Thursday, November 17, 2016

දෛවය

'''-දෛවය-'''
"සදනි.. කෝ මේකි.. ගිහිං අර වලං ටික හෝදලා දාපං.. හැමදාම හවස් වෙද්දි මං උබට ඇගිල්ලෙන් ඇනලා කියන්න ඕනෙද.."
මා ගමන් ගනිමින් සිටියේ නිශාන්ත මාමලාගේ නිවසටයි. තම කුඩම්මාගේ කෑ ගැසීමෙන් පසු දොලොස් හැවිරිදි සදනි වලං මැස්ස වෙත ගමන් ගත්තේත් මා කඩුල්ලෙන් එම නිවස වෙත පියමැන්නේත් එකවිටයි.
"අක්කෙ නිශාන්ත මාමා ඉන්නවද.."
මා විමසුවෙමි.
නෑකමින් නිශාන්ත මට මාමා වූවත් අප අතර පැවතුනේ අවුරුදු දහයක පමන පරතරයකි.. නෑකම නිසා මා ඔහුට මාමා කියූවත් ඔහුගේ බිරිදට අක්කා කියන්නට පුරුදුව සිටියෙමි..  
"දැනුයි හේනට ගියෙ නංගියෙ.. මොකක් හරි පනිවිඩයක්ද.. "
"ඔව් අක්කෙ.. අප්පච්චි කියන්නෙයි කිව්වා මාමට ඒ පැත්තෙ ඇවිත් යන්න කියන්න කියලා.. "
"සදනි , අක්කට තේකක් හදන්න දුවේ..
එන්න නංගියෙ ගෙට.."
මොහොතකට පෙර සදනිට වැරෙන් බනිමින් සිටි මල්කාන්ති අක්කා මා ඉදිරිපිට සදනිට කරුණාවන්ත වූ අයුරු මා විශ්මයෙන් බලා සිටියෙමි.
"නෑ අක්කෙ.. මම යන්නම්.. මේ කුරුණෑගල ගිහින් එන ගමන්. අද එක්සෑම් එකක් තිබුනා. හැන්දැවෙන්න කලින් නා ගන්න යන්න ඕනෙ. යන්නම් අක්කෙ.. සදනි මං යනවා හොදේ.. "
මා දෙවැටින් නිවස දෙසට ගමන් ගත්තෙමි..
මල්කාන්ති අක්කා නිශාන්ත මාමා  ගේ දෙවන බිරිදයි. පළමු විවාහයේ බිරිද කුසුම් ය. මා ඇයට මිතුරියක් සහෝදරියක් තරමට සමීප වූයේ ඇය අපට දහම් පාසලේ ඉගැන්වීම් කරන කාලයේ සිටයි..
කුසුම් අක්කා ට සදනිව ලැබෙන්නට  සිටින කාලයේ සිදුවීමක් මට සදනි දකින සෑම මොහොතකම සිහියට නැගේ..
දිනක් කුසුම් අක්කාත් මමත් ඔයේ නාගෙන පැමිනෙන විට තදින් වැසි වැටෙන්නට පටන් ගත්තේය.. අප නුග ගස සෙවනට වීමු.. කුසුම් අක්කා තුවාය තම බදවටා ඔතා ගත්තා ය..
"ඒ මොකෝ.."
මා විමසුවෙමි..
"පැටියට සීතල වෙන නිසා.."
මෙලොව එළිය නුදුටු බිළිඳිය ගැන සෙනෙහසකින් ඇය කියන්නීය..
ඒ උනුසුම... ඒ ආදරය... මෙලොව එලිය දුටු දිනයේ සිට මවගෙන් ලබන්නට තරම් සදනි වාසනාවන්ත නුවූයේ ය.. සදනිව ලෝකයට බිහි කර කුසුම් අක්කා සදහටම තම දෑස් පියාගෙන තිබුනේ ය..
ඒ සිදුවීමෙන් වසරක් ගෙවෙන්නටත් පෙර නිශාන්ත මාමා මල්කාන්ති අක්කා නිවසට කැන්දාගෙන ආවේ ය..
ඔහු එසේ ඉක්මන් වූයේ සදනි ට මවක් නොමැති අඩුව දැනුන නිසාද නැතහොත් ඔහුට බි‍රිදක් නොමැති අඩුව දැනුන නිසාද යන්න මා නොදනිමි..
කෙසේ නමුත් ඉන්පසු සදනි පුංචි සින්ඩරෙල්ලා කෙනෙකු තරමට අසරණ විය.. කුඩම්මාගේ මෙන්ම කුඩා සොයුරන් දෙදෙනාගේත් සොයුරියගේත් වැඩපල ඈ අද ඉටු කරයි..
එදා කුසුම් අක්කා දහම් පාසලේ මට ඉගැන්වූවා ය.. අද සදනිගේ  පන්තියට උගන්වන්නේ මා ය..
දිනක් සදනි මල්ලීත් නංගීත් දහම් පාසලට ඇරලවා ආපසු යන්නට හැරෙනු මා දුටුවෙමි..
"සදනි.. පුතේ මොකෝ අද දහම් පාසල් එන්නෙ නැත්ද.. "
මා ඇසුවෙමි.
"චූටි මල්ලිගෙ වැඩ තනියම කර ගන්න බෑනෙ අක්කි පුංචි අම්මට.. මට කිව්වා මල්ලිවයි නංගිවයි ඇරලවලා ඉක්මන්ට එන්න කියලා.."
පුංචි අම්මා කුමක් කියුවත් ඇය අහිතකින් තොරව සියල්ල ඉටු කරයි..
අම්මා හිටියනම්.. දෑස් කදුලෙන් පිරෙමින් එසේ සිතෙන්නේ ඇයට නොවේ ඇයව එසේ දකින මටයි..
මා නිවසට ගොඩ වූයේ සදනි පිළිබද අතීත මතක වල මගේ මතකය සැරිසරත්දීමයි..
"දෝණි මොකද ලොකු කල්පනාවක..  විභාගෙ අමාරු වුනාද.. ඔන්න ඔයාට ලියුමක් ආවා. මේසෙ උඩ තියා ඇති මං."
අම්මා කියුවා ය..
මා කාමරයට ගොස් ලියුම විවෘත කලෙමි..
"අම්මේ!!! මට පත්වීමක් හම්බවෙලා අනුරාධපුර සෙන්ට්‍රල් එකට. "
මා ප්‍රීතියෙන් කෑ ගැසුවෙමි.
නමුත් අම්මාගේ මුහුනෙහි එතරම් සතුටක් තිබුනේ නැත..
"අනුරාධපුර..  සුළුපටු දුරක්ද දෝණි. ඕක හදා ගන්න බැරිවෙයිද.. කුරුණෑගල ට වත් නං කමක් නෑ. "
"අනේ අම්මෙ.. අවුරුදු පහක් හයක්  විතරනෙ. ඊට පස්සෙ හදා ගන්න පුලුවනි.. මගේ නං අකමැත්තක් නෑ.."
අප්පච්චීත් අම්මා මෙන් මදක් අකමැත්තෙන් කථා කලේය.. පවුලේ එකම දරුවා වූ බැවින් මා ඈතකට යාම ඔවුන් දෙදෙනාටම දරා ගත නොහැක.
එදින රාත්‍රියේත් මගේ මනසේ පැවතුනේ සදනි පිළිබඳ සිතුවිලියි.. සදනි ඉගෙනීමට කුඩා කල පටන්ම දක්ශ ය. ශිෂ්‍යත්වය ඉහලින්ම සමත් වුවත් ඇයව කුරුණෑගල පාසලකට ඇතුලත් කිරීමට වත් ශාන්ත  මාමාට වුවමනාවක් නොවූයේ ය. ඔහු සෑම විටම මල්කාන්ති අක්කා විසින් හසුරවන රූකඩයක් ලෙස මා දුටුවෙමි.
නිශාන්ත.. කෙල්ල ඉහලින් විභාගෙ පාස් වෙලා තියෙන එකේ හොද ඉස්කෝලෙකට දාන්න ඕනෙ නේද.. අපේ දෝනි ගියපු ඉස්කෝලෙට දාගත්තැහැකිනෙ ඉහලම ලකුනු හින්දා.."
වරක් අප්පච්චි  නිශාන්ත  මාමාට කියනු මා අසා සිටියෙමි..
"කොයි ඉස්කෝලෙත් කරන්නෙ උගන්නන එකනෙ මාමෙ.. ඔන්න ඔහෙ ගමේ ඉස්කෝලෙටම ගියපුවාවෙ."
ඔහු එයින් මඟ හැරියේ එසේය..
මා අම්මා සමග මේ පිළිබඳ කථා කල මොහොතේ අම්මා මෙසේ කියුවා ය..
"කෙල්ලගෙ ඉගෙන ගන්න එක කඩාකප්පල් වෙනවා ඔය පුංචි අම්මට බැල මෙහෙවරකං කර කර ඉදලා. අරකිටත් මොකද වදනවා විතරයි ඒකිගෙ පොඩි එවුං ටික බලා කියා ගන්නෙ වැඩ කරවගන්නෙ මේ පොඩි කෙල්ලගෙන්.. "
"අම්මෙ.. මට මෙහෙම දෙයක් හිතුනා.. මම සදනිව එහෙ අරන් යන්නද.. හොඳට උගන්නන්න පුලුවං මම ළග තියාගෙන.. "
"දෝනිට පිස්සුද.. අම්මත් නැති දුක් විදින දරුවා තමයි.. එහෙමයි කියලා.. ගෑනු දරුවෙක්ගෙ වගකීමක් දරන්න පුලුවංද දෝණිට තනියම.. අනික ඒ මිනිස්සු එවාවිද ලමයව.. ඔන්න ඔය අදහස අත්තැරලා දාන්න.. "
"මං නිශාන්ත  මාමව කොහොම හරි කැමති කරව ගන්නම්කො.. කුසුම් අක්කා වෙනුවෙන් මට ඒක කරන්න ඕනෙ අම්මෙ.."
මා පැවසූ පමනින් නිශාන්ත මාමා එතරම්  කැමැත්ත දැක්වූයේ නැත.
"අනේ මන්දා අපෙ මල්කාන්ති කැමති වෙයිද කියලා.. එයාට කෙල්ලව නැතුව බෑනෙ."
අනේ එයාගෙ ආදරේ.. වැඩකරව ගන්න තමයි කෙල්ලව නැතුව බැරි ඇත්තෙ.
මා මුවට පැමිනි දේ නොකීවෙමි.
"සදනිගෙ වියදම් ඔක්කොමත් මම බලා ගන්නම් මාමෙ.. "
"අනේ මන්දා.. "
අවසානයේ දී මාමාගේ කැමැත්ත ලබා ගැනීමට මට හැකි විය..
සදනිගේ අනාගතය පිළිබඳ දහසකුත් සුබ සිහින මගේ සිතේ පිරෙන්නට පටන් ගත්තේය..
කෙල්ලට හොදට උගන්නනවා මම.. හොද තැනකට ගේනවා.. කුසුම් අක්කත් ඉන්න තැනක ඉදන් සතුටු වෙයි..
සදනිව කුරුණෑගල ගෙන ගොස් අලුත් පාසලට අවශ්‍ය පොත්, සපත්තු, බෑගය ඒ සියල්ල ගෙන දුන්නෙමි.. යුනිෆෝම් දෙකක්ද මසා දුන්නෙමි..
අනුරාධපුර යන දිනට පෙර දිනයේම සදනිව අපේ ගෙදරම නවත්වා ගත්තේ උදෑසනින්ම පිටත් විය යුතු නිසායි..
මගේ මෙන්ම සදනිගේ සිතත් අලුත් බලාපොරොත්තු වලින් පිරී ඇති බව මා දනිමි.
අප පාන්දර බසයෙන් කුරුණෑගල ට පිටත් වූයෙමු.. කුරුණෑගල බස්නැවතුමෙන් අනුරාධපුර බසයකට ගොඩ වී සිටියෙමු..
තව පැය බාගෙකින් පිටත් වෙනවා..
කන්ඩක්ටර් කියනු මට ඇසුනි..
මද වේලාවක් එසේ සිටින විට ඉදිරි දොරෙන් මතුවී අවට බලන මුහුනක් හදිසියේ මගේ නෙත ගැටුනි..
නිශාන්ත  මාමා!!
අපව පාන්දර බසයට ගොඩ කරන විට වත් නොපැමිනුන මිනිසා මෙතැන. ඔහු අපව දැක අප දෙසට ආවේය..
"මාමෙ.. මාමා මෙහෙ? "
මා විමතියෙන් ප්‍රශ්න කලෙමි..
"කෙල්ලව යවලා බැහැ දුවේ.. රට රාජ්ජ අල්ලන ඕන නෑ මේකි.  ඔන්න ඔහෙ එහෙ පුලුවං හැටියකට ඉගෙන ගත්තාවෙ.. "
අස්වීම් සහතිකයත් ගත් පසු.. සියල්ල සූදානම් වී තිබුන පසුත් නැවත සදනිව ගමට යැවීමට..?
"මාමෙ.. මේ හැම දේම ලෑස්ති කරාට පස්සෙත් සදනිව ආපහු ගමට ගෙනියන්න.. මාමෙ කුසුම් අක්ක හීන දැක්කෙත් දරුවව හොදට උගන්නන්න.. එදා ඉදන් අක්කා ළගම හිටපු මම ඒක හොදට දන්නවා.. සදනි ගොඩක් දක්ශ දරුවෙක්. මාමට තේරෙන්නැද්ද ඒ ගෙදර අර පොඩි දරුවො රංචුවකගෙ වැඩ කරන ගමන් සදනිට එයාගෙ ඉගෙන ගන්න වැඩ හරියට කර ගන්න බෑ කියලා.. "
හිතට ආ ආවේගයෙන්ම මම පැහැදිලි කලෙමි. බසයේ වූ කිහිප දෙනාත් අප දෙස හැරි හැරී බලනු මා දුටුවෙමි.
ඔහු කිසිවක් තේරුම් ගත්තේ නැත. සදනිව ආපසු ගෙන යාමට අවශ්‍ය බවම කියා සිටියේ ය.  මේ කථා කරන්නේ නිශාන්ත  මාමා නොව මල්කාන්‍ති බව මා දනිමි.
මටත් බල කල යුතු සීමාවක් ඇති බව මා තේරුම් ගතිමි.. දරුවා ඉල්ලන්නේ ඇගේ පියායි. මට බලෙන් සදනිව රැගෙන යා නොහැකිය.
සදනිගේ කුඩා දෑස් වල තිබුනු දීප්තිය නිවී කුඩා කදුලු බිදු සිරවී තිබෙනු මා හොදින් දුටුවෙමි. ඇගේ සිත තුල වූ අනාගත සිහින එලෙස බිදී ගියේය..
අවසානයේ මාමා සදනිවත් රැගෙන බසයෙන් බැස ගියේය.. එදෙස බලා සිටි මගේ දෙනෙත් වලින් කදුලු කැට කඩා වැටෙනු මට දැනිනි..
"දුක් වෙන්න එපා දුවේ.. ඒක ඒ ළමයගෙ දෛවය වෙන්න ඇති.. "
අප පිටිපස අසුනේ සිට සිදුවූ සියල්ල දෙස බලා සිටි මැදිවියේ මිනිසා කියනු මට ඇසිනි..
*****************************
(සමාප්තයි.)

Sunday, November 13, 2016

රංවලව්වේ දිනපොත.

දඩාං!!

ජනෙල් පියන් හඩ නඟමින් වැසෙන්නේ තද වර්ෂාව සමගින් ඇති වූ සුළං පහරවල් නිසා ය.. පැරණි තාලයේ විශාල නිවසක ඉදිරි දොරින් මා ඇතුල් වී සිටින්නෙමි. වැසිකඩ පිරි සීතල සුළඟ, ගතෙහි හිරිගඩු නැංවීමට සමත් ය. ඉදිරි දොරෙන් ඇතුල් වූ විටම පෙනෙන්නේ පිටුපස දොරයි. දොර ජනෙල් සියල්ල ඇර දමා තිබුනත් පෙනෙන්නට කිසිවෙකුත් නැත. 
මගේ දෙපා ඉබේටම ඇදී ගියේ පසෙක තිබූ දැවමය මේසය වෙතටයි. එහි වූ ලාච්චුව විවර කිරීමට මට අවශ්‍ය බව හැඟිනි. එහෙත් හේතුව මම නොදනිමි. මා එය ඇරීමට උත්සහ කරන විටම.. මහා බියකරු යමක් සිදුවන්නට යන බව මට දැනුනි.. ප්‍රපාතයක සිට පහතට ඇද වැටෙන්නාක් මෙන් හැඟීමක්! මා කෑ ගසමි. නමුත් කිසිදු හඩක් පිට නොවෙයි.. එවිටම මා ඒ සිහිනයෙන් අවදි වේ..

