Tuesday, September 20, 2016

සුදු අයියා..

සුදු අයියා.. ~ (කෙටි කථාව.)
හැදින්වීම  ~ මෙය මගේ ප්‍රථම කෙටි කතාවයි.. කාලයක් තිස්සේම මගේ සිතෙහි නිර්මාණය වී තිබුනු අදහසක් මා අද කෙටිකථාවක් බවට පත් කර මෙසේ ඔබට තිලිණ කරමි. මෙහි එන නම් ගම් සහ සිදුවීම් මනඃකල්පිතය..
~මුදී~
*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.
සුදු අයියාත්, චතුරිත්, මමත් කුඩා කල සිට වැඩුනේ එකටයි.. චතු‍රි සුදු අයියාගේ නැගණිය වූවත් ඇයටත් වඩා සුදු අයියාට ආදරය කලේ මා බව ඔවුන් දෙදෙනාම දන්නා කරුණකි..
අපගේ නිවෙස් එකිනෙකට මදක් දුරින් වූවත් බැලූ සෑම මොහොතකම  මා ඔවුන්ගේ නිවසේය.. නැතහොත් ඔවුන් අප නිවසේ ය.. මා පවුලේ එකම දරුවා වූ නමුත් චතුරිත් සුදු අයියාත් නිසා තනිකමක් මගේ ජීවිතයේ ගෑවී වත් තිබුනේ නැත..
චතුරිත්, මමත් එකම වයසේ නිසා පාසල් මෙන්ම අප අතිරේක පන්ති වලට සහභාගි වූවේත් එකටයි.. සුදු අයියා අපට වඩා වසර දෙකක් වැඩිමල් විය.. අප දෙදෙනාගේ ආරක්ෂකයා වූයේ ඔහුයි.. අයියාට තරහ ගොස් ඇති අවස්ථාවක ඔහුට ලංවීමට වත් අප දෙදෙනා බිය වීමු. ඔහුට පහසුවෙන් තරහා යන්නේත් නැත. නමුත් තරහ ගිය විටක ලෙහෙසියෙන් එය නිවෙන්නේත් නැත. ඔහු පිළිබඳ මතකයන්ගෙන් මෙම සිදුවීම මා තුල නොනැසී පවතින්නක්ය..
එවකට චතුරිත් මමත් පාසලේ 8 වන ශ්‍රේණියේ ය.. දහම් පාසල් ඇරුනු පසු සුදු අයියා ඔහුගේ පන්තිය නිමවී පැමිනෙන තුරු අප සිටිය යුතුය.. පසුව අප තිදෙනා නිවසට පැමිනෙන්නේ එකටයි.. එදින සුදු අයියා පැමිනෙන තෙක් අපට බොහෝ වේලාවක් බලා හිදින්නට සිදු විය.. ඒ අතර තුර පන්සල් වත්තේ කෙලවරේ වූ අඹ ගසක වූ අඹ දැක චතුරිට එය ඉවසා ගත නොහැකි විය..
"ප්‍රභා, බලන්නකො අර ගහේ අඹ.. අපි ගිහින් එකක් කඩාගෙන එමු.. කවුරුත් පේන්න නැහැනෙ.. අයියා එනකොට තව වෙලා යාවි.."
චතූ මගෙන් විමසුවා ය..
චතුරිට යමක් සිතුනොත් එය කල යුතුමය.
"චතූ ඔයාට පිස්සුද.. මේක පන්සල් වත්ත.. අයියා දැන් ඒවි.. යන ගමන් ලොකු අම්මලගෙ ගෙදරින් මම ඔයාට ඇති තරම් අඹ ඉල්ලලා දෙන්නම්කො.."
නමුත් මගේ එම වචන චතුරිව නවත්වා ගැනීමට සමත් වූයේ නැත.. එම අඹ ගසෙන් අඹයක් කඩා ගන්නා තුරු ඇයට ඉවසිල්ලක් නැත.. ඇය මා තනිකර එදෙසට ගියා ය..
