Monday, September 26, 2016

මවක් නොහඳුනන්නී.. 01 කොටස

මවක් නොහඳුනන්නී.. - 01 කොටස
හැදින්වීම :-
දරු සෙනෙහසක් පිළිබඳ කථා කිරීමක් මේ කථාංගය මගින් සිදු කරමි.. මවකගේ හැඟීම් ගැන කථා කිරීමට මා කුඩා වැඩියයි යමෙකුට සිතිය හැක.. නැත.. ඕනෑම කාන්තාවක් තුළ මවක් ජීවත් වේ.. ඇගේ ආත්මය පුරාම ඒ මව ජිවත් වේ.. ඇතැම් විට සොයුරියක්, යෙහෙලියක් බිරිදක් ලෙස සෙනෙහසින් ඔබව රැක ගන්නේ ඒ මව් ගුණයයි.. කාන්තාවක් ඈ සතු දස්කම් මතින් ඉදිරියටම යා යුතුය.. මා එය හදවතින්ම අනුමත කරමි. නමුත් විවාහ ජීවිතය මවක බිරිඳක ලෙස ඇය තමාගේ චරිතය මනා ලෙස තේරුම් ගත යුතුය.. ගයානිගේ සහ ශානිගේ ජීවිත තුලින් මා ඔබට කියාපාන්නට උත්සහ කරන්නේ එයයි...
*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*
"ගයානි මට අර KSO ගෲප් බිල්ඩින් එකේ නෙට්වර්ක් පොජෙක්ට් එකේ රිපෝර්ට් එක පුලුවන් ඉක්මනට හදලා ගෙනත් දෙන්න.. "
මා පුදුමයෙන් මිස්ට සුජීව දෙස බැලුවෙමි..
"සර් මම ඒක උදෙන්ම සර්ට ගෙනත් දුන්නනෙ... "
"ඔහ්. මේ දවස් වල මගෙ කල්පනාව නම්! ඕකේ. ගයානි යන්න."
මිස්ටර් සුජීව.. ගෙට්වේ ලංකා හි අධිපතිවරයායි.. ඔහු මෙලෙස සිහිමද අයෙකු සේ කටයුතු කරනු දැකීම දැන් දැන් නිතර සිදු වන්නකි..
දිනක් මා ප්‍රොජෙක්ට් ප්ලෑන් එකක් සාකච්චා කිරීමට ඔහු හමුවට එනවිට සුජීව මේසය මත හිස තබාගෙන සිටියේය..
"සර්... "
මා කටහඩ අවදි කලෙමි..
"අ.. ගයානි එන්න.. "
ඔහු හිස එසවූයේ රත් පැහැ දෙනෙත් පිසදා ගන්නා ගමන්ය..
"සර්...මොකක් හරි ප්‍රශ්නයක්ද? "
මා විමසුවේ ඔහුගේ එම පෙනුම දැක දැකත් නොඅසා සිටින්නට බැරි නිසාමය..
"නැහැ ගයානි.. මේ පොඩි හෙඩෙක් එකක්.."
එදින මා ඔහුගෙන් මදක් හෝ බල කර ඇසුවේ නම් ඔහුගේ ගැටළුව මට කියා පාන්නට තරම් ඔහු ඉදිරිපත් වන තරමට ඔහුගේ මනස ඒ මොහොතෙහි දුර්වල බව මට හොදින් වැටහිනි.. නමුත් මා ප්‍රතිපත්තියක් වශයෙන් මගේ සැමියාගේ හැර වෙනත් පිරිමින් ගේ ජීවිත වල දුක බෙදා ගන්නට නොයමි.. එදින මා එතනට පැමිනි රාජකාරිය නිමකරගෙන එතැනින් පිට වුනෙමි..
