Wednesday, September 14, 2016

කාලය හරහා සීගිරි අතීතයට... 01 කොටස

1 කොටස

හාත්පසින්ම ගලන්නා වූ සුලඟ සිත සනීපවත් කිරීමට සමත්‍ ය. පෙනෙන තෙක් මානයම ගහකොල වලින් ගැවසී ගත්තකි. වෙනත් ඓතිහාසික ස්ථානයකට වඩා මුතූ සීගිරියට මෙතරම් ඇළුම් කරන්නේ ඇයි දැයි ඇය ඇගේ සිතින්ම ප්‍රශ්න කලාය. ඇතැම් විට මෙහි පවතින ගුප්ත බව ඇගේ සිත ඇද ගැනීමට සමත් වූවා වන්නට පුළුවන. නිශ්චිතවම පැහැදිලි කර ගත නොහැකි වූ අපූර්ව දේ මෙහි ගැබ්ව පැවතීම නිසා ඇති වන කුතුහලය මුසු හැඟීමට ඇය ප්‍රිය කලාය.
"ඇත්තෙන්ම එකල මේ ස්ථානය කෙසේ පවතින්නට ඇත්ද.."
සීගිරි පර්වතය මුදුනට වී මෙසේ  සිතුවිලි දාමයක තනිවී සිටින මුතූ ඉන් මිදුනේ යමෙකුගේ කටහඩ නිසාවෙනි..

"දරුවො, මට වතුර ටිකක්.."

මහළු මිනිසෙකු ඇය ඉදිරියේ සිටගෙන සිටියේය. ඇය පුදුමයට පත් විය..
"මෙතරම් දුබල සීයා කෙනෙකු කොහොමද මේ මුදුනටම නැග්ගේ...."
මුතූ තම බෑගයේ වූ වතුර බෝතලය සීයා අතට දෙන ගමන්ම ඔහුගෙන් ප්‍රශ්නයක් නැගුවාය..

"සීයා තනියම? සීයාත් එක්ක ආපු කට්ටිය කොහෙද...? "

එදින ඉරිදා දිනයක් වූ බැවින් විශාල සෙනඟක් සීගිරිය නැරඹීමට පැමින තිබිනි. එහෙයින් සීයා සමග පැමිනි පිරිස ඔහුට මග හැරී ඇතැයි ඇය සිතීය..
මුතූ නැගූ ප්‍රශ්නයට පිලිතුරු දීමට උවමනාවක් නොදැක් වූ ඔහු සිටියේ ජලය පානය කර ගැනීමට අසීරු, අසාර්ථක උත්සහයක යෙදෙමිනි.
ඇය, සීයාගෙන් වතුර බෝතලය ඉල්ලා ගෙන සෙමින් සෙමින් ඔහුගේ මුවට ජලය වත් කලාය.
පිපාසය සංසිදුනු බව සීයා සංඥා කල පසු එහි වූ බැම්මක් මත ඔහුට හිද ගැනීමට උදව් කල මුතූ, ඔහු අසලින් හිද ගත්තාය..
මෙතරම් අපහසුවෙන් මෙහි ලගා වූයේ කෙසේද යන්නත් ඔහු පිලිබදව තොරතුරුත් දැන ගැනීමට ඇයට අවශ්‍ය විය. නමුත් සීයාට අවශ්‍ය වූයේ සීගිරිය පිලිබදව මුතූගේ අදහස් දැන ගැනීමට බව නොබෝ වේලාවකින්ම ඇයට වැටහිනි.
සීගිරි පර්වතය මුදුනට වී තනිව සීගිරිය පිලිබඳ සිතිවිලි දාමයක සිටිනවාට වඩා මේ ගැන කතා කිරීමට සඟයකු මුන ගැසීම තරම් සතුටක් ඇයට එවෙලෙහි නොවීය.

"ඇත්තටම සීයෙ මට අතීතයට යන්න වරමක් හම්බ වුනොත් මම අනිවාර්‍යෙන්ම යන්නෙ මේ සීගිරි කාශ්‍යප කාලෙට. මේ බිත් සිතුවම් වල ඉන්නෙ කව්ද කියලා උනත් මතවාද මිසක් හරියටම දැන ගන්න විදිහක් නැහැනෙ.. ඒ කාලෙ මේ මාලිගා කොහොම තියෙන්න ඇත්ද.. මේ හැමදේම බලන්න ආසයි.. " 

මුතූ කියුවා ය.
මොහොතකට පෙර ඇය තනිව සිතූ සිතිවිලි සීයා ඉදිරියේ මෙලෙස ප්‍රකාශ කරමින්  සිටියා ය. මෙය මිතුරියන් ඉදිරියේ පැවසුවේ නම් ඔවුන් ඇයට සිනාසෙන බව ඇය දැන සිටියා ය.
මුතූ මෙහි පැමිනියේ මිතුරියන් දෙදෙනෙකුත් සමගයි. ගමන් විඩාව නිසා පර්වතයට නැගීම ප්‍රතික්ශේප කල ඔවුන් කෞතුකාගාරය පමනක් නරඹා ආපසු යෑමට අදහස් කර තිබිනි.. නමුත් මුතූට සීගිරි පර්වතයට නැගීමට අවශ්‍ය විය. එම නිසා ඇයට තනිවම මෙහි පැමිනීමට සිදු වූ අතර ඇය එන තෙක් සිටීමට මිතුරියන් එකඟ විය..
මුතූ තම අදහස් පවසන අතරතුර මහළු මිනිසා ඇගේ වදන් පරීක්ෂාකාරීව අසා සිටිනු ඇය දුටුවා ය. මොහොතකින් සීයාත් ඇය සමග සීගිරිය පිළිබද කථාවට එලඹිනි.

"ආසන්නව අවුරුදු 1500 කටත් කලින් නේද සීයෙ මේ සීගිරි රාජධානිය.."

සීගිරිය පිළිබද නොදැන සිටි කරුණු බොහෝමයක් මුතූට ඔහුගෙන් දැන ගත හැකි විය. සීගිරිය පිළිබදව ඇය අධ්‍යනය කර ඇති ග්‍රන්ථයක හෝ ලිපියක අඩංගු නොවන කරුණු ඔහු දැන සිටීම මුතූ විශ්මයට පත් කලේය..

****************************************

(මතු සම්බන්ධයි.)

No comments:

Post a Comment