"අක්කී.., ආයෙමත් අර හීනෙම දැක්කද.. "

මා මෙසේ බිය වී අවදි වීම නංගී ට අරුමයක් නොවේ.. මේ හීනය මා දැක ඇති වාර ගනන කොපමන දැයි මට කිව හැකි නොවේ.. එහි ආරම්භය මට වයස දොලහේ සිට..නැහැ.. ඊටත් පෙර සිට විය යුතුයි.. 
පාඩම් කරමින් සිටි නංගී වතුර වීදුරුවක් මවෙතට ගෙන ආවා ය. මා එය එක හුස්මට බී අවසන් කලෙමි.

"අපේ සීඅයිඩී මස්සිනාව මැරි කරාට පස්සෙ වත් ඔය මනස්ගාත ඔයාගෙ හිතෙන් යාවි.."

ඇය සිනාසෙමින් කියන්නීය.
මෙය මනස්ගාතයක්ද.. නැත. ඇත්තටම එවැනි නිවසක් ඇත්ද.. සොයා යාමටවත් ඒ කොහේ දැයි මා දන්නේ නැත.. හැමදාමත් පෙනෙන එකම සිදුවීමෙහි තේරුම කුමක්ද..

සීඅයිඩී මස්සිනා.. මගේ මුවට තුනී සිනාවක් නැගේ. නංගී කියන්නේ දිනුක ගැනයි. අම්මාත් අප්පච්චීත් ගෙන ආ යෝජනා අතරින් මගේ සිත ගත්තේ ඔහුයි.. ඔහු වෘත්තියෙන් සීඅයිඩී නිලධාරියෙකි. අප ඇසුරු කල සුලු මොහොතට ඔහු මට අමතක කල නොහැකි චරිතයක් විය.. 

"දෝණි මොකෝ කියන්නෙ ඒ දරුවා ගැන.. "

දිනුක ඇතුලු ඔහුගේ නෑ පිරිස අප නිවසින් පිටව ගිය පසු අප්පච්චී මගෙන් විමසුවේ ය.

"මම අකමැති නෑ අප්පච්චි.."

මගේ කැමැත්ත මා එලෙස වචන කලෙමි.. 
ඊට දිනකට පසු දිනුක ඔහුගේ කැමැත්ත කියා එවා තිබුනේ ය. අපේ විවාහය ස්ථිර වූයෙ එසේය. 

තෙමසකට පසු අපේ විවාහය දෙපසෙහිම ආශිර්වාදය මැද සිදු කරන ලදී.. අප සතියක් පමණ දිනුකගේ මහ ගෙදර නැවතී සිටියේ අප පදිංචියට යාමට නියමිතව සිටි  මාදත්ත නිවසේ පිලිසකර කිරීම් කටයුතු නිසා යි. මාදත්ත නිවස මා අසා තිබුනා මිස දැක තිබුනේ නැත. එය දිනුකට ඔහුගේ නැන්දාගෙන් හිමි වූවකි. 

දිනුක කුඩා කල පටන් ඔවුන්ගේ නිවසේ සේවය කල යසෝමා, අප එහි යාමට දින තුනකට පෙර මාදත්ත නිවසට ගියාය. මෙතෙක් කලක් මාදත්ත නිවස බලාකියා ගත්තේ යසෝමා ගේ සැමියා නන්දන ය. 
ඇත්තෙන්ම මට මෙහෙකරුවන්ගේ අවශ්‍යතාවක් තිබුනේ නැත. නමුත් යසෝමාගේ දැඩි ඕනෑකම නිසා දිනුකගේ මව ඇයව අප සමග යැවීමට එකඟ වූවාය.. 

"පුංචි නෝනෙට පුලුවනෑ ඒ සා ගේක තනියෙං ඉන්ට. මං යන්නං ලොකු නෝනෙ පුංචි මහත්තෙයලත් එක්ක.. මහ දුරක්‍ යැ මෙහ ඉදං මාදත්තට. "

බඩු පැටවූ ලොරිය උදෑසනින්ම පිටත් කර දිනුකත් මම ත් සවස පිටත් වීමු. 

"පුතා රජකාරිවලට දවස් දෙක තුන පිට ගියාම දූ තනියෙං එහෙ ඉන්ට ඕනෙ නෑ..යසෝමා එක්ක මෙහෙ එන්ට. "

දිනුකගේ අම්මා අප පිටත් වන විට කියුවා ය.
සිහින් පොද වැස්සක් කඩා හැලෙත්දී ම අප මාදත්තට පිටත් වුනෙමු. කිලෝමීටර හතරක් පමන දුරක් ගෙවා දැමූ පසු අප එහි ලගා වුනෙමු. ක්ෂණයකින්ම සිහින් හිරි පොදය මහ වැස්සක් බවට පරිවර්ථනය විය. පොල් වත්තක් කෙලවර වූ තැන අපගේ නව නිවස පිහිටා තිබිනි.. 

අප බැසීමට සූදානම් වන විටම කුඩය ඉසලාගෙන නන්දන අප දෙසට ආවේය. 

"නිලූ ඔයා ගෙට යන්න. මම කා(ර්) එක ගැරෙජ් එකට දාලා එන්නම්. "
දිනුක කියුවේ ය.

"එන්ට පුංචි නෝනෙ.. "
නන්දන ඔහු අතවූ විශාල කුඩයෙන් මා නිවසට රැගෙන ගියේ ය.

"රංවලව්ව" 

නන්දන සමග නිවස වෙත යන විට මා එය කියුවා නොව කියවුනාය..

"හහ්හා.. පුංචි මහත්තෙයා මේ ගේ අතීතෙ ගැන නෝනෙට කියලා මයෙ හිතේ.. ඉස්සර මේක රංවලව්ව තමා අපි දැං මාදත්ත ගෙදර කියලා  කිව්වට.. "

නිවස දකින ඇසිල්ලකින්ම මට එසේ කියවීම ගැන මා පුදුමයට පත් වීමි. මා දන්නා රංවලව්වක් නැත. දිනුක මට මේ නිවස පිළිබද වැඩිදුර විස්තරයක් කියා නැත. 

"නෝනෙ ගෙට යන්ට. අපේ යසෝ ඇති කුස්සියේ.. "

ඔහු එසේ කියා දිනුකව රැගෙන ඒම සදහා කුඩය රැගෙන පිටව ගියේය..

මා ඉදිරි දොරින් ඇතුල් වූයෙමි.. දෙවියනේ! මා නිතර සිහිනෙන් දකින ඒ සිදුවීමම සත්‍ය ලෙස මගේ දෑස් ඉදිරියේ එලෙසින්ම.. ඒ මේසය.. සිහිනෙන් මා විවර කිරීමට උත්සහ කරන ලාච්චුවම.. 
මා ලාච්චුව දෙසට පියවර තැබුවෙමි.. සිහිනෙන් මා මෙය විවර කරන්නට උත්සහ කරන සෑම මොහොතකම බියකරු ලෙස මා ප්‍රපාතයකට වැටේ. කුමක් සිදු වූවත් කමක් නැත. 
එසේ සිතමින් මා ලාච්චුව ඇරීමට උත්සහ කලෙමි. එය මේසයටම තදවී ඇත.

"මොකෝ ආපු ගමන් මේස ලාච්චු ඇරලා බලන්න හිතුනෙ.."

පිටුපසින් ඇසුනු දිනුකගේ හඩින් මා තිගැස්සුනෙමි.. 

මා කිසිවක් නොකීවෙමි.

"චුට්ටක් ඉන්නකො.. ඔයාට මේක අරින්න ඔච්චරම වුවමනා නම්.."

දිනුක සිනාසෙමින් පැමින ලාච්චුව ඇරීමට උත්සහ කලේය.. වෙර යොදා උත්සහ කලේය. පලක් වූයේ නැත.

"ම්ම්..ලොක් කරලත් නෑඈ.. මං හිතන්නෙ මේක අවුරුදු විසි පහකින් විතර ඇරලා නැති නිසා.."

"අවුරුදු විසි පහක්! "

මා විශ්මයෙන් එය ප්‍රතිරාවය කලෙමි. 

"ඔව්. ප්‍රියන්ති නැන්දා මැරි කරලා ඕස්ට්‍රේලියා ගියා ට පස්සෙ කවුරුත් මෙහෙ හිටියෙ නැහැනෙ. අවුරුදු විසි පහක් විතර වෙනවා දැන්. 

මහන්සියි බබා. හෙට වැඩට යන්නත් තියෙනවනෙ.. මම වොශ් එකක් අරන් එන්නම්. "

දිනුක කීවේ ය. ඉන්පසු ඔහු මා දෙස අමුතු අයුරකින් බලා සිටිනු දුටුවෙමි. 
මා සිටියේ කිසිවක් සිතා ගත නොහැකිවයි. නිවසට ඇතුලු වූ මොහොතේ සිට මගේ වෙනස දිනුකට දැනෙන්නට ඇත..

"නිලූ, ඔයාට මොකක් හරි අසනීපයක්ද.. නැත්නම්..ඔයා මේ මාදත්ත ගෙදරට කැමති නැත්ද.."

"නැහැ දිනූක.. එහෙම දෙයක් නෙවෙයි.. ඔයා වොශ් දාලා එන්නකො මට ටිකක් කථා කරන්න ඕනෙ.. දෙයක් කියන්න තියෙනවා ඔයාට.. "

සිහිනය පිළිබඳ ඔහු කුමන මතයක් දරාවිදැයි මට සිතා ගත නොහැක. නමුත් ඒ පිළිබඳව ඔහුට පැවසීමට මා සිතා ගත්තෙමි.
දිනුක මා පැවසූ සියල්ල සාවදානව අසා සිටියේ ය. 

"අනේ මන්දා නිලූ.. බැලූ බැල්මට මේක පුනුරුප්පත්ති කථාවක් කියලා හිතුනට එහෙම හිතන්න බැරි කාරණාවකුත් තියෙනවා.. 
මොකද මම අහලා තියෙන අතීතෙ ඉදලා මේ ගෙදර ඉදලා තියෙන්නෙ ආච්චියි ප්‍රියන්ති නැන්දයි විතරයි. ආච්චි නැති වුනේ අවුරුදු පහකට විතර කලින්. නැන්දා ඕස්ට්‍රේලියා ගියදා ඉදලා ආච්චි හිටියෙ අපේ ගෙදර. තාත්තයි නැන්දයි ආච්චියි විතරයි ඊට කලිනුත් මෙහෙ පදිංචි වෙලා හිටියෙ. 
සීයා නැතිවුනාට පස්සෙ තමයි ආච්චි, තාත්තයි නැන්දයි එක්ක මෙහෙට ඇවිත් තියෙන්නෙත්. මං දන්න තරමින් මෙහෙ වෙන කවුරුත් ඉදලත් නෑ..

හරි අපි බලමු කොහොම හරි අර ලාච්චුව ඇර ගන්න. මෙච්චර අවුරුදු ගානක් ඔයාගෙ හිතේ සැකේ වෙලා තිබුන දේ බලමු. "

කොපමන කුතුහලයක් තිබුනද ඇත්තෙන්ම මේ රාත්‍රියේ මට එය බැලීමට අවශ්‍ය නොවේ.. සිහිනයේ දී මා එය විවෘත කරන්නට උත්සහ කරන සෑම මොහොතකම එහි  බියකරු යමක් සිදු වේ..

"දිනුක.. අපි හෙට උදේට ඒක බලමුද. "

මා බියවී සිටින බව ඔහු තේරුම් ගෙන තිබුනේ ය..

"ම්ම්.. හරි. අපි හෙට බලමු එහෙනම්. දැන් නිදා ගන්නකො ඕවා හිතන්නැතුව."

නමුත් මැදියම් රැය පසු වන තුරුත් නින්ද මා අසලට නොපැමිනියේ ය. නිවසට ගොඩ වැදුනු මොහොතේ සිට මගේ සිත වෙලා ගෙන තිබුනු ආගන්තුක බිය එසේම විය.

පාන්දරින්ම සාලය දෙසින් ඇසුන 'ටක ටකස්' හඩ මා අවදි කලේ ය. මා එදෙසට යනවිට දිනුක, මේස ලාච්චුව ගැලවීමට උත්සහ කරමින් සිටී.. නන්දන අතේ ආයුධ කීපයක් ඇත.

"නන්දන, මේ පරණ මේසෙ කුස්සියට දාන්න. අපි ගෙනාපු මේසෙ මෙතනට  ගන්න. "

ඒ අතරතුර දිනුක කීවේ ය.
දිනුකගේ උත්සහයෙන් පසු ඔහුට  ලාච්චුව විවර කර ගැනීමට හැකි විය. 
පුස් ගඳ හමන ලාච්චුවෙහි පරණ  සගරා කිහිපයක් සහ ඩයරියක්  තිබිනි.. දිනුක ඩයරිය අතට ගෙන පෙරලා බැලුවේ ය.. මාත් එයට එබී සිටියෙමි.. 

ආශා ජයවර්ධන.

එහි මුල් පිටෙහි අයිතිකරුගේ නම එසේ සටහන්ව තිබිනි..

"ආශා..? 

නන්දන දන්නවද ආශා කියලා කෙනෙක්ව..මෙහෙ හිටපු කෙනෙක්ද.. "

මා පසෙක සිටි නන්දනගෙන් විමසුවෙමි..
නන්දන නැහැයි කියනවාත් සමගම දිනුක මෙසේ කීවේය.

"ප්‍රියන්ති නැන්දා  රට ගියාට පස්සෙයි නන්දන මෙහෙට ආවෙ. නන්දන හිටපු කාලෙ ඇතුලත කවුරුත් මෙහෙ හිටියෙ නැහැ නිලූ..

හ්ම්.හරිනෙ. ඔන්න දැන් ඔයාට  බයවෙන්න දෙයක් නැහැ.. "

දිනුක පිටත් වූ පසු මා එම දිනපොත  කියවීම සදහා අතට ගත්තෙමි.. 
තෙත මිශ්‍ර පුස් ගද ඒ තුලින් මගේ නැහැ පුඩු කරා ඇදිනි.. 
මා එහි පිටු පුරා නෙත් යැවීමි. එහි දිනපතා සටහන් දමා තිබුනේ නැත. අතරින් පතර වූ එම සටහන් මා කියවීමට පටන් ගත්තෙමි.

*********************************

1989 January 03 

මම අද මාමට කෝල් එකක් දීලා ඇහුවා මල්ලිව නතර කරපු ළමා නිවාසෙ ගැන. නිවුඩුව පන්සල පාරෙ.. හරියට ඇඩ්‍රස් එකක් එයාටත් මතක නෑ.. හෙට අනිද්දම ගිහින් හොයලා බලන්න ඕනෙ.