'මේ චතූගෙ වැඩ නිසා මටත් බැනුම් අහන්න සිද්ධ වෙනවා.  දැන් සුදු අයියා ආවොත් මම මොනවද කියන්නෙ.. චතුරිට බැනුම් අහන්න වේවි හොදටම.. '
මිතුරියව එසේ තනි කිරීමට නොහැකි නිසා මාද එදෙසට ගියෙමි... ඇය දුන් අඹ  කෑල්ල මා අතට ගත්තේ නැත..
"මට එපා. අපි මෙතනින් යමු චතූ.  අයියා හොයනවා ඇති අපිව.. "
ඇයට ඒ පිළිබඳව වගක් වත් නැත.. මොහොතකින් සුදු අයියා අප ඉදිරියේ විය.. ඔහුගේ මුහුන බැලීමට බය සිතෙන තරම් නපුරුය..
"දෙන්නටම ලැජ්ජාවක් නැද්ද.. මේ ඉන්නෙ කොහෙද කියලාවත් හිතුවද.. මම කොච්චර හෙව්වද.. කොච්චර බය වුනාද.. "
සුදු අයියාගේ කෝපාන්විත බැනුම් ඔහුගේ මුවින් නැගෙන්නටත් පෙරම මගේ දෑසට කදුළු නැගී අවසන්‍ ය.. චතුරි කිසිවක් නොවූවකු සේ අතට ගත් අඹ කෑල්ලක් සපමින් සිටී.. ඇය තම වරද පිළිගත්තෙත් නැත.. මා ඇයව පාවා දුන්නේත් නැත.. සුදු අයියා එතරම් කෝපයට පත්ව සිටිනු මා ඉන් පෙර දැක නොතිබුනෙමි.. කෝපවත් බැනීමෙන් පසු ඔහු අපව  තනිකර එතනින් ගියේය..
චතුරිටත් මටත් තනිවම ආපසු එන්නට සිදුවිය.. එන ගමනේදී නොනවත්වා මගේ දෑසින් ගලන කදුළු මටම නවත්වා ගත නොහැකි විය... සුදු අයියා මා ගැනත් එසේ සිතීම මට දරා ගත නොහැකි විය..
එදින මා හඩමින් නිවසට පැමිනෙනු දුටු අම්මාත් තාත්තාත් විශ්මයට පත් නොවීය..
"මොකෝ අදත් තුන් දෙනා තරහා වුනාද.. මම දැක්කා සුදු පුතා තනියම යනවා.."
අම්මා කියුවා ය..
මා කිසිවක් නොකීව්මි. එදින රාත්‍රියේ නින්ද මා අසලට නොපැමිනියේය..
"සුදු අයියලාගෙ ගෙදර යන්න ඕනෙ.."
මා හැඩුවෙමි.. මගෙ කරදරයෙන් බේරීමට බැරිම තැන එම රාත්‍රියේම තාත්තා මාව එහි රැගෙන ගියේය..
"තුන් දෙනාගෙ රන්ඩුවක් වගේ.. රෑ නිදා ගන්නෙ නෑ මෙහෙ එන්න ඕනෙ කියලා අඩනවා.. ඒ පාර මම එක්ක ආවා.. "
තාත්තා සුදු අයියලාගේ අප්පච්චිට කියුවේය.. සුදු අයියා දෑස් විසල් කරමින් මා දෙස බලා සිටියේය..
"අයියෙ...ආයෙත් එහෙම කරන්න් නැහැ.. තරහා වෙලා ඉන්න එපා.. "
මා එදින චතුරිලාගේ නිවසින් පිටවී ගියේ ඔහු මා සමග තරහා නැති බව සැක හැර දැනගත් පසුවයි.. මේ සිදුවීමම නැවත්තත් දිනෙක සිදුවී එයින්ම අපට වෙන් වීමට සිදුවෙතැයි එදින මම සිහිනෙන් වත් නොසිතුවෙමි..
වයසින් වැඩෙන විට මා තුල සුදු අයියා පිළිබදව ඇත්තෙ සහෝදර සෙනෙහසකට එහා ගිය දෙයක් යැයි මා තේරුම් ගතිමි.. නමුත් ඒ පිළිබඳව කිසිවක් ඔහුට නොහඟවා සිටීමට උත්සහ කලෙමි..
