Wednesday, September 14, 2016

කාලය හරහා සීගිරි අතීතයට... 12 කොටස

12 කොටස

මාලා සියල්ලක්ම මුතූට පැහැදිලි කලා ය..

"බදාමය සඳහා යොදා ගත්තේ මකුළු මැටි, ගොකටු කිරි හා රණවරා ආදිය... මේ බදාමය දිලිසෙන සුලු සුදු පැහැතියි... සිතුවම් පැහැදිලිව දැක ගත හැකියි ඈත සිට වුවත් ඒ නිසා.. "

ඇය මුතූට පින්සලක් පෙන්වූවා ය.. දැවමය කූරක් අග කෙදි තිබිනි.. වැටකෙයියා කෙදි බව ඈ පැවසුවා ය..
තෙත බදාමය තුල මෙසේ ඇදීමෙන් සිතුවම් බොහෝ කාලයක් තබා ගත හැකියි... වර්ණ ද්‍රාවනය කිරීමට මී පැණි, දිවුල් ලාටු හා බිත්තර සුදු මදය වැනි දෑ භාවිතා කරන බව මුතුට ඇගෙන් දැන ගත හැකි විය.. මුතූ මෙසේ පැවසුවා ය..

"ඔබ දන්නවාද.. මා ජීවත් වන්නෙ වසර එක් දහස් පන්සියයක් පමන ඈත අනාගතයේ මේ සිතුවම් කිහිපයක් මෙහි ඉතිරිව තිබෙනවා ඒ කාලය වන විටත්..
ඇත්තෙන්ම ඔබ දක්ෂයි! "

ඈ බොහෝ නිහතමානීව පිළිතුරු දුන්නා ය..

" මගේ පියා දක්ශ චිත්‍ර ශිල්පියෙකුයි.. ඔහුගෙනුයි මා මේ සියලු ශිල්පයන් ඉගෙන ගත්තෙ.. " :)

සෑම දිනකම උදෑසන අවදි වීමට ඝාන්ඨාවක් වැනි යමක් ශබ්ද කෙරිනි... සියල්ලෝම අවදි වන්නේ එයටයි..
උදෑසන දිය නෑම සදහා පොකුන වෙතට ගිය මුතූට අනෙක් පොකුනෙහි කුමරියන් දිය කෙලින බව දැන ගන්නට ලැබිනි.. සිතුවම් ශිල්පිනියද එහි සිටියා ය..
උත්පලවන්නා කුමරිය අතෙහි මල් වට්ටියක් විය.. මහනෙල් නෙළුම් හා තවත් වර්ණවත් මලින් එය පිරී තිබිනි.. බෝධි කුමරිය ඉන් මල් ගෙන ජලය මත පා කලාය.. මල් පෙති ජලය මතුපිට අපූරු රටා මැවීය..
සිතුවම් ශිල්පිනියට නම් සිතුවම් කිරීම සදහා එය කදිම දසුනක් විය... ඉගටිය තෙක් ජලයෙහි ගිලී සිටි කුමරියන් දෙදෙන ජලය මත මල් පා කිරීමේ කෙලියෙන් පසු ගොඩට විත් ආභරන ගලවා තබා මල් හා මල් පෙති පිරුණු දියෙහි බැස නෑවෝය..

