේ රුව දෙස දිනුක මද වේලාවක් බලා සිටියේ කිසිවක් සිතා ගත නොහැකිවයි.. මේ වන විටත් නීන් තද නින්දක පසු වුනා..

තමාට ඉදිරියෙන් මේ සිටින්නේ පිටසක්වල ජීවියෙකුද යන වග දිනුක ට විශ්වාස කර ගත නොහැකි වුනා..

"මේක හීනයක්ද.. "
ඔහු තම දෑස් පිසදැමුවා..

මොහොතකින් නීන් නින්දෙන් අවදි වුනා.. ඈ එක්වරම දැක්කේ තමා ඉදිරියේ විශ්මය පිරුනු දෑසින් බලා හිදිනා මනුෂ්‍ය ජීවියාවයි.. තමාව නැවතත් අල්ලා සිර කිරීමක් සිදුවනු ඇතැයි ඇය බියට පත් වුනා.. අපහසුවෙන් නැගිටගන්නට උත්සහ කරමි කෑ ගැසුවා..

"නෑ නෑ මගෙන් කරදරයක් නෑ ඔයාට.. "

දිනුක අත් ඔසවමින් කලබලයෙන් කිව්වා.. ඔහු දැක්කා නීන්ගේ කකුලේ තුවාලය සහ ඒ නිසා ඇයට ඇවිද ගැනීමටවත් බැරි බව..

කළ යුත්තේ කුමක්ද යන වග ඔහු මදක් කල්පනා කලා.. අසල ගසකින් කොල කිහිපයක් කඩා ගෙන විත් තුවාලය ආවරණය කරමින් එතුවා.. ඉන්පසු තමාගෙ සපත්තු ලේස් එක ගෙන ඒ වටා හොදින් ඔතමින් ගැට ගැසුවා. ඇගේ පාද ඉතාම සිහින් ඒවා නිසා එය ඉතා පහසු වුනා..
ආරම්භයේදී නීන් බොහෝ කලබල වුනා.. නමුත් ඔහු තුවාලට වෙලා අවසන් වන විටම ඔහුගෙන් හිරිහැරයක් නොවන බවත්, බිය වීමට දෙයක් නොමැති බවත් ඈ තේරුම් ගත්තා.

දිනුක ගසකින් කඩා ගෙන ආ තවත් කොලයක් ගොටු කර ගගෙන් ජලය පුරවා ඈ වෙත පෑවේ තවත් ඇගේ විශ්වාසය දිනා ගැනීමට සිතායි..

"පිටසක්වල ජීවීන්ට අමුතු බලයන් තියෙනවා කියලා මම අහලා තියෙනවා.. ඒත් මෙයාගෙ එහෙම බලයක් පේන්න නෑ.. අඩුම තරමින් කෑ ගැහුවා, දැඟලුවා මිසක් බේරෙන්න මට අනතුරක් කලේ නෑනෙ.. "

දිනුක තනිවම හිතුවා.
ඔහුට එක්වරම නැඟුනු අදහසක් අනුව දිනුක එම ගං ඉවුරේ වැල්ලේ යමක් අදින්නට පටන් ගත්තා.. නීන් බොහෝ ඕනෑකමින් ඒ දෙස බලා සිටියා..

ඒ මොහොතෙහි උදා හිරු නැගෙමින් තිබුනා.. දිනුක හිරු දෙසට ඇගිල්ල දිගු කර එය අදින බව හැඟෙව්වා.. ඉන්පසු ඒ වටා අනෙක් ග්‍රහලෝක අටම ඇන්දා.. ඉන් එකක් මත ඇගිල්ල තබා ඔහු එහි ඉන්න බව හැඟෙව්වා.. මීලගට ඔහු නීන්ගෙන් විමසුවේ ඇය කුමන ලෝකයකට අයත්ද යන්නයි.. ඔහු එය හස්ත මුද්‍රාවෙන් කිහිප විටක්ම ඇයට ඇඟෙව්වා..

✴✴✴✴✴✴✴✴✴✴✴✴✴✴

මීලඟ කොටසින් හමුවෙමු..

අනෙකුත් කථාංගයන් කියවීම සඳහා එකතු වෙන්න මගේ බ්ලොග් අඩවියට..
Https://muthugepanhida.blogspot.com

Friday, January 20, 2017

පිටසක්වල තරුණිය "නීන්" 02 කොටස..

