Wednesday, September 14, 2016

කාලය හරහා සීගිරි අතීතයට... 11 කොටස

11 කොටස

"කවුරුන්ද කුමරියනි ඒ සිතුවම් ශිල්පියා...?"

"ශිල්පියෙකු නොවෙයි.. ශිල්පිනියකුයි පැමිනෙන්නෙ.. පියාණන් නගර සංචාරයේ යන විට  සිත්තරෙකු ගේ දස්කම් දැක තිබෙනවා.. ඔහු හරි අපූරුවට සිතුවම් අදිනවලු.."

"ශිල්පිනියක් යැයි පැවසුවෙ කුමරියනි එසේනම්.."

"ඔව්. ඔහුගෙ දියණිය.. ඇයත් එතරම්ම දක්ශ යැයි පවසනවා.. එම ශිල්පිනියට අප සමග ගැවසීමට සිදු වෙනවා.. අපගේ ඉරියව් මෙන්ම සිතුවමට නැගිය යුතු අවස්ථා නිරීක්ශනය කරන්නට.. ඉන් පසුවයි සිතුවම් අදින්නෙ.. ශිල්පියෙකු සිටී නම් එසේ අප සමග ම ගැවසෙන්නේ කෙසේද.. පියාණන් කැමති නැහැ එයට.. ඇයට හෙට දිනයේම පැමිනෙන්න යැයි පියාණන් අණ කර තිබෙනවා.. දන්නවද ඔබ.. ඇගේ පියා තමය බෝ උපුල්වන් විහාර සිතුවම් සංස්කරණයටත් සහය වී තිබෙන්නේ.. හෙට දිනයේ ඇය මෙහි ඒවී..."

මුතූ තම කුටියට යන අතරමඟ සිතීමට බොහෝ දේ තිබිනි. 
"එහෙම නම් ඒ සිතුවම් අදිනු ලැබුවේ කාන්තාවක්! "
උදෑසනින්ම එම ශිල්පිනිය පැමිණියා ය.. ඇය මාලා නම් විය.. ඇයව රැගෙන එනු ලැබ තිබුනේද කර්කටක යන්ත්‍රය මගිනි.. ඇයට අවශ්‍ය ද්‍රව්‍ය ඈ රජුට පවසා සිටිඅතර ඒවා සැපයීමට රජු සේවකයින්ට අණ කලේය..
කුමරියන්ගේ මාලිගය ආසන්නයේ සේවිකාවන්ගේ කුටියක් ඈ සඳහා වෙන් විය..
මුතූ ඇය හමුවට ගියා ය.. මුතූ තම වග තුග පැවසූ පසු ඇය මුතූ සමග කථා බහ කිරීමට චකිතයක් දැක්වූවා ය.. නමුත් බොහෝ දෑ කථා කිරීමෙන් පසු ඇය මුතූ හා මිතුරු විය..

එදින රජ පවුල බොහෝ සතුටින් විය.. රාත්‍රියේදී සියල්ලන්ම සාමීචියේ යෙදුනහ.. තම වීණාව ගෙන එන ලෙස බෝධි කුමරිය සේවිකාවකට අණ කලා ය..  වීණාව! එසේ නම් එහි හඩ තමයි මට මෙහි පැමිණි පළමු දින අසන්නට ලැබුනෙ.. මුතූ සිතුවා ය..
කුමරිය අලංකාර ලෙස වීණාව වැයුවාය.. උත්පලවන්නා කුමරිය මියුරු හඩින් එම සංගීතයට  ගීයක් ගැයුවාය.. මුතූ  විශ්මයට පත් වූ කරුණ නම් රජුගේ මව තාලම්පටක් වැයීමය.. ඇය සංගීතයට, විනෝදයට ලැද්දියක් බව මුතූට කිසි විටෙක හැඟී  තිබුනේ නැත..
මේ සියල්ල සිතුවම් ශිල්පිනිය හොදින් නිරීක්ෂනය කරනු මුතූ දුටුවා ය..

පසුදා උදෑසන වන විට සිතුවම් සදහා අවශ්‍ය සියලු දේ සූදානම්ව තිබිනි...
පර්වතයෙහි එක් පසක් සිතුවම් ඇදීම සදහා සිතුවම් ලෙන් ලෙස වෙන්ව තිබිනි..
ඒ කරා ලගා වීමට පලස් බැඳ තිබූ අතර  ශිල්පිනිය තම කටයුතු ආරම්භ කලාය.. මුතූ ද ඈ අසලම සිටියා ය..
බදාම ස්වල්පයක් ගත් මාලා එය ගල් බිත්තිය මත තුනී කරන්නට විය.. එම බදාමයේ ඝනකම අගල් 1 1/2 ක් පමනට වන ලෙස ගල් බිත්තිය මත අතුරන ලදී..
සියලුම බදාම සේවකයෙකු ලවා බිත්තිය මත නොඅතුරවන්නේ ඇයිදැයි මුතූ සිතූවා ය. අනෙක මේ බදාම ව්‍ලෙන තෙක් තවත් බොහෝ වේලා බලා සිටින්නට වේ යැයි ඈ  සිතුවා ය..
නැත. බදාම ස්වල්පය අතුරා එම තෙත බදාමය මතම ශිල්පිනිය තම පින්සල මනාව හසුරවමින් සිතුවම නගන්නට විය...
රජුත් , මව් බිසව හා බිසවත්  කුමරියනුත් වරින් වර පැමින සිතුවම් අදින අයුරු නැරඹූහ...

