Monday, September 26, 2016

මවක් නොහඳුනන්නී.. 02 කොටස.

මවක් නොහඳුනන්නී... - 02 කොටස.
"හෙට රෑ ටූ තර්ටි ෆ්ලයිට් එකේ මම පිටත් වෙනවා.. දරුවා ඔයාලගෙ ලඟ කියල  ශානිවත් කවුරුවත් දන්නෙ නැහැ.. මම යනවා කිවුවම වත් එයා දරුවා ගැන ඇහුවෙ නෑ. අවුරුද්දකින් වත් එයා දරුවව දැකලා නැහැ.. "
සර් එදා අපෙන් සමු ගෙන ගියේ  ඔහුගේ ජීවිතය අප දෙදෙනා ළග තබාය..
"අනූ, සර්ගෙ දරුවා අපි ළග කියලා නොකියා ඉමු හොදේ කාටවත්.. යාලුවෙක්ගෙ බබෙක් කියමු.. "
ඔහුත් එය අනුමත කලේය..
පසු දින උදෑසනම MD අසුන ශානිකා මැඩම් සතු විය.. ආයතනයේ සියලු දෙනාම කැදවා ඇය දේශනයක් දුන්නාය..
ඇගේ නීති සහ ක්‍රියාවන් දැඩි බව ඇගේ දේශනයෙන් අපට අවබෝධ විය...
ඇයට දෛනිකව ඉලක්ක තිබූ අතර ඒ ඔස්සේ අපව හැසිරවූයේය.. සුජීව සර් යටතේ වැඩ කිරීමට වඩා වැඩ අධික විය..
"ගයානි අද දවසෙ මේ ප්‍රොජෙක්ට් දෙකම රිපෝර්ට් ඕනේ.. "
දිනකට මට ප්‍රොජෙක්ට් දෙකක වැඩ කිරීම අපහසුය.. නමුත් මා කිසිවක් නොකියා එය සම්පූර්ණ කිරීමට උත්සහ ගත්තෙමි..
ඒවායේ අඩුපාඩු ඇය දොස් සමගම මා සමග සාකච්චා කරයි.. ඇයට මේ පිළිබඳ හොද අවබෝධයක් ඇති බව මට නොබෝ දිනකින්ම තේරුම් ගියේය.. සුජීව සර් කිසි දිනෙක ප්‍රොජෙක්ට් පිළිබඳ මේ තරම් ගැඹුරට මා සමග සාකච්චා කර නැත.. ශානි මැඩම් අඩු පාඩු පෙන්වා දීම මට ඇත්තෙන්ම පහසුවක් විය.. මා ඇගෙන් බොහෝ දේ ඉගෙන ගත්තෙමි. ඇත්තෙන්ම ඇය දක්ශය.
මටත් අනූටත් සිටියේ අවුරුදු දෙකහමාරක දුවක සහ පුතෙකුයි. සුජීව සර්ගේ පුත් මිතිලට වයස එකහමාරක් පමණ විය..  දිවා කාලයේ අපේ දරුවන් බලා ගන්නට විශාකා නම් කාන්තාවක් සිටී..
දිනක් දහවල විශාකාගෙන් මට ඇමතුමක් ලැබිනි..
"නෝනා මිතිල බබාගෙ ඇග හොදටම රස්නෙයි.. උන වගේ.."
"අනේ.. හරි විශාකා මම එන්නම්.. ඩොක්ට ලගට යන්න ලෑස්ති කරන්න පුතාව.."
මා ඉක්මනින් ශානිකා මැඩම් හමුවීමට ගියෙමි..
"මැඩම්, පුතාට හොදටම උනලු.. ඩොක්ට ගාවට ගෙනියන්න ඕන. මම ලීව් එකක් ගන්නද.. "
"ගයානි, පර්සනල් ලයිෆ් එක රාජකාරි වලට බාධාවක් කර ගන්න එපා.. දැන් ඔයා ගියාම මේ ප්‍රොජෙක්ට් එක කම්ප්ලීට් කරන්නෙ මමද.. අද ටාගට් එක මම කවර් කර ගන්නෙ කොහොමද ඔහොම.."
"මැඩම් මම පුතාට බෙහෙත් ගත්ත ගමන් ආයෙ එන්නම්.. ප්ලීස් මැඩම්.. "
"ලීව් දෙන්න විදිහක් නැහැ ගයානි. HS එකේ රිපෝර්ට් එක කම්ප්ලීට් කරලා ඕනනම් යන්න... "
එය කම්ප්ලීට් කිරීමට තව පැය හතරක් පමන ගත වනු ඇත.. මේ අසනීප වී ඇත්තේ ඇගේ කුසින් උපන් දරුවාට යැයි කෑ ගසා කියන්නට මට සිතිනි.. එය එසේ බව දැන ගත්තත් ඇයට දරුවාට වඩා කෙහෙම්මල් ප්‍රොජෙක්ට් එක ලොකු වනු ඇත.. මට හැඩෙන්නට ආසන්න වූ නිසා මා වොශ් රූම් වෙත ගියෙමි...