පසුගිය කොටසින්..
°°°°°°°°°°°°°°°°°°°°

මේක අපි සැක කරන විදිහටම පිටසක්වල ජීවියකුගෙ රුධිර පටකයක් නම් අපිට නිගමනය කරන්න පුළුවන් ඔවුන්ගේ රුධිර සෛල වල ලවණ සාන්ද්‍රනය අඩු බව.. එනිසා මෙහෙම බිඳ නොවැටී තිබෙන බවත්.. "

"ඔව්. තාමත් අපිට තියෙන්නෙ සැකයක් විතරයි. සමහර විට මේක  පිටසක්වල යානයේ සිදුවීමට කොහෙත්ම අදාල වෙන්නෙ නැති වෙන්නත් පුළුවන්.. "

°°°°°°°°°°°°°°°°°°°°
එතැන් සිට..

එදින දවල් කාලයේ ඔවුන්ට අපූරු සිදු වීමකට මුහුන දෙන්නට වුනා.. ඔවුන් තම කූඩාරම අටවාගෙන තිබුනේ සෝමාවතිය ආසන්නයේ ගලා යන මහවැලියේ අත්තක් වූ සින්න ඟග ආසන්නයේයි..

"මම වතුර ටිකක් පුරවගෙන එන්නං.. කෑන් දෙකම හිස් වෙලා.."

සමරජීව හිස් කෑන් දෙකත් එක්ක ගඟ ට ගියා.. මොහොතකින් ඔහු ආපහු ආවෙ බොහොම කලබල වෙලා.. 

"රන්දෙනිය.. ඉක්මන් කරන්න.. කෝ අර නෙට් එක.. "

ඔහු රන්දෙණියත් සමග නැවත  ගඟ අසලට දිව යන අතරතුර ගඟ අසලදී තමන් දුටු සිදුවීම විස්තර කලා..
ප්‍රොෆෙසර් සමරජීව ගඟ ඉවුර අසල අමුතු ජීවියෙකු දැක තිබෙනවා.. කිසිදු ශබ්දයක් නොකර, එම ජීවියා කලබල නොකර ආපසු හැරුනු ඔහු රන්දෙණියත් සමඟ ආපසු ඒමට සිතා කූඩාරම වෙතට දිව ගියා..
මේ අමුතු ජීවියා අල්ලා ගැනීමට හැකි වූවොත් යැයි සිතමින්ම ඔහු ආපසු ‍යන ගමනේදී නෙට් එකක්ද අතැතිව සිටියා..

නීන් ඔවුන් දෙදෙනාට හසු වූයේ එසේයි.. පාදයක වූ තුවාලය නිසා නීන්ට ඔවුන්ගෙන් බේරී දිව යෑමේ හැකියාවක් තිබුනෙ නැහැ..
දැල යොදා නීන්ව අල්ලා ගැනීම ඔවුන්ට පහසු කාර්යක් වුනා ඇය සිටි තුවාලමය තත්වය නිසා. අවසානයේ දී ඔවුන් විසින් ඇයව මෙලෙස කූඩුවක සිර කරනු ලැබ තිබුනා..

                           ***
දිනුක පෙරේරා.. වෘත්තියෙන් ඔහු ආධුනික පුවත්පත් වාර්තාකරුවෙක්.. පිටසක්වල යානය පිළිබඳ පුවත වාර්ථා වීමත් එක්කම ඔහු ඒ පිළිබඳ වාර්ථා කිරීමේ කටයුතු වල නිරත වුනා..

ඔහු සෝමාවතියේ මේ පුවත පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමට පැමිනි SpaceX පරික්ෂණ කණ්ඩායම සමඟ එක්ව වාර්තා කිරීමේ කටයුත්තට එකතුව සිටියා...

දින තුනක් තිස්සේම පිටසක්වල යානයක් පිළිබඳව කිසිදු තොරතුරක් සොයා ගත නොහැකි වූ තැන ඔවුන් ආපසු යාමට තීරණය කලා.. නමුත් සිතේ පැවතුනු නොනවතින කුතුහලය නිසා දිනුකට ආපසු යාමට සිත් දුන්නේ නැහැ.. තව දිනක් දෙකක් මෙහි නැවතීමේ අදහස ඔහු කණ්ඩායමට පැවසුවත්,  ඔහුගේ කණ්ඩායම දිනුකව තනිව දමා යාමට කැමැත්තක් දැක්වූයෙ නෑ.