මිස්ට සුජීවගේ පෞද්ගලික ජීවිතය අප සැවොම ඉදිරියේ ගෙනහැර දක්වන්නේ නිලූ ය.. ඇය මිස්ට සුජීවගේ නිවසට නිවෙස් දෙකක් ආසන්නයේ ජීවත් වන්නියකි..
"ගයානි මැඩම් දන්නවද... අපේ සර්ට ඩිවෝස් එක හම්බ වෙලානෙ.. අම්මෝ අර යක්ශනීගෙන් දරු පැටියයි සර්රුයි බේරුනා.. දරුවගෙ අයිතිය උසාවියෙන් සර්ට හම්බ වෙලා තියෙන්නෙ.. ඒත් මේ ගෑණි එක කදුලක් එලියට දැම්මෙ නෑලුනෙ.. අනේ මෙහෙමත් අම්ම කෙනෙක්.. "
මා නිලූගේ කථා අසන්නට නොයමි.. එහෙත් ඇගේ මේ පුවත් අසා සිටින්නට ඕනෑ තරම් අය අප ආයතනයේ සිටී..
මා ප්‍රොජෙක්ට් මැනේජර්වරියක ලෙස ගෙට්වේ ලංකා වෙත පැමිනෙයේ මීට වසර දෙකකට පෙරයි.. ඒ කාලය මිස්ට සුජීව විවාහ දිවියට ඇතුලත් වූ අලුතයි.. එදා සිට අද වන තෙක් ඔහු ගේ ජීවිතයේ සිදුවූ වෙනස් වීම් සියල්ල මා දුටුවෙමි..  තම පරම්පරාවෙන් උරුම වූ ව්‍යාපාර වලට අත නොතබා ඔහු තමාගේම ව්‍යාපාරයක් කුඩාවට ආරම්භ කලේය.. අපගේ ගෙට්වේ ලංකා හි ඇරඹුම එලෙසයි..
එකල මෙහි සේවය කල ශානිකා නම් තරුණිය හා සුජීව සර් අතර ප්‍රේම සම්බන්ධයක් හට ගෙන ඇත.. ඔවුන් දෙදෙනාගේ මේ එකතුව ගෙට්වේ ලංකා ව්‍යාපාරය මෙසේ ඉහලට ගෙන ඒමට හේතු වී ඇත.. උපතින්ම ධනවතෙකු වූ පරම්පරාවෙන් ව්‍යාපාර ලද සුජීවට වඩා සාමාන්‍ය පවුලක ශානිකාට ව්‍යාපාර ඥානය හොදින් පිහිටා තිබුනේය.. ඇයගේ එකතු වීමත් සමඟ සුජීවගේ ව්‍යාපාරය ව්‍යාපාර ලොවේ ඉහලින්ම වැජඹිනි..  බම්බලපිටියෙහි තවත් ශාකාවක් ආරම්භ වී ඇත්තේ ඉන් පසුවයි..
කෙසේ වෙතත් ව්‍යාපාර සදහා ඔවුන්ගේ මෙම අනගි ගැලපීම විවාහ ජීවිතයක් සදහා නම් ගැලපීමක් වූයේ නැත.. ඔවුන් දෙදෙනාගේ ඇසුරට සුජීවගේ පාර්ශවයෙන් මව්පියන් බලවත් අකමැත්තක් දැක්වීය.. ඒ ශානිකා ඔවුන්ගේ පරම්පරාවට නොගැලපෙන බව කියමිනි..
නමුත් සුජීවගේ තනි කැමැත්තට ශානිකාගේත් ඔහුගේත් විවාහය සිදුවී ඇත.
ගත වූ කාලය තුළ මේ විවාහය දෙදරා යාමට හේතුව මම නොදනිමි.. නමුත් ව්‍යාපාරයේ ලද ආධිපත්‍ය ඇය නිවසේදී පවුල් ජීවිතය තුලත් තබා  ගන්නට උත්සහ කලා යැයි මා අනුමාන කරමි.. මා එසේ අනුමාන කිරීමට හේතුව  ඇගේ එම හැසිරීම් වරෙක මා දුටු බැවිනි..