සීගිරි වැව බලන්නට මුතූට ආශා සිතිනි.. මේ සදහා ඈ රජුගෙන් අවසර ගත්තාය.. ඇගේ ඉල්ලීම පරිදි පෙර අවස්ථාවේදී ඇය පොකුණු පිළිබඳ අසා දැන ගත් සග්ගාර නැමැත්තා ඈ සමග යැවීමට රජු එකඟ විය..
වැව පිළිබඳ මුතූට බොහෝ දේ ඔහුගෙන් දැන ගත හැකිවිය.. රාජධානිය ගොඩනැගීමට අවශ්‍ය ගඩොල් නිපදවීමට අවශ්‍ය මැටි ලබා ගැනීම සදහා පොලවේ කැනීම සිදු කර ඇත.. පසුව එම තැන්  වැව් ලෙස ස්ථාපිත වූ බව ඔහු පැවසීය.. නිල්වන් දිය පිරි විශාල වැවක් ඔවුන් ඉදිරියේ විය.. එම වැව කුඩා වැව් කීපයක් එක් කොට ඉදිකල වැවක් බව ඔහු පැවසී ය.. එම කුඩා වැව් නම් වේගොල්ල, ගල් ඉඳියා, හුඹස් ගමුව, ඉරහද කෙටූ නායටන් වල.. නම් විය..
වර්තමානයේ මෙම ජලාශය මෙතරම් ජල මට්ටම ඉහල නැති බව මුතූ දැන සිටියා ය. සංචාරක කර්මාන්තය දියුණු වීමේදී සීගිරිය අවට හෝටල් ගොඩ නැංවීමත් සමග වැව ගොඩ විය.. සිගිරියේ පොකුණු, ජල මල් ක්‍රියාත්මක වීමට නම් මෙම වැව් ජල මට්ටම පොකුණු හා ජල මල් වලට ඉහලින් තිබිය යුතුය..

තමන්ද සිතුවමට නගන ලෙස රජුට අන්තඃපුර ස්ත්‍රීන්ගේ ගේ ඉල්ලීමක් විය. කුමරියන් ඒ පිළිබඳ අකමැත්ත අප්‍රසිද්ධියේ පල කලෝ ය.. අවසානයේ අන්තඃපුර ස්ත්‍රීන් සදහා ද සිතුවම් ඇඳීමට ඉඩක් වෙන් විය.. සිතුවම් නැරඹීම සඳහා ජල උද්‍යානයට ඉහලින් වේදිකාවක් ද ගොඩ නැංවිනි..

~වසර තුනකට පසු~
,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

සෑම දිනකම මුතූට දැන ගැනීමට අලුත් දේ විය.. ඈ සිගිරි රාජධානියේ සුන්දර බවට ලොල් වී සිටියා ය.. යමක් ගැන කුතුහලයක් ඇති වී ඒ පිළිබඳව තොරතුරු සොයා පැහැදිලි කර ගෙන අවසන් වන විටම ඇයට සෙවීමට තවත් දෙයක් විය..
එම ප්‍රදේශය තුල ආර්ථික සමාජීය හා පාරිසරික ක්ෂේත්‍ර වල සීඝ්‍ර වර්ධනයක් සිදු විය.. මේ ප්‍රදේශය ප්‍රධාන විපර්යාසයන්ට භාජනය කල පුද්ගලයා.. කාශ්‍යප රජු විය..
නාගරික සංකීර්ණය ඉදි කිරීම සඳහා ප්‍රධාන වශයෙන්ම උපයෝගී කර ගෙන තිබුනේ ප්‍රදේශයේ ස්වාභාවික සම්පත්‍ ය..
ආරක්ශක පවුරු ඉදි කිරීමේ ද්‍රව්‍ය ප්‍රධාන වර්ග දෙකක් විය.. එක් වර්ගයක් කළු ගල් වූ අතර අනෙක මැටියෙන් සාදා ගත් ගඩොල් විය..
කඩා වැටීම් වලට ලක් වන සීගිරි පර්වතය අවට ප්‍රදේශය පුරා විහිදී පැතිරී ඇති කළු ගල් මෙම ඉදි කිරීම් සඳහා යොදා ගෙන ඇත..
මෙලෙස සීගිරි ගලෙන් කඩා වැටුනු ගල් එකතු කර තැනූ පවුරු වලින්  අලංකාරයත් ආරක්ශාවත් ලැබිනි.. එපමණක් නොව ස්ථානීය වශයෙන් සිදු වන ඛාදනය  ඉන් වැලකිනි..

**********************************
(මතු සම්බන්ධයි.)

*සිතුවම් බදාම, වර්ණ ද්‍රාවන, පින්සල, වැව, ඉදිකිරීම් මේ සියල්ල මූලාශ්‍ර වලින් සොයා ගත් තොරතුරුය..
*සිතුවම් පිළිබඳ  ඇති මතවාද පිළිබද කරුණු පහතින් දක්වා ඇත.