1989 February 05

නිවුඩුව ලමා නිවාසෙ හොයාගෙන ගියා මම. ඒත් මගදිම මට ආරංචි වුනා දැන් ඒ ලමා නිවාසෙ නෑ කියලා.. එතකොට මගෙ මල්ලි!! මම එයාව අන්තිමට දකිනකොට  යන්තම් වයස අටයි මල්ලිට.
මම ලමා නිවාසෙ තිබුන තැනටම ගියා. ගරා වැටිලා.. මේක වහලා ගොඩක් කල් කියලා හිතුනා දැක්ක හැටියෙම.. විස්තරයක් දැන ගන්න කවුරුත් හිටියෙත් නෑ. 
ඊට එහා පැත්තෙ තිබුන ගෙදරට මම  ගියෙ මොකක් හරි විස්තරයක් හොයා ගන්න. සීයා කෙනෙක් හිටියා.. දිගට හරහට මම ගැන ප්‍රශ්න ඇහුවට පස්සෙ තමයි ඒ මනුස්සයා මට ලමා නිවාසෙ ගැන විස්තර කිව්වෙ. 
ඒ මැඩම් ලමයි මරා ගත්තා කියලා තමයි ඒ පැත්තෙ මිනිස්සු කියනවා කියන්නෙ.. ඒ අපභ්‍රංශෙ මට තේරුනේ නෑ.. ඒ මනුස්සයා හරියට තේරුං කරන්න තරම් විස්තරයකුත් දන්නෙ නැහැ කියලා මට කථාවෙන් තේරුනෙ. 
අල්විස් මැඩම් කියලයි කිව්වෙ. වැඩිපුරම මේකෙ ඉදලා තියෙන්නෙ මල්ලි වගේ ආබාධිත ලමයි තමයි. සීයගෙ වචන වලින් කිව්වොත් දවසක් මැඩම් ලමයි ටිකත් අරන් අන්තරස්දාන වෙලා.. 
දෙවියනේ මට මගේ මල්ලිව හොයා ගන්න බැරි වෙයිද..

1989 February 06 

"ආබාධිත ලමයි ඉන්න අල්විස් මැඩම්ගෙ ලමා නිවාසය .." 

මේ පොඩි විස්තරෙන් මම කොහොමද ඒක හොයා ගන්නෙ. අනික ඒ අල්විස් මැඩම් ලමයින්ව කොහෙටද අරන් යන්න ඇත්තෙ.  

1989 February  06 

මට පුලුවන් විදිහට හොයන්න පටන් ගන්න ඕනෙ. හවස මට අයිඩියා එක ආවෙ. අපේ බැජ් එකේ හිටපු යාලුවන්ගෙන් උදව්වක් ගන්න පුලුවන්. දිස්ත්‍රික්ක විසි පහේම නැතත් ලංකාවෙ එහෙ මෙහෙ විසිරිලානෙ උන්. සමහරු මැරි කරලා.. සමහරු ජොබ් කරනවා.. මම දැන්ම පටන් ගන්නවා ලියුම් ලියන්න.. 

1989 February  09

මම දන්න විස්තරේ කියලා එහෙම ලමා නිවාසයක් ඒ පැති වල තියේද හොයලා බලන්න කියලා ලියුම් දැම්මා. උන් උදව් නොකර ඉන්නෑ. මම මගේ මල්ලිව කොහොම හරි හොයා ගන්න ඕනෙ..

1989 February  20 

එකක් දෙකක් ඇර, දාපු ලියුම් ඔක්කොටම රිප්ලයි ආවා. වැඩක් නැහැ.. කිසිම තොරතුරක් නෑ.. හැමෝම අහලා තිබුනෙ මොකද මම ලමා නිවාසයක් ගැන හොයන්නෙ කියලා..

1989 February  23

ආවා! සම්පත් ගෙන් ලියුමක් ආවා අද.. උඩවල පැත්තෙ ලමා නිවාසයක් තියෙනවලු.. ඒකෙ පාලිකාව අල්විස් කියලා කෙනෙක්.. ඒත් මේ මම හොයන අල්විස්මද කියලා දන්නෙ නැහැ.. මම හෙටම එහෙ යනවා..

1989 February  24

මම ඉස්සෙල්ලම ගියෙ සම්පත්ව හම්බවෙන්න. මම එයාට මගේ කථාව කිව්වා.. මට අර සීයා කියපු කථාත් එක්ක නිවාසෙ ලමයි ටිකත් අරන් මැඩම් ආපු සිද්ධිත් එක්ක සැකයක් හිතෙනව කියලයි එයා කිව්වෙ.. සම්පත් කිව්වා මේ ගැන එයාගෙ අයියගෙන් තොරතුරු අහමු කියලා.
සම්පත්ගෙ අයියා උපුල්. උඩවල  පොලීසියෙ ඕඅයිසී. අනික මේ මගේ මල්ලි හිටපු ලමා නිවාසෙද කියලත් හරියටම දන්නෙ නැහැනෙ. 
අපි උපුල් අයියට විස්තරේ කිව්වා.. මම හීනෙකින් වත් නොහිතපු කථාවක් අයියා කිව්වෙ. 

නිර්නාමිකව ඔත්තු ආවලු මේ ආබාධිත දරුවො වයසින් වැඩුනාම ඒ අයගෙ වකුගඩු වගේ අවයව විකුනන දේවල් මේකෙ වෙනවා කියලා. ඒත් ඔප්පු කරන්න ශාක්ෂි මුකුත් නැති නිසා අයියලට ඒ ගැන පියවරක් ගන්න බැරි වෙලා තාම. ඒ ලමා නිවාසෙ ඇමති කෙනෙක්ගෙ කියලත් කිව්වා. ඒක ඇහුවහම මම එතනම ඉන්ද වුනා.. දෙවියනේ මගේ මල්ලි! 
මම අද ඉන්නෙ මෙහෙ. සම්පත්ලගෙ මහ ගෙදර. නවතින්න හිතාගෙන නෙමේ මම ආවෙ. ඒත් මල්ලි ගැන මුකුත්ම නොදැන යන්න හිත දෙන්නෑ මට. සම්පත්ලමයි ඉන්න කියලා බල කලේ මට.. මේ අම්මා තාත්තා හරි හොදයි. 
සම්පත් කිව්වා හෙට මට නිවාසෙට යන්න එපා කියලා. එයා ගිහින් මගේ මල්ලි එයාගෙ නෑ කෙනෙක් විදිහට කියලා හොයලා බලන්නම් කියලා..

1989 February  25

මම උන්ගෙන් මේකට පලිය ගන්නවා මගෙ මල්ලිට කරපු අපරාදෙට.. ඇයි දෙවියනේ මම මගෙ මල්ලි ගැන හොයන්න මේ තරම් පරක්කු වුනේ.. නැතිවෙන්න තරම් මල්ලිට තිබුන අසනීපෙ මොකද්ද.. 

ඉන්පසු දිනපොතෙහි තිබූ සටහන්, දින පිලිබදව නොසලකා එක දිගට ලියා තිබිනි.

මම එදා ලමා නිවාසෙට ගියේ සම්පත්ලා එපා කියද්දිමයි. එතන වෙනදේ මට හොයා ගන්න ඕන වුනා.. මගේ මල්ලිට මොකද වුනේ කියලා මට හොයා ගන්න ඕන වුනා.. මම මැඩම් හම්බ වෙලා දහසක් බොරු කියලා එතන රස්සාව ගත්තා. මල්ලි ගැන මුකුත්ම කිව්වෙ නැහැ. ඩයරිය සම්පත් ලග තියලයි ගියේ. ඒ මිනිස්සුන්ට කිසිම සැකයක් නොහිතෙන්න මම පරිස්සම් වුනා..

මල්ලි වගේ ආබාධිත ලමයි දකිනකොට මට මල්ලිව මතක් වෙලා කදුලු ආවා.. 

වයසක ගෑනු කෙනෙක් හිටියා ලීලා කියලා. තට්ටයෙක් හිටියා කපිල කියලා.. ඒ ඇරුනම මැඩමුයි මමයි. ඒ ලමයින්ව බලා කියා ගන්න එක තමයි මට භාර වෙලා තිබුනෙ.. 
මේ ළමා නිවාසෙ පාලනය වුනේ නිශ්ශංක රත්නවීර ඇමතිතුමා යටතෙ කියලා මට දැන ගන්න පුලුවන් වුනා. දරුවන්ට හරියට කෑමක් ලැබුනෙ නැහැ.. ඉද හිටක දාන වගේ දේවල් හම්බ වුනා. එදාට තමයි දරුවන්ට හොදට කෑම වේලක් කන්න හම්බ උනෙත්. සමහරු මුදල් ආධාර දුන්නත් ඒවයින් දරුවන්ට නම් මුකුත් හම්බ උනේ නෑ.. මැඩම්ගෙ එකවුන්ට් එකට යන්න ඇති. 
මැඩම් පිටට පෙන්නුවෙ එක විදිහක් ඒත් අපිටත් දරුවන්ටත් තවත් විදිහක්. මම දරුවන්ව හරි ආදරෙන් බලා ගත්තා.. ඔක්කොම වැඩ කලා එයාලගෙ.. 
දරුවො විසි පහක් විතර හිටියෙ. එයාලට නිතර නිතර අසනීප වුනා. ඒත් එයාලා බෙහෙත් ගන්න යන්න එන්න  මට අවස්ථාවක් දුන්නෙම නෑ.. මැඩම් කපිල එක්ක අසනීප වුන දරුවව විතරක් අරන් ගියා. ස්පෙෂල් ඩොක්ට කෙනෙකුට පෙන්නනවා කියලයි කපිල කිව්වෙ.. 
  
නලින්ද කියලා අවුරුදු දහ නමයක දරුවෙක් හිටියා. මන්ද මානසික දරුවෙක්. මගේ මල්ලි හිටියනම් මීට වඩා අවුරුදු කීපයයි වැඩිමල්. මේ දරුවට බෙහෙත් දුන්නා නිතරම. බෙහෙත් දෙන්න භාර වෙලා තිබුනෙ මට.. මන්ද මානසික දරුවකුට මේ තරම් බෙහෙත් මොකටද කියලා මට සැක හිතුනා.. ඒත් කවදාකවත් මම එයාලගෙන් ප්‍රශ්න අහන්න ගියෙ නෑ. ඒත් සැකේටම මම ඒ බෙහෙත් වලින් පෙති පන්නලා සම්පත් ට ගෙනත් දුන්නා ඒවා ගැන හොයලා බලන්න කියලා.. 

මම මෙහෙ ආපු මුල් කාලෙ නම් මම යන එන තැන් ගැන පවා එයාලා හොද කල්පනාවෙන් ඉන්නවා කියලා මට තේරුනා.. ඒත් මම ටිකින් ටික මැඩම්ගෙ විශ්වාසෙ ගොඩ නගා ගත්තා. ප්‍රශ්න අහන්නැතුව වැඩ ටික හරියට කරන නිසා මාව හිතට ඇල්ලුවා එයාට.. 
මට බය වෙන්න එක දෙයයි තිබුනෙ. නිවාසෙට දානෙ ගේන අය අතරෙ මම අදුරන කවුරු හරි ඉදීද කියන එකයි.

මම සම්පත්ට හොයන්න දීපු පෙති වලින් අපිට හෝඩුවාවක් හම්බ වුනා.. වකුගඩුවක් දීපු කෙනෙක් බොන්න ඕන බෙහෙත් ඒවා.. ඒක අහපු ගමන් මාව වෙව්ලුවා.. එතකොට අර දරුවට මොන අපරාධයක් ද ඒ මිනිස්සු කරලා තියෙන්නෙ... 

මේ වෙනකොට සම්පත්, උපුල් අයියට මේ විස්තර හැම එකක්ම කියලා තිබුනෙ. 

ඔය අතරෙ නලින්දට ඔපරේෂන් එකක් කරන්න තියෙනවා කියල මැඩම්ලා ලෑස්ති වුනා. මට කිව්වෙ නලින්දගෙ හාට් ප්‍රොබ්ලම් එකක් තියෙනවා කියලා.. ඉතින් දවසක් එයාලා දරුවව අරගෙන ගියා..

ඔපරේෂන් එක අසාර්ථකයි නලින්ද නැතිවුනා කියලා තමයි කිව්වෙ.. මට හිතා ගන්න බැරි වුනා.. මේ හැමදේම පිටි පස්සෙ නිශ්ශංක ඇමතිතුමා ගෙ හයියක් ඇති කියලා අපිට සැක හිතිලා තිබුනෙ. 
කාලයක් ගෙවුනා.. දවසක් මැඩම් උමේශි ව කොහෙද අරගෙන ගියා.. ඒ දරුවත් මන්ද මානසික දරුවෙක්. මට කට වහගෙන ඉන්න බැරි වුනා. නලින්දට කරලා තියෙන දේ හිතා ගන්න පුලුවන් වුන මට ඒ උන දේ මතක් වෙත්දි තවත් බලන්න ඉන්න බැරි වුනා.. 
මම එදා මැඩම්ගෙන් ඇහුවා උමේශිව ගෙනියන්නෙ කොහෙද කියලා.. මමත් යන්න හැදුවා.. 
ඒ වහල යට වෙන දේවල් නොතේරි ඉන්න මමත් අඳ ගොලු දරුවෙක් නෙමේ කියලා මැඩම්ට තේරෙන්න ඇති. 
එදා හවස මැඩම් මාව එයාගෙ රූම් එකට අඩගහලා මට ලක්ෂෙක චෙක් එකක් දුන්නා. අපි සැක කරපු දැකපු හැමදේම ඇත්ත කියලා මැඩම්ගෙ කථාවෙන් මම දැන ගත්තා.. 
ඒ චෙක් එක ඒ ගෑනිගෙ මූනට විසි කරලා ඇවිත් පොලීසියට මේ හැමදේම කියලා කම්ප්ලේන් කරන්න තරම් මට තරහක් ආවා.. ඒත් සාක්ෂි එක්ක මුන්ව අල්ල ගන්න  මම ඉවසීමෙන් වැඩ කරන්න ඕනෙ කියන දේ නිසා මම බොරු පෙරේතකමක් පෙන්නලා චෙක් එක ගත්තා.. 
ඊට පස්සෙ මට හැම දේම දැන ගන්න පුළුවන් වුනා.. මේවට සම්බන්ධ ඩොක්ට ඩී ආර් අල්මේදා කියලා කෙනෙක්. 
දවසක් හවසක නිශ්ශංක ඇමතිතුමා ආවා නිවාසෙට. පැය ගානක් මැඩම් එක්ක කථා කර කර හිටියා.. මම ඒ මනුස්සයව දැක්කෙ එදාමයි. මහ වනචර මනුස්සයක්. මාව දැකලා එකේක ඒවා කිව්වා.
මැඩම්ට කිව්වා මම මෙහෙ ඉන්න ඕනෙ කෙනෙක් නෙමේ එයා ලග වැඩට එවන්න කියලා.. 

හෙට උදේ එයාගෙ වාහනයක් එවන්නම් කියලා කිව්වා මට එන්න... ඒ කියන දවසෙ තමයි උමේශිව ගෙනියන්නත් මැඩම්ලා ලෑස්ති වෙලා හිටියෙ. ඒත් ගෙනියන තැන මට දැන ගන්න බැරි වුනා... මොකද ඒ දවසෙ මම ඇමති ලඟ වැඩට යන්න ඉන්න නිසා එයාලගෙ ගමන ගැන මට කිව්වෙ නෑ.. 
මැඩම් නම් කැමති වුනේ නෑ මාව යවන්න. ඒත් ඇමතිගෙ ඉල්ලීම එයාට අහක දාන්න බැරි නිසා මාව යවන්න එකඟ වුනා..
එදා හවස මම ටවුන් ගියා එලවලු  ගේන්න කියලා.. මට ඕන වුනේ උපුල් අයියට ඔත්තුව දෙන්න. සම්පත් හම්බවෙලා හැම දේම කිව්වා.. හෙට ගමනෙදි උපුල් අයියලා මැඩම්ලව ෆලෝ කරයි.

1989 May 26

උදේ මැඩම් ගියා කපිලත් එක්ක උමේශිව අරගෙන. මට අද මෙහෙන් පැන ගන්න ඕන වුනා ඇමතියගෙ වාහනේ මාව ගෙනියන්න එන්න කලින්. 
මම ඒ දරුවො දාලා යනවා කියලා හිතෙනකොට මගෙ පපුව පිච්චුනා වගේ වුනා.. ඒත් එයාලව බේර ගන්න මම දැනටමත් ඔත්තුව දීලා තිබුනෙ. උපුල් අයියලා උන්ව කොටු කර ගනී සාක්ෂි එක්කම. 
ලීලා එහෙ මෙහෙ වෙනකන් ඉදලා මම එතනින් පැන ගත්තා. මම සම්පත්ව හම්බවෙන්න ගියා.. සම්පත් කිව්වෙ මම මේ වෙලාවෙ උඩවලින් ඈත ක ඉන්න එක හොදයි කියලා.. 