කුමක් කල යුතුදැයි සිතමින් හැඩෙද්දී මා අනුපමට ඇමතුමක් ගත්තෙමි..
"හෙලෝ.. අනූ.. විශාකා මට දැන් කෝල් කලා.. මිතිල පුතාට හොදටම උනලු.. මේ ප්‍රොජෙක්ට් එකක් නිසා මැඩම් ලීව් දෙන්න බැහැ කිව්වා.. "
"හේයි ගයානි ඔයා අඩනවා නේද.. මම කිව්වනෙ.... මැඩම්ගෙ හැටි ඔහොම තමයි.. ඉන්න මම ලීව් එකක් දාලා පුතාව ඩොක්ට ලගට ගෙනියන්නම්.. ඔයා අඩන්නැතුව ඒ වැඩේ ඉවර කරලා එන්න.. මම කෝල් එකක් දෙන්නම්කො ඇවිත්.."
මා පැය තුනකින් එය නිමා කර නිවසට පැමිනෙන විට පුතුට හොදටම නින්ද ගොස් තිබිනි... අනූපම බෙහෙත් ගෙනැවිත් තිබිනි..
                            ===
සති අන්තයේ අනූපමත් මමත් දරු තිදෙනාත් නිවසින් බැහැරට ගියෙමු.. එක් නිමේශයක අහම්බෙන්  ශානිකා මැඩම් අපට මුන ගැසිනි.. අපේ දූත් පුතුත් අනූපමගේ අත් දෙකෙහි එල්ලීගෙනය.. මිතිල මගේ අතෙහි වූයේය..
පසු අවස්ථාවක අනුපම මට පැවසූ පරිදි ශානිකා මැඩම් බොහෝ වේලාවක් අප දෙස බලා හිද ඇත.. ඈ අප හමුවට ආවාය..
"ගයානි, අනූපම .... මම දැනගෙන හිටියෙ නැහැනෙ ඔය දෙන්නා හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් කියලා.."
අප දෙදෙනාම එකිනෙකා දෙස බලා සිනාසුනෙමු..
"තුන් දෙනාම ඔයාලගෙද.. "
ඇය මිතිල දෙස බලා සිටිනු මා දුටිවෙමි.
"මෙයා නම් අපේ යාලුවකුගෙ.  මේ දෙන්නා ට්වින්ස්ලා...අපේ.. "
මා මද සිනාවක් සමගින් කීවෙමි.
මොහොතකින් මිතිල, ශානිකාගේ අතට යෑමට දෑත දිගු කලේය.. මා පුදුමයට පත් වීමි.
"සුදු පුතා.. මැඩම් මෙයා අනූගෙයි මගෙයි අතට ඇරෙන්න කවුරුත් ළඟට යන්නැහැ.. පුදුමයි.  "
දරුවා අතට ගැනීමට ඈ මදක් පසුබෑවාය.. නමුත් මිතිලගේ දැගලීම් නිසා ඇයට එය කරන්නට සිදුවිය.. පුතු ශානිකාට තුරුලු වන අයුරු මමත් අනූපමත් පුදුමයෙන් බලා සිටියෙමු..
ඒ මොහොතෙහි ඇගේ මුහුනේ තිබූ හැගීම් මට තේරුම් ගත නොහැක..
පුතුව නැවතත් ඇගේ අතින් ගැනීමට මට මදක් අපහසු වූයේය.. නැවත පැමිනෙන අතරතුර මගේ කථාව වූයේ එයමයි..
"මාස නමයක් කුසේ හිටියනෙ.. අම්මගෙ උනුසුම පුතා අදුනනවා.. මට හරිම පුදුම හිතුනා ඒත්.. දැක්කද මැඩම්ගෙ මූන එයාට මොනවා හිතුනද කියලා මට තේරුනේ නැහැ.."
දිනක් මා මැඩම් හමුවට යන විට ඇය ජනෙල් වීදුරුවෙන් පිටත බලා සිටිනු මා දුටුවෙමි.. ඇය එසේ සිටිනු මා කෙදිනකවත් දැක නැත.. මේ වෙනස එදා සිදුවීමද...
සුජීව සර් සතියකට දෙතුන් වරක් කථා කොට පුතාගේ සුවදුක් අසයි.  දිනක් ඔහු අනූපමට මෙසේ කියා තිබුනි..
