Wednesday, September 21, 2016

මියැදුනෙමි ඉන්පසු..

මියැදුනෙමි ඉන්පසු.... ~ කෙටිකථාව
හැදින්වීම :-  මොහොතකට මියැදුනෙමි.. ලියන විට කථාංගය මොහොතක් පාසා මට දැනුනු ඒ හැඟුම එලෙසින්ම දැනේ යැයි හැගෙමි ඔබටත්.. විදින්නට ඇරයුම් මගේ දෙවන කෙටිකතාවත් මෙලෙස....
*.*.*.*.*.*.*.*.*.**.*.*.*.*.*.*.*.*.*.*.*.*
මා සැහැල්ලුය.. මේ සැහැල්ලු බව මින් පෙර කිසි දිනෙක මා අත්විද නැත..  ඕනෑම තැනක සිතන වේගයෙන්ම දැන් මට යා හැකිය.. මට වයස දින දෙකකි.. නැහැ.. මා ශරීරයෙන් වෙන් වී දින දෙකකි..
පෙරේදා රාත්‍රියේ සිදු වූ දේ සිහිනයක් මෙන් විය..
'මම කැස්සා.. පපුව ගොඩක් රිදුනා.. අම්මා..අම්මා.. මම කෑ ගහන්න හැදුවා.. ඒත් මට කෑගහන්න බැරි වුනා.. ඔලුව හිරි වැටුන වගේ.. ඊට පස්සෙ මට ලොකු සැහැල්ලුවක් දැනුනා.. මම හිතුවෙ සනීපයි දැන් කියලා.. මට මාව  පෙනුනා.. මම නිදාගෙන හිටියා.. එක අතක් පපුව උඩ.. මේ හීනයක් බව මට හිතුනා..'
මා රැය පුරාවටම කාමරය තුල එහෙ මෙහෙ සැරිසැරුවෙමි..
'කන්නාඩිය!! මාව පේන්නෙ නෑ ඒකෙන්.. හරි මම උදේ නැගිට්ටම බලන්නම්කො.. අම්මා කෝ.. මා  අම්මාගේ කාමරයට ගියෙමි.. '
'අම්මෙ, මගෙ පපුව රිදෙන්න ගත්තා ආයෙමත්. දැන් සනීපයි.. අම්මා නැගිටින්න ඕනෙ නෑ.. '
අම්මා නිදා සිටින අයුරු මා දුටුවෙමි.. 
'ඉක්මන්ට එළි වෙනව නම්..! '
මා එළි වන තුරුම ඇද අසල බලා සිටියෙමි..
'ඉර එළිය වැටුනා.. ඒත් කවුරුත් සද්දයක් නෑ.. මම ඇයි තාමත් නිදි.. අම්මා ආවා එතකොටම තේකකුත් අරන්.. පුතේ.. පුතේ... '
'අම්මෙ මම මෙහෙ.. '
අම්මා හැරිලා බැලුවෙ නෑ.. ඇද උඩ හිටපු මාව අතින් ඇල්ලුවා.. ඒත් මම හිටියෙ අම්මගෙ පිටිපස්සෙ..
අම්මා හයියෙන් කෑ ගහලා ඇඩුවා. අයියලා දෙන්නයි තාත්තයි ආවා එතකොටම එතන්ට..
'මම මෙතන..'
'මම හයියෙන් කෑ ගහලා කිවුවා.. ඒත් ඒ කාටවත් ඇහුනෙ නෑ.. හැමෝම කලබල වෙලා ඇයි.. '
මට කිසිවක් සිතා ගත නොහැකි විය.. ඔවුන් මගේ ශරීරට වටා එකතු වී හඩති.. මා මිය ගොස්ද.. :'(
ඔව්.. මේ මගේ ඇග..
'අම්මෙ අඩන්න එපා..'
ඒත් අම්මට ඇහෙන්නෙ නෑ.. ලොකු අයියත් අඩනවා..
'අයියෙ මම මෙතන..'
අයියට ඇසෙන්නේත් නැත..
මොහොතකින් අපේ වත්ත පුරා මහා සෙනඟක් රැස් විය.. ඔවුන් මගේ ශරීරය නිවසින් එලියට ගෙන ගියේය..
"මොකක් වෙලා ද නැතිවෙලා තියෙන්නෙ.."
නිල්මිණි ඇන්ටි අසනු මට ඇසිනි..
"දන්නෙ නැහැ.. විශාකා අක්කා උදේ බලනකොට තමයි දැනගෙන තියෙන්නෙ.. කෙල්ලට පපුවෙ අමාරුවක් තිබුනයි කියන්නෙ.. "
ඒ සුවිමාලි අක්කාය..
ඔවුන් මා ගැන කම්පා වෙනු මා අසා සිටියෙමි.. අම්මාගේ හැඩීම දරා ගත නොහැක.. එය ගෙතුලින් ඇසේ..
'මගේ ඇග කොහෙටද අරන් ගියේ.. ඒත් ඒක හොයන්නවත් යන්න මට විදිහක් නෑ.. මෙහෙ හැමෝම අඩනවනෙ.. '
දවල් වන විට මගේ ශරීරය නිවසට ගෙනෙන ලදී.. පෙට්ටියක් මත මගේ ශරීරය තබා ඇත..
මල්, ලොකු පහනකුත් තියලා.. මා ඒ වටාම සැරිසරමින් බලා සිටියෙමි..
ලොකු අම්මා එනවා..
'ලොකු අම්මෙ අපෙ අම්මට අඩන්න එපා කියන්න..'
ඒත් මා කියන කිසිවක් ඇයට ඇසුනේ නැත.. ඇයත් හඩන්නට පටන් ගත්තාය..