මම දහ අතේ කල්පනා කලා කොහෙද යන්නෙ කියලා.. මට ප්‍රියන්තිව මතක් උනා.. ස්කූල් කාලෙ මගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ්. මම එහෙ ගිහින් තිබුනා ඒ කාලෙ. මාදත්තෙ. මම උඩවල ස්ටේෂන් එකෙන් ට්‍රේන් එකේ මෙහෙ ආවා.. ප්‍රියන්තිලගෙ ගෙදර මම දැන් ඉන්නෙ.. රංවලව්වෙ.  ප්‍රියන්තිට වත් මම තාම විස්තරේ කිව්වෙ නෑ.. මට දැන් ඕනෙ අර මිනිස්සු පොලීසියට කොටු වුනාද.. මොකද වුනේ කියලා දැන ගන්න.. 

****************************

මට සුසුමක් හෙලුනේ ඉබේටමයි. එතැනින් පසු ආශාගේ දින පොතෙහි කිසිදු සටහනක් නොවූයේ ය. ඉන් පසු කුමක් සිදු වන්නට ඇත්ද.. ඇය දිනපොත ලිවීම නතර කලේ කුමක් නිසාද.. ඒ මිනිසුන්ගෙන් ආශාට අනතුරක් සිදුවූයේ ද.. එසේත් නැතිනම් දැන් ඈ සිටින්නේ කොහේද.. 

එසේ දහසකුත් ප්‍රශ්න මගේ සිතිවිලි මත සැරි සැරුවේ ය.
සවස දිනුක පැමිනි පසු මා එය ඔහුටත් පෙන්විමි. 

"කොහොම උනත් මටත් මේකෙ අවසානෙ දැන ගන්න ඕනෙ.. මම නැන්දට කෝල් එකක් දීලා අහන්නම් ආශා ට මොකද වුනේ කියලා.."

ආශාගේ නම සහිත ඩයරියක් නිවසින් හමු වූ බව පමනක්ම දිනුක නැන්දාට කියා ඇය ගැන විස්තර ඇසුවේ ය.. 

නැන්දා ආශා ගැන කියනු මා ද අසා සිටියෙමි.

"ආශාගෙ අම්මයි තාත්තයි දෙන්නම ඇක්සිඩන්ට් එකකින් නැති වෙලා තියෙන්නෙ එයා පුංචි කාලෙම. ආශාට මල්ලි කෙනෙක් ඉදලා තියෙනවා. එයා මන්ද මානසික දරුවෙක්. අම්මලා නැති වුනාට පස්සෙ දරුවො දෙන්නා ඉදලා තියෙන්නෙ එයාලගෙ මාමා ලඟ.. ඒත් මේ මාමට පවුලත් එක්කම රට යන්න හම්බවෙලා.. ඒ නිසා ආශාගෙ මල්ලිව ලමා නිවාසෙකට බාර දීලා ආශාව අපේ ස්කූල් එකේ හොස්ටල් එකේ නැවැත්තුවා. 

ආශාට වියදම් එව්වා ඒ මාමා. හොදට ඉගෙනගෙන ආශා කැම්පස් එහෙමත් ගියා. අවුරුදු ගානකට පස්සෙ දවසක අපේ ගෙදර ආවා. ටික කාලෙකට නවතින්න පුලුවන්ද ඇහුවා. එයාගෙ ලොකු වෙනසක් මම දැක්කා. ඒත් ඇහුවට මුකුත්ම කිව්වෙ නෑ.. නිතරම කල්පනා කර කර හිටියෙ. මොකක් හරි ප්‍රශ්නෙක එයා හිටියෙ කියලා මට තේරුනා..

ඊට දවස් තුනකට පස්සෙ උඩවල ගිහින් එන්නම් කිව්වා.. 
ඒ ගිය ගමන... එයා අපහු ආවෙ නෑ.. ආශාත් අම්මයි තාත්තයි වගේම ඇක්සිඩන්ට් එකකින් නැතිවෙලා තිබුනා එදා... "

ප්‍රියන්ති නැන්දා දිනපොතක් ගැන දැන සිට නැත.. ඇතැම් විට ආශා විසින් මෙය ලාච්චුවට දැමූ දිනයෙන් පසු කිසිවෙකුත් නැවත එය ගෙන නැතුවා විය හැක.

"දිනුක, මට නම් හොදටම ෂුවර් ආශාගෙ ජීවිතේ නැති කරපු එක අර ඇමතිගෙ වැඩක්. නැත්නම් මැඩම් කියන කෙනා කියලා කරවපු එකක්.."

"නිලූ, අපි මේ වීකෙන්ඩ් එකේ උඩවල යමු. අර ඕඅයිසී සර් ගෙන් විස්තර දැන ගන්න පුළුවන් වෙයි. "

සෙනසුරාදා උදෑසනම දිනුකත් මමත්  උඩවල බලා පිටත් වීමු. අප පලමුවෙන්ම ගියේ උඩවල පොලිස් ස්ථානයටයි.. 

"මීට අවුරුදු විසි හතකට විතර කලින් මෙහෙ උපුල් කියලා ඕඅයිසී මහත්තයෙක් හිටියා.. එයා ගැන විස්තරයක් දැන ගන්න පුලුවන්ද.."

දිනුක විමසුවේ ය.. 

"උපුල්.. "
පොලිස් නිලධාරියා මදක් කල්පනා කර එවැනි කෙනෙකු නොදන්නා බව පැවසුවේය.. ඔහු තවත් නිලධාරීන් දෙදෙනෙකුගෙන් ද විමසුවේය..

"ඒ සර්ගෙ මහ ගෙවල් මෙහෙ තමයි.. "

මා ඔවුන්ට පැවසූයෙමි.

"ආ ඔය කියන්නෙ ඕඅයිසී තිලකරත්න ගැන වෙන්න ඕනෙ. සර් නම් දැන් රිටය(ර්) වෙලා.. "

එතැන සිටි තවත් නිලධාරියෙකු පැවසුවේ ය.. 
අප ඔහුගේ ලිපිනය ඉල්ලා ගතිමු.. මීලගට අප ගියේ ඔහුගේ මහ ගෙදරටයි..

"මිස්ට උපුල්.."

"ඔව්.. ඒත් මම මේ කල්පනා කලේ...  මට ඔය ලමයින්ව දැකලා නම් නෑ.. එන්නකො ඇතුලට.. "

ඔහු විමසිලිමත්ව අප දෙස බලමින් පැවසුවේ ය..
ආශාගේ දිනපොත අප කියවූ තැන සිට අප ආශාගේ විස්තරය ඔහු හමුවේ පැවසුවෙමු. 

ම්ම්.. මගේ රස්සාවටත්  බලපාපු ප්‍රශ්නයක් ඕක.. ට්‍රින්කො වලට මාරුවක් හම්බ උනා ඒ කාලෙම. ඇමතිගෙ නියෝග වලට වුන දෙයක්.. "

"සර්, ආශාගෙ මරණෙ සිද්ද කරලා තියෙන්නෙත් මේ ඇමතිතුමා ද.."

මගේ සිතේ නැගී තිබූ ප්‍රශ්නය මා ඔහුගෙන් කෙලින්ම ඇසුවෙමි.

"ම්හ්.. නැහැ.. ආශාගෙ මරනෙ සිද්ධ වෙනකොටත් මම මෙහෙ.. එදා මගෙ හිතටත් ඔහොම සැකයක් ආවා තමයි.. ඒත් ඒක නිකන් ඇක්සිඩන්ට් එකක් විතරයි. ඒක මට ස්ථීරව කියන්න පුලුවන්. "

"එදා අපි ඔය කියන මැඩම්වයි ඩොක්ට අල්මේදා යි, කපිල ද කොහෙද කියලා මනුස්සයෙක්වයි ඇරෙස්ට් කලා.. ඒත් නිශ්ශංක ඇමතිතුමා ඇප දීලා උන්ව  බේර ගත්තා... මගේ මාරුව ආවෙ ඊට දවස් පහකට පස්සෙ.. "

"එතකොට සර් ඒ ලමා නිවාසෙ තාමත් තියෙනවද..."
දිනුක විමසුවේ ය..

"ඔය සිද්ධියෙන් අවුරුද්දකට පස්සෙ..  මගෙ මතකෙ විදිහට අනූ එකේ.. බෝම්බ සිද්දියක් වෙලා නිශ්ශංක ඇමතිතුමා මැරුනා.. ඔය ලමයි ගොඩක් පොඩි ඇති ඒ කාලෙ. ඒ නිසා මතකයක් නැතුව ඇති. නැත්තං ඒ කාලෙ පත්තරවල නිව්ස් වල හරි හරියට ගියා ඒ සිද්දියත්.

ඇමති මැරුනට පස්සෙ ලමා නිවාසෙ කර ගෙන යන්න විදිහක් නැතුව වහන්න වෙලා.. ලමයි ටික රජයෙ ආබාධිත පාසලකට දැම්මලු.. කොහොම හරි මම මාරුව හදාගෙන ආයෙත් මෙහෙ එද්දි ලමා නිවාසෙ වැහිලා.."

"එතකොට අල්විස් මැඩම්..? "
මා විශ්මයෙන් විමසුවෙමි.. 

"ඒ මනුස්සයා කොහෙ ගියාද කියන්න කවුරුවත් දැනගෙන හිටියෙ නෑ අවුරුදු ගානක් යනකන්.. අපේ මල්ලි සම්පත් මැරි කරේ ඩොක්ට කෙනෙක්ව.. 
ඒ නංගි කාලයක් වැඩ කලේ මහරගම හොස්පිට්ල් එකේ.. දවසක් එහෙ ගිය වෙලාවක මල්ලි දැකලා තියෙනවා ඔය කියන අල්විස් මැඩම්ව.. 
මල්ලිට හැඩරුව මතක තිබුනත් ස්ථීරයක් තිබිලා නෑ ඒ මනුස්සයමයි කියලා.. ඒත් නම හොයලා බැලුවම එයා තමයිලු.. පිලිකා රෝහලේ අවුරුදු කීපයක් විදව විදව ඉදලා මැරිලා ගිහින් කියලා තමයි පස්සෙ ආරංචි වුනේ." 

නීතියේ දඩුවම් වලින් බේරි බේරි හිටියට ස්වභාව ධර්මයේ දඩුවම් වලින් එයාලට බේරෙන්න බැරි වුනා දරුවො.. "

අප ඔහුගෙන් සමුගෙන මාදත්ත බලා පිටත් වීමු.. අපට මතුව තිබූ සියලු ප්‍රශ්න වලට පිළිතුරු ලැබූ බව පෙනෙන්නට තිබුනත්, තවත් එකම එක ප්‍රශ්නයක් මගේ සිතෙහි ඉතිරිව තිබිනි.. යන අතරමගදී මා එය දිනුකට ඉදිරිපත් කලෙමි..

"දිනුක..
ඔයාට හිතෙනවද ආශා ජයවර්ධන මේ ආත්මෙදි  මම වෙන්නැති කියලා.. "

"ම්ම්.. ඒක මට හරියටම කියන්න බැහැ නිලූ.. ඔයා එයාගෙ මේ ආත්මය  කියලා ඔයාට හිතෙනවද.. මම අහන්නෙ මේ සිදුවීම් ඔයාට සමීපයි කියලා හිතෙනවද.. " 
ඔහු මගෙන් විමසුවේ ය..

"නෑ. මට එහෙම හිතෙන්න බලපාපු එකම කාරණය අර හීනෙයි, මම වලව්වෙ නම කිව්ව එකයි විතරයි. ඔයා ඇහුවා වගේ ඒ සිදුවීම් වල හුරු ගතියක් මොනවත් දැනුනෙ නැහැ මට.. "

මට ආශා වෙනුවෙන් යමක් කිරීමට අවශ්‍ය විය.. මා එය දිනුකට පැවසුවෙමි..

"දිනුක.. අපි මාදත්තෙ ගෙදර දානයක් දෙමු.. ආශාගෙ මල්ලි, ආශා .. එයාලා වෙනුවෙන් එහෙම දෙයක් කරන්න කවුරුවත් හිටියෙ නැහැනෙ.. "

අවුරුද්ද අවසානයේ ප්‍රියන්ති නැන්දා නිවාඩුවට ලංකාවට ආ පසුවම උපුල් අංකල් , සම්පත් අංකල් ටත් ආරාධනා කර මාදත්තෙ ගෙදර එසේත් නැතිනම් රංවලව්වේ ආශාත් ඇගේ මල්ලීත් වෙනුවෙන් අපි දානමය පිංකමක් සිදු කලෙමු.. 

--------------------------------------------
(සමාප්තයි.)

