Wednesday, September 14, 2016

කාලය හරහා සීගිරි අතීතයට... 08 කොටස

8 කොටස

යන ගමනේදී පිදුරංගල ගැන තොරතුරු රජුගෙන් ම අසා දැන ගැනීමට සිතා මුතූ  රජු සමග කථාව ආරම්භ කලාය.. ඇය  විමසූ පැනයට රජු කැමැත්තෙන්ම පිළිතුරු දුන්නේය..

" මා ගිරියට පැමිනෙන විට භික්ෂූන් වහන්සේලා පන්සියයක් පමන එහි වාසය කලා.. මගේ ආරක්ෂාවන් සදහා ගැලපෙනම වාසස්ථානය එතැනයි. මට එතැන මගේ රාජධානිය ගොඩ නගන්නට අවශ්‍යම වුනා.. එම නිසා එහි සිටි උන් වහන්සේලාට මෙහි ආරණ්‍යයක් සාදා පූජා කලා මා විසින්.
'පිදූ ආරණ්‍ය ගල' කියලයි මෙය දැන් හදුන්වන්නෙ.. භික්ෂූන් වහන්සේලා බොහෝ අය මා සමග අමනාපයි, ඔවුන් වැඩ සිටි ස්ථානය අහිමි කලාට.. නමුත්..නමුත් මට කල යුතු යමක් තිබුනේ නැහැ..
මා දැන් කතා කරමින් සිටි භික්ෂූන් වහන්සේ එසේ නැහැ.. මට ගැටළුවක් දැනුනු ඕනෑම අවස්ථාවක උන් වහන්සෙ හමුවටයි යන්නෙ මම."

මේ පිදුරංගල ට නුදුරින්ම දිනෙක රජුගේ නිසල දේහය තැන්පත් කර ආරාමයක් ඉදි වන ස්ථනය බව ඔහු දන්නේ නම් කුමක් සිතේදැයි මුතූ සිතුවා ය.. ඇය එය නොකීමට වග බලා ගත්තේ රජුගේ දුඃඛිත මරණය පිළිබදවත් පැවසීමට සිදුවෙතැයි සිතා ය..

"ඔබ මෙහි පැමිණියෙ අතීතය ගැන සෙවීමට බව ස්වාමීන් වහන්සේගෙන් මා දැන ගත්තා.. මා එය පිළිගන්නවා.. මාත් කැමතියි ඔබ ජීවත් වන අනාගතය පිළිබඳ දැන ගැනීමට.."

මුතූ වර්තමාන වාහන වලින් පටන් සියලු දේ රජු සමග පැවසුවා ය.. රජු විශ්මයෙන් අසා සිටියේ ය.. ඇතැම් දේ ඔහුට තේරුම් ගැනීමට නොහැකි වූ අතර, ඇතැම් දේ  විශ්වාස කිරීමටත් මැලි බවක් විය..
පසුව රජතුමා මෙසේ විමසීය..

"ඒක නොවෙයි. ඔබ කෙසේද මගේ වැඩිමල් දියණියගෙ නම දැන ගත්තෙ.. අපගේ රජ පවුල පිළිබඳ අනාගතයේත් ප්‍රසිද්ධද.."

මුතූ එයට පිළිතුරක් දීමට ප්‍රථම ඇය රජු වෙත ප්‍රශ්නයක් නැගුවා ය..

"රජතුමනි, එයට පෙර මට ඔබෙන් යමක් දැන ගත හැකිද.. මේ කාලය වන විට ඔබ බෝඋපුල්වන් කසුබ්ගිරි විහාරය (වර්ථමානයේ ඉසුරුමුණි විහාරය)  ප්‍රතිසංස්කරණය කරල ද තිබෙන්නෙ.. නැති නම් එසේ කිරීමට බලාපොරොත්තුවක් තිබෙනවද..."

"ඔව් වසර දෙකකටත් පෙරයි එය සිඳු කලේ මම.. ඔබ එයත් දන්නවද..
ඔහ්. මට සෑම විටම අමතක වෙනවනෙ ඔබ අනාගතයේ සිට පැමිනි බව.."