"කොහොම හිටපු දරුවෙක්ද.. විසි තුනක්ලු වයස.. "
රාණි නැන්දා තවත් බිස්කට් එකක් අතට ගනිමින් කියුවාය..
"අපෙ අප්පෝ.. "
ඒ සෝමා අත්තම්මාය.. ඇගේ මුවේ සෑම විටම තිබෙන්නේ එම වචනයයි.. 
'සවස් වන විට චතුරි,මදූ, තිළිනි, නිමාලි ඒ සේරම ආවා.. ඒ මගේ යාලුවො.. එයාලා හැමෝම අඩනවා.. මදූ හයියෙන් කෑගහලා ඇඩුවා.. '
'මධූ අඩන්න එපා මම මේ ඉන්නෙ.. '
එයාට මම කියන දේ ඇහෙන්නෙ නෑ..
චූටි මල්ලියි එහා ගෙදර මල්ලි තරඟෙට බිස්කට් කනවා.. ඒක දැකලා මට හිනා ගියා.. පව්.
තාත්තා එකම තැන ඉඳගෙන ඉන්නවා.. 'අයියෙ කන්න යමු..' ලොකු තාත්තා කතා කරාට තාත්තා කන්න බෑ කිව්වා.. තාත්තගෙ ඇස් වල කදුළු! තාත්තටවත් මම කියන ඒවා ඇහෙනවද බලන්න මම කථා කරා.. ඒත් වැඩක් වුනේ නැහැ.. :'(
අයියලගෙ යාලුවො, ගමේ කට්ටිය.. හැමෝම ඇවිත් පෙට්ටිය උඩ තිබුන මට වැදලා ගියා..
පසු දින රංජිත් මාමාත් තවත් අයත් වලක් කැපීමට ගියෝය.. මාත් ඔවුන් පසුපසින් ගියෙමි..
'මම වගේ පාවෙන අය.. ගොඩක් එහෙ හිටිය.. මම ආපහු එනකොට ගොඩක් අය මාත් එක්ක ගෙදර ආවා..'
සදුනි නංගීත් මාධවීත් බීම සාදනු මා දුටුවෙමි.. එයත්  අඩනවා..
"පව් නිලූ අක්කා.. ඊයෙත් ක්ලාස් ඇරිලා ආවෙ මාත් එක්ක.. "
සදුනිට උදව් කරන්නට වුවමනාවක් මට තිබුනත් මට කිසිවක් ඇල්ලීමට නොහැක..
මා දින දෙකක් ගෙවා දැමුවේ මෙලෙසයි..
පසු දින මා වල වෙත රැගෙන යන විට අම්මාත් තාත්තාත් අයියලාත් ඇඩූ අයුරු මට දරා ගත නොහැක.. මගේ ශරීරය දමා තිබූ පෙට්ටිය අයියලා දෙන්නාත් කර තබා ගෙන එයි.. එය වලට දැමූ පසු සැමදෙනාම පස් දමනු දුටුවෙමි..
'මා වැනිම පාවෙන කෙනෙක් මට කථා කලා.. ඔලුව ගොඩක් ලොකුයි ඒ ගෑනු කෙනාගෙ..'
අපි බොහෝ දුර පාවුනෙමු.. කුඹුරු ගංගා උඩින්.. සිතන නිමේෂයෙන් මා පාවී ගියේය.. තවත් සතියකට පසු දිනෙක අමුතු බලයක් මට හඩ ගසනු දැනිනි..
'මොන කරදරයක්ද.. මට එන්න බෑ..'