Saturday, November 5, 2016

ගොක්කොල

සවස දේශනය අවසන් වී විශ්ව විද්‍යාලයේ සිට මා බෝඩිමට පැමිනෙමින් සිටියෙමි.. ඒ අතර තුර මගේ ජංගම දුරකථනය නාද වන්නට විය..
"හෙලෝ.. අම්මෙ..කියන්න.."
"මුතුමි, පුතේ මම දවල් ඉදලා ඔයාට ගන්න ට්‍රයි කරන්නෙ.."
"අම්මෙ මම ලෙක්චර් එකක හිටියෙ. මේ දැන් බෝඩිමට යන ගමන්.. අම්මේ.. ඇයි අම්මගෙ කටහඩ අමුතු වෙලා.. අම්මා අසනීපෙන්ද.."
"නැහැ පුතේ මේ.. තාත්තට ටිකක් අමාරු වුනා.. පුතාට පුලුවන් නම් ගෙදර ඇවිත් යන්න.. "
මා ඇත්තෙන්ම බියට පත් වුනෙමි. මාස දෙකකට පෙර තාත්තා රෝහල් ගත වී සිටිය ද අම්මා මට ඒ බව පැවසූයේවත් නැත. ඇය මට ඒ බව පැවසූයේ ඉන් සති දෙකකට පසු මා නිවසට ගිය අවස්ථාවේදීයි.. මට ඒ පිළිබඳ නොපැවසීම ගැන එදින මා ඇයට දොස් නැගුවෙමි..
"පුතාගෙ පාඩම් වැඩ ඔක්කොම නවත්තලා දුවගෙන එයි කියලයි නොකිව්වෙ.. අනික ඔයා පොඩි දේටත් මහ කලබලයක් වෙන දරුවනෙ.. "
මෙවර ඇය මට නිවසට එන්නට යැයි තකහනියක්ම පැවසීම මගේ සිතට බියක් ගෙන දුන්නේය..
"අනේ ඇයි අම්මෙ.. තාත්තට.. ගොඩක් අමාරුද.."
"ඔය ඉතින් ඔයා කලබල වෙලානෙ.. මම ලොකු මල්ලිව මඟට එවන්නං. පරිස්සමින් එන්නකො.."
මා කඩිමුඩියෙන් බෝඩිම වෙත දිව්වෙමි. අම්මා මට සඟවන යමක් ඇතැයි මට සිතේ.. මට අදම එන්න කිව්වෙ ඇයි. තාත්තට කරදරයක් වත්ද.. මගේ ගතම වෙව්ව්ලනු දැනේ.. වෙලාව සවස 3.30 පසු වූවා පමනි. හතරට පිටත් වන්නට හැකි වුවහොත් 6.30 පමණ වන විට නිවසට යා ගත හැක. මා අතට අසුවූ ඇදුම් කිහිපයකුත් බෑගයේ දමාගෙන් ඇද සිටි ඇදුමින්ම පිටත් වුනෙමි.
"අංජලී, අපේ තාත්තට සනීප නැහැලු.. මම ගෙදර යනවා හොදේ.. "
"මුතූ ඔයා ගොඩක් බයවෙලා වගේ.. තාත්තට ගොඩක් අමාරුලුද.."
"අම්මා වැඩි විස්තරයක් කිව්වෙ නැහැ අංජු.. මට එන්න කියලා කිව්වා.."
"ඔයා තනියම යන්න එපා.. මමත් එන්නම්.."
අංජලී කියුවා ය.
මගේ කටහඩෙහි තිබූ වෙව්ලීමත් ඇයට දැනුනු නිසාත්, යම් කිසිවක් සිදුවී ඇත්නම් කෙසේවත් එය දරා ගත නොහැකි වූ මා පිළිබඳව දන්නා නිසාත් අංජලී මා සමග පැමිනීමට සූදානම් විය.
ඇය එනතෙක් සිටියහොත් මට තවත් ප්‍රමාද වෙතැයි සිතුන නිසා මා ඇගෙන් සමුගෙන බස් නැවතුම වෙත පැමිණියෙමි.
"හොදයි. එහෙනම් ඔයා ගිහින් මට කෝල් එකක් දෙන්න හොදේ.."
අවසානයේ අංජලී මට තනිව යාමට අකමැත්තෙන් හෝ අවසර දුන්නාය.
බසයේ ගමන් ගත් පැය දෙකහමාර තුල මගේ ඔලුව විකාර සිතුවිලි වලින් පිරී යන්නට විය..  කුඩා සිදුවීමක් වුවද මට දරා ගත නොහැකි බව නිවසේ සැවොම දන්නා කරුනකි. ඔවුන් මේ මොහොතේ මට කුමක් හෝ සඟවන බව නම් පැහැදිලිය.. මා ලොකු මල්ලීට ඇමතුමක් ගන්නට සිතා නැවතත් එම අදහස අත් හැර ගත්තෙමි. නැත. ඔහුත් කිසිවක් කියන එකක් නැත.
මා ගමට පැමිනෙන විට මද අදුරක් පරිසරය වෙලා ගනිමින් පැවතින. හන්දියේ සිට නිවසට මීටර් දෙසීයක් පමන ඇත. වෙනදා ටවුමෙහි ඇති තීවීල් පොකුර අද දකින්නට නැත. ටවුම පාලුවට ගොස් ඇති සෙයකි. මා ලොකු මල්ලීට ඇමතුමක් ගන්නට සිතන විටම ඔහුගෙන් ඇමතුමක් මගේ දුරකථනයෙහි සටහන් විය..
"අක්කෙ ඔයා කොහෙද ඉන්නෙ.."
"මල්ලි,  මම ටවුන් එකේ. මේ බැස්සා විතරයි. තීවිලර් එකක් වත් නැහැනෙ අද.."
"අක්කෙ ඔයා ඔහොමම ඉන්න.  මම එන්නම්.."
තවත් යමක් කීමට ඉඩ නොතියා ඔහු ඇමතුම විසන්ධි කලේය..
මල්ලී එනතුරු සෙමින් ඉදිරියට යාමට මා සිතා ගත්තෙමි.
මොහොතකින් මට පිටුපසින් තීවිලරය හඩ ඇසුනි.. ගොක් අතු හරහට බැඳ ගත් ත්‍රීවිලරය මා පසුකර ගියේය.. ඒ පසුපසින් ගමන් ගත් මෝටර් බයිසිකලයේ වූ අයෙකු මත සුදු කොඩි මිටි විය..
මට තවත් අඩියකුත් ඉදිරියට යා ගත නොහැකි විය..
ගො..ක්..අ..තු..
ම..ළ..ගෙ..ද..ර..ක්.. ?
මගේ ශරීරයේ වෙව්ලුම මටම දරා ගත නොහැක.. මගේ දෑසින් කදුළු ගලත්දීම මට කෑ ගැසිනි..
ඒ මොහොතේම මට පිටුපසින් හඩක් ඇසුනි..
"මුතූ.."
මා පසුපස හැරී බැලුවෙමි..
"මධූ ඔයා.. ?"
මධුනි.. ඇයව දැකීම ඒ මොහොතේ මට වචනයෙන් කියා ගත නොහැකි අස්වැසිල්ලක් විය..
"අනේ.. මධූ කාගෙද මධූ මළගෙදර.."
"මළගෙදරක්? මම දන්නෙ නැහැනෙ.. "
ඇය විශ්මයෙන් විමසුවාය..
"දැන් ගොක් කොලයි සුදු කොඩි වගේකුයි අරන් වාහන දෙකක් ගියා.. "
"නැහැ මම දන්නැහැ මුතූ..
ඒක නෙමේ මොකෝ මේ ඇදිලා ගිහිල්ලා.. බෝඩිමේ කෑම හරි නැත්ද.. "
ඇය සැහැල්ලුවෙන් විමසන ප්‍රශ්න වලට පිළිතුරු දීමට මගේ සිත සැහැල්ලු නැත..
"මධූ, අපේ අම්මා කෝල් එකක් දුන්නා තාත්තට සනීප නැහැ කියලා.. අනේ තාත්තට ගොඩක් අමාරුද කියන්න.."
"ආ.. සරත් අංකල් ඔන්න අපේ දිහා ආවා හවස. අසනීපයක් නම් පේන්න තිබුනෙ නැහැ.. "
මගේ ඇගට ලේ පොදක් ඉනුවේ එවිටයි..
"ඒත් අම්මා කිව්වෙ අසනීපයි කියලා.."
මා තවත් ඒ පිළිබඳ සිතන්නට නොවෙහෙසුනෙමි. තාත්තාට කරදරයක් නැතිනම් එච්චරය. මා මෙතෙක් වෙලා බියගෙන දඟලා ඇත්තේ බොරුවටයි.. මා සැනසුම් සුසුමක් පිට කලෙමි.
"ම්ම්.. ඒක නෙමේ මොකෝ මේ සුදු සාරියක් ඇදලා.. පන්සල්වත් ගියාද.. ඒත් තනියම.."
මා විමසුවෙමි.
"ඔයා බයවුනා නේද.. හිහී..
මොකෝ මම එනකොට කෑ ගගහා හිටියෙ.. "
ඇය මගෙන් ප්‍රශ්න කලාය..
"නැහැ අනේ.. අම්මා කලබල වෙලා කෝල් එක දුන්නෙ තාත්තට සනීප නැහැ කියලා.. මම බයවෙලා මේ දුවගෙන ආවෙ.. ඒ අස්සෙ අර ගොක් කොල ගෙනියනවා දැක්කම මට තවත් බය හිතුනා.."
බොහෝ කලකින් මුන ගැසුනු නිසා මධූටත් මටත් කථා කිරීමට බොහෝ දේ තිබිනි. අප කථා කරමින්ම පැමිනියෙමු.. මධූ පෙර පාසල් අවධියේ සිට මගේ මිතුරියයි. ඒ මිතුදම අද වන තුරුත් දශමයක් හෝ අඩු නැත.
ලොකු මල්ලී ඈතින් එනු පෙනේ..
"මුතූ, මම සෝමෙ මාමලගෙ කඩේට යන්නත් ඕනෙ.. මල්ලි එනවනෙ ඔයා යන්න එහෙනම්.. "
"හරි එහෙනම්.  මම හෙට හවස ඒ පැත්තෙ එන්නම්කො හොදේ.."
මා ඇගෙන් සමු ගතිමි.
ඇය සෝමෙ මාමලාගේ කඩේ දෙසට ගියාය.  ලොකු මල්ලී හති දමමින් මා ඉදිරියට පැමිනියේය..
"බයික් එක ස්ටාර්ට් වෙන්නැතුව ගියා අක්කෙ. මෙච්චර වෙලා ඒක ට්‍රයි කරා.. ඒ පාර එහෙමම දාලා ආවේ.. මම අක්කට කිව්වනෙ එතන ඉන්න කියලා.. මේ කරුවලේ තනියම ආවෙ.. "
මල්ලී එක දිගට කියවගෙන ගියේය..
"තනියක් වුනේ නෑ ලොකු මල්ලි. මගදි මධූව හම්බ වුනා.. සෝමෙ මාමලාගෙ කඩේ ලඟට වෙනකන් එයත් ආවා.. "
"මධූ කියන්නෙ.. ?"
මල්ලී විශ්මයෙන් විමසුවේ ය.
"ඇයි අනේ අපි දන්න මධුලා ගොඩක් ඉන්නවද.. මගේ යාලුවා. මධුනි. "
මල්ලී විසල් කරගත් දෙනෙතින් මා දෙස බලා හිද සෝමෙ මාමලාගේ කඩේ දෙස බැලුවේය..
"අනේ මල්ලි තාත්තට දැන් කොහොමද.. මොකෝ අම්මා බයෙන් වගේ කථා කලේ.. "
ආ.. තාත්තා.. ඔව්.. දැන් අඩුයි අක්කෙ.. උදේ ටිකක් පපුවෙ අමාරුයි කිව්වා.." 
මල්ලි හැරි හැරී පිටුපස බලයි.
"හේයි. අම්මා හරි චන්ඩියෙක්නෙ මාව එක්කන් එන්න එවලා තියෙන්නෙ.. මොකෝ මේ බය වෙලා.. කරුවලට තාමත් බයද අපේ ලොකු මල්ලි.. "
ඔහුගේ හැසිරීම දුටු මා විහිලු කලෙමි. ලොකු මල්ලී කුඩා කල සිටම කරුවලට බය ය.
මා නිවසට ගොඩ වන තුරු අම්මා මග බලා සිටියා ය..
"මේකට මම කිව්වා ස්ටාර්ට් වෙන්නැත්තං පයින් හරි යන්න කියලා.. කොහෙද .. දූ තනියමම එනකන් මේකා මෙතන.."
අම්මා ලොකු මල්ලී ට දොස් කියුවා ය..
"කෝ අම්මෙ තාත්තා.."
තාත්තා පෙනෙන්නට නොවූ නිසා මා විමසුවෙමි..
"තාත්තා... මේ... තාත්තා මධූලගෙ ගෙදර ගියා පුතේ.. "
"ආ ඔව්නෙ. මධූ මට කිව්වා තාත්තා හවස එහෙ ආවා කියලා.. "
මා කීවෙමි.
"මධූ කිව්වා.. ?"
අම්මා විශ්මයෙන් විමසුවාය..
"ඔව්. මගින් හම්බුනා.. එයත් එක්ක ආවෙ මම.  සුදු සාරියක් එහෙම ඇඳලා.. කෙල්ල ඇදිලා ගිහිල්ලා අම්මෙ.. චූටි කාලෙ ජම්බු ගෙඩිය වගේනෙ.. මතකද අම්මට.."
මා අතීතය මතක් වීමෙන් නැගුනු සෙනෙහසින් කීවෙමි..
තාත්තා එනතුරු සිටින්නට මට  නොහැකි විය. ඇග සෝදා ආහාර ගත් පසු නින්ද මා වැලද ගත්තේය..
මා උදෑසන අම්මා අවදි කරන තෙක්ම නිදාගෙන තිබිනි..
"තාත්තෙ! "
තාත්තාත් මගේ කාමරයට පැමින සිටියේය.. ඔහුගේ  මුහුනෙහි බැරෑරුම් බවක් විය..
"පුතා ඊයෙ රෑ ආවෙ මධූ එක්කද.."
තාත්තා විමසුවේ ය..
"ඔව්. ඇයි තාත්තෙ.."
අම්මාත් තාත්තාත් මුහුනට මුහුන බලා ගත්තෝය.
"පුතේ.. මේක අහලා කලබල වෙන්න එපා.. ඔයාගෙ යාලුවා මධූ.. මධූ ඊයෙ උදේ ඇක්සිඩන්ට් එකකින් නැතිවෙලා. මට අසනීපයි කියලා පුතාව ගෙන්න ගත්තෙ පුතා කලබල වෙන නිසයි.. "
මට ඇසුනේ එපමනය.. මගේ ඔලුව කැරකෙන්නාක් මෙන් විය..
මධූගේ අවසන් කටයුතු කෙරුනු දිනයක් පවා මා දන්නේ නැත..
ගො..ක්..කො..ල..
මා  උන විකාරයෙන් කියවමින් ගෙවුනු දින කිහිපය ඇතුලත මගේ මිතුරියගේ..මගේ හොදම මිතුරියගේ අවසන් කටයුතු සිදුව තිබිනි.. ඇය සදහටම අපෙන් සමු ගෙන තිබිනි.
මා නැවත යථා තත්වයට පත් කර ගැනීමට අම්මාටත් තාත්තාටත් හැකිව ලැබුනේ කට්ටඩියකුගෙන්ද සහය පැතීමෙන් අනතුරුවයි.
-නිමි-
~මුදිතා ප්‍රභානි ගුණරත්න.~

Tuesday, November 1, 2016

අඟහරු බලා....

Date :- 2201.10.17
@ SpaceX Center ,kottez, srilanka.



මා මෙතෙක් ගත කල ජීවිතයේ සුවිශේෂම දිනය අද.. අපගේ SpaceX ආයතනය මගින් අඟහරු වෙත යැවීමට නියමිත ප්‍රථම යානය වන miss.col-4 යානයේ සාමාජිකයන් සිව් දෙනාගෙන් අයෙකු වීම මා ලද භාග්‍යක්!

මම
එරා.



මා කේව්ප් සමාජ ජාලා වෙබ් අඩවියට මගේ හඩ පනිවිඩය ඇතුල් කලෙමි. එය වොයිස් ආකාරයෙන් සටහන් විය. අකුරු ලෙස පරිවර්තනය වී සටහන් වන්නට ගත වූයේ මිනිත්තුවකි..
"වාව්! ටයිම් එක තවත් අඩුවෙලා.."

මීට අවුරුදු එකසිය පනහකට පෙර අතීතයේ ෆේස්බුක් නම් සමාජ ජාල අවවියක් තිබී ඇති බව මා අසා ඇත්තෙමි. එහි තිබී ඇත්තේ පනිවිඩ ටයිප් කිරීමක්ලු..
අපොයි. ඒ කාලෙ මිනිස්සුන්ට කොච්චර එපා වෙන්න ඇත්ද. ටයිප් කර කර ඉන්න.. නිකන් කාලෙ යනවා..
ම්.. යානය පිටත් වීමට තව මිනිත්තු එකසිය විස්සක පමන කාලයක් ඉතිරිව ඇත.
ඇත්තෙන්ම අඟහරු මත මුල්ම ජනාවාසය ආරම්භ වූයේ මීට අවුරුදු අසූවකට පමණ පෙරයි. ඒ වන විට ලංකාවේ මෙවැනි අභවකාශ මධ්‍යස්ථානයක් වත් තිබී නැහැ. මේ SpaceX අභ්‍යාවකාශ මධ්‍යස්ථානය ආරම්භ වී ඇත්තේ මීට වසර 30 කට පෙර. මා ඉපදී වත් නැහැ. සියලු අත් හදා බැලීම් වලින් පසුව අඟහරු මත ජීවත් වන්නට මුල්ම වරම් ලැබූ ජනතාව රුසියානුවන්‍ ය. ඉන් පසු විවිධ රට වලින් එහි පංදිචිය සදහා පිරිස් යැවූහ. මේ වන විට අඟහරු මත දස දහසකට ආසන්න පිරිසක් ජීවත් වේ. ඉදිරි මාසය ඇතුලත ලංකාවෙන් එහි යැවීමට නියමිත සිය දෙනා යැවීමට පෙර පරීක්ෂණ නිලධාරීන් ලෙස අප සිව් දෙනා අද එහි පිටත් වේ.. මෙම තිස් අවුරුද්ද පුරාවටම අප මධ්‍යස්ථානයෙන් චන්ද්‍රයා, සිකුරු ඇතුලු ග්‍රහලෝක වෙත පරීක්ෂන යානා යවා ඇත. නමුත් අඟහරු වෙත පුද්ගලයන් සහිතව යවන ප්‍රථම යානය වන miss.col-4 හි පරීක්ෂන සාමාජිකාවක් වීම ඇත්තෙන්ම මගේ භාග්‍යකි.
යානය පිටත් වීමට තව ඇත්තේ මිනිත්තු 60 ක් බවත්, නිෂ්,ශාරි,නිම් හා මට යානයට ගොඩ වන ලෙස මගේ අත පැලදි ග්‍රේස් වලලෙන් පණිවිඩයක් නිකුත් විය.. යානයේ පාලන කටයුතු අපට වසරකටත් අධික කාලයක් පුරා පුහුණු කරන ලදී.. නිෂ් විසින් පාලන මැදිරි සංඥා ක්‍රියාත්මක කරන ලදී..