නමුත් ඔහු කෙසේ හෝ තවත් දිනක් දෙකක් රැදී සිටීමට අවස්ථාව ලබා ගත්තා..

                          ***
මාහාචාර්යවරුන් විසින් නීන්ට කෑම සදහා පාන් කැබලි, බිස්කට් ආදිය කූඩුවට දමා තිබුනා.. ඇත්තෙන්ම ඒවා ආහාර බව වත් ඇය දැන සිටියේ නැහැ. ශාක යුෂ පමනක් ආහාරයට ගන්නා ජීවීන් ලෙස ජීවිතය ගත කල නීන්ට, එවැනි ඝන ආහාරයක් සුදුසු වූයේ ද නැහැ.. ඇය ඒවා ආහාරයට නොගත්තේ ඇයව කූඩු කර තිබූ නිසා බව ඔවුන් සිතුවා.. 

අධික කුසගින්න නිසාත්, කෑ ගැසීම නිසාත් නීන් වෙහෙසට පත්ව සිටියා... පාදයේ වූ රිදුමත් අධිකව දැනෙන්නට වුනා. තමා ආ හිතුවක්කාර ගමන ගැන ඈ නැවත නැවතත් සිතින් පසුතැවුනා..

තමන්ට අහම්බෙන් මුන ගැසුනු මේ පිටසක්වල ජීවියා නිසා මහාචාර්යවරුන් දෙදෙනා බොහෝ උද්දාමයට පත්ව සිටියා..

"සමරජීව.. අපිට ලංකාවෙ විතරක්ද.. මුලු ලෝකෙම.. මුලු ලෝකෙම ප්‍රසිද්දියක් හම්බවෙන්නයි යන්නෙ!! මටනං  හිතා ගන්නවත් බෑ..! පිටසක්වල ජීවියෙක් පනපිටින් අපිලඟ! "

"හේයි මූ මැරිලද.. කකුලෙ තුවාලෙකුත් තිබුනා නේද.. ඒකෙන් ගලපු ලේ තමයි එහෙනං අපිට හම්බ උනේ.. "

රන්දෙණිය කූඩුව ලගට ඇවිත් ඇහුවා.. ඒ වෙනකොටත් නීන්  බොහොම අසාධ්‍යව වැතිරීගෙනයි හිටියෙ..
ඔවුන් නීන් සිටි කූඩුව විවර කර ඇයව පරීක්ෂා කරන්නට සූදානම් වූවා පමනයි... 

කූඩාරමට එපිටින් එක්වරම නැගුනු හඩ, තනි අලියාගේ දැයි මහාචාර්යවරුන් දෙදෙනාටම එකවර සිතුනා.. එය එසේම වුනා..

ඔවුන් මෙහි පැමිනි දිනම මේ තනි අලියාගේ දරුණු බව පිළිඳව අයෙකු ඔවුන්ව දැනුවත් කර තිබුනා..
තනි අලියා කූඩාරම දෙසට එමින් සිටියා..  අහස ගුගුරවන තරම් හඩක් නගමින් ඌ ටෙන්ට් රෙද්ද ඉහලට ඇද්දා..

නීන් සහිත කූඩුව එක් කූඩාරමක තබා මහාචාර්යවරුන් දෙදෙනා නිදා ගත්තේ අනෙක් කූඩාරම තුලයි.. මේ වන විට ඔවුන් නීන්ව පරීක්ෂා කිරීමට ඈ සිටි කූඩාරමට පැමින තිබූ අතර රන්දෙණිය කූඩුව විවර කර තිබුනා.. අලියා නැගූ ශබ්දය නිසා එම කූඩාරමෙන් පිටතට පැමිනි ඔවුන්ට දැක ගත හැකි වූයේ තම කූඩාරම පොඩි පට්ටම් වී ඇති බවයි..

මීලඟට අලියාගේ ඉලක්කය වූයේ නීන් හා මහාචාර්යවරුන් දෙදෙනා සිටි කූඩාරමයි.. කුමක් කලයුතු දැයි ඔවුන් දෙදනා මුමුනමින් සිටියා..
එම කෙදිරිලි හඩ අලියාව තවත් කුලප්පු කිරීමට සමත් වුනා.. ඌ වේගයෙන් ඔවුන් දෙසට හොඩ උස්සාගෙන දිව එන්නට වුනා..