සීගිරි සිතුවම් පිළිබඳ පවතින වියතුන්ගේ මත (සංක්‍ෂිප්තව) මෙසේ දක්වන්නම්...

01. පිදුරංගල විහාරයේ පූජාවකට යන බිසෝවරු හා පරිවාරිකාවන් ය - එච්. සී. පී. බෙල් (1890 - 1912)

02. වළාකුළු මත පාවෙන අප්සරාවන් ය. - ආචාර්ය ආනන්ද කුමාරස්‌වාමි (1908)

03. පූජාවක්‌ සඳහා යන අඟනෝ ය. - විනිස්‌ටන් ස්‌මිත් (1911)

04. තුසිත දෙව්ලොව දෙවඟනන් ය. - හැවන් (1926)

05. පූජාවකට යන දෙවඟනන් ය. - බෙන්ජමින් රෝලන්ඩ් (1938)

06. ආලකමන්දාවේ විඡ්ජුලතා හා මේඝලතාවෝ ය - සෙනරත් පරණවිතාන (1947)

07. කාශ්‍යප මළ සොවින් වැළපෙන බිසෝවරු ය. - නන්දදේව විඡේසේකර (1959)

08. දිය කෙළියට යන බිසෝවරු ය. - මාර්ටින් වික්‍රමසිංහ

09. අවලෝකිතේශ්වර බෝසතුන්ගේ පරිවාරිකාවන් ය. - රාජා ද සිල්වා (1989)

10. කාශ්‍යප රජුගේ දියණියන් දෙදෙනා ය. - අබය ආර්යසිංහ 

11. ලිංග පූජාවට යන කාන්තාවන් ය. - ඊ. පී. දැරණියගල

මේ ඉන්නෙ කාශ්‍යප රජුගෙ දියණියෝමය කියලා අබය ආර්‍යසිංහයන් පොතක් ලියලා තියෙනවලු ඔහුගේ තර්ක සමග. ඒත් මට ඒක හොයා ගන්න ලැබුනෙ නැහැ.. හම්බ උනා නම් තවත් ගොඩක් තොරතුරු මේකට එක් කරන්න තිබුනා... මේ සිතුවම් වල කාන්තාවන් වර්ග දෙකක් ඉන්නවා කියලා හොදට බලපු විචාරකයින් කියලා තියෙනවනෙ. රන්වන් සහ නිල්. නිල් කියන්නෙ කළු වගේ.. විජ්ජු ලතා හා මේඝ ලතා කියලා සෙනරත් මහතා හදුන්වන්නත්, බිසෝවරුයි සේවිකාවනුයි කියලා බෙල් මහතා හදුන්වන්නත් හේතුව, ඔවුන් දැක්කා කාන්තාවන් වර්ග දෙකක්.
ඒත් අබය මහතා ගෙන එන තර්කය තමයි හොදින් බැලුවම පැහැදිලි වෙනවලු කාන්තාවන් වර්ග දෙකක් නෙමෙයි හැමතැනම ඉන්නෙ කාන්තාවන් දෙන්නෙක් කියලා.. රජු දියණියන් වෙනුවෙන් විහාරයකුත් පූජා කලා සංඝයාට.. දියණියන්ට ගොඩක් ආදරය කල පියෙක් කියලා හිතන්න පුළුවන් ඒකෙන්.ඉතින් ඔවුන්ගෙ සිතුවම් ත් ඇන්දෙව්වා වෙන්න පුලුවන් කියලයි මට හිතෙන්නෙ.. උත්පලවන්නට ඒ නම දැම්මෙ එයාගෙ සමේ පාට නිසා වෙන්නැති කියලා තර්කයක් හම්බ උනා.. උපුල් වන් දම් පාට..නිල්... ඉතින් මේ කළු පැහැති කාන්තාව ඇය වෙන්න පුළුවන් කියලයි මතය.. තවත් තැනක තොරතුරක් හම්බ උනා කුමරියන් පසු කලෙක සිතුවම් ප්‍රතිසංස්කරණය කෙරෙව්වා කියලා.. ඒත් මම කියන්නෙ නෑ සිතුවම් පන්සිය ගනනෙම ඉන්න ඇත්තෙ ඒ දෙන්නා කියලා. සමහර විට ඒ දෙන්නා තමන් ඉන්න සිතුවම් විතරක් එහෙම සංස්කරණය කලාද දන්නෙ නැහැනෙ.. අද ඉතිරි වෙලා තියෙන සිතුවම් විසි ගනනින් ඒ දෙන්නමනෙ ඉන්නෙ.. ප්‍රකට අනිත් මතවාද එක්ක මගෙ හිතට තර්කානුකූලව මේකම වෙන්න ඇති කියලා හිතුන මතය තමයි මම ගත්තෙ.මම විශ්වාස කරන්නෙත් ඒක.