යානයට පොළොවෙන් පිටත් වන්නට අවශ්‍ය වේගය ලබා දෙන්නේ බාහිරව සවි කරන රොකට් වලිනි. යානය පෘථිවිය වටා කක්ෂ ගත කර වාර කිහිපයකින් වෙනත් යානා වලින් ඉන්ධන සහ වෙනත් භාණ්ඩ සෑම දෙයක්ම යානාවට පිරවීම මෙහි ක්‍රමයයි.
අප සිව් දෙනාටම කාර්යන් බෙදා වෙන් කර දී ඇති අතර අනෙක් තිදෙනාගේ කාර්යන් පිළිබඳ මනා දැනුමත් අප සතු විය යුතුය.
ශාරි, නිම් සහ මම වයස 24,21,23 වූ ගැහැනු ලමුන් වූ අතර නිෂ් අප යානයේ ගමන් ගත් එකම පිරිමි ලමයායි. ඔහුට වයස 23 විය. අපේ සහයට වූ රොබෝ සේවක අඹා විය. රොබෝ ටෙක් කොලේජ් හි උපත ලැබුනු අඹා, වැඩි දියුනු කර අප miss.col-4 හි සේවය සඳහා එවන ලදී. අප සිව් දෙනා සතු කාර්ය වූයේ පෘතුවියේ සිට අඟහරු දක්වා ගමන් පථයේ සාර්ථක ගමනක් පිළිබඳ තහවුරු කර ගැනීමයි.
අප මෙලෙස ගමන තහවුරු කර නැවත පැමිනි පසු, නැවත අඟහරු වෙත ශ්‍රී ලාංකිකයින් සිය දෙනා රැගෙන එන ගමනට නිශ් සහ ශාරි තවත් නිලධාරීන් සමග නැවත සහභාගි වීමට නියමිතය... එම නිසා යානයේ පාලන කටයුතු වලින් වැඩි කොටසක් ඉටු කිරීම ඔවුන් දෙදෙනා සතුය..
අප අත් පැලඳි ග්‍රේස් වලින් පනිවිඩය නිකුත් විය.. අප සිව් දෙනා යානය තුල වූ කුඩා කුටිය වෙත ගමන් කර ඔක්සිජන් ආවරණ පැලඳ ගතිමු. යානය පෘතුවියෙන් ඉවතට යාමේ සිට කක්ෂ ගත වන තුරු අප සිටිය යුත්තේ එහිය.. ග්‍රේස් වලලෙන් හඩ නිකුත් විය..


9...8...7...6...5...4...3...2...1
අප පෘතුවියෙන් ඈතට යමින් පැවතුනි..
යානය කක්ෂ ගත වීමට තවත් මිනිත්තු පහලවක පමන කාලයක් ගතවේ.. එතෙක් අප එම කුටිය තුලම සිටිය යුතුය.
යානය කක්ෂ ගත වූ වහා අප ඉන් ඉවත්ව යානයේ පාලන මැදිරියට පැමිනියෙමු.. ඉන්ධන හා භාන්ඩ අනෙක් යානා වලින් අප යානාවට ලබා ගත්තේ එහිදීයි.
Miss.col-4 ඔබට අපව ඇසෙනවද..!!
පාලන මැදිරියෙන් නිකුත් වූ හඩට ප්‍රතිචාර දැක්වූයේ නිෂ් ය.

පෘතුවියේ සිට අගහරු බලාාා.....

මා කෑ ගසා කීවේ ඒ අත්දැකීමේ සතුටින් හදවත පුරවා ගෙනයි..

~මුදී~

Wednesday, October 26, 2016

සපත්තුව

නොසිතූ මොහොතකම මහ වැස්සක් කඩා වැටෙන්නට විය..

"ෂික්. මගෙ වෙලාව.. තව චුට්ටක් කලින් ඔෆිස් එකෙන් පැන ගන්න හම්බුනා නං මෙලහකට බස් එකේනෙ.."

මා මටම මුමුනා ගතිමි. මගේ මේ නොරිස්සුමට එකට එක කිරීමට මෙන් වැස්ස තව තවත් තම බල පරාක්‍රමය පෙන්වන්නට පටන් ගත්තේය.. මා සාරිපට බදවටා කරකවා අනෙක් කෙලවර ඉනට යට කොට ගත්තෙමි.. කුඩය ඉහලා ගත්තද එයටත් වැස්සේ තද බව දරා ගත නොහැක. 

"දැන් ඉතින් මොනවා කරන්නද.. හෝල්ට් එකට යන්න අමාරුයි මෙහෙම. අර කඩ කෑල්ල ඉස්සරහින් වත් ඉන්නවා වැස්ස අඩු කරනකන්." 

එසේ සිතමින්ම මා දුවගෙන විත් කඩයට ගොඩ වීමි.. කුඩයෙන් හිස ආවරණය වුවත් ගතම වැසි දියෙන් තෙමී ඇත. උරහිසට පිටුපසින් බලමින් සාරියෙහි වතුර ගසන්නට දැරූ උත්සහයේදී දුටු සාරියේ මඩ පැල්ලම් මගේ මතකයට ගීතයක පද එක් කලේය..

ඔබ තෙමෙයි කියා බයයි
වැසි වසී සුලං තදයි
කුඩයට ඔරොත්තු නොදෙයි
සාරිය පිට මඩ ඉහෙයි..

වැස්ස පිලිබඳ නොරිස්සුම් ගෙන තිබූ මගේ මුවෙහි ගීතය මතක් වීමෙන් සිනහවක් ඇදිනි.. 

"ම්ම්.. කවුරු මම ගැන එහෙම හිතන්නද.." 

මා මටම කියා ගතිමි.. 
වැස්සෙන් බේරීමට තම තමන්ට සෙවනක් සොයා දිව යන මිනිසුන් අතරේ එවැනි කෙනෙක් සිටින්නට  හැකිදැයි මා සිතුවෙමි.. 

"මුතුමි, ඇයි බං තාමත් උබට බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් නැත්තෙ?"

නෙරංජි දිනක්  මගෙන් ඇසුවාය..

"ම්ම්.. හිතට හරියන කෙනා තාම හම්බ වුනේ නැහැ අනේ.. ඉරණම්කාරයා හම්බවෙනකන් ඉතින් මම බලන් ඉන්නවා.."

"උබ නම් මොන ජාතියෙ කෙල්ලෙක්ද කියලා මට හිතාගන්න බෑ.. සුරංගනා කථා වල වගේ ඉරණම්කාර කුමාරයා මකරෙක් එක්ක ෆයිට් කරලා.. ටවර් එකක් නැගලා.. එහෙම නැත්නම් උබේ සපත්තුවත් උස්සගෙන ඉස්සරහට එයි කියල බලන් ඉන්නවද.. ඇයි බං මේ ඔෆිස් එකේම කී දෙනෙක් උබ ගැන ඉන්ටරෙස්ට්ද.. ඒ කවුරු හරි ගැන හිතපංකො. "

එවිට මා සිනා සී හෙමින් වෙනත් කථාවකට මාරු වන්නෙමි. 

නැහැපුඩු ඉවසුම් නොදෙමින් ගලා ආ පොල් රොටී සුවද මගේ සිතුවිලි වලට හරස් විය.. පොල් රොටී!! වහින වෙලාවට කන්න නියම කෑම. ලුනු මිරිස් සමග පොල් රොටි මතක් කල සිත නිසා මුවට කෙල ඉනුවේය.. 
වැස්ස ටිකක් තුරල් වී ඇත.. කුඩය ඉහල ගත් මා හෝල්ට් එක වෙත පියමං කලෙමි. 
එක් වරම මා දෙසට  කැපූ මෝටර් රථය නිසා මා පසෙකට විසි වීමි.. පය ලිස්සූ නිසා ගැලවුනු සපත්තුව අසල වේගයෙන් ජලය ගලා යමින් තිබූ කානුව තුලට විය.. මේ මහ පාර නොවේ නම් මා කෑ ගසා හඩමි.  වැස්සෙන් ලැබූ අඩම්තේට්ටම් මදිවට සපත්තුවත් අහිමි වී ඇත. කකුලෙහි මඩ තලියකි. මා බොහෝ ඇළුම් කල සපත්තු යුවල.. ඵලක් නුවූවත් තම සගයා අහිමි වූ අනෙක් සපත්තුව දමා යාමට මට සිත් දුන්නේ නැත. හැකි ඉක්මනින් හෝල්ට් එක වෙත යාම හැරෙන්නට අන් විකල්පයක් නැත. 

දෑස් කොනකට ගලා ආ කදුලු බිදු වැසි දියටම එක් වන්නට ඉඩ දී මා ගමන් ගතිමි. 
හෝල්ට් එකෙහි පියස්සෙන් වැටෙන ජල පහරට කකුල අල්ලා සෝදා ගතිමි. කුඩා කල නිවසේ දී අප්පච්චීට හොරෙන් මල්ලීත් මමත් වැහි පීල්ලට කකුල ඇල්ලූ සුන්දර අතීතය මගේ මතකයට නැගුනි.
තරුණ යුවලක් හැරෙන්නට කිසිවෙකුත් හෝල්ට් එකෙහි නොවීය.. මා පැමිනීමට මොහොතකට පෙර බස් රථය පිටවී ඇත. තව කොපමන වෙලා සිටින්නට සිදුවේද.. 
මා සාරිය පහතට අදිමින් නිරුවත් යටි පතුල් වසා ගන්නට උත්සහ කලෙමි. මේ වැස්සේම සපත්තු කඩ සොයා පාවහන් වලින් තොර දෙපා වලින් ඇවිද යන ලැජ්ජාවට වඩා මෙය හොදය. බසය පැමිනි පසු බෝඩිම ලගින් බැසීම පමනකි..
වැස්සට මෙසේ සෙල්ලම් කිරීමට මාවම අවශ්‍ය වූයේ ඇයි දැයි කෑ ගසා හැඩීමට මට සිතිනි. 

මොහොතකින් දීප්තිමත් නිල් පැහැති මෝටර් රථයක් හෝල්ට් එක ඉදිරියේ නැවැත්වීය.. මා සමග සිටි යුවල හදුනන අයෙකු විය යුතුයි. 
'ඔව්. මේ මහා වැස්සේ මගේ තනියට හෝ සිටි ඔවුන් දෙදෙනාත් පිටත් කර යවා මා තවත් තනි  කරන්න.' :'( 
මා වැසි සවස ගැන තවත් කලකිරුනෙමි.. 

'කුමක්ද.. ඔහු පැමිනෙන්නේ මා දෙසටය..'

 "මිස්ගෙ සපත්තුව නේද.. "

පුදුමයකි.. කානුවෙහි  ගසාගෙන ගිය මගේ අනෙක් සපත්තුව ඔහු අතේය.  මට එක්වරම කිසිවක් සිතාගත නොහැකි විය.. 
ඔහ්. හෝල්ට් එකට එමින් සිටියදී මා දෙසට කැපූ මෝටර් රිය මෙය බව මගේ මතකයට නැගුනි. 

"එක පාරටම පිටිපස්සෙන් ඉස්සර කරපු වාහනේ නිසා මට අයිනට කපන්න වුනේ.. මිස්ව ලිස්සලා සපත්තුව වැටෙනවා මම දැක්කා.. ඒත් මිස් එතැනින් යන්න ගියා මම එනකොටම.. කානුව පහල රැදිලා තිබුනා මේ සපත්තුව.. එක්ස්ට්‍රීම්ලි සොරි.."

මා අසා සිටියෙමි.. මා ඉදිරිපිට නොනවත්වා කථා කරන අපූරු තරුණයා දෙස බලා උන්නෙමි.. වැස්සේ මුරන්ඩුකම් වලින් ගල් වී තිබූ මගේ හදවත ඔහුගේ වචන වලින් උනුසුම් වන්නාක් මෙන් දැනුනි.. ඔහු තව තවත් කථා කරනවා නම් යැයි මගේ හදවත ඉල්ලා සිටියේය..

තවමත් සපත්තුව අතට නොගත් මා දෙස ඔහු විශ්මයෙන් බලා සිටී.. මා යලිත් පියවි සිහියට එලඹුනෙමි. 

"අහ් ඉට්ස් ඕකේ. තෑන්ක්‍ යූ." :)

මා එය අතට ගැනීමට උත්සහ කරන විටම..

"චුට්ටක් ඉන්න.. මිස් එරුනු වෙලාවෙ ගෑවුන මඩ ටිකක් තියෙනවා.. "

ඔහු එය වැහි පීල්ලට අල්ලා සිටියේය.. එහි ඇලී තිබුනු මඩ තට්ටු වැසි දිය වැටීමෙන් දියවී යනයුරු මා බලා සිටියෙමි... 

එක පිට එක වැස්ස කල අඩම්තේට්ටම් වලින් දොම්නස් ව තිබූ මගේ සිතත්, ඒ මොහොතෙහි වැසි දියෙන් මඩ ඉවත්ව බැබලෙමින් තිබූ සපත්තුව මෙන්  විය.. 

නිමි.