"රජතුමනි, එම විහාරයේ සෙල්ලිපි වලින් කියවෙනවා ඔබ එම විහාරය ප්‍රතිසංස්කරණය කර ඔබේ දියණියන් වෙනුවෙන් සංඝයාට පූජා කල බව.
'බෝ-උපුල්වන්'  ඔබේ දියණියන් දෙදෙනා බවත්, මුලින් යෙදූ නම වැඩිමල් කුමරියට අයත් විය හැකි බවත් වර්ථමානයේ අප අනුමාන කලා.."

වර්ථමානයේ එම විහාරය හඳුන්වන්නේ ඉසුරුමුණිය ලෙස බව නොකීමට මුතූ වග බලා ගත්තා ය. රජු මෙසේ නම් තැබූ විහාරය වෙනත් නමකින් හදුන්වන්නේ යැයි පැවසීම අවශ්‍ය නොවන බව ඇය සිතුවාය..
රජු එක්වරම මහත් උද්‍යෝගයෙන් මුතූගෙන් මෙසේ විමසී ය..

"එසේ නම්...එසේ නම්... ඔබට කිව හැකියිනෙ මගේ අනාගතය පිළිබදව.. පවසන්න..ඔබ දන්නා සියලු දේ පවසන්න..කුමක්ද සිදුවන්නෙ.."

මුගලන් සමග ඇති වන යුද්ධයේදී ඔහු සියදිවි නසාගෙන මිය යන බව කෙසේ නම් රජුගේ උද්‍යෝගිමත් මුහුණ දෙස බලා ගෙන කියන්නට දැයි මුතූ සිතුවා ය.. ඇතැම් විට ඔහු එය විශ්වාස නොකර කෝප වීමට ද හැකිය..
නැවත වරක්  සිර ගත වීමට ඇයට අවශ්‍ය නොවීය.. එබැවින් මුතූ අසත්‍ය නොවූ වෙනත් පිළිතුරක් ලබා දී එම ප්‍රශ්නයෙන් නිදහස් වූවාය..

" ඇත්තෙන්ම රජතුමනි, සීගිරි අතීතය ගැන අප නිශ්චිත තොරතුරු දන්නේ නැහැ. බොහෝමයක් මතවාද පමනයි තිබෙන්නෙ..
මා මෙහි පැමිනීමට ඇත්නම් යැයි සිත සිතා සිටියෙත් ඒ ඇතිව තිබූ කුතුහලය නිසාමයි.. අනෙක රජතුමනි ඉතිහාස ග්‍රන්ථයක් වන මහානාම හිමියන් ලියූ මහාවංශයේත් සීගිරි රාජධානිය පිළිබඳ ප්‍රමානවත් තොරතුරු නැහැ.."

ඔහ්.මුතූට අවසානයට කියූදේ කියුවා නොවේ කියවුනා ය..  රජුගේ පියාණන් වන ධාතුසේන රජු නෑකමින් මහාවංශය ලියූ මහානාම හිමියන්ගේ බෑනා කෙනෙකි.. ඇය දුර දිග නොසිතා පැවසූ දෙයින් රජු මහානාම හිමියන් සමග කෝප ගැන්වෙතැයි මුතූ බොහෝ කණගාටු විය..
නමුත් රජුගේ වතෙහි කිසිදු කෝපයක් නොවීය.. රජු මෙසේ පැවසුවේය..

"උන් වහන්සේගේ ගිහි කල බෑනනුවන් ගේ මරණයට වග කිව යුත්තා ගැනත්, ඉන් පසු එම ඝාතකයා ගොඩ නැගූ මේ රාජධානියේ වර්ණනාව ගැනත් ලිවීමට උන් වහන්සේට අවශ්‍ය නොවන්න ඇති.. " :( :(

*********************************

(මතු සම්බන්ධයි.)

No comments:

Post a Comment