කාලය වේගයෙන් ගතවිය.. සුදු අයියා විශ්වවිද්‍යාලයට සමත් වීමත් අප සැමටම සතුටක් මෙන්ම ආඩම්බරයක් විය..
මොරටු විශ්වවිද්‍යාලයට නිවසේ සිට වැඩි දුරක් නොවූයෙන් ඔහුට නිවසේ සිටම එහි යාමට හැකි වීම පහසුවක් විය..
එතැන් පටන් චතුරිටත් මටත් තනිවම පන්ති යෑමට සිදුවිය.. අප උසස් පෙළ පන්තියෙහි ඉගෙනුම ලැබුවෙමි.. අපත් සමග යාමට ඒමට අයියා නැතිකම චතුරිටත් වඩා පාලු දැනුනේ මටයි..
දිනක් අප දෙදෙනා පන්ති අවසන් වී එමින් සිටියෙමි..
"චතූ බලන්නකො අර රස්තියාදුකාරයා අපි පිටිපස්සෙන් එනවා දැන් සෑහෙන්න වෙලාවක ඉදලා.."
චතූ ඔහු දෙස බලා නැවත මගෙන් මෙසේ විමසුවාය..
"මොන රස්තියාදුකාරයද..? "
"ඇයි අනේ ඔයාට පේන්නෙ නැත්ද.. මේ එන කොල්ලා..මූනෙ හැටි.. මට බයයි අපි ඉක්මනට යමු.."
ඔහු කිහිප දිනක්ම අප පසුපසින් ආවේ ය.. සුදු අයියා හිටියනම් යැයි මට සිතුනු වාර අනන්තය.. මට වඩාත් කෝප සිතීමට  හේතුව චතූ ට මේ කිසිවක් වගක් නැති වීමයි..
කිහිප දිනකින්ම චතූගේ හැසිරීමෙහි වෙනසක් මට දැනුනි..
"අද කෙමිස්ට්‍රි ක්ලාස් එක පැයක් වැඩිපුර තියනවා කියලා නිහාල් සර් කිව්වා.. ඔයාගෙ ක්ලාස් ඉවර වුන ගමන් ඔයා යන්න ප්‍රභා.. මම මධූලත් එක්ක එන්නම්.."
දවස් කිහිපයක් එසේ සිදු විය.. නමුත් දිනක් මධූ මුන ගැසුනු විට එසේ වැඩිපුර ක්ලාස් නොපැවැත්වෙන බව මා දැන ගත්තෙමි.. චතූගෙන් විමසා ඇත්ත දැන ගැනීමටත් පෙරම ඒ සියල්ල මගේ දෑස් වලින්ම මට දැක ගත හැකි විය..
චතූත්, මා රස්තියාදුකාරයා ලෙස හැදින්වූ ඔහුත් අත් අලාගෙන ගමන් කරනු මා දුටුවෙමි..
'දෙවියනෙ මේ කෙල්ල.. '
මට කිසිවක් සිතා ගත නොහැකි විය..' සුදු අයියාවත් අම්මා අප්පච්චි කිසිවෙකුත් මොහුට නම් කැමති නොවන බව මා හොදාකාරව දැන සිටියෙමි.. ඔහුගේ නම රංග බව මා පසුව දැන ගත්තෙමි.. ඔහු ටවුමෙහි රස්තියාදුකාරයින්ගෙන් එකෙක් විය.
ඉන් පසු එළඹුනු හැම අවස්ථාවකදීම එය නොගැලපෙන ඇසුරක් බව මා චතූට තේරුම් කර දීමට උත්සහ ගත්තෙමි.. නමුත් අවසානයේ සිදු වූයේ මා ඇයට ඊර්ෂ්‍යා කරන බවක් ඈ පැවසීම පමනකි..
කෙලෙසකවත් චතූට වටහා දිය නොහැකි බව තේරුම් ගත් මම කුමක් කරමි දැයි සිතුවෙමි.. චතූ කරදරයක වැටීමට පෙර ඇයව බේරා ගත යුතුය.. අනෙක විභාගයට ඇත්තේ තවත් මාසයක කාලයක් පමනකි.. මෙය සුදු අයියාට කිව යුතු දැයි මා සිතමින් සිටියෙමි...