"කවදාකවත් නැතුව ශානිකා මට කෝල් කරලා පුතා ගැන ඇහුවා.. ඒත් මම කිසිම විස්තරයක් කියන්න ගියෙ නෑ.."
එක් ඉරිදා දිනයක දූත් පුතුන් දෙදෙනාත් මිදුලේ සෙල්ලම් කරමින් සිටියහ.. එක්වර නැගුනු වාහන හෝන් ශබ්දයක් නිසා මා එදෙසට ගියෙමි..කව්ද මේ වෙලාවෙ.. පුදුමයකි.. ශානිකා මැඩම්..!!
"මැඩම් කොහොමද ගේ හොයා ගත්තෙ.."
ඇය පැමිණ ඇත්තේ දරුවා බැලීමට බව නොබෝ වේලාවකින්ම මට වැටහිනි.. ඇය මගෙන් දරුවා පිළිබඳව විමසුවාය..
"පුතාගෙ අම්ම නැහැ. තාත්තා ට පොඩි අසනීපෙකට ට්‍රීට්මන්ට් ගන්නවා මෙහෙ නැහැ.. එතකන් පුතා අපි ළඟ."
මා ඇයට වැඩි විස්තර පවසන්නට නොගියෙමි.. නමුත් මට කොයි මොහොතේ හෝ පිට කර ගත යුතුව තිබූ හිත් රිදීමක් විය..
"මෙයාට තමයි උන හැදිලා මම දවසක් මැඩම්ගෙන් ලීව් ඉල්ලුවෙ ඩොක්ට ගාවට යන්න.."
ශානිකා වරදකාරී හැඟීමකින් බිම බලා ගත්තාය.. පුදුමයකි.. ඇයට එවැනි හැගීම් ඇත.. මා තවත් කිසිවක් නොකියා මාව  පාලනය කර ගතිමි.
"මේ දරුවා දකිනකොට මට......."
ඈ කියන්න්ට ගිය දේ කියුවේ නැත.. ඇගේ දෑසෙහි කදුලු පිරී තිබිනි.. ඒ වන විටත් මිතිල ඇගේ උකුල මතය..
කියන්නට බොහෝ දේ මගේ මුවට ගලා ආවේය..මා ආයාසයෙන් නිහඩ වීමි. කල් ගතවී හෝ ඇයට දරු සෙනෙහසක් ඉපදී ඇත.
මෙසේ කිහිප වරක්ම ඇය අපේ නිවසට පැමිනියාය.  අවසානයේ ඈ අපේ පවුලේ මිතුරියක් වන තරමටම අපට ලං විය.  ඒ මිතිල පුතු නිසාය..
ඇගේ දරදඩු ගති පැවතුම් පුතු නිසා මොලොක් වූයේ යැයි සිතිය හැක.. ක්‍රමයෙන් මා ඇයට සමීප වී ඇගේ යහපත් ගතිගුණ ඇය තුලින් මතු කර ගැනීමට උත්සහ ගත්තෙමි.. මා අසාර්ථක වූයේ නැත..
මගෙත් අනුපමගේත් දරුවන්ගේත් ජීවිත දෙස ඈ බලා සිටියා ය.. ශානි ඇයට මඟ හැරුනු ඇගේ ජීවිතය පිළිබඳ පසුතැවෙන බව මට වැටහිනි..
දිනක් මා අනූගෙන් මෙසේ විමසුවෙමි..
"පේනවද අනූ අපේ මැඩම් දරුවට තියෙන ආදරේ.. මේ එයාගෙම දරුවා කියලා කිව්වොත් අපි.."
"නෑ.. එහෙම කියන්න ඕනේ නෑ.. මේ තියෙන තත්වෙ උඩ එහෙම දැන ගත්තොත් දරුවව ගෙනියන්න පුලුවන්. එතකොට අපි සර්ට මොනවද කියන්නෙ.."
"ඒත් මිතිල ඉන්නෙ එයාගෙ අම්ම ළගනෙ.. "
"සර් ආපහු ආවට පස්සෙ මැඩම් ඒ ගැන දැන ගත්තාවෙ.. එතකොට වෙන දේවල් එයාලා බලා ගනී.. අපි කියන්න යන්න ඕනෙ නැහැ දැන්.. "
"හ්ම්. හරි එහෙනම්.. සමහර විට දරුවා නිසා ඒ දෙන්න එකතු වෙන්නත් පුලුවන් එතකොට.. "
එක් රාත්‍රියක සුජීව සර්ගෙන් සතුටුදායක පුවතක් සමග ඇමතුමක් අපට ලැබිනි..