පහු ගිය කාලෙ කථාව ලියන්න පටන් ගත්තා කියලා මම දාපු පෝස්ට් එකේ මම මේ තර්කය ලියලා තිබුනනෙ. ඉතින් කෙනෙක් කමෙන්ට් එකකින් මට බැනලා තිබුනා ඔයාට පිස්සුද රජු තමන්ගෙ දූවරුන් උඩුකය නිරුවත්ව අදින්න ඉඩ දෙයිද කියලා.. ඔහු කිව්වෙ මේ ඉන්නෙ අන්තඃපුර ස්ත්‍රීන් කියලා.. ඒත් මේ උඩු කය නිරුවත්ව සිටීම.. ඔවුන් ඒක විලාසිතාවක් හෝ රාජකීයත්වය පෙන්වන  විශේෂ දෙයක් ලෙස සලකන්න ඇතැයි කියලා මට හිතුනා.. නිරුවත්කම ලැජ්ජාවක් කියලා මතයක් තිබුනා නම් අන්තඃපුර ස්ත්‍රීන් උනත් මෙහෙම අදීවිද කියලා ප්‍රශ්නයක් තියෙනවනෙ...

අනිත් එක මේ කාන්තාවන්ගෙ ඉනෙන් පහල ඇදලා නැහැ.. ඒ නිසා වලාකුළුවල පාවෙන දිව්‍යාංගනාවන් කියලත් කියනව.. ඒත් ඉනෙන් පහල නැත්තෙ ඔවුන් වතුරෙ ගිලිලා ඉන්න නිසා කියලා හිතන්නත් පුළුවන්. එහෙම මතයක් මාර්ටීන් වික්‍රම සිංහයන් ඉදිරිපත් කරලා තිබුනා.. ඒත් විචාරකයන් කිවුවෙ මාර්ටීන් කවුද ඔහු පොත් ලියන්නෙක් මිස අතීතය ගැන විද්‍යාඥයෙක් නෙමෙයිනෙ. මත ඉදිරිපත් කරන්න ඔහු කව්ද කියලා.. එහෙම ප්‍රතික්ශේප කරන එක හරි නැහැ මම නම් හිතන්නෙ.
බොහෝම බොහෝම දුර්ලභ කතාවකුත් හම්බ වුනා සිතුවම් ගැන හොයද්දි මට.. සීගිරි කුරුටු ගීයක  කියවෙනවලු සිතුවම් වල සිටි පිරිමියෙක් ගැන. මොහුගෙ සිතුවම තමයි පිරිමි රුවකට එහි තිබිලා තියෙන්නෙ කියන විදිහට. මුහුන විහිලු පෙනුමක් ඇති කෙනෙක් කියලලු කියවෙන්නෙ.. ඉතින් ඒකෙ තිබුන මතය තමයි ඔහු අන්තඃපුර කාන්තාවන් ගෙ කුටි මුරට සිටි නපුංසක සෙබලෙක් වෙන්න ඇති කියලා..