එදිනම සවස සිදු වූ ඒ සිදුවීම මගේ ජීවිතය මෙලෙස වෙනස් කලේය....
මා පන්‍තිය ඇරී පිට වනවාත් සමගම සුදු අයියා පාරෙන් අනෙක් පස සිටිනු දුටුවෙමි.. ඔහු අසලම චතුරිත් රංගත් විය.. සුදු අයියාගේ මුහුණ හොදටම කෝප ගැන්වී තිබුනේය.. මා ඉක්මනින් එතැනට ගියෙමි..
චතුරිගේ අතෙහි රිබන් එතූ තෑග්ගක් මෙන් යමක් විය.. ඇය මා එනු දැක තිගැස්සුනාය.. ක්ෂනයකින් ඇය මෙසේ පැවසුවා ය..
"ප්‍රභා ට දෙන්න කියලා මට මේක දෙනකොටම තමයි අයියා ආවෙ.. "
මේ සිදු වන්නේ කුමකදැයි මට ඒ මොහොතෙහි තේරුම් ගත නොහැකි විය.. සුදු අයියාගේ කෝප ගැන්වුනු රත් පැහැ දෙනෙත් දෙස බලා සිටීමට අපහසුම තැන  මා බිම බලා ගත්තෙමි..
අයියා වෙව්ලන හඩින් වහා මගෙන් මෙසේ විමසුවේ ය..
"ප්‍රභා, නංගි කියන්නෙ ඇත්තක්ද.. මොකද්ද මේ සම්බන්දෙ? "
මා ඇත්ත පැවසුවේ නම් චතුරි සුදු අයියාගෙන් එවෙලෙහිම පහර කනු නොඅනුමානය.. ඒ තරමට අයියා කෝප ගැන්වී සිටියේය.. කුමක් කිවයුතු දැයි සිතා ගත නොහැකිව මා බලා සිටින විට රංග මා අසලට පැමිණ මෙසේ කීවේය..
"මම ඔයාගෙ බෝයිෆ්‍රෙන්ඩ් කියන්න බය වෙන්න එපා ප්‍රභා.. මූ කව්ද.."
එසේ පවසමින් මගේ අතින් අල්ලන්නට ඔහු දැරූ උත්සහය මා කෝපයෙන් වැලැක්වුවෙමි.. මේ මොහොතෙහි ඔහුටත් අවශ්‍ය චතුරිව බේරා ගැනීම බව මට අවබෝධ විය.. එබැවින් මා නිහඩ වීමි.
මොහොතක් මා දෙස බලා සිටි සුදු අයියා චතුරිත් සමග පිටව ගියේය..
මුළු ලෝකයම මා වටා කැරකෙන්නාක් මෙන් මට දැනුනි. චතූ සුදු අයියාට සත්‍ය නොකියන බව මා දනිමි.. ඔහු මා කෙරෙහි ඇති මෙම වැටහීම වැරදි යැයි කෑ ගසා කියන්නට මට සිතිනි.. එහෙත් එය විශ්වාස කරන්නට දැන් සියල්ල ප්‍රමාද ය..
  ඉන් පසු එලඹුනු විභාග මාසය තුල මා අතින් මගේ උපරිමය ඉටු නොවූ බව මා දනිමි.. මෙම සිදුවීම මා බෙහෙවින් කම්පනයට පත් කර තිබුනේ ය..  මෙය අම්මාගෙනුත් තාත්තාගෙනුත් සැඟවීමට මට හැකි වූයේ නැත.. සියල්ල පැවසීමෙන් පසුව මෙය චතූලාගේ නිවසට නොපැවසීමට ඔවුන්ව පොරොන්දු කර ගැනීමට මට හැකි විය..