"ගයානි, සර් කථා කලේ. සර්ට ට්‍රීට්මන්ට් වලින් හොදයිලු දැන්. අනිද්දා ලංකාවට එනවා කියන්නෙ.. "
අනූපම කීවේය..
"අනේ කොච්චර දෙයක්ද.. අනූ මට ඒත් එක්කම අදහසක් ආවා.. "
මා ඔහුට එය පැවසුවෙමි.. ඒ ශානිකා සහ සර්ව අප නිවසේදී මුණ ගැස්වීමටයි..
අයිඩියා එක නම් හොදයි.. ඒත් මොනවා වෙයිද...
"මැඩම් උනත් වෙච්ච දේවල් ගැන දැන් පසු තැවෙනවා කියලා මට හිතෙනවා අනූපම. එයාටත් දැන් දරුවා නැතුව ඉන්න බැරි වෙලා.. එයා දැන ගත්තොත් මේ තරම් ආදරය වුනේ තමන්ගෙම දරුවට කියලා.. "
මිස්ට සුජීව මෙහි එන්නට නියමිත දිනම මා මැඩම්ට ඇමතුමක් දී මෙහි කැදවා ගතිමි..
සියල්ල යහපත්ව නිමවනවානම් යැයි මගේ හදවත අභ්‍යන්තරය මුමුනමින් තිබිනි...
සුජීව සර් අප නිවසට ගොඩ වනවාත් සමගම ශානි මැඩම් හා ඇගේ උකුල මත හිදින කුඩා පුතු දුටුවේය.. කිසිවක් සිතා ගත නොහැකි වූ ඔහු සිටගත්වනම බලා සිටියේය..
"සර් එන්න ඇතුළට..."
මා පැවසුවෙමි..
ශානි මැඩම් ඔහු දෙස බලා නැවතත් අප දෙස බැලුවාය..
ඔහු වහා පැමින කුඩා පුතු වඩා ගත්තේය.. ශානි දෙනෙත් විසල් කරමින් බලා සිටියා ය..
"සු..ජීව මේ... මේ... අපේ පුතාද..."
ඇගේ හඩ සැලෙමින් තිබිනි.. ශානිගේ දෑසින් වැටෙන කදුළු දෙස ඔහු බලා සිටියේ මින් පෙර කිසි දිනෙක ඇගේ කදුළු දැක නැත්තෙකු ලෙසයි..
මගේ හදවත ප්‍රාර්ථනා කළ පරිදිම සියල්ල යහපත්ව සිදුවෙමින් පැවතිනි.. ඔවුන් දෙදෙනාට කථා බහ කිරීමට ඉඩදී අප පසෙකට වුනෙමු..
අවසානයේ සුජීව සර් මෙසේ පැවසුවේය..
"ශානි අපි යමු අපේ ගෙදර.. ඔයාගෙයි මගෙයි පුතාගෙයි ගෙදර.. "
මා පුතූගේ සෙල්ලම්බඩු සහ ඇදුම් සූදානම් කර ශානි අතට දුන්නෙමි.. මිතිල ගෙන් සමු ගැනීම අප දෙදෙනාටම දරා ගැනීම වේදනාකාරි විය..
"පුතා යනවද මේ අම්මිව දාලා... ම්ම්... "
ඔහු කිරිදත් පෙන්වා සිනාසුනා පමනකි..
ශානි මා වැළඳගෙන හැඩුවා ය.. ඇය තුල මෙතරම් සංවේදී කාන්තාවක් සිටින බව මා දැන නොසිටියෙමි..
සංවේදී සමු ගැනීමෙන් පසු ඔවුන් පිටවී යන අයුරු අනූපමත් මමත් බලා සිටියේ විසිරුනු කූඩුවක් නැවත එක් කිරීමට ලැබීමේ සතුටත් සිත් දල්වාගෙනය..
*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*
(සමාප්තයි.)

2 comments:

  1. ඔබේ මේ කතාව අදයි මම කියෙව්වේ. මම විචාරකයෙක් නෙවෙයි. නමුත් යම් ප්‍රමාණයක යමක් කියන්නට හිතුනා. කතාවේ යම් පමණකට අතිශෝක්තියක් සහ පර්ෆෙක්ට් බවක් පෙනුනා. දරුවෙක් වගේ කෙනෙක් ගැන ගන්නා තීරණ වලදී, පොඩි මානසික වියවුලක් ඇතිවෙනවා නුතන සමාජයේ නම්. නමුත් කතාවක් ලස ගත්ත විට නම් හොඳයි
    දිගටම ලියන්න

    ReplyDelete
  2. ඔබේ අදහස් දැක්වීම ගැන ස්තූතිවන්ත වෙනවා.. :)

    ReplyDelete