Wednesday, September 14, 2016

කාලය හරහා සීගිරි අතීතයට... 09 කොටස

9 කොටස

ඇයට තහවුරු කර ගැනීමට අවශ්‍ය  තවත් කරුණක් ඉබේම මතුව ඇති බැවින්   මුතූ සෙමින් සෙමින් ඒ කථාවේ ඇත්ත නැත්ත පිළිබඳ විමසීමට සිතා ගත්තා ය..

"ඇත්තෙන්ම රජතුමනි, ඔබ..එම ඝාතනය සිදු කලා ද.. "

මුතූ පරීක්ෂාකාරී ලෙස රජුගේ වත දෙස බලා සිටියා ය..
සුසුමක් හෙලූ රජු ඒ පිළිබඳ කෝපයක් නොදක්වා කථාවට එලඹීම මුතූට සැනසීමක් විය..

"මා එය සිදු කරා නොවෙයි.. මිගාර මා ලවා එය සිදු කරවූවා.. මුගලන්ට දීම සදහා පියාගේ ධනයක් ඇතැයි කියා මා පෙලඹෙව්වා එයට.. ඔහු... ඔහුගේ වස්තුව කලාවැව යැයි පැවසූ මොහොතෙ මට කෝපය දරා ගත නොහැකි වුනා.. වැව් බැම්මට තබා මැටි ගැස්වීමට අණ කලා.. මා ප්‍රමාද වූවා වැඩියි සත්‍ය තේරුම් ගැනීමට.."

රජුගේ හඩ කෙමෙන් කෙමෙන් දුබල විය..   මේ පිළිබඳ තවත් කථා නොකිරීමට වග බලා ගත යුතුයැයි මුතූ සිතා ගත්තා ය..
එම කථා බහ අතරම ඔවුන් සීගිරිය වෙත ළඟා වී තිබිනි..
රියෙන් බැස ගත් රජ, ඔහු අනුවම මුතූ ව ගෙන එන ලෙස අණ කලේ ය.. එවර ඔවුන් ගමන් කලේ කර්කටක යන්ත්‍රය තිබූ දිශාවට නොව සිංහ රුව තිබෙන දිශාවටයි.. සිංහ පාදය අසලටම ඔවුන් පැමිණිය හ. එහි කුඩා පඩිපෙලක් විය.. එම පඩි කෙලවර එක් පුද්ගලයෙකුට පහසුවෙන් ඇතුල් විය හැකි පමනින් වූ දොරටුවක් විය..

ප්‍රථමයෙන් රජු ඇතුල් වූ අතර ඉන් පසු මුතූ ඇතුළු කිහිප දෙනා එහි ඇතුල් විය.. ඉහලට නැගීම සදහා ගල් පඩි විය.. මුතූ නැවතත් විශ්මයට පත් වූවා ය.

"මේ අප ගමන් ගන්නෙ පර්වතය ඇතුලතින්ද..? "

ඇය විමතියෙන් සේවිකාවකගෙන් විමසුවාය.. එය එසේ බව සේවිකාව පැවසීය..
අතරමඟ ආලෝකවත් කිරීමට පන්දම් දල්වා තිබිනි. ඇතුලතදී හුස්ම ගැනීමේ කිසිදු අපහසුවක් නොවුනි..
මෙවැනි මාර්ගයක් තිබියදීත් තමාව කර්කටක යන්ත්‍රයෙන් රැගෙන ගියේ ඇයි දැයි ඇය සිතුවා ය.. ඇතැම් විට ඇය ඔත්තුකාරියක් යන වැටහීමත්, සිරකාරියක්ව සිටි නිසාත් විය හැකි බව ඇයට සිතිනි.
ඔවුන් යන මාර්ගය දෙපස තැනින් තැන කුටිද තනා තිබිනි. ඒවා තනා තිබුනේ ගිමන් හැරීමට බව මුතූට පසුව දැන ගත හැකි විය.
උමග කෙලවර වූයේත් මාලිගාවක් තුලිනි.. රජු ඔහුගේ මාලිගාවට පිවිසි අතර කුමරියන්ගේ මාලිගාව සමීපයේ  අමුත්තකු ලෙස නවාතැන් ගැනීමට මුතූටද කුටියක් වෙන් විය..