Monday, September 26, 2016

මවක් නොහඳුනන්නී.. 01 කොටස

මවක් නොහඳුනන්නී.. - 01 කොටස
හැදින්වීම :-
දරු සෙනෙහසක් පිළිබඳ කථා කිරීමක් මේ කථාංගය මගින් සිදු කරමි.. මවකගේ හැඟීම් ගැන කථා කිරීමට මා කුඩා වැඩියයි යමෙකුට සිතිය හැක.. නැත.. ඕනෑම කාන්තාවක් තුළ මවක් ජීවත් වේ.. ඇගේ ආත්මය පුරාම ඒ මව ජිවත් වේ.. ඇතැම් විට සොයුරියක්, යෙහෙලියක් බිරිදක් ලෙස සෙනෙහසින් ඔබව රැක ගන්නේ ඒ මව් ගුණයයි.. කාන්තාවක් ඈ සතු දස්කම් මතින් ඉදිරියටම යා යුතුය.. මා එය හදවතින්ම අනුමත කරමි. නමුත් විවාහ ජීවිතය මවක බිරිඳක ලෙස ඇය තමාගේ චරිතය මනා ලෙස තේරුම් ගත යුතුය.. ගයානිගේ සහ ශානිගේ ජීවිත තුලින් මා ඔබට කියාපාන්නට උත්සහ කරන්නේ එයයි...
*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*
"ගයානි මට අර KSO ගෲප් බිල්ඩින් එකේ නෙට්වර්ක් පොජෙක්ට් එකේ රිපෝර්ට් එක පුලුවන් ඉක්මනට හදලා ගෙනත් දෙන්න.. "
මා පුදුමයෙන් මිස්ට සුජීව දෙස බැලුවෙමි..
"සර් මම ඒක උදෙන්ම සර්ට ගෙනත් දුන්නනෙ... "
"ඔහ්. මේ දවස් වල මගෙ කල්පනාව නම්! ඕකේ. ගයානි යන්න."
මිස්ටර් සුජීව.. ගෙට්වේ ලංකා හි අධිපතිවරයායි.. ඔහු මෙලෙස සිහිමද අයෙකු සේ කටයුතු කරනු දැකීම දැන් දැන් නිතර සිදු වන්නකි..
දිනක් මා ප්‍රොජෙක්ට් ප්ලෑන් එකක් සාකච්චා කිරීමට ඔහු හමුවට එනවිට සුජීව මේසය මත හිස තබාගෙන සිටියේය..
"සර්... "
මා කටහඩ අවදි කලෙමි..
"අ.. ගයානි එන්න.. "
ඔහු හිස එසවූයේ රත් පැහැ දෙනෙත් පිසදා ගන්නා ගමන්ය..
"සර්...මොකක් හරි ප්‍රශ්නයක්ද? "
මා විමසුවේ ඔහුගේ එම පෙනුම දැක දැකත් නොඅසා සිටින්නට බැරි නිසාමය..
"නැහැ ගයානි.. මේ පොඩි හෙඩෙක් එකක්.."
එදින මා ඔහුගෙන් මදක් හෝ බල කර ඇසුවේ නම් ඔහුගේ ගැටළුව මට කියා පාන්නට තරම් ඔහු ඉදිරිපත් වන තරමට ඔහුගේ මනස ඒ මොහොතෙහි දුර්වල බව මට හොදින් වැටහිනි.. නමුත් මා ප්‍රතිපත්තියක් වශයෙන් මගේ සැමියාගේ හැර වෙනත් පිරිමින් ගේ ජීවිත වල දුක බෙදා ගන්නට නොයමි.. එදින මා එතනට පැමිනි රාජකාරිය නිමකරගෙන එතැනින් පිට වුනෙමි..
මිස්ට සුජීවගේ පෞද්ගලික ජීවිතය අප සැවොම ඉදිරියේ ගෙනහැර දක්වන්නේ නිලූ ය.. ඇය මිස්ට සුජීවගේ නිවසට නිවෙස් දෙකක් ආසන්නයේ ජීවත් වන්නියකි..
"ගයානි මැඩම් දන්නවද... අපේ සර්ට ඩිවෝස් එක හම්බ වෙලානෙ.. අම්මෝ අර යක්ශනීගෙන් දරු පැටියයි සර්රුයි බේරුනා.. දරුවගෙ අයිතිය උසාවියෙන් සර්ට හම්බ වෙලා තියෙන්නෙ.. ඒත් මේ ගෑණි එක කදුලක් එලියට දැම්මෙ නෑලුනෙ.. අනේ මෙහෙමත් අම්ම කෙනෙක්.. "
මා නිලූගේ කථා අසන්නට නොයමි.. එහෙත් ඇගේ මේ පුවත් අසා සිටින්නට ඕනෑ තරම් අය අප ආයතනයේ සිටී..
මා ප්‍රොජෙක්ට් මැනේජර්වරියක ලෙස ගෙට්වේ ලංකා වෙත පැමිනෙයේ මීට වසර දෙකකට පෙරයි.. ඒ කාලය මිස්ට සුජීව විවාහ දිවියට ඇතුලත් වූ අලුතයි.. එදා සිට අද වන තෙක් ඔහු ගේ ජීවිතයේ සිදුවූ වෙනස් වීම් සියල්ල මා දුටුවෙමි..  තම පරම්පරාවෙන් උරුම වූ ව්‍යාපාර වලට අත නොතබා ඔහු තමාගේම ව්‍යාපාරයක් කුඩාවට ආරම්භ කලේය.. අපගේ ගෙට්වේ ලංකා හි ඇරඹුම එලෙසයි..
එකල මෙහි සේවය කල ශානිකා නම් තරුණිය හා සුජීව සර් අතර ප්‍රේම සම්බන්ධයක් හට ගෙන ඇත.. ඔවුන් දෙදෙනාගේ මේ එකතුව ගෙට්වේ ලංකා ව්‍යාපාරය මෙසේ ඉහලට ගෙන ඒමට හේතු වී ඇත.. උපතින්ම ධනවතෙකු වූ පරම්පරාවෙන් ව්‍යාපාර ලද සුජීවට වඩා සාමාන්‍ය පවුලක ශානිකාට ව්‍යාපාර ඥානය හොදින් පිහිටා තිබුනේය.. ඇයගේ එකතු වීමත් සමඟ සුජීවගේ ව්‍යාපාරය ව්‍යාපාර ලොවේ ඉහලින්ම වැජඹිනි..  බම්බලපිටියෙහි තවත් ශාකාවක් ආරම්භ වී ඇත්තේ ඉන් පසුවයි..
කෙසේ වෙතත් ව්‍යාපාර සදහා ඔවුන්ගේ මෙම අනගි ගැලපීම විවාහ ජීවිතයක් සදහා නම් ගැලපීමක් වූයේ නැත.. ඔවුන් දෙදෙනාගේ ඇසුරට සුජීවගේ පාර්ශවයෙන් මව්පියන් බලවත් අකමැත්තක් දැක්වීය.. ඒ ශානිකා ඔවුන්ගේ පරම්පරාවට නොගැලපෙන බව කියමිනි..
නමුත් සුජීවගේ තනි කැමැත්තට ශානිකාගේත් ඔහුගේත් විවාහය සිදුවී ඇත.
ගත වූ කාලය තුළ මේ විවාහය දෙදරා යාමට හේතුව මම නොදනිමි.. නමුත් ව්‍යාපාරයේ ලද ආධිපත්‍ය ඇය නිවසේදී පවුල් ජීවිතය තුලත් තබා  ගන්නට උත්සහ කලා යැයි මා අනුමාන කරමි.. මා එසේ අනුමාන කිරීමට හේතුව  ඇගේ එම හැසිරීම් වරෙක මා දුටු බැවිනි..
ඔහුගේත් ඇයගේත් කුළුදුල් පුතු ඉපදුනු පසු අප ආයතනයේ කිහිප දෙනෙකුද සමග මා ද එහි ගියෙමි.. ශානිකා මැඩම් ගැන අසා තිබුනාට මා ඇයව ප්‍රථම වරට දුටුවේ එදිනයි.. එදින මා දුටු ඇගේ හැසිරීම සහ කථාබහ මට අද මේ නිගමනයට එලඹීමට හේතු විය..
අදටත් බම්බලපිටිය ශාකාව ඇගේ යටතේ පවතී.. මගේ සැමියා අනූපම සේවය කරන්නේ එහිය.. අප දෙදෙනාටම එකම ආයතනයක් තුල සේවය කරන්නට අවසර නැති බැවින් ඔහුත් මමත් එකම ව්‍යාපාරයක ආයතන දෙකට වීමු..
"ගයානි ඔන්න අපේ ශානි මැඩම් ගෙට්වේ ලංකා එකේ MD.. නෙක්ස්ට් මන්ත් ඉදන්.."
සවස නිවසේදී අනූපම මට කියුවේය..
"අහ්..එතකොට අපේ සුජීව සර්.. ? "
"ඒකනම් දන් නැහැ.. අපි ඉතින් හාර හාර අහන්න ගියෙ නෑ.. දන්නවනෙ එයාගෙ කට.. නෙක්ස්ට් මන්ත් ඉදන් ටෙම්ප්‍රරි  මෙහෙට කෙනෙක් දානවයි කිව්වෙ එයා හෙඩ් ඔෆිස්  එකට යනවා කියලා.."
"අපෙ සර් නම් එහෙම දෙයක් කිව්වෙ නෑ.. ශානි මැඩම් ට මුළු බිස්නස් එකම අයිති වෙලාද. ඒත් නෑ ටෙම්ප්‍රරි කෙනෙක්ව දානවා කියන්න ඇත්තෙ මැඩම් ආපහු එනවා ඇතිනෙ..."
"ඒ මොනවා උනත් ගයානි ඔයාට මැඩම් එක්ක වැඩ කිරීමේ දුර්ලභ අවස්තාවක් හම්බ වෙනවා.. "
"අනේ යන්න.. "
"හැමදාම මැඩම් එක්ක වැඩ කරන අමාරුව  මගෙන් අහලා විතරනෙ තිබුනෙ.. :D "
අනූපම කියුවේය..
"හා.. ඉතින් ඔයාට ඔය තරම් අමාරු නං මොකෝ ගෙට්වේ ලංකා එකේ තවත් හිටියෙ.. මේ රටේ වෙන කම්පැනීස් නෑ වගේ.. "
"ම්ම්.. අපේ එකේ මොනවා උනත් සැලරි හොදයිනෙ සුදෝ......... "
පසු දින උදෑසනම සුජීව සර්ගෙන් මට කැදවීමක් ලැබිනි.. 
"ගයානි, මම කැනඩා යනවා ටික කාලෙකට.. මාස කීයක් වගේද කියලා මට තාම කියන්න බැහැ..."
"සර් මේ හදිසියේම?? "
මා විමසුවෙමි...
"පර්සනල් ගමනක් ගයානි.... ශානි මේ කම්පැනි එකට ඒවි නෙක්ස්ට් මන්ත් ඉදලා..
මම...ගයානිට කථා කලේ.. ලොකු උදව්වක් ඕනෙ මට අනූපමගෙනුයි ගයානිගෙනුයි.."
"කියන්න සර්.. මොකද්ද.. "
ඔහු වෙනුවෙන් අපට කල හැක්කේ කුමක්දැයි මා විශ්මයට පත් වෙමින් ඔහුගෙන් ඇසුවෙමි..
"මම හවස එන්නම් ගයානිලගෙ ගෙවල් පැත්තෙ.. අනූපමට කියන්න... ආවම කථා කරමු.. මේ ගැන කථා කරන්න ඔය දෙන්නම ඕනේ.."
                       ============
"අනූ අද සුජීව සර් මෙහෙ එනවා කිව්වනෙ.."
මා මෙන්ම ඔහුද පුදුමයට පත් විය.. සර් කිසි දිනෙකත් මෙහි පැමින නැත..
"සර් ටික කාලෙකට කැනඩා යන කථාවක් කිවුවා.. අපි දෙන්නගෙන් ලොකු උදව්වක් ඕනෙලු.. මොකද්ද ඇහුවම කිව්වා කථා කරන්න අපි දෙන්නම ඕනේ ඒ නිසා හවසට මේ පැත්තෙ එනවා කියලා.."
"උදව්වක්?"
"ඒක තමයි මටත් පුදුමෙ.. බලමුකො.."
එදින සවස ඔහු අප නිවසට පැමිනියේය..
"මේ උදව්ව ඉල්ලන්න මට විශ්වාසවන්ත කෙනෙක් නැති නිසයි මම ඔය දෙන්න හොයාගෙන ආවෙ.. විශ්වාසවන්ත යාලුවෙක්වත් අඩුම තරමෙ මගෙ ගෙදර අයවත්... මේ දේ කරන්න නැහැ  අද මම ලඟ.. මට මගෙ ජීවිතේ ඔයාල ලඟ තියලා යන්න පුළුවන්ද.."
සුජීව සර්ගේ දෙනෙත් තෙත් වී ඇත.. අනූපමත් මමත් මුහුනට මුහුන බලා ගතිමු..
ජීවිතේ..?
ඔහු කියන්නේ කුමක්ද යන්න අප දෙදෙනාටම නොතේරේ..
අප දෙදෙනාගේම කුතුහලය පිරුණු දෑස් දුටු ඔහු මෙසේ පැවසීය..
"මගෙ දරු පැටියා.. මම ආපහු එනකන් මගේ දරු පැටියා බලා ගන්න ඔයාලට පුළුවන්ද... "
පීතෘ සෙනෙහසක් කැටි වුනු ආයාචනාත්මක ස්වරයකින් ඔහු අපගෙන් ඉල්ලා සිටියේය..
"මම කිසිම කෙනෙකුට නොකියපු කථාවක් තියෙනවා.. මට කැන්සර් එකක් තියෙනවා.. මම දැනගෙන දැනට මාස දෙකක් විතර.. මට මගේ පුතා වෙනුවෙන් ජීවත් වෙන්න ඕනේ අනූපම.. "
සර්ගේ මුවින් ඉකිබිදුමක් පිට විය... අනුපම ඔහු අසලට ගොස් දෑත් තදින් අල්ලා ගත්තේය.. මගේ දෑස් වලටද කදුළු නැගී තිබිනි..
"කැනඩා යන්නෙ ට්‍රීට්මන්ට් වලට... මගෙ යාලුවෙක් ඉන්නවා එහෙ.. මේ ගැන ශානි වත් දන්නෙ නැහැ.. එයා දැනගත්තයි කියලා වැඩක් වෙන්නැහැ කියලා මම දන්නවා.. තමන්ගෙම ලෙයින් හැදුන දරුවා ගැන හැගීමක් නැති එයාට.. මම ගැන අමුතුවෙන් ඇති වෙන හැගීමක් නෑ.
මගෙ මැරේජ් එකට ගෙදරින් කැමති වුනේ නැහැ.. ඒත් මම ශානිව මැරි කලා.. පොඩි පොඩි රණ්ඩු අපි අතර තිබුනා ඒ දවස් වල .. ඒත් අපි නොගැලපෙන බව තේරුනේ දරු පැටියා ලැබුනටත් පස්සෙ..
ගයානි ඔයා ඔයාලගෙ දරු පැටව් දෙන්නා ගැන තියෙන ගැගීම.. ඒ ආදරය මම දැකලා තියෙනවා.. ඒත් මම කවදාවත් ශානිගෙන් ඒ වගේ දෙයක් දැක්කෙ නෑ.. එයාට ඕනෙ වුනේ බිස්නස්.. හැමතිස්සෙම.. එයාට ෆැමිලි ලයිෆ් එක ඇතුලෙත් තිබුනෙ බිස්නස් එක ගැන කථාමයි.. තේරුම් කරලා දෙන්න යන හැම තිස්සෙම අපි අතර රණ්ඩු ඇති වුනා.. පුතාට අවුරුද්දයි අපි වෙන් වෙනකොට.. ඒත් එයාට දරුවා ගැන වත් කිසිම ගානක් තිබුනෙ නෑ.
මගෙ නංගි තමයි මෙච්චර කල් දරුවව බලා ගත්තෙ.. ජූලි වල එයා මැරි කරලා ඕස්ට්‍රේලියා ගියා.. අපෙ අම්මට ශානිව කොහෙත්ම පේන්න බැරුවයි හිටියෙ.. මම දරුවා ගෙනාව දවසෙ ඉදන් ඒ කිරිසප්පයගෙනුත් අම්ම දැක්කෙ ශානිව.. "
"සර් ගිහින් සනීප වෙලා එන්න.. මමයි ගයානියි දරුවව බලා ගන්නම්.. "
අනූපම කීවේය.. ඔව්. මගෙන් විමසීමට අවශ්‍ය නැත.අප දෙදෙනාගේම අදහස් වල වෙනසක් නැත...
සුජීව සර් පිටව ගියේ ලයේ තිබූ බරක් සැහැල්ලු කර ගත්තා යන හැඟීමෙන් බව අප දෙදෙනාටම වැටහිනි..
"සර් පව් අනූ.. මැඩම් ඔය වගේ කෙනෙක් උනේ ඇයිද මන්දා.."
"හ්ම්.. ඔයා දන්නෑ එයාගෙ හැටි.. මේ අපෙ සර් වුනත්... කවුරු උනත් මේ වගෙ අසරණ වෙලාවක උදව් නොකර බැහැනෙ.. ඔයාගෙ කැමැත්ත අහන්නෙත් නැතුව මම දරුවව භාර ගත්තට තරහක් නැහැනෙ.. "
"ඔන්න කිවුවා ඉතින් .. ඔයා ගත්තෙ හරිම තීරනේ අනූපම. ම්ම්ම්... අපේ දඟ මලු දෙකට තවත් එක්කෙනෙක් එකතු වෙන්නයි යන්නෙ එහෙනම් ඔන්න .. "
අප දෙදෙනාන එකවර සිනාසුනේ සිතේ මතුව ආ සෙනෙහසක්ද කැටිවයි...
අලුත් අමුත්තා සුජීව සර් සමග අප නිවසට පැමිනියේය...
"මොකද්ද පැටියගෙ නමම.... ම්ම්.... "
සියුමැලි සිනාවකින්ම දරුවා මගේ හදවතේ ලැගුම් ගත්තේය.. මෙවැනි කිරි දරුවකු ගැන තැකීමක් නොකරන දරුවාගේ මවත් සුජීවගේ මවත් පිළිබඳ මට පුදුම සිතිනි... මවකට එසේ විය හැකිද... මා ඔහුව වඩාගෙන තුරුලු කර ගත්තේ ඒ සිතිවිලි ඔස්සේ ඇති වූ හැඟීම මගේ හදවතට දරා ගත නොහැකි වූ නිසාය..
*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.
(මතු සම්බන්ධයි.)

මවක් නොහඳුනන්නී.. 02 කොටස.