ඉන් පසු ගෙවුනු කාලයේ තාත්තා බණ්ඩාරවෙලට සේවා මාරුවක් ලබා ගත්තේය.. අප එහි පදිංචියට ගියෙමු.. සිදු වූ දෙයින් පසු චතූට මගේ මුහුන බැලීමට නොහැකි වන්නට ඇත. ඉන් පසු මට ඔවුන් දෙදෙනා මුණ ගැසුනේ නැත.. එබැවින් මා යන බව චතුරිටවත් සුදු අයියාට වත් පැවසීමට නොහැකි විය.. නැවත එහි යාමට මට නිවසින්ද කිසිදු අවසරයක් නොලැබුනේය..
අවුරුදු හතරකට පසු දිනක..
"ප්‍රභා මිස් ට විසිටර් කෙනෙක්! "
"මට... ? ඒ කව්ද..?"
"කව්ද කියලා නම් දන්නෙ නැහැ.. ඒත් හැන්ඩ්සම් බෝයි කෙනෙක්.. "
රේණු සිනාසෙමින් එසේ කියා යන්නට ගියා ය..
'කව්ද.. සුපුන් වත්ද.. නැහැ.. දැන්නෙ එයා මට කෝල් කලේ..' මා විශ්මයෙන් එදෙසට  ගියෙමි..
"සුදු අයියා..!!! "
ඔහුගේ දසුන මා බලාපොරොත්තු නොවූවකි.. බොහෝ වේලාවක් යන තුරු අප දෙදෙනා අතර නිහඩතාවයක් පැවතුනි..
ගත වූ කාලයේ සිදු වූ සියලු දේ ඔහු මා සමගින් පැවසුවේය.. චතුරි, රංග සමග තනි කැමැත්තට විවාහ වී ඇත. නමුත් එය මාසයක් වත් සාර්ථකව තිබී නැත..
"නංගි කල දේට සමාවක් ලැබුනෙ නැහැ.. අප්පච්චි එයාට එන්න දුන්නෙ නැහැ ගෙදරට.. ඒත් එයා තවත් දුක් විදිනවා බලන්න බැරිම තැන මම ගිහින් එක්ක ආවා.. දැන් අපිත් එක්ක ඉන්නෙ..
ඔයා එදා මුකුත් නොකියා හිටියෙ ඇයි කියල මම දැන ගත්දි ගොඩක් පරක්කුයි ප්‍රභා.. මම එදා කලබල නොවී හොයල බලන්නයි තිබුනෙ ඇත්ත මොකද්ද කියලා.. ඇයි ඔයා නොකියම එහෙන් ආවෙ.. මම අමාරුවෙන් හොයා ගත්තෙ ඉන්නෙ මෙහෙ කියලා..."
සුදු අයියාගේ වචනයක් පාසා මගේ හදවත අභ්‍යන්තරය රිදුම් දෙන්නට විය.. මොහොතකින් ඔහු මගේ වමතේ වෙදැගිල්ලේ වූ මුදුව දෙස දෑස් යොමනු මා දුටුවෙමි.. "
"ප්‍රභා... "
ඔහු මගෙන් අසන්නට යන දෙය මා තේරුම් ගත්තෙමි..
"අයියෙ.. මම එන්ගේජ් වුනා.. එයා සුපුන්.. ප්‍රපෝසල් එකකින අපි හම්බ වුනේ.. මැයි වල අපේ වෙඩින් එක.. "
එය සුදු අයියා බලාපොරොත්තු නොවූ දෙයක් බව ඔහුගේ මුහුනෙන් පිළිබිඹු විය.. නමුත් ඔහු සිනාවක් මවාගෙන මෙසේ පැවසීය..
"මම විශ් කරනවා ප්‍රභා ඔයාගෙ අනාගතේට.."
සියලු කථා බහ අවසායේ සුදු අයියා සමු ගෙන පිටව ගියේ කියන්නට පැමිනි බොහෝ දේ තම සිතෙහි ගුලි කරගෙන බව මට වැටහිනි..
ඔහු යන අයුරු මට බොදවී පෙනුනේ මගේ දෑස් වලට ඒ වන විටත් කඳුළු පිරී තිබූ නිසා විය හැක.. :'(
*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.
(සමාප්තයි.)

No comments:

Post a Comment