මුතූ ගේ සිත ප්‍රීතියෙන් පිරී තිබිනි. සියලු දේ යහපත්ව සිදු වෙමින් පවතී.. රාජධානිය පිළිබඳ තවත් තොරතුරු දැන ගැනීමට රජුගේ සහය ඉල්ලා ගත යුතු බව මුතූ තනිවම සිතුවා ය..
එදින රාත්‍රියේ කුමරියන් හා බිසවුන් සමග ආහාර ගැනීමට මුතූට ආරාධනයක් ලැබිනි. රජු ආහාර ගන්නේ අනෙක් මාලිගාව තුලයි..
රජුගේ මව් බිසව ආරම්භයේ සිටම මුතූට කැමැත්තක් දැක්වූයේ නැත.. ගිලුනු තියුනු ඇස් ඇය සතු විය.. ඇයට එතරම් කලු පැහැ සමක් උරුමව තිබෙන්නේ ඇය යක්ශ ගෝත්‍රික කාන්තාවක් නිසා බව මුතූ සිතුවා ය.. මීටත් ඈත අතීතයේ සීගිරිය අවට යක්ශ ගෝත්‍රිකයන් ජීවත් වී ඇත. ධාතුසේන රජුට ඇයව මුන ගැසුනේ කෙසේද යන්න දැන ගැනීමට මුතූට ආශා සිතිනි. එහෙත් ඇගේ විලාශය ඇය සමඟ කතා කිරීමට බියක් ගෙන දුනි.. නමුත් රජුගේ බිසව නම් ඉතා කරුණාවන්ත කාන්තාවක් වූවා ය.. ඇගේ සිනහව අලංකාරය..
ප්‍රනීත ආහාර වේලකින් අනතුරුව මුතූ ට විවේක ලැබුනු අතර කුමරියන් සමග කතාබහ කිරීමට ඇයට උවමනා විය.. ඒ සඳහා අවස්ථාව ලැබිනි..
බොහෝ අවස්ථාවන් වල බෝධි කුමරිය විනිවිධ පෙනෙන සුළු සිනිදු සළුවකින් පමනක් උඩුකය වසා සිටිනු මුතූ දුටුවා ය.. කිසිවෙකුට ඒ පිළිඳව ගැටළුවක් නොවුනි.. මුතූ ද ඒ පිළිබඳව විමසීමට නොගියා ය.. ඇතැම් විට එය කුමරියගේ විලාසිතාව විය හැකි බව ඇයට සිතිනි.

උත්පලවන්ණා කුමරිය මුතූ සමග කථාබහට එළඹුනේ චකිතයකිනි. සමේ වර්ණය හා හැඩරුව  ඇගේ අත්තම්මාට සමාන විය.. නමුත් ඇයත් බෝධි කුමරිය තරමටම සුන්දර විය..

"කුමරියනි, මට දැන ගන්න පුළුවන්ද ඔබලා මේ ගිරියට පැමින කොපමන කල්ද කියලා.. "

මුතූට අවශ්‍ය වූයේ රාජධානියේ අවසානය ට තව කොපමන කල් තිබේද යන්න දැන ගැනීමටය..

"මා දන්නා දිනේ පටන්ම ඉන්නෙ මෙහිනෙ.."

උත්පලවන්නා කුමරිය පැවසුවා ය.

"නැගනිය ඉපදුනේ  අප මෙහි පැමිණි කාලයේදී මයි. ඒ කාලයේ මට වයස 10 ක් පමන.."

දැන් උත්පලවන්නා කුමරිය ට වයස අවුරුදු 14 ක් පමන බව බෝධි කුමරිය කීවා ය..
එසේ නම් තව අවුරුදු 4ක් පමනයි  තිබෙන්නෙ මේ රාජධානිය! මුතූ කණගාටුවෙන් සිතුවා ය..  :(

***************************************

(මතු සම්බන්ධයි.)

** සැලකිය යුතු:  දැන් ඔයාලා මගෙන් අහන ප්‍රශ්නය මම දන්නවා. :) පර්වතය තුලින් උමඟක් තිබෙන එක ඔබ නිර්මාණය කල එකක් නේද? මගේ පිළිතුර "නැහැ" .. :) ඉන්න... මේ පිළිබඳ මා සොයා ගත් තොරතුර ඔබගේ දැන ගැනීම පිනිස මෙලෙස දක්වන්නම්. --->
  - -----------------------------------------------
සිගිරිය කියල කියන්නේ අභිරහස්වලින් අඩුවක් නැති බොහෝම අපූරු විශ්මිත නිර්මාණයක්. මේ කියන්න යන කතාව එහි අපි වැඩිය අහපු නැති පැත්තක් ගැන. සූරිය ගුණසේකර කියන්නේ සිගිරිය, රාවණ රජු ඇතුළුව ලංකාවේ සැඟවුණු ඉතිහාසය ගැන පරීක්ෂණ කරන කෙනෙක්. ඒ සම්බන්ධව පොත් ගණනාවකුත් රචනා කරල තියෙනවා. ඒ මහත්මය තරුණ කාලේ, ඒ කියන්නේ එකදාස් නවසිය හැට ගණන්වල සීගිරියට ගිහිල්ලා තියෙනවා තව තරුණ කණ්ඩායමක් එක්ක විශේෂ ගවේෂණයකට. එහිදී එයාලා දවල්ට කන්න ගිහිල්ලා තියෙනවා සිගිරිය පේන මානේ තියෙන පුංචි කටු මැටි ගෙදරකට. ඔය ගෙදර මිදුලේ හිටියලු වයසක සීයා කෙනෙක්.

කෑම කාලා කට්ටිය එලියට ආපු වෙලේ මෙයාලා ඔය සීයා එක්ක කතාවට වැටිලා. එයා දැනගත්තම මේ කට්ටිය ඇවිල්ලා තියෙන්නේ සිගිරිය ගැන හොයන්න කියලා. ඒ පාර තමයි මේ කතාව කියල තියෙන්නේ.