කොහොම උනත් මේ ගැන විස්තර හොයපු මට හොද කතාවක් හම්බවුනා අහම්බෙන්. ඒක ඒ විදිහටම ඔයාලට දාන්න හිතාගෙන මම ආයෙ හෙව්වා හම්බ උනේ නැහැ. මම මතක විදිහට කියන්නම්..
පොඩි දරුවෙක් චිත්‍ර ප්‍රදර්ශනේකට චිත්‍රයක් ඉදිරිපත් කලාලු.. ඒක සම්පූර්ණයෙන්ම ඇදලා තිබුනෙ රතු පාට පැස්ටල් එකකින්ලු. පාට කරලා තිබුනෙත් ඒ පැස්ටල් එකෙන්මයිලු. ඉතින් ප්‍රදර්ශනයට ආපු ආරාධිත අමුත්තොද විනිශ්ච මණ්ඩලයද කියලා මට මතක නැහැ ඔවුන් එකේක මත ඉදිරිපත් කලාලු මේ චිත්‍රෙ ගැන.. එක්කෙනෙක් කිව්වාලු මේ ඇදපු ලමයට මොකක් හරි මානසික ආබාධයක් තියෙනව. එකම පාටින් මුලු චිත්‍රෙම අදින් නැහැ සාමාන්‍ය ලමයෙක්. ඔහුව වෛද්‍යවරයෙකුට යොමු කරන්න ඕනෙ කියලා.. ඒත් තවත් කෙනෙක් දැක්කෙ මේක ලමයගෙ දක්ශතාවය විදිහට.. ඔහු එක වර්ණයක් යොදාගෙන අපූරුවට සිතුවම ඇදලා තියෙනවා.. එයා දැක්කෙ ඒ දරුවා එක වර්ණයක් හිතාමතා යොදා ගත්තෙ කලාත්මක බව නිසා කියලා.. මෙහෙම එකෙක්කෙනා එකේක ඒව කිව්වලු.. අන්තිමට ඒ දරුවව ගෙන්වලා ඇහුවලු මේ ගැන.. ඒ දරුවා කියලා තියෙන්නෙ එයාගෙ පාට පෙට්ටියේ ඉතුරු වෙලා තිබුනෙ රතු පාට විතරයි. ඒ නිසයි ඒකෙන් ඇන්දෙ කියලා.. :D

ඉතින් විචාරකයොන්ට ඕන දෙයක් කියන්න පුළුවන්. මට ඒ කතාව දැක්කම ගොඩක්ම හිතුනෙ සෙනරත් පරණවිතාන මහත්මයගෙ තර්කෙ ගැන. එම කාන්තාවන් මේඝලතා හා විජ්ජුලතා බව ඔහු කියනවනෙ.. ඒ තරම් සංකීර්ණ අදහසක් සිතුවම් ශිල්පියා අහලවත් නැති වෙන්න පුළුවන්. :D

කවුරු කොහොම කිවුවත් මොකක් හරි සරල දෙයක් තමයි තියෙන්න ඇත්තෙ..
නිකමට හිතන්න මුතූ කණ්නාඩියක් එහෙ අරන් ගිහින් තිබුනා කියලා.. එයාලා මොන තරම් අර්ථකථන ඒකට දෙයිද... මායාවක් කියයි.. ඒත් ඇත්ත බොහොම සරල දෙයක්! අතීතය දේවල් ගැන වර්ථමානයේ අය කියන මතත් ඒ වගෙයි කියලා මට හිතෙන්නෙ..

මම සීගිරි සිතුවම් විචාරකයින්ගෙ අදහස් ප්‍රතික්ෂේප කරන්නවත්, ඔවුන්ගේ අදහස් පහත් කරන්න කියන දෙයක් නෙමෙයි.. ඔයාලා දන්නවනෙ.. :) හැමෝටම නිදහසක් තියෙනවා තමන්ගේ අදහස ප්‍රකාශ කරන්න.. සමහර විට ඇත්ත මේ අපි කවුරුවත් නොකියපු, නොහිතපු එකක් වෙන්න පුළුවන්.. මම හැමදාම කියනවා වගේ අතීතයටම යන්න වෙනවා ඇත්ත හොයන්න.. :) :)

No comments:

Post a Comment