Wednesday, September 14, 2016

කාලය හරහා සීගිරි අතීතයට... 13 කොටස

13 කොටස

ගලෙහි කොටා ඇති කටාරම් වලින් ජලය බැස යාමට සැලැස්වීම මැනවින් සිදු කර තිබිනි.. එසේ නොවුනේ නම් බලකොටු පවුර, ගලන ජලයෙන් විනාශ වීමට ඉඩ තිබෙන බව මුතූ ට වටහාගත හැකි විය..

සීගිරි නගරයේ කෘෂිකර්මාන්තය බොහෝ ස්වයංපෝෂිත විය... මේ සියලු නාගරික සංවර්ධනයන්ට රජුගේ මැදිහත් වීම නොමදව තිබිනි...
මේ සියලු ගවේශන හමුවේ මුතූ ආපසු යන දිනය ටිකෙන් ටික ඇය විසින්ම කල් දැමුවා ය...
දිනක් බෝධි කුමරිය මුණ ගැසුණු අවස්ථාවක මුතූ ඇගෙන් මෙසේ ඇසුවා ය..

"කුමරියනි යම් කිසි දවසක යුද්ධයක් ඇති වී, මේ රාජ්‍ය පරාජය වුවොත්..? ඔබ සියලු දෙනා කුමක්ද  කරන්නෙ.. "

කුමරිය මඳ සිනා පෑවා ය..

"මට විශ්වාසයි කිසි දිනෙක එසේ අප පරාජය නොවන  බව.. ඔබ දන්නෙ නැහැ පියාණන්ගේ යුධ ශක්තිය.. ඔහු ගිරිය ඔහුගේ රාජධානිය ලෙස තෝරා ගත්තෙත් මෙහි අපට තිබෙන ආරක්ශාව ගැන සිතා.. කිසිවෙකුට හැකි වන්නේ නැහැ ඔහුව පරාජය කරන්නට.. "

කුමරිය තම පියාණන් ගැන ආඩම්බරයෙන් කථා කලාය.. 
රජුගේ යුධ ශක්තිය පිළිබඳ මුතූ හොදින් අධ්‍යනය කර තිබිනි..
ඇය ඒ පිළිබද නොදන්නා ලෙස එවැනි පැනයක් නැඟූ බව කුමරිය සිතුවත් මුතූ එම ප්‍රශ්නය නැඟුවේ තමා පමණක් දන්නා රාජධානියේ අනාගතය පිළිබඳ සිතා ය..
මෙම සීගිරියේ ආරක්ෂක කලාපය ලෙස වැදගත් වූයේ ඉනාමළුව යි.. වර්ථමායෙන් මුතූ දැන සිටි තොරතුරු අනුව ඉනාමළුව මීටර 383 පමණ වන උස් බිමකි.. එයට දකුණින් මීටර 300 පමන වන උස් බිමක් වූ කිතුල්හිටියාව පිහිටා ඇත.. ආරක්ෂක සේනා තර කිරීමටත් යුධ කටයුතු නිරීක්ෂනය කිරීමටත් මෙම උස් බිම් ප්‍රයෝජනයට ගැනිනි.

එක් සිදුවීමකින්, එක් මොහොතකින් සියල්ල වෙනස් වී යා හැක.. අනාගතයේ සිදු වන දේ කුමරියට පවසන්නට මුතූ ට අවශ්‍ය නොවුනා ය.. එහෙත් මුතූ මෙසේ විමසුවා ය..

" නැහැ කුමරියනි.. අපි සිතමු එසේ සිදු වුවා කියලා.. නිකමට පවසන්නකො ඔබ.. "

කුමරියගේ මුහුණ අදුරු විය.. එසේ සිතන්නට පවා ඇය අකමැති ය.. මුතූ ගේ පෙරැත්තයෙන් පසු ඈ බොහෝ වේලා කල්පනා කර මෙසේ පැවසී ය..

" ඔබ මෙය කිසිවෙකුට නොපැවසිය යුතුයි.. "

" කුමක්ද කුමරියනි..., නැහැ මා කිසිවෙකුට පවසන්නෙ නැහැ.. පොරොන්දු වෙනවා ඔබට.."

"හදිසියේ ආක්‍රමනයකට ලක් වීමකට සිදු වුවොත් පලා යාමට උමගක් තිබෙනවා මේ ගිරිය තුලින්..."

"එහෙත් කුමරියනි එය තිබෙන්නෙ ගිරි පාමුලටනෙ.. පලා යාමෙහි තේරුමක් නැති වේවි.. "

"නැහැ මුතූ.. ගිරිය තුලින් වෙනත් උමගක්.. එය මාතලේ දක්වා තිබෙනවා... අපට පලා ගොස් දිවි බේරා ගැනීමට හැකියි.. ගිරි පාමුල දක්වා තිබෙන උමං මඟ තරම් පටු නැහැ එය.. ගිරි පාමුල සිට ඇත් රියකින් වුවත් මාතලේට යා හැකි තරම් විශාලයි එම උමඟ..."

මුතූ විශ්මයට පත් නුවූවා ය.. ඇයට අවශ්‍ය වූයේ ඈ අනුමාන කර තිබූ දෙයෙහි හා උමඟක් පැවතීම පිළිබඳ සත්‍යතාව තහවුරු කර ගැනීම පමනි... එය සත්‍යක් වී ඇත.
එම උමඟත් දැක ගැනීමට මුතූට ආශා සිතිනි.. නමුත් එය කල නොහැක්කකි. ඇය කුමරියට පොරොන්දු වී හමාරය.. එසේ නොවෙතත් ඇතැම් විට මේ රහස් උමඟ පිළිබඳ මුතූ ගේ දැනුවත් බව රජු අපේක්ෂා නොකරන්නක් විය හැක.. එම නිසා ඒ පිළිබඳව තවත් නොසිතීමට මුතූ කල්පනා කලා ය...