මවක් නොහඳුනන්නී... - 02 කොටස.
"හෙට රෑ ටූ තර්ටි ෆ්ලයිට් එකේ මම පිටත් වෙනවා.. දරුවා ඔයාලගෙ ලඟ කියල  ශානිවත් කවුරුවත් දන්නෙ නැහැ.. මම යනවා කිවුවම වත් එයා දරුවා ගැන ඇහුවෙ නෑ. අවුරුද්දකින් වත් එයා දරුවව දැකලා නැහැ.. "
සර් එදා අපෙන් සමු ගෙන ගියේ  ඔහුගේ ජීවිතය අප දෙදෙනා ළග තබාය..
"අනූ, සර්ගෙ දරුවා අපි ළග කියලා නොකියා ඉමු හොදේ කාටවත්.. යාලුවෙක්ගෙ බබෙක් කියමු.. "
ඔහුත් එය අනුමත කලේය..
පසු දින උදෑසනම MD අසුන ශානිකා මැඩම් සතු විය.. ආයතනයේ සියලු දෙනාම කැදවා ඇය දේශනයක් දුන්නාය..
ඇගේ නීති සහ ක්‍රියාවන් දැඩි බව ඇගේ දේශනයෙන් අපට අවබෝධ විය...
ඇයට දෛනිකව ඉලක්ක තිබූ අතර ඒ ඔස්සේ අපව හැසිරවූයේය.. සුජීව සර් යටතේ වැඩ කිරීමට වඩා වැඩ අධික විය..
"ගයානි අද දවසෙ මේ ප්‍රොජෙක්ට් දෙකම රිපෝර්ට් ඕනේ.. "
දිනකට මට ප්‍රොජෙක්ට් දෙකක වැඩ කිරීම අපහසුය.. නමුත් මා කිසිවක් නොකියා එය සම්පූර්ණ කිරීමට උත්සහ ගත්තෙමි..
ඒවායේ අඩුපාඩු ඇය දොස් සමගම මා සමග සාකච්චා කරයි.. ඇයට මේ පිළිබඳ හොද අවබෝධයක් ඇති බව මට නොබෝ දිනකින්ම තේරුම් ගියේය.. සුජීව සර් කිසි දිනෙක ප්‍රොජෙක්ට් පිළිබඳ මේ තරම් ගැඹුරට මා සමග සාකච්චා කර නැත.. ශානි මැඩම් අඩු පාඩු පෙන්වා දීම මට ඇත්තෙන්ම පහසුවක් විය.. මා ඇගෙන් බොහෝ දේ ඉගෙන ගත්තෙමි. ඇත්තෙන්ම ඇය දක්ශය.
මටත් අනූටත් සිටියේ අවුරුදු දෙකහමාරක දුවක සහ පුතෙකුයි. සුජීව සර්ගේ පුත් මිතිලට වයස එකහමාරක් පමණ විය..  දිවා කාලයේ අපේ දරුවන් බලා ගන්නට විශාකා නම් කාන්තාවක් සිටී..
දිනක් දහවල විශාකාගෙන් මට ඇමතුමක් ලැබිනි..
"නෝනා මිතිල බබාගෙ ඇග හොදටම රස්නෙයි.. උන වගේ.."
"අනේ.. හරි විශාකා මම එන්නම්.. ඩොක්ට ලගට යන්න ලෑස්ති කරන්න පුතාව.."
මා ඉක්මනින් ශානිකා මැඩම් හමුවීමට ගියෙමි..
"මැඩම්, පුතාට හොදටම උනලු.. ඩොක්ට ගාවට ගෙනියන්න ඕන. මම ලීව් එකක් ගන්නද.. "
"ගයානි, පර්සනල් ලයිෆ් එක රාජකාරි වලට බාධාවක් කර ගන්න එපා.. දැන් ඔයා ගියාම මේ ප්‍රොජෙක්ට් එක කම්ප්ලීට් කරන්නෙ මමද.. අද ටාගට් එක මම කවර් කර ගන්නෙ කොහොමද ඔහොම.."
"මැඩම් මම පුතාට බෙහෙත් ගත්ත ගමන් ආයෙ එන්නම්.. ප්ලීස් මැඩම්.. "
"ලීව් දෙන්න විදිහක් නැහැ ගයානි. HS එකේ රිපෝර්ට් එක කම්ප්ලීට් කරලා ඕනනම් යන්න... "
එය කම්ප්ලීට් කිරීමට තව පැය හතරක් පමන ගත වනු ඇත.. මේ අසනීප වී ඇත්තේ ඇගේ කුසින් උපන් දරුවාට යැයි කෑ ගසා කියන්නට මට සිතිනි.. එය එසේ බව දැන ගත්තත් ඇයට දරුවාට වඩා කෙහෙම්මල් ප්‍රොජෙක්ට් එක ලොකු වනු ඇත.. මට හැඩෙන්නට ආසන්න වූ නිසා මා වොශ් රූම් වෙත ගියෙමි...
කුමක් කල යුතුදැයි සිතමින් හැඩෙද්දී මා අනුපමට ඇමතුමක් ගත්තෙමි..
"හෙලෝ.. අනූ.. විශාකා මට දැන් කෝල් කලා.. මිතිල පුතාට හොදටම උනලු.. මේ ප්‍රොජෙක්ට් එකක් නිසා මැඩම් ලීව් දෙන්න බැහැ කිව්වා.. "
"හේයි ගයානි ඔයා අඩනවා නේද.. මම කිව්වනෙ.... මැඩම්ගෙ හැටි ඔහොම තමයි.. ඉන්න මම ලීව් එකක් දාලා පුතාව ඩොක්ට ලගට ගෙනියන්නම්.. ඔයා අඩන්නැතුව ඒ වැඩේ ඉවර කරලා එන්න.. මම කෝල් එකක් දෙන්නම්කො ඇවිත්.."
මා පැය තුනකින් එය නිමා කර නිවසට පැමිනෙන විට පුතුට හොදටම නින්ද ගොස් තිබිනි... අනූපම බෙහෙත් ගෙනැවිත් තිබිනි..
                            ===
සති අන්තයේ අනූපමත් මමත් දරු තිදෙනාත් නිවසින් බැහැරට ගියෙමු.. එක් නිමේශයක අහම්බෙන්  ශානිකා මැඩම් අපට මුන ගැසිනි.. අපේ දූත් පුතුත් අනූපමගේ අත් දෙකෙහි එල්ලීගෙනය.. මිතිල මගේ අතෙහි වූයේය..
පසු අවස්ථාවක අනුපම මට පැවසූ පරිදි ශානිකා මැඩම් බොහෝ වේලාවක් අප දෙස බලා හිද ඇත.. ඈ අප හමුවට ආවාය..
"ගයානි, අනූපම .... මම දැනගෙන හිටියෙ නැහැනෙ ඔය දෙන්නා හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් කියලා.."
අප දෙදෙනාම එකිනෙකා දෙස බලා සිනාසුනෙමු..
"තුන් දෙනාම ඔයාලගෙද.. "
ඇය මිතිල දෙස බලා සිටිනු මා දුටිවෙමි.
"මෙයා නම් අපේ යාලුවකුගෙ.  මේ දෙන්නා ට්වින්ස්ලා...අපේ.. "
මා මද සිනාවක් සමගින් කීවෙමි.
මොහොතකින් මිතිල, ශානිකාගේ අතට යෑමට දෑත දිගු කලේය.. මා පුදුමයට පත් වීමි.
"සුදු පුතා.. මැඩම් මෙයා අනූගෙයි මගෙයි අතට ඇරෙන්න කවුරුත් ළඟට යන්නැහැ.. පුදුමයි.  "
දරුවා අතට ගැනීමට ඈ මදක් පසුබෑවාය.. නමුත් මිතිලගේ දැගලීම් නිසා ඇයට එය කරන්නට සිදුවිය.. පුතු ශානිකාට තුරුලු වන අයුරු මමත් අනූපමත් පුදුමයෙන් බලා සිටියෙමු..
ඒ මොහොතෙහි ඇගේ මුහුනේ තිබූ හැගීම් මට තේරුම් ගත නොහැක..
පුතුව නැවතත් ඇගේ අතින් ගැනීමට මට මදක් අපහසු වූයේය.. නැවත පැමිනෙන අතරතුර මගේ කථාව වූයේ එයමයි..
"මාස නමයක් කුසේ හිටියනෙ.. අම්මගෙ උනුසුම පුතා අදුනනවා.. මට හරිම පුදුම හිතුනා ඒත්.. දැක්කද මැඩම්ගෙ මූන එයාට මොනවා හිතුනද කියලා මට තේරුනේ නැහැ.."
දිනක් මා මැඩම් හමුවට යන විට ඇය ජනෙල් වීදුරුවෙන් පිටත බලා සිටිනු මා දුටුවෙමි.. ඇය එසේ සිටිනු මා කෙදිනකවත් දැක නැත.. මේ වෙනස එදා සිදුවීමද...
සුජීව සර් සතියකට දෙතුන් වරක් කථා කොට පුතාගේ සුවදුක් අසයි.  දිනක් ඔහු අනූපමට මෙසේ කියා තිබුනි..
"කවදාකවත් නැතුව ශානිකා මට කෝල් කරලා පුතා ගැන ඇහුවා.. ඒත් මම කිසිම විස්තරයක් කියන්න ගියෙ නෑ.."
එක් ඉරිදා දිනයක දූත් පුතුන් දෙදෙනාත් මිදුලේ සෙල්ලම් කරමින් සිටියහ.. එක්වර නැගුනු වාහන හෝන් ශබ්දයක් නිසා මා එදෙසට ගියෙමි..කව්ද මේ වෙලාවෙ.. පුදුමයකි.. ශානිකා මැඩම්..!!
"මැඩම් කොහොමද ගේ හොයා ගත්තෙ.."
ඇය පැමිණ ඇත්තේ දරුවා බැලීමට බව නොබෝ වේලාවකින්ම මට වැටහිනි.. ඇය මගෙන් දරුවා පිළිබඳව විමසුවාය..
"පුතාගෙ අම්ම නැහැ. තාත්තා ට පොඩි අසනීපෙකට ට්‍රීට්මන්ට් ගන්නවා මෙහෙ නැහැ.. එතකන් පුතා අපි ළඟ."
මා ඇයට වැඩි විස්තර පවසන්නට නොගියෙමි.. නමුත් මට කොයි මොහොතේ හෝ පිට කර ගත යුතුව තිබූ හිත් රිදීමක් විය..
"මෙයාට තමයි උන හැදිලා මම දවසක් මැඩම්ගෙන් ලීව් ඉල්ලුවෙ ඩොක්ට ගාවට යන්න.."
ශානිකා වරදකාරී හැඟීමකින් බිම බලා ගත්තාය.. පුදුමයකි.. ඇයට එවැනි හැගීම් ඇත.. මා තවත් කිසිවක් නොකියා මාව  පාලනය කර ගතිමි.
"මේ දරුවා දකිනකොට මට......."
ඈ කියන්න්ට ගිය දේ කියුවේ නැත.. ඇගේ දෑසෙහි කදුලු පිරී තිබිනි.. ඒ වන විටත් මිතිල ඇගේ උකුල මතය..
කියන්නට බොහෝ දේ මගේ මුවට ගලා ආවේය..මා ආයාසයෙන් නිහඩ වීමි. කල් ගතවී හෝ ඇයට දරු සෙනෙහසක් ඉපදී ඇත.
මෙසේ කිහිප වරක්ම ඇය අපේ නිවසට පැමිනියාය.  අවසානයේ ඈ අපේ පවුලේ මිතුරියක් වන තරමටම අපට ලං විය.  ඒ මිතිල පුතු නිසාය..
ඇගේ දරදඩු ගති පැවතුම් පුතු නිසා මොලොක් වූයේ යැයි සිතිය හැක.. ක්‍රමයෙන් මා ඇයට සමීප වී ඇගේ යහපත් ගතිගුණ ඇය තුලින් මතු කර ගැනීමට උත්සහ ගත්තෙමි.. මා අසාර්ථක වූයේ නැත..
මගෙත් අනුපමගේත් දරුවන්ගේත් ජීවිත දෙස ඈ බලා සිටියා ය.. ශානි ඇයට මඟ හැරුනු ඇගේ ජීවිතය පිළිබඳ පසුතැවෙන බව මට වැටහිනි..
දිනක් මා අනූගෙන් මෙසේ විමසුවෙමි..
"පේනවද අනූ අපේ මැඩම් දරුවට තියෙන ආදරේ.. මේ එයාගෙම දරුවා කියලා කිව්වොත් අපි.."
"නෑ.. එහෙම කියන්න ඕනේ නෑ.. මේ තියෙන තත්වෙ උඩ එහෙම දැන ගත්තොත් දරුවව ගෙනියන්න පුලුවන්. එතකොට අපි සර්ට මොනවද කියන්නෙ.."
"ඒත් මිතිල ඉන්නෙ එයාගෙ අම්ම ළගනෙ.. "
"සර් ආපහු ආවට පස්සෙ මැඩම් ඒ ගැන දැන ගත්තාවෙ.. එතකොට වෙන දේවල් එයාලා බලා ගනී.. අපි කියන්න යන්න ඕනෙ නැහැ දැන්.. "
"හ්ම්. හරි එහෙනම්.. සමහර විට දරුවා නිසා ඒ දෙන්න එකතු වෙන්නත් පුලුවන් එතකොට.. "
එක් රාත්‍රියක සුජීව සර්ගෙන් සතුටුදායක පුවතක් සමග ඇමතුමක් අපට ලැබිනි..
"ගයානි, සර් කථා කලේ. සර්ට ට්‍රීට්මන්ට් වලින් හොදයිලු දැන්. අනිද්දා ලංකාවට එනවා කියන්නෙ.. "
අනූපම කීවේය..
"අනේ කොච්චර දෙයක්ද.. අනූ මට ඒත් එක්කම අදහසක් ආවා.. "
මා ඔහුට එය පැවසුවෙමි.. ඒ ශානිකා සහ සර්ව අප නිවසේදී මුණ ගැස්වීමටයි..
අයිඩියා එක නම් හොදයි.. ඒත් මොනවා වෙයිද...
"මැඩම් උනත් වෙච්ච දේවල් ගැන දැන් පසු තැවෙනවා කියලා මට හිතෙනවා අනූපම. එයාටත් දැන් දරුවා නැතුව ඉන්න බැරි වෙලා.. එයා දැන ගත්තොත් මේ තරම් ආදරය වුනේ තමන්ගෙම දරුවට කියලා.. "
මිස්ට සුජීව මෙහි එන්නට නියමිත දිනම මා මැඩම්ට ඇමතුමක් දී මෙහි කැදවා ගතිමි..
සියල්ල යහපත්ව නිමවනවානම් යැයි මගේ හදවත අභ්‍යන්තරය මුමුනමින් තිබිනි...
සුජීව සර් අප නිවසට ගොඩ වනවාත් සමගම ශානි මැඩම් හා ඇගේ උකුල මත හිදින කුඩා පුතු දුටුවේය.. කිසිවක් සිතා ගත නොහැකි වූ ඔහු සිටගත්වනම බලා සිටියේය..
"සර් එන්න ඇතුළට..."
මා පැවසුවෙමි..
ශානි මැඩම් ඔහු දෙස බලා නැවතත් අප දෙස බැලුවාය..
ඔහු වහා පැමින කුඩා පුතු වඩා ගත්තේය.. ශානි දෙනෙත් විසල් කරමින් බලා සිටියා ය..
"සු..ජීව මේ... මේ... අපේ පුතාද..."
ඇගේ හඩ සැලෙමින් තිබිනි.. ශානිගේ දෑසින් වැටෙන කදුළු දෙස ඔහු බලා සිටියේ මින් පෙර කිසි දිනෙක ඇගේ කදුළු දැක නැත්තෙකු ලෙසයි..
මගේ හදවත ප්‍රාර්ථනා කළ පරිදිම සියල්ල යහපත්ව සිදුවෙමින් පැවතිනි.. ඔවුන් දෙදෙනාට කථා බහ කිරීමට ඉඩදී අප පසෙකට වුනෙමු..
අවසානයේ සුජීව සර් මෙසේ පැවසුවේය..
"ශානි අපි යමු අපේ ගෙදර.. ඔයාගෙයි මගෙයි පුතාගෙයි ගෙදර.. "
මා පුතූගේ සෙල්ලම්බඩු සහ ඇදුම් සූදානම් කර ශානි අතට දුන්නෙමි.. මිතිල ගෙන් සමු ගැනීම අප දෙදෙනාටම දරා ගැනීම වේදනාකාරි විය..
"පුතා යනවද මේ අම්මිව දාලා... ම්ම්... "
ඔහු කිරිදත් පෙන්වා සිනාසුනා පමනකි..
ශානි මා වැළඳගෙන හැඩුවා ය.. ඇය තුල මෙතරම් සංවේදී කාන්තාවක් සිටින බව මා දැන නොසිටියෙමි..
සංවේදී සමු ගැනීමෙන් පසු ඔවුන් පිටවී යන අයුරු අනූපමත් මමත් බලා සිටියේ විසිරුනු කූඩුවක් නැවත එක් කිරීමට ලැබීමේ සතුටත් සිත් දල්වාගෙනය..
*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*
(සමාප්තයි.)