''මහත්තයල දන්නවද, මම ඉස්සර අන්ධ කෙනෙක් නෙවේ. මට මෙහෙම උනේ මට මහ විශාල පවකට සම්මාදන් වෙන්න උනු නිසා''

මෙහෙම කිව්වම කට්ටිය අන්දුන්කුන්දුන්...

"මොකද්ද සීයේ උනේ...?"

මහත්තයලට කියන්න, මම H.C.P. Bell මහත්තයගෙ කාලේ මෙතන සීගිරියේ එයා යටතේ කැණීම වලට අත් උදව් දීපු සේවකයෙක්. ඒ කාලේ හිටපු අයගෙන් දැන් මම විතරයි ඉතුරු.

(H.C.P. Bell කියන්නේ ලංකාවේ මුල්ම පුරාවිද්‍යා කොමසාරිස්වරයා. ඔහු බ්‍රිතාන්‍ය ජාතිකයෙක්. ලංකාවේ පුරාවස්තු බොහොමයක් හොර රහසේම බ්‍රිතාන්‍ය කෞතුකාගාරය වෙත ගෙනගිය බවට මොහුට චෝදනා එල්ල වෙනවා)

ඉතින් ඒ කතාව සීයා ඒ පාර කිව්වලු.

අපි සීගිරියේ කැණීම කර කර ගල මුදුනටම ගියා. ගල මුදුනේ නොයෙක් පුදුම හිතෙන නිර්මාණ අපිට හම්බුනා. එතන කට්ටිය කැණීම කරනකොට අපිට හොයාගන්න පුළුවන් වුණා පඩිපෙලක්. මේ පඩිපෙළ සිගිරිය ගල මුදුනේ ඉඳං ගල පාමුල වෙනකන්ම යනවා ගල ඇතුලෙන්. ඒ ගැන හාන්කවිසියක් පිටට පේන්නේ නෑ. පඩිපෙලේ තැනින් තැන ගිමන් නිවන්න කාමර තියනවා. ඒ කාමර වල තිබිල අපිට බොහොම වටිනා පුරාවස්තු හුගක් හම්බුනා. බෙල් මහත්තයා ඒ ඔක්කොම එකතු කරගෙන එලියට ගෙනාවා. පස්සෙ අපිට කිව්වා ඒ පඩිපෙලේ ගල මුදුනේ දොරකඩ කොන්ක්‍රීට් දාලා සම්පුර්ණයෙන් වහන්න කියල.. අපිට පුදුම හිතුනා, ඒත් අපි කිව් විදියට කරා.

එදායින් පස්සෙ ඒ වැඩේට ගිය අපි කාටවත් හොඳක් උනේ නෑ. සමහරු ලෙඩ උනා. සතා සීපාවා ගහල මැරුණා. ගහක් ගලක් වගේ හිටපු මම දවසක් උදේ නැගිට්ටේ මෙහෙම අන්ධ වෙලා.

මෙහෙම කියපු ඒ සීයා අඬන්න ගත්තලු.

  - --------------------------------------------------

*ඒ සීයාගෙන්ම දැනගත් තොරතුරක්ද කියලා මම දන්නැහැ ඒ උමග පටන් ගන්නෙ සිංහයගෙ පාදය අසලින් කියලා තවත් තැනකදි මට තොරතුරක් හම්බ වුණා.. මම හිතන්නෙ මේක කාශ්‍යප රජුගෙ නිර්මානයක් නෙමෙයි.. රාවණා රජුගෙ කාලෙ ඉදන් තියෙන එකක්. තවත් උමඟක් ගැන කියවෙනවා. කතාවෙ ඉදිරියට ඔයාලට දැන ගන්න පුළුවන්.ඒක ගැනත් මම ලිවුවා..

*ඒ වගේම තව දෙයක් තියෙනව කියන්න. සෙනරත් පරනවිතාන මහතා කියලා තියෙනවා කාශ්‍යප රජු පීතෘ ඝාතකයෙක් කියලා ඔහු පිලි ගන්නෙ නැහැලු.රජු භික්ෂූන් වහන්සේලා හා ජනතාවගෙ පිලිගැනීමට ලක්ව තිබුන නිසා.. ඒත් මම කථාංගයෙ ලිවුවෙ වැඩි දෙනා පිළිගන්න රජු පීතෘ ඝාතකයෙක් යන මතය.. මොකද අජාසත් රජු පීතෘ ඝාතකයෙක් වුනත් ඔහු ධර්ම සංගායනාවටත් අනුග්‍රහය දක්වපු රජ කෙනෙක්.. එහෙමනම් භික්ෂූන් සහ ජනතාව ඔහුවත් ප්‍රතික්ශේප කරන්න ඕනනෙ.. මමත් හිතන්නෙත් කාශ්‍යප රජු අතින් එහෙම දෙයක් වෙන්න ඇති කියලයි.. කොහොම උනත් ඇත්තම කතාව දැන ගන්න නම් අතීතයටම යන්න වෙනවා තමයි.. හි හී... අදට නවතින්නම්!

No comments:

Post a Comment