ඔහුගේත් ඇයගේත් කුළුදුල් පුතු ඉපදුනු පසු අප ආයතනයේ කිහිප දෙනෙකුද සමග මා ද එහි ගියෙමි.. ශානිකා මැඩම් ගැන අසා තිබුනාට මා ඇයව ප්‍රථම වරට දුටුවේ එදිනයි.. එදින මා දුටු ඇගේ හැසිරීම සහ කථාබහ මට අද මේ නිගමනයට එලඹීමට හේතු විය..
අදටත් බම්බලපිටිය ශාකාව ඇගේ යටතේ පවතී.. මගේ සැමියා අනූපම සේවය කරන්නේ එහිය.. අප දෙදෙනාටම එකම ආයතනයක් තුල සේවය කරන්නට අවසර නැති බැවින් ඔහුත් මමත් එකම ව්‍යාපාරයක ආයතන දෙකට වීමු..
"ගයානි ඔන්න අපේ ශානි මැඩම් ගෙට්වේ ලංකා එකේ MD.. නෙක්ස්ට් මන්ත් ඉදන්.."
සවස නිවසේදී අනූපම මට කියුවේය..
"අහ්..එතකොට අපේ සුජීව සර්.. ? "
"ඒකනම් දන් නැහැ.. අපි ඉතින් හාර හාර අහන්න ගියෙ නෑ.. දන්නවනෙ එයාගෙ කට.. නෙක්ස්ට් මන්ත් ඉදන් ටෙම්ප්‍රරි  මෙහෙට කෙනෙක් දානවයි කිව්වෙ එයා හෙඩ් ඔෆිස්  එකට යනවා කියලා.."
"අපෙ සර් නම් එහෙම දෙයක් කිව්වෙ නෑ.. ශානි මැඩම් ට මුළු බිස්නස් එකම අයිති වෙලාද. ඒත් නෑ ටෙම්ප්‍රරි කෙනෙක්ව දානවා කියන්න ඇත්තෙ මැඩම් ආපහු එනවා ඇතිනෙ..."
"ඒ මොනවා උනත් ගයානි ඔයාට මැඩම් එක්ක වැඩ කිරීමේ දුර්ලභ අවස්තාවක් හම්බ වෙනවා.. "
"අනේ යන්න.. "
"හැමදාම මැඩම් එක්ක වැඩ කරන අමාරුව  මගෙන් අහලා විතරනෙ තිබුනෙ.. :D "
අනූපම කියුවේය..
"හා.. ඉතින් ඔයාට ඔය තරම් අමාරු නං මොකෝ ගෙට්වේ ලංකා එකේ තවත් හිටියෙ.. මේ රටේ වෙන කම්පැනීස් නෑ වගේ.. "
"ම්ම්.. අපේ එකේ මොනවා උනත් සැලරි හොදයිනෙ සුදෝ......... "
පසු දින උදෑසනම සුජීව සර්ගෙන් මට කැදවීමක් ලැබිනි.. 
"ගයානි, මම කැනඩා යනවා ටික කාලෙකට.. මාස කීයක් වගේද කියලා මට තාම කියන්න බැහැ..."
"සර් මේ හදිසියේම?? "
මා විමසුවෙමි...
"පර්සනල් ගමනක් ගයානි.... ශානි මේ කම්පැනි එකට ඒවි නෙක්ස්ට් මන්ත් ඉදලා..
මම...ගයානිට කථා කලේ.. ලොකු උදව්වක් ඕනෙ මට අනූපමගෙනුයි ගයානිගෙනුයි.."
"කියන්න සර්.. මොකද්ද.. "
ඔහු වෙනුවෙන් අපට කල හැක්කේ කුමක්දැයි මා විශ්මයට පත් වෙමින් ඔහුගෙන් ඇසුවෙමි..