✴✴✴✴✴✴✴✴✴✴✴✴✴✴

මීලඟ කොටසින් හමුවෙමු..

පිටසක්වල තරුණිය "නීන්" 01 කොටස…

බැස යන හිරු ගිනි රත් පැහැයෙන් දිදුලමින් තිබෙනු, ජනෙල් කවුළුව තුලින් නීන් දැක්කා..

"සෙටෝ.. මේ සෙටෝද.. මේ තරම් ලොකුවට.. "

නීන් විශ්මය පිරුණු දෑසින් බලා සිටියා..

සෙටෝ.. ඇගේ භාෂාවෙන හිරු හැඳින් වූ නමයි. එහි තේරුම 'ගිනි පුලිඟුව' යන්නයි. හේතුව ඇගේ ලෝකයට හිරු පෙනුනේ ගිනි පුලිඟුවක් තරම් කුඩාවටයි.. මේ තරම් හිරු එළියක් ඇගේ දෑස් වලට නුපුරුදුයි. එය ඇයට දිගටම බලා සිටීමට ඉතා අසීරු දර්ෂණයක් වුනා.

මොහොතකට හිරු දෙසට අවධානය යොමුව තිබූ ඇගේ දෑස් නැවතත් තමා සිටි දැල් සහිත කූඩුවට එපිටින් වූ මිනිසුන් දෙදෙනා වෙතට යොමු වුනා. ඔවුන්ගේ විකාර රූපී ස්වාභාවය ඇයට විශ්මය ගෙන දුන්නා. ඔවුන්ගේ ශරීර වල උස... නීන්ගේ ලෝකයෙහි කිසිවෙක් ඒ තරම් උස ජීවීන් නොවෙයි. කෙටි කන, විශාල වූ නාසයක් ඔවුන්ට තිබුනා..

'මාව බේරා හරින්න' යැයි කෑ ගැසීමෙන් කෙටී වෙහෙසට පත්ව සිටියා. ඇත්තෙන්ම එය නිෂ්ඵල කාර්යක් වුනා.. ඔවුන් කෙටීගේ කෑ ගැසීමට අවධානයක් යොමු කලේ නැහැ.. ඇයට නොතේරුනු අමුතු බසකින් ඔවුන් දෙදෙනා වාදයක ස්වරූපය ගත් කථා බහක නිරතව සිටියා..

ප්‍රොෆෙසර් සමරජීව සහ ප්‍රොෆෙසර් රන්දෙණිය තමන්ට හමුවූ මේ අපූරු පිටසක්වල ජීවියාට මීලගට කල යුතු දේ සාකච්චා කරමින් සිටියා..

                           ***
2017 ජූනි මාසයේ පහලොස් වන දින සෝමාවතිය ප්‍රදේශයෙන් පිටසක්වල යානයක් පිළිබඳ වාර්තා වුනා. සවස හයත් හතත් අතර කාලයේදී හදුනා නොගත් යානයක් ප්‍රදේශය වෙතට පහත් වනු කිහිප දෙනෙකුගේම ඇස ගැටී තිබුනා.. මේ ආරංචියත් සමගම පිටසක්වල ජීවීන් පිළිබඳ පරීක්ෂණ වලට ඇල්මක් දක්වන මේ මහාචාර්යවරුන් දෙදෙනා වහාම සෝමාවතිය බලා පිටත් වුනා.

විවිධ පරීක්ෂණ කණ්ඩායම් විසින් මෙම පිටසක්වල යානය පිළිබඳ ආරංචිය ඔස්සේ එම ප්‍රදේශයේ කල පරීක්ෂණ වල සාර්ථකත්වයක් දකින්නට ලැබුනෙ නැහැ. යානයක් තබා යානයක් පැමිනි සලකුණක් හෝ ඔවුන්ට සොයා ගත නොහැකි වී තිබුනා.. අවසානයේ ඔවුන් එය අත් හැර දැමුවා..

අප මහාචාර්යවරුන් දෙදෙනා, වන අලියන් පවා ගැවසෙන වනාන්තරයේ රැදී සිටිමින්, නිඳිවරමින් තව දුරටත් මේ පිළිබඳ සොයා බැලීමේ කටයුතුවල නිරත වුනා..

"ෂැහ්. මේ මොනවද මේ ජරාව.."