මේ වන විට බිතු සිතුවම් පන්සියයකට පමණ ආසන්න ප්‍රමණයක් සිතුවම් කර තිබිනි... මුල් කාලයන් වලදී ඇදි සිතුවම් කුමරියන්ගේ මැදිහත් වීම මත නැවතත් ප්‍රතිසංස්කරණය කරන ලදී..
සීගිරි නගර යේ සංචාරය සදහා මුතූ බොහෝ ප්‍රියකලා ය.. නමුත් එසේ මාලිගයෙන් දුර බැහැර සංචාරය සදහා  කුමරියන්ට හා බිසවුන්ට අවසර ලැබුනේ කලාතුරකිනි..  ඔවුන් මාලිගයෙන් පිටතට ගියේ නම් බොහෝ විට ඒ පිදුරංගල විහාරය වන්දනා කිරීම සඳහා ය..

...............................................................

කිහිප දිනෙක පටන් රජු, අමාත්‍ය මණ්ඩලය කලබලකාරී විය.. රජු මාලිගාවෙන් පිටත සංචාර සඳහා හෝ යාම නවත්වා තිබිනි.. රජු, අමාත්‍ය මණ්ඩලය හා ආරක්ශක සෙබල ප්‍රධානීන් සමග  සාකච්චා පැවැත්වීම නිතර දකින්නට  ලැබිනි..
මුතූ ට මේ වෙනස කුතුහලයක් විය.. බෝධි කුමරියගෙන් මේ පිළිබඳ යමක් දැන ගත හැකි යැයි සිතූ ඈ කුමරිය සිටි මාලිගාව වෙත ගොස් ඇයව මුණ ගැසිනි..

********************************

(මතු සම්බන්ධයි.)

**එදා කලින් උමඟ ගැන කියද්දි මම කිවුවා තවත් උමඟක් තියෙනවා මම ඒක පසුවට කියන්නම් කියලා.. ඒ ගැන තොරතුරු සොයන විට හම්බ වුන ලිපියක් මේ. මම ඒ විදිහටම දාන්නම්. කියවලා බලන්නකො ඔයාලත්.
(2016. 01. 30 මව්බිම පුවත්පතේ .. 'පාරදිගේ' යන ලිපියෙන්..)

...............................................................
අපි දඹුල්ල සිට ගමන් ආරම්භ කළෙමු ඒ බකමූණ, ඇළහැර දෙසින් මොරගහකන්ද දෙසට යෑම සඳහාය. මොරගහකන්ද මතු අනාගතය උදෙසා කැප කිරීමක් කරන්නා වූ බිම් කඩක් ලෙස හඳුන්වා දිය හැකිය. මෙහි නිර්මාණය වන සුවිශාල ජලාශය පෝෂණය කරනු ලබන්නේ අඹන්ගඟේ දියවරෙනි. චීන්නුද - මෙරටුන්ද එක සීරුවට ජලාශය ගොඩනැංවීම සඳහා දහදිය වගුරුවති.

උමඟ කට මතුවුණේ මෙතැනින් නෙවේ ගල්කන්ද උඩින්. එතැන තිබුණු ගල් කූඤ්ඤය කඩාගෙන බැහැලා තමයි පල්ලෙහා සීමාවෙන් උමං කටක් මතුවුණේ. උමඟ කෙළින්ම සම්බන්ධ වෙලා තියෙන්නේ අර අෑතින් පේන්න තියෙන පර්වතය පාමුලම තියෙන උමං කටට. එතකොට අඹන්ගඟ ගලාගෙන ගිහින් තියෙන්නේ උමඟට උඩින්. ඒකයි මෙතැන තියෙන වැදගත්ම දේ.
මොරගහකන්ද ජලාශය හදන එකට ශක්‍යතා වාර්තා දෙන්න ජපානයෙන් ආවා. ඒත් ඒ අය බැහැයි කියලා තියෙන්නේ මේ වගේ උමං පද්ධති මේ පළාතේ වැඩිපුරම තියෙන නිසා. මේවා ස්වාභාවික නොවේ කෘත්‍රිමව නිර්මාණය කරපු ඒවා. ඒ කෘත්‍රිම උමං පද්ධතියකින් ජලය කාන්දු වෙයි කියන බය තමයි ජපන්නුන්ට තිබිලා තියෙන්නෙ.
මම හරියටම කියන්න දන්නේ නෑ, ඒ වුණාට මිනිස්සු කියනවා ජපනා ඇවිත් මේ පළාත පරීක්‍ෂා කරද්දී මේ උමඟ හඳුනාගෙන තියෙනවා කියලා. ඒ අය කියන විදියට උමඟ ඇතුළට නිකුත් කරපු අධි සංඥා පිටවලා තියෙන්නේ මාතලය පැත්තෙනුයි, සීගිරියෙනුයිලු, ඒ කියන්නේ මාතලේ ඉඳන් සීගිරියට යන්න රාවණා රජ කාලේ හදාපු උමඟක් විදියටයි මේ උමඟ මේ පැත්තේ මිනිස්සු සලකන්නේ. ඒත් නිශ්චිත පරීක්‍ෂණ මොනවත් තාම හරියට කෙරිලා නෑ..
.................................................................

No comments:

Post a Comment