"මම හවස එන්නම් ගයානිලගෙ ගෙවල් පැත්තෙ.. අනූපමට කියන්න... ආවම කථා කරමු.. මේ ගැන කථා කරන්න ඔය දෙන්නම ඕනේ.."
                       ============
"අනූ අද සුජීව සර් මෙහෙ එනවා කිව්වනෙ.."
මා මෙන්ම ඔහුද පුදුමයට පත් විය.. සර් කිසි දිනෙකත් මෙහි පැමින නැත..
"සර් ටික කාලෙකට කැනඩා යන කථාවක් කිවුවා.. අපි දෙන්නගෙන් ලොකු උදව්වක් ඕනෙලු.. මොකද්ද ඇහුවම කිව්වා කථා කරන්න අපි දෙන්නම ඕනේ ඒ නිසා හවසට මේ පැත්තෙ එනවා කියලා.."
"උදව්වක්?"
"ඒක තමයි මටත් පුදුමෙ.. බලමුකො.."
එදින සවස ඔහු අප නිවසට පැමිනියේය..
"මේ උදව්ව ඉල්ලන්න මට විශ්වාසවන්ත කෙනෙක් නැති නිසයි මම ඔය දෙන්න හොයාගෙන ආවෙ.. විශ්වාසවන්ත යාලුවෙක්වත් අඩුම තරමෙ මගෙ ගෙදර අයවත්... මේ දේ කරන්න නැහැ  අද මම ලඟ.. මට මගෙ ජීවිතේ ඔයාල ලඟ තියලා යන්න පුළුවන්ද.."
සුජීව සර්ගේ දෙනෙත් තෙත් වී ඇත.. අනූපමත් මමත් මුහුනට මුහුන බලා ගතිමු..
ජීවිතේ..?
ඔහු කියන්නේ කුමක්ද යන්න අප දෙදෙනාටම නොතේරේ..
අප දෙදෙනාගේම කුතුහලය පිරුණු දෑස් දුටු ඔහු මෙසේ පැවසීය..
"මගෙ දරු පැටියා.. මම ආපහු එනකන් මගේ දරු පැටියා බලා ගන්න ඔයාලට පුළුවන්ද... "
පීතෘ සෙනෙහසක් කැටි වුනු ආයාචනාත්මක ස්වරයකින් ඔහු අපගෙන් ඉල්ලා සිටියේය..
"මම කිසිම කෙනෙකුට නොකියපු කථාවක් තියෙනවා.. මට කැන්සර් එකක් තියෙනවා.. මම දැනගෙන දැනට මාස දෙකක් විතර.. මට මගේ පුතා වෙනුවෙන් ජීවත් වෙන්න ඕනේ අනූපම.. "
සර්ගේ මුවින් ඉකිබිදුමක් පිට විය... අනුපම ඔහු අසලට ගොස් දෑත් තදින් අල්ලා ගත්තේය.. මගේ දෑස් වලටද කදුළු නැගී තිබිනි..
"කැනඩා යන්නෙ ට්‍රීට්මන්ට් වලට... මගෙ යාලුවෙක් ඉන්නවා එහෙ.. මේ ගැන ශානි වත් දන්නෙ නැහැ.. එයා දැනගත්තයි කියලා වැඩක් වෙන්නැහැ කියලා මම දන්නවා.. තමන්ගෙම ලෙයින් හැදුන දරුවා ගැන හැගීමක් නැති එයාට.. මම ගැන අමුතුවෙන් ඇති වෙන හැගීමක් නෑ.
මගෙ මැරේජ් එකට ගෙදරින් කැමති වුනේ නැහැ.. ඒත් මම ශානිව මැරි කලා.. පොඩි පොඩි රණ්ඩු අපි අතර තිබුනා ඒ දවස් වල .. ඒත් අපි නොගැලපෙන බව තේරුනේ දරු පැටියා ලැබුනටත් පස්සෙ..