රන්දෙණිය තම සපත්තුවට  පෑගී තිබූ දේ දෙස බලමින් පැවසුවේ මුහුන ඇඹුල් කරගෙනයි.. තද කොල පැහැති සෙවලමය ද්‍රව්‍යක් ඔහුගේ සපත්තුවෙන් බේරෙමින් තිබුනා. 

"සතෙකුගෙ ජරාවක් වෙන්නැති.." සමරජීව කිව්වා..

"නෑ.. මේ වගේ දෙයක් මම මීට කලින් දැකලා නෑ.. අනික බලන්න මේවයෙ දිලිසෙන ස්භාවය..
ප්‍රොෆෙසර් සමරජීව.. සමහර විට මේක අපිට හම්බ වුන වැදගත්ම හෝඩුවාවක් වෙන්න පුලුවන්.. "

"බලමු.. " රන්දෙණිය ඒ දිලිසෙන ද්‍රව්‍යයෙන් කොටසක් බෑගයේ වූ කුඩා කුප්පියකට පුරවා ගත්තා..

"අපි මේක ටෙස්ට් කරලා බලමු.. රෑ වෙලා නිසා දැන් අපි අපේ කූඩාරමට ගියොත් හොඳයි ප්‍රොෆෙසර්.. මතකනෙ අර මගදි හම්බ වුන මනුස්සයා කියපු කථාව.. තනි අලියා ගැන.. "

ඔවුන් ලබා ගත් සෙවලමය ද්‍රව්‍ය සාම්පලය පසු දින උදෑසන ප්‍රොෆෙසර් සමරජීව විසින් අන්වීක්ෂයෙන් පරීක්ෂා කලා..

"ප්‍රොෆෙසර් රන්දෙණිය.. මේක..  මේක ජීවීයකුගෙ පටකයක්.!! ඒ කියන්නෙ ජීවී ශරීරයකට අයත් ද්‍රව්‍යක්..!! මේ සෛල වල හැඩය බලන්න.. හරි අපූරු හැඩයක්.. "

රන්දෙණිය වහා පැමින එය පරීක්ෂා කලා..

"ඔව්.. ඒත් එක්කම දැක්කද මේ සෛලවල මන්ඩලාකාර ද්වි අවතල හැඩය.. අපේ රුධිර සෛල වල වගේ..
ඒ කියන්නෙ.. ඒ කියන්නෙ මේ රුධිර පටකය.. ඔබට හිතෙනවද මේක පිටසක්වල සිදුවීමට අදාලයි කියලා.. මේ වෙනත් ලෝකෙක ජීවියකුගෙ රුධිරය විය හැකියි කියලා?"

"ප්‍රොෆෙසර් සමරජීව.. ඒත් මෙතන  ගැටලුවක් තියෙනවා.. ඔබ දන්නවනෙ අපේ රුධිරය මේ වගේ වාතයට නිරාවරණය වුනහම මේ විදිහට සෛල අදුන ගන්න බැහැ.. ඒවා බිද වැටිලා තියෙන්න ඕනෙ මේ වෙනකොටත්.. එහෙනම් මේ රුධිර සෛල කියන නිගමනය අපට බැහැර කරන්න වෙනවා නේද.. එතකොට මේ මොනවද.. මට නම් මේක ප්‍රෙහේලිකාවක්.. "

"රන්දෙණිය, අපට මේක එහෙමම බැහැර කරන්න බැහැ.. අපේ රුධිර සෛල එහෙම බිද වැටෙන්නෙ සෛල තුල පොටෑසියම් සෝඩියම් වගේ ලවණ  සාන්ද්‍රනය වැඩි නිසා.. මේක අපි සැක කරන විදිහටම පිටසක්වල ජීවියකුගෙ රුධිර පටකයක් නම් අපිට නිගමනය කරන්න පුළුවන් ඔවුන්ගේ රුධිර සෛල වල ලවණ සාන්ද්‍රනය අඩු බව.. එනිසා මෙහෙම බිඳ නොවැටී තිබෙන බවත්.. "

"ඔව්. තාමත් අපිට තියෙන්නෙ සැකයක් විතරයි. සමහර විට මේක  පිටසක්වල යානයේ සිදුවීමට කොහෙත්ම අදාල වෙන්නෙ නැති වෙන්නත් පුළුවන්.. "

✴✴✴✴✴✴✴✴✴✴✴✴✴✴

මීලඟ කොටසින් හමුවෙමු..