දිවා කල වන විට අන්තඃපුර කාන්තාවනුත් සිතුවම් නැරඹීමට පැමිණියහ.. අවට සියල්ලෝම ඔවුන් දෙස බලා සිටියත් ඔවුන් අවට සිටි කිසිවෙක් දෙස බැලුවේ නැත.. පෙනුමෙන් බොහෝ ආඩම්බරකාරියන්ය.. එතරම් ආඩම්බරයක් බිසවුන් හා කුමරියන් තුල වත් නොවුනි.. බිසවුන් හා කුමරියන් තරමට නොවුනත් ඔවුන්ගේ ගෙල, අත් පා වල අලංකාර ආභරන තිබිනි.. ඔවුන්ගේ  දෙතොල් මෙතරම් රත් පැහැ ගැන්වුයේ කුමන ද්‍රව්‍යක් මගින් දැයි මුතූ සිතුවා ය.. ඔවුන් කෙරෙන් මිහිරි සුවදක් වහනය  විය..
අන්තඃපුර ස්ත්‍රීන් සිටින්නේ කොහේ දැයි මුතූ, කුමරියකගෙන් ඇසුවාය.. ඔවුන් පර්වත කෙලවර කුටිවල සිටිනා බව ඇය නොසැලකිල්ලක් දක්වමින් පැවසුවා ය..

සිතුවම් ශිල්පිනිය තමා පෙරදා රාත්‍රියේ දුටු සිදූවීම අපූරුවට සිතුවම් කරමින් සිටියා ය.. කුමරියන් හා බිසවුන් පැළඳි ආභරන එසේම සිතුවමට නැගිනි.. භාවනාවකට සම වැදුනු අයෙකු මෙන් මුතූ සිතුවම් දෙස බලා සිටියා ය..
හිරු බැස යාමට ආසන්න වන විට මාලා තම කටයුතු නවත්වා ඇගේ කුටියට ගියා ය..
රාත්‍රියේ මුතූ, සිතුවම් ශිල්පිනියගේ කුටියට ගියා ය.. ඇගෙන් දැනගත යුතු බොහෝ දේ මුතූට තිබිනි..

"ඔබට කරදරයක් නැතිනම්....ඔබ සිතුවම් ඇදීමට හාවිතා කල බදාමය ගැන, පින්සල පිළිබඳව.. ඇයි ඔබ තෙත බදාමයේ සිතුවම් නැගුවෙ කියලා....
මට පවසනවද ඒ ගැන... දැන ගත යුතුයි ඒ පිළිබඳව තොරතුරු..

****************************************

(මතු සම්බන්ධයි.)

සැලකිය යුතු : මෙහි දී මාලා නම් සිතුවම් ශිල්පිනිය මා විසින් නිර්මාණය කරන ලද චරිතයක් බව කිව යුතු ය.. මෙම සිතුවම් ඇන්දේ ශිල්පියෙකුද ශිල්පිනියකද යන වග තබා මෙම සිතුවම් කුමන යුගයකට අයත්ද යන වග වත් නිශ්චිතවම  තහවුරු කර ගැනීමට නොහැකි වී ඇත.
මෙම සිතුවම් ක්‍රි.ව.4 වන සියවසේ පර්සියාවේ තිබූ සිතුව්ම් වලට සමාන බවක් දක්වන බැවින් පර්සියාවෙන් ශිල්පීන් මෙහි පැමිණ ඇතැයිද පවසයි. නමුත් මෙතරම් විශිෂ්ඨ කලාවන් පැවති ලංකාවේ සිතුවම් ඇන්දවීමට විදේශික ශිල්පීන් අවශ්‍ය කුමකටද යන්න ඇතැම් විචාරකයින් පවසයි. මේවා හෙළයින් ගේ නිර්මාණ බව ඔවුන් එකහෙලාම කියා සිටී..
අනෙක මෙම සිතුවම් කාශ්‍යප යුගයටද ඉන් පෙරද පසුද යන්නටත් බොහෝ මත තිබේ.. නිසැකවම මෙම සිතුවම් කාශ්‍යප රජුගේ කාලයට අයත් බව වත් අපට නිශ්චිතවම කිව නොහැක.
සීගිරිය කැනීම් වලදි විදේශ කාසි හමුව තිබේ. එබැවින් මෙහි ජාත්‍යන්තර සම්බන්ධතා ගනුදෙනු තිබී ඇති බව සිතිය හැක. ඇතැම් විට ඔවුන් අපගේ සිතුවම් පිටපත් කලා වන්නට පුළුවන..
කෙසේ වෙතත් මා මෙහි ශිල්පිනියක් යන්න යොදා ගත්තේ මතවාදයක් ගොඩ නැගීමට නොව කථාංගයට වෙනසක් ඇති කරලීමට බව සලකන්න.. මා ඒ සදහා කාන්තාවක් යෝජනා කිරීමට හේතු කථාංගය තුලම ඉදිරිපත් කර ඇත්තෙමි.
සිතුවම් මත පිළිබඳ තොරතුරු දීර්ඝ ලෙස  මා හෙට දිනයේ කොටස සමඟ ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙමි..

No comments:

Post a Comment