ගයානි ඔයා ඔයාලගෙ දරු පැටව් දෙන්නා ගැන තියෙන ගැගීම.. ඒ ආදරය මම දැකලා තියෙනවා.. ඒත් මම කවදාවත් ශානිගෙන් ඒ වගේ දෙයක් දැක්කෙ නෑ.. එයාට ඕනෙ වුනේ බිස්නස්.. හැමතිස්සෙම.. එයාට ෆැමිලි ලයිෆ් එක ඇතුලෙත් තිබුනෙ බිස්නස් එක ගැන කථාමයි.. තේරුම් කරලා දෙන්න යන හැම තිස්සෙම අපි අතර රණ්ඩු ඇති වුනා.. පුතාට අවුරුද්දයි අපි වෙන් වෙනකොට.. ඒත් එයාට දරුවා ගැන වත් කිසිම ගානක් තිබුනෙ නෑ.
මගෙ නංගි තමයි මෙච්චර කල් දරුවව බලා ගත්තෙ.. ජූලි වල එයා මැරි කරලා ඕස්ට්‍රේලියා ගියා.. අපෙ අම්මට ශානිව කොහෙත්ම පේන්න බැරුවයි හිටියෙ.. මම දරුවා ගෙනාව දවසෙ ඉදන් ඒ කිරිසප්පයගෙනුත් අම්ම දැක්කෙ ශානිව.. "
"සර් ගිහින් සනීප වෙලා එන්න.. මමයි ගයානියි දරුවව බලා ගන්නම්.. "
අනූපම කීවේය.. ඔව්. මගෙන් විමසීමට අවශ්‍ය නැත.අප දෙදෙනාගේම අදහස් වල වෙනසක් නැත...
සුජීව සර් පිටව ගියේ ලයේ තිබූ බරක් සැහැල්ලු කර ගත්තා යන හැඟීමෙන් බව අප දෙදෙනාටම වැටහිනි..
"සර් පව් අනූ.. මැඩම් ඔය වගේ කෙනෙක් උනේ ඇයිද මන්දා.."
"හ්ම්.. ඔයා දන්නෑ එයාගෙ හැටි.. මේ අපෙ සර් වුනත්... කවුරු උනත් මේ වගෙ අසරණ වෙලාවක උදව් නොකර බැහැනෙ.. ඔයාගෙ කැමැත්ත අහන්නෙත් නැතුව මම දරුවව භාර ගත්තට තරහක් නැහැනෙ.. "
"ඔන්න කිවුවා ඉතින් .. ඔයා ගත්තෙ හරිම තීරනේ අනූපම. ම්ම්ම්... අපේ දඟ මලු දෙකට තවත් එක්කෙනෙක් එකතු වෙන්නයි යන්නෙ එහෙනම් ඔන්න .. "
අප දෙදෙනාන එකවර සිනාසුනේ සිතේ මතුව ආ සෙනෙහසක්ද කැටිවයි...
අලුත් අමුත්තා සුජීව සර් සමග අප නිවසට පැමිනියේය...
"මොකද්ද පැටියගෙ නමම.... ම්ම්.... "
සියුමැලි සිනාවකින්ම දරුවා මගේ හදවතේ ලැගුම් ගත්තේය.. මෙවැනි කිරි දරුවකු ගැන තැකීමක් නොකරන දරුවාගේ මවත් සුජීවගේ මවත් පිළිබඳ මට පුදුම සිතිනි... මවකට එසේ විය හැකිද... මා ඔහුව වඩාගෙන තුරුලු කර ගත්තේ ඒ සිතිවිලි ඔස්සේ ඇති වූ හැඟීම මගේ හදවතට දරා ගත නොහැකි වූ නිසාය..
*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.
(මතු සම්බන්ධයි.)

No comments:

Post a Comment