ඒත් මා ඇදී ගියේය.. දුම පිරිච්ච කළු කුටියක්..
චූටි නැන්දා..?
නැන්දාත් තවත් කාන්තාවන් දෙදෙනෙකුත් එහි විය..
'මාව ඇදලා ශරීරයකට ගත්තා.. මාව හිර කරලා වගේ දැනුනෙ.. මම කථා කරන ඒවා නැන්දලට ඇහුනා.. එයාලා ඇස් ලොකු කරගෙන බලන් හිටියා.. නැන්දා බයවෙලා වගේ ඇඩුවා මම කථා කරනකොට..
"නිලූ, පුතේ මොකද්ද වුනේ.. ? "
"මගෙ පපුව රිදුනා නැන්දෙ.. ඊට පස්සෙ  මට දැනුනෙ නෑ.. අම්මට කියන්න අඩන්න එපා කියලා නැන්දෙ.. හැමෝම අඩනවා.."
නැන්දා කථා කර අවසන් වන විට මා එම බලයෙන් නිදහස් වුනෙමි.. නැවතත් සැහැල්ලු ජීවිතය මා සතු විය..
එදින මම ආපසු ගෙදර ආවෙමි..  තවමත් සෙනඟ පිරී  ඇත..
කෑම හදනවා.. එදා රෑ හාමුදුරුවරු ආවා.. මම කුරුමිනියෙක් හොයා ගත්තා.. උගෙ ඇග ඇතුලට ගිහිල්ලා මම පිරිත් අහගෙන හිටියා.. ඒවා ඇහෙද්දි සනීපයක් දැනුනා..
මගෙ ශරීරය තිබුන දවස තරම් කවුරුත් ඇඩුවෙ නෑ.. චූටි මල්ලිලා සෙල්ලම් කරා.. ඒත් මට සෙල්ලමට එන්න විදිහක් නෑනෙ..
රාණි නැන්දලා හයියෙන් හිනා වෙවී අපේ ගෙදර මොනවද කරන්නෙ බලන්න මම ගියා.. එයාලා උයනවා..
අම්මා තාමත් දුකෙන්.. හැම තිස්සෙම විහිලු කරන ලොකු අයියගෙ මූනෙ අද  හිනාවක් වත් තිබුනෙ නෑ.. මම අයියා ලගින්ම හිටියා.. මම කථා කලාට එයා බලන්නෙ වත් නෑ..
මාස තුනක්ම මම හිටියා.. අපේ ගෙදර වෙනදා වගේ නෙමෙයි.. කවුරුත් හිනා වුනේ නෑ.. කථා කරන්නෙත් නෑ වැඩිය..
ආයෙමත් දවසක අපේ ගෙදරට කට්ටිය පිරුණා.. ආයෙත් හාමුදුරුවරු ආවා.. මට යන්න වෙනවා කියලා මට දැනුනා..
ස්වාමීන් වහන්සේලා පිරිත් කියන ශබ්දය මට දිගින් දිගටම ඇසිනි.. සුදු එළියක් මා වටා පැතිර තිබිනි..
එම එලියෙහි කෙලවර තෙක් මා ඇදී යමි...
මා යලිත් ජීවිතයක් ලබන්නට යන බව මට හැඟිනි..
*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.
(සමාප්තයි.)

No comments:

Post a Comment